‘සිල්අත්තන ගුහාව’ කියන අලූත් කතාව
අප රටේ දසත පිහිටා ඇති ගල්ලෙන් හා ගුහා බොහෝමයක් අතීතයේ විවිධ සිදුවීම් හා බැඳී පවතී. ඇතැම් ගල්ලෙන් අතීත රජවරුන් යුද සමයන්හි ආරක්‍ෂාව උදෙසා සැඟව සිටි ස්ථාන වන අතර බොහෝ ලෙන් භාවනානුයෝගී භික්‍ෂූන් වහන්සේ හෝ රහතන් වහන්සේ වැඩසිටි ස්ථාන ලෙස ඉතිහාසයේ හා ජනප‍්‍රවාදයන්හි සඳහන් වේ. ඒ ආශ‍්‍රිත ගල්ගුහා ඓතිහාසික ආගමික සිද්ධස්ථාන ඇතුළු විවිධ ස්ථාන යාකළ ආරක්‍ෂිත මාර්ග ලෙස භාවිත කළ බවද සැලකේ.
මෙම බොහෝ ස්ථාන ඒ පිළිබඳව අදාළ පාර්ශවයන් විසින් ගවේෂණය කිරීමෙන් හෝ ජනප‍්‍රවාදයන් තුළින් හෝ ප‍්‍රසිද්ධියට පත්ව කාලයක් තිස්සේ දහස් ගණන් ජනතාව විසින් දැක බලාගෙන ඇතත් ඒ අතර මෙතෙක් කිසිදු ආකාරයකින් බාහිර සමාජයට විවර නොවූ අතීත රහස් සඟවාගෙන වනගතව පවතින ස්ථානද කොතෙකුත් තිබිය හැකියි.
මෙවන් සඟවුන අතීතයක් පිළිබඳව ලැබුණු තොරතුරක් පසුගිය දිනෙක අප වෙත ලැබුණු අතර අතීතයේ රහතන් වහන්සේ නමක් වැඩ සිටි ඉපැරණි ලෙන් සිතුවම් සහිත මෙතෙක් බාහිර කිසිවෙකු නොදන්නා ගල්ලෙනක් ඇති බව එම ආරංචියෙන් කියැවිණි. කෙසේ වුවද එම තොරතුරු ඔස්සේ අපි එවන් පෞරාණික වටිනාකමක් සහිත ගල්ලෙන සොයා ගියෙමු. එහෙත් මේ අපූරු ගල්ලෙන පිහිටියේ මිනිස් පුළුටක් නැති මහා වනදුර්ගයක නොව නිරතුරු මිනිසුන්ගේ ඇස ගැටෙන සීමාවක සීතල නමුණුකුල කඳුපියසට යාබදව පිහිටි තවත් කුඩා කඳු පියසකයි.
බදුල්ල දිස්ත‍්‍රික්කයේ ඇල්ල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් නමුණුකුල බල්ලකෙටුව නගරයට ආසන්නව පිහිටි නමුණුකුල වැවිලි සමාගමට අයත් හිඳගල වත්ත උඩ කොටසේ තේ වගාවෙන් තොර විසල් ගල්කුළු සහිත පෙදෙසක මෙම ලෙන පිහිටා ඇත. ඉතා දුෂ්කර ස්ථානයක පිහිටි මෙම ඉපැරණි ගල්ලෙන ප‍්‍රදේශවාසීන් විසින් හඳුන්වනු ලබන්නේිසිල්අත්තන ගුහාව’ නමිනි.
අපට මග පෙන්වූ ලාල්, සිරි අයියා, රාමසාමි හා සිංගාරා සමග මාධ්‍යවේදී චන්දනත් මමත් විසල් ගල්කුළු සහිත කඳුගැටයේ ඉහළ සිට ඉතා දුෂ්කර බෑවුමක අවදානම් ගමනකින් පසු අතිවිශාල උස් කළුගලක් යට පිහිටි මෙම ගල්ලෙනට ළඟාවීමු. එම ලෙන් විවරය අසලටම ගියහොත් මිස මෙහි ගල්ලෙනක් හෝ වාසස්ථානයක් ඇති බවට බාහිරින් කිසිසේත්ම දැනගත නොහැකි ලෙස ලෙන් විවරය පිහිටා ඇත
.ප‍්‍රදේශවාසීන් බොහෝ දෙනා පවා මෙතෙක් කලක් සාමාන්‍ය තේ වත්තක් ලෙස පමණක් දැනගෙන සිටි එම වත්තේ බාහිර සමාජය නොදැන සිටි වසර සිය ගණනක අතීත කතාවක් සැඟවී ඇති බව දැන සිටියේද අතලොස්සක් දෙනාය. බොහෝ විට දරිද්‍රතාවය හා හිස මත පැටවුණු ආර්ථික ප‍්‍රශ්න හමුවේ එම වතුකර වැසියන්ට මෙවන් තැනක් ගැන වැඩිපුර යමක් සිතන්නට වෙලාවක් හෝ අවශ්‍යතාවයක් නොතිබුණා වන්නටද ඇත.
කෙසේ වුවද ජනවහරට අනුව වසර සිය ගණනකට පෙර මෙම ස්ථානයේ භාවනානුයෝගී භික්‍ෂූන් වහන්සේ නමක් හෝ ඇතැමුන් කියන පරිදි රහතන් වහන්සේ නමක් වැඩසිටි බැවින් එකලිසිල් ඇත්තන්නේ ගුහාව’ නමින් පැරැන්නන් විසින් මෙම ගල්ලෙන හඳුන්වන්නට ඇතැයිද කාලයත් සමගිසිල් ඇත්තන්නේ ගුහාව’,ිසිල් අත්තන ගුහාව’ වන්නට ඇතැයිද ප‍්‍රදේශවාසීහු පෙන්වා දෙති. එසේම තම වැඩිහිටි පරපුර විසින් මෙම ගල්ලෙන පෙරුමාල් සාමි කෝවිල නමින් හැඳින්වූ බව වත්තේ වැඩිහිටියන් පවසන අතර දමිළ ජනයා බුදුන් වහන්සේ හැඳින්වීමටද පෙරුමාල් සාමි යන්න භාවිතා කළ බවද එබැවින් මෙම ස්ථානයේ රහතන් වහන්සේ නමක් හෝ භාවනානුයෝගී භික්‍ෂූන් වහන්සේ නමක් වැඩසිටි බවට ඇති මතයේ යම් සත්‍යතාවයක් තිබිය හැකියැයිද ඔවුහු පවසති.
සුළඟින් හා සතුන්ගෙන් ආරක්ෂා වීම පිණිස එම ලෙන් විවරය දිගටම ගල් හා මැටි යොදා තැනූ බිත්තියක් තිබී ඇති අයුරුත් කාලයාගේ ඇවෑමෙන් විනාශවී ගිය එම බිත්තියේ කොටස් කිහිපයක් පමණක් මේ වන විට ඉතිරිව පවතින අයුරුත් ලෙන අසලට ගිය පසු පළමුව දැකගත හැකිය.
ලෙන තුළට ගියවිට දැකගත හැක්කේ එම ලෙන් පියස්සේ ඇතැම් තැනෙක මැටි ආලේපයක් වැනි ස්ථරයක් මතද විශාල වැඩි වශයෙන්ම සුදු හුණු වැනි ආලේපයක්ද මතද රතු හා කළු වර්ණයන්ගෙන් විවිධ සිතුවම් හා රූ රටා ඇඳ තිබෙන ආකාරයයි. එම සිතුවම්වලට උඩින්ද සුදු හුණු වැනි යමක් ආලේප කර ඇති බවක්ද දක්නට හැකිය. එම සිතුවම් අතර පියස්සේ විශාල කොටසක් ආවරණය කෙරෙන මල් සහිත වියමන් රටාවක්, එක් ස්ථානයක දාම් පුවරුවක මෙන්වූ රතු හා සුදු පැහැති කොටු රටාවක්, එක් අතකින් මල් දෙකක් ගත් වාමන හෝ යක්ෂ මුහුණක් සහිත රූපයක්, සැතපෙන භික්‍ෂූන් වහන්සේ නමක් හෝ බුදුන් වහන්සේ පිරිනිවන් පෑ ආකාරයේ සිතුවම් කීපයක්, නැට්ටුවෙකුගේ රුවක්, නාග රූපයක්, මල් සහ වෙනත් අපැහැදිලි රූ රටා රැසක්ද වෙයි.
එසේම මෙම ලෙන තුළ අසුන් ගැනීමට හෝ නිදාගැනීමට භාවිතා කරන්නට ඇතැයි සිතිය හැකි මැටියෙන් තැනූ වේදිකාවක් වැනි කොටසක ලකුණුද ඇති අතර ඊට මදක් ඉහළින් ඇතුළට විහිදෙන ගල් ගුහාවක් තිබී ඇත. මේ ගුහාවේ පිවිසුමෙන් අසීරුවෙන් හෝ ඇතුළු වුවහොත් එහි මදක් ඇතුළතින් යහමින් ඉඩකඩ ඇති ස්ථානයක් වෙයි. එහෙත් ඉන් ඔබ්බට මේ වන විට ගල් හා පස් කඩාවැටී ගුහාව අවහිර වී පවතී.
මේ ගමනට එක්වූ එම ප‍්‍රදේශවාසීහු සිල්අත්තන ගුහාව සම්බන්ධයෙන් මෙසේ අදහස් දැක්වූහ.
වත්තේ වැඩිහිටියකු වන එන්.රාමසාමි මහතා: මම මේ හිඳගල වත්තේ වැඩ කළේ. මට දැන් වයස අවුරුදු 69 ක් වෙනවා. අපි පොඩි කාලේත් මේ ගල්ලෙන ගැන අසා තිබුණා. ඒත් අපි ඒ කාලේ එන්න බයයි. මේ ප‍්‍රදේශය තනිකර කැලේ 1965 දි විතර වත්තේ මහත්තුරු තේ වවන්න කැලේ එළිකළාට පස්සෙයි වත්තෙ අය පවා බොහෝ දෙනා මේ ගැන දන්නේ. ඉස්සර අපේ තාත්තලා සීයලා මේ ලෙනට කීවේ පෙරුමාල් සාමි කෝවිල කියලා. ඉස්සර මේ ලෙනේ හාමුදුරුවන් වහන්සේ නමක් හිටියා කියලයි අපේ තාත්තා කියා තිබෙන්නේ. මීට කලින් පිටින් කවුරුවත් මේක බලන්න ඇවිත් නෑ. ඒ නිසා මේ ගැන වැඩි විස්තරයක් කවුරුවත් දන්නේ නෑ.
සහකාර ක්‍ෂේත‍්‍ර නිලධාරී ආර්.ඒ.ඞී.සිරිසේන මහතා:
වත්තේ අය වැඩිපුර මේ ගල්ලෙනට ආවේ නැතත් මේ ස්ථානය ගැන ඔවුන් තුළ තිබෙන්නේ ලොකු භක්තියක්්. ඉඳහිට හෝ මෙහි එන අයත් යන්නේ වත්තේ උඩ කොටසේ තිබෙන මහ දෙවියන්ගේ කෝවිලට. ගිහින් දෙවියන්ට කියනවා. එවන් පුරුද්දක් ඇතිවෙන්න ඇත්තේ අතීතයේ පටන් මේ ගැන යම් විශ්වාසයක් ඒ අය අතර තිබූ නිසා වෙන්න ඇති. වත්තේ වැඩිහිටි අය කියන විදිහට ඉස්සර මේ ගුහාවේ ඉන්න ඇත්තේ හාමුදුරුවන් වහන්සේ නමක් කියලයි බොහෝ අය විශ්වාස කරන්නේ.
ගල්ලෙන සොයා ගිය ගමනට මුල්වූ මාධ්‍යවේදී චන්දන කුරුප්පුආරච්චි මහතා:
මෙවන් ගල්ලෙනක් ගැන ලැබුණු තොරතුරක් නිසා මෙතැනට ආවත් මෙතරම් වැදගත් තැනක් බව සිතාගන්න බැරිවුණා. මෙහි ඇඳ ඇති සිතුවම් අප බොහෝවිට පුරාණ විහාරස්ථාන ආශ‍්‍රිත පිහිටි ගල්ලෙන්වල දැක ඇති ඉපැරණි ලෙන් සිතුවම් වගේ. ඒත් මේවා ඇඳ ඇති කාලයක් හෝ වෙනත් තොරතුරක් මේ වතු ජනතාව දන්නේ නෑ. ඒ විෂය ගැන දැනුමක් ඇති අයෙකුට මිස එවන් කරුණු වෙනත් අයෙකුට කියන්නත් බෑ. කෙසේ වුවත් ලෙනේ තිබෙන සිතුවම් හා වෙනත් ලක්‍ෂණ ගැන පුරාවිද්‍යාව වැනි අදාළ අංශයක් මගින් නිසි අධ්‍යයනයක් කළොත් සැඟවී ඇති යම් වටිනා ඉතිහාසයක් හෙළිකරගත හැකි වේයැයි අප විශ්වාස කරනවා.
වතු කම්කරුවකු වන එස්.සිංගාරවේල් මහතා:
ඉස්සර අපේ වැඩිහිටියෝ පෙරුමාල් සාමි කෝවිලට යනවා කියලා මේ ලෙනට එනවාලූ. අපේ වැඩිහිටියන් කියා තිබෙන්නේ මේ ගුහාවේ සාමි කෙනෙක් හිටියා කියලයි. බිත්ති බැඳලා තිබෙන නිසා මෙතැන ඉස්සර කාලෙ කවුරු හරි ඉන්න ඇති කියා හිතන්න පුළුවනි. ඒත් අපට මතක තියෙන කාලෙ කවුරුවත් මේකෙ හිටියෙ නෑ. මෙතැන ලොකු බෑවුම නිසාත් කැලේ නිසාත් වත්තේ අයත් මේ පැත්තට වැඩිය එන්නෙ නෑ. දැන් කැලේ ටිකක් අඩු වෙලා තියෙන්නේ පහුගිය දවස්වල කවුරුන් හෝ කැලේට ගිනි තියලා තියෙන නිසයි. අපට හිතෙන්නේ මේක ඉතා වටිනා තැනක් කියලයි.
මෙම වතු කොටස භාරව කටයුතු කරන හිඳගල වත්තේ වතු ක්‍ෂේත‍්‍ර නිලධාරී ලාල් අබේසේකර මහතා:
මේ ගල්ලෙන පිහිටා තිබෙන්නේ හිඳගල වත්ත උඩ කොටසේ ක්‍ෂේත‍්‍ර අංක දහනවයෙයි. මේ හරියේ සැර බෑවුමත් විශාල ගල් තිබීමත් නිසා තේ වගාකර නෑ. මේ ලෙන පිහිටි ගල මේ කන්දේ අනෙක් පැත්තටම පැතිරී තිබෙනවා. මේ ලෙන පැත්තට ඉතාම අවදානම් බෑවුමක් තියෙන්නේ. ඒ නිසා වත්තේ අයවත් වැඩිපුර මෙතැනට යන්නේ නෑ. ඒ අයට මේ ගැන එතරම් වුවමනාවකුත් නෑ. ලෙන අසලට එන ගමන අවදානම් වගේම ලෙන ඇතුළ් කොටසේ නිරන්තරයෙන් දියසීරාව හා දියසෙවෙල් බැඳී ඇති නිසා ගුහාව
තුළට යාම අනතුරුදායකයි. කෙසේ වුවත් මෙහි ඇති සිතුවම් ඇතුළු වෙනත් ලක්‍ෂණ වගේම වත්තේ පැරණි අය කියන කතාවලට අනුවත් මෙහි යම් පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇතැයි කියා අපි විශ්වාස කරනවා. ඒත් ඒ විෂය ගැන දැනුමක් ඇති අයෙකුට මිස අපට මේ ගැන හරියටම කියන්න බෑ. කෙසේ වුවත් මෙම ස්ථානය වැවිලි සමාගමක් යටතේ පවතින ස්ථානයක් වගේම පුරාවිද්‍යාත්මක වශයෙන් වැදගත් ස්ථානයක් විය හැකි බැවින් පිටස්තර පුද්ගලයන් මෙහි එනවා නම් අදාළ අංශ දැනුවත් කොට නිසි අවසරයක් මත පමණක් මෙහි පැමිණීම සුදුසු බව අපි අවධාරණය කරනවා.
සටහන හා ඡායාරූප: බෝගොඩ රත්නායක
.........................................................................................................
උපුටා ගැනීම් සහිතයි .... දයාබර පාථක සහෘදයිනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම් like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya