Sunday, December 30, 2018

පැරිස් නගරය යටින් මතුවුණු මළගිය ඇත්තන් සැරිසරන අත්භූත පාතාලයක් (The Secrets of the Mysterious Underworld of the Paris Catacombs Revealed අබිරහස් අඩවිය - Abirahas Adawiya - හොල්මන් කතා. holman katha)

ලොව සුන්දරම අග නගරයක් ලෙස සැලකෙන ප්‍රංශයේ පැරිස් නගරය බොහෝ ප්‍රංශ වැසියන් හඳුන්වන්නේ ලා විල් ලුමියා යන අන්වර්ථ නාමයෙනුයි. එහි අරුත වන්නේ ිආලෝකයේ නගරය යන්නයි. කෙසේ වුවත් මිලියන 12කට අධික ජනගහනයක් වාසය කරන මෙම කාර්යබහුල යුරෝපා අග නගරයේ පොළොව යටින් භූගත අවකාශයේ පැරීසියේ පැරැණි පදිංචිකරුවන් මිලියන 6කට අධික සංඛ්‍යාවකගේ ශේෂයන් තැන්පත් කොට ඇති බව බොහෝ දෙනා නොදන්නා කරුණක්. අතීතයේදී ඇතැමුන් මෙය හඳුන්වන ලද්දේ ප්‍රංශයේ මළවුන්ගේ අධිරාජ්‍යය ලෙසිනුයි.
වර්තමානයේ ලෝකයා මෙය හඳුන්වනු ලබන්නේ පැරීසියේ උමං සුසානය යන අරුත ඇති ිපැරිස් කැටකොම්බ්ස් යන නමින්. පුරාණයේ හුනුගල් ලබා ගැනීම සඳහා කණින ලද පතල් උමං පද්ධතියකින් මෙය නිර්මාණය වී තිබෙනවා. කිලෝමීටර් 300කට අධික ප්‍රදේශයක් පුරා ජාලයක් ආකාරයෙන් පැතිර ගොස් ඇති මෙම උමං මාර්ගයේ බිත්ති මියගිය පුද්ගලයන්ගේ හිස් කබල් ඇතුළු අස්ථි කොටස්වලින් එක්තරා රිද්මයකට අනුව සරසා ඇති අයුරු වර්තමානයේ එහි ඇතුළු වන්නකුට දැක ගත හැකිය.
මේ උමං ජාලය තුළ පිහිටි පතල්වල හුනුගල් රෝමානු යුගයේ සිට නගරයේ ගොඩනැඟිලි ඉදිකිරීම සඳහා අමුද්‍රව්‍ය ලෙස භාවිත කොට තිබෙන බව සඳහන්. කෙසේ වුවද 18 වැනි සියවසේ දෙවැනි අර්ධයේ සිට පැරිස් නගරය යටින් පිහිටි මේ ප්‍රදේශය සොහොන් ගැබක් බවට පරිවර්තනය කොට තිබෙනවා.
18 වැනි සියවසේදී පැරිසිය විශාලතම සුසානය වූ 'ලූ ඉනොසොන්' වැනි සුසාන භූමිවල ඉඩකඩ මදි වීම නිසා මිනී වළදැමිමේ ගැටලු සහගත තත්ත්වයක් මතුවූ අතර ඒ හේතුවෙන් ඇතැම් මිනී වළ දැමීම නිසි පරිදි සිදු කිරීමට හැකියාව ලැබී නැහැ. ඇතැම් අවස්ථාවල සුසානයේ මිහිදන් කළ සම්පූර්ණයෙන් විනාශයට පත් නොවූ මිනී පවා ගොඩට ගැනීමට සිදුවී තිබෙනවා. මේ හේතුවෙන් එම සුසානය අවට ජනතාවට මිනීවල දුර්ගන්ධය නිසා ඉතා අසීරු ලෙස දිවි ගෙවීමට සිදුවූ අතර විසබීජ හේතුවෙන් රෝග වැලඳීමේ අවදානමක්ද මතුවූ බව සඳහන්. මේ ගැටලු සහගත තත්ත්වය නිරාකරණය කිරීම සදහා 1763දී 15 වැනි ලුවී රජු විසින් රාජාඥාවක් නිකුත් කරමින් මියයන පුද්ගලයන් අග නගරයේදී භූමදානය කිරීම තහනම් කරනු ලැබුවා. කෙසේ වුවද පැරීසියේ පල්ලි මේ රාජාඥාව කෙරෙහි කැමැත්තක් නොදැක්වූ අතර ඔවුන් ඊට විරෝධය පෑවා. එහි ප්‍රතිඵලය ලෙස 1780 දක්වා එය යට ගොස් තිබුණා.
