Tuesday, February 18, 2020

අතීතයේ මළවුන්ට පණ දුන් හැටි.....(Mala unta pana deema අබිරහස් අඩවිය - Abirahas Adawiya - හොල්මන් කතා. holman katha)

මොළයේ පවතින භෞතික රසායනික හා විද්යුත් ක්‍රියාකාරිත්වය සම්පූර්ණයෙන්ම නතර වීම පුද්ගලයකු මරණයට පත්වීම යනුවෙන් හැඳින්වේ. එහෙත් සමහර ආගමික පෙන්වාදීම්වලට අනුකූලව ශරීරය ආශ්‍රිතව පවතින්නා වූ යම් අදෘශ්‍යමාන බලවේගයක්‌ පුද්ගලයකු මරණයට පත්වීමත් සමඟම ශරීරයෙන් ඉවත්ව යතැයි කියෑවේ. මරණයට පත් වූ තරුණියක්‌ ඇය මරණයට පත්වීමට හේතු වූ භෞතික කාරණා ඇගේ ශරීරයෙන් ඉවත් කොට පිට වී ගිය අදෘශ්‍යමාන බලවේගය වන ගන්ධබ්බයාද ගෙන්වා යළි ඇයට පණ දීමට ගත් තැතක්‌ පිළිබඳව මේ කතාවෙන් කියෑවේ.

 ඉහළගම ආරච්චිල එම ගමේ විසූ ඉතා සාධාරණ යුක්‌තිගරුක සැර පරුෂ නිලධාරියෙකි. ඔහුගේ උස මහතැති සිරුරත් දෙපැත්තට කැරකැවූ උඩු රැවුලත්a ඔහුගේ ප්‍රතාපවත් පෞරුෂය මනාව පිළිබිඹු කළේය. ඔහුගේ බිරිඳ රන් එතනා ගමේ කා අතරත් ජනප්‍රිය ආදරණීය චරිතයක්‌ වූවාය. මේ දෙපළට දියණියන් දෙදෙනෙකි. වැඩිමලා ලොකු මැණිකා වූ අතර බාල දියණිය රන් මැණිකා වූවාය. ලොකු මැණිකා රළු දුෂ්ට තැනැත්තියක්‌ වූ අතර රන් මැණිකා ඉතා කාරුණික රූමත් පැහැපත් තැනැත්තියක්‌ වූවාය. රන් මැණිකාට ගමේ සියලු දෙනා ආදරය කළ අතර විශේෂයෙන් තරුණ ගැටව් ඇයට ඉතා ළෙන්ගතු විය. ඇගේ වයස අවුරුදු දහනවයක්‌ (19) තරම් වූ අතර ගමේ තරුණ තරුණියන් සමඟÊකෙළිදෙලෙන් පසු විය. බොහෝ විට එය ලොකු මැණිකාට රිස්‌සුවේ නැත.

 කඳු ගැටයක්‌ මත පිහිටා ඇති ආරච්චි වලව්ව ඉතා සිරියාවන්ත පෙනුමකින් යුක්‌ත විය. වලව්ව වටා ඇති මල් වගාව රන් මැණිකාගේ හා ගමේ තරුණ තරුණියන්ගේ මහන්සියේ ප්‍රතිඵල විය. සිංහල අලුත් අවුරුදු සමය පසු විය. රන් මැණිකා හා ගමේ තරුණ තරුණියයෝ බොහෝ මහන්සි වී වැඩ කටයුතු කළහ.

 මේ අතරේ රන් මැණිකා රෝගාතුර විය. හැමෝම සිතුවේ ඇය මහන්සි වීම හා තෙල් කෑම ආහාරයට ගැනීම නිසා ඇයට යම් අපත්‍යයක්‌ වන්නට ඇත කියාය. එහෙත් දිනෙන් දින ඇගේ රෝගී තත්ත්වය උත්සන්න වූ හෙයින් වෙද රාළ ගෙන්වා ප්‍රතිකාර කළේය. රන් මැණිකා අසාධ්‍ය තත්ත්වයට පත්වූවාය. වෙද රාළ වලව්වේ නැවතී ප්‍රතිකාර කළත් එක්‌ දිනක සවස්‌ වරුවේ රන් මැණිකා සදහටම දෙනෙත් පියා ගත්තාය. මුළු වළව්වම ළතෝනියක්‌ විය.

 රන් මැණිකාගේ වියෝවීම ගම පුරා ප්‍රචාරය වන්නට විනාඩි දහයක්‌වත් ගත නොවිණ. මේ අතරේ ගමේ සිටි එක්‌තරා යකැදුරෙක්‌ වන අබං ගුරා දුවගෙන විත් හති අරින ගමන්ම මිදුලේ ඉතා වේගයෙන් සක්‌මන් කරමින් සිටි ආරච්චිල හමුවිය. "ආරච්චි මහත්තයා දුක්‌ වෙන්න එපා මං වැඩක්‌ කියන්නං" අබංගුරා කීය. මොකද්ද යකෝ තෝ කිව්වේ. ඔය මැරිල ඉන්නෙ මගේ දුව කියමින් ආරච්චි අබං ගුරා වෙත කඩා පැන්නේය. " ආරච්චි මහත්තයා ඔය රන්මැණිකට පණ දෙන්න පුළුවන් මාව විශ්වාස කරන්න මහත්තයෝ, අබං, ගුරා කීය. ඒත් තවදුරටත් කෝපයට පත් ආරච්චිල තෝ රා බීලද යකෝ ඉන්නෙ තෝ කවද්ද බොල එහෙම වැඩක කෙරුවේ බින්න කෙළින්නෙ නැතිව පලයං මෙතනින්" යෑයි ගෝරනාඩු කළේය." පොඩ්ඩක්‌ ඉවසල මට ඇහුංකන් දෙන්න මහත්තයෝ මං නොවෙයි. ඕක කරන්නෙ හතර කෝරළේ ඉන්න හිච්චි ගුරුන්නාන්සේ කියල කෙනෙක්‌. එයා මේ වගේ වැඩ ඕන තරම් කරල තියෙනවා" අබං ගුරා එක හුස්‌මට කියාගෙන ගියේය.

 හැබැයි මේක ඉක්‌මනට කරන්න ඕන. මිනියට මොකවත් කරන්නත් එපා. ඔහොමම තියෙන්න අරින්නත් ඕන. අබං ගුරාගේ කථාවට ආරච්චිල ඇහුංකං දුන් බවක්‌ පෙනිණ.. ආරච්චිලත් මෙම හිච්චි ගුරුන්නාන්සේ ගැන තරමක්‌ අසා තිබිණ. වහා වලව්වට දිව ගිය ආරච්චිල දුවගේ දේහයට කිසිත් නොකරන ලෙස නියෝග කොට පඬුරු පාක්‌කුඩම්ද රැගෙන අබං ගුරාද කැටිව හිච්චි ගුරුන්නාන්සේ සොයා පිටත් විය. සැතපුම් විස්‌සක්‌ පමණ ඇති මෙම ගමන ආරච්චිලම තිරික්‌කලය දක්‌කන්නට තීරණය කළේ තිරික්‌කල දක්‌කන්නාද එකතු කර ගත හොත් බර වැඩි වී ගමන තවත් ප්‍රමාද වන හෙයිනි. අබං ගුරා පාර පෙන්නන්නට විය. වැඩි කතා බහක්‌ නැතිව ඉක්‌මනට තිරික්‌කල දැක්‌කුව ආරච්චිලට නොයෙකුත් දේ සිතට ආවේය.

 ගුරුන්නාන්සේගේ ගෙදරට යැමට කෝරළේ මහත්තයාගේ වලව්ව අසලින් යා යුතු විය. ඔහුට මෙය දැනවිය යුතුද නැතිද යන්න ගැන ආරච්චිලගේ හිත දෙගිඩියාවෙන් පිරිණ. නොනවත්වා ගොස්‌ පසුව ආරංචි වුවහොත් ඔහු රාජකාරිමය වශයෙන් පළිගනු ඇත යන්න ඔහුට සිතිණ. කෝරාළට ඇත්තේ අශෝභන දියණියකි. තම දියණියගේ රූ සොබාව ගැන කෝරාළ ඊර්ෂ්‍යා සහගතව කතා කළ අයුරු ආරච්චිලට සිහි විය. තවද කෝරාළ වලව්ව ප්‍රමාණයෙන් විශාල වුවද ආරච්චි වලව්ව තරම් සිරියාවන්ත නොවීය. මේ ගැනද කෝරාළගේ හිතෙහි ඊර්ෂ්‍යාවක්‌ ඇතැයි ආරච්චිල සිතූයේ ආරච්චි වලව්ව ගැන විටින් විට ඔහු කියූ දේවල් නිසාය. වැඩක්‌ නැහැ ඔය මිනිහට කියන්නට ගොහින් තවත් ප්‍රමාද වන්නට ඕන නැහැ මම කෙළින්ම ගුරුන්නාන්සේගේ ගෙදර යනවා යෑයි ආරච්චිල තදින් අධිෂ්ඨාන කළත් කරත්තය මුලින්ම ගොස්‌ නතර වුණේ කෝරාළ වලව්වේ මිදුලෙහිය.

 "ආ........ ආරච්චිල මොකද මේ පැත්තේ" වාඩි වී සිටි හාන්සි පුටුවේ හරිබරි ගැසෙමින් කෝරාළ ඇසීය. සියලු විස්‌තර කෙටියෙන් පැවසුව ආරච්චිල කෝරාළ වලව්වෙන් පිට වෙද්දී" හොඳයි ආරච්චිල මමත් ඔය යාගය බලන්න හවස්‌ වරුවේ එන්නම් කො කියමින් කෝරාළ හාන්සි පුටුවෙන් නැගිට්‌ටේය.

 ඉතා තද බලාපොරොත්තුවක්‌ හා විශ්වාසයක්‌ ඇතිව හිච්චි ගුරුන්නාන්සේගේ ගෙදරට ගොඩ වැදුන ආරච්චිල දෙකට නැවී ගුරුන්නාන්සේට ආචාර කළේ තමා ආරච්චිල කෙනෙක්‌ බවද අමතක කරමිනි. මිය ගිය දරුවාගේ වයස හා රෝගය පිළිබඳව විස්‌තර විමසූ ගුරුන්නාන්සේ තමාට මෙය නිසැකවම කළ හැකි බව හා ඒ පිළිබඳව සැකයක්‌ තබා ගැනීමට අනවශ්‍ය බැව් පැවසුව විට ආරච්චිල ළය පුරවා හුස්‌මක්‌ ගත්තේය. මේ සඳහා විශාල වියදමක්‌ දරන්නට වන බවත් එය දැන්ම ගෙවිය යුතු බවත් ගුරුන්නාන්සේ කීය. ආරච්චිල අත තිබූ සියලුම මුදල් ගුරුන්නාන්සේට දුන්නේය. දෙදෙනා අතර ඇති වුණ එකඟතාවයෙන් පසු ගනුදෙනු හමාර විය. අවුරුදු පනහක්‌ ආරච්චිගේ ප්‍රතාපවත් ළය දැවටෙමින් සිටි සුරය ආරච්චිගේ කබාය ඇතුල් පැත්තේ ඇති හොර සාක්‌කුවට ගිය අතර එය එල්ලා තිබූ පවුම් පහක රන් දම්වැල හිච්චි ගුරුන්නාන්සේගේ දෝතට ගියේ ඉණ බැඳ තිබූ රිදී හවඩියද සමඟය.

 අවශ්‍ය කළමනා සියල්ල ගත් ගුරුන්නාන්සේ සිය ගෝලයා ද සමඟ තිරික්‌කලයට ගොඩ විය. පෙර කරන ලද විස්‌කම් වැඩ ගැන ගුරුන්නාන්සේ තොරතෝංචියක්‌ නැතිව පවසන්නට විය. ඉතා ඈත අතීතයේ හිච්චි ගුරුන්නාන්සේගේ පියා විසින් පැය අටකට පෙර මියගිය තරුණියකට ප්‍රාණය දුන් බවත් ඇය එතැන් සිට සෑම සිංහළ අවුරුදු දිනකම තම පියා බැලීමට පැමිණි සැටිත් කියද්දී ගෝලයා එයට හූමිටි තැබීය. පසුව ඒ ළමයා විවාහ වී දරුවන් ලබා වයස්‌ ගතව ළඟදී මිය ගිය බව ගෝලයා පැවසීය. තමා මෙම ගුරුකම් කරන්නේ පරම්පරාවෙන් හෙයින් තමාට කිසිදින වරදින්නේ නැති බව ගුරුන්නාන්සේ ඉතා උජාරුවෙන් කීය. ආරච්චිලට දැක්‌ කිසි සැකයක්‌ නැත. ඔහු වහ වහා කරත්තය දක්‌කන්නට විය.

 ඇඳිරි වැටෙද්දී මේ අය වලව්වට ළඟා වූහ. ඒ වන විට වලව්ව විශාල සෙනඟකින් පිරී තිබිණ. ආරච්චිල ඉක්‌මනින් හිච්චි ගුරුන්නාන්සේට ආහාර සූදානම් කරන ලෙස දැන්වීය. ගමේ තරුණයින් දහදෙනෙකු පමණ කැඳවූ අබං ගුරා දැන් කරන්නට යන දෙය ඔවුනට පැහැදිලි කළේය. ඉන්පසු හිච්චි ගුරුන්නාන්සේ ඉල්ලන හැම දෙයක්‌ම ඉක්‌මනින් සපයා දෙන මෙන්ද කීය. එතෙක්‌ දුක්‌මුසුව සිටි තරුණයෝ ඉතා උෙද්‍යාaගයෙන් වැඩට බැස්‌සහ.

 තරුණයින් සපයා දුන් ඉදුන දෙහි ගෙඩි 99 ක ඉස්‌මවලින් යුත් ජෝගුවක්‌ ගුරුන්නාන්සේගේ ගෝලයා පිළියෙල කරන ලදී. එළියේ ඇති පොල් අතු මඩුවක්‌ තුළ ගොක්‌කොළ සැරසිලි පාන් පැලවල් වහා ඉදිවිණ. අබං ගුරාද මීට මනාව සහාය දැක්‌වීය. මොනවද මොනවද ඕනෑ අසමින් ආරච්චිල වලව්ව වටා ඇවිද්දේය. රන් එතනා හා ලොකු මැණිකා මිනිය අසලින් සෙලවුණේ නැත. කෙනෙකුට ඇය මිය ගියා යෑයි සිතන්නටත් බැරිය. ඇය නිදා සිටින්නාක්‌ මෙන් පෙනිණි. ගුරුන්නාන්සේගේ අණින් ඇය වටා තිබූ පොල්තෙල් පහන් හතර ඉවත් කෙරිණ. දුම්මල සුවඳ වලව්ව පුරා පැතිරිණ.

 ඉර බැස ගොස්‌ හෝරාවකට පමණ පසු ගිරිනාල යාගය නම් මෙම අපූර්ව කර්තව්‍ය සඳහා අවශ්‍ය භූමි ආරක්‍ෂා යාතිකා පටන් ගැනිණ. ගෝලයා මඩුව දෙදරවමින් බෙර වයන්නට පටන් ගත්තේය. ගුරුන්නාන්සේ මන්තර කියමින් බෙර තාලයට අඩිය තබමින් තෙල් වර්ගයක්‌ මඩුව වටා ඉසින්නට විය. මඩුවෙන් එපිට ගමේ ඇත්තෝ වට වී සිටිය අතර ඇතුළත පවුලේ උදවිය සඳහා පුටු කීපයක්‌ තබා තිබිණ. ආරක්‍ෂාව කර හමාර වුණ ගුරුන්නාන්සේ රන්මැණිකාගේ දේහය සුදු රෙද්දකින්. වසා ඇඳත් සමඟ මඩුවට ගෙන එන ලෙස දැන්විය. තරුණයෝ ඇඳත් සමඟ දේහය රැගෙන එන්නට ගත් විට රන් එතනා හඬා වැටෙන්නට වූවාය. ගුරුන්නාන්සේ රන් එතනාට සැර වුන අතර ඊටත් හයියෙන් ආරච්චිලද සැර විය. මඩුවට ගෙන දේහය වසා තිබුණු සුදු රෙද්ද ඉවත් කරන ලදී. සුදු මහත්තයකු විසින් ආරච්චිලට තෑගි දෙනු ලැබූ පීඩන ලාම්පුවේ එළිය රන් මැණිකාගේ මුහුණට හොඳින් වැටිණ. මඩුව වටා හැම තැනකම පන්දම් දල්වා තිබිණ.

 ගුරුන්නාන්සේ මේ කරන්නට යන කටයුත්තේ බැරෑරුම්කම සියල්ලන්ටම පැහැදිලි කර දුනි. අනතුරුව මෙතැන සිටින සියලුම කුඩා දරුවන් හා තරුණ ගැහැනු ළමයින්ට පිටවන ලෙස දැන්වීය. මඩුව ඇතුළේ සිටි ලොකු මැණිකාද පිටත්වීමට සැරසිණ.

වස්‌ ගහ පිඹ මළවුන් නැගිටුවීම
 එහෙත් ඇයට නොයන ලෙස ගුරුන්නාන්සේ කීය. ඉන් අනතුරුව අද දිනයේ මස්‌ මාළු අනුභව කළ හෝ මළ ගෙවල්වලට ගොස්‌ ඇති ඇත්නන් පිට වී යන ලෙස දැන්වීය. තවත් තරුණයන් හා වයසක උදවිය කිහිප දෙනෙක්‌ පිටව ගියහ. ඉන් පසු ආරච්චිලද අද මස්‌ මාළු කාපු එවුන් ඉන්නවා නම් මෙතනින් පලයල්ලා කියමින් කෑ ගැසීය. තවත් දෙදෙනකු පිටව යනු දුටු ආරච්චිල තොපිට කියන දේවල් තේරෙන්නේ නැතිදැයි කියමින් උන් දෙදෙනාට බැණ වැඳිණ.

 බුදුන්ට පහනක්‌ තැබූ ගුරුන්නාන්සේ සියලුම දෙනාට පන්සිල් ගන්න ලෙස කීය. අනතුරුව පවුලේ උදවියට මඩුව ඇතුළේ ඇති පුටුවල වාඩි වෙන ලෙස ඇරයුම් කෙරිණ. මුලින්ම මලයාලි භාෂාවෙන් දෙවියන්ගෙන් ආරක්‍ෂාව ඉල්ලූ ගුරුන්නාන්සේ අනෙකුත් පෙරේත කුම්භාණ්‌ඩ බහිරව ආදීන්ට මෙයට හිරිහැර නොකරන මෙන් ඉල්ලීය. මෙම කරුණු කෙටියෙන් සිංහලයෙන්ද පහදා දෙන ලදී. රන් මැණිකාගේ දේහය සැදුම් ලත් පංච මහා භූතයන්ට යළි ප්‍රාණය පිහිටුවීමට ආරාධනා කිරීම හා මරණයට හේතු වූ තුන්දොස්‌ කිපීමක්‌ ඇතොත් එයද සමනය කරන ලෙසද මින් ඉල්ලා සිටින හෙයින් සියලුම දෙනා තමා කියන ගාථා හඬ නඟා කියන ලෙස දැන්වූ ගුරුන්නාන්සේ පුටුවලින් නැඟිටින ලෙසට පවුලේ උදවියට අතින් සංඥා කෙරිණ.

 පිළිවෙළින් ආපෝ, තේජෝ, වායෝ, පඨවි, ආකාශ යන භූතයන්ට ආරාධනා කරන ගාථා හා ශරීරයේ දොස්‌ සමනය සඳහා ගාථා ගුරුන්නාන්සේ කියන අතර ඒවා මහ හඬින් පවුලේ උදවිය හා වටේ සිටි ඇත්තෝද කියන්නට වූහ. අවසානයේ පවුලේ උදවියට වාඩි වෙන්නට සංඥා දුනි. ඒ එක්‌කම කෝරාළද තිරික්‌කලයෙන් පැමිණෙනු දුටු ආරච්චිල අන්න හය වැනි භූතයත් ආවා යෑයි නොසතුටෙන් කීය.

 එතැන තිබුණ පුටුවට ඇතිරිල්ලක්‌ එලන ලෙස කිවූ ආරච්චිල වහා කෝරාළ කැඳවා ඒමට ගියේය. හොඳටම රා බී මත් වී සිටි කෝරාළ තිරික්‌කලයෙන් බසින්නට ගොස්‌ ඇද නොවැටුණේ තිරික්‌කල දක්‌කන්නා හා ආරච්චිල අල්ලා ගත් නිසාය. මම පොඩ්ඩක්‌ පරක්‌කු වුණා. ආරච්චිල කියමින් වැනි වැනී මඩුව වෙත පැමිණි කෝරාළ එතෙක්‌ ආරච්චිල වාඩි වී සිටි පුටුවේ වාඩි විය. ඒ අතරේ කෝරාළට තේ පැන් පිළිගැන්වූ නමුත් ඔහු එය ප්‍රතික්‍ෂේප කළේය.

 දැන් අපට තියෙන්නේ ගන්ධබ්බ ආරාධනාව ඒ කියන්නේ මේ දරුවාගෙන් නික්‌ම ගිය ප්‍රාණයට අධිපතියා නැවත සිරුර තුළට ගෙන්වීම, දැන් පවුලේ උදවිය ඇඳ ළඟට ඇවිල්ල මං කියන ගන්ධබ්බ ආරාධනය කියන්න යෑයි ගුරුන්නාන්සේ ආරාධනා ගාථාව කියන්නට පටන් ගත්තේය. එය පළමු දෙවන තෙවන වර කියන අතර තුර දෙහිවල ඇති පැඟිරි සුවඳට ගන්ධබ්බයා ඉක්‌මනින් ආකර්ෂණය වේ යෑයි කියමින් රන් මැණිකාගේ මුව අත් දෙකෙන් විවර කොට එතුළට හරක්‌ අඟකින් සාදන ලද දිග නාලයක්‌ බැස්‌සවීය. දැන් මෙම නාලයට කලින් මිරිකාගත් දෙහියුෂ දමා රන් මැණිකාගේ බඩ ඉහළට අදිමින් එතුළට යැමට සැලැස්‌වීය. ඉන් පසු ගුරුන්නාන්සේ විසින් ගෙනා වතුර වැනි දෙයක්‌ පොවන ලෙස රන් එතනාට කීය. ඒවා දශ ලක්‍ෂ වාරයක්‌ පිරිත් කරන ලද ඉතා බලගතු පිරිත් පැන් යෑයි ගුරුන්නාන්සේ කියා අවසානයේ රන්මැණිකාගේ කට ගුරුන්නාන්සේ අත්දෙකෙන් තද කොට වසා දැමීය.

malaun1ඔන්න ඔක්‌කොම හරි දැන් බලන්න ආරච්චි මහත්තයෝ දෝණියන්දට හුස්‌ම වැටෙනවද කියල යනුවෙන් කී ගුරුන්නාන්සේ දිගින් දිගටම බුදුගුණ ගායනා පවත්වන්නට විය. රන් මැණිකාගේ පපුව දෙස මහත් ඕනෑකමින් බලා සිටි රන් එතනාට පපුව ඉහළට එසවෙනුත් ඉන් පසු කටින් ශබ්දයක්‌ නගමින් සුළං පිට වෙනුත් දක්‌නට ලදී. බෙල්ල පපුව රත් වී ඇති බවද නිරීක්‍ෂණය විය. මගේ කෙල්ලට පණ ඇවිල්ලා රන් එතනා සිනාසෙමින් කඳුළු සලන්නට විය. තමා ගමේ වැදගත් තරුණියක යෑයි හා ගමේ අය බලා ඉන්නවා යෑයි යන්න අමතක වූ ලොකු මැණිකා ඇඳෙහි විට්‌ටම අල්ලාගෙන දිගටම උඩ පනින්නට විය. මේ ගමේ වෙන මොකාටද මෙහෙම වැඩක්‌ කොරවන්න පුළුවන් යෑයි සිතමින් ආරච්චිල මහත් උජාරුවෙන් වට පිට බලන්නට විය.

රන් මැණිකාගේ කටින් කෙඳිරියකුත් සෙමෙන් සෙමෙන් පපුව උස්‌ පහත් වීමත් දිගටම පැවතිණ. ශරීරයේද යම් කිසි රස්‌නයක්‌ ඇති වී තිබිණ. මේ අතරේ කෝරාළ මහතාද නැගිට අවුත් එහෙනං කෙල්ලට පණ ආවා යෑයි කියමින් ඇගේ අත්පා පපුව අත ගාන්නට විය. කෝරාළ තම දියණිය දෙස බලමින් කෑදර ලෙස ඇයව ස්‌පර්ශ කිරීම ආරච්චිලට ඇල්ලුවේ නැත. කෝරාළ උන්නාන්සේට මාන්සිත් ඇතිනෙ ගොහින් ගේ ඇතුළෙන් වාඩි වෙමුකො කියා ආරච්චිල කීවත් "නැහැ නැහැ කමක්‌ නැහැ" කියමින් කෝරාළ එතැනම රැඳෙන්නට විය. තුක්‌ නොදකින් නාකි මනමාලයා යෑයි රන් එතනා හෙමින් කීවත් කෝරාළට එය ඇසිණ. එය නෑසුනාක්‌ මෙන් කෝරාළ ගොස්‌ පුටුවේ ඉඳ ගත්තේය.

මේ වේලාවේ වෙද රාළ එහි පැමිණියේය. රන්මැණිකා පරීක්‍ෂා කළ වෙද රාළ "තේජෝ ධාතුව වායෝ ධාතුව ක්‍රියාත්මක වෙනවා ඒත් නාඩි වැටෙන්නේ නැහැ ඒ කියන්නේ හෘද මාංශ ධාතුව ක්‍රියාත්මක නැහැ. " යෑයි කීය. මොනවා කියා ඒ තැනට පැමිණි ගුරුන්නාන්සේ ගෝලයාට බෙර වයන්නටත් අබං ගුරා වස්‌ ගහ පිඹින්නටත් කියා කලබලයෙන් මතුරන්නට පටන් ගත්තේය. හුස්‌ම වැටීම ක්‍රමයෙන් අඩු විය. කෙඳිරිය නතර විය. පවුලේ සියල්ලම තුෂ්ණිම්භූතව බලා සිටී. කව්රු හරි මෙතැන මස්‌ මාළු කාපු එකෙක්‌ ඉඳලා තියෙනවා ගුරුන්නාන්සේ කෑගැසීය. ඒ අතරේ කෝරාළ පැමිණ මං ගිහං එන්නං ආරච්චිල කීය. එතනින් පිටව ගියත් ආරච්චිලට එය ඇසුණේ නැත. ගුරුන්නාන්සේ දැන් මොකද කරන්නේ ආරච්චිල නොසන්සුන්ව ඇසීය. දැන් කරන්න දෙයක්‌ නැහැ. ආරච්චි මහත්තයෝ තදට කිළි වැදුණොත් ගන්ධබ්බයා ආපසු හැරිල යනවා යෑයි කීය. මං කීයක්‌ වුණත් වියදම් කරන්නම් මගේ දුවගෙ පණ අරං දෙන්න ගුරුන්නාන්සේ කියමින් ආරච්චිල වැඳ වැටුනත් දැන් කරන්න දෙයක්‌ නැහැ. මට හරි දුකයි යනුවෙන් ගුරුන්නාන්සේ කීය.

 රන් එතනා පපුවට අත් දෙක ගසා ගනිමින් හඬන්නට වූ අතර ලොකු මැණිකා තම කාමරයට දිවගොස්‌ ඇඳේ මුණින් අතට වැතිර හඬන්නට වූවාය. ඒ අතරේ තරුණයන් දෙදෙනකු ආරච්චිල වෙත දිව ආවෝය. ආරච්චි මහත්තයෝ ආරච්චි මහත්තයෝ කෝරාළ උන්නාන්සේ වල් ඌරු ගාතයක්‌ සප්පායම් වෙලා කිතුල් රා බීල ඇවිල්ල තියෙන්නෙ තරුණයෝ කීය. මොනව බොල තොපි කොහොමද ඒක දන්නෙ ආරච්චිල ඇසීය. අර කෝරාළ උන්නාන්සෙ තිරික්‌කලයට නගින ගමන් තිරික්‌කල් කාරයත් එක්‌ක කිව්වේ " මං දවල්ට වල් ඌරු ගාතයක්‌ කාල ආව බව අමතක උනානෙ බොල මෙතෙන්නට කිළි වදින්න හොඳ නැහැ ඉක්‌මනට යමං කියලා. එතකොට තිරික්‌කල් කාරය කිව්වේ උන්නාන්සෙගෙ තවම කිතුල් රා මතත් ගිහිං නෑ වගෙ කියලා. මෙය ඇසූ ආරච්චිල යක්‍ෂාරූඪ විය. මං ඕකව පෙති ගහල මරණව ගුරුන්නාන්සේටත් පණ ගන්න බැරි වෙන්න කියමින් වලව්ව තුළට දිව ගිය ආරච්චිල කඩුවක්‌ද රැගෙන කෝරාළගේ තිරික්‌කලය හඹා යන්නට විය. තරුණයෙක්‌ද ඒ අනුව දිව ගිය මුත් තිරික්‌කලය පේන මානයක තිබුණේ නැත. ආපසු පැමිණ ආරච්චිල කඩුව මිදුලේ සිටුවා බිම වාඩි වී හඬන්නට විය.

 මිය ගිය රන්මැණිකා යළිත් හුස්‌ම ගත්තේ කෙසේද? ආදි කාලයේ යන්ත්‍ර මන්ත්‍ර විද්‍යාව පිළිබඳව පර්යේෂණ කළ නූතන පර්යේෂකයන් පෙන්වා දෙන්නේ මේ ලෙසටය. රන් මැණිකාගේ ආමාශය තුළට නාලයක්‌ ඔස්‌සේ මුලින්ම යවන ලද්දේ දෙහි යුෂ හෙවත් සිට්‌රික්‌ අම්ලයයි. පසුව යවන ලද අළුහුණු මිශ්‍රණය සහිත ජලය හෝ සෝඩා මිශ්‍රිත ජලය මේ හා එක්‌ වීමෙන් විශාල වශයෙන් කාබන් ඩයොක්‌සයිඩ් වායුව නිපදවෙයි. මේ අවස්‌ථාවේ ගලනාලය උගුරෙන් අවහිරව පැවතීම නිසා කාබන්ඩයොක්‌සයිඩ් වායුව මගින් පපුව හා උදරය පුම්බනු ලබයි. එහි පීඩනය වැඩි වු විට උගුරේ අවහිරය තුළින් වායුව පිටවන්නට පටන් ගනී. මෙවිට කෙඳිරි ගානවා වැනි ශබ්දයක්‌ද නිකුත් වේ. මෙම ක්‍රියාවලිය කිහිප විටක්‌ සිදු වීම කෙඳිරි ගාමින් අපහසුවෙන් ආශ්වාස ප්‍රාශ්වාස කරනවා සේ පෙනේ. මෙම ප්‍රතික්‍රියාවෙන් තාපයද උපදී. මළ දරුවාට ප්‍රාණය ලබා දෙන ලෙස එක්‌තරා කාන්තාවක්‌ මෙලොව බිහිවුන ශ්‍රේෂ්ඨතම බුද්ධිමතාගෙන් ඉල්ලීමක්‌ කළ අවස්‌ථාවේ එයට විසඳුම වූයේ උපාය මගින් ඇයට එය තේරුම් කර දීමය.

චිත්‍රාන් මොරකන්දෙ ගමගේ
divaina

================================================
උපුටා ගැනීම් සහිතයි ....!!! 
දයාබර පාථක සහෘදයිනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya 

No comments:

Post a Comment