Sunday, March 18, 2018

තොවිල් වලදී යකුන් පලා යන විට ගස් අතු කඩා වැටෙන හැටි......(thowil අබිරහස් අඩවිය - Abirahas Adawiya - ශාස්ත්‍රීය ළිපි)

මිනිසුන්ට සහ වාසස්ථාන වලට අරක් ගන්නා යක්ෂයන් පලවා හැරීම පිණිස යක් තොවිල් පැවැත්වීම අප ජන සංස්කෘතියේ ප්‍රධානතම අංගයකි. මෙම යක් තොවිල් වල සාමාන්‍ය කෙනෙකුට තේරුම් ගත නොහැකි අත්භූත දෑ සිදුවන බවට ද ජන විශ්වාසයක් පවතී.
මේවා සාර්ථක වන්නේ එම අත්භූත සිදුවීම් පිළිබඳ යශෝරාවය පැතිර යාමත් සමඟිනි. යක්තොවිලයක අළුයම් යාමයේ යක්ෂයා එම ආතුරයා හෝ නිවස හැර ගිය බව හඟවන ප්‍රධාන සාධකයක් තිබේ. එනම් ‘ලකුණක් පෙන්වාගෙන පලයන්‘ යනුවෙන් යකැදුරු තැන කරන විධානයට අනුව තොවිලය සිදු කළ රාත්‍රියේ අළුයම්  යාමයේදී එම නිවස අද්දර ඇති කිරි ගසක අත්තක් අත්භූත ලෙස කඩා වැටීමෙනි.
මෙම අත්භූත ජනක සිදුවීම සාමාන්‍ය ලක් වැසියන්ගේ පමණක් නොව විද්වතුන්ගේ පවා මවිතයට හේතු වූ බවට සපයා ගත හැකි සාක්ෂි කිහිපයක් ඇත. ඒ අතරින් ශ්‍රී ලංකාවේ මිනින්දෝරු වෘත්තියේ යෙදුණු ඕලන්ද සම්භවයකින් යුත් විද්වතෙකු සහ විශිෂ්ඨතම මානව විද්‍යාඥයෙකකු වන ආර්.එල්. බ්‍රෝහියර් ලියු Discovering Ceylon කෘතියේ එන එක් සඳහනක් මගේ මතකයට නැඟේ. එහි සඳහන් අන්දමට චින්තා නමැති යුවතියකට ආරූඩ වූ ‘කළු කුමාර යක්ෂයා‘ පළවා හැරීමේ ශාන්ති කර්මයක් බ්‍රෝහියර් විද්වතාගේ නිරීක්ෂණයට ලක් වී ඇත.
සුමනසිංහ නම් යකැදුරෙකු විසින් කරනු ලැබූ එම ශාන්ති කර්මයේ එළිවන ජාමය ඔහු සිය කෘතියේ විස්තර කරන්නේ මෙලෙසිනි.
‘තෙල් සහ දුම්මල දමා පන්දම් නැවත ආලෝකමත් කෙරිණ. සුමනසිංහගේ ආරූඩය උච්ච ස්ථානයකට පත් වූ බව ඔහුගේ හැසිරීම් වලින් මනාව පසක් විණි.
කස පහර මෙන් තියුණු ඔහුගේ වදන් ද ශීඝ්‍රයෙන් උච්ච වෙමින් තිබිණ. ‘කළු කුමාර යක්ෂයා ; මට ලකුණක් පෙන්නපන් ලකුණක්! ලකුණක්!‘ හිමිදිරියට හෝරාවක් පමණ තිබියදී ඔහුගේ මුවෙන් නැගි අණකිරීමක් බදු මෙම ආයචනාත්මක ඉල්ලීම හාත්පස රැව්පිළි රැව් දෙන්නට විය. එවිටම එහි සිටි සියළුම දෙනාගේ සිත් භ්‍රැන්ත කරවන සිදුවීමක් සිදුවිය.
එනම් යක්ෂයා බැඳ තිබූ කොස්ගසෙහි අත්තක් හිටි හැටියේ මහ හඬ නඟමින් කඩා වැටීමය. එම සිද්ධියත් සමඟම යක්ෂයා එළවීම අතිශයින් සාර්ථක වූ බව සියල්ලෝම වටහා ගත්හ.
තමන් මින් පෙර මෙබඳු සුවිශේෂ අවස්ථාවක් දැක නොමැති බව එහි සිටි කවුරුත් කීහ.
ඒ මොහොතේම චින්තා යක්ෂ ග්‍රහණයෙන් අත්මිදුණාය. ....
මෙහි අතිශයෙන් විස්මය එළවන දෙය නම් විශාල කොස් අත්තක් හිටි හැටියේ බිම ඇද වැටීමය. එය කපා නොදැමූ බව පැහැදිලිවම දක්නට ලැබිණ. නමුත් ඒ අත්භූත රහස වටහා ගැනීමට මටද නොහැකි විය.
බ්‍රෝහියර් ශූරීන් එසේ කීවද මෙම ශාන්ති කර්ම කලාවේ අප බොහෝ දෙනෙකුට එක්වරම නොවැටහෙන විධිමත් සවිමත් නිහඬ යාන්ත්‍රණයක් තිබේ.
මේ සියළු සංසිද්ධීන් සිදුවන්නේ ඒ ඔස්සේය. මෙම යකැදුරු කම් සිදු කිරිමට ප්‍රධාන යකැදුරා, යකැදුරාගේ නායකත්වයෙන් යුතු අඩුම තරමින් පස් හය දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් එම නිවසට පැමිණෙති. ඒ එම ශාන්ති කර්මය සිදු කිරීමට දිනකට හමාරකට කලිනි. කොට්ටෝරුවන් හෙවත් ශාන්ති කර්මයේ ගබඩා බාරකරුවන් ඇතුළු එම කණ්ඩායමේ කණිටු සාමාජිකයන් ලෙස හැඳින්වෙන කොළු කුරුට්ටෙකු දෙදෙනෙක් නොවැරදීම පැමිණෙති.
බැලූ බැල්මට ආවතේව කරුවන් සේ පෙනෙන මොවුන් නූතන ව්‍යවහාරයට අනුව කිව හොත් එම ශාන්තිකර්මයේ ‘බුද්ධි අංශ සාමාජිකයන්ය‘ එම ශාන්ති කර්මය පැවැත්වෙන නිවසේ වට පිටාව සේම ඔවුන්ගේ පවුල් පසුබිම පුද්ගල විස්තර ආදීය සියුම් ලෙස නිරීක්ෂණය කරන ඔවුන් ඒවා ශාන්ති කර්මයට පෙර කාටත් රහසින් ප්‍රධාන ඇදුරාගේ කනේ තියති.
එවිට එම තොරතුරු අවශ්‍ය පරිදි කළමණාකරණය කර ගනිමින් ශාන්ති කර්මයේ දී ඒවා අවශ්‍ය පරිදි භාවිතයට ගැනීම යකැදුරාගේ වගකීමකි. ඉහත සඳහන් කළ ආකාරයට යකැදුරා ‘ලකුණක් පෙන්නපන්! ලකුණක් පෙන්පන්!‘ යනුවෙන් යක්ෂයාට අණ දෙනුයේ එළිවෙන ජාමයේදීය.
ඒ වන විට එම නිවසියන් ඇතුළු ශාන්ති කර්මයට එක් වූ සියළුම දෙනා පසුවෙනුයේ දැඩි වෙහෙසකින් හා නිදිමතකිනි. ඒ අතර වාරයේ මා ඉහත සඳහන් කළ කොළු කුරුට්ටන් දෙදෙනා මඳ වේලාවකට දර්ශන පථයෙන් ඉවත්ව සිටීම බෙහෝ දෙනෙකුගේ අවධානයට ලක් නොවේ.
ඔවුන් එසේ ඉවත් වනුයේ එම ගෙවත්තේ ඇති කොස් ගසක් වැනි කිරි ගසක පොළවට අඩි 10ක් 15ක් උසින් යුතු  අත්තක් සොයා එහි එල්ලී සිටීමටය. ඇදුරා ‘ලකුණක් පෙන්නපන් ලකුණක් පෙන්නපන්‘ යනුවෙන් කෑ ගසන්නේ ඒ මෙහොතේ ඊට තරමක් දුරින් සිටින ඔවුන්ට ඇසෙන පරිදිය.
ඒ වන විට කොස් අත්තේ එල්ලී සිටින කොළු කුරුට්ටන් දෙදෙනා එහි එල්ලී හැකි තාක් පදවමින් එය බිමට ඇද දමා සුරුස් ගා පස්ස දොරින් එම තොවිලය පැවැත්වෙන තැනට හීන් සීරුවෙම ළං විය යුතුය.
මේ සඳහා තොරාගන්නා කොළු කරුට්ටන් ගස් නැගීමේ කලාවේ විශාරදයන් විය යුතුය. නැතිනම් පොඩ්ඩ වැරදුණොත් යකාගේ පලා යාම වෙනුවට ශාන්ති කර්මයේ සිටින්නවුන්ට අසන්නට ලැබෙනුයේ ගසකින් වැටී කොන්ද කඩා ගත් කොලු කුරුට්ටකුගේ මර ලතෝනියකි.
කෙසේ හෝ යක්ෂාරූඩය නමැති තත්වයක් ඇති බවත් මෙම ශාන්ති කර්මයේදී පිළිගැනෙන අතර ඉන් අත්මිදීම මෙසේ කොස් අත්තක් කඩා වැටීම ඔස්සේ සංකේතනය කිරීම නොවිධිමත් මනෝ චිකිත්සක ක්‍රමයකි. එමෙන්ම තමන්ට ආරූඩ වූ හෝ නිවසට අරක් ගත් යක්ෂයා පලවා ගියේය යන දැඩි විශ්වාසය එම සංකේතනය මගින් වටහා ගන්නා නිවැසියන්ගේ මානසික ආතතිය, පීඩාව සහ විඝටනකාරී ස්වරූපය ඒ ඔස්සේම දුරු වීමේ ප්‍රබල හැකියාවක් තිබේ.
තිලක් සේනාසිංහ
.lakbima
උපුටා ගැනීම් සහිතයි .... දයාබර පාථක සහෘදයිනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya 

No comments:

Post a Comment