Tuesday, January 15, 2019

2019 නව වසරේ සවිස්තර ලග්න පලාපල 2019 ඔබට කොහොමද? ( lagna palapala 2019 අබිරහස් අඩවිය - Abirahas Adawiya - ශාස්ත්‍රීය ළිපි)

2019 ජනවාරි මස පළමුවන දින ග්‍රිනිච් කාලමාන ක්‍රමයට අලුයම 00.00ට අඟහරුවාදාට එළිවෙන්න හෙවත් 2018.12.31 සඳු දින නව සම්මත ඔර්ලෝසු වේලාවට අනුව දෙදහස් දහනවය නව වසර උදාවේ. නව වසර උදාවන මොහොතේ ශ්‍රී ලංකාව බලගන්වන පරිදි ඉකාර හෙවත් පිංගල පක්ෂියාගේ පූර්ණ රාජ බලයෙන් යුතුව බුධ හිමි කන්‍යා ලග්නය උදාව තිබියදී ලග්නාධිපති තෙවැන්න අටවැන්න අධිපති අඟහරු හිමි වෘශ්චික රාශිය තෙවැනි භාවය වී එහි බුධ ගුරු ධනුවෙහිද අඟහරු මීනයෙහි ද ගෝචර ගමනේ නියුතුය. මේ අවස්ථාවේ ශ්‍රී ලංකා ලග්නය කුම්භ රාශියෙන් නව වැන්න ශුක්‍ර චන්ද්‍ර දහවැන්න හෙවත් කර්මස්ථානය ගතවද රාහු, කේතු, කටක හා මකර රාශිවල ගෝචර ගමනේ නියුතුව සිටී. වසර උදාවේදීම ජනවාරි මස 01 වැනි දින පෙ. ව. 9.50ට බුධ ගුරු හිමි ධනු රාශිගතවීම එදිනම රාත්‍රී 8.42ට සිකුරු කුජ හිමි වෘශ්චික රාශිගතවීමද සුවිශේෂී ග්‍රහමාරු ලෙස සැලකිය යුතුවේ.

මාර්තු මස 27 දින පෙ. ව. 7.45ට රාහු බුධ හිමි මිථුන රාශියේද, කේතු ගුරු හිමි ධනු රාශියේද රාශිගත වන්නේය. බ්‍රහස්පති ග්‍රහයා මාර්තු මස 29 දින රාත්‍රී 8.07ට ධනු රාශිගතව නැවත අප්‍රේල් 23 වන දින අලුයම 1.11ට වෘශ්චික රාශිගතව නොවැම්බර් මස 05 වන දින අලුයම 5.18ට දොළොස් වසරකට පසු තම ස්වක්ෂේත්‍ර භවනය වන ධනු රාශිගත වේ.

මෙම වසරේ සූර්යග්‍රහණ 2ක් ද චන්ද්‍රග්‍රහණ 2ක් ද සිදුවීමට නියමිතය. ඉතා කලාතුරකින් උදාවන ජය අංක 5ට හිමි වර්ෂයට අයත් වේ. පවතින ග්‍රහචාරය සහ ගෝචර ගමන් අනුවත් කලාතුරකින් උදාවන යහපත් වසරක් ලෙස සඳහන් කළ හැකිය.

මේ සියල්ල සලකා බලා පොදුවේ ලග්න දොළහටම බලපෑ හැකි සුබ, අසුබ මිශ්‍රඵල පහත දැක්වේ.

ජ්‍යොතීර්වේදී තෙරිපැහැ ආරියවංශ කීර්තිසිංහ

මේෂ

ලග්නාධිපති අඟහරු ග්‍රහයා දොළොස්වැන්නේ ගෝචර ගමනේ නියැලී සිටිනවිට වසර ආරම්භ වුවද, හත්වැන්නාධිපති සිකුරු සිවුවැන්නාධිපති සඳු සමඟ සංයෝගය සහිත හත්වැන්නේ මාලවී යෝග බලයෙන් යුතුව වසර උදාවේ. ඒ අතර අට සහ දොළහ අධිපති කුජ ගුරු පරිවර්තන යෝගයන් ද යෙදී තිබේ. මෙම ග්‍රහ තත්ත්වය මේෂ ලග්න හිමියන්ට පොදුවේ සුබදායක වේ. ගෘහ ජීවිතය ඉතා සතුටින් ගත කිරීමට ලැබේ. මාර්තු 7 දක්වා රැකියා ව්‍යාපාර කටයුතුවල දුර්වලතා ඇතිවුවද ඒවා පවත්වාගෙන යෑමට අපහසු නොවේ. උපතින් කුජ ගුරු සිකුරු බලවත්ව සිටි අය අති විශිෂ්ට ලෙස දියුණුවට පත්වන අතර රැකියා කටයුතු සාර්ථක වේ. විදේශ රැකියා හෝ සංචාර සඳහා අවකාශ සැලසේ. වසර ආරම්භයේ සිටම මංගල යෝග බල පැවැත්වේ. අප්‍රේල්වලින් පසු නඩුහබ, නීති ප්‍රශ්න, සොර සතුරු හෝ හදිසි අනතුරු බලපැවැත්වීමට හේතුවේ. වසර ආරම්භයේදීම යෙදී ඇති ගුරු කුජ පරිවර්තන යෝගය තුළින් බ්‍රහස්පති අටවැනි භාවයේ අසුබ විපාක මගහැරේ. මාර්තු 29, අප්‍රේල් 23 අතර කාලය ශේෂ අංක 1, 9 සිටින සේ ලොතරැයිපත් ගැනීම සුබදායක වේ.

අය 11 වැය 05
ජය වර්ණය - රතු, නිල්
රතු මැණික් පැලඳීම යහපත් වේ. අසුබ විපාක මගහැරීමට අදාළ ශාන්තිකර්ම ගැන සැලකිලිමත් වන්න.

වෘෂභ

වෘෂභ ලග්න හිමියන්ගේ ලග්නාධිපති සිකුරු තෙවැන්නාධිපති සඳු සමඟ රෝගස්ථානගතව සිටියදී වසර උදාවේ. ලග්නයෙන් අටවැන්න සෙනසුරු ගෝචර ගමනේ නියැලෙමින් අෂ්ඨමහ ඒරාෂ්ඨකයක් ද බලපවත්වනු ලබයි. වර්ෂාරම්භයේදීම සෙම් බහුල රෝගාබාධ සහ ආමාශගත, අග්න්‍යාශ, වකුගඩු මූත්‍රාවාහිනී, අන්ත්‍රවෘද්ධි වැනි අවයවයන්හි විෂමාචාර අජීර්ණ, වායුපීඩාවනට හේතු වේ. බුධ ගුරු දසා අවදසා ගත කරන අයට බාධා අවහිරතා මධ්‍යයේ වුවද යුගදිවිය සාර්ථකව පවත්වා ගත හැකිය. රැකියා ව්‍යාපාර කටයුතුවලින් පාඩු පිට පාඩු, අලාභ සහිත වේ. විදේශ සංචාර යෙදුණ ද ඒ සඳහා බාධා මතුවේ. මාර්තු 7 දිනෙන් පසු හදිසි අනතුරු, විසකුරු සතුන්ගෙන් විපත් සහිතය. පවුලේ වැඩිහිටියකුගේ අභාවය හෝ බලවත් අපල සහිතයි. රාහු කේතු සෙනසුරු මහ දසා උපදසා ගත කරන අයට මාරක අපල සහිතයි. උත්‍රසල, පුවසල නැකැත්වලින් උපන් අයට සෙනසුරු අෂ්ඨම හා ජන්ම චන්ද්‍ර ඒරාෂ්ඨක එකට යෙදෙන බැවින් අදාළ ශාන්තිකර්ම කර දිනපතා ආගමික චාරිත්‍රවල යෙදීමෙන් ආරක්ෂාව සැලසේ. ජය අංක 2, 8 වේ.

අය 05 වැය 14
ජය වර්ණය - සුදු, ක්‍රීම්, අයිවරි
මුතු, දියමන්ති, සුදු මැණික් පැලඳීම යහපති

මිථුන

මිථුන ලග්නය හිමි ලග්නාධිපති බුධ බ්‍රහස්පති සමඟ හයවැන්නෙහි ගෝචර ගමනේ නියැලෙමින් සිටියි. අට නවය හිමි සෙනසුරු වසර පුරාම හත්වැනි භාවගතව ගමන් කිරීම යහපත්ය. විශේෂයෙන් බුධ සෙනසුරු මහ දසා, අන්තර් දසා ගත කරන්නන්ට තම කටයුතු අපේක්ෂිත අයුරින් සාර්ථක කර ගැනීමට හැකිවීම, රැකියා ව්‍යාපාර කටයුතුවල දියුණුව, විවාහ අපේක්ෂිත අයට යහපත් මංගල යෝග, හදිසි ධන ලාභ, ආත්ම අභිමානය, දියුණුව, ජයග්‍රහණය නිරායාසයෙන්ම ලබාගත හැකියි. 2019 මාර්තු 7 දින රාහු ලග්නගතවීම මත වැරදි මානසික චින්තන කරා සිත යොමුවීම හා සෙනසුරු, රාහුගේ සප්තම දෘෂ්ඨිය මත කල්පනාකාරී නොවන අය නරක සමාජ ඇසුරට පත්වීමෙන් අනාගතය අඳුරු කර ගැනීමට අවකාශ ඇති බැවින් තම ඇසුරට පත්වන මිතුරන් කෙරෙහි කල්පනාකාරී වන්න. ගුප්තමය කටයුතුවල නියුතු අයට මහත් ධන ලාභ ලැබීමේ අවකාශ සහිතය. පවුලේ බන්දු වර්ගයා හෝ ළඟම ඥාතීන් සමඟ ගැටීම් ඇතිකර ගැනීමට අවස්ථාව ඇති අතර හදිසි සතුරු කරදර, අනතුරු, උස් ස්ථානවලින් සිදුවන වැටීම්, තැලීම් හා විදුලියෙන්, ගින්නෙන් ද විපත් සිදුවිය හැකි බැවින් ඉතාමත් ප්‍රවේසම් විය යුතුය.

අය 11 වැය 11
ජය අංක 3, 5
ජය වර්ණය - කොළ, කහ
පැලඳිය යුතු මැණික් පච්ච, බුධ, ගුරු දිනයන්හි 3, 3 ශේෂ සහිත ලොතරැයිපත් ගැනීම සුබදායක වේ.

කටක

ලග්නාධිපති සඳු සිකුරු සමඟ සිවුවැන්නේ ගතව සිටියදී වසර උදාවේ. සඳු සමඟ සංයෝග වූ සිකුරු සිවුවැන්නේ මාලවී යෝග බලයකින් යුතුවේ.පහ, නවය ගුරු කුජ පරිවර්තන යෝග බලය ත්‍රිකෝණගතව යෙදීම බුධ ගුරු පස්වැනි භාවයේ සංයෝගය යහපත් වේ. අධ්‍යාපනයේ නියුතු අයට සාර්ථකව එම කටයුතුවල නියැලීම, උසස් අධ්‍යාපනය සඳහා යොමුවන අයට ඒ සඳහා අවස්ථාව යොමුවීම. රැකියා, විවාහ කටයුතු සාර්ථක ලෙස සිදුකර ගැනීම ආදී කටයුතු සඳහා අවස්ථානුකූලව පොදුවේ යහපත් වසරකි. එහෙත් සෙනසුරු ග්‍රහයා රවි සමඟ හයවැනි භාවයේ ගමන සහ මාර්තු 7 දින රාහු 12 වැනි භාවගතව කේතු හයවැනි භාවයේ ශනි සමඟ සංයෝගය හදිසි සතුරු කරදර, ශරීරයට වසවිෂ ගතවීම හෝ අක්මා රෝග, බෝවන රෝග පහසුවෙන් වැලඳීම, තමන් සතු වටිනා දෑ නැතිවීම හෝ සොරුන් විසින් පැහැර ගැනීම, හදිසි ජල විපත් ආදියෙන් පීඩා ඇතිවීමට ද බොහෝදුරට හේතු වේ. එම අසුබ විපාක සහිත වුවද සිකුරු, ගුරු, කුජ වැනි මහ දසා ගත කරන අයට හදිසි ධන ලාභ, භූමි ලාභ, වාහන ලාභ, දේපළ, ඉඩකඩම් මිලදී ගැනීම, හදිසි විනෝද සංචාර ගමන් හා ආගමික හෝ සමාජ සේවා කටයුතුවල නියැලීමේ අවස්ථා සැලසීමට ද හේතුවේ. මෙම වසරේ ඔබට 3, 5 ජය අංක වේ.

අය 5 වැය 8
ජය වර්ණය - සුදු, ක්‍රීම්
පැලඳිය යුතු මැණික් - මුතු
ගුප්තමය හදිසි ලැබීම් සහිත බැවින් 3, 5 ශේෂ ගළපා ලොතරැයිපත් ගැනීම යහපත්ය.

සිංහ

ලග්නාධිපති රවි සෙනසුරු සමඟ ත්‍රිකෝණගතව පස්වැන්නේ ගමන් කරයි. බුධ ගුරු සිවුවැන්නේ සහ සඳු සිකුරු තුලා රාශිගතව මාලවී යෝග බලයකින් ද, බ්‍රහස්පති සහ අඟහරු පරිවර්තනය හතර සහ අටවැනි භාවයන්හි යෙදීමෙන් වසර ආරම්භ වේ. ගෝචර ගමන් අනුව මෙම ග්‍රහ ශක්තිය යහපත්ය. එහෙත්, රවි ශනි සංයෝගය සහිත පස්වැන්නේ ගමන අයහපත්ය. ගෘහ ජීවිතය යහපත්වේ. රැකියා ව්‍යාපාර ආදී ජීවන වෘත්තියමය කටයුතු සාර්ථකව කරගෙන යා හැකිය. බන්දු මිත්‍ර කලත්‍රයාදීන් එකට එක්ව ආගමික කටයුතු උත්සව යනාදිය නිවෙස තුළ සිදු කිරීමේ අවකාශ සැලසේ. වාහන, භූමි ලාභ. අපේක්ෂා කරන අයට දුෂ්කරතා මධ්‍යයේ වුව එම කටයුතු සාර්ථක කරගත හැකිය. විදේශ සංචාර සඳහා යහපත්ය. අධ්‍යාපන කටයුතු, තරග විභාග ආදියට අයහපත් වේ. සෙම් රෝග, ආම රෝග, ලේ විෂවීම් බලපෑමට හේතුවේ.

අය 5 වැය 8
ජය වර්ණය - රතු
ජය අංක 1, 4 ශේෂයට ලොතරැයිපත් මිලදී ගැනීම ධනලාභ සඳහා හේතුවේ. අධ්‍යාපනයේ නියුතු අය සූර්ය මණ්ඩල ආරක්ෂා ශාන්ති ක්‍රම යෙදීමෙන් බාධක දුරුවී අපල සමනය කරගත හැකිය.

කන්‍යා

කන්‍යා ලග්න හිමියන්ට අසුබ පල අධික වුවද, සුබ පල මධ්‍යම වූ වසරකි. සෙනසුරු ග්‍රහයා වසර පුරාම සිවුවැන්නේ ගෝචරව යෙදී සිටියි. රවී සමඟ සුසංයෝගය විෂම වේ. ගෘහ ජීවිතයට නිතර නිතර විපත් කරදර ගලාඑයි. පවුලේ ප්‍රශ්න, ගැටීම්, ආරවුල්, සතුරු කරදර, බාහිර උවදුරු ආදී අනපේක්ෂිත ගැටලු මතුවීමෙන් මානසික අසහනය ගෙනදේ. යහපත් ලෙස සිදුවන ක්‍රියාවන් පසුව මහත් පීඩා ගෙනදීමට හේතුවීම වැනි අපලකාරී තත්ත්වය බහුල වශයෙන් බලපෑමට අවකාශ සැලසිය හැකිය. ධනලාභ ලැබීමට හේතුවුවද බාහිරව ඇතිවන කරදර නිසා ලැබෙන ධනය නාස්ති වී යයි. ධනය වැය කර නව ව්‍යාපාර ආරම්භ කළද ඉන් අපේක්ෂිත ප්‍රතිඵල නොලැබේ. අධ්‍යාපනයේ නියුතු වූවනට බාධා අසනීප මධ්‍යයේ කරගෙන යාමට සිදුවේ. නිතර අලසභාවය, නිදිමත ගති ඇති කරයි. විවාහ අපේක්ෂිත සඳු, සිකුරු, කුජ, මහදසා ගත කරන අයට යහපත්වේ. දියුණුව සැලසේ වසරේ අය වැය ශේෂය 11යි.

ජය අංක 2, 5
ජය වර්ණය - කොළ
පච්ච මැණික් පැලඳීම, ග්‍රහ ශාන්තිකර්ම හා ආගමික කටයුතුවල නියැලීමෙන් අපල සමනය කරගත හැකිය.

තුලා

ලග්නාධිපති සිකුරු ලග්නගතවී සිටියදී නව වසර උදාවේ. බුධ ගුරු දෙවැනි භාවයේ සෙනසුරු තෙවැන්නේ සහ අඟහරු හය භාවයේ ගෝචර ගමනේ නියැලී සිටිති. බුධ, සඳු, සිකුරු දසා ගතකරන්නන්ට මෙම වසර යහපත් වේ. හදිසි ධනලාභ සහිතය. කලක සිට අපේක්ෂා කරගෙන තිබූ මෙතෙක් ඉටු නොවූ කටයුතු සාර්ථකත්වයට පත්කර ගැනීමට අවකාශ සැලසේ. නඩුහබ, නීති ප්‍රශ්නවලින් සහනය සැලසේ. පවුලේ සමගිය සමාදානයට හේතුවේ. සිකුරු මහ දසා ගත කරන විවාහ අපේක්ෂිත අයට සාර්ථක විවාහ මංගල කටයුතු සිදුවේ. අප්‍රේල් සිට සැප්තැම්බර් දක්වා මංගල අවස්ථා යෙදේ. භූමිය සතු වස්තූන්ට හිමිකම් ලැබේ. විදේශ රැකියා හෝ සංචාර අපේක්ෂා කරන අයට ඒවා ඉටුකර ගත හැකිය. තුලා ලග්නය හිමි කාන්තා පක්ෂයට තම අපේක්ෂාවන් බොහෝ පහසුවෙන් ඉටුකරගත හැකි වසරකි.

ජය අංකය 1, 4
අය 05 වැය 14
ජය වර්ණය - සුදු, ක්‍රීම්, අයිවරි
ධනලාභ හිමි වසරක් බැවින් අංක ශේෂය තම ජය අංකය ශේෂ කොට ලොතරැයිපත් ගැනීම යහපත් ප්‍රතිඵලවලට හේතුවේ.

වෘෂ්චික

වෘශ්චික ලග්න හිමියන් සෙනසුරු ලග්න ඒරාෂ්ඨකයේ අවසාන භාගය ගතකරනු ලබයි. උපතින් ලග්නගත සඳු සිටින අය ලග්න ජන්ම චන්ද්‍ර ඒරාෂ්ඨක එකට ගෙවන බැවින් මාර්තු මස 7 දින සිට ඉදිරි කාලය අතිශයින් ප්‍රවේසම් විය යුතුවේ. හදිසි අනතුරු, වාහන අනතුරු, දරුණු විපත් ඇතිවීමට හේතුවේ. සොර සතුරු කරදර, විසකුරු සතුන්ගෙන් වන හානි, ජලයෙන් සිදුවන විපත්, බෝවන රෝග ආදියට බොහෝදුරට හේතුවන බැවින් මෙම වසර කරදර, ලෙඩදුක්, විපත් බහුලවන වසරකි. රැකියා කරන ස්ථානවල සතුරු විපත් අධික වේ. නිකරුණේ බොරු චෝදනාවලට ලක්වේ. නව ව්‍යාපාර ආරම්භය හා ඒ සඳහා ණය ගැනීම්, තිබෙන ධනය ව්‍යාපාර සඳහා යෙදවීම අහිතකර වේ. පාඩු අලාභ අධික වේ. අපේක්ෂා භංගවේ. අධ්‍යාපන කටයුතුවල නියුතු අය හිතුවක්කාර ලෙස නරක මිත්‍ර ඇසුරට යොමුවීමට හේතුවේ. බුධ, ගුරු, කුජ මහ දසා, අතුරු දසා ගෙවන අයට මධ්‍යම ප්‍රතිඵල සහිත‍වේ. ඔවුන්ගේ රැකියා කටයුතු සහ විවාහ මංගල කටයුතු බාධක මධ්‍යයේ වුවද සාර්ථකව කරගත හැකිය. ධන ලාභ අඩුය. එහෙත් උපතේ ග්‍රහ බලය අනුව උරුම හිමිකම් හා ධනෝපායන ක්‍රම සාර්ථක කරගත හැකිය. ඔබේ ජය අංකය 3, 6

අය 08 වැය 14
ජය වර්ණය - රතු
අංක 9, 6 ශේෂ යෙදූ රේස් සුදු ආදි තරගවලින් ජය අත්කර ගත හැකිය.

ධනු

ධනු රාශිගතව වසර පුරාම සෙනසුරු ගෝචර ගමනේ නියැලීමෙන් සෙනසුරු ලග්න ඒරාෂ්ඨකය තදින්ම ක්‍රියාත්මකව පවතී. හය සහ එකොළහ අධිපති සිකුරු සඳු සමඟ එකොළොස් වැනි භාවයේ ද ලග්නාධිපති බ්‍රහස්පති බුධ සමඟ ව්‍යසන ස්ථානය වන දො‍ෙළාස් වන භාවයේද ගමන් කරන මෙම වසර ධනු ලග්න හිමියනට කාය, චිත්ත පීඩා නිතර නිතර බලපැවැත්වීමට හේතුවේ. බලාපොරොත්තු නොවන කරදර ගලාඑයි. අනුන්ගේ කටයුතු, උත්සව, මංගල කටයුතු, වෙනත් පරිබාහිර කටයුතු සඳහා වැයපස ඉහළ යයි. නිතර නිතර බොරු චෝදනා, අපවාද, කරන කියන වැඩ කටයුතුවල අවුල් වියවුල්, විටෙක ලාභ, වැඩිපුර අලාභ, ඥාති වර්ගයාගේ කරදර, පවුලේ අසමගිය, රැකියා කරන ස්ථානයේ තමා සමඟ එකට කටයුතු කරන අයගේ විරෝධතා‍ ‍හෝ අකටයුතුකම්, පියපස ඥාතියකුගේ අභාවය ආදී අහිතකර විපාක වැඩිපුර ක්‍රියාත්මක වන වසරකි. නැතහොත් තම වියදමින් අනුන් සමඟ සංචාරක ගමන් බිමන් යෑමෙන් සමාජ හා ආගමික කටයුතු සඳහා වියදම් කිරීමෙන් තමා සතු මුදල් වැයවීමට හේතු විය හැකිය. උපතින් කුජ සිකුරු බලවත්ව දැනට එම මහදසා, අතුරු දසා ගෙවන අයට රැකියා, විවාහ මංගල කටයුතු, තරග විභාග, උසස්වීම්, විදෙස් සංචාර ආදී කටයුතු සඳහා අවකාශ සැලසේ. අන් අයට අහිතකරයි. අධ්‍යාපන කටයුතුවල නියුතු අයට මධ්‍යස්ථ වසරකි. 3, 6 අංක බලවත් වේ.

අය 08 වැය 14
ජය වර්ණය - කහ
ජය අංක ශේෂයනට ලොතරැයිපත් ගැනීම යහපත් වේ.

මකර
ලග්න ඒරාෂ්ඨකය ආරම්භක වසරකි. සෙනසුරු 12 වැන්නේ ලග්නාධිපතියා ගෝචර වී ඇත. බුද, ගුරු 11 සහ ශුක්‍ර මාලවි යෝග බලයෙන් දහවැනි භාවයේ ගමන් කරයි. සිකුරු, බුධ, ගුරු, සඳු මහදසා උපදසා ගත කරන අයට යහපත් වේ. කෙතරම් බාධා, අවහිර, කරදර යෙදුණද සියල්ල මැඩගෙන ඉදිරියට යෑමේ ශක්තිය ඇත. නව යාන වාහන ගැනීම, ව්‍යාපාර ආරම්භ කිරීම, විදෙස්ගත ධන ආයෝජන කටයුතුවල නියුතු වන්නන්ට උසස් ප්‍රතිඵල හිමිකර ගත හැකිය. මැතිවරණ තරග, විභාග, සම්මුඛ පරීක්ෂණ ආදියෙන් ජය ලැබේ. රාහු, කේතු, රවි, ශනි මහ දසා ගත කරන්නන්ට අහිතකර වේ. පවුල් ආරවුල්, මත්ද්‍රව්‍ය, මත්පැනට යොමුවීම, නීති ප්‍රශ්න ආදී කටයුතුවලින් විපත් සිදුවීමට හේතුවේ. රාහු දසා ගත කරන අයට විවාහ, මංගල කටයුතු අසුබ වේ. රැවටීම්වලට අසුවී බරපතළ අලාභ, පාඩු සිදුවිය හැකිය. කෙසේ නමුත් මකර ලග්න හිමියන්ට අසුබපල සහිත අවස්ථා ඇති අයට පවා මධ්‍යස්ථ ලෙස සුබපල උදාකරගත හැකිය.

අය 02 වැය 14
ජය වර්ණය - නිල්
සෙනසුරු රාහු අපල සඳහා ශාන්තිකර්ම යෙදීම, ආගමික වත්පිළිවෙත් කිරීමෙන් අපල දුරුවී සුබපල වර්ධනය කරගත හැකිය.

කුම්භ

කුම්භ ලග්නය හිමි ලග්නාධිපති සෙනසුරු ග්‍රහයා අයස්ථානගතව සිටියදී නව වසර උදාවේ. විශේෂයෙන් බුද ගුරු දහවැන්න සහ සඳු සිකුරු නව වැන්නේ රාහු හයවැන්න, කුජ දෙවැන්නේ ගෝචර ගමනේ යෙදෙමින් ආරම්භ වන මෙම වසර කුම්භ ලග්න හිමියනට බොහෝ සුබපල සහිත වසරක් ලෙස සඳහන් කළ හැකිය. රැකියා ව්‍යාපාර කටයුතුවල දියුණුව, රාජ්‍ය අනුග්‍රහය ලැබිය යුතු අයට එය නිසිලෙස ලැබීම, නව ව්‍යාපාර, ධන ආයෝජන කටයුතු සාර්ථකවීම, විදෙස් රැකියා හා පදිංචි, රැකියා අපේක්ෂිත අයට අදාළ කරුණු සාර්ථකවීම්, දිගු කලක් තිස්සේ ඇදි ඇදී තිබූ නීති ප්‍රශ්න, නඩු ආදියෙන් ජයග්‍රහණය අත්වීම, ගොවිතැන් ව්‍යාපාර, කෘෂිකාර්මික කටයුතුවල නියුතු අයට ඒවායින් සාර්ථක ප්‍රයෝජන අත්වීම, හදිසි ධන ලාභ, තම පාරම්පරික උරුමයන් නිරවුල්වීම, කල්ගතව බලපැවැත්වූ ලෙඩ රෝග ආදියෙන් නිසි සුවය ලැබීම ආදි සුබපල අධිකව ලැබෙන යහපත් වසරකි. උපතේදී පැවති ග්‍රහ බලයේ බල දුබලතාවය මත ප්‍රතිඵල අඩු වැඩි විය හැකිය. මැණික්, ස්වර්ණාභරණ, ඉඩකඩම්, දේපළ ව්‍යාපාරිකයනට අධික සුබපල සහිතය.

ජය අංක 2, 3
අය වැය මධ්‍යස්ථව ද 2: 14 සේ පවතී
ජය වර්ණය - රතු, නිල්
ජාතික ආගමික කටයුතු සඳහා වැය අධික වේ. කාකනිල් මැණික් පැලඳීම යහපති. 2, 3 ශේෂ ජය පල සහිතය.

මීන

ලග්නාධිපති බ්‍රහස්පති වෘශ්චික රාශියේ බුධ සමඟ ගෝචරව සිටිමින් රවි ශනි දහය සහ කුජ ලග්නගත සිකුරු, සඳු අ‍ටේ සිටින අතරතුර වසරේ ආරම්භය සිදුවේ. රැකියා ව්‍යාපාර ආදියේ පිබිදීම අඩුය. නීති ප්‍රශ්නවලට මැදිවිය හැක. විටෙක ලැබීම් අතින් යහපත් වේ. විටෙක අනේකවිධ අයුරින් පිරිහේ. ආගමික අංශයන්හි ප්‍රබෝධවත් ලෙස යෙදෙමින් ක්‍රියාකරයි. යුගදිවි ගත කරන අය අතර අවිනිශ්චිත බව, සැක සහිත තත්ත්වය නිසා නිතර ආරවුල් වියවුල් ගැටීම් ඇති කර ගනී. නිතර හිසේ ආබාධ, ආමාශගත ආබාධ ඇති කරයි. අනියම් සබඳතාවයනට පැටලීමෙන් ගැටලු සහගත ප්‍රශ්න, නීතියෙන් දඬුවම් ලැබීම, අප්‍රසාදය වැනි අහිතකර කරදරවලට පැටලීමට හේතුවනු ඇත. තවද මියගිය ඥාති උවදුරු, භූත බලපෑම් ආදි අමනුෂ්‍ය උවදුරු තුළින් ‍රෝගාබාධ ඇතිකළ හැකිය. අධ්‍යාපන කටයුතු බාධක මධ්‍යයේ කරගෙන යා හැකිය. පොදුවේ ගත්විට මෙම වසර මධ්‍යම ප්‍රතිඵල සහිතව ගෙවීයෑමට හේතුවේ. මීන ලග්න හිමි ඔබගේ ජය අංකය 1, 4

අය 08 වැය 14
ජය වර්ණය - රතු, කහ
පුෂ්පරාග, වෛරෝඩි මැණික් පැලඳීම, සිල්වතුනට දන්දීම, රෝගීන්ට උපකාර කිරීම ආදී ක්‍රියා තුළින් අපල දුරුවී සහනය සැලසේ.

සටහන - චතුමී පිටිපන
..........................................................................................
උපුටා ගැනීම් සහිතයි .... දයාබර පාථක සහෘදයිනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya 

No comments:

Post a Comment