Wednesday, March 11, 2020

බෝර නොදා කළුගල් පුපුරවන බිහිරි හාමුදුරුවෝ...(අබිරහස් අඩවිය - Abirahas Adawiya - හොල්මන් කතා. holman katha)

අසා තිබේද අපවත්වූ භික්ෂූ ආත්මයක නැවත ඉපදීමක් ගැන. ඔබට විශ්වාස කළ හැකිද එසේ වඩින භික්ෂු ආත්මය ගුරුකම් ආත්මයක් බව. ඔබට හැකියාවක් තිබේද ඔබ විශ්වාස නොකරනවායැයි කියන මෙම කතාව නොකියවා සිටීමට.   
කතාව දිවයන්නේ දිස්ත්‍රික්ක දෙකක් අතර. එක් දිස්ත්‍රික්කයක් අම්පාර. හෙළ ඉතිහාසයට මායිම්වූ දුෂ්කර ගමක්. ගරා වැටුණු ඉපැරණි පන්සලක්. අනෙක් දිස්ත්‍රික්කය රත්නපුර. රක්වාන රක්ෂිතය ආසන්න ගමක්. භූමිය මතුපිට සහ භූමිය ඇතුළත ගුප්ත හැඟුම් දනවන රහස් රැසක් සඟවාගත් ගුරුකම් කන්දක්.   
කතාවේ නායකයා වෙන්නේ බිහිරි හාමුදුරුවෝ. බිහිරි හාමුදුරුවෝ කියන්නේ සිල්වත් යතිවරයන් වහන්සේ නමක්. ඒ වගේම ඇඟ පුරා ගුරුකම තිබුණු භික්ෂූන් වහන්සේ නමක්. ඒ කාලේ බිහිරි හාමුදුරුවන් වැඩ වාසය කළේ වැඩි වශයෙන් මේ ගුරුකම් කන්දේ. අම්පාරේ ගියේ කෙම්මුර දිනවලදි විතරයි. ඒ ගුරුකම් වැඩවලට. ඒ දවස්වලට බිහිරි හාමුදුරුවන්ගේ පන්සල පිරෙනවා අතුරු සිදුරු නැතුව. ගමේ අයගෙන් වගේම ගමෙන් පිට අයගෙන්. උන්වහන්සේගේ ගුරුකම් හරි බලවත්. කළොත් කළාම තමයි.   
අද බිහිරි හාමුදුරුවන් නැහැ. ඒ වුණත් උන්වහන්සේගේ මතකය තවමත් ගමේ තියෙනවා. මේ වෙනකොට උන්වහන්සේ අපවත්වෙලා. පන්සලත් නැභැ. ගරාවැටුණු නටබුන් විතරයි දකින්න පුලුවන්. ඒක එහෙම වෙන්නෙ එක්තරා හේතුවක් මත. ඒ මෙම හේතුව. බිහිරි හාමුදුරුවන්ට මේ ගුරුකම උරුම වෙන්නේ නියමයන් තුනක් මත. ඒ මෙම නියමයන්.   
මෙම ගුරුකම සම්බන්ධව ගෝල භික්ෂු පරපුරක් නොහැදිය යුතුයි.   
ගුරුකම මෙම ආත්මයේ තම ලේ නෑයන් කිසිවෙකුටත් නොදීම සහ ඔවුන්ගෙන් ගුරුකම් පරපුරක් නොහැදිය යුතුයි.   
ගුරුකම් පරපුරක් නොහදන අයෙකුට මෙම ගුරුකම ලබාදිය යුතුයි.   

හාමුදුරුවන්ට කිව්වේ බිහිරි හාමුදුරුවෝ කියන නම. හාමුදුරුවෝ උප්පත්තියෙන් බිහිරි නැහැ. බිහිරි වුණේ පස්සෙ කාලෙක. ඒකට හේතු වුණෙත් ගුරුකමක්. අපේ ආතලා මුත්තලා කියන විදිහට උන්වහන්සේ බෝර නොදා කළුගල් පුපුරවන්න දක්ෂයා. ඒ ගුරුකම් බලයෙන්. මුලින්ම කරන්නෙ පුපුරවන කළු ගල මැද මෙලෙක් කිරීම. ඊළඟට කුහරයක් හැදීම. බෙහෙත් පුරවන්නෙ ඉන් පසුව. අන්තිමට කරන්නෙ බෙහෙත් පුරවපු කුහරය ඇතුළට නූලක් දාලා අනිත් කෙළවර අතින් අල්ලගෙන ජප කිරීම.   
මේ ගුරුකමේදී සිදුවෙන්නේ කළුගල ඉරි තලල වෙන්වෙන එක. එන්නෙ නැහැ සද්දයක් බෝර දානකොට වගේ. විසිවෙන්නෙ නැහැ ගල් හැමතැනම. වෙන්නෙ එක දෙයයි. ඒ ගල් කුහරයට දමපු බෙහෙත් වටේටම විසිරීම. ඒ විසිවෙන්නෙත් රත්වුණු බෙහෙත්. ඒ හින්දා හාමුදුරුවෝ මේ ගුරුකම කරනකොට ස්නානය කරනවා විශේෂ බෙහෙත් වතුරකින්. එදා හාමුදුරුවො බෙහෙත් වතුරෙන් ස්නානය නොකිරීමේ වරද වුණේ බිහිරි බවට පත්වීම. ඒ විසිවුණු බෙහෙත්වල සැර දුමාරය කන්වලට ඇතුල්වීමෙන්. එදා ඉඳන් හාමුදුරුවෝ ජනප්‍රිය වුණේ බිහිරි හාමුදුරුවෝ කියන නමින්.   

බිහිරි හාමුදුරුවෝ අයිති වෙන්නේ වසර පන්සීය ඉක්මවූ පරම්පරාවකට. ඒ ගුරුකම් පරම්පරාවක්. ඒ වගේම තමයි බිහිරි හාමුදුරුවන්ගේ ගුරුකම් ආත්මය අයත් වෙන්නේ ගුරුකම් ශාස්ත්‍ර තුනකට. ඒ හෙළ ගුරුකම, ඉන්ද්‍රජාල ගුරුකම, රාවණ ගුරුකම කියන ගුරුකම් ත්‍රිත්වයට. ගුප්ත විද්‍යාවෙ මේ ගැන තිබෙන නියමයයි මේ.   
යම් පරම්පරාවක් හෝ පරම්පරාවක යම් කිසිවකු සතුව මෙම ගුරුකම් තුන පවතියිද, එම පරම්පරාව හෝ එහි කිසිවෙකු මෙම ගුරුකම් හදාරා තිබේද, ඔවුන් සතුව පොළව මතුපිට, පොළව ඇතුළත සියලු සම්පත්හි හිමිකම ගුරුකම් බලයන් මතින් සතුව පවතියි.   
බිහිරි හාමුදුරුවන් සතුව තිබුණා සුවිශේෂී ශක්තීන් දෙකක්. ඉන් එකක් මන්ත්‍ර බලය. අනෙක් එක ද්‍රව්‍ය බලය. මන්ත්‍ර බලය දෙන්නේ වචන. ද්‍රව්‍ය බලය දෙන්නේ වස්තු. මේ බිහිරි හාමුදුරුවන්ට ඒ බලයන් දෙකම ලබාදුන් වස්තු සමූහය.   

■ මන්ත්‍ර යෂ්ටිය   
■ දිෂ්ටි පාත්‍රය   
■ ආරූඪ වට්ටිය   
■ ගුරුකම් පෙට්ටගම   
■ වසර දහසක් පැරණි පුස්කොළ පුස්තක   
■ ජප තැටිය   

මේ හැම ගුරුකම් වස්තුවකටම කවලා තියෙනවා බලයන්. ඒ පාරම්පරික ගුරුකම් බල තුන. ඒ ගුරුකම් බල තුන දන්නා කෙනෙක් අතට මේ වස්තුන් ලැබීම කියන්නේ එම අයට පොළව මතුපිටටත්, පොළව ඇතුළටත් ඕනෑම ගුරුකමක් කළ හැකියි කියන එක. ඒ වගේම ගුරුකම් වලින් කිසිවකු මරණයට පත්කිරීම තහනම්. ඉන් මෙහා ගුරුකම් සියල්ලට අවසර හිමියි. මේ නිසාම බිහිරි හාමුදුරුවන් ගුරුකම් කළේ යම් සීමාවන්, ප්‍රතිපත්තීන් වලට යටත්ව. ඒ කොටස් හතරකට යටත්ව. ඒ මෙම කොටස්.   

