වැව් බැඳි අඩවිය පුරා වසංගතයක් වගේ නිධාන් හෑරීම පසුගියදා සිදු වූවේය. හයි හත්තිය ඇත්තෝ ද නැති බැරි ඇත්තෝ ද පංගුකරුවෝය. ලැබුණ ඔත්තු පණිවුඩවලට අල්ලන්ඩ ගියාම මළ බුලත් තට්ටුවක්, හාරණ අවි ආයුධ ටිකක්, හෑරූ වළක්, කලාතුරකින් මඟ හැර දුවගන්ඩ බැරිවුණු කුලී වැඩකාරයෙක් අත්අඩංගුවට පත්වුණේය. මේ කාරිය කරන අයට අපේ ඇත්තන් නම් පටබැන්ඳේ “බහිරවයන්” කියාමය. රටේ ධන දේපළ වස්තුව කොල්ලකන පහත් වැඩ කරන්නන්ටද “බහිරව”යෝයයි බණිති. අපේ ගම්ගොඩේ කෙනෙකු නොකළ යුතු දෙයක් කරගත්විට, අවනම්බුව ට පත්වුණ විටක “ඕකට බහිරවයා” ඇද වුණාවත් දැයි අසයි. ඒ කියන්නේ බහිරවගෙන් වැරැද්දට දඬුවම් ලැබීම ස්ථිර බවයි.
රිටිගල පාමුල පොතු වැවේ රාජමහ අම්මාදේවි පැන් පහසුවුණ පොකුණ ඉසව්වේ ගල මත නිධන් (ලකුණු) තිබූ තැනක් හාරන්ට ගිය කට්ටියද පැන දිව්වේය. බහිරව මුත්තාගේ බලයෙන් එසේ එම කාරිය වැළකුණා යැයි ගම්මු පවසති. “බහිරව” කථා බොහෝ අසා ඇති නිසා මඳක් උන්දෑ කවුදැයි නිධන් හාරණ බහිරවයන්ට මතක්කර දීම වටීය.
අපේ ගම්වල යක්කුන් දේවතාවුන් ඥාතිත්වයට පත් කර හඳුන්වන්නේ ඒ තරම්ම තම ජීවිතයට උදව් උපකාර ලබා දෙනවා යයි පවතින විශ්වාසය නිසාය. “බහිරව” (පාතාලය) මිහිකත් අම්මාගේ භාරකරුය. ඒ නිසාම “බහිරව මුත්තා” යයි කියති. බහිරව උත්පත්ති කථා මාලාවක්ම පවතියි. ඒවායේ විවිධ බහිරවයෝ හමුවෙයි. අෂ්ඨ බහිරව උපත කපුරාල අත්තා කියා දුන්නේ මේ කවි රාගත් කියා පාමින්ය.
“අට දවසට එන සුළඟට බිඳුණේ වම් පාද පෙණේ
පිට පිට එන සුළඟට පෙණ කිරිමුහුදේ ගොස් වැටුණේ
වැටුන එපෙන පත්‍ර කඩින් පත්‍ර කාලිදෙවි මැවුණේ
වට ඉසුනු උරිරු වලින් “බහිරව අට දෙන” මැවුණේ”
මහකෙළ නා රජු වාතමේඝ රජු හා උරණව සටන් වැදුණ තැනේදී වාතමේඝ මහාකෙළ නා රජුගේ වම් පෙණය කිරි මුහුදට වැටෙන්නට පහරක් ගැසීය. එදා පෙණය කැඩී විසිවුණ ලේ බින්දු අටෙන් ස්වස්චන්ද්‍රරාජ, ලම්බි තරාජ, දේවරාජ, උග්‍රරාජ, යමරාජ, විද්‍යාරාජ, කාමරාජ, නාගරාජ යන නම් ඇතිව අෂ්ට බහිරව පහළ වී යයි මෙතැන කියවුණි. වෙනත් නම්වලින්ද අෂ්ට බහිරව නම් කරනවාය. අනුරාධපුර අභය ගිරි විහාරයේ ශංක හා පද්ම බහිරවයන් වහන්සේලා විහාරය ඉදිකරවීමට හරස්වී පසුව වළගම්බා රජුගේ බලවත් ඉල්ලීමට එකඟ වී විහාරය ඉදිකරවීමට උදව් කර අද දක්වාම විහාරය වැසියොත් රැකගන්නා බව ද කියවේ. රජයේ උසාවි තීන්දු අනුව දිවුරුම් දෙන්නේ උන්වහන්සේලා ඉදිරිපිටය. උන්වහ්සේලා යුක්තියත්, දඬුවමත් නිසි ලෙස ලබා දෙති. කපුරාල අත්තාගේ දේව කන්නලව්වේ අෂ්ට බහිරව, දශවිධ බහිරව, සූවිසිබහිරව, සූසැට බහිරව මිඩංගු කරන තැනේදී ශංඛය පද්මය, ගණනාථය, නීල කණ්ඨය, ප්‍රේතාක්ෂය, විශ්වරූපය, පරමය, අග්‍රරූපය, පරම රූපය, මර්තාන්ඩය, ක්ෂේත්‍රපාල, විසාපහර, ගධාධර, උග්‍රය, කාල රාක්ෂය, සන්නි, සූර, චිත්‍ර, රාක්ෂ උට්ඨාන, නාගතා ආදි බොහෝ බහිරවයන් ගැන ද කියයි. බහිරව විවිධ අවතාර වී කටයුතු කරන අතර තවත් යක්ෂයින් හා දෙවිවරු බහිරව වී තෙද පාන බවද ජයසිරිමා හාමුදුරුවන්ට මුර බාර වූ කළු දේවතාබණ්ඩාර දේව වරුණාවකින් ද මෙසේ කියවෙයි.
“ඔබිනා නිල්වරල ගොතා රං වේවැල කැරකෙන රුව
බඳිනා කරවට මිණි බැඳි මල් තවඩං කැර කෙනරුව
විඳිනා හෙන පුපුරු විදුලි ධූම සැරය වැනි තෙද ලොව
වඩිනා රඟබල උදාර කළුදෙවතා “මහ බහිරව”
මැදවච්චිය කඩවත් කෝරලයේ බහිරවට “බැරැන්ඩි” දෙවියෝ යයි ද කියති. ඉතින් මේ ලෝක ධාතුවේ ආතාලේ පාතලේ මහ පොළවේ, සාගර පතුලේ ඇතිවන්නා වූ පද්මරාග, වජ්‍රවීදාම, ගෝමේධ, ඉන්ද්‍රනීල, පුෂ්පරාග, වෛධූර්ය, මරකත ආදි කොට ගත් මාණික්‍ය රත්නයන් ද, සියලු රන්, රිදී, යකඩ, පස්ලෝ, පස්, වැලි, මිනිරන් ආදි සකල විධ අනේක ප්‍රකාර වූ භූතල වස්තූන් ද ආරක්ෂා කොට සුරක්ෂිත කිරීම බහිරව මුත්තලාගේ රාජකාරියයි. යක්ෂ දේව රූපදෙකින්ම බහිරව මුත්තා පෙනී සිටිමින් පෙති පිළිම, රැකගන්නා බවද කියවේ. ශාන්ති කර්ම, දේව කාරී ඉටුකරන අවස්ථාවල ඒවා දැක බලා බාර ගැනීමට මනුෂ්‍ය වේශයට ද පත්වෙයි. අතක කගයක් (කඩුවක) ද අතක කුසලානයක් ද දරා සිටිමින් මහා සුනඛයකු පිටේ නැගී ගමන් කරයි. යක්ෂ භූත රූප මවා භය කිරීමත් ඊට අඩංගු නොවේ නම් බෙල්ල කරකවා බිඳ, මරණයට ද පත් කරයි.
බහිරව මුත්තලාගේ වැඩකාරයෝ වියතක් උස මිනිස් රූපකාර පාතාල සත්වයින්ය. ලක්ෂ ගණන් මේ ඇත්තෝ භූගත වස්තු රැක ගනිමින්, පොළොව යට සිටිති. හාරන විට නොපෙනී නිධාන පොළෝ පතුලට ඇදගෙනයයි. භූමියේ ශුභ කටයුතු අරඹන විට බහිරව පූජාදී වරම් ගන්නා ඇදුරන් වියතක් ගැඹුරු කොටුවක පූජා තබන්නේද පාතාලයින්ට පහසු වීමටය. “වාමන” නමින් ද හැඳින්වෙයි.
“කං කං යසෝකං ත්‍රෛලෝඛ්‍යං - මම හර තුභයං ශ්‍රී භෛරවාං ක්ෂෙත්‍රපාලං නමාමි” බහිරව අෂ්ටකවලින් එතුමන් භූමිපාලක බව කියවේ. පොළොවේ ඇතැම් වස්තු පෙනී තමන්ට යා නොදී නොපෙනි ගිය අවස්ථා ගැන සැබෑ කථා කොතෙක්වත් අපේ ගම්වලින් ඇසෙයි.
නිධාන්වලින් ලැබුණ මසුරන්, මරංචිවලට තණ්හාධික ඇත්තන් රජරටට පැමිණ රැවටෙන අවස්ථා එමටය. මේ සතියේ ද එබඳු රැවටීමක් කිරීමටගත් උත්සාහයක් ආපිට කැරකි නගර මධ්‍යයේ නැගෙනහිර නුවර ගම් පළාත් ලේකම්කාර්යාලය ළඟදී අත්අඩංගුවට පත්වීය.
පොළොවේ හැම තැනකම නිධාන් නැත. පෙති පිළිමවල කොහොමටත් නැත. තණ්හාධික මුග්ධයනි අපේ වටිනා පුරාවස්තු හානි පත් නොකරව්. ඇති නිධාන්ද උරමකාරයාට පහළ වනවා මිස හාරමින් වටිනා දේ ද විනාශ නොකළ යුතුයි. අපේ මුතුන් මිත්තන් වස්තුව යුද කාලයන්හී ද සතුරන්ගෙන් බේරාගැනීමට ද ගල්කෝවක වැළලු අවස්ථා හමුවේ. ජනශ්‍රැතියට අනුව මහා නිධාන් කිරීමේදී වස්තුවට අධික ආශා ඇති අයකු සමඟ නිධානය වළලන්ට යයි ඔහුට වළට දැමූ වස්තුවෙන් ටිකක් ගන්ට කියයි. ආශා අධිකයා පාත් වන විට හිස ගසා දමයි. වස්තු ආශාවෙන් මිය යන ඔහු සදාකාලික මිය උපන් පාතාල යකෙකුව එය රැකගනී.
අපේ ගුරුකම් ශාස්ත්‍ර ඇත්තන් උත්තරා, වරුණා, ඉන්ද්‍රා ආදී අට දිසාවට අරක් ගත් බහිරව අට දෙනද ඊටම ආතාල (අහස) පාතාල (පොළව) එකතු කර “දස බහිරවද” හදාගෙන ඇත. මන්තර ඇත්තන් “කාල, මුර්තු රාජ, ක්‍රෝධ, බිම්භ, භූත, ඔඩ්ඩි, දිෂ්ටි, ආතාල, පතාල යයි තවත් දසබහිරව කට්ටලයක් භාවිත කරයි. නවකුණ්ඩ රාජයා නමැති මන්ත්‍ර ශාස්ත්‍රයේ මුදුනතෙහි “දිව්‍ය දේවාති අංගුලිනාම බහිරවී, අමාබහිරවී, ප්‍රකටක වීර ගෝර බහිරවී, බහිරව දේවි, බහිරව රාක්ෂි” වශයෙන් තවත් කොටසක් දැක්වේ. දේවපුරාණයේ දේවතා පස්දෙනා කට්ටු (කාණ්ඩ) කීපයක් කඩවර, කම්බිලි, කළුදේවතා ගුරුමා, සහ බහිරව ආදී වශයෙන් ඇත. හැම කාණ්ඩයකම බහිරව ඇතුළත්වීම ද විශේෂයකි.
අපේ පුරාවිද්‍යාත්මක, ආගමික හා සාමාජික වටිනාකම් ඇති වස්තු බහිරවයන්ටත් ආරක්ෂා කර ගැනීමට නොහැකි නම් දැඩි ක්‍රියාමාර්ගවලට අවතීර්ණව මේ වටිනා වස්තු රැකදීමට බලධරයන්ට හැකි වේවායි පතන්නෙමු.
මාමිනියාවේ ඉලංගසිංහ
silumina
================================================
උපුටා ගැනීම් සහිතයි ....!!!
දයාබර පාථක සහෘදයිනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම් like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya
No comments:
Post a Comment