Monday, February 17, 2020

සියනෑවේ පිහිටි අභිරහස් උමං......(Uman Marga gampaha අබිරහස් අඩවිය - Abirahas Adawiya - හෙල පුරාණය)

ලංකාවේ අභිරහස් ස්ථාන   
සියනෑව නැතහොත් ගම්පහ නිට්ටඹුව කිතුල්ගල හා වරකාපොළ අතර ප්‍රදේශය යනු අතීත රජ දවස සශ්‍රික බුදු දහමෙන් අනූන පින්වත් බිම් කඩක් බවටත් ඒ තුළ පිහිටි පුරාණ විහාර හා ඒවායේ පසුබිම් තොරතුරු මත පදනම්ව එම ප්‍රදේශවල පිහිටි අරුම පුදුම ස්ථාන සොයා අපි පියමැන්නෙමු. එහිදී වඩාත් අවධානය යොමු වූයේ ගල් ගුහා හා උමං වැනි ස්වභාවික පිහිටීම් වෙතය. තවද ලෙන් විහාර සැලකිය යුතු ප්‍රමාණයක් ඇති එම ප්‍රදේශය රජ දවස වලගම්බා රජු හා සම්බන්ධ පුරාවෘත හා විස්තර රාශියක් විය. තවද කැලණි ගං මිටියාවත හා සබැඳි ආදි මානවයා විසූ ස්ථාන දෙකක් අතර ද දෝලනය වූ අද සටහන නිතරම අප දකින ස්ථානවල නොදුටු පැත්තක් සොයා කළ සටහනකි.  

ක්‍රි.පූ. 103 දී පමණ අනුරාධපුර රාජධානියේ රජවූ වලගම්බා රජු යනු ලාංකේය රාජ වංස කථාවේ සුවිශේෂී සලකුණකි. ඒ ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කිරීමේ මහඟු දායාදය නිසාවෙනි. නමුත් වලගම්බා රජු යනු රාජත්වයට පත්ව මාස කිහිපයකින් කැරලි සහ දකුණු ඉන්දීය සතුරු ආක්‍රමණ හමුවේ රජකම හැර පලායන්නට වූ නායකයෙකි. නමුත් බුදු දහමට වූ නැඹුරුවත් ජනහිතකාමී බවත් නිසා ඔහු පලාගිය ප්‍රදේශවලදී ඔහුට ආරක්ෂාවත් නැවත සේනා සංවිධානය කර සතුරන්ට මුහුණදීමට හැකියාවත් ලැබුණි. එතුමන් විසින් කෑගලු හා ගම්පහ දිස්ත්‍රික්ක මායිම්වල වාසය කළ නැතහොත් සැඟවී සිටි සමයේ ඔහු බුද්ධ ශාසනයට ඉමහත් සේවයක් ඉටු කරන ලදී. ඒ අතර සතුරු ආක්‍රමණවලින් අාරක්ෂා වීමටත් සටන් උපක්‍රම ලෙසත් ගල්ගුහා හා උමං සෑදීම හා ප්‍රයෝජනයට ගැනීම ඔහු අතින් සිදුවූ බව යම් විහාරස්ථාන සාක්ෂි දරයි. සොබාදහමේ සැඟව ඇති එවැනි සොඳුරු ස්ථාන සොයා ගවේෂණයක් සිදු කිරීමෙන් අපට අවශ්‍ය වූයේ මෙම අභිරහස පිළිබඳ යම් තොරතුරක් දැනගැනීමටය.   

යක්කල කිරිඳිවැල පාරේ යන විට දික්කන්ද හන්දියෙන් හැරී ඉසිවර ත​පෝවනයට යන මාර්ගයේ හමුවන හැවනිවල පුරාණ රජමහ විහාරය වේ. එම ගමනේ දී ඇවරියවල අම්බලම හමුවන අතර ඒ අසල පිහිටි අලංකාර ජල තටාංගනය වලගම්බා රජ සමයට දිව යන්නකි. වලගම්බා රජුගේ බිසව ජල ස්නානයට පැමිණියේ මෙහි බවත් එක් දිනක් රැජිණගේ හවරිය අමතකව ගියපසු මෙම ස්ථානයට හැවරිවල සහ පසුකාලීනව එය ඇවරියවල ලෙස හඳුන්වන්නට ගත් අතර මෙම අම්බලම මීට වසර ගණනකට පෙර තැනූ එකක් විය. ඉන්පසු අප ගමන් කළ අරුම පුදුම ගලක් පිහිටි ඉසව්වකට භාවනානුයෝගී භික්ෂූන් වැඩ සිටින එහි අැති පෙට්ටගම්ගල අපූරු නිර්මාණයක් විය. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම පෙට්ටියක් ලෙස හැඩගත් මෙම ගල් පර්වතය උඩ කුඩා චෛත්‍යයක් පිහිටා ඇත. මෙම ස්ථානයට ඈතින් පිහිටි ප්‍රදේශ පැහැදිලිව දැකගත හැකි අතර මාලිගාතැන්න, වාරණ, පිලිකුත්තුව පවා දැකගත හැකිය.   
මෙම ගල පෙට්ටගමක් ලෙස හැඩයෙන් යුතු වන අතර ගලට පහළින් ඇති ගල් ස්ථරයේ ගුහාවක්ද පිහිටා ඇත. එම ගුහාවට ඇතුළුවීමට සහ පිටවීමට ස්ථාන පවතින අතර දළ වශයෙන් ගුහාවේ මීටර දෙසීයයක් පමණ යා හැකිය. වල් ඌරන්, රිලවු, හාවා, ඉත්තෑවා, වගේම නරි මෙම කැලෑබද ප්‍රදේශවල ජීවත්වන අතර මෙම ගුහාවල නිතරම නරින්ගේ වාසස්ථානයක් බවට පත්වන තැනකි. මෙවැනි කුඩා ප්‍රමාණයේ ගුහා රැසක් මෙම ප්‍රදේශවල පිහිටා ඇති අතර අතීතයේ එ්වා කුමක් සඳහා භාවිතා කළේදැයි නිශ්චිතවම පැවසිය නොහැක.   

තවද වාරණ රජමහා විහාරයේ ගල්වල ඇඳි සිතුවම් වලගම්බා රජ සමයට අයත් වන අතර මාලිගාතැන්න ලෙන් විහාරයද වලගම්බා රජු විසින් ඉදිකරන ලද්දක් බව පැවසේ. මාලිගාතැන්නේ ලෙන් කිහිපයක් පවතින අතර ඒවා විටෙක භික්ෂූන් සඳහා භාවනානුයෝගීව වැඩ සිටීමට උපකාර වූ බව පැවසේ. වලගම්බා රජුගේ අවධානය නැතහොත් මැදිහත්වීම් ලද මෙම විහාර සේම මිරිස්වත්ත සිට වතුරුගම මාර්ගයේ යන විට හමුවන ඌරාවල වලගම්බා රජමහා විහාරය එතුමන්ගේ පැමිණීම සහ ගැවසීමට කදිම නිදසුනක් සපයයි. එම විහාරය මේ වන විට පුරාවිද්‍යා ආරක්ෂිත ස්මාරකයක් ලෙසද නම් කොට ඇත.   

වලගම්බා රජ දකුණු ඉන්දීය ආක්‍රමණ හමුවේ රජසුන හැරදා ලංකාවේ විවිධ ප්‍රදේශවලට පලා ගොස් දහහතර වසරක් කල්ගෙවා තම සේනාව සූදානම් කරගත් අතර එම වසර කිහිපය තුළ එතුමා වෙහෙර විහාර බොහෝමයක් සංවර්ධනය කරමින් බුදු සසුනට ඉමහත් සේවයක් සිදු කරන ලදී. එම නිසාම මහජනයාගේ ප්‍රසාදය ඔහුට හිමිවිය. තවද ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කිරීමට ද දායකත්වය සැපයූ එතුමා සැඟව සිටි තවත් ස්ථානයක් ලෙසට කෑගල්ල දිස්ත්‍රික්කයේ කිතුල්ගලට නුදුරු බිබිලිඔය පිළිම ලෙන විහාරයද සාක්ෂි දරයි. කැලණි ගං මිටියාවත අද්දර පිහිටි මෙම විහාරය වලගම්බා රජුට සැඟවී සිටීමට උපකාරී වී ඇත. තවද එම විහාරයේ පිටුපසින් උමගක් කැලණි ගඟට කපා ඇති බව ද කියැවේ. උමං හා ලෙන් ආදිය සම්බන්ධයෙන් වලගම්බා රජු මහත් ප්‍රසිද්ධියක් උසුලන අතර කොළඹට ආසන්නම ලෙන් විහාර ලෙස මෙම සියනෑ මායිම ආශ්‍රිත පිහිටි ලෙන් විහාර ගත හැක.   
අතීතයේ රජවරුන් උමං හා ගුහා සතුරු ආක්‍රමණවලින් බේරී සැඟව සිටීමටත් පහරදීමටත් විවිධ ප්‍රදේශවලට පලායාමටත් උපයෝගී කොට ගත් බව නොරහසකි. මෙම ස්ථාන අතර පසුගිය දිනක අපගේ නෙත ගැටුණු තවත් අරුම පුදුම පිහිටීමක් සහිත ගුහාවක් විය. එය පිහිටියේ කන්දක බෑවුමේ වන අතර එයද කෑගලු ගම්පහ දිස්ත්‍රික්ක මායිමේ අල්ගම නම් ග්‍රාමයේ වනලැහැබක පිහිටා තිබුණි. වර්තමානය වන විට එම ප්‍රදේශය පුද්ගලික හෝටලයක (Sri Craft Village) අයත් භූමියක් වන අතර එතරම්ම ප්‍රසිද්ධියක් උසුලන්නේ නැති එම ගුහාව සොයාද අපි ගියෙමු.   

අල්ගම නගරයේ සිට ඇලිපල්ල ප්‍රදේශයට යන විට රබර් වතුයායක අලංකාර ලෙස ගොඩනගමින් පවතින එම හෝටලය (Sri Craft Village) දැකගත හැකි වන්නේ එගොඩගම නම් ප්‍රදේශයේ දීය. ගුහාවට යාමට නම් එගොඩගම සිට පුවත්තාගලට යා යුතු අතර එතැන් සිට නිල්වලගල නම් කන්ද නැගිය හැක. තවද ඇළපල්ල ප්‍රදේශයේ සිට යනවිට කෙල්ල වැටිච්චවල පසුකොට ඉදිරියට යා හැක. අල්ගම නගරය සිට පරන්තල ප්‍රදේශයේ පිහිටි අල්ගම ඇල්ලට එපිටින්ද නිල්වලා ගල තරණය කිරීමට යා හැක. නිල්වලගල මුදුන මුහුදු මට්ටමේ සිට මීටර් 170 ක පමණ උසින් පිහිටා ඇති අතර ගුහාව පිහිටියේ මුහුදු මට්ටමේ සිට මීටර 152 ක පමණ උසකිනි.   
හෝටලයේ සිට කඳු වැටි 2 ක් හරහා කි.මී 4 ක පමණ වනගත පාගමනකින් පසු අප අල්ගම ඇල්ල වෙත ළඟා වූ අතර පසුව රබර් කැලය මැදින් කෙසෙල් මුංඇට වගාකල ඉසව්වකට පැමිණ නිල්වලගල මුදුනට පැමිණියෙමු. ඉත්තෑවන්ගේ කටු සහ සාවුන්ගේ සලකුණු සේම ගම්මානයට ජලය ලබාගන්නා කුළුඳුල් ජල උල්පතක් ද අපි මෙම කන්දක් මතදී දුටුවෙමු. වල් ඌරන් සිටින මෙම ප්‍රදේශයේ නරිද සිටින බව අපට දැනගැනීමට ලැබුණි. කෙසෙල්, බුලත්, රබර්, තේ වගාවන් සේම කුඹුරු ගොවිතැනද මෙම ප්‍රදේශයේ සශ්‍රිකව කරනු අප දුටුවෙමු. ඇට්ටෝනියා ගස් බහුල මෙම ප්‍රදේශයේ එරමිණියා වෙරළු, කිතුල්, වේවැල් ඉදල්කූරු වගේ ශාක ව්‍යාප්තියක්ද පවතියි.   

තවද බබරගල ගැරඬිගල සහ පැණි හෙල වැනි අවශේෂ කඳු ගැට කිහිපයක් ද මෙම ප්‍රදේශයේ දී දක්නට ලැබුණි. උදෑසන පැහැදිලි අහස ඇති දවසක කොළඹ වරාය ආශ්‍රිත ගොඩනැගිලි ප්‍රදේශ සේම ශ්‍රීපාදය පවා දැකගත හැකිය. නිල්වලා ගල මුදුන අංශක 360 ක වපසරියක් දැකිය හැකි විශාල ගල්තලාවක් සහිත ප්‍රදේශයකි. වර්තමානයේ මෙය ශ්‍රී ක්‍රාෆ්ට් හෝටලය මගින් නුවර දේවාලයෙන් බදු ලෙස ගෙන තිබේ. කෙසේ හෝ පැය එක හමාරක ගමනකින් පසු අප ගුහාවට බැසීමට අදාළ ස්ථානයට ලඟා වූයේ හෝටලයේ සිට දුෂ්කර වනගත මාර්ගයක් ඔස්සේ අල්ගම ඇල්ලද නරඹා පැමිණීමෙනි. ගුහාවට යාමට නම් මහා ගල් පර්වතය දිගේ මීටර් 20 ක් පමණ පහළට බැසිය යුතුය. එසේ බසින විට ගලට බරව ප්‍රවේශමෙන් බැස ගත යුතු වන්නේ සුළු පා ලිස්සීමක් ඔබේ නිසල සිරුර පහත ප්‍රපාතයේ රැඳවීමට තරම් ප්‍රබල හෙයිනි.   

 එසේ බැසගත් අප විවෘත ගුහාවක් අසලට පැමිණියෙමු. ගස් වලින් වැසී ආරක්ෂිතව තිබුණු මෙම ස්ථානය කිසිවිටකත් දුරට දැකිය නොහැක. එය පසුකොට මීටර 5 ක් පමණ ගිය පසු දැවැන්ත ප්‍රපාතය වේ. එම ප්‍රපාතය දිගේ මීටර 5 ක් පමණ බැස ගත් පසු නිල්වලගල ගුහාවට ඇතුළු විය හැකිය. නමුත් ජීවිතයත් මරණයත් රැඳි එම මීටර 5 බැසීමට කඹයක ආධාරයක් ගත යුතුම වේ. මන්ද අංශක 90 ක බැස්මක් එහි ඇති හෙයිනි. පහළට වක්‍රව සිට සුමට ගල් තලාව අල්ලාගෙන පහළට බැසීම මරණයට අත වැනීමක් බැවින් කඹයක් වැනි ආරක්ෂිත ක්‍රමයක් අනුගමනය කළ යුතුවේ.   

එම ගුහාවට අප ඇතුළු වූ පසු දුටුවේ එහි විශ්මිත පිහිටීම සහ හැඩයයි. තනි හෙලක ඇසක ආකාරයෙන් ගුහා කට පිහිටා ඇත. එම නිසා දුරතියා මෙය දැක ගැනීමටත් හඳුනාගැනීමටත් අපහසු වේ. එක යායට ඉදිරියෙන් පිහිටියේ හරිත වන ලැහැබයි. ගුහා කට පහළ සිට ඉහළ ස්ථානයට උස අඩි 10 ක් පමණ වන අතර ඇසක් ලෙස ගත් කල ගුහාවේ ඇතුළුවීමේ කොන් දෙක අතර දුර අඩි 20 ක් පමණ වේ. ඇළයට පවතින මෙම ගුහාවේ පහසුවෙන් හිටගෙන ගමන් කළ නොහැක. නමුත් තිස්දෙනෙකුට පමණ පහසුවෙන් මෙහි නැවතී සිටිය හැක. ගුහාව විශාලත්වයෙන් ක්‍රමයෙන් කුඩා බවත් ඇතුළට විහිදෙන අතර මෙය වවුලන්ගේ රජදහනක් බවට අපට පවසමින් වවුලන් පියඹා යන ලදී. මිනිස් ඇසට හසු නොවුණු වැහිලිහිණි කූඩු කිහිපයක් ද එහිවූ අතර වැහිලිහිණියන් අහසේ කෑගසමින් පියඹනු අපි දුටුවෙමු.  

මෙම ගුහාව සම්බන්ධ කිසිදු මූලාශ්‍රයක් හෝ ජනප්‍රවාදයක් ප්‍රදේශවාසීන් නොදන්න නමුත් ගුහාව ඇතුළට මීටර 200 ක් පමණ බඩගාගෙන දණ නවාගෙන යා හැකි අතර එක්තරා ස්ථානයක තරමක් නැගිට සිටිය හැකි නමුත් වවුල් වසුරු පිරි එම ඇතුළත අධි දුර්ගන්ධයකින් යුක්ත වේ. මෙම ගුහාව වලගම්බා රජුගේ සේනා සංවිධානයට හෝ සැඟව සිටීමට යොදා ගත්තක් ලෙස සිතිය හැකි මුත් නිශ්චිත සාක්ෂියක් හෝ ජනවහරක් හමුව නැත. ප්‍රදේශයේ පවතින කඳු ගැට අතරින් නිල්වලගල තරමක් උස් කඳු ගැටයක් වන අතර මීට කිලෝමීටර් 5 ක් පමණ දුරින් පිහිටි උඩුවක දුනුමාල ඇල්ල නොහොත් අලවල දේවීන් පැන්න ඇල්ල ලෙස හඳුන්වන දියඇල්ලක් පවතියි.  

මෙම ඇල්ල වටා ජනප්‍රවාද හා රාජ කථා කිහිපයක් පවතියි. මෙම ඇල්ල අසල ද ගල්ගුහා කිහිපයක් දක්නට ඇති අතර ඉන් එකක කි.මී භාගයක් පමණ ගමන් කළ හැකිවේ. තවෙකක් විවෘත ගුහාවක් වන අතර එය රත්නපුර දක්වා විහිදී ඇති බව ප්‍රදේශවාසීන්ගේ අදහසයි. තවද ජනප්‍රවාදයට අනුව යුවරජකුගේ ජයග්‍රහණය පිළිබඳ විහිලුවක් කිරීමට කළු කොඩි එසවීම නිසා ඔහුගේ බිසෝවරු මෙම ඇල්ලෙන් පහළට පැන දිවිනසා ගත් හෙයින් දේවීන් පැන්න ඇල්ල ලෙස හඳුන්වයි.  

තවද අල්ගම ඇල්ල යනු වලගම්බා රජු ස්නානය සඳහා පැමිණි ස්ථානයක් බවටත් නිල්වලගල මුදුනේ එතුමා සැඟවී සිටි බවටත් යම් හෝඩුවාවක් අප සොයාගත් බැවින් සොබාදහමේ අැස ලෙසින් පිහිටි නිල්වලගල ගුහාව වලගම්බා රජට උපකාරී වූ ස්ථානයක් බවට සැකයක් නැත. එම ගුහාව තවත් කොතරම් දුරකට විහිදේ දැයි නිශ්චිතව සොයාබලා නොමැත.  

නිල්වලගල ගුහාවේ එක් කොනක ගලේ පිහිටීම වෙනස් විය. මන්ද කළුගල රතු හා ලා කහපාටින් යුක්ත විය. ඒවා ස්වභාවිකවම පිහිටීමක් වූ අතර සමස්ථ ගුහාවෙන්ම එම ස්ථානය පමණක් එලෙස දැකිය හැකි විය. ගුහා ඇතුළට ගිය පසු ඇසක් වැනි හැඩය හොඳින් දැකගත හැකි අතර ළඟාවීමට ඇති දුෂ්කරතාව නිසා සතුරු උවදුරු වලින් බේරී සිටීමට මෙය කදිම ස්ථානයක් විය. තවද මෙතැනට දුර ඈත කඳුවැටි හා ප්‍රදේශ දැකගත හැකි අතර විටෙක මෙය ඔත්තු බැලීමට යොදාගත් ස්ථානයක් බවට ද උපකල්පනය කළ හැකිය.  
වලගම්බා රජුගේ සේනාධිනායකත්වය හා බුදුදහමේ පුනරුදයට කරන ලද මෙහෙවර මෙම ප්‍රදේශවල බොහෝ වශයෙන් දැකිය හැකි අතර පිට තරමක් වෙනස් සාධකයක් අලවල පොත්ගුල් විහාරයේ පමණක් දැකගත හැකි විය. එය නම් අලවන පොත්ගුල් ගුහාව නම් ආදී මානවයා ජීවත් වූ ස්ථානයක් ලෙසට පුරා විද්‍යා දෙපාර්තමේන්තුව මගින් පරික්ෂණ කළ ස්ථානයයි. මන්ද අලවල ගුහාවෙන් ආදි මානවයන් දෙදෙනෙකුගේ ඇටකටු සොයාගෙන තිබූ අතර ඊට අමතරව ගල් ආයුධ ආභරණ වැනි දෑ උපකරණ වැනි නටඹුන් මීට වසර කිහිපයකට පෙර පුරාවිද්‍යාව මගින් සොයාගෙන තිබුණි.  

ඔවුන් පවසන අන්දමට ඒවා වසර 13000 කට අතීතයකට දිවයන ආදි මානවයා සිටි ස්ථානයකි. කටාරම් කොට ඇති ගල්ලෙනක් නිසා පසුකාලීනව භික්ෂූන්ට භාවනා යෝගීව සිටීමට වලගම්බා රජු කරවූ ස්ථානයක් ලෙසද විටෙක සිතිය හැක. මන්ද කටාරම් කෙටීම භික්ෂු භාවනා ස්ථාන හා දැඩි ලෙස සම්බන්ධ වූවක් හෙයිනි. එම ගුහාව තුළ පහසුවෙන් 30 දෙනෙකුට වඩා සිටිය හැකි අතර වැඩිදුර කැණීම් හෝ ආරක්ෂිත වැඩපිළිවෙලක් මෙම ගුහාව ආශ්‍රිතව වර්තමානයේ සිදුකර නොමැත.  

කෙසේ හෝ දින කිහිපයක සංචාරයකින් අනතුරුව වලගම්බා රජුගේ අභාෂය ලත් විහාර කිහිපයක් සහ ඒ ආශ්‍රිත පිහිටි ගල්ගුහා ලෙන් සහ අතීත කරුණු රාශියක් සොයාගැනීමට හැකි විය. ඒ අනුව නිල්වලගල පිහිටි ගුහාව වලගම්බා රජුගේ සැඟවී සිටීමේ ස්ථානයක් බවටත් එය අැතැම් විට තවදුරටත් උමගක් ලෙස විහිදෙන බවටත් දැකගත හැකි විය. තවද අවශේෂ ගුහා හා ලෙන් ආදිය තුළ සැඟවුණු අතීත හෙළ වීර කථා රාශියක් තිබිය හැකි අතර ඒවායේ අභිරහස සොයා ගත නොහැකිව පවතියි. බටහිර මුහුදට ආසන්න මෙම ප්‍රදේශය කැලණි ගං මිටියාවටත් සමීප බැවින් තවත් අපූරු නිල නොලත් රාජධානියක භූගත ගමන් සැලසුම් තිබුණු විශේෂයෙන් වලගම්බා රජ දකුණු ඉන්දියා ආක්‍රමණිකයන්ට නැවත පහරදීමට සේනා සංවිධානය කළ ඉසව් බව පැහැදිලිය. එම නිසා මෙම ගුහාවල අදටත් මිනිස් ඇස නොගැටුනු උමං පද්ධති තිබිය හැකිය. එම අභිරහස් කාලයේ වැලිතලාවට යටව සුරක්ෂිත වනු නොඅනුමානයි.  

විශේෂ ස්තුතිය - Sri Craft Village හෝටලයේ කළමණාකාර සමීර මහතාට  
සංචාරක සටහන හා ඡායාරූප  
ශමින්ද රන්ශාන් ප්‍රනාන්දු
lankadeepa
================================================
උපුටා ගැනීම් සහිතයි ....!!! 
දයාබර පාථක සහෘදයිනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya

No comments:

Post a Comment