■ නිදන් වස්තු ආරක්ෂා කිරීම   
■ පුරාවස්තු රැකීම   
■ රට, ජාතිය සුරැකීම 

■ මිනිස් වර්ගයාට යහපත සැලසීම   

බිහිරි හාමුදුරුවන් අපවත් වුණේ අදින් අවුරුදු හැටකට පෙර. ඒ අපවත්වීම ස්වභාවිකවම සිදුවූවක්. උන්වහන්සේගේ අපවත්වීමට අදාළව තියෙන්නේ විශේෂ කතාවක්. එම කතාවේ ප්‍රධාන කාරණය වෙන්නේ අපවත් වනවිට බිහිරි හාමුදුරුවන්ගේ ආත්මය කොටස් දෙකකින් යුක්ත වීම. ඒ මෙම ආකාරයට.   

■ සිල්වත් භික්ෂු ආත්මය   
■ බලවත් ගුරුකම් ආත්මය   

මෙතනදි මේ දෙය පැහැදිලිව කිව යුතුයි. ඒ එකම මනුෂ්‍ය ශරීරයකට ආත්ම දෙකක් නොපිහිටන බව. එසේ නම් ආත්ම දෙකක පිහිටනවා යැයි කීමේ වෙනත් අර්ථයක් තිබිය යුතුයි. එම තර්කය සත්‍යයක්. එය ගුරුකම් නියමයන් වල දක්වා තිබෙනුයේ මෙලෙසින්.   

යම් කිසිවකු හෙළ ගුරුකම, ඉන්ද්‍රජාල ගුරුකම, රාවණ ගුරුකම යන ගුරුකම්හි නිරත වන්නේනම්, එකී අයගේ ශරීරය තුළ පවත්නා ආත්මයට එම ගුරුකම් තුනට අදාළවන ආත්මයන් ආරූඪ වෙයි. එවන් අයෙකුගේ ශරීරයෙන් ජීවය රැඳුණු ආත්මයන් නික්ම යනවිට, එම ජීවී ආත්මය නව උපතක් කරා යන විට, එම ආත්මය සමඟ බැඳුණු ගුරුකම් ආත්ම තුන, පෙර පැවති බලය හා සමාන බලයක් තිබෙන ආත්මයක් ඇති ශරීරයකට ඇතුළු වෙයි. එවිට පෙර ආත්මය ලබා තිබූ බලයන් ක්‍රියාත්මක වීම සිදුවෙයි.   
බිහිරි හාමුදුරුවන් අපවත් වනවිට හාමුදුරුවන්ගේ මිනිස් ආත්මය වෙනත් ආත්ම භවයක උත්පත්තිය ලබන විට උන්වහන්සේගේ ගුරුකම් ආත්ම තුන වෙනත් ශරීරයකට ආරූඪ වෙන්නේ එම ආකාරයට. මෙම ආරූඪය විශේෂයක් සහිතයි. ඒ ආරූඪය අවශ්‍ය මොහොතට ශරීරයට ගෙන්වාගත හැකිවීම සහ, අවශ්‍ය මොහොතක ශරීරයෙන් පිටත් කිරීමට තිබෙන හැකියාව. බිහිරි හාමුදුරුවන්ගේ ආත්මය ශරීරයට ආරූඪ වීමට කළයුතුයි යම් පිළියමක් මෙම ආකාරයකට.   
ඒ දිනපතා සූනියන් දෙවියන්ට පහනක් තැබීම. ඒ චාරිත්‍රය ලබා දෙන්නේ යම් බලයක්. ඒ බලය මතින් යම් ගුරුකමක යම් තෝරා බේරා ගැනීමක් කළයුතු අවස්ථාවක කළ යුතු ප්‍රතිකර්ම, වත් පිළිවෙත්, සූනියන් දේවතාවා සිහිනෙන් පැවසීම සිරිතක්. එසේ කරන්නේ සූනියන් දේවතාවා වැඩීමෙන්. සූනියන් දේවතාවා වඩින්නේ මැදියම් රැය පසුවී හෝරාවකට පසුවයි. ඒ ඇවිත් සිහිනෙන්ම යම් තැනකට යනවා කැඳවාගෙන. ඒ යන තැන අඳුරුයි. ගුප්තයි. එතනදි කියනවා මෙහෙම දෙයක්.   
දිගටම පහන තියපන්. බලවත් කෙනෙක් එයි. ඒ ගුරුකම් හාමුදුරු ආත්මයක්. එන්නෙ ගිහි ආත්මයෙන්.   

එහෙම කියලා අතුරුදන් වෙනවා එකපාරටම. ඒ එක්කම මතුවෙනවා රූපයක්. එයා ඉන්නෙ සුදු ඇඳගෙන. සුදු ජටාවක් හිස බැඳගෙන. තියෙනවා අතේ යෂ්ටියක්. රත්‍රන් පාට. එනවා ළඟටම. දික්කරනවා යෂ්ටිය ඒක අල්ලන්න ඕනැ. එතකොටම එකපාරටම ගැස්සෙනවා. එතකොටම ඇහැරෙනවා. ඇඟට දැනෙනවා පුදුම අමාරුවක්. ඔලුව බර යි මත්වෙලා වගේ. දැනෙන්නෙ මෝහනය වීමක් වගේ. ඒ එක්කම ඇඟට එනවා යම් දෙයක්. ඒ ඇඟට බර ගතියක්. ඇඟ හිරවෙනවා. හිතට දැනෙනවා ඒ ආත්මයක් බව. ඒ දිෂ්ටියක්. ආරූඪයක්. ආරූඪය කියනවා මෙහෙම.   
‘දැනගනින්. මම බිහිරි හාමුදුරුවෝ. ආවේ සූනියන් දේවතාවගේ අණින්. උදේම පලයන් පන්සලට. මේසෙ උඩ ගල් කුප්පියක් ඇති. ඒක අරගනින්. ලාච්චුවෙන් හිස් සුරයක් ගනින්. ගල් කුප්පිය ළඟ තියලා මන්ත්‍රයෙන් ජප කරපන්. සුරය තෙල්වලින් පිරේවි. සුරයයි කුප්පියයි අරගනින්. අණට කීකරුවෙලා වැඩ කරපන්. දැන් මම යක්ෂ සෙන්පතියෙක්. එක් යක්ෂ කොට්ඨාසයක් පාලනය කරන්නේ.’   

බිහිරි හාමුදුරුවන් වැඩ වාසය කළ අම්පාරේ ගමත්, උන්වහන්සේගේ ගුරුකම් ආත්මය ආරූඪ වෙන රක්වාන රක්ෂිතයේ ගුරුකම් කන්ද කියන්නෙ ආරක්ෂා කළයුතු ප්‍රදේශ දෙකක්. ඒ එය යම් වටිනාකමකින් යුතුවීම. භූමිය මත මෙන්ම භූමිය ඇතුළත රක්ෂා කළ යුතු බොහෝ වස්තුන් වලින් එම ප්‍රදේශයන් පොහොසත්. වනගත මේ ගම් දෙකේ වැසියන්ගේ විශ්වාසය බිහිරි හාමුදුරුවන්ගේ ගුරුකම් ආත්මයේ බැල්ම මේ වස්තුන් රකිනවා යනුවෙන්. ගම් අතර තියෙන මෙම කතාව ඒකට හොඳම උදාහරණයක්. මේ පින්තූරවල තියෙන්නේ බිහිරි හාමුදුරුවන් නිදන් හොරුන්ගෙන් ආරක්ෂා කළ වස්තු කිහිපයක පින්තූර.   

මේ තෙල් බෝතලයක්. හදලා තියෙන්නේ ගල්වලින්. වටේට කොටලා තියෙන්නේ අක්ෂර මාලාවක්. මෙය බල සහිතයි. සම්පූර්ණවම තනි ගල ඇතුළත හිස්. මේක හදපු තාක්ෂණය දැන් අහිමියි. මේක හෙළයේ ඉපැරණි තාක්ෂණයක්. ඒ තාක්ෂණය වෙන්නේ ගලක් හැදීම. ඒකට අවශ්‍ය වෙන්නෙත් ගලක්. මේ ගලට මිශ්‍ර කරනවා බෙහෙත් වර්ග කිහිපයක්. ඒ ස්වභාවික ශාඛ වර්ග වගේම පොළවේ ඛනිජ වර්ග කිහිපයක මිශ්‍රණයක්. මිශ්‍රණයට මිශ්‍ර කරන්නෙ නැහැ වතුර. කොටන ශාඛ වර්ගවල ඉස්ම විතරයි ගන්නේ.   
 ඒ මිශ්‍රණය නියමිත නැකැත් කාල හෝරා වලදි එකතු කරනවා ගලට. එතනදි ගල මෙලෙක් වෙනවා. ඊට පස්සේ මැටි අනනවා වගේ මෙලෙක් වුණු ගල අනන්න පුලුවන්. අවශ්‍ය හැඩතලය අරගෙන ගල ආයෙත් හදනවා පිහිටි ගල විදියටම. පිහිටි ගල හදන්න ඉස්සෙල්ලා කරන්නෙ නිදන් කළ යුතු වස්තු හදපු ගල මැදට දැමීම. මේ වගේ ගල් බෝතල් භාවිතා කරන්නේ ක්‍රම දෙකක් වෙනුවෙන්. එකක් වෙන්නේ හින්දපු බලගතු තෙල් වර්ග නිදන් කිරීමට. අනෙක වෙන්නේ වටිනා මැණික් ගල් වර්ග නිදන් කිරීමට.   
මේ ගල් බෝතලයේ තියෙනෙවා යම් විශේෂත්වයක්. ඒ මේ ගල් බෝතලය විවෘත කිරීමට ගුරුකම් ශාස්ත්‍රයම යොදා ගැනීමට සිදුවීම. එහෙම වෙන්නේ ගල් බෝතලය සීල් තබා තිබීමෙන්. එසේ නොකර යම් කැඩීමක් බිඳීමක් මාර්ගයෙන් විවෘත කිරීමට කරන උත්සාහයන් වලදි සිදුවෙන්නේ ගල් බෝතලය ඇතුළත ඇති දෙයට හානිවීම. බල රහිත වීම. මේ ගුරුකම් වල නියමය. තැන්පත් කිරීම. මේ ඒ ක්‍රමයට හදපු එකක්. ගුරුකමේදි මෙය හඳුන්වන්නේ ගල් බෝතල කියන නමින්. මේක තමයි ගුරුකම් අගුල.   
මේ වටේට තියන වාටිය සවිවෙන්නේ පිහිටි ගල ඇතුළට තියෙන හිඩසකට. පිහිටි ගලේ ඒ හිඩස හදලා තියෙන්නෙත් ගල දියකිරීමෙන්. ඒ හිඩසට පීරිසියේ නෙරපු කොටස බැස්සුවහම වටේට තියෙන වාටිය හේත්තු වෙන්නේ පිහිටි ගලට. ඊට පස්සේ සවිකරපු ගල වටේට ගාන්නේ විශේෂ ශාක බෙහෙතක්. එතනදි දකින්න පුලුවන් වෙන්නේ තනිකරම පිහිටි ගල.   

රක්වාන රක්ෂිතය මායිමෙන් පිට තිබෙන මෙම ගුරුකම් කන්ද අතිශය අත්භූත තැනක්. ගුරුකමට අදාළ ගුප්ත බලවේගයන්ගේ නිජබිමක්. තෝතැන්නක්. හැම තැනකම, හැම මොහොතකම ක්‍රියාත්මක වෙන්නේ නොපෙනෙන බලවේගයන්. මේ කන්දට යාමට තිබෙනවා ආරක්ෂක දොරටුවක්. එතනින් කන්දට ගියොත් විතරයි කරදරයක් නොමැතිව කඳු මුදුනට යා හැක්කේ. නොඑසේනම් මංමුලාවීම්, මග වැරදීම් ගුප්ත බලයන්ගේ හිරිහැරවලට ලක්වීම්වලින් ගැලවීගත නොහැකියි.   
මේ ආරක්ෂක දොරටුවේ තියෙනවා සිතියමක්. ඒ තමයි මාර්ග සිතියම. මේ සිතියම තියෙන්නේ පැතලි ගලක. ඒ ලොකු කොටුවක කොටපු පොඩි පොඩි කොටු රැසක්. මේ සිතියම කියවන රහසම, රහසක්. මට ඒ රහස ලැබෙන්නේ බිහිරි හාමුදුරුවන්ගෙන්. හාමුදුරුවො ඒ රහස මට දෙන්නෙ නියමයන් හතරක් මත. ඒක ජීවිතය පුදා ආරක්ෂා කරන පොරොන්දු හතරක්. මේ ඒ පොරොන්දු හතරයි.   

■ගුරුකම් පරපුරක් නොහැදිය යුතුයි.   
■ ගුරුකම වැළලිය යුතුයි.   
■ ගුරුකම කිසිවෙකුටත් නොදිය යුතුයි.   
■ පිහිට පතා එන්නන්ට පිහිටවිය යුතුයි.   

ඇත්තම කිව්වොත් මේ කන්ද ගුප්ත ගම්මානයක්. ඇස්වලට නොපෙනුනත් මෙහි දැකිය හැකියි ගුප්ත බලවේගයන්ගේ පාලනයක්. ඔවුන් හැමවිටම ක්‍රියාකාරී වෙමිනුයි සිටිනුයේ. ඒ වගේම හැම මොහොතකම ගුරුකම්වලට සම්බන්ධවයි සිටිනුයේ. ඒ ගුරුකම් බලය ලබාදීමෙන්. මේ හැම දෙයක්ම පිටුපස සිටින්නේ අපවත්වුණු බිහිරි හාමුදුරුවන්ගේ ගුරුකම් ආත්මය.   
ගුප්ත කන්දේ වැඩ වාසය කරනුයේ යහපත් ගති ලක්ෂණ වලින් පිරුණු ශක්තිවන්ත ගුප්ත බලවේගයන්. ඔවුන් සිටිනුයේ උපකාර කිරීමට පමණයි. ගුප්ත කන්ද අස්වාභාවික හෝ බියගෙන දෙන කන්දක් නොවේ. මළගිය ආත්ම, පහත් ගති ඇතියවුන්, හානිකර විපත් ගෙනදෙන්නවුන්, මිනිස් ඇසුරට නුසුදුසුවූවන් මෙහි දැකගත නොහැකියි. එම භූමිය මිනිස් ජීවිත පිළිබඳ සැඟවුණු ගුප්ත කරුණු හෙළිකරන ස්ථානයක්. කන්දේ තිබෙණුයේ භීතිය හෝ මවිතය දනවන විස්මිත තොරතුරු හෝ සිදුවීම් නොවේ. ජීවිතයේ පැවැත්මට උපකාරී වන යහපත් බලවේගයන්ගේ එකමුතුවයි. මේ ඉන්ද්‍රජාල ගුරුකමේ මූලික න්‍යාය. ඒකෙ තේරුම මේ විදියයි.   
ගුරුකම් බලය කවනු ලැබූ යම් තැනක් වේද, එහි ගුරුකම් බලය බිඳිය හැක්කේ පෙර කවනු ලැබූ ගුරුකම් බලයෙන්ම පමණයි මෙහි කියැවෙන අනෙක් විශේෂම දෙය වනුයේ ලොව පවත්නා සියලු ගුරුකම් එක් විශේෂ ගුරුකමකට යටත්ව පවතින බවයි. එම ගුරුකමට සියලු ගුරුකම්හි බලයන් බිඳිය හැකි බවයි. ඒ වූකලී හෙළ ගුරුකම, ඉන්ද්‍රජාල ගුරුකම්, රාවණ ගුරුකම යන ගුරුකම් තුන එකතුවූ ගුරුකම පමණක්මයි.   

