ගසට නමකි මල පිපුණම වෙන නමකි
ගැටයට නමකි ලොකු වෙන කොට වෙන නමකි
ගෙඩියට නමකි ගෙඩි ඉදුණම වෙන නමකි
මෙතුන් පදේ තෝරාලා කියන් සකී
බත් නැතිදා කොස් කන උන්ගේ දේශයේ බත් ගස වූ කොස් ගස ගැන ලියන්නට අපට රිසිවිය. කොස් සහ බැඳි අතීත මතක අතරට පිවිසි අපි මොහොතට වික්ෂිප්ත වූවෙමු. අතුපතර විහිදී ගිය මහා කොස් ගසක් බඳු වූ මේ කතාවේ අපට ලියා තැබිය හැක්කේ කොස් ඇටයක් තරම් අල්පමාත්‍රයකි. කොස්වල රස ගුණ පිළිබඳව මෙන්ම අතීතයේ කොස් සමඟ වූ සූපශාස්ත්‍රය පිළිබඳවද අපූරු තතු රැසක් අපි සොයා ගත්තෙමු. එසේම කොස් පිළිබඳව ජනකතා, ජනකවි, තේරවිලි, රබන් පද හා ප්‍රස්‌ථා පිරුළු ආදී එක් වූ සොඳුරු ජනශ්‍රැතීන් ද අපට හමුවිය. ඒ සියල්ල එක්තැන් කිරීම උගහට මුත් අපි ඊට යම් වීර්යයක් වඩමු.
විද්‍යාත්මකව බලතොත් මල්බෙරි පවුලට අයත් ශාක වර්ගයක් වන කොස් ලෝකයේ දකුණුදිග ආසියානු ප්‍රදේශවලට ආවේනික වේ. නිවර්තන කලාපයේ පහත් බිම්වල වඩාත් සරුවට වැවෙන කොස් ගස ලොව විශාල ඵල ඇති ගස් කිහිපය අතරින් එකක් ලෙසද හඳුන්වනු ලබයි. ඒ කුමක් වුවත් කොස් කෑමේ උපත පිළිබඳ ලාංකික ජනශ්‍රැතියේ ප්‍රකට අපූරු ජන කතාවක් තිබේ.
එම ජන කතාව අනුව ලක්වාසී ජනයා මුල්කාලීනව කොස් ආහාරයකට ගත හැකි බව දැන නොසිටියහ. එක්තරා සාගතයක් පැවැති කලෙක සදෙව් රජ මහල්ලකු වෙස් ගෙන පැමිණ ගැමි ලියකට කොස් ගෙඩියක් දී එය තම්බා දෙන ලෙස කීය. එය තම්බන අතර මෙහි සුවඳට වහවැටුණු ගැමි ලිය හොරාට කොස් කෑවාය. එතැන් පටන් ගැමි ලිය හොරෙන් කෑ ඵලය හෙරලිය විය. ලක්වාසීන් හෙරලි කෑමට රුසියෝ වූහ. හෙරලි ලෙස මෙන්ම “පනා” යන නමින්ද හෙළ ජන සාහිත්‍යයේ කොස් හඳුන්වා තිබේ. පානාගොඩ, පනාමුරේ, පනාගොඩ ආදී නම් ඇති ගම් කොස් ගස සහ ආදිතමයන් අතර තිබූ බැඳීම තවත් ප්‍රකට කරවති. කොස් යන පදය මෙම ඵල හැඳින්වීමට භාවිත කිරීම පිළිබඳ විවිධ මත තිබේ. එඩ්වින් ආරියදාසන් ලියූ ලිපියකට අනුව කෝෂයක් තුළ අඩංගු පෝෂණය පිළිබඳ මේ වදනින් අරුත් ගැන්වෙන බව කියැවේ.
කොස් සහ බැඳි ජනශ්‍රැති පළමුකොට අපි විමසමු. ලක්වැසියාගේ ජීවිත විවිධ අවස්ථා සමඟ කොස් ගස හා බැඳී තිබේ. මල්වර මංගල්‍යයක දී කිරි ගස ලෙස බොහෝ දෙනා භාවිතයට ගෙන ඇත්තේ ගොස් ගසයි. එසේම ශාන්තිකර්ම රැසකට කිරි ගසක් ලෙසින් කොස් ගස භාවිතා වී තිබේ. කොස් ගැන කියැවෙන තවත් ජනක බොහෝ
“රාජසිංහ රජු කොස් ගෙඩියටත් මිනී මැරුවා” කියමනට පාදක වන ජනකතාව එවැන්නකි. මේ කතාවට අනුව රජුට වෙන් වූ වරකා ගසෙන් ගෙඩි කෑම රට වැස්සන්ට තහංචි විය. එහෙත් එක් ගැමියෙක් රජුගේ ගසේ වරකා සුවඳට ලොල් වී එහි ගෙඩි කඩා කෑවේය. එහෙත් ස්‌ථානෝචිත ප්‍රඥාව නිසා රජුගේ දඬුවමින් ඔහු ගැලවුණි. තමා මරා දැමුවහොත් “රාජසිංහ රජු කොස් ගෙඩියටත් මිනී මැරුවා” කියමන සෑදෙයි කියා රජු මුලා කළ මේ ගැමියාගේ කතාව අද ද බොහෝ ප්‍රකටය.
මීට සමාන කොස් සහ බැඳුණු ජන කියමන් සහ පිරුළු රැසක් වෙයි. පැණි වරකා බෑය, මදුල වැනි පද ජනවහරේ සුරූපී ළඳුන් හැඳින්වීමට භාවිත වී තිබේ. එසේම පැණි වරකා ගසට හෙණගැසීම බොහෝ ප්‍රකට කියමනකි. බළල්ලුන් ලවා කොස් ඇට බෑවීම, යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද වැනි පිරුළු රුසක් අපට ජනවහරේ හමුවේ. තවද තේරවිලිද බොහෝවිට කොස් පදනම් වී ඇත. අත්තක් උඩ බුම්මාගෙන
කටු රෙද්දක් පොරවා ගෙන යන තේරවිල්ල බාල කාලයේ බොහෝදෙනා අතර ප්‍රකට වී ඇති එකකි. එසමයේ ජන කවියේ බොහෝ තැන්ද කොස්ගස හා බැඳී ඇත.
ඇස නැතිදා පොත ගත්තේ කියන්නද
දත නැතිදා උක් දඬු ගිනි තපින්නද
වෙර නැතිදා ගහ ගත්තේ දිනන්නද
යුද ඇතිදා නැති කග කොස් කොටන්නද
කොස් පිළිබඳ ජනශ්‍රැති තවත් බොහෝ විසල් පරාසයක විහිදී යයි. මීළඟට කොස් හා මුසු වූ පැරැණි සූප ශාස්ත්‍ර පිළිබඳ විමසීමට උත්සුක වෙමු. කොස් ගෙඩිය නොමේරූ කාලයේ සැකසෙන පොළොස් පිළිබඳ අතීත රස මතක රැසකි. පොළොස් ඇඹුල පොළොස් මාළුව ගමින් ගමට ප්‍රදේශයෙන් ප්‍රදේශය අනන්‍ය වූ රස බොජුනකි. නුවර ගම් පළාත්වල පොළොස් ඇඹුල සැකසෙන අයුරු සූප ශාස්ත්‍රයේ මෙලෙස කියැවේ. ඊට අනුව එහිදී නුවර දී පොළොස් ඇඹුලට දමන කළමනා රැසකි. බැදපු මිරිස්කුඩු, කළු කුඩු තේ, ලුණු, කුඩු කරගත්ත කරදමුංගු ඇට, කුරුඳු, ගොරකා ආදීය ප්‍රමුඛය. එසේම කොච්චි කරල් ටිකක්, උම්බලකඩ ටිකක්, රම්පෙ කරපිංචාද මේ පොළොස් ඇඹුලට එකතු වෙයි. මේ සියලු පොළොස් කෑලි සමඟ කවලම් කර ටික වෙලාවක් තබා තුනපහ හොඳට යොදා පොළොස් ඇඹුල කිරෙන් පිසගන්නා අතර එයට අනන්‍යවූ රස ශාස්ත්‍ර තිබේ.
කොස් සැබවින්ම සාගතයකදී පෝෂ්‍යදායී කල්තබා ගත හැකි අපූරැ ආහාරයකි. ලෝක ආහාර අර්බුදයට විසඳුම කොස් බවද ලෝක ආහාර සංවිධානය පවා කියා තිබේ. එහෙත් අප පැරැන්නන් එය බොහෝ කලක සිට දැන සිට තිබේ. අතීතයේදී අප ගැමි ලියන් විසින් අවාරයේදී පරිභෝජනයට ගැනීම සඳහා කල් තබා ගැනීමටත් වැලි කොස්, අටු කොස් ආදී ක්‍රම භාවිතා කර තිබේ. වැල වරකාද පළතුරක් ලෙස කල්තබා ගැනීමේ උපක්‍රම තිබී ඇත.
අටු කොස් මදුළු ලෙස කල් තබා ගැනීමේ ශිල්පයද ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස්ය. ප්‍රමුඛ ක්‍රම දෙකකි. පහත රට ක්‍රමයට අනුව අටු කොස් සැකසීමේදී පැසුණ කොස් මදුළු ගෙන එහි ඇට ඉවත්කර ගත යුතුය. සිහින්ව ඉරාගත් මදුළු උණු කරන ලද ජලයට දමා බාගෙට තම්බා ගැනීමෙන් පසු අව්වේ දමා දින කිහිපයක් තද හිරු රශ්මියෙන් වේලා ගත යුතුය. ඉන්පසු භාජනයකට දමා වාතය ඇතුළු නොවන සේ අසුරා මාස කිහිපයකට පසු අටු කොස් මැල්ලුම් ලෙස සකස් කර ගත හැකිය.
කොස් කතාව තව බොහෝ දිගය. එය ලියා නිම කළ නොහැකිය. එසේම අවසානයේ මෙසේ කිව යුතුය. අපේ පැරැණි සිංහලයන් සහ කොස් ගස ඉතා සමීපව බැඳී තිබේ. කොටින්ම කොස් ගස වරකදී ‘බත් ගස’ ලෙස හැඳින්වූවේ කට කසනවාට නම් නොවේ. ඉතා භයානක දුර්භික්ෂයන් පැමිණි කාලවලදී හා කොස් අපේ පිහිට පැමිණ තිබේ. යුද්ධ වැනි දෑ සිදුවෙමින් පැවතුණු කාලවල කුඹුරුවල වී වපුරා අස්වැන්නක් ලබා නොහැකි තත්ත්වයක් උද්ගත වෙද්දී පැරණි සිංහලයාගේ පණ නළ රැක දුන්නේ මේ බත් ගසයි. කොස් යනු අපේ දෙවැනි බතයි.
ගසට කොස් කියති මල නම් පනා මල
ගැටයට පොළොස් ලොකු වෙන කොට නිකිනි බොල
ගෙඩියට කොස් කියති ඉදුණම වේය වැල
මෙතුන් පදේ තේරැම මේ විලස බල
චමිඳු නිසල්
deshaya
================================================
උපුටා ගැනීම් සහිතයි ....!!!
දයාබර පාථක සහෘදයිනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම් like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya
No comments:
Post a Comment