Friday, August 17, 2018

සමාන්තර ලෝක.... සමාන්තර ලෝක කිහිපයක් තිබිය හැකිද? (Parallel Universes -අබිරහස් අඩවිය - Abirahas Adawiya - ශාස්ත්‍රීය ළිපි)

විශ්වය ලෙස දුරේක්ෂ ඇසට හසු වන්නේ අපිට ආලෝකය ලැබෙන ප්‍රමාණයක දුරෙහි ඇති ප්‍රදේශයකුයි. මෙය නිරීක්ෂ්‍ය විශ්වය ලෙස හැඳින්වෙනවා. අපට මෙලෙස පෙනෙන ප්‍රමාණයෙහි තවත් ජීවීන් කොටසක් සිටිනවා නම්, ඔවුන්ට අපටත් එහා ඇති තවත් කොටසක් පෙනෙන නිසා ඔවුන්ගේ නිරීක්ෂ්‍ය විශ්වයෙහි කොටසක් අපට දැකගන්නට නොලැබෙන ප්‍රමාණයේ පිහිටා තිබෙනවා. සමාන්තර ග්‍රහලෝක සංකල්පයෙහිම පුළුල් මට්ටමක් වන සමාන්තර හෝ බහු-විශ්වයන්ගේ සංකල්පය ද දැන් කතාබහට ලක් වන්නක්. සමාන්තර ග්‍රහලෝක පිළිබඳ මතයෙහි සඳහන් වන්නේ අප වැනිම තවත් ග්‍රහලොවක් වෙනත් විය-හැකියාවක් සහිතව තිබිය හැකිය යන්නයි. එනම්, එම ග්‍රහලොවෙහි ද ඔබේ නම තිබෙන, රුව ගුණ තිබෙන ඔබ වැනිම කෙනෙක් සිටින නමුදු ඔබ කරවිල කන්නට ආස නැත්නම් ඔහු කරවිලවලට ඉතාම ප්‍රිය කරන ආකාරයේ ඔබේ තවත් විය-හැකියා අවස්ථාවක් දරන්නෙක් සිටිය හැකි බවයි. සමාන්තර ග්‍රහලෝක තනි විශ්වයක තිබෙන්නට හැකි නමුත් සමාන්තර විශ්ව යනු මොනවාද? තවත් විශ්වයක් තිබෙනවා නම් එය මේ විශ්වයෙහිම ඔබ්බෙහි ඇති තවත් කොටසක් නොවේ ද?
භෞතික විද්‍යාවෙහි දැනට සමාන්තර හෝ බහු විශ්ව තිබෙනවා නම් එය පවතින ආකාර 03ක් යටතේ දක්වනවා. නමුත් ඒ කිසිවක් සනාථ කර නැහැ. ඉන් එක් මතයක් නම්, කිසියම් අවකාශයක් තුළ බුබුළු ආකාරයට, කුඩා කළු කුහර ආකාරයේ අප සිටින ප්‍රදේශය වැනිම තවත් විශ්ව තිබෙන බවයි. මෙම මතය ගොඩනගන ලද්දේ අප සිටින විශ්වය කෙසේ නම් මෙතරම් තරු, ග්‍රහලෝක සහ ජීවය බිහි කරන ලදැයි විස්තර කරන්නටයි. මෙම මතය අනුව වෙනත් විශ්වයන්ගේ වෙනත් භෞතික විද්‍යාත්මක නීති-රීති ක්‍රියාත්මක වන අතර අප සිටින විශ්වයේ ජීවය බිහිව ඇත්තේ ඊට වඩාත් ම උචිත භෞතික විද්‍යාත්මක තත්ත්ව මෙහි තිබෙන නිසායි. දෙවැනි මතය වන්නේ ස්ථර ආකාරයට විශ්ව කිහිපයක් තිබිය හැකි බවයි. අපේ විශ්වයේ මූලික මාන තුනක් තිබුණත්, එහි පිටු ගණනාවක් ඇති පුවත්පතක් තිබෙනවාක් මෙන් විශ්වයට එපිටින් ඇති මාන 09ක් ඇති අවකාශයක පුවත්පතෙහි පිටු වැනි විශ්ව ගණනාවක් තිබිය හැකි බව ඉන් කියැවෙනවා. තෙවැනි මතය නම්, කිසියම් සිදුවීමක් සතුව විය-හැකියාවන් කොපමණ ප්‍රමාණයක් සහ එම විය-හැකියාවන්ට තවත් කෙතරම් ප්‍රතිඵල ජනනය කළ හැකි ද එතරම් ප්‍රමාණයක් දක්වා විශ්ව ගොඩනැගී තිබිය හැකි බවයි.

