Wednesday, April 8, 2020

ප්‍රාග් ඓතිහාසික පර්යේෂණවලින් හෙළි වන ශ්‍රී ලංකාවේ මානව ඉතිහාසය...(sri lanka we manawa ithihasaya අබිරහස් අඩවිය - Abirahas Adawiya - ශාස්ත්‍රීය ළිපි)

වසර ලක්‍ෂ ගණනක්‌ ඈතට දිවයන ඉතිහාසයක්‌ ශ්‍රී ලංකාව සතුය. වංසකතා හා ඉතිහාස ග්‍රන්ථවල දැක්‌වෙන්නේ සිංහලයන් විජය කුමරුගෙන් පැවත එන බවත් විජයාගමනයට ප්‍රථම යක්‍ෂ, නාග ආදී ගෝත්‍රිකයන් මෙරට වාසය කළ බව මහාවංසය පෙන්වා දෙයි. එමෙන් ම මෙම ගෝත්‍රිකයන් ශ්‍රී ලංකාව පුරාම විසිරී ජීවත් වූවන් බවත් සඳහන් වේ. විජය පැමිණීමට පෙර යුගය පිළිබඳව ලිත ඉතිහාසයෙහි සාකච්ඡා කෙරී ඇත්තේ අල්ප වශයෙන් වුවත්, දැනට සිදුකෙරී ඇති පුරාවිද්‍යා පර්යේෂණ අනුව එම ඉතිහාසය වසර ලක්‍ෂ ගණනක්‌ එපිටට ගෙන යාමට හැකි වී ඇත. මෙම ලිපියෙහි අරමුණ වන්නේ ඉතිහාසයෙහි නොකියවෙන එම කාල පරිච්ඡේදය පිළිබඳව සාකච්ඡා කිරීමයි.

 ශ්‍රී ලංකාවේ මුල්කාලීන ප්‍රාග් ඓතිහාසික පර්යේෂණ දෙස බලන විට ඒවායේ න්‍යායාත්මක පදනමක්‌ නොවුණි. නමුත් එම පර්යේෂණ තුළින් ශ්‍රී ලංකාවේ මානව ඉතිහාසය පිළිබඳව ලබා ගත හැකි තොරතුරු බොහෝය.
 ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඓතිහාසික පර්යේෂණ සඳහා දීර්ඝ ඉතිහාසයක්‌ ඇත. 1855 දී ඡේ. පෝල් සහ ඊ. ඊ. ග්‍රීන් යන දෙදෙනා ශ්‍රී ලංකාවේ තෙත් කලාපය හා වියළි කලාපය ආශ්‍රිතව කරන ලද පර්යේෂණවලින් සොයාගත් තිරුවාන, කහඳ මෙවලම් තුළින් නූතන මානවයාගේ ආදී මුතුන් මිත්තන් පිළිබඳ තොරතුරු මුල්වරට අනාවරණය කළේය. ඉන් පසුව බඹරබොටුව බෙලිගල්ගේ පාර්සන් විසින් ද, බෙලිහුල්ඔයට නුදුරු කඳුගැටයක්‌ ගාර්ඩිනර් විසින් ද, මාතර දිස්‌ත්‍රික්‌කයේ ඌරුමුත්තු ගුහාව එෆ්. ලුවිස්‌ විසින් ද ගවේෂණය කරන ලදී.

 මොවුන්ගේ පර්යේෂණවලින් සොයාගත් සාදක අනුවද ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඓතිහාසික මානවයා සහ ඔහු විසින් භාවිතයට ගන්නා ලද ශිලා මෙවලම් ආදිය පිළිබඳව තොරතුරු රැසක්‌ සොයා ගැනීමට හැකිවිය. මේ තුළින් හෙළිවන තොරතුරුවලට අනුව ශ්‍රී ලංකාවේ ඉතිහාසය වංසකතාවලින් දක්‌වන ඉතිහාසයට වඩා ඈත යුගයකට ගෙන යැමට සමත් විය.

 මෙම පර්යේෂණවලින් හඳුනාගත් ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඓතිහාසික මානවයා වාර්තමාන වැදි ජනතාවගේ පූර්වජයන් විය හැකිය යන මතවාදයක්‌ ද මේ ඔස්‌සේ පැන නැ`ගුණි. ඒ අනුව 1909 දී ශ්‍රීමත් හෙන්රි පාකර් විසින් මහාවංසය හා දීපවංසය මූලික කරගෙන වැදි ජනතාව හා ප්‍රාග් මානවයා අතර ඇති සබඳතාව පිළිබඳව පර්යේෂණ සිදු කළේය. ඔහුගේ මෙම පර්යේෂණ දානිගල, නිල්ගල, බිබිල, බණ්‌ඩාරවෙල, බුත්තල, ඔක්‌කම්පිටිය, තෙලුල්ල, ගල්ගේ ආදී ප්‍රදේශ ආශ්‍රිතව සිදු කරන ලද අතර වැදි ජනතාවගේ සිරිත් විරිත් අනුව ඔවුන්ගේ පූර්වජයින් වෙනත් විදේශීය රටකින් මෙරටට පැමිණෙන්නට ඇතැයි ඔහු අනුමාන කළේය. එමෙන් ම, ඔහු මහාවංසයේ හා දීපවසංයේ දැක්‌වෙන යක්‍ෂ ගෝත්‍රිකයන්ගේ ව්‍යාප්ති රටාව පිළිබඳව ද අධ්‍යයනය කළේය.

 සැරසින් සොහොයුරන් හා සෙලිග්මාන් යුවල (සී.ජී. සෙලිග්මාන් සහ බී.ඉසෙඩ්. සෙලිග්මාන්) ද ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඓතිහාසික මානවයා තුළින් හෙළිවන වැදි ජනතාව පිළිබඳව 1891 සිටම පර්යේෂණ පවත්වා ඇත. පහතරට වියළි කලාපයේ පිහිටි ගල් ලෙන් කිහිපයක්‌ කැණීමෙන් ලැබුණු සාදක තුළින් ඔවුන් වැද්දන්ගේ අතීතය සෙවීමට උනන්දු වූහ. 1907 දී නැවත වරක්‌ දකුණු පළාතේ තෙලුල්ල අසල ලෙනක්‌, බුත්තල, ඔක්‌කම්පිටිය, ගල්ගේ, යකුන්නේ හෙල, බෙල්ලව බොක්‌ක, මනිගහ ආර, ගොන්ගිනේ ආදී ස්‌ථානවල කරන ලද කැණීම් මගින් ප්‍රාග් ඓතිහාසික ශිලා මෙවලම් රැසක්‌ සොයා ගන්නා ලදී. නිල්ගල ලෙන කැණීමෙන් මානව හිස්‌කබලක්‌ හා සුනඛයෙකුගේ හෝ හිවලෙකුගේ යෑයි අනුමාන කළ හැකි අවශේෂයන් සොයා ගත හැකි විය.

 1908 දී සෙලිග්මාන් යුවළ හේනබැද්දට නුදුරු බැඳියගල්ගේ සහ ඇඹිලිත්තට නුදුරු මුල්ලේගමින් ප්‍රාග් ඓතිහාසික සාදක සොයා ගන්නා ලද අතර ඒ ඇසුරින් වැදි ජනතාව පිළිබඳ ඓතිහාසික, ප්‍රාග් ඓතිහාසික, පුරාවිද්‍යාත්මක, සමාජ විද්‍යාත්මක පර්යේෂණයක්‌ සිදු කරන ලදී. 1911 දී පළ කරන ලද “The Vaddas” කෘතිය මෙම පර්යේෂණවල ප්‍රතිඵලයකි. 1924 දී සැරසින් සොහොයුරන් පුත්තලම සිට කලාඔය දක්‌වා වන රතුවැලි නිධි පරීක්‍ෂා කිරීමෙන් වැදි ජනතාව මෙරට ප්‍රාග් මානවයාගේ ප්‍රතිඵලයක්‌ බවත්, වැදි ජනතාවගේ නූතන වාසස්‌ථාන ප්‍රාග් මානවයා භාවිත කළ ස්‌ථාන බවත් පෙන්වා දුනි. මෙම පර්යේෂණ වඩා විශ්වසනීය, විද්‍යාත්මක ස්‌වරූපයකින් යුක්‌ත නොවූවත්, ප්‍රාග් මානවයා හා වැදි ජනතාව අතර සබඳතාව පෙන්වා දෙමින් ශ්‍රී ලංකා ඉතිහාසය තුළ මානව ප්‍රගමනය සිදුවූ ආකාරය පෙන්වා දීමට පර්යේෂකයින් උත්සාහ කොට ඇත.

 1913 දී චාර්ල්ස්‌ හාර්ට්‌ලි විසින් වැලිමඩ ප්‍රදේශයේ “Chirch hill” සහ තවත් කඳුකර තෙත් ප්‍රදේශ ද, පහතරට තෙත් කලාපයේ ප්‍රදේශ කිහිපයක්‌ ද පර්යේෂණ කිරීමෙන් ශිලා මෙවලම් රැසක්‌ සොයා ගන්නා ලදී. ඉන්පසුව ඒ. එම්. හෝකාර්ට්‌, සෙනරත් පරණවිතාන, ඩරීලිව්.එම්. බිඩෙල්, ජෝන් ස්‌ටිල්, ඊ.ඡේ. වේලන්ඩ්, ඊ. සී. වෝර්මන්, නූන් සොයුරන් ආදී වූ පුද්ගලයන් කිහිප දෙනෙක්‌ම ප්‍රාග් ඓතිහාසික පර්යේෂණවල නියුතු වූ අතර ලංකාවේ විවිධ ප්‍රදේශවලින් තිරුවානා, කහඳ මෙවලම් සොයා ගැනුණි.

 මෙම පර්යේෂණ තුළින් සිදු වූයේ ප්‍රාග් ඓතිහාසික යුගය තුළ විසූ මානවයා සහ ඔහු භාවිතකළ ශිලා මෙවලම් පිළිබඳව පමණක්‌ පර්යේෂණ සිදු කිරීමයි.

 1930 සිට ඉදිරි වර්ෂ තුළ පී.ඊ.පී. දැරණියගල මහතා විසින් ප්‍රාග් ඓතිහාසික පර්යේෂණ තුළින් ලංකා ඉතිහාසය ගොඩනැ`ගීමට විශාල මෙහෙයක්‌ ඉටු කරන ලදී. ඔහුගේ පර්යේෂණවලින් මානවයා සහ ඔහු භාවිතා කළ ශිලා මෙවලම් ආදිය පිළිබඳව පමණක්‌ නොව ඔහු අයත් පරිසරයත්, සතුන් හා ශාක පිළිබඳවත් තොරතුරු ඉදිරිපත් කෙරිණි. විවෘත ප්‍රදේශ, ලෙන්, වෙරළබඩ ප්‍රදේශ, කඳුකර ප්‍රදේශ ආදී වශයෙන් නොයෙකුත් ස්‌ථානවල මොහුගේ පර්යේෂණ පුළුල්ව සිදු කෙරිණි. මේ අතුරින් බෙල්ලන්බැඳිපැලැස්‌ස පර්යේෂණ සුවිශේෂී වේ. මෙහි හමු වූ මානව ශේෂ තුළින් කේ. ඒ. ආර්. කෙනඩි වැදි ජනයා හා බලංගොඩ මානවයා අතර ජීවවිද්‍යාත්මක පසුබිම පිළිබඳව පර්යේෂණ සිදු කරන ලදී. මෙම පර්යේෂණවලින් අදින් වසර 48,000 කට පෙර විසූ ශ්‍රී ලංකාවේ ආදි මානවයා පිළිබඳව හඳුනා ගන්නා ලදී.

 රත්නපුර ප්‍රදේශය ආශ්‍රිතව සිදු කරන ලද පර්යේෂණවලින් අදින් වසර 125,000 කට පෙර විසූ සත්ත්වයින්, එම කාලයේ පරිසරය, දේශගුණ වෙනස්‌වීම්, ශාක හා සතුන් එම තත්ත්වයන්ට අනුවර්තනය වූ ආකාරය පිළිබඳව හඳුනා ගන්නා ලදී.

 1969 සිට ඉදිරි කාලය තුළ එස්‌.යූ. දැරණියගල ප්‍රාග් ඉතිහාසය හා මූල ඉතිහාසය පිළිබඳව පර්යේෂණ සිදු කළේය. එම පර්යේෂණ තුළින් එකල සමාජය, පරිසර රටාව, දේශගුණය, මෙවලම් තාක්‍ෂණය ආදිය පිළිබඳව වැදගත් තොරතුරු රැසක්‌ අනාවරණය වුණි.

 1988 දී සමනල වැව ආශ්‍රිතව කරන ලද පර්යේෂණවලින් ප්‍රාග් මානව ජනාවාස රටාව, ඔවුන්ගේ දෛනික ජීවන රටාව හඳුනා ගැනීම සිදු කෙරිණි. 1990-1991 කාලයේ අන්තර් වියළි කලාපයේ සීගිරිය-දඹුල්ල ආශ්‍රිතව කරන ලද පර්යේෂණවලින් හමු වූ ප්‍රාග් ඓතිහාසික සාදක පදනම් කරගෙන ප්‍රාග් ඓතිහාසික යුගයේ පටන් මෙම ප්‍රදේශවල වැදි ජනතාව ජීවත්ව සිටින්නට ඇති බව සේනක බණ්‌ඩාරනායක මහතා සඳහන් කරයි.

 රාඡ් සෝමදේව මහතා විසින් ශ්‍රී ලංකාවේ දකුණු පළාත ආශ්‍රිතව සිදු කරගෙන යනු ලබන පර්යේෂණ මාලාවක්‌ මගින් දකුණු පළාත ආශ්‍රිතව මානව ජනාවාසකරණය, ජනාවාස රටාව, ඒ සඳහා බලපාන ලද සාදක පිළිබඳව පුළුල් පර්යේෂණ සිදු වී ඇත.

 ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයේ තෙත් කලාපයට අයත් හෝර්ටන් තැන්න පසුබිම් කරගෙන ටී.ආර්. ප්‍රේමතිලක මහතා විසින් සිදු කළ අධ්‍යයනයන් මගින් අදින් වසර 25,000 ට ආසන්න කාලයකට ලංකා ඉතිහාසය ගෙන යැමට සමත් වී ඇත. අදින් වසර 17,500 ට පමණ පෙර කාලයේ ලාංකේය ජනතාව ප්‍රාග් මූලික කෘෂිකර්මාන්තයට අවතීර්ණ වූ බවට සාදක ලැබුණි. එය ලංකා ඉතිහාසය නව මඟකට යොමු කළ පර්යේෂණයක්‌ විය. ශ්‍රී ලංකාවේ ඉතිහාසය සම්බන්ධව මෙතෙක්‌ සිදු කෙරී තිබූ පර්යේෂණවලට අනුව ලංකාවේ නවශිලා යුගයක්‌ පිළිබඳ සාදක හමු වී නොතිබුණි. හෝර්ටන් තැන්නේ පර්යේෂණවලින් දඩයම් යුගයේ සිට කෘෂිකර්මාන්තයට අවතීර්ණ වීමේ දී පසුකළ අවධීන් (නව ශිලා යුගය තුළ) හඳුනාගත හැකිය.

 මේ අනුව ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඓතිහාසික පර්යේෂණ තුළින් වංසකතාවලින් දැක්‌වෙන ඉතිහාසයට වඩා දිගු මානව ඉතිහාසයක්‌ ලාංකිකයන්ට ඇති බව හඳුනා ගැනීමට හැකිය. ප්‍රාග් ඉතිහාසය තුළ

 1. පුරා ශිලා යුගය (Palaeolithic)

 2. මධ්‍යශිලා යුගය (Mesolithic)

 3. නවශිලා යුගය (Neolithic)

 යන යුග ත්‍රිත්වය පිළිබඳවම සාදක ලැබෙන අතර වසර ලක්‍ෂ ගණනක අතීතයේ සිට අද දක්‌වා අඛණ්‌ඩව සිදු වූ ශ්‍රී ලාංකේය මානව වංස කතාවේ අනුපිළිවෙළ ගොඩනංවයි. මෙම පර්යේෂණවලට මෑතක සිදු කරන ලද ප්‍රාග් ඓතිහාසික පර්යේෂණ ද එක්‌කල විට පහත පරිදි සාරාංශ කළ හැකි වෙයි.

 * දඩයමින් හා ආහාර එකතු කිරීම තුළින් ජීවනෝපාය සකසා ගත් ප්‍රාග් ඓතිහාසික මානවයා පිළිබඳ ඉතිහාසය

 * ඔහු අයත් පරිසරය, ශාක හා සත්ත්ව සංතතිය, ඒ සඳහා බලපාන ලද දේශගුණ තත්ත්වය පිළිබඳ ඉතිහාසය

 * අදින් වසර 48,000 දී ප්‍රාග් නූතන මානවයා (බලංගොඩ මානවයා - Homo sapiens balagodensis) ගේ ආගමනය පිළිබඳ ඉතිහාසය

 * ඔහුගේ ජනාවාස රටාව හා දෛනික ජීවන රටාව පිළිබඳ ඉතිහාසය

 * අදින් වසර 17,500 කට පමණ පෙර තණබිම් ආශ්‍රිතව සිදු වූ එෙŒර කටයුතු (සත්ත්ව පාලනය) පිළිබඳ ඉතිහාසය

 * වනාන්තර එළි පෙහෙළි කිරීම හා ගිනි තැබීම (Slash and burn) මගින් සිදු කෙරුණු ප්‍රාග් මූලික කෘෂිකර්මය පිළිබඳ ඉතිහාසය

 * අදින් වසර 13,000 පමණ පෙර මූලික කෘෂිකර්මාන්තයට එළැඹීම (නව ශිලා යුග විප්ලවය) පිළිබඳ ඉතිහාසය

 - මිනිසා වනචාරී දිවියෙන් මිදී ශිෂ්ටාචාරවත් ජීවිතයකට එළඹීම පිළිබඳ ඉතිහාසය

 - යෑපුම් සභ්‍යත්වයකට අවතීර්ණ වීම පිළිබඳ ඉතිහාසය

 - ජනාවාසකරණය හා සංස්‌කෘතික විවිධත්වය පිළිබඳ ඉතිහාසය

 අඛණ්‌ඩව ගොඩනැ`ගීමට හැකියාව අපට ලැබෙයි.

 මූලාශ්‍ර

 බටුවන්තුඩාවේ, ඩී. ඒ. ද සිල්වා සහ හික්‌කඩුවේ නායක ස්‌වාමීන් වහන්සේ, 2003, මහා වංසය,

 ප්‍රථම භාගය, දීපාණි ප්‍රකාශන (පුද්ගලික) ආයතනය

 Bandaranayake, S.1994, “Approaches to the settlement Archaeology of the Sigiriya Dambulla

 Region”, In the Further Studies in the Settlement Archaeology of the Sigiriya Dambulla

 Region (eds) Senaka Bandaranayake and Mats Mogren, postgraduate institute of Archaeology,Colombo. 15-38 pp

 Deraniyagala, P.E.P. 1958, The Plestocene of Ceylon, Ceylon National Museum, Colombo, 164 pp, 58 pls, 40 text figs.

 Deraniyagala, S.U., 1980, “Prehistoric Research in Sri Lanka 1885-1980” In P.E.P. Deraniyagala Commemoration Volume (eds.) T.L.Premathilaka and R. Silva, Colombo Lake House Investments, 152-207 pp, 11Figs

 Deraniyagala. S.U., 1992, The Prehistory of Sri Lanka an Ecological Perspective Sri Lanka, Part I

 and Part II, Department of Archaeological Survey, Colombo.

 Hartley, C., 1914, “On the Occurrence of Pigmy Implements” in Ceylon in Spolia Zeylanica, Vol:10 (36), 54-56 pp

 Kennedy, K.A.R. and Deraniyagala, S.U., 1989, “Fossil Remains of 28,000 - year - old Hominids

 from Sri Lanka”, in Current Anthropology, Volume 30, No:3, Cornell University Ithaca, U.S.A./Archaeological Survey Department, Sri Lanka, 394-399 pp

 Premathilaka T.R. and Risberg, J., 2003, “Late Quaternary Climate History of the Horton Plains,

 Central Sri Lanka”, In Quaternary Science Review 22, 1525-1541 pp

 Seligmann, C.A. and Seligmann, B.Z., 1911. The Vaddas, Cambridge University Press, UK.

 Somadeva, R., 2006, Urban Origins in Southern Sri Lanka, Uppsala University, Sweeden.

divaina
ජයනි කුමාරි ප්‍රනාන්දු
 පුරාවිද්‍යා නිලධාරී,
 මධ්‍යම සංස්‌කෘතික අරමුදල
 hjayanikumari2@gmail.com
================================================
උපුටා ගැනීම් සහිතයි ....!!! 
දයාබර පාථක සහෘදයිනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya 

Thursday, April 2, 2020

වසර 16,000කට උරු­ම­කම් කියන කූර­ගල ප්‍රාග් ඓති­හා­සික භූමිය....(kuragala prag aithihasika natabun අබිරහස් අඩවිය - Abirahas Adawiya - ශාස්ත්‍රීය ළිපි)

ප්ලයි­ටෝ­සීන යුගයේ අව­සා­නයේ සිටම මානව ජනා­වා­ස­යක් වූ කූර­ගල මුහුදු මට්ටමේ සිට මීටර් 360 ක උස­කින් පිහිටා ඇති අතර රත්න­පුර දිස්ත්‍රි­ක්කයේ බලං­ගොඩ ප්‍රාදේ­ශීය ලේකම් කොට්ඨා­ශයේ, කඩ­වත් මැද කෝරළේ, හෙළ උඩ පත්තු­වට අයත් වේ. පැරණි පිය­ගැට පෙළ ඔස්සේ ගමන් කිරීමේ දී වම් පසින් පූර්ව බ්‍රහ්මී අක්ෂර සහිත ප්‍රධාන ලෙන් සංකී­ර්ණය පිහිටා ඇති අතර දකුණු පසින් හිටු­ව­න්ගල ගල් ගුහා පිහිටා තිබේ. පොදුවේ කූර­ගල යනු­වෙන් මෙම ස්ථාන හැඳ­න්වූ­වත් මෙහි පර්වත ශිඛර දෙකකි. එය කූර­ගල හා හිටු­ව­න්ගල යි.

කූර­ගල ගල් ලෙන් ප්‍රාග් මානව යුගය දක්වා අතීත ඉති­හා­ස­යක් කරා දිව­ය­න්නකි. කූර­ග­ලට ආසන්න ප්‍රාග් ඉති­හා­ස­යට අයත් ස්ථාන ලෙස උඩු­පි­යන් ගල්ගේ, වලව නිම්නයේ රත්කිඳ සහ බුදු­ගල දැක්විය හැකි ය. ආචාර්ය පී.ඊ.පී. දැර­ණි­ය­ගල හා ආචාර්ය ශිරාන් දැර­ණි­ය­ග­ලට අනුව බෙල්ල­න්බැඳි පැලැ­ස්සෙන් සොයා ගත් මානව අව­ශේෂ හා මෙව­ලම් අදින් වසර 6500 කට අයත් බවට කාල නිර්ණය කර ඇත. එමෙන් ම කූර­ග­ලට තර­මක් ඈතින් පිහි­ටිය ද බළං­ගොඩ මාන­වයා විසූ ස්ථාන ලෙස රාවණ ඇල්ල ගල්ගේ, හල්දු­ම්මුල්ල, රංච­ම­ඩම සහ ගල්පාය දැක්විය හැකි ය.

බළන්­ගොඩ මාන­ව­යාගේ නිජ­බිම් වශ­යෙන් මධ්‍යම කඳු­ක­රයේ ගල් ලෙන් භාවිතා කොට ඇත. කූර­ගල ඇතුළු නැගෙ­න­හිර බෑවුමේ ඇති බුදු­ගල, පබ්බත, සොණ­ගල්ගේ, කිරි­ම­කු­ළු­ගොල්ල ලෙන්, පිය­න්ගි­රිය ලෙන, මනෝ­ප­ද­ස්සන ලෙන, ලෙන් දොර ලෙන, මනෝ­රම්‍ය ලෙන, දේව­ගිරි විහාර ලෙන ආදි වශ­යෙන් බොහෝ ස්ථාන­යන් බළං­ගොඩ මාන­ව­යාගේ වාස­ස්ථාන ලෙස භාවිතා වූ බව සඳ­හන් වේ. එමෙන්ම බළන්­ගොඩ මාන­වයා පිළි­බඳ තොර­තුරු රැසක් ඉහත ප්‍රදේශ වලින් සොයා ගැනී­මට හැකි වූ බැවින් බළන්­ගොඩ සංස්කෘ­තික සමය “හෝමෝ සේපි­යින්ස් බළන්­ගො­ඩිං­සිස්” යනු­වෙන් නම් කිරී­මට මෙම මානව අව­ශේෂ ඉව­හල් විය. කූර­ගල පර්ව­තය පාමුල ඇති බුදු­ගල ප්‍රාග් මාන­වයා විසූ ස්ථාන­යක් ලෙස එහි ගලේ කොටා ඇති මාළුවා, ත්‍රිශූ­ලය, ස්වස්ති­කය, සිංහ රූපය හා මිනිස් රූප දෙකින් ගම්‍ය වේ.

කූර­ගල සෙල් ලිපි පළමු වරට පිට­පත් කිරීමේ ගෞර­වය හිමි විය යුත්තේ සී. එච්. කොලින්ස් මහ­තාට ය.


කූර­ගල ලෙනෙහි කරන ලද කැණීම්
1932 දී සී.එච්. කොලින්ස් කූර­ගල ගැන තැබූ සට­හන මෙසේ ය.

“මෙයට ළඟා­විය හැක්කේ බළන්ගොඩ- කල්තොට මාර්ගයේ කන්ද කල්තොට දක්වා බෑවුම් වීමට මත්තෙන් ඒ හරහා වැටී ඇති අඩි පාර­කිනි. උස් කඳු මුඳුන් දෙකක් සහ ඒ අතර ඇති ප්‍රපා­තා­කාර කපොල්ල ප්‍රදේ­ශය පුරා­වි­ද්‍යා­ත්මක වශ­යෙන් වැද­ගත්ය. කල්තො­ටට ආසන්න පළමු කොටසේ ගුහා බොහෝ­ම­යක් ඇති අතර එහි දී ශිලා ලේඛන දෙකක් නිරී­ක්ෂ­ණය කෙරුණි. හිටු­ව­න්ගල නමින් හඳු­න්වන උස් කඳු මුදුනේ අනෙක් සාධක දැක ගත හැකි ය” යනු­වෙනි.

බළන්ගොඩ, කූර­ගල පුරා­විද්‍යා රක්ෂි­තයේ 2013 වස­රේදී පුරා­විද්‍යා දෙපා­ර්ත­මේ­න්තුව විසින් ගල්ලෙන් ආශ්‍රි­තව කළ කැණීම් මගින් ප්‍රාග් ඓත­හා­සික වාස­ස්ථා­න­යක් ලෙස භාවිතා කර­න්නට ඇති බවට සාධක ලැබිණි. අදින් වසර 16000කට පෙර කාල­යට අයත් බව කැණිම් වළෙහි පහ­ළම ස්තාරා­ය­න­යෙන් කළ වික­ර්ණ­ශීලි දිනවලින් ගණ­නය කර ඇත. එහිදී සොයා ගන්නට ලැබුණු මානව ඇට­සැ­කිල්ල අදින් වසර 8000ක් පැරණි බවට දින නිර්ණය කර ඇත.

2013 වසරේ අප්‍රේල් මස සිට දෙසැ­ම්බර් දක්වා පුරා­විද්‍යා දෙපා­ර්ත­මේ­න්තුව විසින් සිදු­ක­රන ලද කැණීම්හි කාල නිර්ණ වාර්තා ඇම­රිකා එක්සත් ජන­ප­දයේ බීටා ඇන­ල­යි­සීස් ආය­ත­නය විසින් කූර­ගල ප්‍රාග් ඓති­හා­සික පස් තැන්පතු සඳහා ලබා­දුන් කාල­නි­ර්ණ­යන් අනුව අදින් වසර 16000 සිට 6000 දක්වා අවධි 5 කට අයත් බව පැවසේ. ශ්‍රී ලංකාව තුළ අතර මැදි කලා­ප­යක සිදු කරන ලද කැණීම් වලින් මෙත­රම් පැරණි සාධක අනා­ව­ර­ණය වන ස්ථානය කූර­ග­ලය. එමෙන් ම මෙහි දී සිදු කරන ලද කැණීම් වලින් මුහුදු බෙල්ලන් විශේ­ෂ­යක් හමු වූ අතර ඉන් අනා­ව­ර­ණය වන්නේ මෙහි ජීවත් වූ මිනි­සුන් මුහුද සමඟ සමී­පව කට­යුතු කර ඇති බව ය. එමෙන් ම මෙහිදි සොයා ගත් ඉතා පිරි­සිදු තිරි­වාණා පාෂා­ණ­යෙන් සෑදු ශිලා මෙව­ලම් සුවි­ශේෂි වේ.

ගල් ලෙන් ආශ්‍ර­ම­යක් ලෙස පැවති කූර­ගල, අනු­රා­ධ­පුර යුගයේ සිට ම පැවති බෞද්ධ පුද බිමකි. මීට ආසන්න ව පිහිටි අනෙක් බෞද්ධ කේන්ද්‍ර­ස්ථාන ලෙස ගල්ටැ­ම්යාය, බුදු­ගල, හඳ­ගි­රිය, දේව­ගි­රිය, කොට්ටි­මු­ල්වල, ලෙන්දොර, මහ සුද­ර්ශන ලෙන හා කිරි­ම­කු­ළු­ගොල්ල යනා­දිය දැක්විය හැකිය. ඒ අනුව කූර­ගල යනු හුද­ක­ලාව පිහිටි ආරණ්‍ය සේනා­ස­න­යක් නොවේ. පශ්චාත් අනු­රා­ධ­පුර යුගයේ දී කූර­ගල ලෙන්වල සිට භාව­නා­යෝගි භික්ෂූන් බුදු­ගල පධා­න­ඝර ආරණ්‍ය සේනා­ස­න­යට වැඩම කර වින­ය­කර්ම කට­යු­තු­වල නිරත වූ බවට සාධක සොයා­ගෙන තිබේ. අද­ටත් වාස්තු විද්‍යා­ත්මක නිර්මාණ රැසක නට­බුන් මෙම ස්ථාන­වල දැක ගත හැකි ය.

කූර­ගල ඓති­හා­සික භූමියේ ඇති ගල්ලෙන් ප්‍රාග් ඓති­හා­සික අව­ධියේ දී විසු මාන­ව­යන් තම වාස­ස්ථාන කර ගත්ත ද ක්‍රි.පූ. 3 වන සිය­ව­සත් ක්‍රි.ව. පළමු සිය­ව­සත් අතර කාල­යට අයත් බෞද්ධ සංඝා­රා­ම­යකි. එනම් කූර­ගල බෞද්ධ අන­න්‍ය­තා­වය තහ­වුරු වන ප්‍රධාන ලෙන් ලිපි තුනකි. (මහා­චාර්ය සෙන­රත් පර­ණ­වි­තා­න­ය­නගේ අර්ථ­ක­ථ­න­යට අනුව) එනම් ;

01- කූර­ගල ලෙන් ලිපි අංක 01

පෙළ - --------- දතහ සමු­දහ ලෙනෙ

අර්ථය - දත්ත (සහ) සමු­ද්‍රගේ ලෙන

02- කූර­ගල ලෙන් ලිපි අංක 02

පෙළ - දම ගුත තෙරස ලෙන

අර්ථය - ධම්ම­ගුප්ත තෙරුන්ගේ ලෙන

03- කූර­ගල ලෙන් ලිපි අංක 03

පෙළ - (පරු­මක) සුම­නහ

පරු­ම­කලු ශුමය

අර්ථය - ප්‍රධානී සුම­න­ගේත්, සුම්මා නම් ප්‍රධා­නී­ව­රි­ය­ගේත් (ලෙනයි)

මෙම ලෙන් ලිපි මුල් බ්‍රහ්මී අක්ෂර වලින් ලියා ඇති අතර (ක්‍රි.පූ. 3 ත් ක්‍රි.ව. 1 ත් අතර කාලයේ) කූර­ගල බෞද්ධ අන­න්‍ය­තා­වය අදින් වසර 3000කට පෙර අතී­ත­ය­කට දිව­යයි. පැරණි රජ දවස “තණ්ඩු ල්‍යෙයක පබ්බත” සහ “දත්ත ශෛල පබ්බත” යන නම් වලින් හැඳින්වූ අතර පසුකාලී­නව “කුහ­ර­ගල” නමින් ද එය වත්මනේ දී “කූර­ගල” නමින් ද හඳු­න්වන අනු­රා­ධ­පුර යුගයේ මුල් අව­ධියේ සිටම ඓති­හා­සික බෞද්ධ පුද­බි­මකි.

කූර­ගල ඇති ලෙන් ලිපි සිය­ල්ලම ඉතා කෙටිය. එය විශේ­ෂ­ත්ව­යකි. සාමා­න්‍ය­යෙන් බොහෝ ලෙන් ලිපි­වල “අගත අන­ගත චතු දිශ ශගශ දිනෙ” (අතීත අනා­ගත සතර දිසා­වෙන් පැමි­ණියා වූ ද නොපැ­මි­ණියා වූ ද, භික්ෂු සංඝයා වහ­න්සේ­ලාට පූජා කළ වගයි) යනු­වෙන් සඳ­හන් කර තිබුණ ද මෙහි එසේ දක්නට නොලැබේ. ඊට හේතු ලෙස මෙම ස්ථාන, ලෙන් ආරාම සකස් කිරීමේ ප්‍රාථ­මික අව­ධි­යට අයත් ස්ථාන­යක් විය හැකිය. මේ පිළි­බ­ඳව වට­ද්දර ඥානි­ස්සර නාහි­මි­යන් ප්‍රකාශ කර­නුයේ මහි­න්දා­ග­ම­න­යට පෙර, ප්‍රාග් බෞද්ධ සමයේ මෙම ගල් ලෙන් යම් යම් ප්‍රදේශ වලට අයත් අධි­ප­තීන් විසින් බුදුන් වහන්සේ උදෙසා පූජා කර­න්නට ඇති බවයි. එම හේතුව උඩ “අගත අන­ගත චතු දිශ ශගශ දිනෙ” යන වැකිය භාවිතා නොක­ර­න්නට ඇතැයි යන්න උන් වහ­න්සේගේ අද­හ­සයි.
කූර­ගල ලෙනෙහි කරන ලද කැණීම්

ශ්‍රී ලංකාවේ පැර­ණි­තම ආරණ්‍ය සේනා­සන ලෙන් වලට අයත් මිහි­න්ත­ලය, වෙස්ස­ගි­රිය, රිටි­ගල, දිඹු­ලා­ගල, සිතු­ල්ප­වුව, බුද්ධං­ගල ආදිය කූර­ගල ගල් ලෙන් ආරණ්‍ය සේනා­ස­නය හා සම කාලීන අව­ධි­වල දී සංව­ර්ධ­නය වූ බෞද්ධ සංස්කෘ­තික උරු­ම­යන් ය.

කූර­ගල පිළි­බ­ඳව රත්න­පුර දිස්ක්‍රි­ක්කයේ එකල රාජ­කාරි කළ බ්‍රිතා­නය ජාතික දිසා­ප­ති­ව­රුන් සහ සිවිල් නිල­ධා­රීන්ගේ දින­පොත්, ස්ථානීය පරී­ක්ෂණ වාර්තා­වන් මෙන් ම සංචා­රක ගමන් විස්තර සට­හන් අනුව ද තොර­තුරු ලබා­ගත හැකි ය. ඒ අනුව රත්න­පුර දිස්ත්‍රි­ක්කයේ හිටපු දිසා­ප­ති­ව­ර­යකු වන ආර්.බී. හෙලින්ස් මහතා (1906-1910) කූර­ගල අවට කළ සංචා­ර­ය­කින් පසු 1910.02.12 වන දින තබන ලද සට­හ­නක් මෙසේ දැක්විය හැකි ය.

“මට පෙනෙන හැටි­යට මෙම ස්ථානයේ මූලා­ර­ම්භයේ සිට ම වසර ගණ­නා­වක් යන තුරු ශුද්ධ වූ පූජ­නීය ස්ථාන­යක් වශ­යෙන් සහ භව­නා­යෝ­ගීව කට­යුතු කිරී­මට සුදුසු තැනක් ලෙස­ටත් ප්‍රසි­ද්ධව ඇත. එහෙත් එක් අයකු පම­ණක් දැන් මෙහි තාපස ජීවි­ත­යක් ගත කරයි. මගේ මත­කය නිව­රැදි නම් මොහු මුලින් ම වාසය කළේ දිල්ලි නග­ර­යට ආසන්න පාඨ­ලී­පුත්‍ර නග­රයේ ය.

මොහුගේ පියා එහි සිටි ශුද්ධ­වන්ත පුද්ග­ල­ය­කුගේ බිරිඳ නොමග යවා පසුව බල­හ­ත්කා­ර­ක­මින් දූෂ­ණය කරල ඇයගේ සැමියා ද මරා දමන ලද්දේ ය. අවා­ස­නා­වන්ත සිද්ධි­යෙන් ගැබ් ගත් ඇය නිසි කල පිරිමි දරු­වකු බිහි කළාය. වය­සින් වැඩුණු දරුවා මව­ගෙන් සිය පියා ගැන අසා සිටි අව­ස්ථා­වක මව සිය පුත්‍ර­යාට සිදු වූ සියල්ල ඒ පරි­ද්දෙන් ම කියා සිටියා ය.

මින් කෝප­යට පත් පුතා තම මවට අප­රා­ධ­යක් කළ මිනී­මරු පුද්ග­ලයා හෙවත් තමන්ගේ සහ­ජා­තක පියා මරා දමන බවට මව හමුවේ ශපථ කළේ ය. මේ අතර තමන් කළ අප­රා­ධය ගැන පසු­තැ­වුණ මිනී­මරු පුද්ග­ලයා පසුව සිය ජීවි­තය බේරා ගැනීම සඳහා ලංකා­වට පැමිණ සැඟ වී සිටියේ කූර­ගල ය. පළි ගැනීමේ අද­හ­සින් මොහු සොයා පැමිණි පුත්‍රයා එක් රාත්‍රි­යක දරුණු අර­ග­ල­ය­කින් පසු මිනී­ම­රුවා මරා දමන ලද්දේ ය. රාත්‍රිය පුරා ඇසුණු බිහි­සුණු ශබ්ද ගැන විම­සි­ල්ලෙන් සිටි පුද්ග­ල­යෙකු පසු දින කන්ද නැග එහි ගිය පසු දැක ගන්නට ලැබුණේ වෛර­යෙන් දැවෙ­මින් සිටින තාප­ස­යකු හා ගින්නෙන් දැවෙ­මින් පව­තින අළු ගොඩකි.

කූර­ගල පිළි­බඳ අව­සාන විග්‍ර­හයේ දී කූර­ගල සංස්කෘ­තිමය වශ­යෙන් මෙන් ම ආග­මික වශ­යෙන් ද ස්ථර දෙකක් නියෝ­ජ­නය කරයි. එනම් හොලෝ­සීන යුග­යට අයත් ප්‍රාග් ඓති­හා­සික සාධක සහ මූල ඓති­හා­සික යුග­යට අයත් බෞද්ධ සංඝයා වහ­න්සේ­ලාගේ සාධ­ක වශයෙනි.
රුක්ෂිලා වෙත්ත­මුණි
විශේෂාංග
silumina
================================================
උපුටා ගැනීම් සහිතයි ....!!! 
දයාබර පාථක සහෘදයිනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya 

Tuesday, March 31, 2020

මා ඔයේ වතුර හංගන අබිරහස් උමං...(ma oya abirahas uman Marga අබිරහස් අඩවිය - Abirahas Adawiya - ශාස්ත්‍රීය ළිපි)

මා ඔයේ ඉවුරු දිගේ....
රස්සාව කන්දෙන් පටන් ගන්නා දිය පහර රස්සාව, බරණගල, පරගල, තිබ්බුටුපළ, කුරුපැලැල්ල, උඩහෙන්තැන්න, මොස්සින් කොළනිය, උඩුවැල්ල, ගෝනාවත්ත, ඇපලවත්ත ගම්මානයෙන් අසුපිනි ඇල්ල ලෙසින් පහත් බිමට කඩා වැටෙයි. නමුත් අසුපිනි ඇල්ල ලෙසින් කඩා හැළෙන්නට මත්තෙන් උඩහෙන්තැන්න ප්‍රදේශයේදී මෙම දිය පහරේ තවත් කොටසක් කුඩා ඔය ලෙසින් ගලා ගෙන රහල ගල වටින් ගලා ගෙන ගොස් මංකඩ ඇල්ල නමැති ස්ථානයෙන් සැලව ගම්මානය මධ්‍යයෙන් ගලා ගෙන ගොස් නැවත මා ඔයට දෙල්කිඳවත්ත යන නමින් හැඳින්වෙන හොරේවල ආසන්නයේ ඇති ප්‍රදේශයේදී මෙම කුඩා ඔය මා ඔයට එක්කාසු වෙයි.   

අරම පුරාණ විහාරස්ථානයේ චෛත්‍ය
මෙම ගංගා දෙක එක් වන ස්ථානයේ රජ කාලයේ සිට පැවත එන ඓතිහාසික මැදිලිය රජ මහ විහාරයේ පෙරහර අවසන් කිරීමෙන් පසුව දිය කැපීමේ චාරිත්‍ර කටයුතු අදටත් සිදු කරන අතර ඒ ආශ්‍රිතව පවතින ජන කථා මෙන්ම රසවත් කථාවන්ද බොහොමයකි. ඒ දක්වා මේ ගංගා පසු කරද්දී තවත් ගම් දනව් පසුකරමින් මෙම දිය කඳ ඇදී යන අතර ඒ සම්බන්ධයෙන් පසුගිය දිනක අපි මා ඔය ඉවුර දිගේ ලිපි පෙළ වෙනුවෙන් තොරතුරු එක් රැස් කරද්දි මේ සම්බන්ධයෙන් හසල දැනුමක් මෙන්ම ගවේෂකයෙකු ලෙස ඓතිහාසික වටිනාකමක් ඇති ග්‍රන්ථ ලියා පළ කර ඇති නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂවරයෙකු වන ශාස්ත්‍රපති ජී. ආර්. ගුණරත්න මහතාගෙන්ද තොරතුරු රැසක් ලිපිය වෙනුවෙන් සම්පිණ්ඩනය කර ගැනීමට එතුමා සමග හෝරා කිහිපයක සාකච්ජාවක නිරත වීමේ දී හැකි විය. එහිදී එතුමාගෙන් අපට තොරතුරු රැසක් අනාවරණය කර ගැනීමට හැකි වූ අතර ගුණවර්ධන මහතා අසුපිනි ඇල්ල “සර්පයා වැනි ඇල්ල” යන නමින් ද හඳුන්වන බව කීය. 
සර්පයා වැනි ඇල්ල කියලා එතුමා අසුපිනි ඇල්ලට කියන්නේ “නයෙකුගේ පෙනේ වාගේ ” අසුපිනි ඇල්ලේ උඩ කොටසේ හැඩය පිහිටා ඇති නිසාවෙනි. එමෙන්ම එහි පහත කොටස නාගයාගේ කඳ කොටස මෙනි. ඒ නිසා මේකට සර්පයා වැනි ඇල්ල කියලා කියන කාරණය වේලාවකට ගැළපෙනවා කියා අපට සිතුණි. 

ගුණවර්ධන මහතා හඬ අවදි කළේය. 
අරම පුරාණ විහාරස්ථානයේ ඇති
පැරණි බෝ ගස සහ
ඈතින් පෙනෙන අසුපිනි ඇල්ල
මට හිතෙන්නේ ඒ විදිහට සර්ප ගති ලක්ෂණ නිසා තමයි මේ ඇල්ල තරමක් භයංකර ස්වභාවයෙන් තියෙන්නේ. ඒ භයංකර බව ඇල්ලට වැටි මියයන මිනිසුන් නිසා වැඩි වී තිබෙනවා. නමුත් මෑත කාලයේ අපිට ඒවැනි අවාසනාවන්ත සිදුවීම් අහන්න ලැබුණේ නැහැ. කෙසේ වෙතත් අසුපිනි ඇල්ල වැටුණාට පස්සේ මා ඔය ලෙසින් ගලා ගෙන යද්දි අසුපිනි ඇල්ල වැටෙන දෙපැත්ත හරියට නිම්නයක් වාගේ තමයි පේන්න තිබෙන්නේ. මේ ගංගා ඉවුරු දෙපස ගම්මාන රැසක් තිබෙනවා. ඒ අතර නාත්තාකන්ද, දෙයියන්වල, අරම, සැලව, රහල වැනි ගම් කිහිපයක් මෙ නිම්නය දෙපස මා ඔය ඉවුරු දෙපස පිහිටා තිබෙන අතර අදටත් ජනතාව එම ප්‍රදේශවල ජීවත් වෙනවා. 
අරම කියන ගමේ මුල් කාලීනව ජනප්‍රවාදය අනුව ආර්ය ජනයා වාසය කර බව කියවුණත් ගුණවර්ධන මහතා සමග කරන ලද සාකච්ඡාවේදී එතුමා “අරම” ගම්මානය ගැන මෙලෙස අදහස් රැසක් පැවැසීය. එම කතා බොහෝමයක් අදටත් ඔප්පු කර ගත හැකි සමහර සාක්ෂි ලැබී තිබුණත් සමහර කරුණු ජනප්‍රවාදයේ මේ දක්වාම පවතින බව පෙනේ. ගුණවර්ධන මහතා අරම ගම්මානය ගැන කියන්නේ මෙවැනි කතාවකි. 

අරම කියන ස්ථානය ගැන කියන්න තියෙන්නේ ආරණ්‍යයක් තිබුණු නිසයි. එහි රහතන් වහන්සේලා ඇතුළු භික්ෂුන් විශාල වශයෙන් වැඩ වාසය කර හෙයින් ආරණ්‍ය යන නාමය ව්‍යවහාර පසු කාලීනව “අරම” ලෙස නම් වූ බව කියවෙනවා. නමුත් බොහෝ තැන්වල ජනකතා සහ පොත්පත්වල සඳහන්ව තියෙන්නේ එහිදී ආර්ය ජනතාව වාසය කළා කියලා පමණයි. නමුත් අරම කියන ප්‍රදේශයේ ඉස්සර රහතන් වහන්සේලා මෙන්ම භික්ෂුන් වහන්සේලා වැඩ වාසය කළා කියලා හිතන්න පුළුවන් සාධක ඔප්පු වෙලා තියෙනවා. අදටත් අරම පන්සල දැක ගැනීමට හැකියාව තිබෙන අතරම පන්සල් භූමියට ඔයෙන් එගොඩ සහ මෙගොඩ යන දෙපැත්තම අයිතිවෙනවා. මේ ඔය දෙපස භික්ෂුන් වහන්සේලා විශාල වශයෙන් වැඩ වාසය කළා කියලා කියන්න පුළුවන් සාධක තිබෙන අතර එම ප්‍රදේශය භික්ෂුන්ට යෝග්‍ය වටපිටාවක් තමයි තියෙන්නේ. අරම පන්සලේ මළුවට ගිහින් බැලුවොත් අපිට පුළුවන් දැක ගන්න ඉතාම අලංකාර ලෙසින් පහළට කඩා හැළෙන අසුපිනි ඇල්ල විශාල දුරකින් තරමක් කුඩාවට ඒ වාගේම ඒ නිම්නයේ පිහිටීම සහ කඳු පිහිටා ඇති අාකාරය හරිම ලස්සනයි. එය බලා ඉන්නට තරම් ප්‍රියතාවක් තමයි උසුලන්නේ. 

ඒ කාලයේ මා ඔය මේ තරම් විශාල ලෙස නොතිබුණු අතර ඉතා පටුව තමයි තිබුණා කියලා අපි අහලා තියෙන්නේ. අද තමයි ගස් කොළන් කැපීම ඉවුරු සේදී යෑම මගින් තමයි ඔය මේ තරම් පළල් ​ෙවලා තියෙන්නේ. ඒ වාගේම තමයි අදටත් දැක ගන්න පුළුවන් අරම පන්සලේ තියෙන බෝධිය පරණ බෝධියක් යන වග. අලුත් බෝධිය එක පැත්තකින් තියෙනවා පරණ බෝධිය ඒ විදිහටම විහාරස්ථාන මළුවේ පිහිටා තිබෙනවා. විහාරස්ථානයක පිහිටීමට ඉතා සුන්දර ස්ථානයක තමයි මේ පන්සල පිහිටා තිබෙන්නේ. 
අරම සිය ගණනින් භික්ෂුන් වහන්සේලා හිටපු බව ඔප්පු වෙලා තියෙන එක් සාක්ෂියක් තමයි සැලව රජමහ විහාරයට ඉදිරිපිට වෙල් යායේ පසු කාලයේ හමු වූ සෙල් ලිපිය. ඒ සෙල් ලිපියේ තිබෙනවා “අරමට පුවක් සැපයෙව්වා කියලා” සැලව ප්‍රදේශයේ ජනතාවට අමුණු ගණන් පුවක් සපයන්න රජ්ජුරුවෝ නියෝග කරලා තිබුණා කියනවා. එ්කෙන්ම තේරෙනවා විශාල වශයෙන් භික්ෂුන් වහන්සේලා අරම ප්‍රදේශයේ හිටියා කියන වග. මම මේ කියන්නේ 8 වැනි සහ 9 වැනි ශත වර්ෂයේ සිදු වුණායි කියන කතා. ඒ කාලයේ සිට පැවත එන පාරම්පරික ස්ථානයක් හැටියට භික්ෂුන්ගේ සංඛ්‍යාව වැඩි ​ෙවලා තියෙනවා. මේ වාගේ ඉපැරණි ආගමික සිද්ධස්ථාන ඉදිකර තිබුණේ සහ මහා සංඝරත්නය වැඩ වාසය කරලා තියෙන්නේ හොඳ බෞද්ධ බැතිමතුන් මෙම ප්‍රදේශයේ වැඩි පිරිසක් හිටියා කියලා හිතන්න පුළුවන් එක් සාධකයක්. 


ඒ වාගේම තමයි මා ඔයෙහි ජලය උමං මාර්ග ඔස්සේ ඒ කාලයේ දියුණු වාරිමාර්ග ක්‍රමයක් උපයෝගි කරගෙන ජලය ලබාගත්තා කියලා කියනවා. නමුත් මේ ප්‍රදේශවල ඒ සම්බන්ධයෙන් වර්තමානයේ විශාල කැණිම් සිදු නොවීම යන ආදිය හේතු කොට ගෙන ඒ සම්බන්ධයෙන් අපිට නිශ්චිත පිළිතුරක් ලබා දෙන්න අමාරුයි. නමුත් එසේ වුණේ නැහැ කියලා කියන්නත් බැහැ. අදටත් ඒ සමහර දේවල් ජනප්‍රවාදයේ තිබෙනවා. ඒ වාගේම එම උමං මාර්ග තිබෙන ස්ථාන දැක ගැනීමට වර්තමානයේ වුවද සමහර ස්ථානවලින් පුළුවන්. 

අරම පන්සල අසලින්
මා ඔය ගලා ගෙන යද්දී
ඒ වාගේම තමයි මා ඔයට කිට්ටුව තිබෙන පෝඩාපේ කොටස “පෝඩාපෙත් ඉපැරණි සෙල් ලිපියක් තිබෙනවා” අපි සාමාන්‍යයෙන් වමේ ඉඳලා දකුණට ලියලා තමයි කියවන්නේ. නමුත් මෙ සෙල් ලිපිය තියෙන්නේ දකුණේ ඉඳලා වමට කියවෙන අාකාරයෙන්. සමහර පොත් ලියපු ගවේෂකයන් ඒ පොත් පත්වල මේ සෙල් ලිපිය තියෙනවා කියලා කියන්නේ අම්බලකන්ද කොටසේ. නමුත් සෙල් ලිපිය තියෙන්නේ පෝඩාපේ කොටසේ. පෝඩාපේ ප්‍රදේශය පිහිටා තිබෙන්නේ අම්බලකන්ද ආසන්නයේ නිසා එහෙම හිතලා ලියන්න ඇති කියලා හිතන්න පුළුවන්. 
පෝඩාපේ කියලා කියන්නෙත් මා ඔය නිම්නයේ දෙපැත්තේ කොටසක්. එතකොට එම කොටසේ පවා පුරාණයේ සිට මිනිස්සු වාසය කරා කියලා පෙන්නුම් කරනවා. මොකද දකුණේ සිට වමට කියවාගෙන යන අකුරු තිබුණා කියලා කියන්නේ අරාබි මිනිස්සුන්ගේ. මේකට කියන්නේ “ සෙබතික් වර්ගයේ ලේඛන කලාව” කියලා ඒ කලාවේ ලක්ෂණයක් තමයි පාවිච්චි කරලා තිබෙන්නේ. එම ක්‍රමයේ අකුරු කියවන්නේ දකුණේ ඉඳන් වමට. අරාබි කාරයින්ගේ පොත් පත්වල තියෙන්නේ ඒ විදිහටයි. එතකොට එම ක්‍රමය මේ පැත්තේ මිනිස්සු දැන ගෙන හිටියා කියලා පෙන්නුම් කරනවා. පුරාණම සංස්කෘතියක් මෙහි තිබුණා කියලා කියන්න පුළුවන් ප්‍රධාන සාධකයක් තමයි ඒ සෙල් ලිපිය. සෙබතික් කියන සංස්කෘතිය බොහෝම පුරාණ සංස්කෘතියක්. ආර්ය සංස්කෘතියටත් වඩා ඉපැරණි එකක්. 

ඉස්සර මහනුවර කාලයේ හිටියා දස්කොන් අධිකාරි කියලා කවියෙක්. කොළඹ ලැනරෝල් පවුලේ ඒ ප්‍රංශ සම්භවයක් තිබුණු පුද්ගලයෙක් තමයි දස්කොන් කියන්නේ. මනුෂ්‍යයාට සිංහලෙන් හොඳට කවි කියන්න පුළුවන් හැකියාවක් තිබුණා සහජයෙන්ම එන හැකියාවක්. ඒ නිසා ඒ කාලයේ රජතුමා කවි මඩුවටත් දස්කොන් අරන් තියෙනවා මහනුවර කාලයේ. ඔය දස්කොන් ගැන තියෙන පොතක තිබෙනවා පෝඩාපේ දිප්පිටිය මුදියන්සේ කියලා මනුෂයෙකුගේ දියණියක් දස්කොන් විවාහ කර ගත්තා කියලා. එ්කට කියන්නේ පෝඩාපේ තුඩ පත කියලා මාගේ මතකයේ හැටියට යැයි ගුණවර්ධන මහතා පවසයි. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් එතුමා මෙසේ ද පැවසීය. 

පෝඩාපේ මා ඔයේ එක නිම්නයක තිබෙන ප්‍රදේශයක් ඒ ආසන්නයේම තිබෙන තවත් ප්‍රදේශයක් තමයි අම්බලකන්ද කියලා කියන්නේ. අම්බලකන්ද ප්‍රදේශයේ ඉස්සර අංගම්පොර කලාව තිබුණා කියලා කියනවා. අංගම්පොර ශිල්ප කලාව පුහුණු කර ප්‍රදේශය පස්සේ කාලයේ අම්බලකන්ද වුණා කියලාත් කියනවා. ගම්වල නම් සැදුණු ප්‍රභවය ගැන සෙවීමේදී මෙවැනි කතාවලින් මා ඔය නිම්නයේ මෙම ප්‍රදේශවල ඓතිහාසිකත්වය මතුවෙනවා. 

අරම ආරණ්‍යයක් හැටියට තිබුණු නිසා පසු කාලයේ අරම වුණා කියලා භාවිත වුණා කියලා කියනවා. ඒ ආරණ්‍ය යන නම නිසාම අරණායක යන නමත් ලැබුණා කියලා කියමනක් ජනවහරයේ පවතිනවා. භික්ෂුන්ගේ විශාල ව්‍යාප්තිය නිසා අරමට ආසන්නයෙන් ඇති කිට්ටු ප්‍රදේශයක් නිසා අරණායක වුණා කියලාත් කියනවා. තව කථාවක් තියෙනවා යක්ෂයන් සහ නාගයන් අරක් ගත් නිසා අරණායක වුණා කියලාත්. ඒ වාගේම තමයි අරණායක සහ දිප්පිටිය අතර තිබෙන දෙමළහිරිය කියලා නම හැදිලා තියෙන්නේ දෙමළ මිනිස්සු ඔය කොටසේ තියෙන සංගිලි පාලම හැදුවා සුද්දන්ගේ කාලයේ මා ඔය හරහා. ඔය කියන කොටසේ දෙමළ මිනිස්සුත් කණ්ඩායමක් වාසය කරලා තිබෙනවා. “හීරිය” කියලා කියන්නේ එක්තරා තීරුවක කියන අර්ථයයි. එක්තරා තීරුවක දෙමළ ජනතාව පදිංචි වූ නිසා දෙමළහිරිය වුණා කියලා කියනවා. ඒ කථාව සුද්දන්ගේ කාලයේ වුණු එකක්. වර්තමානය වන විට ඒ ප්‍රදේශයේ වාසය කරන ගම්මුන් එම නමට කැමැති නැති නිසා එම ප්‍රදේශය නම් කරලා තිබෙනවා දෙමදහිරිය කියලා. දෙමළ කියන වචනයේ ළ ඇති ස්ථානයට “ද ” යන්න අකුර යොදවා එය එලෙස වෙනස් කරලා තිබෙනවා. 

ඒ වාගේම තමයි අට්ටාපිටියේ බළකොටුව. සුද්දන්ගේ කාලයේ යුද ආක්‍රමණ සිදු වන කාලයේ විදේශයෙන් බලනින් තමයි ගොඩ ගියේ. කපොල්ල තිබුණේ ඒ විදිහටයි. බලන කපොල්ලෙන් යන එක වළක්වා ගන්න. ඉස්සරෝම බළකොටුවක් හැදුවා කියනවා අට්ටාපිටියේ අට්ටාල ගහලා. මා කඩවර හරියත් එහෙමයි උඩ මා කඩවර “කඩවර” කියලා කියන්නේ එම ස්ථානයේ කපොල්ලක් තිබුණු නිසා. කපොල්ල කියන තැනින් තමයි මිනිස්සු යන්නේ. එ්ක තමයි ආරක්ෂා කරන්න වුවමනා වුණේ. සිංහල රජ කාලයේ රජතුමන්ගේ ආරක්ෂාවට හා රට රාජ්‍යයේ ආරක්ෂාවට මේ පැති වලින් සතුරෝ යද්දී ඉඩ නොදි වළක්වන්න ඉදි වූ ස්ථානයක් තමයි අට්ටාපිටියේ කොටස. ඒ වාගේම තමයි ඔය ස්ථානයේ තියෙනවා කිං බළකොටුව කියලා. පස්සේ කාලයේ සුද්දෝ එකට වෙන නමක් දාලා තියෙනවා. 

රජ කාලේ නීතියක් තිබුණා භික්ෂුන්වහන්සේලා ඉන්න විහාරස්ථානයකට සතුරන් ඇතුළු වෙන්න බැහැ. එ්ක රාජ නීතියක්. ඒ නිසා සතුරු උවදුරුවලදී විහාරස්ථානවල රජවරු විහාරස්ථානවල සැඟවිලා ඉඳලා තියෙන්නෙත් ඒ නිසායි. සතුරු අක්‍රමණ වූ වේලාවේ වළගම්බා රජු පවා මා ඔය නිම්නයේ පවතින ඓතිහාසික සැලව විහාරස්ථානයේ හිටියා කියලා කථාවක් තියෙනවා. පිටස්තර කෙනෙකු පන්සල් භූමියකට ඇතුළු වෙන්නේ නැහැ. ඒ නිසා තමයි ගල්ලෙන් විහාරස්ථානවලට රජවරු රැකවරණය පතා පැමිණ තියෙන්නේ. සැලවත් එවැනි විහාරයක්. 

ඒ වාගේම එම විහාරස්ථානවල උම මාර්ග යන ආදිය ආරක්ෂාවට තිබෙන්න ඇති. අරම විහාරස්ථානය සහ සැලව විහාරස්ථානය අතර දුර සැතපුම්වලින් ගත්තොත් දෙකක් ඇති. ඒ නිසා මේ සියලු ස්ථාන මා ඔය ආශ්‍රිත ශිෂ්ටාචාරයකට උරුමකම් කියන ප්‍රදේශ හැටියට අපිට හඳුනාගත හැකියි. 

මෙ විදිහට අපි ජනප්‍රවාද මෙන්ම සිදුවීම් කතා කරනවා. ඒ වාගේම භූ ගර්භ විද්‍යානුකූලව කරපු සොයා ගැනීම්වලින් මීට අවුරුදු දස දහස් ගණනකට පෙර ලංකාවේ තිබෙන ගංගා පද්ධති වෙනස් වෙලා තිබෙනවා භූ චලනයක් නිසා. මුලදී ගංගා ගලා ගෙන ගිය ආකාරය ගොඩාක් තැන්වලදී වෙනස් වීම් සිදු වෙලා තිබෙනවා කියලා සඳහන් වෙනවා. මෑතක අපි හිතපු සුනාමියෙන් පස්සේ කොපමණ වෙනසක් මුහුදු ආශ්‍රිතව වුණාද කියලා අපිට පේනවා. ඒ නිසා මේ මා ඔය වුනත් පොල්ගහවෙල ප්‍රදේශය කිට්ටු කරද්දී වට්ටාරමට (දැනට වට්ටාරම විහාරය පිහිටා තිබෙන ස්ථානය) ටිකක් ආසන්නයේ තිබෙන ගොඩපොල කියන ප්‍රදේශයේ වැලි තලා දැක ගැනීමට හැකියාවක් තිබෙනවා. 

එම ප්‍රදේශයෙන් මා ඔය ගලා ගියා කියලා තමයි හිතන්න තියෙන්නේ. භූ ගර්භ විද්‍යාව විද්‍යාව හදන්නේ ලක්ෂ ගණන්වලින්. ඒ අයගේ කාල සීමාව එක් එක් යුග අනුව තමයි ඒ සැදීම සිදු වන්නේ. එම යුග අනුව භූ විද්‍යා විද්‍යාඥයින් සලකනවා අහවල් යුගයේ මේක සිදුවෙන්න පුළුවන් කියලා. උපකල්පනයක් කරනවා මේ කාලයේ මෙහෙම වෙන්න ඇති කියලා. දැන් ඔය පිදුරුතලාගල දිහා පවා මුහුදේ හිටපු මාළුවන්ගේ ඇට කටු හා මුහුදු වැලි සොයා ගෙන පර්​ෙ‌ය්ණවලදී සොයා ගෙන තියෙනවා. 

එහෙමනම් අපිට හිතන්න වෙන්නේ භූ ගර්භයේ හට ගත් වෙනසක් නිසා එය පිපිරීමක් වාගේ දෙයක් ​ෙවලා දැනට තිබෙන අාකෘතිය වෙනස් වෙලා තියෙනවා කියන එකයි. නමුත් ඉස්සර වෙනස් අාකෘතියකට තිබෙන්න ඇති ලංකාව. ඒ වාගේම මේ මා ඔයෙහි ගලා ගෙන යෑම. ඒ වාගේම ඉස්සර ලංකාව සහ ඉන්දියාව ඔය ආදම්ගේ පාලම කියන ස්ථානයෙන් සම්බන්ධ වෙලා තිබුණා කියලාත් කියනවා නේ. ඒ නිසා මේ ප්‍රදේශවලත් ඇළ දොළ ගංගා කඳුවල වෙනස්වීම් සිදුවෙන්න ඇති කියලා විශ්වාස කරන්න පුළුවන්. 

මා ඔය දෙපස පුරාණ සොහොන් තිබුණු බවට පෙන්නුම් කර හැකි සාධක ඔප්පු වෙනවා. මළ සිරුරු මිහිදන් කිරීම පසු කාලයේ මා ඔයට ආසන්නයේ සිදුවූ එම ලක්ෂණ පෙන්නුම් කර හැකි සාධක ඔප්පු වුණා. අස්මඬල (මා ඔයට සමීප ගම්මානයක්) වාගේ ප්‍රදේශවලදී අපේ රටේ ඇති ඉබ්බන්කටුව ප්‍රදේශයේ පුරාණයේ මැරුණු මිනිස්සු වෙනුවෙන් තැනූ සොහොන්වල ක්‍රමයටම අස්මඬල ප්‍රදේශයේ සොහොන් තිබෙනවා. 
ආදිවාසීන්ගේ ඉතාම පැරණි ලක්ෂණයක් තමයි වළං වල මීනි තැන්පත් කිරීම සහ ගල් වලින් ඒවා වට කරලා ආරක්ෂා කිරීම. ඉතින් ඒ වාගේ ක්‍රමයක් මා ඔය දෙපස ගම්මානවලින් පසු කාලයේ හමු වෙලා තිබෙනවා. එ්කෙන් අපිට පේන්නේ ඉපැරණිම සංස්කෘතියක් මෙම ප්‍රදේශවල තිබුණා කියන එකයි. ඒ ආදිවාසීන්ගේ ව්‍යාප්තිය මා ඔය ආශ්‍රිතව සිදු වෙන්න ඇති. පස්සේ කාලයේ ගොවිතැන් යන ආදිය හොඳ සරුවට මේ ප්‍රදේශ ආශ්‍රිතව සිදු කර ගෙන ගොස් තිබෙනවා. 
අරම විහාරස්ථානයේ ඇති සෙල් ලිපිය

මා ඔය නිම්නයේ “සඳරාජ” යනුවෙන් ඖෂධ උයනක් තිබිලා තිබෙනවා අසුපිනි ඇල්ලට ආසන්නයේ. ඒ වාගේ ඖෂධ උයනක් රාවණා රජතුමාගේ කාලයේ රහල ගලේ පවා තිබිලා තියෙනවා. පසු කාලයේ දකුණු පළාතේ ගාල්ලට ඉතා කිට්ටුවෙන් හොයා ගත්තා රාවණා රජුගේ තවත් ඉපැරණි ඖෂධ උයනක්. ඒ වාගේම තමයි රාවණා රජුගේ කාලයේ ඖෂධ උයන් හැටියට සැලකෙනවා රහල ගලේ ඖෂධ උයන සහ සඳරාජ අසුපිනි ඇල්ල නිම්නයේ ඇති ඖෂධ උයන. මේක තියෙන්නේ දෝතලුඔය පැත්තට තමයි. විශාල ලෙස මෙම ඖෂධ උයන පැතිරිලා තිබිලා තිබෙනවා. අදටත් එහි සොයා ගැනීමට අපහසු ඖෂධ තිබෙනවා. 

අදටත් විශාල ඉපැරණි නෙල්ලි ගස් ඖෂධිය නෙල්ලි කියන ඒවා මේ කලාපයේ බහුලව දැක ගැනීමට හැකිවනවා. අපිත් පොඩි කාලේ මෙම ප්‍රදේශවලට ගිහින් නෙල්ලි කඩා ගෙන එනවා. නෙල්ලි ශාකය වුණත් දුර්ලභ ශාකයක්. හැම තැනම වැවෙන්නේ නැති වුනත් මෙම ප්‍රදේශ ආශ්‍රිතව වැඩි වශයෙන් දැක ගන්න පුළුවන් සරුවට වැවිලා තිබෙන ආකාරය. මෙ වන විට මෙ හැම ප්‍රදේශයකම තේ වගා කරලා තිබෙන නිසා වනාන්තර විනාශය යන ආදිය පවා සිදු කිරීමෙන් ජනාවාස ඉදිකිරීමෙන් මා ඔයට, අසුපිනි ඇල්ලට පවා හානි වෙලා තිබෙනවා. 

ඇත්තෙන්ම තේ වගාව ආවාට පස්සේ තමයි අපි කඳුරට පැරණි ගස් කොළන් විනාශ වුණේ. සුදු මහත්වරුන්ගේ කාලයේ තේ හිටවන්න මේ ගස් කොළන් කපලා දැම්මා. රේල් පාරවල්වලට දැව කඳන් ගන්නට පවා මහ විශාල ගස් කොළන් කපා විනාශ කර දැම්මා. ඔවුන් විසින් ලංකාවේ තේ වගාව සිදු කරලා ඒවා පිටරට දක්වා අපනයනය කරන්න මහ විශාල පරිසර හානියක් සිදු කළා. 

පැරණි ගම්වල නම් උදාහරණයක් “කොස්ලන්ද” වාගේ නම්වලින් පවා විවිධ ගස් වර්ග එක් ප්‍රදේශයක් තුළ පැතිරීම නිසා වැඩි වශයෙන් එම ප්‍රදේශවලට එම නම් පටබැඳිලා තියෙනවා. තේ වගාවට, සුදුමහත්වරුන්ගේ බංගලා හදන්න, රේල් පාරේ සිල්බර් කොටන්වලට ගැනීම යන ආදිය නිසා ඉපැරණි ගස් කොළන් විනාශ වී ගියා. එම ගස් කොළන් කපා දැමීම නිසා තමයි ඛාදනයවීම් ගංගා පිටාර ගලා ගෙන යෑම් වැනි පාරිසරික හානි වැඩි වශයෙන් සිදු වූයේ යැයිද ඔහු අප සමග පැවසීය. 

අපි මේ තොරතුරු ගැන සොයා බැලීමෙන් පසුව අරම විහාරස්ථාන වෙත ගියේ පුරාණයේ රහතන් වහන්සේලා විහාරස්ථානය කේන්ද්‍ර කොට ගෙන සිටි බව ගුණරත්න මහතා විස්තර රැසක් පැවසූ නිසාවෙනි. එහිදී අපට වර්තමානයේ එම විහාරාධිපතින් වහන්සේ ලෙස වැඩ වාසය කරන කල්වානේ නන්දසාර හිමිපාණන් මුණ ගැසුණු අතර උන්වහන්සේ මෙසේ පවසයි. 

මලියදේව මහ රහතන්වහන්සේ වැඩ වාසය කල කාලවකවානුවට සමකාලීනව තමයි මේ ප්‍රදේශයේ රහතන් වහන්සේලා සහ තවත් භික්ෂුන් වැඩ වාසය කළා කියලා කියන්නේ. “අරම” ඉස්සර හඳුන්වාදී තිබෙන්නේ “අරහන්ත භූමිය කියලා” ඒ වාගේම අරහන්ත රාජ මහා විහාරය කියලත් මේ විහාරස්ථානයේ නාමය භාවිත කරලා තිබෙනවා. ඉස්සර විහාරස්ථානය තිබුණා කියලා කියන්නේ මා ඔයට එගොඩින්. අදටත් එම කොටසේ ගල් කණු මෙන්ම ​ෙඑතිහාසික තොරතුරු රැසක් තිබෙනවා පන්සල තිබුණා කියන්න පුළුවන් මට්ටමේ. වර්තමාන විහාරස්ථානය චෛත්‍ය තිබුණු තැන තිබිලා තියෙන්නේ මල් වත්තක් විදිහටයි. නමුත් ඉපැරණි බෝධින් වහන්සේ තිබිලා තියෙනවා. 

දැනට විහාරස්ථානයේ තිබෙනවා සෙල් ලිපියක්. ඒ සෙල් ලිපිය කලින් තිබුණා කියලා කියන්නේ පරණ පන්සලේ. ඒ සෙල් ලිපිය ගෙනල්ලා අලුත් පන්සලේ තියෙනවා මළුවේ. පසු කාලයේ පුරා විද්‍යා එකෙන් ඇවිත් ඒ සෙල් ලිපිය සංරක්ෂණය කරලා එහි ලියා ඇති දේවල් සම්බන්ධයෙන් තොරතුරු එතන කණුවක් ගහලා ලියලා තියෙනවා. 

එම සෙල් ලිපියේ තිබෙන්නේ ක්‍රි.ව. 1832 දී අරම ශ්‍රී විෂ්ණු දේවාලය ගරු පුංචි රාළ කපුවා විසින් ආරම්භ කළා කියලායි. මෙහි නම් කර ඇත්තේ “අරම පුරාණ විහාරයේ පුවරු ලිපිය” යනුවෙනි. පුරා විද්‍යා දෙපාර්තමේන්තුව මගින් පන්සල් භූමියේ ජනතාවගේ දැන ගැනීම වෙනුවෙන් සටහන් කර අදටත් පවතිනවා. 

ඡායාරූප හා සටහන මාවනැල්ල හෙම්මාතගම සමන් විජය බණඩාර
.lankadeepa
================================================
උපුටා ගැනීම් සහිතයි ....!!! 
දයාබර පාථක සහෘදයිනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya 

ශක්‍රයා දුන් රස ගෙඩිය....(Kos jak tree අබිරහස් අඩවිය - Abirahas Adawiya - හෙල පුරාණය)

ගසට නමකි මල පිපුණම වෙන                                                නමකි
ගැටයට නමකි ලොකු වෙන කොට වෙන                         නමකි
ගෙඩියට නමකි ගෙඩි ඉදුණම වෙන                                     නමකි
මෙතුන් පදේ තෝරාලා කියන්                                                      සකී

බත් නැතිදා කොස් කන උන්ගේ දේශයේ බත් ගස වූ කොස් ගස ගැන ලියන්නට අපට රිසිවිය. කොස් සහ බැඳි අතීත මතක අතරට පිවිසි අපි මොහොතට වික්ෂිප්ත වූවෙමු. අතුපතර විහිදී ගිය මහා කොස් ගසක් බඳු වූ මේ කතාවේ අපට ලියා තැබිය හැක්කේ කොස් ඇටයක් තරම් අල්පමාත්‍රයකි. කොස්වල රස ගුණ පිළිබඳව මෙන්ම අතීතයේ කොස් සමඟ වූ සූපශාස්ත්‍රය පිළිබඳවද අපූරු තතු රැසක් අපි සොයා ගත්තෙමු. එසේම කොස්‌ පිළිබඳව ජනකතා, ජනකවි, තේරවිලි, රබන් පද හා ප්‍රස්‌ථා පිරුළු ආදී එක් වූ සොඳුරු ජනශ්‍රැතීන් ද අපට හමුවිය. ඒ සියල්ල එක්තැන් කිරීම උගහට මුත් අපි ඊට යම් වීර්යයක් වඩමු.

විද්‍යාත්මකව බලතොත් මල්බෙරි පවුලට අයත් ශාක වර්ගයක් වන කොස් ලෝකයේ දකුණුදිග ආසියානු ප්‍රදේශවලට ආවේනික වේ. නිවර්තන කලාපයේ පහත් බිම්වල වඩාත් සරුවට වැවෙන කොස් ගස ලොව විශාල ඵල ඇති ගස් කිහිපය අතරින් එකක් ලෙසද හඳුන්වනු ලබයි. ඒ කුමක් වුවත් කොස් කෑමේ උපත පිළිබඳ ලාංකික ජනශ්‍රැතියේ ප්‍රකට අපූරු ජන කතාවක් තිබේ.

එම ජන කතාව අනුව ලක්වාසී ජනයා මුල්කාලීනව කොස් ආහාරයකට ගත හැකි බව දැන නොසිටියහ. එක්තරා සාගතයක් පැවැති කලෙක සදෙව් රජ මහල්ලකු වෙස් ගෙන පැමිණ ගැමි ලියකට කොස් ගෙඩියක් දී එය තම්බා දෙන ලෙස කීය. එය තම්බන අතර මෙහි සුවඳට වහවැටුණු ගැමි ලිය හොරාට කොස් කෑවාය. එතැන් පටන් ගැමි ලිය හොරෙන් කෑ ඵලය හෙරලිය විය. ලක්වාසීන් හෙරලි කෑමට රුසියෝ වූහ. හෙරලි ලෙස මෙන්ම “පනා” යන නමින්ද හෙළ ජන සාහිත්‍යයේ කොස් හඳුන්වා තිබේ. පානාගොඩ, පනාමුරේ, පනාගොඩ ආදී නම් ඇති ගම් කොස් ගස සහ ආදිතමයන් අතර තිබූ බැඳීම තවත් ප්‍රකට කරවති. කොස් යන පදය මෙම ඵල හැඳින්වීමට භාවිත කිරීම පිළිබඳ විවිධ මත තිබේ. එඩ්වින් ආරියදාසන් ලියූ ලිපියකට අනුව කෝෂයක් තුළ අඩංගු පෝෂණය පිළිබඳ මේ වදනින් අරුත් ගැන්වෙන බව කියැවේ.

කොස් සහ බැඳි ජනශ්‍රැති පළමුකොට අපි විමසමු. ලක්වැසියාගේ ජීවිත විවිධ අවස්ථා සමඟ කොස් ගස හා බැඳී තිබේ. මල්වර මංගල්‍යයක දී කිරි ගස ලෙස බොහෝ දෙනා භාවිතයට ගෙන ඇත්තේ ගොස් ගසයි. එසේම ශාන්තිකර්ම රැසකට කිරි ගසක් ලෙසින් කොස් ගස භාවිතා වී තිබේ. කොස් ගැන කියැවෙන තවත් ජනක බොහෝ

“රාජසිංහ රජු කොස්‌ ගෙඩියටත් මිනී මැරුවා” කියමනට පාදක වන ජනකතාව එවැන්නකි. මේ කතාවට අනුව රජුට වෙන් වූ වරකා ගසෙන් ගෙඩි කෑම රට වැස්සන්ට තහංචි විය. එහෙත් එක් ගැමියෙක් රජුගේ ගසේ වරකා සුවඳට ලොල් වී එහි ගෙඩි කඩා කෑවේය. එහෙත් ස්‌ථානෝචිත ප්‍රඥාව නිසා රජුගේ දඬුවමින් ඔහු ගැලවුණි. තමා මරා දැමුවහොත් “රාජසිංහ රජු කොස්‌ ගෙඩියටත් මිනී මැරුවා” කියමන සෑදෙයි කියා රජු මුලා කළ මේ ගැමියාගේ කතාව අද ද බොහෝ ප්‍රකටය.

මීට සමාන කොස් සහ බැඳුණු ජන කියමන් සහ පිරුළු රැසක් වෙයි. පැණි වරකා බෑය, මදුල වැනි පද ජනවහරේ සුරූපී ළඳුන් හැඳින්වීමට භාවිත වී තිබේ. එසේම පැණි වරකා ගසට හෙණගැසීම බොහෝ ප්‍රකට කියමනකි. බළල්ලුන් ලවා කොස් ඇට බෑවීම, යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද වැනි පිරුළු රුසක් අපට ජනවහරේ හමුවේ. තවද තේරවිලිද බොහෝවිට කොස් පදනම් වී ඇත. අත්තක්‌ උඩ බුම්මාගෙන

කටු රෙද්දක්‌ පොරවා ගෙන  යන තේරවිල්ල බාල කාලයේ බොහෝදෙනා අතර ප්‍රකට වී ඇති එකකි. එසමයේ ජන කවියේ බොහෝ තැන්ද කොස්ගස හා බැඳී ඇත.

ඇස නැතිදා පොත ගත්තේ     කියන්නද
දත නැතිදා උක්‌ දඬු ගිනි          තපින්නද
වෙර නැතිදා ගහ ගත්තේ        දිනන්නද
යුද ඇතිදා නැති කග කොස්‌    කොටන්නද

කොස් පිළිබඳ ජනශ්‍රැති තවත් බොහෝ විසල් පරාසයක විහිදී යයි. මීළඟට කොස් හා මුසු වූ පැරැණි සූප ශාස්ත්‍ර පිළිබඳ විමසීමට උත්සුක වෙමු. කොස් ගෙඩිය නොමේරූ කාලයේ සැකසෙන පොළොස් පිළිබඳ අතීත රස මතක රැසකි. පොළොස් ඇඹුල පොළොස් මාළුව ගමින් ගමට ප්‍රදේශයෙන් ප්‍රදේශය අනන්‍ය වූ රස බොජුනකි. නුවර ගම් පළාත්වල පොළොස් ඇඹුල සැකසෙන අයුරු සූප ශාස්ත්‍රයේ මෙලෙස කියැවේ. ඊට අනුව එහිදී නුවර දී පොළොස් ඇඹුලට දමන කළමනා රැසකි. බැදපු මිරිස්කුඩු, කළු කුඩු තේ, ලුණු, කුඩු කරගත්ත කරදමුංගු ඇට, කුරුඳු, ගොරකා ආදීය ප්‍රමුඛය. එසේම කොච්චි කරල් ටිකක්, උම්බලකඩ ටිකක්, රම්පෙ කරපිංචාද මේ පොළොස් ඇඹුලට එකතු වෙයි. මේ සියලු පොළොස් කෑලි සමඟ කවලම් කර ටික වෙලාවක් තබා තුනපහ හොඳට යොදා පොළොස් ඇඹුල කිරෙන් පිසගන්නා අතර එයට අනන්‍යවූ රස ශාස්ත්‍ර තිබේ.
කොස් සැබවින්ම සාගතයකදී පෝෂ්‍යදායී කල්තබා ගත හැකි අපූරැ ආහාරයකි. ලෝක ආහාර අර්බුදයට විසඳුම කොස් බවද ලෝක ආහාර සංවිධානය පවා කියා තිබේ. එහෙත් අප පැරැන්නන් එය බොහෝ කලක සිට දැන සිට තිබේ. අතීතයේදී අප ගැමි ලියන් විසින් අවාරයේදී පරිභෝජනයට ගැනීම සඳහා කල් තබා ගැනීමටත් වැලි කොස්, අටු කොස් ආදී ක්‍රම භාවිතා කර තිබේ. වැල වරකාද පළතුරක් ලෙස කල්තබා ගැනීමේ උපක්‍රම තිබී ඇත.

අටු කොස් මදුළු ලෙස කල් තබා ගැනීමේ ශිල්පයද ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස්ය. ප්‍රමුඛ ක්‍රම දෙකකි. පහත රට ක්‍රමයට අනුව අටු කොස් සැකසීමේදී පැසුණ කොස් මදුළු ගෙන එහි ඇට ඉවත්කර ගත යුතුය. සිහින්ව ඉරාගත් මදුළු උණු කරන ලද ජලයට දමා බාගෙට තම්බා ගැනීමෙන් පසු අව්වේ දමා දින කිහිපයක් තද හිරු රශ්මියෙන් වේලා ගත යුතුය. ඉන්පසු භාජනයකට දමා වාතය ඇතුළු නොවන සේ අසුරා මාස කිහිපයකට පසු අටු කොස් මැල්ලුම් ලෙස සකස් කර ගත හැකිය.

කොස් කතාව තව බොහෝ දිගය. එය ලියා නිම කළ නොහැකිය. එසේම අවසානයේ මෙසේ කිව යුතුය. අපේ පැරැණි සිංහලයන් සහ කොස් ගස ඉතා සමීපව බැඳී තිබේ. කොටින්ම කොස් ගස වරකදී ‘බත් ගස’ ලෙස හැඳින්වූවේ කට කසනවාට නම් නොවේ. ඉතා භයානක දුර්භික්ෂයන් පැමිණි කාලවලදී හා ‍කොස් අපේ පිහිට පැමිණ තිබේ. යුද්ධ වැනි දෑ සිදුවෙමින් පැවතුණු කාලවල කුඹුරුවල වී වපුරා අස්වැන්නක් ලබා නොහැකි තත්ත්වයක් උද්ගත වෙද්දී පැරණි සිංහලයාගේ පණ නළ රැක දුන්නේ මේ බත් ගසයි. කොස් යනු අපේ දෙවැනි බතයි.

ගසට කොස්‌ කියති මල නම් පනා                              මල
ගැටයට පොළොස්‌ ලොකු වෙන කොට නිකිනි        බොල
ගෙඩියට කොස්‌ කියති ඉදුණම වේය                         වැල
මෙතුන් පදේ තේරැම මේ විලස                                   බල
 චමිඳු  නිසල්
deshaya
================================================
උපුටා ගැනීම් සහිතයි ....!!! 
දයාබර පාථක සහෘදයිනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya 

Friday, March 27, 2020

සොක්‍රටීස්‌ : අවංක හා සත්‍යවාදී දාර්ශනිකයා...(socrates අබිරහස් අඩවිය - Abirahas Adawiya - ශාස්ත්‍රීය ළිපි)

ග්‍රීක දර්ශනය ආරම්භ වන්නේ සුළු ආසියාවේ මිලෙටස්‌ නම් නගරය කේන්ද්‍ර කරගෙන ක්‍රි.පූ. 6 වන ශතවර්ෂයේදී පමණ ය. ග්‍රීක දර්ශනයේ පළමු දාර්ශනිකයා ලෙස සැලකෙන තේල්ස්‌ගේ පටන් මැසිඩොනියාවේ මහා ඇලෙක්‌සැන්ඩර් රජුගේ ගුරුවරයා බවට අත්වූ ඇරිස්‌ටෝටල් දක්‌වා කාලය තුළ ලෝකයට ඉතාමත් උසස්‌ සහ ඵලදායී දාර්ශනික මතවාදයන් බිහිවිය. සොක්‍රටීස්‌, ග්‍රීක දර්ශනයේ මුල් අවධියේ හමුවන්නා වූ ශේ්‍රෂ්ඨතම දාර්ශනිකයන් කීපදෙනා අතරින් එක්‌ අයෙකි. ඔහුට පෙර සිටි දාර්ශනිකයන් විශ්වයේ පැවැත්ම සහ ක්‍රියාවලිය කෙරෙහි තම අවධානය යොමු කළත්, ඉන් ඔබ්බට ගොස්‌ ආචාරධර්ම පිළිබඳව, එනම් වඩාත් පැහැදිලිව දක්‌වන්නේ නම් මිනිසාගේ හැසිරීම කෙබඳු විය යුතුද යන්න පිළිබඳව අදහස්‌ ඉදිරිපත් කිරීමට යොමු විය. ඔහු ඉදිරිපත් කරන අර්ථයෙන්, ආචාරධර්ම (Ethics) පිළිබඳ අදහස්‌ සහ පැවැත්ම (conduct) පිළිබඳව අදහස්‌ අදටත් ලොව පුරා සාකච්ඡාවට බඳුන් වෙන අතරම මෙතෙක්‌ කාලයක්‌ බටහිර දර්ශනයේ වර්ධනයට අතිමහත් බලපෑමක්‌ කිරීමටද සමත් වී තිබේ.

 ප්ලේටෝගේ ඇපොල නම් සංවාදයට අනුව සොක්‍රටීස්‌ ඉපදෙන්නේ ක්‍රි.ව. 470 දී ය. ඔහු ස්‌වභාවයෙන්ම තේරුම් ගැනීමට අපහසු චරිතයක්‌ වූ අතර ඔහු තරුණ කාලයේදී එක්‌තරා ගුප්ත හඬක්‌ ඔහුට ඇසෙන බව ඔහු විශ්වාස කළේ ය. ඔහු ලෞකික දේ කෙරෙහි ඇල්මක්‌ නොවූ අයෙකි. එකම වර්ගයේ ඇඳුම් පැළඳුම් අඳිනු ලැබූ ඔහු ශීත සෘතුවේදී පවා ඒ ඇඳුමට අමතරව කිසිදු විශේෂිත ඇඳුමක්‌ පාවිච්චි නොකළ බව කියෑවේ. විටෙක නිසොල්මනේ පැය ගණනක්‌ කල්පනාවේ නිමග්නව සිටින සොක්‍රටීස්‌ අනතුරුව සාමාන්‍ය පරිදි තම කටයුතු සිදුකළ බව ප්ලේටෝ තම සංවාදවල සඳහන් කර තිබේ. සොක්‍රටීස්‌ තම අදහස්‌ කිසි දිනෙක ලියා තැබුවේ නැත. එනිසා ඔහුගේ දාර්ශනික අදහස්‌ අධ්‍යනයට නම් ප්ලේටෝගේ සංවාද වෙත යොමු විය යුතු ය. ප්ලේටෝ යනු සොක්‍රටීස්‌ගේ ශිෂ්‍යයෙක්‌ වූ අතර ඔහුගෙන් පසුව ග්‍රීක දර්ශනයේ වඩාත් වැදගත් මෙන්ම වටිනා දාර්ශනික අදහස්‌ ගෙන දැක්‌වූ දාර්ශනිකයෙකි.

 සොක්‍රටීස්‌ට අනුව දර්ශනයේ අරමුණු විය යුත්තේ පරම ඥානය (absolute knowledge) සහ පරම සාධූත්වය (absolute goodness) යන ඒවා ළඟාකර ගැනීමයි. එනිසා සොක්‍රටීස්‌ගේ මාර්ගය නිරන්තරයෙන් යොමු වූයේ ඥානය සහ සර්ව සාධාරණත්වය කේන්ද්‍ර කරගෙන ය. ඔහු කිසිවිටෙක තමා ලබාදුන් දැනුමට මුදලක්‌ අය කළේ නැත. එකල සිටි විතණ්‌ඩවාදීන් විසින් සදාචාරය සාපේක්‌ෂ අර්ථයකින් ('man is the measure of all things') ගෙනහැර දැක්‌වූවත්, එම සංශයවාදී (skeptic) සහ නාස්‌තිකවාදී (nihilistic) අදහස්‌ නිවැරදි නොවන බව තරුණ සමාජයට පහදා දීමට සොක්‍රටීස්‌ට අවශ්‍ය විය. සොක්‍රටීස්‌ මුළුමනින්ම අවංක සහ සත්‍යවාදී පුද්ගලයෙක්‌ විය. නමුත් අවසානයේ ඇතැන්ස්‌ සමාජය ඔහුගේ සත්‍යවාදීබවට කෘතගුණ සලකන්නේ ඔහු මරණයට කැපකරමින් ය.

 සොක්‍රටීස්‌ සඳහන් කරන ආකාරයට සද්භාවය යන්න මූලිකවම දැකගත හැක්‌කේ භෞතිකමය අභිලාශයන් මුදුන්පමුණුවා ගැනීම තුළ නොව, මනුෂ්‍ය සහසම්බන්ධතා, ප්‍රේමය, මිත්‍රත්වය වැනි දේ මතයි. සොක්‍රටීස්‌ යනු පළමුවරට දර්ශනයට ප්‍රායෝගික සහ දේශපාලනිකමය ස්‌වරූපයක්‌ ලබාදුන් දාර්ශනිකයා ද වන්නේ ය. එනම් ඔහුට පෙර දර්ශනය කේන්ද්‍රගත වූයේ පාරභෞතිකවාදය (metaphysics), ආගම (religion), සහ විද්‍යාව වැනි විෂයන් වෙත වුවත්, සොක්‍රටීස්‌ පළමු වතාවට දර්ශනය විෂය මනුෂ්‍යයා පදනම් කරගත් දැනුමක්‌ බවට පෙරලීය. එපමණක්‌ නොව සොක්‍රටීස්‌ගේ ඉගැන්වීම් ප්ලේටෝවාදය (Platonism), ස්‌ටොයික්‌වාදය (Stoicism) වැනි දර්ශනවාදයන්ගේ සහ දාර්ශනික ගුරුකුලවල පසුබිම සකස්‌කරදීමට ද සමත් වී තිබේ.

 සොක්‍රටීස්‌ගේ ආචාරධර්ම පිළිබඳ ඉගැන්වීම්

සොක්‍රටීස්‌ විශ්වාස කළ ආකාරයට, දර්ශනයේ ප්‍රධාන අරමුණක්‌ විය යුත්තේ මිනිසා තම ජීවිතය ගෙවිය යුත්තේ කෙසේද? කුමන ආකාරයේ ක්‍රියාවන් වඩා යහපත් ද? පුද්ගලයන් ප්‍රජාවක්‌ තුළ හෝ රාජ්‍යයක්‌ තුළ එකට එක්‌ව ජීවත් විය යුත්තේ කෙසේ ද වැනි ගැටලුවලට පිළිතුරු සෙවීමයි. මේ සඳහා සොක්‍රටීස්‌ තමා විසින්ම නිර්මාණය කරගත් ක්‍රමවේදයක්‌ අනුගමනය කළේ ය. ඒ හරහා ඔහු සදාචාර සම්පන්න සහ ආචාරධර්මීය චර්යාවන් යන්න නිර්වචනය කිරීමට උත්සහ කළේ ය. ඔහුගේ මතය අනුව, ඥානය ළඟා කරගැනීම සඳහාත් යහපත් ආචාරධර්මික පුද්ගලයෙක්‌ බවට පත්වීම සඳහාත් නිවැරදිම ක්‍රමවේදය වූයේ, විෂයික මූලධර්මයන් පිළිබඳව විවිධ පුද්ගලයන් සමඟ අර්ථසම්පන්න සාකච්ඡාවල නිරත වීමයි. සොක්‍රටීස්‌ වඩාත් ප්‍රසිද්ධියට පත් වූයේ ඔහුගේ මෙම ක්‍රමවේදය නිසා ය. ඔහු ඇතැන්ස්‌ නගරයේ වෙළඳපළ ආශ්‍රිතව සාමාන්‍ය ජනයා සමඟ ඉතා දිගු සාකච්ඡාවල නිරත විය. ඔවුන් සමඟ යුක්‌තිය, යහපත හා සදාචාරය වැනි මාතෘකා පිළිබඳව පුළුල් ලෙස සාකච්ඡා කළේ ය. මේ ක්‍රමය ‘dialect' නම් විය. මෙමගින් දාර්ශනික ගැටලු පිළිබඳ සාකච්ඡාව තනි පුද්ගල ප්‍රකල්පනයකට (contemplation) වඩා ඉහළ මට්‌ටමක තත්ත්වයකට පත් විය.
 සොක්‍රටීස්‌ ඥානය, සද්ගුණය සමඟ සමානකොට දක්‌වයි. එනම් 'ඥානය සද්ගුණය වන අතර, සද්ගුණය ඥානයයි' (knowledge is virtue, virtue is knowledge). මෙමගින් ඔහු ඥානය/සද්ගුණය මගින් ආචාරධර්මික පැවැත්ම ඇතිවන බව දක්‌වයි. එමෙන්ම ඔහු ජීවත් වීම සඳහා සුදුසු වන්නාවූ ප්‍රතිපත්තීන් සහ ක්‍රියාවන් පිළිබඳව අදහස්‌ ඉදිරිපත් කරයි. එමගින් තීරණ ගත යුත්තේ ආචාරධර්මමය පදනමක්‌ මත පිහිටාගෙන ය. ඔහු විශ්වාස කළ ආකාරයට, පුද්ගලයෙකුට සතුටින් ජීවත් වීමට නම් සද්භාවය පිළිබඳ ඥානය පමණක්‌ ප්‍රමාණවත් ය. එනම් සද්භාවය පිළිබඳ අවබෝධයකින් පසුවීමයි. ඔහු දක්‌වන පරිදි යහපත පිළිබඳ වූ ඥානය සැමවිටම සමානවන්නේ ඉහළ අධ්‍යාත්මික මට්‌ටමකට ය. ඔහුට අනුව කිසිදු පුද්ගලයෙක්‌ තම ජීවිතයේ වටිනාකම පිළිබඳව හොඳින් අවබෝධයෙන් සිටින්නේ නම් කිසිදු විටෙක තවත් අයෙකුට ස්‌ව-කැමැත්තෙන් හානියක්‌ කිරීමට උත්සහ දරන්නේ නැත.

 සද්භාවය හෝ සතුට යන්න පුද්ගලයෙකුගේ සම්බන්ධතාවල යහපැවැත්ම මත පදනම් වන බව සොක්‍රටීස්‌ගේ ඉගැන්වීමයි. එනම් එම සම්බන්ධතාවන් ඥානය සමග සම්බන්ධ විය යුතු ය.(ඉහතින් දැක්‌වූ පරිදි) සාමාන්‍ය පුද්ගලයන් දක්‌වන පරිදි යහපත් යනු, සෞඛ්‍ය, ධනය, රූමත්බව, සහ ගුණධර්ම ආදියයි. ඒවා සාමාන්‍ය මනුෂ්‍යයා අවබෝධ කරගන්නේ සද්භාවය හා සම්බන්ධ කරගෙනයි. නමුත් සොක්‍රටීස්‌ට අනුව මෙම සෞඛ්‍ය, ධනය, රූමත්බව ආදිය මනුෂ්‍යයෙකුට අත්‍යවශ්‍ය ලෙස ප්‍රයෝජනවත් නොවේ. මෙය වඩාත් පැහැදිලි කරන්නේ නම්, එවැනි තත්ත්වයන් ඥානය සමග සම්බන්ධ නොවී ඉදිරිපත් කෙරෙන විට එය මනුෂ්‍යයාට හානිදායක විය හැකි ය. එසේ නම් සත්‍යවශයෙන්ම යහපත යන්න ප්‍රයෝජනවත් විය යුතු ය. එනිසා සාමාන්‍ය ලෝකය තුළ යහපත් යෑයි ගැනෙන බොහෝ දේ ප්‍රයෝජනවත් නොවන නිසා එය සැමවිටම යහපත් නොවේ. සොක්‍රටීස්‌ පවසන පරිදි නිරන්තරයෙන් ප්‍රයෝජනවත් සහ යහපත් වන්නේ ඥානය පමණි.

 සොක්‍රටීස්‌ පැවසුවේ මනුෂ්‍යයා තුළ ස්‌වභාවයෙන්ම සද්ගුණය පවතින බවයි. එනම්, සද්ගුණය මගින් සෑම පුද්ගලයෙක්‌ තුළම සදාචාරය ඇතිකරන බවකි. එසේ නම් සදාචාරය සෑම කෙනෙකුටම පොදු තත්ත්වයකි. ඔහු දක්‌වන ආකාරයට යමෙක්‌ දාර්ශනිකයෙක්‌ නම්, ඔහු සිදුකළ යුත්තේ ඉහත කී සහජ තත්ත්වයන් සාමාන්‍ය ජනයාට පැහැදිලිකොට ඥානය ප්‍රචලිත කිරීමයි. එසේනම් ඥානය නිරන්තරයෙන් ඉන්ද්‍රිය මූලික නොවිය යුතු ය. මේ නිසා, ඥානය. යන්න ආත්මීය ස්‌වභාවයෙන් මුද්වාගෙන එය විෂය මූලික සහ වාස්‌තවික තත්ත්වයක්‌ යටතට ගෙන ඒමට සොක්‍රටීස්‌ උත්සහ කළේ ය. සොක්‍රටීස්‌ගේ දර්ශනයට අනුව ඥානය ඉන්ද්‍රිය මූලික නොවේ. පවතින ඕනෑම යමක්‌ වේ නම් එය බුද්ධිමය තත්ත්වයක්‌ පමණක්‌ වේ. මෙහිදී ඥානය බුද්ධිමය තත්ත්වයක්‌ යටතට ගැනීම යනු ඥානය, ගණිතය. බවට පත්වීම නොවේ. එනම් ඥානය යනු ගණිතය නොවේ. එයට හේතුව ඥානය යනු සද්භාවය නම්, සද්භාවය යනු ගණිතය වීමට නොහැකි නිසාවෙනි. සොක්‍රටීස්‌ට අනුව සෑම පුද්ගලයෙක්‌ටම ඉන්ද්‍රියගෝචර අංශයකුත්, බුද්ධිගෝචර අංශයකුත් පවතී. මේ නිසා ඔහු සෑමවිටම ඉන්ද්‍රියගෝචර තත්ත්වයන්ට අනුකූල නොවිය යුතු ය. එනම්, ඔහුට බුද්ධියක්‌ පවතී. එහිදී මනුෂ්‍යයා ඉන්ද්‍රියගෝචරව ලබාගන්නා සංවේදනයන් ඥානය නොවේ. ඔහුට අනුව 'සියලු ඥානය වන්නේ සංකල්පයන්ගෙන් ලැබෙන ඥානයයි).

 ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රතික්‌ෂේප කිරීම

 ප්ලේටෝගේ 'The Republic' ග්‍රන්ථය අනුව සොක්‍රටීස්‌ ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රතික්‌ෂේප කළ අයෙකි. සොක්‍රටීස්‌ දක්‌වන්නේ රාජ්‍ය පාලනය කළ යුත්තේ දාර්ශනිකයන් විසින් බවයි. ඇතැන්ස්‌ නගරයේ ප්‍රජාතන්ත්‍රවාදය පමණක්‌ නොව දාර්ශනිකයන් විසින් පාලනය කළ තම කල්පිත රාජ්‍යයට විරෝධී වූ ඕනෑම ආකාරයක රාජ්‍ය ක්‍රමයකට ඔහු විරුද්ධ විය. එනම්, ප්‍රජාව පාලනය කිරීමට වඩාත් සුදුසු කණ්‌ඩායම වන්නේ දාර්ශනිකයන් ය ('ideals belong in a world that only the wise man can understand'). ඔහු පෙන්වාදෙන ආකාරයට තීරණ ගැනීමේ යාන්ත්‍රණය තුළ සියලුදෙනා ඒකමතික වීම අවශ්‍ය දෙයක්‌ නොවේ, නමුත් වඩාත් වැදගත් වන්නේ ගන්නා තීරණ තාර්කික පදනමකින් යුත්, හේතු සහිත ඒවා වීමයි. මෙම අදහස්‌ ප්ලේටෝගේ (The Republic) හි එන නිසා සමහර විද්වතුන් පවසන්නේ මේවා සොක්‍රටීස්‌ගේ අදහස්‌වලට වඩා ප්ලේටෝගේ අදහස්‌ වීමට ද ඉඩ ඇති බවයි.

 සොක්‍රටීස්‌ට අනුව ඡන්දය ලබාදීම යනු කුසලතාවයකි. එනම් අනෙක්‌ සෑම කුසලතාවයක්‌ ලෙසම එය ප්‍රජාවට ප්‍රථමයෙන් ක්‍රමානුකූලව ඉගැන්විය යුතු ය. නමුත් ප්‍රජාව තුළ මිනිසුන් අධ්‍යාපනයකින් තොරව ඡන්දය ලබාදීම සඳහා පෙළඹවීම ඔහු සමාන කරන්නේ කුණාටු සහිත අවස්‌ථාවක හබල් නැවකින් සමෝස්‌ වෙත යාත්‍රා කිරීමකට ය. අනෙක්‌ අතට ගතහොත් අවාසනාවකට මෙන් සොක්‍රටීස්‌ට තම ජීවිත කාලය තුළ මෙම අත්දැකීම විඳගැනීමට හැකිවිය. තරුණ මනස දූෂණය කරන්නෙක්‌ වශයෙන් සොක්‍රටීස්‌ට විරුද්ධව ඇතැන්ස්‌ වැසියන් 500කගේ ජූරියක්‌ ඉදිරියේ පෙනී සිටීමට සිදු විය. එහි අවසාන ඵලය වූයේ මේ දාර්ශනිකයා හෙම්ලොක්‌ විෂ පානය කිරීමෙන් මරණයට පැමිණවීමට නියම වීමයි.
 සොක්‍රටීස්‌ගේ අදහස වන්නේ ඡන්දය ලබාදීම සිදුවිය යුත්තේ ඥානය මත පදනම්ව බවයි. පැණිරස වෙළෙන්දෙකු සහ වෛද්‍යවරයෙකු අතර ඡන්දයක්‌ පැවැත්වුවහොත් බොහෝවිට ජනතාව පැණිරස වෙළෙන්දා තෝරාගනු ඇතැයි සොක්‍රටීස්‌ පවසයි. පැණිරස වෙළෙන්දා තම ප්‍රතිවාදියා වන වෛද්‍යවරයා හඳුන්වා දෙනු ඇත්තේ මිනිස්‌සුන්ට හානිකරන, වේදනා පමුණුවන තැනැත්තෙක්‌ ලෙසයි. එමෙන්ම වෛද්‍යවරයා කෙදිනකවත් රසවත් දෙයක්‌ ජනතාවට ලබා නොදෙනු ඇති බව පැණිරස වෙළෙන්දා පවසනු ඇති. නමුත් සොක්‍රටීස්‌ දක්‌වන පරිදි වෛද්‍යවරයාගේ සැබෑ ස්‌වරූපය වන්නේ රෝගීන්ගේ වේදනාකාරී තත්ත්වයන් පරීක්‌ෂා කරමින්, ඒවා සමනය කිරීමත්, රෝගීන්ට උදව් කිරීමත් ය. මේ නිසා ඥානය මත පදනම්ව මනා අධ්‍යාපනයක්‌ හා අවබෝධයක්‌ සහිතව ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාවට නැංවීම වඩාත් යෝග්‍ය වේ. නමුත් සමස්‌තයක්‌ ලෙස පෙනෙන ආකාරයට, ලෝකයේ වඩාත් සුලබව දක්‌නට ලැබෙන පරිදි, වැඩි වශයෙන් බලයට පැමිණෙන්නේ රසකැවිලි වෙළෙන්දන් මිස වෛද්‍යවරුන් නොවේ.

 අනෙක්‌ අතට සොක්‍රටීස්‌ රාජ්‍ය පාලනයට හෝ වෙනයම් ආකාරයේ දේශපාලන කටයුත්තකට සම්බන්ධ වීම සෑමවිටම ප්‍රතික්‌ෂේප කළ අයෙකි. ඔහු නිතරම ඒ සම්බන්ධයෙන් පැවසුවේ ඔහුට තමාවත් තේරුම්ගැනීමට නොහැකිව තිබියදී අනෙක්‌ අයගේ ගැටලු වෙත අවධානය යොමුකිරීමට හෝ මිනිසුන්ට නිවැරදිව ජීවත් වන ආකරය ඉගැන්වීමට ඔහු අසමත් බවයි. මෙම දාර්ශනිකයා සත්‍යලෙසම ප්‍රඥාවට ආදරය කළ අයෙකි. නමුත් තමාගේ නොදැනුවත්කම ගැන නිරන්තරයෙන් පැකිලීමකින් තොරව ප්‍රකාශ කළ අයෙකි.

 සොක්‍රටීස්‌ දක්‌වන ආකාරයට මිනිසුන් බොහෝවිට තමා තුළ ඥානය පවතින බව සිතා මුලාවට පත් වුවත් ඔවුන් තුළ පවතින්නේ අදහස්‌ සමූහයක්‌ පමණි. මේ අදහස්‌ තාවකාලින මතවාදයන්, විශ්වාස පමණක්‌ වන අතර සත්‍ය ලෙසම ඥානය යන්නෙන් ඔහු අදහස්‌ කරන්නේ වෙනස්‌ නොවන, පරම සත්‍ය වූ දෙයකි. සොක්‍රටීස්‌ට අනුව ඥානය ලෙස සැලකෙන්නේ සැබෑ ලෝකයයි. මෙම ඥානය අවබෝධ කරගැනීමේ ක්‍රියාවලිය යනු පුද්ගලයෙක්‌ මනුෂ්‍ය ආත්මයේ පවතින සදාතනික ස්‌වභාවය හඳුනාගැනීමට සමාන ය. මෙම අවබෝධය පුද්ගලයාව සදාකාලික තත්ත්වයන් වෙත යොමු කිරීමකුත්, ආධ්‍යාත්මික මානයකට ඇතුළු කිරීමත්, භෞතික තත්ත්වයන්ට අනුකූලවූ සවිඥානය ආධ්‍යාත්මික විෂයක්‌ සමග සම්බන්ධ කිරීමකුත් වන්නේ ය. මෙය පුද්ගලයෙකුගේ සවිඥානය සහ ස්‌ව-සවිඥානිකත්වය පැහැදිලිවම වෙනතකට යොමු කරවන්නකි. සමහර විද්වතුන් දක්‌වන ආකාරයට මෙම ඉගැන්වීම් සාංදෘෂ්ටිකවාදී දර්ශනය (Existentialist Philosophy) තුළත් බුදු දහම තුළත් දැකගත හැකි ය.

 සොක්‍රටිස්‌ ආත්මයේ අමරණීයබව පිළිබඳව විශ්වාස කළ නිසා මරණයට නොබියව මුහුණදීමට හැකි බව ඔහු පවසා තිබේ. ඒ. ඩී. පී. කලන්සූරියගේ, ග්‍රීක දර්ශනය. නම් කෘතියේ එන පරිදි, සොක්‍රටීස්‌ගේ මරණය පිළිබඳව ඉතමත් ශෝචනීය විස්‌තරයක්‌ සහිත ප්ලේටෝගේ "Phaedo' නම් සංවාදයේ සොක්‍රටීස්‌ පිළිබඳව ප්ලේටෝ දක්‌වන්නේ මෙසේ ය. 'ඔන්න ඔහොමයි, එක්‌රේව්ස්‌, අපේ මිත්‍රයාගේ ගමනෙහි අවසානය සිදු වුණේ. මා දන්නා මිනිසුන් අතරෙන් ඉතාමත් ඥානවත්, යහපත් සහ ධර්මිෂ්ඨ තැනැත්තා සොක්‍රටීස්‌ තමයි, මිත්‍රයා.'
මියුරංගනී කරුණාරත්න
 ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
divaina.
================================================
උපුටා ගැනීම් සහිතයි ....!!! 
දයාබර පාථක සහෘදයිනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya 

හසලක රත්න ඇල්ල ළඟදි අදෘශ්‍යමාන අත්දැකීමක්....(Hasalaka Rathna ella අබිරහස් අඩවිය - Abirahas Adawiya - හොල්මන් කතා. holman katha)

අදෘශ්‍යමාන බලවේග පිළිබඳව මෙන්ම ගුප්ත කාරණා පිළිබඳව අතීතයේ සිටම මිනිසුන් තුළ පවතින්නේ දැඩි උනන්දුවකි. කිසියම් ගුප්ත සිදුවීමක් එක් පුද්ගලයකුට දෙදෙනකුට නොව සමාජ අවබෝධයක් ඇති අති විශාල පිරිසකට අත් විඳින්නට ලැබෙන්නේ නම් ඒ පිළිබදව නොසලකා හැරීම කළ යුත්තේ දෙවරක් සිතා බැලීමෙනි. ඉකුත් සති අන්තයේ නකල්ස් කඳු පාමුල පිහිටි අතිශය සුන්දර දිය ඇල්ලක් ​ෙවන හසලක රත්න ඇල්ල නැරඹීමට ගිය 54 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක ලොකු කුඩා සියලු දෙනාටම මෙබදු අදෘශ්‍යමාන වූත් කිසි ලෙසකින්වත් එකිනෙකට ගැළපිය නොහැකිවූත් ගුප්ත සිද්ධීන් දාමයකට මුහුණ දීමට සිදුවී තිබිණි.

 මෙම අපූර්ව අත්දැකීමට මුහුණ දුන්නේ බණ්ඩාරවෙල වාරිමාර්ග අධ්‍යක්ෂ කාර්යාලයේ නිලධාරීන් පිරිසක් හා ඔවුන්ගේ පවුල්වල දූ දරුවන් ඇතුළු 54 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමකි.

නිවාඩු කාලයේ සිය දූ දරුවන්ද සමඟ විනෝද චාරිකාවක් යා යුතු යැයි කතිකා කර ගත් පිරිස ඒ සඳහා නිහඬ නිස්කලංක සොබා සිරිය විඳිය හැකි අපුරු ඉසව්වක් තෝරා ගන්නටද අමතක නොකළහ.

කවදත් සොබා දහමට ආදරය කරන්නෙකු වූ එම ආයතනයේම සේවයේ නියුතු දෙපාර්තමේන්තු කළමනාකාර සහකාර එස්. එම්. එච්. හර්ෂණ විජේතුංග මහතා වෙත ගමනේ සංවිධානය භාර ​ෙවන්නේ ඒ අනුවය.

සිය කාර්යාල සහෘදයන්ගේ සිතැඟි මනාව තේරුම් ගත් විජේතුංග මහතාද තමුන්ට ඇති අත්දැකීම් මෙන්ම සියලු සම්බන්ධතාද උපයෝගී කර ගනිමින් එම චාරිකාව සඳහා හසලක රත්න ඇල්ල නැරඹීමට යාමට තෝරා ගන්නේ ඒ අනුවය.

“රත්න ඇල්ල කියන්නේ කැලේ මැද හැංගිලා තියෙන හරිම ලස්සන දිය ඇල්ලක්. මේක පටන් ගන්නේ නකල්ස් වනාන්තරෙන් ඇරඹෙන හසලක ඔයෙන්. මේ රටේ පස්වෙනියට උස දියඇල්ල තමයි රත්න ඇල්ල කියන්නේ. උසින් අඩි 300 ක් විතර වෙනව. ටික දුරක් පයින් ගිහින් තමයි ඇල්ල ළඟට යන්න ඕනැ. හරිම ලස්සන පරිසරේ ඔය පැත්තේ තමයි ‘සූරිය අරණ චිත්‍රපටිය හැදුවෙත්’ මහ වන මැද පිහිටි තුරු හිස් අතරින් සුරංගනාවකගේ දුහුල් සේලයක් සේ පහළට කඩා හැළෙන මහල් හතකින් යුතු රත්න ඇල්ල ගැන විජේතුංග මහතා තව තවත් පිරිස දැනුම්වත් කරද්දී ඔවුහුද ඊට ඇහුම් කන්දුන්නේ දැඩි උද්​ෙ‌යා්ගයකින්.

දිය කඩිති මැදින් මෙන්ම කුඹුරු යායන් මැදින් වැටී තිබූ මාර්ගය දුෂ්කර වුවද මග දෙපස ඇති රූස්ස වන පෙතත් එහි වෙසෙන වඳුරන් රිළවුන් කුරුල්ලන් ආදීන්ගේ කිචිබිචියත් පිරිසට ගෙන දුන්නේ අපූරු වින්දනයකි.

ඒ වන විටත් පිරිසේ කොටසක් ඔවුන් රැගෙන ආ පානවලින් ඇඟ පත රත්කරගෙන සිටියද ගමනේ වගකීම කරට ගත් විජේතුංග මහතා ඇතුළු කීප දෙනෙකුම කුඩා දරුවන්, කාන්තාවන් ඇතුළු පිරිසට ආරක්ෂාව සැපයුවේ මාර්ගයේ පවත්නා දුෂ්කරතාව පිළිබඳ දැඩි අවබෝධය නිසාවෙනි.

මිනිස් වාසයකින් තොර පටු මාර්ගය ඔස්සේ මඳ දුරක් ගමන් ගත් පිරිසට කොහේදෝ සිට පැමිණී දුඹුරු පැහැති බල්ලෙකුද එකතු වූයේ කලින් කළ ආරාධනාවක් පරිද්දෙනි. කිසිදු චකිතයකින් තොරවම නඩයේ පෙරමුණ ගත් බල්ලා එතැන් සිට පිරිසට මග පෙන්වන්නට වූයේ පිරිසද විමතියට පත්කරමිනි.

ළඟින් ළඟ කාණ්ඩ දෙක තුනකට බෙදී එක පෙළට ගමන් ගන්නා පිරිසේ හඬ යටපත් කරමින් හෝ හඬ ඇසෙන්නට වූයේ දිය ඇල්ල දැන් ළඟම යැයි පවසන්නාක් මෙනි. කතාවට පාදක වූ අදෘශ්‍යමාන යැයි කිව හැකි අපූරු සිදුවීම් පෙළ ආරම්භ ​ෙවන්නේ මේ අතරේදීය. විජේතුංග මහතා ඇතුළු පිරිස ඒ අත්දැකීම් මෙසේ විස්තර කරන්නට වූයේ සියයට සියයක් එම කතාවන්හි වගකීම් තමුන් භාරගන්නා බව දිව්රා පවසමිනි.

 ඒ අත්දැකීම් විස්තර කළ කළමනාකාර සහකාර හර්ෂණ විජේතුංග මහතා :
“අපි දවල් 11.00 විතර වෙද්දි ඇල්ල පේන තෙක් මානයට ආව. ඇල්ල දැක්කම අපේ පිරිස පුදුම විදිහට සතුටු වුණා. කිසිම විදිහකට අපිරිසිදු නොවිච්ච පරිසරය, ගහ කොළ කුරුල්ලන්ගේ කිචි බිචිය වගේම සීතල වතුර වළවල්, අපේ පිරිසට පුදුම අත්දැකීමක් වුණා.

මග පෙන්වූ බල්ලා
අපි දිය ඇල්ල පේනතෙක් මානයට එද්දි අපිට මඟදී එකතුවෙච්ච බල්ල තමයි මග පෙන්නුවේ. පාර ටිකක් දුෂ්කර නිසා මමත් තව කීප දෙනෙකුත් එකතුවෙලා දරුවොයි කාන්තාවෝ ටිකයි දිය කඩිතිවලින් පරිස්සමට එගොඩ මෙගොඩ කළා. ඊට පස්සේ තිබුණේ ගල් තලාව. හැබැයි ගල්තලාවක් කිව්වට ඒක හොඳට වේළිලා. ලිස්සන්න කිසිම හේතුවක් නැහැ. තැනිතලාව. මේ ගල් තලාව උඩදි තමයි මේ සිද්ධිය මුලින්ම වුණේ. ගල් තලාව හරහා ගිය අපේ නඩේ කාන්තාවන් වගේම පිරිමි කීප දෙනෙක්ම වැටෙන්න පටන් ගත්ත. සමහරු නැගිටින්න හදද්දී කිසිම හේතුවක් නැතිව ආයෙත් ඇදගෙන වැටුණා. මේ විදිහට නඩේ හිටපු හුඟ දෙනෙක් එක එක විදිහට ඇදගෙන වැටෙන්න පටන් ගත්ත. එක මහත්තයෙක් ඇදගෙන වැටිල අත කැඩුණා. අපි එයාට පතුරු බැඳල ප්‍රථමාධාර දුන්න. මේ වෙනකොටත් එයා රෝහලේ ප්‍රතිකාර ගන්නව.

කොහොම හරි තව පිරිසක් එතන තිබුණ වතුර වළෙන් එගොඩ වෙන්න හදද්දි ආයෙත් ඇදගෙන වැටුණ. එහෙම වැටෙන්න ගිය එක නෝන කෙනෙක් කීවේ කවුරු හරි එයාගේ කකුලෙන් ඇදල නවත්තන්න හදනව වගේ දැනුණ කියලයි. ඒ විදිහටම තවත් කීප දෙනෙකුටම දැනුණ කියලත් අපිට කීව.

කොහොම වුණත් අපි එක්ක ආව බල්ල එතනින් එහාට යාම ප්‍රතික්ෂේප කළේ “උඹලත් යන්න එපා‘‘ කියල වගෙයි.

මේ එක්කම තවත් අපූරු සිදුවීමක් වුණා. කොහේදෝ තිබුණූ ගල් බෙනේකින් එක පාරටම විශාල බඹර රංචුවක් ඇවිත් අපිව වටකරගෙන ඇස් මට්ටමින් රැඳී ඉන්න පටන්ගත්ත. හැබැයි වාසනාවකට වගේ කිසිම කෙනෙක්ට දෂ්ට කළේ නැහැ. අපිට තේරුණේ අපි යන එක වළක්වන්න හැදුව කියලයි.

ඔය අතරේ එක පාරටම කැලෙන් මතුවුණ කෙනෙක් අපට කීව “ඔය කට්ටිය ඔතනින් එහාට යන්න එපා” කියල. එහෙම කියල ඒ මනුස්සය යන්න ගියා. හැබැයි මම හිතන්නේ ඒ අහල ගමක මිනිහෙක් වෙන්න ඇති කියලයි.

මෙච්චර දෙයක් වෙලා තියෙද්දි අපේ නඩේ කීප දෙනෙක් ඊළඟට අර මනුස්සය එපා කියපු පැත්තට යන්න දඟලන්න පටන් ගත්ත. සමහරු හිනා වෙනව. සමහරු යන්න ගිය ගමන් ඇදගෙන වැටෙනව. ඒ අය හැසිරුණේ හරිම හිතුවක්කාර විදිහට.

මේ වෙද්දි මට වගේම පිරිසේ හිටිය කීප දෙනෙකුටම තේරුණා මෙතන මොකක් හරි ගුප්ත යමක් සිදුවෙනව කියල. අන්තිමට අපි ගමන එතනින් නවත්තල ආපස්සට ඇවිත් පහළ තිබුණූ කුඩා වතුර වළකින් නාල ආපහු ආව. හැබැයි පුදුමේ කියන්නේ දරුවන්ට කිසිම කරදරයක් වුණේ නැහැ.

 බණ්ඩාරවෙල වාර්මාර්ග අධ්‍යක්ෂ කාර්යාලයේ වාරිමාර්ග ඉංජිනේරුවරියක වූ නදීකා සමන්මලී මෙනවිය මෙසේ කීවාය.

“මගේ ක්ෂේත්‍රයට අනුව මම නිතරම ඇළවල් ගංගා ආශ්‍රිතව ඇවිදින කෙනෙක්. ඒ නිසා මේ වගේ ගමන් මාර්ග මට හුරුයි. හැබැයි එදා මම අඩි දෙක තුනක් පළල ඇළක් හරහා එගොඩ වෙන්න යද්දි තමයි ඇදගෙන වැටෙන්න ගියේ. මම ඒ වෙලාවේ ඇදගෙන වැටුණ නම් විශාල අනතුරක් වෙන්න තිබුණ. නමුත් කුමන හෝ බලවේගයකින් මම බේර ගත්ත කියල මම දැඩිසේ විශ්වාස කරනව. සමහර විට මට එහෙම වුණේ අපි ආගමට දහමට ළැදිව ජීවත්වුණ නිසා වෙන්න ඇති කියලයි මම හිතන්නේ. මේ ගමනෙදි කිසියම් අදෘශ්‍යමාන සිදුවීමක් වුණා කියන එකනම් මම සියයට සියයක් විශ්වාස කරනවා.

බණ්ඩාරවෙල වාර්මාර්ග අධ්‍යක්ෂ කාර්යාලයේ සැලසුම් කාර්යාල සහකාර කපිල අබේසේකර මහතා මෙසේ කීවේය.

මම වසර 37 ක් තිස්සේ දෙපාර්තමේන්තුවේ වැඩ කරනවා. ඕනෑ තරම් ගමන් ගිහින් තියෙනව. හැබැයි මෙහෙම අත්දැකීමකට මුහුණ දීල නැහැ.

මම වැටෙන්න කිසිම හේතුවක් නැති කීප තැනකම ඇදගෙන වැටුණා, මගේ දුව අමාරු දුෂ්කර තැන්වලින් අතින් අල්ලගෙන ඇවිත් නිදහසේ යන්න පුළුවන් තැන්වලදී අත ඇරිය. ඒත් එයා ඒ හැම තැනකම ඇදගෙන වැටුණේ කිසිම හේතුවක් නැතිව. වැටුණූ හුඟ දෙනෙක් කීවේ කවුරු හරි තමුන්ව පැත්තට අදිනව වගේ දැනුණා කියලයි.

ඔය අතරේ තමයි බඹර රංචුවකුත් ඇවිත් අපිව වට කර ගත්තේ. මූණ ළඟටම ආව, හැබැයි වාසනාවට දෂ්ට කළේ නැහැ.

මම අද්භූත දේවල් විශ්වාස කරන්නනේ නැහැ. හැබැයි මේ සිදුවීම් කොහොම වුණාද කියන එක මට ගැටලුවක්. හැබැයි මම හිතනව අපව මොකක් හරි අනතුරකින් බේරන්න තමයි මෙහෙම වුණේ කියල.

ගමනට එක් වූ ලිපිකාරිනියක වන එම්. දමයන්ති මහත්මිය මෙසේ කීවාය.

පාරේ දුෂ්කර තැන්වලින් අපි කරදරයක් නැතිව ගියා. හැබැයි කීයටවත් වැටෙයි කියල හිතන්නවත් බැරි තැන්වල මම ඇදගෙන වැටුණ.

 රත්න ඇල්ල පිළිබඳ වශිකෘත වූ ඔවුහු මෙසේද කීවෝය.
මේක හරිම ලස්සන තැනක්. තාම මිනිස්සු හරියට දන්නේ නැහැ. කිසිම ප්‍රසිද්ධියකුත් නැහැ. හරිම ලස්සන ගමනක්. හැබැයි ඇල්ලට යන පාර ගැන, දුර ගැන යන අයට මුහුණ දෙන්න සිදු​ෙවන අත්දැකීම් ගැන දැනුම්වත් කරන්න නාම පුවරුවක්වත් නැහැ. ප්‍රදේශය බාර ප්‍රාදේශීය සභාව හරි ඒ වැඩේට අත ගහනව නම් ලොකු දෙයක්.

“ඒ වගේම මේක සංචාරක ව්‍යාපාරයට හොඳ පසුබිමක් තියෙන ස්ථානයක්. දියුණු කළොත් දුන්හිඳ, දියලුම වගේ ප්‍රසිද්ධ වේවි කියල අපිට හිතෙනවා.” යැයිද ඔවුහු පැවැසූහ.
lankadeepa
================================================
උපුටා ගැනීම් සහිතයි ....!!! 
දයාබර පාථක සහෘදයිනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya 

Friday, March 20, 2020

ඓති­හා­සික මූලාශ්‍ර හෙළි කරන සිරිපා පුරා­ණය...(Sri padaya sri lanka old adams speak අබිරහස් අඩවිය - Abirahas Adawiya - ශාස්ත්‍රීය ළිපි)

උඳු­වප් පුර පස­ළො­ස්ව­කින් ආරම්භ වී වෙසක් පුර පස­ළො­ස්වක දින­යෙන් නිමා වන සිරිපා වන්දනා සමය මෙවර මේ 11 වැනි දා උදා වන උඳු­වප් පුර­ප­ස­ළො­ස්වක දින­යෙන් ඇරැ­ඹෙයි. එතැන් පටන් දිවා රාත්‍ වැල නොකැඩී සිරිපා නඟින බැති­ම­තුන්ගේ සාදු නදින් සම­නල කඳු වැටිය නින්නාද වෙයි.

සම­නල කඳු මත සිරිපා පිහි­ටු­වීම පිළි­බඳ කතා ප්‍රවෘ­ත්තිය බුදු රජා­ණ­න්ව­හන්සේ ජීව­මා­නව සිටි සමය තෙක් දිවෙයි. බුද්ධ­ත්ව­යෙන් 8 වන වස වෙසක් පුර පස­ළො­ස්වක පොහෝ දා තුන් වැනි වරට හෙළ දිව­යි­නට වැඩම කළ බුදු රජා­ණ­න්ව­හන්සේ එදින දවල් දානය කැල­ණි­යේදී වළඳා සවස සම­නල පර්ව­තය බලා වැඩම කළ­හයි ද, එසේ වැඩම ක‍ළේ සුමන දිව්‍ය­රා­ජ­යාගේ ආරා­ධ­න­යෙන් යැයි ද, ඔහුගේ ඉල්ලීම මත බුදු රජා­ණන් වහන්සේ සිය වාම ශ්‍රී පාද ලාංඡ­නය සම­නල පර්ව­තය මත පිහිට වූයේ යැයි ද, මහා­වං­සයේ දැක්වේ. ඒ මෙසේය.

“තත්ථ ධමමං දේස­යිත්වා - සත්තා ‍ලෝකානු­ක­ම්පකෝ
උග්ගන්ත්වා සුමනෝ කූටේ - පදං දස්සේසි නායකෝ”

(මහා­වං­ශය 1 පරි. 77 ගාථාව)

(ලොවට මහත් අනු­කම්පා ඇති අප ශාස්තෲන් වහන්සේ එහිදී දහම් දෙසා ඊට පසු මැණික් මණ්ඩ­ප­යෙන් අහ­සට පැන නැඟී සුමන කූට පර්ව­තය මුදු­නට වැඩම කොට ඒ පර්වත මස්ත­කයේ සිය පාද ලාංඡ­නය දක්වා වදාලා)

එම විස්ත­රය අනුව අපට සිතා­ගත හැක්කේ මහා­වං­සය රචනා කළ ක්‍රි.ව. 5 වැනි සිය­වස වන විට ශ්‍රී පාද­ස්ථා­නය ගැන මෙරට බෞද්ධ­යන් දැක සිටි බවයි. එහෙත් ඊට පෙර සිට පැවැත එන පුරා­වෘත්ත අනුව පළමු වරට සම­නල කන්දේ ශ්‍රී පාද ලාංඡ­නය සොයා­ගත් බවට විශ්වාස කරන්නේ වළ­ගම්බා රජ­තු­මාය. ඒ ක්‍රි.පු. 104 වැන්නේ­දීය. එය බොහෝ දුරට පිළි­ගත හැකි කරු­ණක් බව “විලි­යම් ස්ක්‍රීන්” “ශ්‍රී පාද සම­නල ජන­ප්‍ර­වාද පුරා­වෘත්ත හා ඓති­හා­සික තොර­තුරු” මැයෙන් ලියා ඇති ග්‍රන්ථයේ සඳ­හන් කොට ඇත.

ඔහු සඳ­හන් කරන පරිදි වළ­ග­ම්බාහු රටේ පාල­කයා වී මාස පහ­කින් මල­බාර් ආක්‍ර­ම­ණි­ක­යන් විසින් ඔහු බල­යෙන් පහ කළ නිසා විය. වළ­ගම්බා රජ­තුමා වසර 14ක් වන ගතව අප්‍ර­කට ව ගත කිරී­මේදී සම­නළ අඩ­වියේ දී ශ්‍රී පාද ලාංඡ­නය දැක එය යකඩ වැට­කින් ආව­ර­ණය කොට ඇත. වළ­ගම්බා රජ­තුමා ආක්‍ර­ම­ණි­ක­යන් පලවා හැර ක්‍රි.පු. 88 දී නැවත රජ වූ පසු සම­නල අඩ­විය භික්ෂු සංඝයා උදෙසා අරණ්‍ය සේනා­ස­න­යක් බවට පත් කළ බවද එහි සඳ­හන් වේ.

ශ්‍රී පාදය ගැන බොහෝ ඓති­හා­සික තොර­තුරු මුඛ පර­ම්ප­රා­ග­තව පැවැති අතර පළමු ලිඛිත සට­හන හමු වන්නේ මහා­වං­සයේ 58 වන පරි­ච්ඡේ­ද­යෙනි. එහි සඳ­හන් වන පරිදි 1 වැනි විජ­ය­බාහු රජ­තුමා ශ්‍රී පාද වන්ද­නාවේ ගොස් ඇත. එම මහා­වංස සඳ­හන වළ­ගම්බා රජ­තු­මාගේ ‘අඹ­ගමු’ ශිලා ලිපි­යෙන්ද තහ­වුරු වේ. සිරිපා වන්ද­නාවේ යන අය සඳහා දන් වැට පිණිස ගිලී­ම­ලය වෙන් කර­දුන් රජ­තුමා ඌව මාර්ග­යෙන් එන අය සඳහා ද දාන­ශාලා ඉදි කළ බව අඹ­ගමු ලිපියේ දැක්වේ. එසේම එම ලිපි­යේම කෙසෙ­ල්ග­මුව ඔස්සේ එන අය සඳහා ද දාන ශාලා ඉදි කළ බව සඳ­හන් වේ. එප­ම­ණක් නොව රජ­තුමා හීන කුල­වල අය සඳහා වෙනම මළු­වක් කළ බවද “අඹ­ගමු ලිපියේ” දැක්වේ.

ක්‍රි.ව. 1153 දී රාජ්‍ය­ත්ව­යට පත් පළමු වන පරා­ක්‍ර­ම­බාහු රජ­තුමා සංඝයා වහන්සේ පිරි­වරා ගෙන ශ්‍රී පාද වන්ද­නාවේ ගිය බව රාජා­ව­ලියේ සඳ­හන් වේ. එතුමා ශ්‍ර‍ී පාද කඳු මුදුණේ සමන් දෙවි­යන් උදෙසා දේවා­ල­යක් ඉදි කළ බවද එහි සඳ­හන් වේ.

පොලො­න්න­රුවේ රජ කළ නිශ්සංක මල්ල රජු ද යුද හමු­දාව සමඟ ශී පාද වන්ද­නාවේ ගිය බව ඔහුගේ පොලො­න්න­රුව හැට­දාගේ ලිපියේ සඳ­හන් වේ. දඹ­දෙ­ණියේ රජ කළ දෙවන පරා­ක්‍ර­ම­බාහු රජ­තුමා ශ්‍රී පාද­ස්ථා­න­යට මාර්ග කරවා පින්කම් කළ බව චූල­වං­සයේ සහ පූජා­ව­ලියේ සඳ­හන් වේ. පොලො­න්නරු යුග­යෙන් පසු යුග­වල ශ්‍රී පාද­ස්ථා­නය ප්‍රච­ලිත බෞද්ධ සිද්ධ­ස්ථා­න­යක් ලෙස පැවැති බවට කොතෙ­කුත් සාධක ඇත.

ශ්‍රී පාද­ස්ථා­නය පිහි­ටු­වීම පිළි­බඳ සවි­ස්තර විස්ත­ර­යක් ගම්පොළ සමයේ ලියැ­වුණ සද්ධ­ර්මා­ලං­කා­රයේ දක්වා ඇත. එම විස්ත­රයේ එන්නේ මණි­අ­ක්ඛිත නම් නාග රාජ­යාගේ ආරා­ධ­න­යෙන් වෙසක් මැදි පොහෝදා ලක්දි­වට වැඩ ඔහු විසින් මවන ලද රත්න­ම­ණ්ඩ­පයේ වැඩ­හිඳ දන් වලඳා අන­තු­රුව සම­න්තකූ‍ට පර්ව­ත­යට වැඩ සිරිපා පිහි­ටුවා වදාළ බවයි.

ඓති­හා­සික විස්ත­ර­ව­ලට අනුව සිරිපා වන්ද­නාව පොදු ජන චාරි­ත්‍ර­යක් බවට පත් වූයේ කවර කලෙක දැයි හරි­ය­ටම නිග­ම­නය කිරීම අප­හ­සුය. ජන­ප්‍ර­වා­දයේ එන්නේ භාති­කා­භය රජු දවස ශ්‍රී පාදය සොයා­ගත් බවයි. භාතිය රජුගේ මල් උය­නින් සොරෙන් මල් කඩන අය ඇල්ලී­මට සිට වූ කොටෙ­කුට සුර­ඟ­නන් විසින් මඟ දිගට මල් දමා මඟ සල­කුණු පෙන්වී­මෙන් ශ්‍රී පාදය සොයා­ගත් බව එක් ජන­ක­තා­වක එයි. හිම­ගත වර්ණ­නාව නම් කවි පොත ලියන ජන කවියා එම සිද්ධිය දක්වන්නේ ඊට මදක් වෙන්වය. මල් වත්ත රකිනා වැද්දා මල් සොරෙන් කැඩූ සුර­ඟ­නන්ගේ මඟ පෙන්වී­මෙන් සිරිපා වන්ද­නාවේ ගිය බව එහි සඳ­හන් වේ. එහි මෙසේ දැක්වේ.
“එතොත් උඩට අපි ලකු­ණක් කියමි
මඟින් මඟට මල් එක දෙක දම මී
යොදුන් හතක් අපි වන පසු කරමි
මෙමල් නෙළ­ගොස් විමනේ වැසෙමි”
“සම­නල යන්නට උගෙ සිත පිරීයා
කන්නට කැවි­ලිත් ඉණ මැද ගතියා
කන්‍යා ලිය කී ලකු­ණක් දිටියා
දන්නා ලෙස ගොස් සම­නල දුටියා”

යනු­වෙන් නිග­මන වර්ණනා කර්තෘ සඳ­හන් කර­තත් ඒ ජන­ප්‍ර­වා­දය ඓති­හා­සික සත්‍ය­යක් දැයි සැක සිතේ. ඓති­හා­සික සත්‍ය­යන්ට වඩාත් සමීප තොර­තුරු දක්වන දීප­වං­සයේ භාති­කා­භය රජු නොයෙක් පින්කම් කළ බව සඳ­හන් කළ ද එකල ශ්‍රී පාදය සොයා­ගත් බවක් නම් සඳ­හන් නොක­රයි.

කෝට්ටේ යුගය වන විට ශ්‍රී පාද­ස්ථා­නය අති­ශ­යින්ම ප්‍රච­ලිත ස්ථාන­යක්ව පැවැති බවට සාධක රාශි­යක්ම වෙයි. එකල ලියැ­වුණ හැම සංදේශ කාව්‍ය­ය­කම පාහේ ශ්‍රී පාදය ගැන සඳ­හන් වේ. සැළ­ලි­හිණි සංදේ­ශය ලියන ශ්‍රී රාහුල මාහි­මි­යන් සඳ­හන් කරන්නේ මෙසේය.

“සුර රද සමන් සම­ඟින් සුර­ඟන එවර
පැහැ නද මදාරා පර­සතු මල් පතර
කර පුද වදින රැදි මුනි සිරිපා තඹර
සකි සද පෙනේ සම­නල ගල නැඟෙ­න­හිර”

හංස ස‍ංදේශ කතු­ව­රයා කැලණි ගඟ විස්තර කරන්නේ සම­නල මුදු­නට බුදු රජා­ණන් වහ­න්සේට වැඩම කිරී­මට කළ මාර්ගය ලෙස­ටයි.

“සම­නල මුදුන සිරිපෑ ඹබන මඟු­ලට
නික­සල මහ සඟන ගෙන වඩින මුනි­දුට
පැහැ­දුල සුනිල් මැණි­කෙන් කළ මඟ ලෙසට
මන­දොළ පිරේ ගඟ සිරි­සර දුටු තොපට”

පැර­කුම්බා සිරිතේ ශ්‍රී පාදය වැද එන මඟි­යෙකු සහ බමු­ණෙකු අතර සිදු වන දෙබ­සක් ආකා­ර­යෙන් ශ්‍රී පාදය ගැන විස්ත­ර­යක් එයි.

“කියඟ මගියා එනු කොහි සිට දද සම­නල ගොසිනා
කිමෙක අමුතු එදිග බමුණු සුමන සුරිඳු විසිනා
ගිය කළ දෙද­හස් පන්සිය රජෙකු එනැයි දියනා
කියැ­විය නන්වැ­සිය එනමා පැරැ­කුම් රජ මෙදිනා”

සීතා­වක රජ කළ පළමු වැනි රාජ­සිංහ රජු ශ්‍රී පාද­ස්ථා­නය ශිව භක්ති­ක­යන්ට පැවැ­රීය. ඊට පසු පෘතු­ගී­සීන් විසින් සබ­ර­ගමු මහ සමන් දේවා­ලය කොල්ල කන ලදී.

මහ­නු­වර ii රාජ­සිංහ රජ දවස ලංකාවේ සිර­ක­රු­වෙ­කුව සිටි රොබට් නොක්ස් ඔහුගේ එදා හෙළ­දිව ග්‍රන්ථයේ ශ්‍රී පාදය ගැන සඳ­හන් කොට ඇත්තේ මෙසේය.

“මේ ශුද්ධ පර්ව­තය පිහිටා ඇත්තේ කන්දේ නුව­රට දකු­ණිනි. ඊට සම­නල කන්ද යයි කියති. බුදුන් අහ­සින් වැඩ මෙහි ශ්‍රී පාද පිහි­ටුවා ඇති බව පිළි­ගනු ලැබේ.

එලෙස අනා­දි­මත් කාල­යක් තිස්සේ නා නා ජාතික නා නා ලබ්දික ජන­තා­වගේ ගෞර­ව­යට පාත්‍ර වන ශ්‍රී පාද­ස්ථා­නය සිය වස් විසි පහක පමණ අතී­තය සම­රන අභි­මා­න­වත් පුද බිමකි.
විජේ­රත්න අතු­රු­පාන
විශේෂාංග
silumina
================================================
උපුටා ගැනීම් සහිතයි ....!!!
දයාබර පාථක සහෘදයිනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya