දාගැබ, චෛත්‍යය, වෙහෙර, ස්‌ථූපය ආදී වශයෙන් බෞද්ධ ආගම මූලික කොටගත් ස්‌මාරක විශේෂයක් පවතී. පාලි භාෂාවෙන් ථූප යන ශබ්දයෙන් ද සංස්‌කෘත භාෂාවෙන් එය ස්‌ථූප යන ශබ්දයෙන් ද හැඳින්වෙන අතර ධාත+ගබ්බො හෙවත් ධාතු ගර්භය දාගැබ වශයෙන් සාමාන්‍ය ව්‍යවහාරයට පැමිණ ඇත. බෞද්ධ ධර්මයට අනුකූලව ත්‍රිsවිධ චෛත්‍යයන් අතරින් ප්‍රථම ස්‌ථානය හිමි වන්නේ ද ස්‌ථූපය සඳහාය. සජීවී වස්‌තූන් වශයෙන් සැලකෙන ධාතූන් වහන්සේලා තැම්පත් කර නිර්මාණය කර ඇති හෙයින් බෝධීන් වහන්සේට හා බුදු පිළිම වහන්සේ වෙත ලබා දී ඇති ස්‌ථාන අභිබවා ස්‌ථූපය ප්‍රමුඛස්‌ථානයට පැමිණ ඇත. ඓතිහාසික ස්‌මාරකයක් වශයෙන් සලකා බැලූ විට ස්‌ථූපය සොහොන් ස්‌මාරකයක් වශයෙන් ද පෙන්වා දිය හැකිය. ඊජිප්තු වාසීන් තනා ඇති පිරමීඩ අභ්‍යන්තරයේ පවතිනුයේ මමිකරණයට ලක් කරන ලද මෘතශරීරයන් ය. එහෙයින් ඒවා පිරමීඩාකාර සොහොන් වශයෙන් සලකනු ලබයි. බුදුන් වහන්සේගේ ශාරීරික ධාතූන් වහන්සේලා තැම්පත් කර හෝ එසේ නැතිනම් ශ්‍රේෂ්ඨ බෞද්ධ නරපතීන්ගේ භෂ්මාවශේෂ තැම්පත් කර ස්‌ථූප නිර්මාණය කර ඇති හෙයින් ස්‌ථූපයන් ද සොහොන් විශේෂයකි. මෙම සංකල්පයම කෞතුකාගාරකරණයේ මූලාරම්භය වශයෙන් ද අවැසි විටෙක අදහස් ඉදිරිපත් කිරීමේ යම් හැකියාවක් පවතී. එනම් කෞතුකාගාරයක් මගින් කෙරෙනුයේ පුරාවස්‌තූන් ආරක්‌ෂා කර රැක ගැනීමකි. ඉදිරි පරපුර වෙත දායාද කිරීමකි. ස්‌ථූපයන් තුළ නිධන් කර බුදුන් වහන්සේගේ හා රහතන් වහන්සේලාගේ ධාතූන් තැන්පත් කර තිබීමෙන් ඒවා වසර දෙදහස් පන්සියයකටත් අතීත යුගයේ සිට අද දක්‌වා ඇතැම් ස්‌ථූපයන් තුළ තවමත් සුරක්‌ෂිතව පවතී. එහෙයින් ස්‌ථූප නිර්මාණය කෞතුකාගාරකරණයේ මූලාරම්භයක් හා සංරක්‌ෂණය යන සංකල්පයේ මූලාරම්භයක් වශයෙන් ද පෙන්වා දිය හැකිය.
බෞද්ධ බැතිමතුන්ගේ වන්දනාමානයට පාත්‍ර වන ස්‌ථූප අතරින් ශ්‍රී ලංකා ඉතිහාසයේ නිර්මිත ප්‍රථම ස්‌තූපය වශයෙන් දේවානම්පියතිස්‌ස රජ දවසේ ඉදි කළ ථූපාරාමය හැඳින්විය හැකිය. ආරම්භක අවස්‌ථාව එය වූ හෙයින් ස්‌තූපයක ස්‌වරූපය පිළිබ`දව දේවානම්පියතිස්‌ස රජු මිහිඳු මාහිමියන්ගෙන් විමසූ අවස්‌ථාවේ උන්වහන්සේ විසින් දේශනා කරන ලද්දේ, "වීහි රාසි සදිසො මහා රජා" වශයෙනි. එහිදී පැහැදිලි කර ඇත්තේ වී ගොඩක් ගොඩ ගස්‌වන ආකාරයට එම ස්‌ථූපය නිර්මාණය කරන ලෙසටය. ඒ අනුව ආරම්භ වූ ස්‌ථූප නිර්මාණය බාහිර ස්‌වරූපයට අනුව ධරණ හැඩයන් ආකාර කිහිපයකි.
බුබ්බුලාකාර-ජල බුබුලක ආකාරයේ ස්‌ථූප
ධාන්‍යාකාර- වී ගොඩකර ඇති ආකාරයේ ස්‌ථූප
ඝණ්‌ඨාකාර-ඝාණ්‌ඨාරයක ආකාරයේ ස්‌ථූප
ඝඨාකාර-කළයක් ආකාරයේ ස්‌ථූප
ආමලාකාර-නෙල්ලි ගෙඩියේ ආකාර ස්‌ථූප
පද්මාකාර-නෙලුම් මලක් ආකාරයේ ස්‌ථූප
චතුරස්‍රාකාර-හතරැස් ආකාරයේ ස්‌ථූප
පලාණ්‌ඩ්වාකාර-ලුනු ගෙඩියක හැඩය ගත් ස්‌ථූප (මංජු ශ්‍රී වාස්‌තුවිද්‍යා හි සඳහන් වන ආකාරයට, රෝලන්ඩ් සිල්වා මහතාගේ මතයට අනුව ලක්‌ෂ්මන් ජානක ඇඹුල්දෙණිය මහතාගේ පෞරාණික චෛත්‍යය හා විද්‍යාත්මක පෞරාණික පසුබිම ග්‍රන්ථයට අනුව ස`දහන් ආකාරයකි.)
ඒ ඒ ස්‌ථානයට හැඩය යොදාගෙන අතීත නිර්මාණකරුවන් ස්‌ථූපයන් නිරමාණය කරන්නට ඇත. දුටුගැමුණු රජු රුවන්වැලි මහා සෑය කරවීම ස`දහා පන්සියයක් පමණ වාස්‌තුවිද්‍යා ප්‍රවීණයන් කැඳවා ඔවුන් අතරින් ද දක්‌ෂතමයා තෝරාගෙන එහි ප්‍රධානියා බවට පත් කරගෙන එම ස්‌ථානයේ කරවන ස්‌ථූපයට සුදුසු හැඩය පිළිබඳ විමසූ අතර එහිදී එම ප්‍රධානියා ජලය පිරවූ රන් තලියක් ගෙනවිත් එම ජලය මතට අතින් ගත් ජලය වේගයෙන් දමා ඉන් නැගුන ජල බුබුලක හැඩය පෙන්වීය. ඒ අනුව රුවන්වැලි මහා සෑය බුබ්බුලාකාර අයුරින් ඉදි විය. ඒ අනුව ප්‍රථමයෙන්ම දාගැබ් තැනීමේ පියවර වශයෙන් සුදුසු ස්‌ථානයක් තෝරාගැනීම වැදගත් වේ. ඒ ස`දහා ආගමික පසුබිම සලකා සොහොන් බිම් මගහැර උතුමන්ගේ පාදස්‌පර්ශයන් සිදු වූ ස්‌ථාන තෝරා ගැනීම මෙන්ම අදාළ ස්‌ථානයේ මදක් ගැඹුරු වළක් කපා රැයක් එළි වන විට එම වළ ජලයෙන් පිරී ඇත්දැයි බලා එසේ ජලය පිරී ඇති ජල පෝෂක ස්‌ථානයක් නම් එම ස්‌ථානය දාගැබක් තැනීමට නුසුදුසු ලෙස මගහරී. එසේ නිසි ස්‌ථානයක් තෝරා ගෙන පාදම ආරම්භ කරනුයේ මවු පාෂාණය හෙවත් Bed rock එකේ සිටය. එසේ පිහිටි පොළොව තෙක් සාරා පිහිටි පොළොව මතුපිට කහට සහිත ශාකසාර හා ශාක මැලියම් භාවිත කර ශක්‌තිමත් කොන්ක්‍රීට් ස්‌ථර ශක්‌තිමත් පාදම් ඉදිකර ඇත. පසුව තුන්මහල් පේසාවන් නිර්මාණය කිරීම සිදු කර ඇත. මෙහිද විස්‌මිත තාක්‌ෂණයකි. දාගැබ දරණ බර අධික හෙයින් ඒ බර Rජුවම භූමියට දැරීමට ඉඩ නොදී මෙම පේසා වළලු ඉදිකර ඇත්තේ පිටතට නෙරා ඇති වක්‍රාකාර
පෘෂ්ටයන් සහිතවය. එමගින් Rජුවම බර භූගත වීම වැලැක්‌වීමේ තාක්‌ෂණයක්‌ද එහි ගැබ් වී තිබිණි. පේසාවන්ට පසුව ගර්භය දක්‌නට ලැබේ. ගර්භය යන්න මව් කුස යන ගෞරවාන්විත අර්ථය ගන්නා බව පිළිගැනේ. මෙහි කොටු 25 කින් යුත් ගර්භ ගලෙහි එක් එක් කොටු විශ්ව ශක්‌තීන් හා සබැඳි පාෂාණ වර්ග එනම් මැණික්, දියමන්ති මුතු ආදියෙන් පුරවා තැබේ. ඇතැම් දාගැබ් ගර්භ පස් පුරවා සකසා ඇති අතර ඇතැම් ගර්භ පඩිපෙලක ආකාරයේ ගඩොල් නිර්මාණයකින් යුක්‌තය. එය ගෝලාකාර හැඩයට පසුව නිර්මාණය කළ විට එම ගඩොල් පඩිපෙල් නොපෙනුනද ඡේතවන දාගැබ කැණීම මගින් එවැනි පඩිපෙල් ආකාරට ප්‍රථමයෙන් ගර්භය නිමවා පසුව එය පිරවුම් යොදා ගෝලාකාර කර ඇති බව දක්‌නට ලැබිණි. එවැනි උපක්‍රම මගින් ගර්භයේ ශක්‌තිමත් භාවය පීඩන දරා ගැනීමේ හැකියාව වර්ධනය කිරීමට සමත් වී ඇත. ගර්භයට ඉහළින් පවත්න්නේ හතරැස් කොටුවයි. මුල් අවධියේදී ගල් පුවරු හතරකින් වටකොට ඒ මතට ගල් පුවරුවක් තබා මෙය නිර්මාණය කර ඇත. මෙහි සැඟවී ඇති තාක්‌ෂණය වශයෙන් මෙම දේවතා කොටුවේ ඝණකාකාරයේ මතුපිට පළල් දාර නිර්මාණය මගින් පහළට ගලා හැලෙන ජල ධාරාවන් ඇති කිරීම මගින් ජලය ඇතුළට ගලා ඒම වැළැක්‌වීම හා පිරිසිදු වාතය ගර්භය තුළට ලබා දීමට බලාපොරොත්තු වූ බව පෙනේ. එය ගල් ලෙන්වල කටාර මගින් සිදුකෙරෙන කාර්යයට සමානය. දාගැබේ හැඩය අනුව සලපතල මළුව රත්වීම හේතුවෙන් ඇතිවන සන්නයන ධාරා මගින් ඉහළට එසවෙන වාතය මගින් මෙම කොටස අවට රික්‌තයක් ඇති වීමෙන් වාතය දාගැබ දෙසට වේගයෙන් ඇදී ඒම නිසා දාගැබ අවට සෞම්‍යය දේශගුණික තත්ත්වයක් ඇති කර බැතිමතුන් වෙත සිසිලසක් අත්විඳිය හැකි පරිසරයක් එහි නිර්මාණය කිරීම මෙහි අරමුණ වී ඇත.
දේවතාකොටුව දාර සහිත කලාත්මක වටකුරු ඝණකයක හැඩය ගන්නා අතර එය විශාල පාදමකට සමාන වනුයේ කොත් කැරැල්ල දරා සිටීමට හැකිවන ආකාරයේ ශක්‌තිමත් පෘෂ්ටයක් ලෙස එයට ක්‍රියා කිරීමට සිදු වීම හේතුවෙනි. කොත් කැරැල්ල පහළ සිට ඉහළට යන විට ක්‍රමයෙන් කැරලි එකින් එක කුඩා වී ඇත. මෙහි ක්‍රමානුකූල තාක්‌ෂණය අකුණු මගින් දාගැබට වන හානිය නැවැත්වීම ස`දහා බලපාන බව දක්‌නට ලැබේ. විදුලිබල මණ්‌ඩලය විසින් භාවිත කරනු ලබන ස්‌වයංක්‍රීය අකුණු නවතුවක් හා සමාන ලක්‌ෂණ දරන කොත් කැරැල්ල බැලූ බැල්මට බාහිර ස්‌වරූපයෙන්ද අකුණු නවතුවට සමාන බවක් දක්‌නට ලැබේ. කොතට පහළින් කැරලි ආකාරයට මතුපිට පෘෂ්ටය නිර්මාණය කිරීම මගින් අධි වෝල්ටීය දහරාවන් ගමන් කරන මාර්ගයේ දුර වැඩි කිරීම අරමුණ බව පෙනේ. දාගැබක කොත නිරන්තරයෙන් ආරෝපණ ඒකරාශී වන ආරෝපණ ආකර්ෂණය කර ගන්නා උල් වූ ස්‌වභාවයෙන් යුක්‌තයි. මෙහිදී අකුණු මගින් දාගැබට වන හානිය වළක්‌වා ගැනීම ස`දහා උක්‌ත ස`දහන් කොත් කැරැල්ල හා ඒකාබද්ධ තාක්‌ෂණයක් පවතී. දඹ වැනි ලී යොදා සකසන ලද කොත් හේතුවෙන් අකුණු සන්නායක ගුණය අඩු වැඩි කර ගැනීමේ තාක්‌ෂණයක් ද අප සතුව පැවති බව හෙළි වී ඇත. බොහෝ ස්‌ථූපයන් සතු වන යූපය ජානක ඇඔqල්දෙණිය මහතාගේ මතයට අනුව අකුණු මගින් ඇතිවන අධිවෝල්ටීය ධාරාවෙන් විශාල කොටසක් භූගත කිරීම ස`දහා උපකාරීවේ.
මේ අයුරින් දාගැබ් තැනීමේ ඓතිහාසික තාක්‌ෂණික පසුබිම ඉතා සරල අයුරින් කෙටි සටහනක් ඇසුරින් දැක්‌වීමට සිදු වේ. ග්‍රන්ථයන් නිර්මාණය කිරීමට සමත් වූ එම තාක්‌ෂණය ලිපියකට කැටිකර දැක්‌වීම අපහසුය. ථූපවංශය මහාවංශය මෙන්ම වර්තමාන ද්වීතීක මුලාශ්‍ර වශයෙන් පෞරාණික චෛත්‍යය හා එහි විද්‍යාත්මක පසුබිම වැනි ග්‍රන්ථ මගින් මේ පිළිඳව වැඩිදුර කරුණු අධ්‍යනය කළ හැකිය. බෞද්ධයන්ගේ ගෞරවාදරයට පත් වූ භක්‌තිය උපදවන දාගැබ් දෙස විද්‍යාත්මක ඇසින් බැලීම මගින් එහි පවතින ඓතිහාසික වටිනාකම තවදුරටත් ඔප් නැංවෙනු ඇත. මෙවන් වටිනා ඓතිහාසික නිර්මාණයන් සතු වීම පිළිබ`දව ජාතියක් වශයෙන් අප ආඩම්බර විය යුතුය.
කේ. එච්. වත්සලා රාජසිංහ
පුරාවිද්‍යා අධ්‍යයන අංශය
පේරාදෙණිය විශ්වවිද්‍යාලය
divaina
================================================
උපුටා ගැනීම් සහිතයි ....!!!
දයාබර පාථක සහෘදයිනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම් like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya