උඳුවප් පුර පසළොස්වකින් ආරම්භ වී වෙසක් පුර පසළොස්වක දිනයෙන් නිමා වන සිරිපා වන්දනා සමය මෙවර මේ 11 වැනි දා උදා වන උඳුවප් පුරපසළොස්වක දිනයෙන් ඇරැඹෙයි. එතැන් පටන් දිවා රාත් වැල නොකැඩී සිරිපා නඟින බැතිමතුන්ගේ සාදු නදින් සමනල කඳු වැටිය නින්නාද වෙයි.
සමනල කඳු මත සිරිපා පිහිටුවීම පිළිබඳ කතා ප්‍රවෘත්තිය බුදු රජාණන්වහන්සේ ජීවමානව සිටි සමය තෙක් දිවෙයි. බුද්ධත්වයෙන් 8 වන වස වෙසක් පුර පසළොස්වක පොහෝ දා තුන් වැනි වරට හෙළ දිවයිනට වැඩම කළ බුදු රජාණන්වහන්සේ එදින දවල් දානය කැලණියේදී වළඳා සවස සමනල පර්වතය බලා වැඩම කළහයි ද, එසේ වැඩම කළේ සුමන දිව්‍යරාජයාගේ ආරාධනයෙන් යැයි ද, ඔහුගේ ඉල්ලීම මත බුදු රජාණන් වහන්සේ සිය වාම ශ්‍රී පාද ලාංඡනය සමනල පර්වතය මත පිහිට වූයේ යැයි ද, මහාවංසයේ දැක්වේ. ඒ මෙසේය.
“තත්ථ ධමමං දේසයිත්වා - සත්තා ලෝකානුකම්පකෝ
උග්ගන්ත්වා සුමනෝ කූටේ - පදං දස්සේසි නායකෝ”
(මහාවංශය 1 පරි. 77 ගාථාව)
(ලොවට මහත් අනුකම්පා ඇති අප ශාස්තෲන් වහන්සේ එහිදී දහම් දෙසා ඊට පසු මැණික් මණ්ඩපයෙන් අහසට පැන නැඟී සුමන කූට පර්වතය මුදුනට වැඩම කොට ඒ පර්වත මස්තකයේ සිය පාද ලාංඡනය දක්වා වදාලා)
එම විස්තරය අනුව අපට සිතාගත හැක්කේ මහාවංසය රචනා කළ ක්‍රි.ව. 5 වැනි සියවස වන විට ශ්‍රී පාදස්ථානය ගැන මෙරට බෞද්ධයන් දැක සිටි බවයි. එහෙත් ඊට පෙර සිට පැවැත එන පුරාවෘත්ත අනුව පළමු වරට සමනල කන්දේ ශ්‍රී පාද ලාංඡනය සොයාගත් බවට විශ්වාස කරන්නේ වළගම්බා රජතුමාය. ඒ ක්‍රි.පු. 104 වැන්නේදීය. එය බොහෝ දුරට පිළිගත හැකි කරුණක් බව “විලියම් ස්ක්‍රීන්” “ශ්‍රී පාද සමනල ජනප්‍රවාද පුරාවෘත්ත හා ඓතිහාසික තොරතුරු” මැයෙන් ලියා ඇති ග්‍රන්ථයේ සඳහන් කොට ඇත.
ඔහු සඳහන් කරන පරිදි වළගම්බාහු රටේ පාලකයා වී මාස පහකින් මලබාර් ආක්‍රමණිකයන් විසින් ඔහු බලයෙන් පහ කළ නිසා විය. වළගම්බා රජතුමා වසර 14ක් වන ගතව අප්‍රකට ව ගත කිරීමේදී සමනළ අඩවියේ දී ශ්‍රී පාද ලාංඡනය දැක එය යකඩ වැටකින් ආවරණය කොට ඇත. වළගම්බා රජතුමා ආක්‍රමණිකයන් පලවා හැර ක්‍රි.පු. 88 දී නැවත රජ වූ පසු සමනල අඩවිය භික්ෂු සංඝයා උදෙසා අරණ්‍ය සේනාසනයක් බවට පත් කළ බවද එහි සඳහන් වේ.
ශ්‍රී පාදය ගැන බොහෝ ඓතිහාසික තොරතුරු මුඛ පරම්පරාගතව පැවැති අතර පළමු ලිඛිත සටහන හමු වන්නේ මහාවංසයේ 58 වන පරිච්ඡේදයෙනි. එහි සඳහන් වන පරිදි 1 වැනි විජයබාහු රජතුමා ශ්‍රී පාද වන්දනාවේ ගොස් ඇත. එම මහාවංස සඳහන වළගම්බා රජතුමාගේ ‘අඹගමු’ ශිලා ලිපියෙන්ද තහවුරු වේ. සිරිපා වන්දනාවේ යන අය සඳහා දන් වැට පිණිස ගිලීමලය වෙන් කරදුන් රජතුමා ඌව මාර්ගයෙන් එන අය සඳහා ද දානශාලා ඉදි කළ බව අඹගමු ලිපියේ දැක්වේ. එසේම එම ලිපියේම කෙසෙල්ගමුව ඔස්සේ එන අය සඳහා ද දාන ශාලා ඉදි කළ බව සඳහන් වේ. එපමණක් නොව රජතුමා හීන කුලවල අය සඳහා වෙනම මළුවක් කළ බවද “අඹගමු ලිපියේ” දැක්වේ.
ක්‍රි.ව. 1153 දී රාජ්‍යත්වයට පත් පළමු වන පරාක්‍රමබාහු රජතුමා සංඝයා වහන්සේ පිරිවරා ගෙන ශ්‍රී පාද වන්දනාවේ ගිය බව රාජාවලියේ සඳහන් වේ. එතුමා ශ්‍රී පාද කඳු මුදුණේ සමන් දෙවියන් උදෙසා දේවාලයක් ඉදි කළ බවද එහි සඳහන් වේ.
පොලොන්නරුවේ රජ කළ නිශ්සංක මල්ල රජු ද යුද හමුදාව සමඟ ශී පාද වන්දනාවේ ගිය බව ඔහුගේ පොලොන්නරුව හැටදාගේ ලිපියේ සඳහන් වේ. දඹදෙණියේ රජ කළ දෙවන පරාක්‍රමබාහු රජතුමා ශ්‍රී පාදස්ථානයට මාර්ග කරවා පින්කම් කළ බව චූලවංසයේ සහ පූජාවලියේ සඳහන් වේ. පොලොන්නරු යුගයෙන් පසු යුගවල ශ්‍රී පාදස්ථානය ප්‍රචලිත බෞද්ධ සිද්ධස්ථානයක් ලෙස පැවැති බවට කොතෙකුත් සාධක ඇත.
ශ්‍රී පාදස්ථානය පිහිටුවීම පිළිබඳ සවිස්තර විස්තරයක් ගම්පොළ සමයේ ලියැවුණ සද්ධර්මාලංකාරයේ දක්වා ඇත. එම විස්තරයේ එන්නේ මණිඅක්ඛිත නම් නාග රාජයාගේ ආරාධනයෙන් වෙසක් මැදි පොහෝදා ලක්දිවට වැඩ ඔහු විසින් මවන ලද රත්නමණ්ඩපයේ වැඩහිඳ දන් වලඳා අනතුරුව සමන්තකූට පර්වතයට වැඩ සිරිපා පිහිටුවා වදාළ බවයි.
ඓතිහාසික විස්තරවලට අනුව සිරිපා වන්දනාව පොදු ජන චාරිත්‍රයක් බවට පත් වූයේ කවර කලෙක දැයි හරියටම නිගමනය කිරීම අපහසුය. ජනප්රවාදයේ එන්නේ භාතිකාභය රජු දවස ශ්‍රී පාදය සොයාගත් බවයි. භාතිය රජුගේ මල් උයනින් සොරෙන් මල් කඩන අය ඇල්ලීමට සිට වූ කොටෙකුට සුරඟනන් විසින් මඟ දිගට මල් දමා මඟ සලකුණු පෙන්වීමෙන් ශ්‍රී පාදය සොයාගත් බව එක් ජනකතාවක එයි. හිමගත වර්ණනාව නම් කවි පොත ලියන ජන කවියා එම සිද්ධිය දක්වන්නේ ඊට මදක් වෙන්වය. මල් වත්ත රකිනා වැද්දා මල් සොරෙන් කැඩූ සුරඟනන්ගේ මඟ පෙන්වීමෙන් සිරිපා වන්දනාවේ ගිය බව එහි සඳහන් වේ. එහි මෙසේ දැක්වේ.
“එතොත් උඩට අපි ලකුණක් කියමි
මඟින් මඟට මල් එක දෙක දම මී
යොදුන් හතක් අපි වන පසු කරමි
මෙමල් නෙළගොස් විමනේ වැසෙමි”
“සමනල යන්නට උගෙ සිත පිරීයා
කන්නට කැවිලිත් ඉණ මැද ගතියා
කන්‍යා ලිය කී ලකුණක් දිටියා
දන්නා ලෙස ගොස් සමනල දුටියා”
යනුවෙන් නිගමන වර්ණනා කර්තෘ සඳහන් කරතත් ඒ ජනප්‍රවාදය ඓතිහාසික සත්‍යයක් දැයි සැක සිතේ. ඓතිහාසික සත්‍යයන්ට වඩාත් සමීප තොරතුරු දක්වන දීපවංසයේ භාතිකාභය රජු නොයෙක් පින්කම් කළ බව සඳහන් කළ ද එකල ශ්‍රී පාදය සොයාගත් බවක් නම් සඳහන් නොකරයි.
කෝට්ටේ යුගය වන විට ශ්‍රී පාදස්ථානය අතිශයින්ම ප්‍රචලිත ස්ථානයක්ව පැවැති බවට සාධක රාශියක්ම වෙයි. එකල ලියැවුණ හැම සංදේශ කාව්‍යයකම පාහේ ශ්‍රී පාදය ගැන සඳහන් වේ. සැළලිහිණි සංදේශය ලියන ශ්‍රී රාහුල මාහිමියන් සඳහන් කරන්නේ මෙසේය.
“සුර රද සමන් සමඟින් සුරඟන එවර
පැහැ නද මදාරා පරසතු මල් පතර
කර පුද වදින රැදි මුනි සිරිපා තඹර
සකි සද පෙනේ සමනල ගල නැඟෙනහිර”
හංස සංදේශ කතුවරයා කැලණි ගඟ විස්තර කරන්නේ සමනල මුදුනට බුදු රජාණන් වහන්සේට වැඩම කිරීමට කළ මාර්ගය ලෙසටයි.
“සමනල මුදුන සිරිපෑ ඹබන මඟුලට
නිකසල මහ සඟන ගෙන වඩින මුනිදුට
පැහැදුල සුනිල් මැණිකෙන් කළ මඟ ලෙසට
මනදොළ පිරේ ගඟ සිරිසර දුටු තොපට”
පැරකුම්බා සිරිතේ ශ්‍රී පාදය වැද එන මඟියෙකු සහ බමුණෙකු අතර සිදු වන දෙබසක් ආකාරයෙන් ශ්‍රී පාදය ගැන විස්තරයක් එයි.
“කියඟ මගියා එනු කොහි සිට දද සමනල ගොසිනා
කිමෙක අමුතු එදිග බමුණු සුමන සුරිඳු විසිනා
ගිය කළ දෙදහස් පන්සිය රජෙකු එනැයි දියනා
කියැවිය නන්වැසිය එනමා පැරැකුම් රජ මෙදිනා”
සීතාවක රජ කළ පළමු වැනි රාජසිංහ රජු ශ්‍රී පාදස්ථානය ශිව භක්තිකයන්ට පැවැරීය. ඊට පසු පෘතුගීසීන් විසින් සබරගමු මහ සමන් දේවාලය කොල්ල කන ලදී.
මහනුවර ii රාජසිංහ රජ දවස ලංකාවේ සිරකරුවෙකුව සිටි රොබට් නොක්ස් ඔහුගේ එදා හෙළදිව ග්‍රන්ථයේ ශ්‍රී පාදය ගැන සඳහන් කොට ඇත්තේ මෙසේය.
“මේ ශුද්ධ පර්වතය පිහිටා ඇත්තේ කන්දේ නුවරට දකුණිනි. ඊට සමනල කන්ද යයි කියති. බුදුන් අහසින් වැඩ මෙහි ශ්‍රී පාද පිහිටුවා ඇති බව පිළිගනු ලැබේ.
එලෙස අනාදිමත් කාලයක් තිස්සේ නා නා ජාතික නා නා ලබ්දික ජනතාවගේ ගෞරවයට පාත්‍ර වන ශ්‍රී පාදස්ථානය සිය වස් විසි පහක පමණ අතීතය සමරන අභිමානවත් පුද බිමකි.
විජේරත්න අතුරුපාන
විශේෂාංග
silumina
================================================
උපුටා
ගැනීම් සහිතයි ....!!!
දයාබර
පාථක සහෘදයිනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම් like කිරීමෙන් හා share
කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස්
අඩවිය - Abirahas
Adawiya
No comments:
Post a Comment