2009දී තිරගත වූ Mr.Nobody චිත්‍රපටයේ මෙම තෙවන මතය හොඳින් පැහැදිලි කළ හැකි කථා මාලාවක් අඩංගු වෙනවා. එහි සිටින දරුවාගේ මව සහ පියා දික්කසාද වෙනවා. මේ දරුවා මව සමඟ ජීවත් වෙනවා නම් ඔහුට එක්තරා ආකාරයක ජීවිතයක් ලැබෙනවා. එහි මව ඔහුගේ ඉදිරි ජීවිත කතාවෙහි සිටිනවා. නමුත් ඔහු පියාව තෝරාගත හොත් පියා සමඟ ඔහුට තවත් ජීවිත කතාවක් ලැබෙනවා. තුරුණු වියට එළැඹුණු විට ඔහුට ගැහැනු ළමුන් තිදෙනෙක් පාරේ බංකුවක වාඩි වී සිටිනු දකින්නට ලැබෙනවා. මේ තුන් දෙනාගෙන් එක් එක් අය හා විවාහ වුණහොත් ඔහුට ලැබෙන්නේ එකිනෙකින් විවිධ ආකාරයේ ජීවිත කතා තුනක්. මේ ආකාරයට හේතුවක් නිසා හට ගන්නා ප්‍රතිඵල මත විශ්ව තිබිය හැකි බව සමාන්තර විශ්ව හෝ බහු-විශ්ව තිබිය හැකි බව මේ මතයෙහි කියැවෙයි. ඉහත චිත්‍රපටයේ තේමාව වන්නේ අප ඒ අනුව එවන් තෝරා ගැනීමක් ඉදිරියේදී තීරණයක් නොගෙන සිටියහොත් තවත් ම ජීවිතයක් උරුම විය නොහැකිදැයි ප්‍රශ්න කිරීමයි. කොහොම නමුත්, මේ මත තුනෙන් දෙකක් හෝ තුනම එක් කරමින් ගොඩනැගුණු විශ්වයක් තිබෙන්නටත් බැරි නැහැ.

subquantum level
ක්වන්ටම් විද්‍යාවෙහි දියුණුවත් සමඟ අංශූන්ගේ හැසිරීම පිළිබඳ අධ්‍යයනයට දැන් නව මංපෙත් හෙළි වෙමින් පවතින නිසා මෙම කල්පිතයන් පිළිබඳ පෙරැයීම් කරන්නට, අත්හදා බැලීම් සැලසුම් කරන්නට සහ අත්හදා බැලීම් සිදුකර ඒවා ගැන අදහසක් ලබා ගන්නට විද්‍යාඥයන්ට අවස්ථාව උදා වී තිබෙනවා. විශ්වයේ ඇති ග්‍රහලෝක සංඛ්‍යාව, මන්දාකිණි සංඛ්‍යාව පිළිබඳ විවිධ කාලවලදී මත පළ කරමින් සිටියාක් මෙන් එය දැන් විශ්වය යන තත්ත්වයටම පුළුල්ව සිතන්නට පෙළඹී ඇත්තේ විශ්වයට මෙන්ම සිතීමට ද නිම් වළලු නොමැතිව අනන්තය තෙක් තවමත් විහිදී යන නිසායි. මෙම ගැටලුව විසඳා ගන්නට නොහැකි බව නිසා අප සිටින්නේ පරිගණකයක් තුළ බවත්, විශ්වය යනු කෙළවරක් නොමැති යමක් වන්නේ එය පරිගණකය තුළ මවන ලද දෘශ්‍ය මායාවක් නිසා බවත් විවිධ කතාවල සඳහන් වෙනවා. නමුත් එහිදී ඇතිවන ගැටලුව නම්, එම පරිගණකය සකසන ලද අයට ද විශ්වයක් ඇති බවයි. අප ද එම ආකාරයේම දෘෂ්ටි මායා ඇති පරිගණක ක්‍රීඩාවක් වැනි දෙයක් සැකසුවහොත් එහි ද ජීවීන් අප ඇති කළහොත් ඔවුන්ට ද අපටත් පහළින් ලෝකයක් හටගන්නා බවයි. ඔවුන් ද එවැන්නක් සැකසුවහොත් තවත් විශ්වයක් එය තුළ ගොඩ නැගෙනවා. ඒ අනුව ප්‍රශ්නය තවත් සංකීර්ණ වන්නේ අපෙන් තවත් ඉහළට සහ පහළට ද විශ්වයන් ඇති බවටයි. එවිට ස්ථර වශයෙන් විශ්ව පැවතිය හැකිය යන්න ගැන ද තවත් ලෙසකින් සිතිය හැකි වෙනවා.

ලෝකය යනු අපි ඇස, කන, නාසය, දිව, සම යන පංචේන්ද්‍රියයන්ගෙන් ගොඩනගා ගත් දෙයකුයි. මේ ඉන්ද්‍රියයන්ට හසු නොවන බොහෝ දෑ මෙහි තිබෙන්නට පුළුවන්. ඒ වගේම කෙනෙක් රතු පැහැය කියා දකින්නේ ඔබ දකින රතු පැහැයම නොවන්නට පුළුවන්. ඒත් දෙදෙනාම ඒ වෙත ඇඟිල්ල දිගු කොට තනි වචනයක් කී විට තවත් තෙවැන්නෙක් ඔහුට පෙනෙන දේටත් “රතු” යැයි කියන්නට පටන් ගන්නවා. එනිසා එය හරියට අන්ධයන් අලියා ගැන කීවාක් වගේයි. අපි තවමත් නියම ලෝකය හෝ විශ්වය දැක නැහැ. නමුත් එය මේ මේ ලෙස පැවතිය හැකි යැයි කියන්නට බහුතර සාක්ෂි, ගණිතමය තර්ක තිබෙනවා. කිසිදු විෂයයක් ඉගෙනගෙන අවසන් කළ නොහැකිවාක් මෙන්ම විශ්වයද ඉගෙන ගෙන අවසන් කරන්නට හැකි වන එකක් නැහැ. ඒ බලාපොරොත්තුව සහ කුතුහලයයි විද්‍යාව ජීවත් කරවන්නේ.
තඹරු විජේසේකර
dinamina
උපුටා ගැනීම් සහිතයි .... දයාබර පාථක සහෘදයිනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya 

No comments:

Post a Comment