කෙසේ වුවද 1780 ඇද හැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් ලූ ඉනොසොන් සුසාන භූමියේ මායිම් තාප්ප සම්පූර්ණයෙන් බිම පතිත වූ අතර මේ හේතුවෙන් නිසි පරිදි වළ නොදැමූ සහ විනාශ නොවූ සිරුරු අසල ඉඩකඩම් වෙත ඉබාගාතේ පාවී ගියා. එබැවින් මේ වතාවේ ප්‍රංශ බලධාරීන් කලින් පැවැති නියෝගය බලාත්මක කිරීම සඳහා කටයුතු කළා. එතෙක් තෝම්බ් ඉස්වා යනුවෙන් හඳුන්වන ලද හුනුගල් පතල පල්ලිය මඟින් ආශීර්වාද ගන්වා කැප කොට එය පැරිස් කැටකොම්බ්' බවට පත් කරනු ලැබුවා.
අනතුරුව වසර දෙකක කාලයක් ගත කරමින් ලූ ඉනොසොන් සුසානයේ ශේෂ වී තිබූ සියලු අස්ථි කොටස් නැවත මේ භූගත සොහොන් ගැබේ මිහිදන් කිරීමට කටයුතු කළා. ඉන්පසු පැරීසියේ පිහිටි සියලු සුසාන භූමිවල මිහිදන්ව තිබූ අස්ථි කොටස් මෙහි තැන්පත් කිරීම සිදුවූ අතර ප්‍රංශ විප්ලවයෙන් පසු මියගිය පුද්ගලයන්ගේ සිරුරු මේ තුළ මිහිදන් කිරීමද ආරම්භ කළා. 1859 වනවිට පැරීසිය සියලු සොහොන්වල තිබූ අස්ථි කොටස් සියල්ල මෙහි තැන්පත් කොට නිම කළා.
ඉන් වසර 7කට පසු මේ භූගත සුසානය පොදු ජනතාව වෙනුවෙන් විවෘත කරන ලද අතර එය කිලෝමීටර් 300ක ප්‍රදේශයක් පුරා ජාලාකාරයෙන් පැතිර තිබුණා. අද වනවිටත් මෙය මහජනතාව වෙනුවෙන් විවෘතව පවතිනවා. ඒ ඉතා සීමිත ප්‍රදේශයක් පමණයි. 1955 සිට මේ උමං ජාලයේ එක් ස්ථානයකින් හැර සෙසු ස්ථානවලින් ඊට පිවිසීම තහනම් කොට තිබුණා. නමුත් එම නියෝග නොතකා 1970 හා 80 දශකවල 'කැටෆිල්ස්' යනුවෙන් තමන් හඳුන්වා ගනු ලබන ත්‍රාසය මුසු ක්‍රියාවල යෙදෙන පැරීසියේ නීති විරෝධී කණ්ඩායම් මේ උමං මාර්ගය තුළ විවිධ ක්‍රියාවල නිතර වන්නට පටන් ගත්තා. වතාවක් එක් කණ්ඩායමක් විසින් එහි අංගසම්පූර්ණ සිනමා ශාලාවක්ද ඉදිකොට ඊට සම්බන්ධ 'බාර්' එකක්, අවන්හලක් සහ පෞද්ගලික කාමර කිහිපයක්ද පවත්වාගෙන ගොස් තිබුණා.
වර්තමානයේ දිනකට 300ක් පමණ 'කැටෆිල්ස්' ක්‍රියාකාරීන් රහස් ස්ථානවලින් මේ උමං මාර්ගයට ඇතුළු වී විවිධ ක්‍රියාවන්හි නිරත වන අතර ඔවුන් කැටෆිල්ස් නොවන පුද්ගලයන් හා සංචාරකයන් එහි ඇතුළු වීම වැළැක්වීමට සඳහා නිරන්තරයෙන්ම උත්සාහ දරන බව සඳහන්. කෙසේ වුවද සංචාරකයන්ගෙන් විශාල මුදලක් ලබා ගෙන ඔවුන්ව නීති විරෝධී අයුරින් මේ උමං තුළ රැගෙන යන කැටෆිල්ස් කල්ලිද නැතිවා නොවේ. මේ කණ්ඩායම් බොහෝ විට විදුලි ලාම්පු සහිත හෙල්මට් හිස පැලඳගෙන උමං තුළ ඇවිදින අතර මඟ සොයා ගැනීමේ පහසුව තකා ඔවුන් විසින් නිර්මාණය කර ගන්නා ලද නාමයන් වීදි නාම අයුරින් උමං බිත්තිවල කොටා තිබෙන අයුරු දැකගත හැකිය.
ගැමුණු රත්නායක
...................................................................................................................
උපුටා ගැනීම් සහිතයි .... දයාබර පාථක සහෘදයිනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya 

No comments:

Post a Comment