මේ ගුප්ත බලවේගයන්ට හැමවිටම තියෙන්නේ රහස් ජීවිත. ඒ රහස් ජීවිත අවදි කළ හැක්කේ ගුරුකම් ශාස්ත්‍රය මනාව දත්, එය සමග ගනුදෙනු කළ හැකියවුන්ට පමණයි. ඔවුනුත් හැමවිටම තම තමන්ගේ ශක්තීන් වැඩි දියුණු කරමිනුයි සිටිනුයේ. එහි අදහස තම බලය වඩාත් වඩවා ගැනීමයි. මොවුනුත් ගුරුකම් ප්‍රතිපත්ති අනුගමනය කළ යුතුයි.   
 ගුප්ත ලෝකයේ හැමවිටම පවතිනුයේ නිශ්ශබ්දතාවයක්. නිශ්චලතාවයක්. අඳුරු පරිසරයක්. කලබලකාරිත්වයෙන් තොරයි. ලොව බිහිවුණුදා සිට පවතින ගුප්ත ලෝකයට අදාළ නියමයන් සහ ප්‍රතිපත්තීන්වලට අනුව ජීවත්වීම අනිවාර්ය කරුණක්. මිනිස් ලොව මෙන් ඔවුන්ද නීති රීති සමූහයකට යටත්. එම නීති රීති සමූහය ඔවුන්ට හිමිකර දෙනුයේ තමන්ගේ ස්වාමියාගේ අණ පිළිපැදීමේ උතුම් ගුණාංගය. එය එසේ නොවුණු කල සත්‍යය හිමි නොවෙයි. ප්‍රතිපල නොලැබෙයි.   
 මෙම තත්ත්වය මත ගුප්ත ලෝකයට ශක්තිය ගෙන දෙන ස්වයං ශක්ති මන්ත්‍රයක් ගුප්ත බලවේගයන්ට හඳුන්වාදී තිබේ. එය ගුප්ත බලවේගයන් හැමවිට පුරුදු පුහුණු විය යුතුයි.

මේ එම මන්ත්‍රයයි.   
■ සකල බලය මමයි.   
■ සකල වීර්යය මමයි.   
■ සකල අණ මටයි.   
■ ස්වාමියාගේ යම් අණක් වේද, එම අණ ඉටු කිරීමේ සියලු ශක්තිය මා සතුයි.   

මේ ගුප්ත ලෝකයේ දළ හැඳින්වීමයි.   
මේ ලෝකයේ තියෙනවා සක්වළ ගොඩක්. එම සක්වළවල් සියල්ල එකතු වෙන්නේ එක් සක්වලකට. ඒ මහා සක්වළට. මේ ගුරුකම් අයත් ගුප්ත විද්‍යාවේ නියමයක්. එහි අදහස ගුප්ත විද්‍යාව සක්වළ හතකට ලෝකය බෙදා තියෙනවා කියන එක. මෙම සක්වළ හතේම බලයන් එකකට එකක් සම්බන්ධවීම ස්වභාවිකයි. ගුප්ත විද්‍යාවේ බලවත් තන්ත්‍ර අදාළ බලයන් පිහිටුවීමේදී මේ සක්වල හතේම ගුරුකම් වල බල එකක් වීම නියමයක්.   
 බිහිරි හාමුදුරුවො මේ සියල්ල ආරක්ෂාකර කැපකර තියෙන්නේ තමන්ගෙම නමට. උරුම හිමිකමට. ඒකෙ අදහස තමන් වහන්සේගෙන් පිටට මේ වස්තූන් නොයා යුතු බව. යමෙක් ගුරුකම් නියමයන්ට යටත්ව හෝ යටත් නොවී බිහිරි හාමුදුරුවන්ගේ අවසරයකින් තොරව යම් අත්පත් කරගැනීමකට උත්සාහ දැරුවොත් සිදුවනුයේ විස්මිත දෙයක්. එ් ඇසිල්ලකින් එම නිදන් අතුරුදන්වීම. මේ තමයි බිහිරි හාමුදුරුවන්ගේ ගුරුකම් බලය.   

මේ විදියට නිදන් කිරීමේදීත් ගුරුකම් නියමයක් දැකිය හැකියි. එම නියමය වෙන්නේ මෙම ආකාරයට නිදන් කළ හැක්කේ පොළව ඇතුළතින් ගත් නිදන් වස්තු පමණයි. පොළව මතුපිට හෝ ස්වහාවික වස්තූන්වලට බාහිරින් යම් කිසිවක් එකතු කළ වස්තු මෙලෙස නිදන් කිරීමට අවසර නොලැබෙයි.   
මෙතනදි කිවයුතු විශේෂම දෙය වනුයේ මෙම නිදන් වස්තු අති විශේෂ පක්ෂයකට කැපකර තිබීමයි ඒ සම්බුදු සසුනේ භික්ෂු පරපුර උදෙසායි. මෙම රවුම් හැඩයේ නිදන් වස්තු මතුපිට බැලීමෙන් එය තහවුරු කරගත හැකියි.   

මෙහි මතුපිට උඩම කොටසේ කොටල තියෙන්නේ නෙළුම් මලක්. එහි අදහස පූජනීයයි යන්න. නෙළුම් මල පුදන්නෙ බුදු හාමුදුරුවන්ට. එයින් කියවෙන්නේ මෙහි තිබෙන්නේ බුදුහාමුදුරුවන්ට පූජා කළා යන්නයි. ඒ අනුව මෙහි තිබෙනුයේ වටිනා තෙල් වර්ගයක්. ගුරුකමේ පැහැදිලි කිරීම මත මෙම තෙල් පූජා කර තිබෙනුයේ ත්‍රිවිධ රත්නයේ ආනුභාවය සහ පිහිට, බලය කැවීමට. මෙවන් දෙයක් බුදුහාමුදුරුවන්ට පූජා කිරීමේදී අනුගමනය කරන්නේ වෙනම ක්‍රමයක්. ඒ ආපසු ගැනීමේ අවසරය මත කරන පූජාවක් ලෙස.   
මෙම තෙල් බෝතලය විශේෂතා සහිතයි. ඒ මෙම තෙල් කිසිදින නොසිඳීම. ඒ වගේම එහි අනෙක් ශක්තිය කිසි දින තෙල් ඉවර නොවීම. ගුරුකම් නියමයන්ට යටත්ව අවසරය ලැබ යම් කිසිවකු තෙල් ගනු ලැබුවද කුප්පිය තුළට එම අඩු තෙල් ඉබේම පිරීම සිදුවෙයි. එසේ වනුයේ මෙම ගල් බෝතලය සාදා ඇති ගලින් තෙල් ඉනීම. එයට හේතුව වනුයේ මෙම ගල් තෙල් උරාගෙන රඳවා තබා ගැනීම මත.   

බිහිරි හාමුදුරුවන් ගුරුකම් බලයෙන් කළ විස්මිත වැඩ බොහොමයි. ඒ අතරින් විශේෂිත දෙය වනුයේ යක්කුන්ගෙන් වැඩ අරගෙන හැදුව වැව. මේ වැවේ තියෙන විශේෂත්වය වනුයේ වැවට වතුර උනන උල්පතක් නොමැතිවීම. වතුර පාරක් එන ගමන් මාර්ගයක් නොමැතිවීම. අනෙක් විශේෂම දේ තමයි නියඟයකටවත් වතුර නොසිඳීම. එක පාරක් වතුර එන ආකාරය සොයා බැලීමට වැව හිස්කරන්න ගත්තා උත්සාහයක්. එතනදි වුණේ මහ පුදුම දෙයක්. ඒ වතුර ඉසින යන්ත්‍ර සියල්ල ක්‍රියා විරහිත වීම.   
ඊට පස්සේ ඒ ගැන හොයද්දි දැනගන්න ලැබුණෙ මේ දේ බිහිරි හාමුදුරුවන් කරපු දෙයක් කියලයි. ඒ කතාව සම්පූර්ණ ඇත්ත. ගමේ මිනිස්සු දැන් විශ්වාස කරන්නේ බිහිරි හාමුදුරුවන්ගේ ආත්මය ඉපදිලා ඉන්නවා කියලයි. බිහිරි හාමුදුරුවන්ගේ ගුරුකම් ආත්මය ඕනම වෙලාවක සැරිසරමින් සිටිය හැකියි. ඒ වෙලාවට ඉන්නේ ඒ ගුරුකම් හාමුදුරුවෝමයි. ඒ වෙලාවට ක්‍රියාත්මක වෙන්නේ බිහිරි හාමුදුරුවන්ගේ ගුරුකමමයි.   

බෝර නොදා කළුගල් පුපුරවන බ්හිරි හාමුදුරුවෝ-2

ගුප්ත ගුරුකම් කන්ද
ගුරුකම් බලයත්, බුද්ධ බලයත් එකිනෙක පටලවා නොගත් බුද්ධ බලයට මුල් තැන් දුන් මහා යතිවරයකු ලෙසින් ප්‍රසිද්ධ බිහිරි හාමුදුරුවන් ගුරුකම් ආරම්භයේදීත් අවසානයේදීත් බුද්ධ විරිතෙන් කටයුතු කළ භික්ෂූන් වහන්සේ නමක්. ගුරුකම අවශ්‍ය තැනට ගුරුකමත් බුද්ධ ශක්තිය අවශ්‍ය තැනට බුද්ධ ශක්තියත් යෙද වූ උන්වහන්සේ ගුරුකම හේතුවෙන් බුද්ධ ශක්තිය යටපත් කරන්නට ඉඩ නොතැබූ තෙර නමක්. මේ එම කතාවයි.   

මේ ගුරුකම් කන්ද එක් පැත්තක් මායිම් වනුයේ රක්වාන කඳු පංතියයි. අනෙක් පැත්ත මායිම් වනුයේ පන්තිල් පත්තුවටයි. මේ කන්ද ආරක්ෂිතයි. වන පෙත් දෙකකින් එක් පැත්තක සිංහරාජ වනගහනයයි. අනෙක් පැත්තෙන් ශ්‍රී පාද වනගහනයයි. සිංහරාජ කියන්නේ ජෛව විවිධත්වයෙ තිඹිරි ගෙයයි. ශ්‍රී පාද කියන්නේ බුද්ධ ශක්තියෙ තිඹිරිගෙය. මේ සිදු වීමෙන් කියන්නේ ගුරුකම් කන්දේ තියෙන හාස්කම්වලට ශක්තිය සැපයෙන්නේ ජෛව විවිධත්වයෙන් සහ තෙරුවණේ බලයෙන් කියන එක.   

අදටත් මේ ගුරුකම් කන්දට මේ ගම්වල මිනිසුන්ට තියෙනවා බිය මුසු හැඟීමක්. ඒ කන්දට තනියෙන් යන එක කොහොම වෙතත් කන්ද දිහා බලන බැල්ම අද්භූතයි. මේ මිනිසුන්ගේ විශ්වාසය වෙන්නේ හෙළන බැල්ලමකට හරි කන්දේ තියෙන ගුප්ත ගුරුකම් බලයෙන් යම් බලපෑමක් වෙනවා කියන අදහස.   

ඒ හින්දයි කන්ද දිහා බලන්න කලින් ගුරුකම් කන්දේ බිහිරි හාමුදුරුවන් ගැන සිහි කරන්නේ.   
මේ කන්ද අනිත් කඳු වගේම දිය උල්පත්වලින් සතා සීපාවාගෙන් පිරිලා. අහළ පහළ ගම්වල ඉන්න මිනිසුන්ගේ එදිනෙදා ඕනෑ එපාකම් පිරිමහන්නේ මේ කන්ද. එහෙම වුණා කියලා සිරිතක් නැහැ මේ ගම්වල මිනිස්සු තනියම කන්දට යන. ඕනෑ කමකට ගියත් යන්නේ කල්ලි ගැහිලා. එහෙම ගැහෙන කල්ලිය කවදාවත් සීමාවෙන්නේ නෑ තුන් දෙනෙකු හත් දෙනෙකුට. ඒ වගේම තියෙන නියමය වෙන්නේ දෙකෙන් බෙදෙන ගණනකින් තියෙන කල්ලියක් කන්දට යාම. මේ හැම දෙයක්ම එන්නේ බිහිරි හාමුදුරුවන්ගේ ගුරුකම් බලය හේතුවෙන්. ඒ වුණත් විශේෂම දේ වෙන්නේ බිහිරි හාමුදුරුවන් කවදාවත්, කාටවත් නරකක් නපුරක් නොකිරීම.   

මේ කන්ද මුදුනෙ තියෙනවා ගුප්ත දිය පාරක්. ඒක ගුප්ත වෙන්නේ දියපාර පටන් ගන්න තැනක් දකින්න නොලැබීමෙන්. ඒ වගේම තමයි දිය පාර අවසන් වෙන තැනකුත් දකින්නට නොලැබීම. කන්ද මුදුනේ තියෙන තවත් ගුප්ත දෙයක් තමයි පළතුරු උයනක් පිහිටීම. ඒක හරියට කවුරු හරි වවපු පළතුරු උයනක් වගෙයි. මේ පළතුරු උයනට වගේම ගුරුකම් කන්දට අදාළව තියෙනවා යම් නියමයක්. මේ උයනෙ තියෙන පළතුරු ඕනෑම කෙනෙකුට කැමති තරමක් කෑ හැකියි. කන්දෙ සීමාවෙන් පිටට ගෙනියන්න නොහැකියි.   
එක පාරක් කන්දෙ විස්කම් බලන්න ගිය ගමනක අත්දැකීමක් මේ. ගුප්ත හාමුදුරුවන්ගේ අවසරයෙන් කන්දේ නොපෙනෙන දේවල් බලන්න ගිය ගමනක දී සිදු වුණා හරි අපූරු දෙයක්. ඒ මේ කන්දේ තියෙන දුර්ලබ බෙහෙත් පැළයක් අරගෙන ආපහු පල්ලම් බැස්සා. එදා වුණේ හරිම අකරතැබ්බයක්. ඒ කන්දෙන් කොච්චර පල්ලම් බැස්සත් කන්ද ඇතුළෙම කරකැවි කැරකැවි ඉඳීම. කන්දෙන් එළියට එන්න බැරිවීම. ඒකට හේතුව වුණේ පාර වැරදීමයි. මේ දේ කළේ බිහිරි හාමුදුරුවන්ගේ දිෂ්ටි ආත්මය. ඒකට හේතුව වුණේ උන්වහන්සේගේ අවසරය නැතුවම අර බෙහෙත් පැළය කන්දෙන් අරගෙන එ්ම. අන්තිමට වුණේ බෙහෙත් පැළය කන්දෙම තියලා ආපහු පල්ලම් බැසීම.   

ගුරුකම් කන්දෙ අද්භූත සීමාව පටන් ගන්නෙ ප්‍රධාන පාරෙ ඉඳන් කන්දෙ සීමාවෙ කි​ලෝ මීටර් දෙකක් විතර ගියහම. එතනට කියන්නේ අද්භූත වැටිය කියන නම. ඒ තමයි ආරක්ෂක සීමාව. මේ අත්භූත වැටියෙ තියෙන විශේෂම දේ වෙන්නේ අවසර නැතිව යම් දෙයක් කරනවා නම් වල්මත් කර දැමීම. ඒක කොච්චරක් දරුණු ද කියනවා නම් පාර පෙනි පෙනි පාර හොයා ගන්න බැරි තරමේ වල්මත් කිරීමක්. මේ තමයි කන්දේ සම්පත් වගේම කන්දේ බලයත්. පිට අයට හරි අනවසර අයට හරි අතට ගැනීමට බැරි වන විදියට කරපු උපක්‍රමය. මේකත් බිහිරි හැමුදුරුවො කළ දෙයක්. හරි අවසරය, හරි විදියට අරගෙන ගියොත් කන්දේ ඉන්න නොපෙනෙන බලවේග යන්ගෙන් ලැබෙනවා පිහිටක්. ඒ මංමුලා නොවීම සහ නිවැරදි පාර පෙන්වීමෙන් වගේම ගුරුකම් බලයෙන් වහලා තියෙන ගොඩක් දේවල් ඇස් දෙකට පෙන්වීම.   

මේ කන්දෙදි දැක්ක දේවල් අතර තියෙනවා පරණ නටබුන්. ඒ අතරින් ගල් ගුහා යම් යම් විශේෂිත සටහන්. ඒ ගල්වල කොටපුවා. ඒ අතරේ හමු වුණා විශේෂ සටහනක්. ඒක ගලේ කොටපු නයිපෙන. තව විශේෂ දෙයක් වුණේ ගිය ගමන් මාර්ගයේ එක තැනක දී හමු වුන නාගයො දෙන්නා.   
මේ නාගයො දෙන්නා හිටියෙ පෙන ගොබ පුප්පගෙන. ඒ බිහිරි හාමුදුරුවන්ගේ එක් ආරක්ෂක උපක්‍රමයක්. අවසර නොගෙන යන කෙනෙකුට කවදාවත් එතනින් එහාට යන්න අපහසුයි. ඒ මග අහුරන හින්දා. මේ මගදි මග අහුරන සීමාව හාමුදුරුවන්ගේ වුණාට ඒකට සම්බන්ධයි. වෙනත් ආත්මයක් සහ ආත්මගත කතාවක්.   
​මේ බිහිරි හාමුදුරුවන්ගේ පාරම්පරාව පරණයි අවුරුදු පන්සියයක් විතර. ඒ මතුපිටින් දන්න ඉතිහාසය. බිහිරි හාමුදුරුවන්ගේ ගුරුකම් ආත්ම දිෂ්ටිය ඇඟට ආරූඪ වුණාට පස්සේ ගුරුකම් දිෂ්ටියේ බලයෙන් ඊට වඩා දිග අතීතයක් කියා දෙනවා බිහිරි හාමුදුරුවො. මේ එම කතාව. 

 බිහිරි හාමුදුරුවො එක ආත්මෙක ඉපදිලා හිටියෙ නිලමේ කෙනෙක් විදියට. ඒ ඇහැලේපොළ නිලමෙ නමින්. මේ කන්​දෙ තියෙනවා අක්කරයක විතර දිග ගල් තලාවක්. ඒ ගල් තලාව එක තැනක තියෙනවා පැතලි හැඩයක්. ඒ ගල මුදුනට කිට්ටුවෙන්. එතනින් ඉහළ තියෙන්නේ ආපහු වන ගහනය. මේ පැතලි ගල් බිත්තියෙ කොටලා තියෙනවා රූපයක්. ඒ රූපය ඇහැලේපොළ නිලමෙගෙ රූපය කියලයි බිහිරි හාමුදුරු ආත්මය කියන්නේ.   

මේ කන්දට කිසිම සම්බන්ධයක් නැති ඇහැලේපොළ නිලමෙගෙ රූපයක් කන්දේ ගලක කොටලා තිබීම හරි ප්‍රශ්නයක්.   
ඒ ප්‍රශ්නෙට උත්තරේ වුණේ මේ වගේ දෙයක්.   

මේ ඇහැලේපොළ නියෝජනය කරන්නේ බිහිරි හාමුදුරුවන්ගේ ගුරුකම් පරම්පරාව. ඒකෙන් කියැවෙන්නේ බිහිරි හාමුදුරුවන් එක ආත්මයක ඇහැලේපොළ නිලමේ වෙලා හිටියා කියන එක. ඒ හින්දම මේ ගුරුකම් කන්දත් එක්කත් තිබුණා ඉතා ගැඹුරු බැඳීමක්. සම්බන්ධයක්. මේක මෙහෙම කිව්වට තව ටිකක් ගැඹුරට යන කතාවක්.   
මේ ගුරුකම් කන්දෙ එක තැනක තියෙනවා ගල් ගුහාවක්. ඒකට යන්න තියෙන්නේ ත්‍රිකෝණාකාර දොරටුවකින්. එ්ක පුංචි දොරටුවක්. මේක ඇහැලේපොළගේ සැඟවුණු උමඟක්. බිං ගෙයක්. මේ බිංගෙයි තියෙනවා පහළට බහින්න පඩි පෙළක්. මේ පඩිපෙළ හරි භයානකයි. ඒ කියන්නේ එය හදලා තියෙන්නේ උගුලක් විදියට වැඩ කරන්න. මේ පඩිපෙළේ තියෙන සමහර පඩිවලට අඩිය තිබ්බම පඩියෙ උඩ පැත්ත යටට කරකැවිලා.   

යට පැත්ත එනවා උඩට. ඒ එක්කම පඩිය උඩ ඉන්න අය වැටෙනවා. කරකැවෙන පඩිය අතරින් පහළට ඒ වැටෙන්නේ අඳුරු අගාධෙකට. වැටුණොත් වැටුණමයි. ඒක ආරක්ෂාවට හදාපු උගුලක්. මේ පඩිපෙළේ ගල් උගුල් තියෙන්නේ මොන පඩියෙ ද කියලා තවම දන්නේ නෑ කවුරුවත්. බිහිරි හාමුදුරුවො ගල් උගුල් ගැන කියනවා මිසක් උගුල් තියෙන පඩි ගැන කියන්නේ නැහැ මොනවත්.   

එතනදි හිතන්න පුළුවන් මෙහෙම දෙයක්. ගල් උගුල් දාලා බිං ගෙය නැත්තම් උමඟ ආරක්ෂා කරලා තියෙන්නේ එතන යම් දෙයක් හංගලා තියෙන හින්දා වෙන්න පුළුවන්. හැබැයි ඒ ගැන කිසිම සඳහනක් නෑ කොතැනකවත්. බිහිරි හාමුදුරුවන්ගේ ගුරුකම් ආත්මය ඇඟට වැඩියම දෙන්නේ එකම එක උත්තරයක්. ඒ මේ උත්තරය.  
“ඒ ගැන නාහා ඉඳින්. ඒ මට අයිති දේවල්. මගේ අවසරයක් නැතුව උඹට ඒ පැත්තට යෑම තහනම්.”   

ඔය බිංගෙය ඇතුළෙම තවත් තැනක තියෙනවා පොඩි එළිමහනක්. ඒක විවෘත වෙන්නේ ගුරුකම් කන්දේ මතුපිටට. මේ එළිමහනත් උමං දොරත් තියන්නේ එක ළඟ. මෙන්න මේ එළිමහනෙ තියෙනවා පැහැදිලිවම පෙනෙන හතරැස් ගල් කුට්ටියක්. එ්ක ගල් කුට්ටියක් කියලා කිව්වට නිවැරදි නම එ්ක නොවෙයි. ඒකට කියන ඇත්ත නම ගල් පෙට්ටිය කියන නම. මේ ගැන බිහිරි හාමුදුරුවන්ගේ ගුරුකම් ආත්මය කිව්වෙ ඔය ගල් පෙට්ටිය ඇතුළෙ තියෙනවා යම් දෙයක්. ඒ ඒක ආරක්ෂා කළ යුතු හින්දා. ඒක ගන්න බැහැ කාටවත්ම. මේක ඇහැලෙපොළ නිලමෙ වෙලා හිටිය ආත්ම භවයේදී කරපු රහස් ගුරුකමක්. මේකෙන් කියැවෙනවා මෙහෙම දෙයක්. ඒ ඇහැලේපොළගේ ආත්මයත් ගුරුකම් දන්න බව වගේම තමන්ගේ ආරක්ෂාවට යම් යම් රහස් ගුරුකම් තිබුණු බව. ඇහැලේපොළ තමන්ගේ ආරක්ෂාවට ඒ රහස් ගුරුකම් කරපු බව. එතනදි තමයි තමන්ට එන සතුරු සේනාවල් වලින් බේරෙන්න ගල් උගුල් අටවලා මේ වගේ උමඟක් හදලා තියෙන්නේ.   

එක පාරක් බිහිරි හාමුදුරුවන්ගේ ගුරුකම් ආත්මය දුන්නා ඉඟියක්. ඒ ඉඟිය අනුව හිතා ගන්න පුළුවන්. ඇහැලේපොළ නිලමෙට අයිති යම් වස්තු සම්භාරයක් මේ උමං මාර්ගයේ හංගලා තියෙන බව. නමුත් ඒ කොතැන ද කොයි විදියට ද කියලා හිතා ගන්න අපහසුයි. මේ උමං බිංගෙය සාමාන්‍යයෙන් හඳුන් වන්නේ පොළව උඩට නොව පොළව යටට කොටපු භූගත වලව්වක් විදියට. පොළොව මතුපිට පිහිටලා තියෙන ගලේ යටට වෙන්න හදපු වලව්වක්. මෙතනදි වලව්වක් කියන නම භාවිත වෙලා තියෙන්නේ ඇහැලේපොළ නිලමේ කෙනෙක් වීම නිසා වගේම නිලමේලා පදිංචි වෙලා ඉන්නෙ වලව්වල වීම කියන කාරණය මත.   

මේ ඇහැලේපොළ නිලමෙගේ පරපුරේ ඉන්නවා තවමත් හැංගිලා ඉන්න අය කිහිප දෙනෙක්. හාමුදුරුවන්ගේ ගුරුකම් ආත්මය යම් යම් අවස්ථාවල ඒ අය ගැන තොරතුරු හෙළිදරව් කරනවා. ඒ වගේ එක වෙලාවක කිව්ව දෙයක් වුණේ එ් අය මේ මේ තැන්වල මේ නම්වලින් ඉන්නවා කියලා. ඒ ගැන හොයා බලන කොට ඒ කතාව ඇත්ත කියලා ඔප්පු වුණා. ඒ වගේම ඒ අයත් තමන්ගේ පරම්පරාවට අයත් බිහිරි හාමුදුරුවන් ගැන දැන ගෙනයි ඉන්නේ. ඒ වගේම තමයි බිහිරි හාමුදුරුවන්ට අදටත් ගෞරව කරමිනුයි ඉන්නේ.   
හාමුදුරුවන් ජීවත් වෙලා ඉන්න කාලෙ හාමුදුරුවන්ගේ ගුරුකමේ ප්‍රධානම ශක්තිය වුණේ හාමුදුරුන්ගේ අතේ තිබිච්ච යෂ්ටිය. හාමුදුරුවෝ මේ ගුරුකම් කළේ යෂ්ටියෙන් හින්දා මේ ගුරුකම්වලට කිව්වේ යෂ්ටියෙ ගුරුකම කියන නම. සාමාන්‍ය නම හැරමිටියේ ගුරුකමය.   

මේ යෂ්ටිය නැත්නම් හැරමිටිය හැම තිස්සෙම තියෙන්නේ අතේ. හරියටම ඒක ගොපල්ලා අතේ තියෙන කෙවිට හා සමානයි. බිහිරි හාමුදුරුවන්ගේ යෂ්ටිය හදලා තිබුණෙ රත්‍රන්වලින්. ඒ රත්‍රන් ගුරුකම්වලට සම්බන්ධ හින්දා. 


​මේ හැර මිටියෙ ගුරුකම හරි විශේෂයි. ඒ ඕනම තැනක, ඕනම වෙලාවක ගුරුකම කරන්න පුළුවන් හින්දා. මේ හැරමිටිය නැත්නම් යෂ්ටියට කවලයි තියෙන්නේ මන්ත්‍ර බලය. හැරමිටියෙ ගුරුකමට නැකැත් අවශ්‍ය නැහැ. අවශ්‍ය මන්ත්‍රය බලය කරලා තට්ටුවක් දාන්න විතරයි තියෙන්නේ. ප්‍රතිඵලය එනවා ඒ මොහොතෙදිම.   
බිහිරි හාමුදුරුවන්ගෙන් මේ ගුරුකම ඉගෙන ගන්න ලැබීමම පෙර පිනක්. හාමුදුරුවො ගුරුකම දුන්නට මන්ත්‍ර යෂ්ටිය දුන්නේ නෑ. ඒ ගැන ඇහුවම හාමුදුරුවො කිව්වෙ මෙහෙම.   
උඹ මන්ත්‍ර යෂ්ටියක් හදා ගනින්. උඹ ඉගෙන ගත්තු ගුරුකම් සාස්තරෙ පිහිටෙන්. මගේ මන්ත්‍ර යෂ්ටිය උඹට දෙන්නේ නෑ. ඒක මගේ. ඒක බලගතුයි. උඹට ඒක දරන්න බෑ.   
මේ යෂ්ටිය හදා ගන්න එක එච්චරම ලේසි නෑ. ඒකට ඕන වෙනවා හෙණ ගහපු ගහක්. ඒ ගහේ කීරක් ගන්න ඕන. ඒක නියමිත දිගට අරගෙන දෙපැත්තට පිත්තල විලි දෙකක් ගහන්න ඕන. ඊළඟට නැගෙනහිර ඉඳන් බස්නාහිරට ගින්දරක් යවන්න ඕන. ඒ ගින්දරට යෂ්ටිය අල්ල අල්ලා මන්ත්‍රයෙන් ජප කරන්න ඕන. ඒ යන ගින්දර ජප නූලක් හරහා යෂ්ටියට හිර කරන්න ඕන. ඊට පස්සේ ආපහු මතුරන්න ඕන.   

මේ යෂ්ටිය ජප කරනකොට තියෙනවා කරන්න ඕන පුද පූජා එකසිය අටක්. ඒකට ඕන වෙනවා මල් බුලත් තටුවෙ ඉඳන් හැම දෙයක්ම. පුළුටුවල ඉඳන් හැම දෙයක්ම ඕන වෙනවා. ඒ වගේම තමයි පිරිවරට කතා කරන්න ඕන. මේ පිරිවර වෙන්නෙ ගුරුකමට අධිපති යක් සේනාව. මේ යක් සේනාවට කරන ආරාධනය විශේෂයි.   
විශේෂකම වෙන්නේ නරක පැත්තේ වැඩ ටික කර ගන්න බලය කැන්දගන්න.   

මේ මොහොත වන විට බිහිරි හාමුදුරුවන්ගේ ගුරුකම් ආත්මය ක්‍රියාත්මක වෙන්නේ යක්ෂ සෙන්පතියෙක් විදියට. මෙතන යක්ෂ සේනාධිපති කියන්නේ යක්ෂයන් කොට්ඨාසයක් පාලනය කරන එකට. මේ යක්ෂ කොටසට අයිති වෙනවා එක එක වර්ගයේ යක්ෂයන්. ඒ යක්ෂයො හරි බලවත්. මේ යක්ෂයන්ගෙන් ලබන්න පුළුවන් බලවත් ආරක්ෂාවක්. ඒ වගේම කර ගන්න පුළුවන් ඕනෑම වැඩක්.   

බිහිරි හාමුදුරුවො බහුශ්‍රැත පඬිවරයෙක්. අතීත කාලෙක පිරිවෙන් අධ්‍යාපනයේ නියමුවෙක්. බිහිරි හාමුදුරුවන්ගේ කැමතිම විෂය වුණේ ගුරුකම හා ජ්‍යොතිෂ විද්‍යාව. ඒ වගේම පාලි සංස්කෘත. බිහිරි හාමුදුරුවන් අධ්‍යාපනයෙ වටිනාකම හොඳින්ම දන්න කෙනෙක්. ඒ හින්දම ඉගෙන ගන්න අය වෙනුවෙන් හරි හරියට ගුරුකම් කරපු කෙනෙක්. විශේෂයෙන්ම අධ්‍යාපනය ලබන අයගෙ පාඩම් මතක හිටින්න, ධාරණ ශක්තිය වැඩි දියුණු වෙන්න, පාඩම් මාලා වටහා ගන්න යම් යම් ගුරුකම් ප්‍රතිකර්ම කරපු කෙනෙක්. උන් වහන්සේ ගාව තිබුණා විශේෂ තෙලක්. ඒ තෙලෙන් තමයි ඉගෙන ගන්න අයට පිහිට ලබා දුන්නේ. ඒ ගුරුකම් ශාස්ත්‍රයත් ඒ තෙල් වට්ටෝරුවත් හිමි වීම ලොකු ජයග්‍රහණයක්.   
බිහිරි හාමුදුරුවන් ළඟ තිබුණු ගුරුකමක් වුණේ තෛලෝක වශිය වගේම සරස්වතී ගුරුකම. ඒ ගුරුකමේ ජීවම. මේ ජීවම හරි බලවත්. මතක ශක්තිය ඇතිවීම, ඈලි මෑලි ගතිය නැතිවීම, නුවණ පහළ වීම වගේ දේවල්වල අඩුපාඩු මගරිනවා. ලොකු විශ්වාසයක් තියෙනවා බිහිරි හාමුදුරුවන්ගේ නියමයන්ට යටත්ව විධි අනුගමනය කරමින් බිහිරි හාමුදුරුවන්ගේ යම් ගුරුකමක් නිවැරදිව කළ විට බිහිරි හාමුදුරුවන් ගුරුකම කරවා ගත් අයගේ හිතට කතා කරනවා කියලා. මේක අත්දුටු සත්‍යයක්.   
බිහිරි හාමුදුරුවො විරුද්ධයි නරක නපුර කරන අයට. කවුරු හරි නරකට, නපුරට ගුරුකමක් කරලා තිබුණොත් බිහිරි හාමුදුරුවන්ට කේන්ති යනවා. පුද්ගල තරාතිරම නොබලා ඒ වගේ අණවින කොඩිවින කපලා දානවා. බිහිරි හාමුදුරුවන් හැම තිස්සෙම කිව්වේ මනුෂ්‍යන්ට සෙත සලසන්න කියලා. මිනිසුන්ගේ දියුණුවට මර්ගය සාදා දීමට තමයි බිහිරි හාමුදුරුවන්ගේ ජීවිතේ ඇප කැප වුණේ.   
බිහිරි හාමුදුරුවන්​ ළඟ තිබුණා සුවිශේෂී ගුරුකමක්. ඒකට කිව්වේ හිමාල බන්ධනය කියන නම. මේ හිමාල බන්ධනය කියන්නේ හෙළ රාවණයන්ගේ එක්තරා ගුරුකමක්. මේ ගුරුකමෙන් කරන්නේ බැඳ දැමීමක් කොටු කිරීමක්. මේ ගුරුකම් යම් කිසි ප්‍රදේශයක් වටකර සීමා දැමීමක්. ඒ සීමාව දැමීමෙන් පස්සේ ඒ සීමාවට අදාළ කිසිම දෙයක් ඒ සීමාවෙන් පිටට ගෙනියන්න බැහැ. ඒක බන්ධනය කෙරෙනවා.   

මේ හිමාල බන්ධනයට අයිතියි කොටස් දෙකක්. එක් කොටසක් වෙන්නෙ කිසියම් වස්තුවක් ගෙන යාම වළක්වන එක. අනෙක් කොටස වෙන්නේ එම කොටසට අයත් දැනුම ඉන් පිටට ලබා දෙන්න නොහැකිවීම. මේ ගුප්ත කන්දට බිහිරි හාමුදුරුවො දමලා තියෙන්නේ. රාවණගේ ගුප්ත හිමාල බන්ධන ගුරුකම. මේ ගුරුකමට ලෝකේ ඕනම ගුරුකමක් යටයි. ඒක ඒ තරම් බලවත්. ඒ බලවත්කම කොච්චර ද කිව්වොත් මේ ඇස්දෙකට මේ දැන් පෙනෙන දේ ඊළඟ තත්ත්වයේ දී නොපෙනී යනවා.   

හාමුදුරුවන් අදටත් උන් වහන්සේගේ ගුරුකම් ආත්මයේ බැල්ම හෙළනවා මේ ගුරුකම් කන්දේ ඉඳගෙන. ඒ හැමදාම රාත්‍රී අටයි දහයට. ඒ බැල්ම හෙළන වෙලාවට හාමුදුරුවො නියම කරපු දෙයක් තියෙනවා කරන්න ඕන. ඒ හාමුදුරුවන් නියම කළ පහන දල්වන්න. දල්වන පහනේ දැල්ල හරහා එන ආලෝකයෙන් හාමුදුරුවො හාමුදුරුවන්ගේ ගුරුකම් සාස්ත්‍රයට වරම් දුන්නු අය දිහා බලනවා. දවල් කාලයේ පිහිට ඉල්ලූ අයට පිහිට වෙනවා.   

මෙතනදි මෙහෙම දෙයක් කියන්න ඕන. ඒ කෙම්මුර දවස්වලට හාමුදුරුවො වඩින්නේ නැහැ කියන කාරණය. කෙම්මුර දවස්වලට හාමුදුරුවන්ට තියෙනවා තමන් වහන්සේට නියම කරපු මිනිස් කොට්ඨාසයක් ඉන්න දිහා බලන්න. ඒ දිහා බලලා ඒ අයට පිහිට වෙන්න. ඒක හරි විශේෂ දෙයක්. ඒ දෙවියන්ට පහන් තියන මිනිස්සු දිහායි බලන්නේ. ඒ වගේ වෙලාවට දවස්වලට බිහිරි හාමුදුරුවන් කරන රාජකාරිය තමයි ඒ.   

බිහිරි හාමුදුරුවන් මේ කන්දෙයි, ගම්මානෙයි අදටත් සැරිසරන බව ඇත්ත. කෙම්මුර දවස්වලට ඒ බිහිරි හාමුදුරුවන්ගේ උපන් ගම් පළාතෙදි ගැවසෙනවා කියන අදහස ගම්මුන් අතර තියෙනවා. ඒ බිහිරි හාමුදුරුවන්ගේ රූපයට සමාන රූපයක් තියෙන ගිහි කෙනෙක් ඒ කෙම්මුර දවස්වලට ගමට ඒම හේතුවෙන්. මේ ගිහියත් ගුරුකම් කරන ගුරුන්නාන්සේ කෙනෙක්. ගම්මුන්ගේ විශ්වාසය ඒ බිහිරි හාමුදුරුවන්ගේ ගුරුකම් ආත්මය ආරූඪ ගුරුන්නාන්සේ කියලා. මේ කතාව ඇත්ත වෙන්න පුළුවන්. හේතුව මේ කතාව බිහිරි හාමුදුරුවො පුස්කොළ පොතක ලියලා තියෙනවා.   

තව විශේෂ දෙයක් වෙන්නෙ අම්පාර ප්‍රදේශයේ බිහිරි හාමුදුරුවන්ගේ උපන් ගමයි. බිහිරි හාමුදුරුවන් ගුරුකම් බලය රැඳුණු වැඩහිටි ගුරුකම් කන්දේ පරිසරයයි, ස්වභාවයයි දෙකම එක හා සමානයි. ඒ ස්ථාන දෙකම කිසියම් ගුප්ත බවක් දනවනවා. බිහිරි හාමුදුරුවන් ලියූ පුස්කොළ පොතක තියෙනවා මෙහෙම සටහනක්. 
අනාගතයේ දිනක මේ වන ගත ගුරුකම් කන්ද සහ උපන් ගම අතර සැරිසැරීමක් සිදු විය හැකියි.   
ලබන සතියට...  
අරුණඩේල් විජේරත්න
Lankadeepa

================================================
උපුටා ගැනීම් සහිතයි ....!!!
දයාබර පාථක සහෘදයිනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya

1 comment: