Friday, March 27, 2020

හසලක රත්න ඇල්ල ළඟදි අදෘශ්‍යමාන අත්දැකීමක්....(Hasalaka Rathna ella අබිරහස් අඩවිය - Abirahas Adawiya - හොල්මන් කතා. holman katha)

අදෘශ්‍යමාන බලවේග පිළිබඳව මෙන්ම ගුප්ත කාරණා පිළිබඳව අතීතයේ සිටම මිනිසුන් තුළ පවතින්නේ දැඩි උනන්දුවකි. කිසියම් ගුප්ත සිදුවීමක් එක් පුද්ගලයකුට දෙදෙනකුට නොව සමාජ අවබෝධයක් ඇති අති විශාල පිරිසකට අත් විඳින්නට ලැබෙන්නේ නම් ඒ පිළිබදව නොසලකා හැරීම කළ යුත්තේ දෙවරක් සිතා බැලීමෙනි. ඉකුත් සති අන්තයේ නකල්ස් කඳු පාමුල පිහිටි අතිශය සුන්දර දිය ඇල්ලක් ​ෙවන හසලක රත්න ඇල්ල නැරඹීමට ගිය 54 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක ලොකු කුඩා සියලු දෙනාටම මෙබදු අදෘශ්‍යමාන වූත් කිසි ලෙසකින්වත් එකිනෙකට ගැළපිය නොහැකිවූත් ගුප්ත සිද්ධීන් දාමයකට මුහුණ දීමට සිදුවී තිබිණි.

 මෙම අපූර්ව අත්දැකීමට මුහුණ දුන්නේ බණ්ඩාරවෙල වාරිමාර්ග අධ්‍යක්ෂ කාර්යාලයේ නිලධාරීන් පිරිසක් හා ඔවුන්ගේ පවුල්වල දූ දරුවන් ඇතුළු 54 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමකි.

නිවාඩු කාලයේ සිය දූ දරුවන්ද සමඟ විනෝද චාරිකාවක් යා යුතු යැයි කතිකා කර ගත් පිරිස ඒ සඳහා නිහඬ නිස්කලංක සොබා සිරිය විඳිය හැකි අපුරු ඉසව්වක් තෝරා ගන්නටද අමතක නොකළහ.

කවදත් සොබා දහමට ආදරය කරන්නෙකු වූ එම ආයතනයේම සේවයේ නියුතු දෙපාර්තමේන්තු කළමනාකාර සහකාර එස්. එම්. එච්. හර්ෂණ විජේතුංග මහතා වෙත ගමනේ සංවිධානය භාර ​ෙවන්නේ ඒ අනුවය.

සිය කාර්යාල සහෘදයන්ගේ සිතැඟි මනාව තේරුම් ගත් විජේතුංග මහතාද තමුන්ට ඇති අත්දැකීම් මෙන්ම සියලු සම්බන්ධතාද උපයෝගී කර ගනිමින් එම චාරිකාව සඳහා හසලක රත්න ඇල්ල නැරඹීමට යාමට තෝරා ගන්නේ ඒ අනුවය.

“රත්න ඇල්ල කියන්නේ කැලේ මැද හැංගිලා තියෙන හරිම ලස්සන දිය ඇල්ලක්. මේක පටන් ගන්නේ නකල්ස් වනාන්තරෙන් ඇරඹෙන හසලක ඔයෙන්. මේ රටේ පස්වෙනියට උස දියඇල්ල තමයි රත්න ඇල්ල කියන්නේ. උසින් අඩි 300 ක් විතර වෙනව. ටික දුරක් පයින් ගිහින් තමයි ඇල්ල ළඟට යන්න ඕනැ. හරිම ලස්සන පරිසරේ ඔය පැත්තේ තමයි ‘සූරිය අරණ චිත්‍රපටිය හැදුවෙත්’ මහ වන මැද පිහිටි තුරු හිස් අතරින් සුරංගනාවකගේ දුහුල් සේලයක් සේ පහළට කඩා හැළෙන මහල් හතකින් යුතු රත්න ඇල්ල ගැන විජේතුංග මහතා තව තවත් පිරිස දැනුම්වත් කරද්දී ඔවුහුද ඊට ඇහුම් කන්දුන්නේ දැඩි උද්​ෙ‌යා්ගයකින්.

දිය කඩිති මැදින් මෙන්ම කුඹුරු යායන් මැදින් වැටී තිබූ මාර්ගය දුෂ්කර වුවද මග දෙපස ඇති රූස්ස වන පෙතත් එහි වෙසෙන වඳුරන් රිළවුන් කුරුල්ලන් ආදීන්ගේ කිචිබිචියත් පිරිසට ගෙන දුන්නේ අපූරු වින්දනයකි.

ඒ වන විටත් පිරිසේ කොටසක් ඔවුන් රැගෙන ආ පානවලින් ඇඟ පත රත්කරගෙන සිටියද ගමනේ වගකීම කරට ගත් විජේතුංග මහතා ඇතුළු කීප දෙනෙකුම කුඩා දරුවන්, කාන්තාවන් ඇතුළු පිරිසට ආරක්ෂාව සැපයුවේ මාර්ගයේ පවත්නා දුෂ්කරතාව පිළිබඳ දැඩි අවබෝධය නිසාවෙනි.

මිනිස් වාසයකින් තොර පටු මාර්ගය ඔස්සේ මඳ දුරක් ගමන් ගත් පිරිසට කොහේදෝ සිට පැමිණී දුඹුරු පැහැති බල්ලෙකුද එකතු වූයේ කලින් කළ ආරාධනාවක් පරිද්දෙනි. කිසිදු චකිතයකින් තොරවම නඩයේ පෙරමුණ ගත් බල්ලා එතැන් සිට පිරිසට මග පෙන්වන්නට වූයේ පිරිසද විමතියට පත්කරමිනි.

ළඟින් ළඟ කාණ්ඩ දෙක තුනකට බෙදී එක පෙළට ගමන් ගන්නා පිරිසේ හඬ යටපත් කරමින් හෝ හඬ ඇසෙන්නට වූයේ දිය ඇල්ල දැන් ළඟම යැයි පවසන්නාක් මෙනි. කතාවට පාදක වූ අදෘශ්‍යමාන යැයි කිව හැකි අපූරු සිදුවීම් පෙළ ආරම්භ ​ෙවන්නේ මේ අතරේදීය. විජේතුංග මහතා ඇතුළු පිරිස ඒ අත්දැකීම් මෙසේ විස්තර කරන්නට වූයේ සියයට සියයක් එම කතාවන්හි වගකීම් තමුන් භාරගන්නා බව දිව්රා පවසමිනි.

 ඒ අත්දැකීම් විස්තර කළ කළමනාකාර සහකාර හර්ෂණ විජේතුංග මහතා :
“අපි දවල් 11.00 විතර වෙද්දි ඇල්ල පේන තෙක් මානයට ආව. ඇල්ල දැක්කම අපේ පිරිස පුදුම විදිහට සතුටු වුණා. කිසිම විදිහකට අපිරිසිදු නොවිච්ච පරිසරය, ගහ කොළ කුරුල්ලන්ගේ කිචි බිචිය වගේම සීතල වතුර වළවල්, අපේ පිරිසට පුදුම අත්දැකීමක් වුණා.

මග පෙන්වූ බල්ලා
අපි දිය ඇල්ල පේනතෙක් මානයට එද්දි අපිට මඟදී එකතුවෙච්ච බල්ල තමයි මග පෙන්නුවේ. පාර ටිකක් දුෂ්කර නිසා මමත් තව කීප දෙනෙකුත් එකතුවෙලා දරුවොයි කාන්තාවෝ ටිකයි දිය කඩිතිවලින් පරිස්සමට එගොඩ මෙගොඩ කළා. ඊට පස්සේ තිබුණේ ගල් තලාව. හැබැයි ගල්තලාවක් කිව්වට ඒක හොඳට වේළිලා. ලිස්සන්න කිසිම හේතුවක් නැහැ. තැනිතලාව. මේ ගල් තලාව උඩදි තමයි මේ සිද්ධිය මුලින්ම වුණේ. ගල් තලාව හරහා ගිය අපේ නඩේ කාන්තාවන් වගේම පිරිමි කීප දෙනෙක්ම වැටෙන්න පටන් ගත්ත. සමහරු නැගිටින්න හදද්දී කිසිම හේතුවක් නැතිව ආයෙත් ඇදගෙන වැටුණා. මේ විදිහට නඩේ හිටපු හුඟ දෙනෙක් එක එක විදිහට ඇදගෙන වැටෙන්න පටන් ගත්ත. එක මහත්තයෙක් ඇදගෙන වැටිල අත කැඩුණා. අපි එයාට පතුරු බැඳල ප්‍රථමාධාර දුන්න. මේ වෙනකොටත් එයා රෝහලේ ප්‍රතිකාර ගන්නව.

කොහොම හරි තව පිරිසක් එතන තිබුණ වතුර වළෙන් එගොඩ වෙන්න හදද්දි ආයෙත් ඇදගෙන වැටුණ. එහෙම වැටෙන්න ගිය එක නෝන කෙනෙක් කීවේ කවුරු හරි එයාගේ කකුලෙන් ඇදල නවත්තන්න හදනව වගේ දැනුණ කියලයි. ඒ විදිහටම තවත් කීප දෙනෙකුටම දැනුණ කියලත් අපිට කීව.

කොහොම වුණත් අපි එක්ක ආව බල්ල එතනින් එහාට යාම ප්‍රතික්ෂේප කළේ “උඹලත් යන්න එපා‘‘ කියල වගෙයි.

මේ එක්කම තවත් අපූරු සිදුවීමක් වුණා. කොහේදෝ තිබුණූ ගල් බෙනේකින් එක පාරටම විශාල බඹර රංචුවක් ඇවිත් අපිව වටකරගෙන ඇස් මට්ටමින් රැඳී ඉන්න පටන්ගත්ත. හැබැයි වාසනාවකට වගේ කිසිම කෙනෙක්ට දෂ්ට කළේ නැහැ. අපිට තේරුණේ අපි යන එක වළක්වන්න හැදුව කියලයි.

ඔය අතරේ එක පාරටම කැලෙන් මතුවුණ කෙනෙක් අපට කීව “ඔය කට්ටිය ඔතනින් එහාට යන්න එපා” කියල. එහෙම කියල ඒ මනුස්සය යන්න ගියා. හැබැයි මම හිතන්නේ ඒ අහල ගමක මිනිහෙක් වෙන්න ඇති කියලයි.

මෙච්චර දෙයක් වෙලා තියෙද්දි අපේ නඩේ කීප දෙනෙක් ඊළඟට අර මනුස්සය එපා කියපු පැත්තට යන්න දඟලන්න පටන් ගත්ත. සමහරු හිනා වෙනව. සමහරු යන්න ගිය ගමන් ඇදගෙන වැටෙනව. ඒ අය හැසිරුණේ හරිම හිතුවක්කාර විදිහට.

මේ වෙද්දි මට වගේම පිරිසේ හිටිය කීප දෙනෙකුටම තේරුණා මෙතන මොකක් හරි ගුප්ත යමක් සිදුවෙනව කියල. අන්තිමට අපි ගමන එතනින් නවත්තල ආපස්සට ඇවිත් පහළ තිබුණූ කුඩා වතුර වළකින් නාල ආපහු ආව. හැබැයි පුදුමේ කියන්නේ දරුවන්ට කිසිම කරදරයක් වුණේ නැහැ.

 බණ්ඩාරවෙල වාර්මාර්ග අධ්‍යක්ෂ කාර්යාලයේ වාරිමාර්ග ඉංජිනේරුවරියක වූ නදීකා සමන්මලී මෙනවිය මෙසේ කීවාය.

“මගේ ක්ෂේත්‍රයට අනුව මම නිතරම ඇළවල් ගංගා ආශ්‍රිතව ඇවිදින කෙනෙක්. ඒ නිසා මේ වගේ ගමන් මාර්ග මට හුරුයි. හැබැයි එදා මම අඩි දෙක තුනක් පළල ඇළක් හරහා එගොඩ වෙන්න යද්දි තමයි ඇදගෙන වැටෙන්න ගියේ. මම ඒ වෙලාවේ ඇදගෙන වැටුණ නම් විශාල අනතුරක් වෙන්න තිබුණ. නමුත් කුමන හෝ බලවේගයකින් මම බේර ගත්ත කියල මම දැඩිසේ විශ්වාස කරනව. සමහර විට මට එහෙම වුණේ අපි ආගමට දහමට ළැදිව ජීවත්වුණ නිසා වෙන්න ඇති කියලයි මම හිතන්නේ. මේ ගමනෙදි කිසියම් අදෘශ්‍යමාන සිදුවීමක් වුණා කියන එකනම් මම සියයට සියයක් විශ්වාස කරනවා.

බණ්ඩාරවෙල වාර්මාර්ග අධ්‍යක්ෂ කාර්යාලයේ සැලසුම් කාර්යාල සහකාර කපිල අබේසේකර මහතා මෙසේ කීවේය.

මම වසර 37 ක් තිස්සේ දෙපාර්තමේන්තුවේ වැඩ කරනවා. ඕනෑ තරම් ගමන් ගිහින් තියෙනව. හැබැයි මෙහෙම අත්දැකීමකට මුහුණ දීල නැහැ.

මම වැටෙන්න කිසිම හේතුවක් නැති කීප තැනකම ඇදගෙන වැටුණා, මගේ දුව අමාරු දුෂ්කර තැන්වලින් අතින් අල්ලගෙන ඇවිත් නිදහසේ යන්න පුළුවන් තැන්වලදී අත ඇරිය. ඒත් එයා ඒ හැම තැනකම ඇදගෙන වැටුණේ කිසිම හේතුවක් නැතිව. වැටුණූ හුඟ දෙනෙක් කීවේ කවුරු හරි තමුන්ව පැත්තට අදිනව වගේ දැනුණා කියලයි.

ඔය අතරේ තමයි බඹර රංචුවකුත් ඇවිත් අපිව වට කර ගත්තේ. මූණ ළඟටම ආව, හැබැයි වාසනාවට දෂ්ට කළේ නැහැ.

මම අද්භූත දේවල් විශ්වාස කරන්නනේ නැහැ. හැබැයි මේ සිදුවීම් කොහොම වුණාද කියන එක මට ගැටලුවක්. හැබැයි මම හිතනව අපව මොකක් හරි අනතුරකින් බේරන්න තමයි මෙහෙම වුණේ කියල.

ගමනට එක් වූ ලිපිකාරිනියක වන එම්. දමයන්ති මහත්මිය මෙසේ කීවාය.

පාරේ දුෂ්කර තැන්වලින් අපි කරදරයක් නැතිව ගියා. හැබැයි කීයටවත් වැටෙයි කියල හිතන්නවත් බැරි තැන්වල මම ඇදගෙන වැටුණ.

 රත්න ඇල්ල පිළිබඳ වශිකෘත වූ ඔවුහු මෙසේද කීවෝය.
මේක හරිම ලස්සන තැනක්. තාම මිනිස්සු හරියට දන්නේ නැහැ. කිසිම ප්‍රසිද්ධියකුත් නැහැ. හරිම ලස්සන ගමනක්. හැබැයි ඇල්ලට යන පාර ගැන, දුර ගැන යන අයට මුහුණ දෙන්න සිදු​ෙවන අත්දැකීම් ගැන දැනුම්වත් කරන්න නාම පුවරුවක්වත් නැහැ. ප්‍රදේශය බාර ප්‍රාදේශීය සභාව හරි ඒ වැඩේට අත ගහනව නම් ලොකු දෙයක්.

“ඒ වගේම මේක සංචාරක ව්‍යාපාරයට හොඳ පසුබිමක් තියෙන ස්ථානයක්. දියුණු කළොත් දුන්හිඳ, දියලුම වගේ ප්‍රසිද්ධ වේවි කියල අපිට හිතෙනවා.” යැයිද ඔවුහු පැවැසූහ.
lankadeepa
================================================
උපුටා ගැනීම් සහිතයි ....!!! 
දයාබර පාථක සහෘදයිනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya 

Friday, March 20, 2020

ඓති­හා­සික මූලාශ්‍ර හෙළි කරන සිරිපා පුරා­ණය...(Sri padaya sri lanka old adams speak අබිරහස් අඩවිය - Abirahas Adawiya - ශාස්ත්‍රීය ළිපි)

උඳු­වප් පුර පස­ළො­ස්ව­කින් ආරම්භ වී වෙසක් පුර පස­ළො­ස්වක දින­යෙන් නිමා වන සිරිපා වන්දනා සමය මෙවර මේ 11 වැනි දා උදා වන උඳු­වප් පුර­ප­ස­ළො­ස්වක දින­යෙන් ඇරැ­ඹෙයි. එතැන් පටන් දිවා රාත්‍ වැල නොකැඩී සිරිපා නඟින බැති­ම­තුන්ගේ සාදු නදින් සම­නල කඳු වැටිය නින්නාද වෙයි.

සම­නල කඳු මත සිරිපා පිහි­ටු­වීම පිළි­බඳ කතා ප්‍රවෘ­ත්තිය බුදු රජා­ණ­න්ව­හන්සේ ජීව­මා­නව සිටි සමය තෙක් දිවෙයි. බුද්ධ­ත්ව­යෙන් 8 වන වස වෙසක් පුර පස­ළො­ස්වක පොහෝ දා තුන් වැනි වරට හෙළ දිව­යි­නට වැඩම කළ බුදු රජා­ණ­න්ව­හන්සේ එදින දවල් දානය කැල­ණි­යේදී වළඳා සවස සම­නල පර්ව­තය බලා වැඩම කළ­හයි ද, එසේ වැඩම ක‍ළේ සුමන දිව්‍ය­රා­ජ­යාගේ ආරා­ධ­න­යෙන් යැයි ද, ඔහුගේ ඉල්ලීම මත බුදු රජා­ණන් වහන්සේ සිය වාම ශ්‍රී පාද ලාංඡ­නය සම­නල පර්ව­තය මත පිහිට වූයේ යැයි ද, මහා­වං­සයේ දැක්වේ. ඒ මෙසේය.

“තත්ථ ධමමං දේස­යිත්වා - සත්තා ‍ලෝකානු­ක­ම්පකෝ
උග්ගන්ත්වා සුමනෝ කූටේ - පදං දස්සේසි නායකෝ”

(මහා­වං­ශය 1 පරි. 77 ගාථාව)

(ලොවට මහත් අනු­කම්පා ඇති අප ශාස්තෲන් වහන්සේ එහිදී දහම් දෙසා ඊට පසු මැණික් මණ්ඩ­ප­යෙන් අහ­සට පැන නැඟී සුමන කූට පර්ව­තය මුදු­නට වැඩම කොට ඒ පර්වත මස්ත­කයේ සිය පාද ලාංඡ­නය දක්වා වදාලා)

එම විස්ත­රය අනුව අපට සිතා­ගත හැක්කේ මහා­වං­සය රචනා කළ ක්‍රි.ව. 5 වැනි සිය­වස වන විට ශ්‍රී පාද­ස්ථා­නය ගැන මෙරට බෞද්ධ­යන් දැක සිටි බවයි. එහෙත් ඊට පෙර සිට පැවැත එන පුරා­වෘත්ත අනුව පළමු වරට සම­නල කන්දේ ශ්‍රී පාද ලාංඡ­නය සොයා­ගත් බවට විශ්වාස කරන්නේ වළ­ගම්බා රජ­තු­මාය. ඒ ක්‍රි.පු. 104 වැන්නේ­දීය. එය බොහෝ දුරට පිළි­ගත හැකි කරු­ණක් බව “විලි­යම් ස්ක්‍රීන්” “ශ්‍රී පාද සම­නල ජන­ප්‍ර­වාද පුරා­වෘත්ත හා ඓති­හා­සික තොර­තුරු” මැයෙන් ලියා ඇති ග්‍රන්ථයේ සඳ­හන් කොට ඇත.

ඔහු සඳ­හන් කරන පරිදි වළ­ග­ම්බාහු රටේ පාල­කයා වී මාස පහ­කින් මල­බාර් ආක්‍ර­ම­ණි­ක­යන් විසින් ඔහු බල­යෙන් පහ කළ නිසා විය. වළ­ගම්බා රජ­තුමා වසර 14ක් වන ගතව අප්‍ර­කට ව ගත කිරී­මේදී සම­නළ අඩ­වියේ දී ශ්‍රී පාද ලාංඡ­නය දැක එය යකඩ වැට­කින් ආව­ර­ණය කොට ඇත. වළ­ගම්බා රජ­තුමා ආක්‍ර­ම­ණි­ක­යන් පලවා හැර ක්‍රි.පු. 88 දී නැවත රජ වූ පසු සම­නල අඩ­විය භික්ෂු සංඝයා උදෙසා අරණ්‍ය සේනා­ස­න­යක් බවට පත් කළ බවද එහි සඳ­හන් වේ.

ශ්‍රී පාදය ගැන බොහෝ ඓති­හා­සික තොර­තුරු මුඛ පර­ම්ප­රා­ග­තව පැවැති අතර පළමු ලිඛිත සට­හන හමු වන්නේ මහා­වං­සයේ 58 වන පරි­ච්ඡේ­ද­යෙනි. එහි සඳ­හන් වන පරිදි 1 වැනි විජ­ය­බාහු රජ­තුමා ශ්‍රී පාද වන්ද­නාවේ ගොස් ඇත. එම මහා­වංස සඳ­හන වළ­ගම්බා රජ­තු­මාගේ ‘අඹ­ගමු’ ශිලා ලිපි­යෙන්ද තහ­වුරු වේ. සිරිපා වන්ද­නාවේ යන අය සඳහා දන් වැට පිණිස ගිලී­ම­ලය වෙන් කර­දුන් රජ­තුමා ඌව මාර්ග­යෙන් එන අය සඳහා ද දාන­ශාලා ඉදි කළ බව අඹ­ගමු ලිපියේ දැක්වේ. එසේම එම ලිපි­යේම කෙසෙ­ල්ග­මුව ඔස්සේ එන අය සඳහා ද දාන ශාලා ඉදි කළ බව සඳ­හන් වේ. එප­ම­ණක් නොව රජ­තුමා හීන කුල­වල අය සඳහා වෙනම මළු­වක් කළ බවද “අඹ­ගමු ලිපියේ” දැක්වේ.

ක්‍රි.ව. 1153 දී රාජ්‍ය­ත්ව­යට පත් පළමු වන පරා­ක්‍ර­ම­බාහු රජ­තුමා සංඝයා වහන්සේ පිරි­වරා ගෙන ශ්‍රී පාද වන්ද­නාවේ ගිය බව රාජා­ව­ලියේ සඳ­හන් වේ. එතුමා ශ්‍ර‍ී පාද කඳු මුදුණේ සමන් දෙවි­යන් උදෙසා දේවා­ල­යක් ඉදි කළ බවද එහි සඳ­හන් වේ.

පොලො­න්න­රුවේ රජ කළ නිශ්සංක මල්ල රජු ද යුද හමු­දාව සමඟ ශී පාද වන්ද­නාවේ ගිය බව ඔහුගේ පොලො­න්න­රුව හැට­දාගේ ලිපියේ සඳ­හන් වේ. දඹ­දෙ­ණියේ රජ කළ දෙවන පරා­ක්‍ර­ම­බාහු රජ­තුමා ශ්‍රී පාද­ස්ථා­න­යට මාර්ග කරවා පින්කම් කළ බව චූල­වං­සයේ සහ පූජා­ව­ලියේ සඳ­හන් වේ. පොලො­න්නරු යුග­යෙන් පසු යුග­වල ශ්‍රී පාද­ස්ථා­නය ප්‍රච­ලිත බෞද්ධ සිද්ධ­ස්ථා­න­යක් ලෙස පැවැති බවට කොතෙ­කුත් සාධක ඇත.

ශ්‍රී පාද­ස්ථා­නය පිහි­ටු­වීම පිළි­බඳ සවි­ස්තර විස්ත­ර­යක් ගම්පොළ සමයේ ලියැ­වුණ සද්ධ­ර්මා­ලං­කා­රයේ දක්වා ඇත. එම විස්ත­රයේ එන්නේ මණි­අ­ක්ඛිත නම් නාග රාජ­යාගේ ආරා­ධ­න­යෙන් වෙසක් මැදි පොහෝදා ලක්දි­වට වැඩ ඔහු විසින් මවන ලද රත්න­ම­ණ්ඩ­පයේ වැඩ­හිඳ දන් වලඳා අන­තු­රුව සම­න්තකූ‍ට පර්ව­ත­යට වැඩ සිරිපා පිහි­ටුවා වදාළ බවයි.

ඓති­හා­සික විස්ත­ර­ව­ලට අනුව සිරිපා වන්ද­නාව පොදු ජන චාරි­ත්‍ර­යක් බවට පත් වූයේ කවර කලෙක දැයි හරි­ය­ටම නිග­ම­නය කිරීම අප­හ­සුය. ජන­ප්‍ර­වා­දයේ එන්නේ භාති­කා­භය රජු දවස ශ්‍රී පාදය සොයා­ගත් බවයි. භාතිය රජුගේ මල් උය­නින් සොරෙන් මල් කඩන අය ඇල්ලී­මට සිට වූ කොටෙ­කුට සුර­ඟ­නන් විසින් මඟ දිගට මල් දමා මඟ සල­කුණු පෙන්වී­මෙන් ශ්‍රී පාදය සොයා­ගත් බව එක් ජන­ක­තා­වක එයි. හිම­ගත වර්ණ­නාව නම් කවි පොත ලියන ජන කවියා එම සිද්ධිය දක්වන්නේ ඊට මදක් වෙන්වය. මල් වත්ත රකිනා වැද්දා මල් සොරෙන් කැඩූ සුර­ඟ­නන්ගේ මඟ පෙන්වී­මෙන් සිරිපා වන්ද­නාවේ ගිය බව එහි සඳ­හන් වේ. එහි මෙසේ දැක්වේ.
“එතොත් උඩට අපි ලකු­ණක් කියමි
මඟින් මඟට මල් එක දෙක දම මී
යොදුන් හතක් අපි වන පසු කරමි
මෙමල් නෙළ­ගොස් විමනේ වැසෙමි”
“සම­නල යන්නට උගෙ සිත පිරීයා
කන්නට කැවි­ලිත් ඉණ මැද ගතියා
කන්‍යා ලිය කී ලකු­ණක් දිටියා
දන්නා ලෙස ගොස් සම­නල දුටියා”

යනු­වෙන් නිග­මන වර්ණනා කර්තෘ සඳ­හන් කර­තත් ඒ ජන­ප්‍ර­වා­දය ඓති­හා­සික සත්‍ය­යක් දැයි සැක සිතේ. ඓති­හා­සික සත්‍ය­යන්ට වඩාත් සමීප තොර­තුරු දක්වන දීප­වං­සයේ භාති­කා­භය රජු නොයෙක් පින්කම් කළ බව සඳ­හන් කළ ද එකල ශ්‍රී පාදය සොයා­ගත් බවක් නම් සඳ­හන් නොක­රයි.

කෝට්ටේ යුගය වන විට ශ්‍රී පාද­ස්ථා­නය අති­ශ­යින්ම ප්‍රච­ලිත ස්ථාන­යක්ව පැවැති බවට සාධක රාශි­යක්ම වෙයි. එකල ලියැ­වුණ හැම සංදේශ කාව්‍ය­ය­කම පාහේ ශ්‍රී පාදය ගැන සඳ­හන් වේ. සැළ­ලි­හිණි සංදේ­ශය ලියන ශ්‍රී රාහුල මාහි­මි­යන් සඳ­හන් කරන්නේ මෙසේය.

“සුර රද සමන් සම­ඟින් සුර­ඟන එවර
පැහැ නද මදාරා පර­සතු මල් පතර
කර පුද වදින රැදි මුනි සිරිපා තඹර
සකි සද පෙනේ සම­නල ගල නැඟෙ­න­හිර”

හංස ස‍ංදේශ කතු­ව­රයා කැලණි ගඟ විස්තර කරන්නේ සම­නල මුදු­නට බුදු රජා­ණන් වහ­න්සේට වැඩම කිරී­මට කළ මාර්ගය ලෙස­ටයි.

“සම­නල මුදුන සිරිපෑ ඹබන මඟු­ලට
නික­සල මහ සඟන ගෙන වඩින මුනි­දුට
පැහැ­දුල සුනිල් මැණි­කෙන් කළ මඟ ලෙසට
මන­දොළ පිරේ ගඟ සිරි­සර දුටු තොපට”

පැර­කුම්බා සිරිතේ ශ්‍රී පාදය වැද එන මඟි­යෙකු සහ බමු­ණෙකු අතර සිදු වන දෙබ­සක් ආකා­ර­යෙන් ශ්‍රී පාදය ගැන විස්ත­ර­යක් එයි.

“කියඟ මගියා එනු කොහි සිට දද සම­නල ගොසිනා
කිමෙක අමුතු එදිග බමුණු සුමන සුරිඳු විසිනා
ගිය කළ දෙද­හස් පන්සිය රජෙකු එනැයි දියනා
කියැ­විය නන්වැ­සිය එනමා පැරැ­කුම් රජ මෙදිනා”

සීතා­වක රජ කළ පළමු වැනි රාජ­සිංහ රජු ශ්‍රී පාද­ස්ථා­නය ශිව භක්ති­ක­යන්ට පැවැ­රීය. ඊට පසු පෘතු­ගී­සීන් විසින් සබ­ර­ගමු මහ සමන් දේවා­ලය කොල්ල කන ලදී.

මහ­නු­වර ii රාජ­සිංහ රජ දවස ලංකාවේ සිර­ක­රු­වෙ­කුව සිටි රොබට් නොක්ස් ඔහුගේ එදා හෙළ­දිව ග්‍රන්ථයේ ශ්‍රී පාදය ගැන සඳ­හන් කොට ඇත්තේ මෙසේය.

“මේ ශුද්ධ පර්ව­තය පිහිටා ඇත්තේ කන්දේ නුව­රට දකු­ණිනි. ඊට සම­නල කන්ද යයි කියති. බුදුන් අහ­සින් වැඩ මෙහි ශ්‍රී පාද පිහි­ටුවා ඇති බව පිළි­ගනු ලැබේ.

එලෙස අනා­දි­මත් කාල­යක් තිස්සේ නා නා ජාතික නා නා ලබ්දික ජන­තා­වගේ ගෞර­ව­යට පාත්‍ර වන ශ්‍රී පාද­ස්ථා­නය සිය වස් විසි පහක පමණ අතී­තය සම­රන අභි­මා­න­වත් පුද බිමකි.
විජේ­රත්න අතු­රු­පාන
විශේෂාංග
silumina
================================================
උපුටා ගැනීම් සහිතයි ....!!!
දයාබර පාථක සහෘදයිනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya

Wednesday, March 11, 2020

බෝර නොදා කළුගල් පුපුරවන බිහිරි හාමුදුරුවෝ...(අබිරහස් අඩවිය - Abirahas Adawiya - හොල්මන් කතා. holman katha)

අසා තිබේද අපවත්වූ භික්ෂූ ආත්මයක නැවත ඉපදීමක් ගැන. ඔබට විශ්වාස කළ හැකිද එසේ වඩින භික්ෂු ආත්මය ගුරුකම් ආත්මයක් බව. ඔබට හැකියාවක් තිබේද ඔබ විශ්වාස නොකරනවායැයි කියන මෙම කතාව නොකියවා සිටීමට.   
කතාව දිවයන්නේ දිස්ත්‍රික්ක දෙකක් අතර. එක් දිස්ත්‍රික්කයක් අම්පාර. හෙළ ඉතිහාසයට මායිම්වූ දුෂ්කර ගමක්. ගරා වැටුණු ඉපැරණි පන්සලක්. අනෙක් දිස්ත්‍රික්කය රත්නපුර. රක්වාන රක්ෂිතය ආසන්න ගමක්. භූමිය මතුපිට සහ භූමිය ඇතුළත ගුප්ත හැඟුම් දනවන රහස් රැසක් සඟවාගත් ගුරුකම් කන්දක්.   
කතාවේ නායකයා වෙන්නේ බිහිරි හාමුදුරුවෝ. බිහිරි හාමුදුරුවෝ කියන්නේ සිල්වත් යතිවරයන් වහන්සේ නමක්. ඒ වගේම ඇඟ පුරා ගුරුකම තිබුණු භික්ෂූන් වහන්සේ නමක්. ඒ කාලේ බිහිරි හාමුදුරුවන් වැඩ වාසය කළේ වැඩි වශයෙන් මේ ගුරුකම් කන්දේ. අම්පාරේ ගියේ කෙම්මුර දිනවලදි විතරයි. ඒ ගුරුකම් වැඩවලට. ඒ දවස්වලට බිහිරි හාමුදුරුවන්ගේ පන්සල පිරෙනවා අතුරු සිදුරු නැතුව. ගමේ අයගෙන් වගේම ගමෙන් පිට අයගෙන්. උන්වහන්සේගේ ගුරුකම් හරි බලවත්. කළොත් කළාම තමයි.   
අද බිහිරි හාමුදුරුවන් නැහැ. ඒ වුණත් උන්වහන්සේගේ මතකය තවමත් ගමේ තියෙනවා. මේ වෙනකොට උන්වහන්සේ අපවත්වෙලා. පන්සලත් නැභැ. ගරාවැටුණු නටබුන් විතරයි දකින්න පුලුවන්. ඒක එහෙම වෙන්නෙ එක්තරා හේතුවක් මත. ඒ මෙම හේතුව. බිහිරි හාමුදුරුවන්ට මේ ගුරුකම උරුම වෙන්නේ නියමයන් තුනක් මත. ඒ මෙම නියමයන්.   
මෙම ගුරුකම සම්බන්ධව ගෝල භික්ෂු පරපුරක් නොහැදිය යුතුයි.   
ගුරුකම මෙම ආත්මයේ තම ලේ නෑයන් කිසිවෙකුටත් නොදීම සහ ඔවුන්ගෙන් ගුරුකම් පරපුරක් නොහැදිය යුතුයි.   
ගුරුකම් පරපුරක් නොහදන අයෙකුට මෙම ගුරුකම ලබාදිය යුතුයි.   

හාමුදුරුවන්ට කිව්වේ බිහිරි හාමුදුරුවෝ කියන නම. හාමුදුරුවෝ උප්පත්තියෙන් බිහිරි නැහැ. බිහිරි වුණේ පස්සෙ කාලෙක. ඒකට හේතු වුණෙත් ගුරුකමක්. අපේ ආතලා මුත්තලා කියන විදිහට උන්වහන්සේ බෝර නොදා කළුගල් පුපුරවන්න දක්ෂයා. ඒ ගුරුකම් බලයෙන්. මුලින්ම කරන්නෙ පුපුරවන කළු ගල මැද මෙලෙක් කිරීම. ඊළඟට කුහරයක් හැදීම. බෙහෙත් පුරවන්නෙ ඉන් පසුව. අන්තිමට කරන්නෙ බෙහෙත් පුරවපු කුහරය ඇතුළට නූලක් දාලා අනිත් කෙළවර අතින් අල්ලගෙන ජප කිරීම.   
මේ ගුරුකමේදී සිදුවෙන්නේ කළුගල ඉරි තලල වෙන්වෙන එක. එන්නෙ නැහැ සද්දයක් බෝර දානකොට වගේ. විසිවෙන්නෙ නැහැ ගල් හැමතැනම. වෙන්නෙ එක දෙයයි. ඒ ගල් කුහරයට දමපු බෙහෙත් වටේටම විසිරීම. ඒ විසිවෙන්නෙත් රත්වුණු බෙහෙත්. ඒ හින්දා හාමුදුරුවෝ මේ ගුරුකම කරනකොට ස්නානය කරනවා විශේෂ බෙහෙත් වතුරකින්. එදා හාමුදුරුවො බෙහෙත් වතුරෙන් ස්නානය නොකිරීමේ වරද වුණේ බිහිරි බවට පත්වීම. ඒ විසිවුණු බෙහෙත්වල සැර දුමාරය කන්වලට ඇතුල්වීමෙන්. එදා ඉඳන් හාමුදුරුවෝ ජනප්‍රිය වුණේ බිහිරි හාමුදුරුවෝ කියන නමින්.   

බිහිරි හාමුදුරුවෝ අයිති වෙන්නේ වසර පන්සීය ඉක්මවූ පරම්පරාවකට. ඒ ගුරුකම් පරම්පරාවක්. ඒ වගේම තමයි බිහිරි හාමුදුරුවන්ගේ ගුරුකම් ආත්මය අයත් වෙන්නේ ගුරුකම් ශාස්ත්‍ර තුනකට. ඒ හෙළ ගුරුකම, ඉන්ද්‍රජාල ගුරුකම, රාවණ ගුරුකම කියන ගුරුකම් ත්‍රිත්වයට. ගුප්ත විද්‍යාවෙ මේ ගැන තිබෙන නියමයයි මේ.   
යම් පරම්පරාවක් හෝ පරම්පරාවක යම් කිසිවකු සතුව මෙම ගුරුකම් තුන පවතියිද, එම පරම්පරාව හෝ එහි කිසිවෙකු මෙම ගුරුකම් හදාරා තිබේද, ඔවුන් සතුව පොළව මතුපිට, පොළව ඇතුළත සියලු සම්පත්හි හිමිකම ගුරුකම් බලයන් මතින් සතුව පවතියි.   
බිහිරි හාමුදුරුවන් සතුව තිබුණා සුවිශේෂී ශක්තීන් දෙකක්. ඉන් එකක් මන්ත්‍ර බලය. අනෙක් එක ද්‍රව්‍ය බලය. මන්ත්‍ර බලය දෙන්නේ වචන. ද්‍රව්‍ය බලය දෙන්නේ වස්තු. මේ බිහිරි හාමුදුරුවන්ට ඒ බලයන් දෙකම ලබාදුන් වස්තු සමූහය.   

■ මන්ත්‍ර යෂ්ටිය   
■ දිෂ්ටි පාත්‍රය   
■ ආරූඪ වට්ටිය   
■ ගුරුකම් පෙට්ටගම   
■ වසර දහසක් පැරණි පුස්කොළ පුස්තක   
■ ජප තැටිය   

මේ හැම ගුරුකම් වස්තුවකටම කවලා තියෙනවා බලයන්. ඒ පාරම්පරික ගුරුකම් බල තුන. ඒ ගුරුකම් බල තුන දන්නා කෙනෙක් අතට මේ වස්තුන් ලැබීම කියන්නේ එම අයට පොළව මතුපිටටත්, පොළව ඇතුළටත් ඕනෑම ගුරුකමක් කළ හැකියි කියන එක. ඒ වගේම ගුරුකම් වලින් කිසිවකු මරණයට පත්කිරීම තහනම්. ඉන් මෙහා ගුරුකම් සියල්ලට අවසර හිමියි. මේ නිසාම බිහිරි හාමුදුරුවන් ගුරුකම් කළේ යම් සීමාවන්, ප්‍රතිපත්තීන් වලට යටත්ව. ඒ කොටස් හතරකට යටත්ව. ඒ මෙම කොටස්.   

■ නිදන් වස්තු ආරක්ෂා කිරීම   
■ පුරාවස්තු රැකීම   
■ රට, ජාතිය සුරැකීම 

■ මිනිස් වර්ගයාට යහපත සැලසීම   

බිහිරි හාමුදුරුවන් අපවත් වුණේ අදින් අවුරුදු හැටකට පෙර. ඒ අපවත්වීම ස්වභාවිකවම සිදුවූවක්. උන්වහන්සේගේ අපවත්වීමට අදාළව තියෙන්නේ විශේෂ කතාවක්. එම කතාවේ ප්‍රධාන කාරණය වෙන්නේ අපවත් වනවිට බිහිරි හාමුදුරුවන්ගේ ආත්මය කොටස් දෙකකින් යුක්ත වීම. ඒ මෙම ආකාරයට.   

■ සිල්වත් භික්ෂු ආත්මය   
■ බලවත් ගුරුකම් ආත්මය   

මෙතනදි මේ දෙය පැහැදිලිව කිව යුතුයි. ඒ එකම මනුෂ්‍ය ශරීරයකට ආත්ම දෙකක් නොපිහිටන බව. එසේ නම් ආත්ම දෙකක පිහිටනවා යැයි කීමේ වෙනත් අර්ථයක් තිබිය යුතුයි. එම තර්කය සත්‍යයක්. එය ගුරුකම් නියමයන් වල දක්වා තිබෙනුයේ මෙලෙසින්.   

යම් කිසිවකු හෙළ ගුරුකම, ඉන්ද්‍රජාල ගුරුකම, රාවණ ගුරුකම යන ගුරුකම්හි නිරත වන්නේනම්, එකී අයගේ ශරීරය තුළ පවත්නා ආත්මයට එම ගුරුකම් තුනට අදාළවන ආත්මයන් ආරූඪ වෙයි. එවන් අයෙකුගේ ශරීරයෙන් ජීවය රැඳුණු ආත්මයන් නික්ම යනවිට, එම ජීවී ආත්මය නව උපතක් කරා යන විට, එම ආත්මය සමඟ බැඳුණු ගුරුකම් ආත්ම තුන, පෙර පැවති බලය හා සමාන බලයක් තිබෙන ආත්මයක් ඇති ශරීරයකට ඇතුළු වෙයි. එවිට පෙර ආත්මය ලබා තිබූ බලයන් ක්‍රියාත්මක වීම සිදුවෙයි.   
බිහිරි හාමුදුරුවන් අපවත් වනවිට හාමුදුරුවන්ගේ මිනිස් ආත්මය වෙනත් ආත්ම භවයක උත්පත්තිය ලබන විට උන්වහන්සේගේ ගුරුකම් ආත්ම තුන වෙනත් ශරීරයකට ආරූඪ වෙන්නේ එම ආකාරයට. මෙම ආරූඪය විශේෂයක් සහිතයි. ඒ ආරූඪය අවශ්‍ය මොහොතට ශරීරයට ගෙන්වාගත හැකිවීම සහ, අවශ්‍ය මොහොතක ශරීරයෙන් පිටත් කිරීමට තිබෙන හැකියාව. බිහිරි හාමුදුරුවන්ගේ ආත්මය ශරීරයට ආරූඪ වීමට කළයුතුයි යම් පිළියමක් මෙම ආකාරයකට.   
ඒ දිනපතා සූනියන් දෙවියන්ට පහනක් තැබීම. ඒ චාරිත්‍රය ලබා දෙන්නේ යම් බලයක්. ඒ බලය මතින් යම් ගුරුකමක යම් තෝරා බේරා ගැනීමක් කළයුතු අවස්ථාවක කළ යුතු ප්‍රතිකර්ම, වත් පිළිවෙත්, සූනියන් දේවතාවා සිහිනෙන් පැවසීම සිරිතක්. එසේ කරන්නේ සූනියන් දේවතාවා වැඩීමෙන්. සූනියන් දේවතාවා වඩින්නේ මැදියම් රැය පසුවී හෝරාවකට පසුවයි. ඒ ඇවිත් සිහිනෙන්ම යම් තැනකට යනවා කැඳවාගෙන. ඒ යන තැන අඳුරුයි. ගුප්තයි. එතනදි කියනවා මෙහෙම දෙයක්.   
දිගටම පහන තියපන්. බලවත් කෙනෙක් එයි. ඒ ගුරුකම් හාමුදුරු ආත්මයක්. එන්නෙ ගිහි ආත්මයෙන්.   

එහෙම කියලා අතුරුදන් වෙනවා එකපාරටම. ඒ එක්කම මතුවෙනවා රූපයක්. එයා ඉන්නෙ සුදු ඇඳගෙන. සුදු ජටාවක් හිස බැඳගෙන. තියෙනවා අතේ යෂ්ටියක්. රත්‍රන් පාට. එනවා ළඟටම. දික්කරනවා යෂ්ටිය ඒක අල්ලන්න ඕනැ. එතකොටම එකපාරටම ගැස්සෙනවා. එතකොටම ඇහැරෙනවා. ඇඟට දැනෙනවා පුදුම අමාරුවක්. ඔලුව බර යි මත්වෙලා වගේ. දැනෙන්නෙ මෝහනය වීමක් වගේ. ඒ එක්කම ඇඟට එනවා යම් දෙයක්. ඒ ඇඟට බර ගතියක්. ඇඟ හිරවෙනවා. හිතට දැනෙනවා ඒ ආත්මයක් බව. ඒ දිෂ්ටියක්. ආරූඪයක්. ආරූඪය කියනවා මෙහෙම.   
‘දැනගනින්. මම බිහිරි හාමුදුරුවෝ. ආවේ සූනියන් දේවතාවගේ අණින්. උදේම පලයන් පන්සලට. මේසෙ උඩ ගල් කුප්පියක් ඇති. ඒක අරගනින්. ලාච්චුවෙන් හිස් සුරයක් ගනින්. ගල් කුප්පිය ළඟ තියලා මන්ත්‍රයෙන් ජප කරපන්. සුරය තෙල්වලින් පිරේවි. සුරයයි කුප්පියයි අරගනින්. අණට කීකරුවෙලා වැඩ කරපන්. දැන් මම යක්ෂ සෙන්පතියෙක්. එක් යක්ෂ කොට්ඨාසයක් පාලනය කරන්නේ.’   

බිහිරි හාමුදුරුවන් වැඩ වාසය කළ අම්පාරේ ගමත්, උන්වහන්සේගේ ගුරුකම් ආත්මය ආරූඪ වෙන රක්වාන රක්ෂිතයේ ගුරුකම් කන්ද කියන්නෙ ආරක්ෂා කළයුතු ප්‍රදේශ දෙකක්. ඒ එය යම් වටිනාකමකින් යුතුවීම. භූමිය මත මෙන්ම භූමිය ඇතුළත රක්ෂා කළ යුතු බොහෝ වස්තුන් වලින් එම ප්‍රදේශයන් පොහොසත්. වනගත මේ ගම් දෙකේ වැසියන්ගේ විශ්වාසය බිහිරි හාමුදුරුවන්ගේ ගුරුකම් ආත්මයේ බැල්ම මේ වස්තුන් රකිනවා යනුවෙන්. ගම් අතර තියෙන මෙම කතාව ඒකට හොඳම උදාහරණයක්. මේ පින්තූරවල තියෙන්නේ බිහිරි හාමුදුරුවන් නිදන් හොරුන්ගෙන් ආරක්ෂා කළ වස්තු කිහිපයක පින්තූර.   

මේ තෙල් බෝතලයක්. හදලා තියෙන්නේ ගල්වලින්. වටේට කොටලා තියෙන්නේ අක්ෂර මාලාවක්. මෙය බල සහිතයි. සම්පූර්ණවම තනි ගල ඇතුළත හිස්. මේක හදපු තාක්ෂණය දැන් අහිමියි. මේක හෙළයේ ඉපැරණි තාක්ෂණයක්. ඒ තාක්ෂණය වෙන්නේ ගලක් හැදීම. ඒකට අවශ්‍ය වෙන්නෙත් ගලක්. මේ ගලට මිශ්‍ර කරනවා බෙහෙත් වර්ග කිහිපයක්. ඒ ස්වභාවික ශාඛ වර්ග වගේම පොළවේ ඛනිජ වර්ග කිහිපයක මිශ්‍රණයක්. මිශ්‍රණයට මිශ්‍ර කරන්නෙ නැහැ වතුර. කොටන ශාඛ වර්ගවල ඉස්ම විතරයි ගන්නේ.   
 ඒ මිශ්‍රණය නියමිත නැකැත් කාල හෝරා වලදි එකතු කරනවා ගලට. එතනදි ගල මෙලෙක් වෙනවා. ඊට පස්සේ මැටි අනනවා වගේ මෙලෙක් වුණු ගල අනන්න පුලුවන්. අවශ්‍ය හැඩතලය අරගෙන ගල ආයෙත් හදනවා පිහිටි ගල විදියටම. පිහිටි ගල හදන්න ඉස්සෙල්ලා කරන්නෙ නිදන් කළ යුතු වස්තු හදපු ගල මැදට දැමීම. මේ වගේ ගල් බෝතල් භාවිතා කරන්නේ ක්‍රම දෙකක් වෙනුවෙන්. එකක් වෙන්නේ හින්දපු බලගතු තෙල් වර්ග නිදන් කිරීමට. අනෙක වෙන්නේ වටිනා මැණික් ගල් වර්ග නිදන් කිරීමට.   
මේ ගල් බෝතලයේ තියෙනෙවා යම් විශේෂත්වයක්. ඒ මේ ගල් බෝතලය විවෘත කිරීමට ගුරුකම් ශාස්ත්‍රයම යොදා ගැනීමට සිදුවීම. එහෙම වෙන්නේ ගල් බෝතලය සීල් තබා තිබීමෙන්. එසේ නොකර යම් කැඩීමක් බිඳීමක් මාර්ගයෙන් විවෘත කිරීමට කරන උත්සාහයන් වලදි සිදුවෙන්නේ ගල් බෝතලය ඇතුළත ඇති දෙයට හානිවීම. බල රහිත වීම. මේ ගුරුකම් වල නියමය. තැන්පත් කිරීම. මේ ඒ ක්‍රමයට හදපු එකක්. ගුරුකමේදි මෙය හඳුන්වන්නේ ගල් බෝතල කියන නමින්. මේක තමයි ගුරුකම් අගුල.   
මේ වටේට තියන වාටිය සවිවෙන්නේ පිහිටි ගල ඇතුළට තියෙන හිඩසකට. පිහිටි ගලේ ඒ හිඩස හදලා තියෙන්නෙත් ගල දියකිරීමෙන්. ඒ හිඩසට පීරිසියේ නෙරපු කොටස බැස්සුවහම වටේට තියෙන වාටිය හේත්තු වෙන්නේ පිහිටි ගලට. ඊට පස්සේ සවිකරපු ගල වටේට ගාන්නේ විශේෂ ශාක බෙහෙතක්. එතනදි දකින්න පුලුවන් වෙන්නේ තනිකරම පිහිටි ගල.   

රක්වාන රක්ෂිතය මායිමෙන් පිට තිබෙන මෙම ගුරුකම් කන්ද අතිශය අත්භූත තැනක්. ගුරුකමට අදාළ ගුප්ත බලවේගයන්ගේ නිජබිමක්. තෝතැන්නක්. හැම තැනකම, හැම මොහොතකම ක්‍රියාත්මක වෙන්නේ නොපෙනෙන බලවේගයන්. මේ කන්දට යාමට තිබෙනවා ආරක්ෂක දොරටුවක්. එතනින් කන්දට ගියොත් විතරයි කරදරයක් නොමැතිව කඳු මුදුනට යා හැක්කේ. නොඑසේනම් මංමුලාවීම්, මග වැරදීම් ගුප්ත බලයන්ගේ හිරිහැරවලට ලක්වීම්වලින් ගැලවීගත නොහැකියි.   
මේ ආරක්ෂක දොරටුවේ තියෙනවා සිතියමක්. ඒ තමයි මාර්ග සිතියම. මේ සිතියම තියෙන්නේ පැතලි ගලක. ඒ ලොකු කොටුවක කොටපු පොඩි පොඩි කොටු රැසක්. මේ සිතියම කියවන රහසම, රහසක්. මට ඒ රහස ලැබෙන්නේ බිහිරි හාමුදුරුවන්ගෙන්. හාමුදුරුවො ඒ රහස මට දෙන්නෙ නියමයන් හතරක් මත. ඒක ජීවිතය පුදා ආරක්ෂා කරන පොරොන්දු හතරක්. මේ ඒ පොරොන්දු හතරයි.   

■ගුරුකම් පරපුරක් නොහැදිය යුතුයි.   
■ ගුරුකම වැළලිය යුතුයි.   
■ ගුරුකම කිසිවෙකුටත් නොදිය යුතුයි.   
■ පිහිට පතා එන්නන්ට පිහිටවිය යුතුයි.   

ඇත්තම කිව්වොත් මේ කන්ද ගුප්ත ගම්මානයක්. ඇස්වලට නොපෙනුනත් මෙහි දැකිය හැකියි ගුප්ත බලවේගයන්ගේ පාලනයක්. ඔවුන් හැමවිටම ක්‍රියාකාරී වෙමිනුයි සිටිනුයේ. ඒ වගේම හැම මොහොතකම ගුරුකම්වලට සම්බන්ධවයි සිටිනුයේ. ඒ ගුරුකම් බලය ලබාදීමෙන්. මේ හැම දෙයක්ම පිටුපස සිටින්නේ අපවත්වුණු බිහිරි හාමුදුරුවන්ගේ ගුරුකම් ආත්මය.   
ගුප්ත කන්දේ වැඩ වාසය කරනුයේ යහපත් ගති ලක්ෂණ වලින් පිරුණු ශක්තිවන්ත ගුප්ත බලවේගයන්. ඔවුන් සිටිනුයේ උපකාර කිරීමට පමණයි. ගුප්ත කන්ද අස්වාභාවික හෝ බියගෙන දෙන කන්දක් නොවේ. මළගිය ආත්ම, පහත් ගති ඇතියවුන්, හානිකර විපත් ගෙනදෙන්නවුන්, මිනිස් ඇසුරට නුසුදුසුවූවන් මෙහි දැකගත නොහැකියි. එම භූමිය මිනිස් ජීවිත පිළිබඳ සැඟවුණු ගුප්ත කරුණු හෙළිකරන ස්ථානයක්. කන්දේ තිබෙණුයේ භීතිය හෝ මවිතය දනවන විස්මිත තොරතුරු හෝ සිදුවීම් නොවේ. ජීවිතයේ පැවැත්මට උපකාරී වන යහපත් බලවේගයන්ගේ එකමුතුවයි. මේ ඉන්ද්‍රජාල ගුරුකමේ මූලික න්‍යාය. ඒකෙ තේරුම මේ විදියයි.   
ගුරුකම් බලය කවනු ලැබූ යම් තැනක් වේද, එහි ගුරුකම් බලය බිඳිය හැක්කේ පෙර කවනු ලැබූ ගුරුකම් බලයෙන්ම පමණයි මෙහි කියැවෙන අනෙක් විශේෂම දෙය වනුයේ ලොව පවත්නා සියලු ගුරුකම් එක් විශේෂ ගුරුකමකට යටත්ව පවතින බවයි. එම ගුරුකමට සියලු ගුරුකම්හි බලයන් බිඳිය හැකි බවයි. ඒ වූකලී හෙළ ගුරුකම, ඉන්ද්‍රජාල ගුරුකම්, රාවණ ගුරුකම යන ගුරුකම් තුන එකතුවූ ගුරුකම පමණක්මයි.   

මේ ගුප්ත බලවේගයන්ට හැමවිටම තියෙන්නේ රහස් ජීවිත. ඒ රහස් ජීවිත අවදි කළ හැක්කේ ගුරුකම් ශාස්ත්‍රය මනාව දත්, එය සමග ගනුදෙනු කළ හැකියවුන්ට පමණයි. ඔවුනුත් හැමවිටම තම තමන්ගේ ශක්තීන් වැඩි දියුණු කරමිනුයි සිටිනුයේ. එහි අදහස තම බලය වඩාත් වඩවා ගැනීමයි. මොවුනුත් ගුරුකම් ප්‍රතිපත්ති අනුගමනය කළ යුතුයි.   
 ගුප්ත ලෝකයේ හැමවිටම පවතිනුයේ නිශ්ශබ්දතාවයක්. නිශ්චලතාවයක්. අඳුරු පරිසරයක්. කලබලකාරිත්වයෙන් තොරයි. ලොව බිහිවුණුදා සිට පවතින ගුප්ත ලෝකයට අදාළ නියමයන් සහ ප්‍රතිපත්තීන්වලට අනුව ජීවත්වීම අනිවාර්ය කරුණක්. මිනිස් ලොව මෙන් ඔවුන්ද නීති රීති සමූහයකට යටත්. එම නීති රීති සමූහය ඔවුන්ට හිමිකර දෙනුයේ තමන්ගේ ස්වාමියාගේ අණ පිළිපැදීමේ උතුම් ගුණාංගය. එය එසේ නොවුණු කල සත්‍යය හිමි නොවෙයි. ප්‍රතිපල නොලැබෙයි.   
 මෙම තත්ත්වය මත ගුප්ත ලෝකයට ශක්තිය ගෙන දෙන ස්වයං ශක්ති මන්ත්‍රයක් ගුප්ත බලවේගයන්ට හඳුන්වාදී තිබේ. එය ගුප්ත බලවේගයන් හැමවිට පුරුදු පුහුණු විය යුතුයි.

මේ එම මන්ත්‍රයයි.   
■ සකල බලය මමයි.   
■ සකල වීර්යය මමයි.   
■ සකල අණ මටයි.   
■ ස්වාමියාගේ යම් අණක් වේද, එම අණ ඉටු කිරීමේ සියලු ශක්තිය මා සතුයි.   

මේ ගුප්ත ලෝකයේ දළ හැඳින්වීමයි.   
මේ ලෝකයේ තියෙනවා සක්වළ ගොඩක්. එම සක්වළවල් සියල්ල එකතු වෙන්නේ එක් සක්වලකට. ඒ මහා සක්වළට. මේ ගුරුකම් අයත් ගුප්ත විද්‍යාවේ නියමයක්. එහි අදහස ගුප්ත විද්‍යාව සක්වළ හතකට ලෝකය බෙදා තියෙනවා කියන එක. මෙම සක්වළ හතේම බලයන් එකකට එකක් සම්බන්ධවීම ස්වභාවිකයි. ගුප්ත විද්‍යාවේ බලවත් තන්ත්‍ර අදාළ බලයන් පිහිටුවීමේදී මේ සක්වල හතේම ගුරුකම් වල බල එකක් වීම නියමයක්.   
 බිහිරි හාමුදුරුවො මේ සියල්ල ආරක්ෂාකර කැපකර තියෙන්නේ තමන්ගෙම නමට. උරුම හිමිකමට. ඒකෙ අදහස තමන් වහන්සේගෙන් පිටට මේ වස්තූන් නොයා යුතු බව. යමෙක් ගුරුකම් නියමයන්ට යටත්ව හෝ යටත් නොවී බිහිරි හාමුදුරුවන්ගේ අවසරයකින් තොරව යම් අත්පත් කරගැනීමකට උත්සාහ දැරුවොත් සිදුවනුයේ විස්මිත දෙයක්. එ් ඇසිල්ලකින් එම නිදන් අතුරුදන්වීම. මේ තමයි බිහිරි හාමුදුරුවන්ගේ ගුරුකම් බලය.   

මේ විදියට නිදන් කිරීමේදීත් ගුරුකම් නියමයක් දැකිය හැකියි. එම නියමය වෙන්නේ මෙම ආකාරයට නිදන් කළ හැක්කේ පොළව ඇතුළතින් ගත් නිදන් වස්තු පමණයි. පොළව මතුපිට හෝ ස්වහාවික වස්තූන්වලට බාහිරින් යම් කිසිවක් එකතු කළ වස්තු මෙලෙස නිදන් කිරීමට අවසර නොලැබෙයි.   
මෙතනදි කිවයුතු විශේෂම දෙය වනුයේ මෙම නිදන් වස්තු අති විශේෂ පක්ෂයකට කැපකර තිබීමයි ඒ සම්බුදු සසුනේ භික්ෂු පරපුර උදෙසායි. මෙම රවුම් හැඩයේ නිදන් වස්තු මතුපිට බැලීමෙන් එය තහවුරු කරගත හැකියි.   

මෙහි මතුපිට උඩම කොටසේ කොටල තියෙන්නේ නෙළුම් මලක්. එහි අදහස පූජනීයයි යන්න. නෙළුම් මල පුදන්නෙ බුදු හාමුදුරුවන්ට. එයින් කියවෙන්නේ මෙහි තිබෙන්නේ බුදුහාමුදුරුවන්ට පූජා කළා යන්නයි. ඒ අනුව මෙහි තිබෙනුයේ වටිනා තෙල් වර්ගයක්. ගුරුකමේ පැහැදිලි කිරීම මත මෙම තෙල් පූජා කර තිබෙනුයේ ත්‍රිවිධ රත්නයේ ආනුභාවය සහ පිහිට, බලය කැවීමට. මෙවන් දෙයක් බුදුහාමුදුරුවන්ට පූජා කිරීමේදී අනුගමනය කරන්නේ වෙනම ක්‍රමයක්. ඒ ආපසු ගැනීමේ අවසරය මත කරන පූජාවක් ලෙස.   
මෙම තෙල් බෝතලය විශේෂතා සහිතයි. ඒ මෙම තෙල් කිසිදින නොසිඳීම. ඒ වගේම එහි අනෙක් ශක්තිය කිසි දින තෙල් ඉවර නොවීම. ගුරුකම් නියමයන්ට යටත්ව අවසරය ලැබ යම් කිසිවකු තෙල් ගනු ලැබුවද කුප්පිය තුළට එම අඩු තෙල් ඉබේම පිරීම සිදුවෙයි. එසේ වනුයේ මෙම ගල් බෝතලය සාදා ඇති ගලින් තෙල් ඉනීම. එයට හේතුව වනුයේ මෙම ගල් තෙල් උරාගෙන රඳවා තබා ගැනීම මත.   

බිහිරි හාමුදුරුවන් ගුරුකම් බලයෙන් කළ විස්මිත වැඩ බොහොමයි. ඒ අතරින් විශේෂිත දෙය වනුයේ යක්කුන්ගෙන් වැඩ අරගෙන හැදුව වැව. මේ වැවේ තියෙන විශේෂත්වය වනුයේ වැවට වතුර උනන උල්පතක් නොමැතිවීම. වතුර පාරක් එන ගමන් මාර්ගයක් නොමැතිවීම. අනෙක් විශේෂම දේ තමයි නියඟයකටවත් වතුර නොසිඳීම. එක පාරක් වතුර එන ආකාරය සොයා බැලීමට වැව හිස්කරන්න ගත්තා උත්සාහයක්. එතනදි වුණේ මහ පුදුම දෙයක්. ඒ වතුර ඉසින යන්ත්‍ර සියල්ල ක්‍රියා විරහිත වීම.   
ඊට පස්සේ ඒ ගැන හොයද්දි දැනගන්න ලැබුණෙ මේ දේ බිහිරි හාමුදුරුවන් කරපු දෙයක් කියලයි. ඒ කතාව සම්පූර්ණ ඇත්ත. ගමේ මිනිස්සු දැන් විශ්වාස කරන්නේ බිහිරි හාමුදුරුවන්ගේ ආත්මය ඉපදිලා ඉන්නවා කියලයි. බිහිරි හාමුදුරුවන්ගේ ගුරුකම් ආත්මය ඕනම වෙලාවක සැරිසරමින් සිටිය හැකියි. ඒ වෙලාවට ඉන්නේ ඒ ගුරුකම් හාමුදුරුවෝමයි. ඒ වෙලාවට ක්‍රියාත්මක වෙන්නේ බිහිරි හාමුදුරුවන්ගේ ගුරුකමමයි.   

බෝර නොදා කළුගල් පුපුරවන බ්හිරි හාමුදුරුවෝ-2

ගුප්ත ගුරුකම් කන්ද
ගුරුකම් බලයත්, බුද්ධ බලයත් එකිනෙක පටලවා නොගත් බුද්ධ බලයට මුල් තැන් දුන් මහා යතිවරයකු ලෙසින් ප්‍රසිද්ධ බිහිරි හාමුදුරුවන් ගුරුකම් ආරම්භයේදීත් අවසානයේදීත් බුද්ධ විරිතෙන් කටයුතු කළ භික්ෂූන් වහන්සේ නමක්. ගුරුකම අවශ්‍ය තැනට ගුරුකමත් බුද්ධ ශක්තිය අවශ්‍ය තැනට බුද්ධ ශක්තියත් යෙද වූ උන්වහන්සේ ගුරුකම හේතුවෙන් බුද්ධ ශක්තිය යටපත් කරන්නට ඉඩ නොතැබූ තෙර නමක්. මේ එම කතාවයි.   

මේ ගුරුකම් කන්ද එක් පැත්තක් මායිම් වනුයේ රක්වාන කඳු පංතියයි. අනෙක් පැත්ත මායිම් වනුයේ පන්තිල් පත්තුවටයි. මේ කන්ද ආරක්ෂිතයි. වන පෙත් දෙකකින් එක් පැත්තක සිංහරාජ වනගහනයයි. අනෙක් පැත්තෙන් ශ්‍රී පාද වනගහනයයි. සිංහරාජ කියන්නේ ජෛව විවිධත්වයෙ තිඹිරි ගෙයයි. ශ්‍රී පාද කියන්නේ බුද්ධ ශක්තියෙ තිඹිරිගෙය. මේ සිදු වීමෙන් කියන්නේ ගුරුකම් කන්දේ තියෙන හාස්කම්වලට ශක්තිය සැපයෙන්නේ ජෛව විවිධත්වයෙන් සහ තෙරුවණේ බලයෙන් කියන එක.   

අදටත් මේ ගුරුකම් කන්දට මේ ගම්වල මිනිසුන්ට තියෙනවා බිය මුසු හැඟීමක්. ඒ කන්දට තනියෙන් යන එක කොහොම වෙතත් කන්ද දිහා බලන බැල්ම අද්භූතයි. මේ මිනිසුන්ගේ විශ්වාසය වෙන්නේ හෙළන බැල්ලමකට හරි කන්දේ තියෙන ගුප්ත ගුරුකම් බලයෙන් යම් බලපෑමක් වෙනවා කියන අදහස.   

ඒ හින්දයි කන්ද දිහා බලන්න කලින් ගුරුකම් කන්දේ බිහිරි හාමුදුරුවන් ගැන සිහි කරන්නේ.   
මේ කන්ද අනිත් කඳු වගේම දිය උල්පත්වලින් සතා සීපාවාගෙන් පිරිලා. අහළ පහළ ගම්වල ඉන්න මිනිසුන්ගේ එදිනෙදා ඕනෑ එපාකම් පිරිමහන්නේ මේ කන්ද. එහෙම වුණා කියලා සිරිතක් නැහැ මේ ගම්වල මිනිස්සු තනියම කන්දට යන. ඕනෑ කමකට ගියත් යන්නේ කල්ලි ගැහිලා. එහෙම ගැහෙන කල්ලිය කවදාවත් සීමාවෙන්නේ නෑ තුන් දෙනෙකු හත් දෙනෙකුට. ඒ වගේම තියෙන නියමය වෙන්නේ දෙකෙන් බෙදෙන ගණනකින් තියෙන කල්ලියක් කන්දට යාම. මේ හැම දෙයක්ම එන්නේ බිහිරි හාමුදුරුවන්ගේ ගුරුකම් බලය හේතුවෙන්. ඒ වුණත් විශේෂම දේ වෙන්නේ බිහිරි හාමුදුරුවන් කවදාවත්, කාටවත් නරකක් නපුරක් නොකිරීම.   

මේ කන්ද මුදුනෙ තියෙනවා ගුප්ත දිය පාරක්. ඒක ගුප්ත වෙන්නේ දියපාර පටන් ගන්න තැනක් දකින්න නොලැබීමෙන්. ඒ වගේම තමයි දිය පාර අවසන් වෙන තැනකුත් දකින්නට නොලැබීම. කන්ද මුදුනේ තියෙන තවත් ගුප්ත දෙයක් තමයි පළතුරු උයනක් පිහිටීම. ඒක හරියට කවුරු හරි වවපු පළතුරු උයනක් වගෙයි. මේ පළතුරු උයනට වගේම ගුරුකම් කන්දට අදාළව තියෙනවා යම් නියමයක්. මේ උයනෙ තියෙන පළතුරු ඕනෑම කෙනෙකුට කැමති තරමක් කෑ හැකියි. කන්දෙ සීමාවෙන් පිටට ගෙනියන්න නොහැකියි.   
එක පාරක් කන්දෙ විස්කම් බලන්න ගිය ගමනක අත්දැකීමක් මේ. ගුප්ත හාමුදුරුවන්ගේ අවසරයෙන් කන්දේ නොපෙනෙන දේවල් බලන්න ගිය ගමනක දී සිදු වුණා හරි අපූරු දෙයක්. ඒ මේ කන්දේ තියෙන දුර්ලබ බෙහෙත් පැළයක් අරගෙන ආපහු පල්ලම් බැස්සා. එදා වුණේ හරිම අකරතැබ්බයක්. ඒ කන්දෙන් කොච්චර පල්ලම් බැස්සත් කන්ද ඇතුළෙම කරකැවි කැරකැවි ඉඳීම. කන්දෙන් එළියට එන්න බැරිවීම. ඒකට හේතුව වුණේ පාර වැරදීමයි. මේ දේ කළේ බිහිරි හාමුදුරුවන්ගේ දිෂ්ටි ආත්මය. ඒකට හේතුව වුණේ උන්වහන්සේගේ අවසරය නැතුවම අර බෙහෙත් පැළය කන්දෙන් අරගෙන එ්ම. අන්තිමට වුණේ බෙහෙත් පැළය කන්දෙම තියලා ආපහු පල්ලම් බැසීම.   

ගුරුකම් කන්දෙ අද්භූත සීමාව පටන් ගන්නෙ ප්‍රධාන පාරෙ ඉඳන් කන්දෙ සීමාවෙ කි​ලෝ මීටර් දෙකක් විතර ගියහම. එතනට කියන්නේ අද්භූත වැටිය කියන නම. ඒ තමයි ආරක්ෂක සීමාව. මේ අත්භූත වැටියෙ තියෙන විශේෂම දේ වෙන්නේ අවසර නැතිව යම් දෙයක් කරනවා නම් වල්මත් කර දැමීම. ඒක කොච්චරක් දරුණු ද කියනවා නම් පාර පෙනි පෙනි පාර හොයා ගන්න බැරි තරමේ වල්මත් කිරීමක්. මේ තමයි කන්දේ සම්පත් වගේම කන්දේ බලයත්. පිට අයට හරි අනවසර අයට හරි අතට ගැනීමට බැරි වන විදියට කරපු උපක්‍රමය. මේකත් බිහිරි හැමුදුරුවො කළ දෙයක්. හරි අවසරය, හරි විදියට අරගෙන ගියොත් කන්දේ ඉන්න නොපෙනෙන බලවේග යන්ගෙන් ලැබෙනවා පිහිටක්. ඒ මංමුලා නොවීම සහ නිවැරදි පාර පෙන්වීමෙන් වගේම ගුරුකම් බලයෙන් වහලා තියෙන ගොඩක් දේවල් ඇස් දෙකට පෙන්වීම.   

මේ කන්දෙදි දැක්ක දේවල් අතර තියෙනවා පරණ නටබුන්. ඒ අතරින් ගල් ගුහා යම් යම් විශේෂිත සටහන්. ඒ ගල්වල කොටපුවා. ඒ අතරේ හමු වුණා විශේෂ සටහනක්. ඒක ගලේ කොටපු නයිපෙන. තව විශේෂ දෙයක් වුණේ ගිය ගමන් මාර්ගයේ එක තැනක දී හමු වුන නාගයො දෙන්නා.   
මේ නාගයො දෙන්නා හිටියෙ පෙන ගොබ පුප්පගෙන. ඒ බිහිරි හාමුදුරුවන්ගේ එක් ආරක්ෂක උපක්‍රමයක්. අවසර නොගෙන යන කෙනෙකුට කවදාවත් එතනින් එහාට යන්න අපහසුයි. ඒ මග අහුරන හින්දා. මේ මගදි මග අහුරන සීමාව හාමුදුරුවන්ගේ වුණාට ඒකට සම්බන්ධයි. වෙනත් ආත්මයක් සහ ආත්මගත කතාවක්.   
​මේ බිහිරි හාමුදුරුවන්ගේ පාරම්පරාව පරණයි අවුරුදු පන්සියයක් විතර. ඒ මතුපිටින් දන්න ඉතිහාසය. බිහිරි හාමුදුරුවන්ගේ ගුරුකම් ආත්ම දිෂ්ටිය ඇඟට ආරූඪ වුණාට පස්සේ ගුරුකම් දිෂ්ටියේ බලයෙන් ඊට වඩා දිග අතීතයක් කියා දෙනවා බිහිරි හාමුදුරුවො. මේ එම කතාව. 

 බිහිරි හාමුදුරුවො එක ආත්මෙක ඉපදිලා හිටියෙ නිලමේ කෙනෙක් විදියට. ඒ ඇහැලේපොළ නිලමෙ නමින්. මේ කන්​දෙ තියෙනවා අක්කරයක විතර දිග ගල් තලාවක්. ඒ ගල් තලාව එක තැනක තියෙනවා පැතලි හැඩයක්. ඒ ගල මුදුනට කිට්ටුවෙන්. එතනින් ඉහළ තියෙන්නේ ආපහු වන ගහනය. මේ පැතලි ගල් බිත්තියෙ කොටලා තියෙනවා රූපයක්. ඒ රූපය ඇහැලේපොළ නිලමෙගෙ රූපය කියලයි බිහිරි හාමුදුරු ආත්මය කියන්නේ.   

මේ කන්දට කිසිම සම්බන්ධයක් නැති ඇහැලේපොළ නිලමෙගෙ රූපයක් කන්දේ ගලක කොටලා තිබීම හරි ප්‍රශ්නයක්.   
ඒ ප්‍රශ්නෙට උත්තරේ වුණේ මේ වගේ දෙයක්.   

මේ ඇහැලේපොළ නියෝජනය කරන්නේ බිහිරි හාමුදුරුවන්ගේ ගුරුකම් පරම්පරාව. ඒකෙන් කියැවෙන්නේ බිහිරි හාමුදුරුවන් එක ආත්මයක ඇහැලේපොළ නිලමේ වෙලා හිටියා කියන එක. ඒ හින්දම මේ ගුරුකම් කන්දත් එක්කත් තිබුණා ඉතා ගැඹුරු බැඳීමක්. සම්බන්ධයක්. මේක මෙහෙම කිව්වට තව ටිකක් ගැඹුරට යන කතාවක්.   
මේ ගුරුකම් කන්දෙ එක තැනක තියෙනවා ගල් ගුහාවක්. ඒකට යන්න තියෙන්නේ ත්‍රිකෝණාකාර දොරටුවකින්. එ්ක පුංචි දොරටුවක්. මේක ඇහැලේපොළගේ සැඟවුණු උමඟක්. බිං ගෙයක්. මේ බිංගෙයි තියෙනවා පහළට බහින්න පඩි පෙළක්. මේ පඩිපෙළ හරි භයානකයි. ඒ කියන්නේ එය හදලා තියෙන්නේ උගුලක් විදියට වැඩ කරන්න. මේ පඩිපෙළේ තියෙන සමහර පඩිවලට අඩිය තිබ්බම පඩියෙ උඩ පැත්ත යටට කරකැවිලා.   

යට පැත්ත එනවා උඩට. ඒ එක්කම පඩිය උඩ ඉන්න අය වැටෙනවා. කරකැවෙන පඩිය අතරින් පහළට ඒ වැටෙන්නේ අඳුරු අගාධෙකට. වැටුණොත් වැටුණමයි. ඒක ආරක්ෂාවට හදාපු උගුලක්. මේ පඩිපෙළේ ගල් උගුල් තියෙන්නේ මොන පඩියෙ ද කියලා තවම දන්නේ නෑ කවුරුවත්. බිහිරි හාමුදුරුවො ගල් උගුල් ගැන කියනවා මිසක් උගුල් තියෙන පඩි ගැන කියන්නේ නැහැ මොනවත්.   

එතනදි හිතන්න පුළුවන් මෙහෙම දෙයක්. ගල් උගුල් දාලා බිං ගෙය නැත්තම් උමඟ ආරක්ෂා කරලා තියෙන්නේ එතන යම් දෙයක් හංගලා තියෙන හින්දා වෙන්න පුළුවන්. හැබැයි ඒ ගැන කිසිම සඳහනක් නෑ කොතැනකවත්. බිහිරි හාමුදුරුවන්ගේ ගුරුකම් ආත්මය ඇඟට වැඩියම දෙන්නේ එකම එක උත්තරයක්. ඒ මේ උත්තරය.  
“ඒ ගැන නාහා ඉඳින්. ඒ මට අයිති දේවල්. මගේ අවසරයක් නැතුව උඹට ඒ පැත්තට යෑම තහනම්.”   

ඔය බිංගෙය ඇතුළෙම තවත් තැනක තියෙනවා පොඩි එළිමහනක්. ඒක විවෘත වෙන්නේ ගුරුකම් කන්දේ මතුපිටට. මේ එළිමහනත් උමං දොරත් තියන්නේ එක ළඟ. මෙන්න මේ එළිමහනෙ තියෙනවා පැහැදිලිවම පෙනෙන හතරැස් ගල් කුට්ටියක්. එ්ක ගල් කුට්ටියක් කියලා කිව්වට නිවැරදි නම එ්ක නොවෙයි. ඒකට කියන ඇත්ත නම ගල් පෙට්ටිය කියන නම. මේ ගැන බිහිරි හාමුදුරුවන්ගේ ගුරුකම් ආත්මය කිව්වෙ ඔය ගල් පෙට්ටිය ඇතුළෙ තියෙනවා යම් දෙයක්. ඒ ඒක ආරක්ෂා කළ යුතු හින්දා. ඒක ගන්න බැහැ කාටවත්ම. මේක ඇහැලෙපොළ නිලමෙ වෙලා හිටිය ආත්ම භවයේදී කරපු රහස් ගුරුකමක්. මේකෙන් කියැවෙනවා මෙහෙම දෙයක්. ඒ ඇහැලේපොළගේ ආත්මයත් ගුරුකම් දන්න බව වගේම තමන්ගේ ආරක්ෂාවට යම් යම් රහස් ගුරුකම් තිබුණු බව. ඇහැලේපොළ තමන්ගේ ආරක්ෂාවට ඒ රහස් ගුරුකම් කරපු බව. එතනදි තමයි තමන්ට එන සතුරු සේනාවල් වලින් බේරෙන්න ගල් උගුල් අටවලා මේ වගේ උමඟක් හදලා තියෙන්නේ.   

එක පාරක් බිහිරි හාමුදුරුවන්ගේ ගුරුකම් ආත්මය දුන්නා ඉඟියක්. ඒ ඉඟිය අනුව හිතා ගන්න පුළුවන්. ඇහැලේපොළ නිලමෙට අයිති යම් වස්තු සම්භාරයක් මේ උමං මාර්ගයේ හංගලා තියෙන බව. නමුත් ඒ කොතැන ද කොයි විදියට ද කියලා හිතා ගන්න අපහසුයි. මේ උමං බිංගෙය සාමාන්‍යයෙන් හඳුන් වන්නේ පොළව උඩට නොව පොළව යටට කොටපු භූගත වලව්වක් විදියට. පොළොව මතුපිට පිහිටලා තියෙන ගලේ යටට වෙන්න හදපු වලව්වක්. මෙතනදි වලව්වක් කියන නම භාවිත වෙලා තියෙන්නේ ඇහැලේපොළ නිලමේ කෙනෙක් වීම නිසා වගේම නිලමේලා පදිංචි වෙලා ඉන්නෙ වලව්වල වීම කියන කාරණය මත.   

මේ ඇහැලේපොළ නිලමෙගේ පරපුරේ ඉන්නවා තවමත් හැංගිලා ඉන්න අය කිහිප දෙනෙක්. හාමුදුරුවන්ගේ ගුරුකම් ආත්මය යම් යම් අවස්ථාවල ඒ අය ගැන තොරතුරු හෙළිදරව් කරනවා. ඒ වගේ එක වෙලාවක කිව්ව දෙයක් වුණේ එ් අය මේ මේ තැන්වල මේ නම්වලින් ඉන්නවා කියලා. ඒ ගැන හොයා බලන කොට ඒ කතාව ඇත්ත කියලා ඔප්පු වුණා. ඒ වගේම ඒ අයත් තමන්ගේ පරම්පරාවට අයත් බිහිරි හාමුදුරුවන් ගැන දැන ගෙනයි ඉන්නේ. ඒ වගේම තමයි බිහිරි හාමුදුරුවන්ට අදටත් ගෞරව කරමිනුයි ඉන්නේ.   
හාමුදුරුවන් ජීවත් වෙලා ඉන්න කාලෙ හාමුදුරුවන්ගේ ගුරුකමේ ප්‍රධානම ශක්තිය වුණේ හාමුදුරුන්ගේ අතේ තිබිච්ච යෂ්ටිය. හාමුදුරුවෝ මේ ගුරුකම් කළේ යෂ්ටියෙන් හින්දා මේ ගුරුකම්වලට කිව්වේ යෂ්ටියෙ ගුරුකම කියන නම. සාමාන්‍ය නම හැරමිටියේ ගුරුකමය.   

මේ යෂ්ටිය නැත්නම් හැරමිටිය හැම තිස්සෙම තියෙන්නේ අතේ. හරියටම ඒක ගොපල්ලා අතේ තියෙන කෙවිට හා සමානයි. බිහිරි හාමුදුරුවන්ගේ යෂ්ටිය හදලා තිබුණෙ රත්‍රන්වලින්. ඒ රත්‍රන් ගුරුකම්වලට සම්බන්ධ හින්දා. 


​මේ හැර මිටියෙ ගුරුකම හරි විශේෂයි. ඒ ඕනම තැනක, ඕනම වෙලාවක ගුරුකම කරන්න පුළුවන් හින්දා. මේ හැරමිටිය නැත්නම් යෂ්ටියට කවලයි තියෙන්නේ මන්ත්‍ර බලය. හැරමිටියෙ ගුරුකමට නැකැත් අවශ්‍ය නැහැ. අවශ්‍ය මන්ත්‍රය බලය කරලා තට්ටුවක් දාන්න විතරයි තියෙන්නේ. ප්‍රතිඵලය එනවා ඒ මොහොතෙදිම.   
බිහිරි හාමුදුරුවන්ගෙන් මේ ගුරුකම ඉගෙන ගන්න ලැබීමම පෙර පිනක්. හාමුදුරුවො ගුරුකම දුන්නට මන්ත්‍ර යෂ්ටිය දුන්නේ නෑ. ඒ ගැන ඇහුවම හාමුදුරුවො කිව්වෙ මෙහෙම.   
උඹ මන්ත්‍ර යෂ්ටියක් හදා ගනින්. උඹ ඉගෙන ගත්තු ගුරුකම් සාස්තරෙ පිහිටෙන්. මගේ මන්ත්‍ර යෂ්ටිය උඹට දෙන්නේ නෑ. ඒක මගේ. ඒක බලගතුයි. උඹට ඒක දරන්න බෑ.   
මේ යෂ්ටිය හදා ගන්න එක එච්චරම ලේසි නෑ. ඒකට ඕන වෙනවා හෙණ ගහපු ගහක්. ඒ ගහේ කීරක් ගන්න ඕන. ඒක නියමිත දිගට අරගෙන දෙපැත්තට පිත්තල විලි දෙකක් ගහන්න ඕන. ඊළඟට නැගෙනහිර ඉඳන් බස්නාහිරට ගින්දරක් යවන්න ඕන. ඒ ගින්දරට යෂ්ටිය අල්ල අල්ලා මන්ත්‍රයෙන් ජප කරන්න ඕන. ඒ යන ගින්දර ජප නූලක් හරහා යෂ්ටියට හිර කරන්න ඕන. ඊට පස්සේ ආපහු මතුරන්න ඕන.   

මේ යෂ්ටිය ජප කරනකොට තියෙනවා කරන්න ඕන පුද පූජා එකසිය අටක්. ඒකට ඕන වෙනවා මල් බුලත් තටුවෙ ඉඳන් හැම දෙයක්ම. පුළුටුවල ඉඳන් හැම දෙයක්ම ඕන වෙනවා. ඒ වගේම තමයි පිරිවරට කතා කරන්න ඕන. මේ පිරිවර වෙන්නෙ ගුරුකමට අධිපති යක් සේනාව. මේ යක් සේනාවට කරන ආරාධනය විශේෂයි.   
විශේෂකම වෙන්නේ නරක පැත්තේ වැඩ ටික කර ගන්න බලය කැන්දගන්න.   

මේ මොහොත වන විට බිහිරි හාමුදුරුවන්ගේ ගුරුකම් ආත්මය ක්‍රියාත්මක වෙන්නේ යක්ෂ සෙන්පතියෙක් විදියට. මෙතන යක්ෂ සේනාධිපති කියන්නේ යක්ෂයන් කොට්ඨාසයක් පාලනය කරන එකට. මේ යක්ෂ කොටසට අයිති වෙනවා එක එක වර්ගයේ යක්ෂයන්. ඒ යක්ෂයො හරි බලවත්. මේ යක්ෂයන්ගෙන් ලබන්න පුළුවන් බලවත් ආරක්ෂාවක්. ඒ වගේම කර ගන්න පුළුවන් ඕනෑම වැඩක්.   

බිහිරි හාමුදුරුවො බහුශ්‍රැත පඬිවරයෙක්. අතීත කාලෙක පිරිවෙන් අධ්‍යාපනයේ නියමුවෙක්. බිහිරි හාමුදුරුවන්ගේ කැමතිම විෂය වුණේ ගුරුකම හා ජ්‍යොතිෂ විද්‍යාව. ඒ වගේම පාලි සංස්කෘත. බිහිරි හාමුදුරුවන් අධ්‍යාපනයෙ වටිනාකම හොඳින්ම දන්න කෙනෙක්. ඒ හින්දම ඉගෙන ගන්න අය වෙනුවෙන් හරි හරියට ගුරුකම් කරපු කෙනෙක්. විශේෂයෙන්ම අධ්‍යාපනය ලබන අයගෙ පාඩම් මතක හිටින්න, ධාරණ ශක්තිය වැඩි දියුණු වෙන්න, පාඩම් මාලා වටහා ගන්න යම් යම් ගුරුකම් ප්‍රතිකර්ම කරපු කෙනෙක්. උන් වහන්සේ ගාව තිබුණා විශේෂ තෙලක්. ඒ තෙලෙන් තමයි ඉගෙන ගන්න අයට පිහිට ලබා දුන්නේ. ඒ ගුරුකම් ශාස්ත්‍රයත් ඒ තෙල් වට්ටෝරුවත් හිමි වීම ලොකු ජයග්‍රහණයක්.   
බිහිරි හාමුදුරුවන් ළඟ තිබුණු ගුරුකමක් වුණේ තෛලෝක වශිය වගේම සරස්වතී ගුරුකම. ඒ ගුරුකමේ ජීවම. මේ ජීවම හරි බලවත්. මතක ශක්තිය ඇතිවීම, ඈලි මෑලි ගතිය නැතිවීම, නුවණ පහළ වීම වගේ දේවල්වල අඩුපාඩු මගරිනවා. ලොකු විශ්වාසයක් තියෙනවා බිහිරි හාමුදුරුවන්ගේ නියමයන්ට යටත්ව විධි අනුගමනය කරමින් බිහිරි හාමුදුරුවන්ගේ යම් ගුරුකමක් නිවැරදිව කළ විට බිහිරි හාමුදුරුවන් ගුරුකම කරවා ගත් අයගේ හිතට කතා කරනවා කියලා. මේක අත්දුටු සත්‍යයක්.   
බිහිරි හාමුදුරුවො විරුද්ධයි නරක නපුර කරන අයට. කවුරු හරි නරකට, නපුරට ගුරුකමක් කරලා තිබුණොත් බිහිරි හාමුදුරුවන්ට කේන්ති යනවා. පුද්ගල තරාතිරම නොබලා ඒ වගේ අණවින කොඩිවින කපලා දානවා. බිහිරි හාමුදුරුවන් හැම තිස්සෙම කිව්වේ මනුෂ්‍යන්ට සෙත සලසන්න කියලා. මිනිසුන්ගේ දියුණුවට මර්ගය සාදා දීමට තමයි බිහිරි හාමුදුරුවන්ගේ ජීවිතේ ඇප කැප වුණේ.   
බිහිරි හාමුදුරුවන්​ ළඟ තිබුණා සුවිශේෂී ගුරුකමක්. ඒකට කිව්වේ හිමාල බන්ධනය කියන නම. මේ හිමාල බන්ධනය කියන්නේ හෙළ රාවණයන්ගේ එක්තරා ගුරුකමක්. මේ ගුරුකමෙන් කරන්නේ බැඳ දැමීමක් කොටු කිරීමක්. මේ ගුරුකම් යම් කිසි ප්‍රදේශයක් වටකර සීමා දැමීමක්. ඒ සීමාව දැමීමෙන් පස්සේ ඒ සීමාවට අදාළ කිසිම දෙයක් ඒ සීමාවෙන් පිටට ගෙනියන්න බැහැ. ඒක බන්ධනය කෙරෙනවා.   

මේ හිමාල බන්ධනයට අයිතියි කොටස් දෙකක්. එක් කොටසක් වෙන්නෙ කිසියම් වස්තුවක් ගෙන යාම වළක්වන එක. අනෙක් කොටස වෙන්නේ එම කොටසට අයත් දැනුම ඉන් පිටට ලබා දෙන්න නොහැකිවීම. මේ ගුප්ත කන්දට බිහිරි හාමුදුරුවො දමලා තියෙන්නේ. රාවණගේ ගුප්ත හිමාල බන්ධන ගුරුකම. මේ ගුරුකමට ලෝකේ ඕනම ගුරුකමක් යටයි. ඒක ඒ තරම් බලවත්. ඒ බලවත්කම කොච්චර ද කිව්වොත් මේ ඇස්දෙකට මේ දැන් පෙනෙන දේ ඊළඟ තත්ත්වයේ දී නොපෙනී යනවා.   

හාමුදුරුවන් අදටත් උන් වහන්සේගේ ගුරුකම් ආත්මයේ බැල්ම හෙළනවා මේ ගුරුකම් කන්දේ ඉඳගෙන. ඒ හැමදාම රාත්‍රී අටයි දහයට. ඒ බැල්ම හෙළන වෙලාවට හාමුදුරුවො නියම කරපු දෙයක් තියෙනවා කරන්න ඕන. ඒ හාමුදුරුවන් නියම කළ පහන දල්වන්න. දල්වන පහනේ දැල්ල හරහා එන ආලෝකයෙන් හාමුදුරුවො හාමුදුරුවන්ගේ ගුරුකම් සාස්ත්‍රයට වරම් දුන්නු අය දිහා බලනවා. දවල් කාලයේ පිහිට ඉල්ලූ අයට පිහිට වෙනවා.   

මෙතනදි මෙහෙම දෙයක් කියන්න ඕන. ඒ කෙම්මුර දවස්වලට හාමුදුරුවො වඩින්නේ නැහැ කියන කාරණය. කෙම්මුර දවස්වලට හාමුදුරුවන්ට තියෙනවා තමන් වහන්සේට නියම කරපු මිනිස් කොට්ඨාසයක් ඉන්න දිහා බලන්න. ඒ දිහා බලලා ඒ අයට පිහිට වෙන්න. ඒක හරි විශේෂ දෙයක්. ඒ දෙවියන්ට පහන් තියන මිනිස්සු දිහායි බලන්නේ. ඒ වගේ වෙලාවට දවස්වලට බිහිරි හාමුදුරුවන් කරන රාජකාරිය තමයි ඒ.   

බිහිරි හාමුදුරුවන් මේ කන්දෙයි, ගම්මානෙයි අදටත් සැරිසරන බව ඇත්ත. කෙම්මුර දවස්වලට ඒ බිහිරි හාමුදුරුවන්ගේ උපන් ගම් පළාතෙදි ගැවසෙනවා කියන අදහස ගම්මුන් අතර තියෙනවා. ඒ බිහිරි හාමුදුරුවන්ගේ රූපයට සමාන රූපයක් තියෙන ගිහි කෙනෙක් ඒ කෙම්මුර දවස්වලට ගමට ඒම හේතුවෙන්. මේ ගිහියත් ගුරුකම් කරන ගුරුන්නාන්සේ කෙනෙක්. ගම්මුන්ගේ විශ්වාසය ඒ බිහිරි හාමුදුරුවන්ගේ ගුරුකම් ආත්මය ආරූඪ ගුරුන්නාන්සේ කියලා. මේ කතාව ඇත්ත වෙන්න පුළුවන්. හේතුව මේ කතාව බිහිරි හාමුදුරුවො පුස්කොළ පොතක ලියලා තියෙනවා.   

තව විශේෂ දෙයක් වෙන්නෙ අම්පාර ප්‍රදේශයේ බිහිරි හාමුදුරුවන්ගේ උපන් ගමයි. බිහිරි හාමුදුරුවන් ගුරුකම් බලය රැඳුණු වැඩහිටි ගුරුකම් කන්දේ පරිසරයයි, ස්වභාවයයි දෙකම එක හා සමානයි. ඒ ස්ථාන දෙකම කිසියම් ගුප්ත බවක් දනවනවා. බිහිරි හාමුදුරුවන් ලියූ පුස්කොළ පොතක තියෙනවා මෙහෙම සටහනක්. 
අනාගතයේ දිනක මේ වන ගත ගුරුකම් කන්ද සහ උපන් ගම අතර සැරිසැරීමක් සිදු විය හැකියි.   
ලබන සතියට...  
අරුණඩේල් විජේරත්න
Lankadeepa

================================================
උපුටා ගැනීම් සහිතයි ....!!!
දයාබර පාථක සහෘදයිනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya

Monday, March 9, 2020

අපායට ගොස් ආපසු පැමිණි අයකුගේ සත්‍ය කතාවක්...(Apaya hell අබිරහස් අඩවිය - Abirahas Adawiya - Psychology manovidyawa)

මෙම පුද්ගලයා බොහෝ දෙනෙකු දන්නා හඳුනන අතර මම දන්නා කෙනෙකි. ඔහු දරුවන්ට කාරුණික පියෙක් වූ අතර, බිරිඳට දයාබර සැමියෙකු වූවා සේම ඥ‌ාතීන්ට යහපත් ඥ‌ාතියෙකු විය. නමුත් තරුණ වියේදී ඇසුරු කරන්නට වූ පාපී මිත්‍රයන් නිසා ඔහු තදින්ම මත්පැනට ඇබ්බැහි විය. දිවියේ මැදි වියේ පසු වුවත් බලවත්ව බීමට ඇබ්බැහි වූ ඔහුට කොතෙකුත් මත් වතුර බීමේ ආදීනව පැවසුව ද ඉන් මිදෙන්නට ඔහුට නොහැකි විය.

බිව්වොත් යන්න වෙන්නේ අපායේ ඒ නිසා බීම නවත්වන්න කියා කොතෙකුත් ඔහුගේ දරුවන් කීව ද ඔහු එය කිසිම ගණනකට ගන්නේ නැතිව දිගටම බීම කරගෙන ගියේය.

‘ඔය පොඩ්ඩක් බීව කියල අපායේ යන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ කීවේ මදපමණින් බොන්න කියල. අපි උඹලට කලින් පන්සල් ගියේ. අපිත් ඔය ධර්මය දන්නවා. මං බිව්වා කියල යුතුකම් පැහැර හරින්නේ නැහැ. අනික කාටවත් කරදරයක් කරන්නෙත් නැහැ.’ යනු ඔහු නිතර කියන කියමනකි.

බොන මිනිසුන් සුරාව මදයට පමාවට හේතුවෙනවා යන්න තේරුම් කරගෙන නැත. ඉහත සඳහන් අදහස ලංකාවේ ගැමියන් අතර බහුලව තිබෙන බව මම දනිමි. එය මොන තරම් වැරදි ද?

ඔහු නිරයට විහිළු ද කරයි.

‘හා බලා හිටපල්ලකො අපි අපායට ගිහින් යමපල්ලන්ටත් ගහලා එන්නෙ. අපිට කොහෙත් එකයි.’ ඔහු එසේ ද කියයි.
එවිට ඔහුගේ දරුවන් කටපියාගෙන පැත්තකට වෙනවා මිස වෙන කරන්නට දෙයක් ඔවුන්ට නැත.
කාලය වේගයෙන් ගෙවී යන්නට විය. ගමේ පන්සලේ ප්‍රධාන ද‌ායකයෙකු වූ ඔහුට එම වසරේ කඨින පිංකම භාර කෙරිණි. දිවා රෑ ඔහුගේ සිතේ රැඳී තිබුණේ කඨින පිංකමයි.

කඨින චීවරය හිසේ තබාගෙන හේවිසි හඬ මධ්‍යයේ මහ පෙරහරින් පන්සලට යන අන්දමත් එය තෙරුවන් උදෙසා පූජා කරන අන්දමත් ඔහුට මැවී පෙනෙන්නට විය. අගෝස්තු මාසය උද‌ා විය. කඨින පිංකමට තව ඉතිරිව ඇත්තේ සති කිහිපයක් පමණි.

හදිසියේම එක් රාත්‍රියක ඔහු බලවත්ව අසනීප විය. පපුව අල්ලමින් කෙඳිරිගාන්නට වූවේය. නිවැසියන් ඒ රාත්‍රියේම බදුල්ල රෝහලට ඇතුළත් කරන ලදී. වෛද්‍ය වාර්තා හා. ඊ.සී.ජී. වාර්තා ද අනුව රෝගය තරමක් බරපතළ බව සොයා ගත්තේය. වෛද්‍ය මතය වූයේ දින කීපයක් රෝහලේ රැඳී සිටිය යුතු බවය. තනියට ඔහුගේ සොහොයුරෙකු ද ළඟ නවත්වා අනෙක් අය එතැනින් පිට වූහ.

රාත්‍රී 2 ට පමණ ඔහු හදිසියේ අවදි වූයේ ළඟ හුන් තම සොහොයුරාගේ අත ද අල්ලා ගනිමිනි. ඇඟ සීතල වෙන බව පවසනවාත් සමගම ඇස් උඩ ගි​යේය. පපුවෙන් අමුතු ශබ්දයක් ද ආවේය. හුස්ම ගැනීම නතර විය. මූසල අනතුරක සේයා දුටු සොහොයුරා හදිසියේම වෛද්‍යවරුන් කැඳවන්නට විය. වෛද්‍යවරුන් විනාඩි 10 ක් පමණ උත්සාහ කළ ද ඔහුගෙන් යහපත් පිළිතුරක් නොලැබුණි. වෛද්‍යවරුන් උත්සාහය අතහැරියේ ‘දැන් වැඩක් නැහැ’ කියමිනි. ඥ‌ාති සොහොයුරාට මුළු ලොවම අමතක විය. තම සොහොයුරා මියගිය පුවත නිවසට දැන්විය යුතුය. දැන් ඔහු කළ යුත්තේ කුමක්දැයි කියා සිතාගත නොහැකිව දෙලොවක් අතර තනි විය.

ඒත් අසාමාන්‍ය වාසනාවක් රෝගියා සොයා පැමිණියේය. රාත්‍රී සේවයට වාර්තා කළ නවක වෛද්‍යවරියක් හදිසියේම රෝගියා වෙතට දුව ආවාය. ‘ඉක්මනට ඔය මනුස්සයාව අනික් පැත්තට පෙරළන්න.’ එම වෛද්‍යවරිය රෝගියා මුනින් අතට පෙරළුවාය. මියගියා යැයි කලින් අනුමාන කළ පුද්ගලයා කහින්නට විය. නැවත වෛද්‍ය ප්‍රතිකාර ලබා දුන්නේය. දින කීපයක් පියවි සිහිය නොමැතිව විටින් විට සිහි මුර්ජා වෙමින් සිටි ඔහු කෙමෙන් කෙමෙන් සුව අතට පත්වන්නට වුණි.

නිවසට පැමිණි ඔහු දැන් අත්භූත අමුතු කතාවක් පවසන්නට විය. අසනීපයේ වේදනාව අමතක කරමින් ඔහු කතාව ඇරඹීය.
දැන් ඇරඹෙන්නේ භෞතික කය ඇඳමත මළ ශරීරයක් සේ තිබියදී ඔහුගේ මනෝමය කය (Spiritual Body) ගමන්ගත් ආකාරයයි.

‘මගේ ඇඟ එකපාරටම සීතල වුණා. හුස්ම ගන්න අමාරු වුණා. එතකොට ම ඔක්කොම අඳුරු වුණා. පාවෙලා වාගේ අඳුරු තැනකට මාව ඇදිල ගියා. එක පාරටම කවුදෙ‌ා් යක්කු දෙන්නෙක් වාගේ භයානක පෙනුම ඇති හැඩි දැඩි ශරීර ඇති දෙන්නෙක් ඇවිත් මාව අල්ලා ගත්තා. ඒ අය ළඟ ආයුධත් තිබුණා. ඒවා නිතරම වෙනස් වෙනවා. මම කෑ ගහල දඟලන්න පටන් ගත්තා. එතකොට මගේ අත් තදින් ගැට ගහලා තවත් අඳුරු තැනකට මාව ඇදගෙන ගියා. මම ඒ බැමි ලිහාගත්තා. ලිහාගත්තාට ඒ අය නැවත මාව බඳිනවා. ඒ බැඳලා තිබූ විදිහට තාමත් මගේ අත් දෙක රිදෙනවා.’

ඔහු තම අත් පෙන්වමින් එසේ පැවසුවේ ගෙදර අය තැති ගන්වමිනි.

‘ඊට පස්සෙ මම ඇදගෙන එක පැත්තකට එක්කන් ගියා. මම කොච්චර කෑගැසුවත් කාටවත් ඒක ඇහෙන්නේ නැහැ. එතැන තව ගොඩක් අය සිටියා. මම එතැන ඉඳන් හයියෙන් කෑ ගැසුවා. මම මිනිසුන්ට කළ උදව් සිහිකර කර ගෑගැසුවා. එත් කවුරුවත් ඒවා අහන්නේ නැහැ. අන්තිමට මාව තවත් ඉස්සරහට එක්කන් ගියා. එතකොට දැක්කා ඔටුන්නක් ද‌ාගත්ත මහා ලොකු කෙනෙක්ව. එයා හරි භයානක පාටයි. එතැන මම වගේම අසරණව කෑ මොර දෙන ගොඩක් අය හිටියා.

‘ඊට පස්සේ මම හයියෙන් කෑ ගහන්න පටන් ගත්තා. මට කඨින පිංකම කරන්න යන්න දෙන්න කීවා. ඒත් කවුරුත් ඒක අහන්නේ නැහැ. හැම තැනින්ම එන්නේ විලාප හඬ’
දැන් උදව්වට කිසිවෙක් නැති බව ඔහුට තේරේ. ළඟින් සිටි පාපී මිතුරන් කිසිවෙක් දැන් නැත. කුමක් කරන්නදැයි සිත සිතා සිටින විට ඔහු නිතර සිහින මැවූ පන්සලේ කඨින පිංකම තදින්ම මතක් විය.

‘මට යන්න දීපල්ලා කඨින පිංකමට යන්න ඕනෑ. මට යන්න දීපල්ලා කඨින පිංකම මට කරන්න යන්න දීපල්ලා.
එවිට යමෙක් ඔහු ළඟට පැමිණියේය. කාරුණිකව ඔහුව ඇමතුවේය.
‘උඹ භය වෙන්න එපා. උඹ යවයි’

ඔටුණු පළන් පුද්ගලයා තමන් වගේම පැමිණි පිරිසගෙන් යමක් අහනවා දැන් ඔහුට පෙනේ. ක්‍රමයෙන් ඔහුගේ වාරය එලඹුනේය. ඉදිරියට රැගෙන ගිය ඔහු දැන් සිටින්නේ ඔටුනු පලන් පුද්ගලයා ඉදිරිපිටය.
‘මට යන්න දෙන්න. මට කඨින පිංකමට යන්න ඕනැ. අනේ මට යන්න දෙන්න...’
ඔටුනු පලන් පුද්ගලයා ඔහු අමතන්නට විය.

‘මම උඹට යන්න දෙනවා. උඹට මෙහාට එන්න තව කල් තියෙනවා. උඹ කඨින පිංකමට පලයන්. එය හොඳින් කරපන්.’ යැයි ඔහු කීවේය.
ඉන්පසු ඔහු ජීවිතයේ දකින අතිශය භයානකම දසුන දකියි. යමපල්ලන් ඔහු ඇදගෙන යන්නේ නිරය මැදින්ය.
ඔහුට දැන් ඉදිරියෙන් පෙනෙන්නේ විසල් මිනිස් පෝලිමකි. ගැහැනු ද පිරිමිද දුකින් පිරුණු මුහුණින් එහි රැඳී සිටිති. යමපල්ලන් දෙදෙනෙක් ඔවුන්ව කොටස්වලට වෙන් කරයි. ප්‍රාණ ඝාත කළ අය වෙනම වෙන් කරයි. සොරකම් කළ අය, වැරදි කාම සේවනය කළ අය, බොරු කියපු අය, මත්වතුර, මත්ද්‍රව්‍ය භාවිත කළ අය වෙන වෙනම වෙන්කරයි.
මිනිස් ලොව මිනිසුන් දුස්සීල වී කරන හපන්කම් සියල්ල මෙහි සටහන් වෙන අයුරු ඔහුට දැනෙයි. පෙනෙයි. කිසිවක් එහි සැඟවිය නොහැක. සියල්ල එහි සටහන් වී ඇති අයුරු ඔහුට දැනෙයි.

එක් එක් කාණ්ඩයට වෙන්කළ අය වෙන වෙනම දඬුවම් සඳහා ගෙන යන බව ඔහුට පෙනෙයි. යමපල්ලන් තව තවත් ඉදිරියට ඔහු රැගෙන යයි. මහා පුදුමයකි. කුඩා කල ඔහු බණට ඇසූ විසල් කටුගස් දැන් ඔහු ඉදිරියේය. භයානක කටු ඇති විසල් කටුඉඹුල් ගස් 4 ක් හෝ 5 ක් තිබුණ බව ඔහු දකියි.
එතැන ද මහා පෝලිමකි. ඒ පෝලිම තමා මිනිස් ලොව සිටියදී කරගන්නා ලද අකුසලකර්ම විඳවන්න ඇති පෝලිමකි. යමපල්ලන්ගේ ඇමතීමෙන් තමන් කැමැති වුවත් අකමැති වුවත් කටුඉඹුලේ නැගිය යුතුය.

තව තවත් ඉදිරියට ඔහු රැගෙන යයි. හැම තැනම වේළී ඇඹරී ගිය දුකින් පිරුණු මුහුණු ඔහුට දකින්නට ලැබේ. නිමක් නැති විලාප හඬ ඉවසිය නොහැක. තව තවත් ඉදිරියට යන විට රතු පාට බුබුළු ද‌ාන උතුරන වතුර ඇති ගඟක් වගේ විශාල එකක් ඔහු දකියි. එය දේවදූත සූත්‍රයේ සඳහන් ලෝකුඹු නිරය බව කිව හැක.

එහි මෙසේ සඳහන් වේ. ‘ඔහු කකුල් උඩ අතට හරවා හිස යටි අතට හරවලා හාත්පසින් ගිනි ඇවිළගත් ගිනියම් වූ ලෝකුඹු නිරයෙහි ඔබනවා. එතැනදී ඔහුගේ ශරීරය ඒ ලෝදියේ පැහෙන්නේ පෙණ ගුළියක් ඇති දේහයක් ඇතිවය. ඉදින් ඒ පෙණ ගුළියක් බඳු දේහයකින් යුතු නිරිසතා පැහි පැහී එක වතාවක් උඩට එනවා. ආයෙමත් යටට යනවා.’
එසේ නම් දැන් ඔහු පවසන්නේ මේ ලෝකුඹු නිරය විය යුතුය. තව තවත් ඉදිරියට යන ඔහුට දකින්නට ලැබෙන්නේ විරූපී වී ගිය මුහුණුය. සතර දෙසින් ඇසෙන්නේ හද කම්පා කරන විලාප හඬයි.

තවදුරටත් නිවැසියන්ට මෙසේ ඔහුගේ වචනයෙන්ම කීවේ මෙසේය. ‘මට මතකයි මම එනකොට ඒ විරූපීව වේදනාවෙන් කෑගහන අය අතරේ මගේ පරණ යාළුවෝ කිහිප දෙනෙක් හිටියා. ඒ අය දැනට ටික කාලයකට පෙර මැරිච්ච අය. අපි කා බී විනෝද වූවා වගේම හැම චණ්ඩිකමක්ම කළේ එකටයි. එයාල මැරෙන්න කලින් මොන චණ්ඩිකම් කළත් එහේදී බේරාගන්න කවුරුවත් නැහැ. දරාගන්න බැරි වේදනාවෙන් කෑමොර දෙනවා. මගේ හිතට ගොඩාක්ම අමාරු මගෙත් එක්ක එකටම හිටපු එයාල දුක් විඳිනව දැක්කාමයි. නමුත් මට කරන්න කිසිවක් නැහැ. එයාල කරපු දේවලට දුක් විඳින්න වෙන්නේ එයාලටමයි.’

ඔය විදියට ඔහුගේ කතාව නිවැසියන්ට කියන්නට වුණා. එයින් අපට පැහැදිලි වෙන්නේ මීට වසර 2600 කට පෙර අපේ ලොව්තුරා බුදු හිමියන් දේශනා කළ අපාය සත්‍යයක්ම වෙන බවය. ඔටුන්න ද‌ාගත්ත දැවැන්ත පුද්ගලයා යම රජුය. මැදුම් සගියේ දේව දූත සූත්‍රයේ නිරයේ විස්තරය ගළපන විට ඔහු ඒකාන්තයෙන්ම මනෝමය කයින් ගොස් ඇත්තේ නිරයටය. අපාය යනු එයයි.

මේ වාගේ සිද්ධි නවීන වෛද්‍යවරුන්ට වැදගත් වෙන්නේ භෞතික මරණය පමණකින් රෝගීන් මැරුණා කියා මෝචරියට දමන්නේ නැතිව නැවත මනෝමය කයින් ගොඩ එන්නට හැකියාව පවතින නිසාය. මෙම තැනැත්තා දැන් කිසිම මත්වතුර බීමක් හෝ අකුසලකර්ම කරන්නේ නැතිව ඉතා යහපත් ජීවිතයක් ගතකරයි. මෙම සිද්ධියෙන් පසු ඉතා දැහැමිව ද‌ාන, ශීල, භාවනා කරමින් දැන් කල් ගතකරන බව මා සමග පවසා ඇති අතර මිනිසුන්ගේ ගුණධර්ම දියුණු කරගැනීම සඳහා මෙම ප්‍රවෘත්තිය ලියා මිනිසුන්ට බලා ගන්නට සැලසීම යහපත් බවත් ඕනෑම වෙලාවක එය ඕනෑම කෙනෙකුට කියන්නට හැකි බවත් ඔහු ප්‍රකාශ කොට ඇත.

මා මනෝමය කය පිළිබඳ කතා කරන්නේ එසේ සිදුවෙන සිද්ධි තුළින් අපේ අකුසලයන් නැතිකර ගැනීමට උපකාරයක් වෙන නිසාය. අද සමාජයේ වැඩිහිටියන් වැරදි වැඩ, පස් පව් කරන්​නේ ඇයි? මේවායේ ආදීනව හරියට ඇඟට කා වැදී නැති නිසාය. ඒ නිසා අධ්‍යාපනය කරන පෙර පාසල් අවදියේ පටන් විශ්වවිද්‍යාල අධ්‍යාපනය දක්වා මුළු හිතින්ම පවක් නොකරන්නට ළමුන්ට මෙවැනි සිද්ධි තුළින් පවට බය ඇති කළ යුතුය.

බටහිර අධ්‍යාපන දර්ශනයෙන් භෞතික දියුණුව ඇති කළාට ආධ්‍යාත්මික දියුණුව ඇතිකරන්නට නම් අපට මෙම දහම, දිවියට ඇතුළත් කරගත යුතුමය. එබැවින් අධ්‍යාපන බලධාරීන්ගේ අවධානය මේවාට යොමු වේවා යැයි පතන්නේ අල්ලස, දූෂණය, වංචාව, කාම අපරාධ ඇතිවෙන්නේ මෙවැනි දේට කුඩා කල සිට බියක් ඇති නොවීම නිසාය. කර්මය හා විපාකය ගැන මීට වඩා සිසුන් මෙන්ම වැඩිහිටියන් ද සැලකිලිමත් විය යුතුය.

ඒවා සත්‍ය සිදුවීම් ඇසුරින් විස්තර කිරීමට මම ඕනෑම වෙලාවක සූද‌ානම් බව ද මතක් කර සිටිමි.
lankadeepa
================================================
උපුටා ගැනීම් සහිතයි ....!!! 
දයාබර පාථක සහෘදයිනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya 

Friday, February 28, 2020

බහිරව පූජාවේ ඇත්ත කතාව මෙන්න - රජවරු මේ පූජාව කළේ මිනිස් බිල්ලක් අරගෙන.....(Nidhan bahirawaya අබිරහස් අඩවිය - Abirahas Adawiya - ශාස්ත්‍රීය ළිපි)

එදා බහිරව මිනිස් බිල්ල මරණයට කැප වූ  හිරකරුවෙක්
පොළොව හිමි වන්නේ හෝ ආරක්‍ෂා කරන්නේ පොළොවට අරක්ගත් බහිරවයාය. එනම් බහිරවයා ඇතිවෙන්නෙ කෙසේද? ග‍්‍රහකිරණ වශයෙන් සලකාබලන කළ සමහර ජ්‍යොතිෂවේදීන්ගේ මතය වනුයේ පොළව අයිතිවන්නේ අ`ගහරුවාට බවය. නමුත් වැඩි දෙනෙකුගේ අදහස වන්නේ පොළොවට අයිතිකාරයා කේතා නොහොත් බඹ පුත්ය. කවුරු අයිතිකම් පැවැත්වුවත් අපි මේ පොළොව ගැණ යමක් ධාරණය කර ගනිමු. මිනිසුන් බහිරව පූජා පවත්වති. ශාන්තිය ලබති. නමුත් පුණි බහිරවයා ගැණ කරුණු නොදනිති. බහිරවයෝ ගැන ගුප්තවේදීන් අධිධාරණය කරති. බහිරවයෝ අට දෙනෙක් ගැන සඳහන් කරයි. අශ්ට බහිරව පූජාද පවත්වති. නමුත් ඒ ආකාශය හා පාතාලය බාර බහිරවයන් හැරය. ඔවුන් දෙදෙන සමග සම්පූර්ණයෙන් බහිරවයෝ දස දෙනෙකි. එනම් නික්කංඩ, ථූල, උග‍්‍ර, උච්චාටන, තාලරාක්‍ෂ, ආධි, අහාසී, සංඛ, සත්ති හා අෂ්ට යන්නයි. මින් අවසාන බහිරවයෝ දෙදෙන එනම් සන්ති ආකාශයටද අෂ්ට පාතාලයද භාරව ක‍්‍රියා කරයි.

මූලික වශයෙන් පාතාල බහිරව නැතහොත් අෂ්ට බහිරව නැතහොත් භූමි බහිරව සහ නිධන් බහිරව යනුවෙන් දෙවර්ගයකි. පාතාල බහිරවයා යනු පාතාලයට එනම් භූමියට අධිගෘහිත වු බලවේගයකි. බුද්ධ සාසනය හා ශ‍්‍රී ලංකාව, විෂ්ණු දෙවිඳුන්ට අයත් මෙන් පොළොව අයත් වන්නේ පාතාල බහිරවයාටය. බහිරවයෝ ඇතිවන්නේ කෙසේද? අපගේ ස්වාමිත්වයේ ඇති සියලූම වස්තූන් එනම් රන් රිදී යකඩ මිනිමුතු වැනි වටිනා වස්තු ප‍්‍රථමයෙන් පෘතුවියෙන් ලැබූ ඒවා බව අපට රහසක් නොවේ. මේවා පොළොවෙන් ලබාගෙන ඔපමට්ටම් කර තාවකාලික වශයෙන් ප‍්‍රයෝජනයට ගනු ලැබුවත් නියම හිමිකරුවා පොළොවය. එනම් පොළෝ මහී කාන්තාවටය. කුමන හෝ යමෙක් මේ පොළොවේ ජීවත්වේ නම් ඔහු ඒ විශ්වය පාතාලය වෙනුවෙන් කිසියම් කොටසක් පූජාකළ යුතුය. විශ්වයෙහි ජීවත්වනවා නම් ජීවය සඳහා යම්කිසි ගසක් වැලක් උත්පාදනය කළ යුතුමය. ගස්වැල් වැවිය යුතුමය.

විශ්වයේ උපන් හැමදෙනා ගස්වැල් වැවිය යුතුමය. ඒ විශ්වයේ පැවැත්ම සඳහාය. එසේ නොකළ හොත් විශ්වය කාන්තාරයක් වී ජීවියා මරණයට පත්වේ. මෙසේ ගස්වැල් නොවැවීමෙන් උත්තර ධ‍්‍රැවයේ හා දක්‍ෂිණ ධ‍්‍රැවයේ ඝණත්වය අඩුවී මනුෂ්‍යාගේ ජීවත්වීමට මහත් තර්ජනයක් කරයි. විශ්වය රැුක ගැනීම ඉදිරි පරම්පරාවේ විමුක්තිය සඳහාම වේ. මෙම පොළොව අපට මෙන්ම සතුන්ටද ඇසට නොපෙනෙන පේ‍්‍රත, භූත, යක්‍ෂ, ගෙවල වැනි අමනුෂ්‍යයන්ටද එක හා සමාන අයිතියක් ඇත. වන සතුන් කිසිදිනෙක වනය විනාශ නොකරයි. පේ‍්‍රත, භූත, වැනි අය අන්‍යයන්ගෙන් යැපේ, යක්‍ෂ ආදින් නියෝගවලට අනුව ජීවත්වේ. මේ හැමදෙනටම වඩා කල්පනා ශක්තිය ඇති මිනිසා සර්වභක්ෂික ලෙස විශ්වය ප‍්‍රයෝජනයට රැුගෙන විශ්වය රැුකීමට කරන ක‍්‍රියා අඩුය. මේ විශ්වය තුළ පවතින ආපෝ තේජෝ වායෝ පඨවි ආකාශ තුළින් පාතාලයේ එනම් පොළොවේ උගත් මිනිහා ජීවත්වේ. මෙම මිනිසා පොලොව මත යම් ගොඩනැගිල්ලක් ගසක් වැවීමේදී හෝ ව්‍යාපාරයක් ඇරඹීමේදී කිසියම් අය බද්දක් වැනි දෙයක් කැපකළ යුතුය. බහිරවරයා පුද පූජා අපේක්‍ෂාවෙන් මේ පොළොව රකී ඕනෑම දෙයක් ඇති කරන්නේ මහබඹාය. රකින්නේ විෂ්ණු දෙවියාය විනාශ කරන්නේ ඊශ්වරයාය. ඒ මතයකි. කරුණු එසේ තිබියදී බහිරව පූජාවලදී පළමුවෙන් ඊශ්වර තටුව තනන්නේ එහෙයිනි. ඊළ`ගට අශ්ට මහා බහිරව දොලය. ආකාසයට පොළොවට වෙනමම පූජා තැබිය යුතුය. ඊළ`ගට පේ‍්‍රත තටුව සකස් කරනු ලැබේ. මේ පේ‍්‍රත තටුව සැකැසීමේදී විශේෂයෙන් අහිකුංඨික ක‍්‍රමයට දණහිසෙන් පහළ ප‍්‍රමාණයෙන් අවශ්‍ය තැන්වලට ගෙනයාමට හැකිවනසේ එම තටුව තැනිය යුත්තේය. ඒ පේ‍්‍රතයා වෙනුවෙනි.

මෙසේ පේ‍්‍රත තටුව මේ ආකාරයට තැනිය යුත්තේ මන්දැයි පැනනගින ප‍්‍රශ්නයකි. සමහර පේ‍්‍රත බලවේගවලට පේ‍්‍රත තටුව ඇති ස්ථානයට ඒමට නොහැකිය. ඒ පිං මදි කම නිසාය. සියලූම ස්ථානවලට හා උයන ස්ථානයේදී පේ‍්‍රතයා බලවත් නම් හෝ පවතිනවා නම් එතැනින් නික්මීමට පිං මදි කමක් ඇතිවිය හැක. එම නිසා පේ‍්‍රත තටුව හැම ස්ථානයකටම ගෙන යා යුතුය. මසේ හරියාකාරව කටයුතු කර නිම කරන බහිරව පූජාවෙන් පසු එම භූමිය තුළ ඇති සියලූම ව්‍යාපාර ගේදොර ඉඩකඩම්වල කිසිදු කරදරයකින් තොර දියුණුව සමගිය ළ`ගාවීම සිදුවේ.

නිධන් බහිරවායා හා නිධන් බහිරව පුජා මීට හාත්පසින්ම වෙනස් සංකල්පයකි. එකල රාජභාණ්ඩාගාරයේ රන්රිදී මුතුමැණික් වටිනා ද්‍රව්‍ය ගබඩා කර තිබු බව නොරහසකි. ඒවා මුලින් සඳහන් කළ පරිදි පොළොවෙන් මතු වූ දේවල්ය. එම සියලූම වටිනා භාණ්ඩ රාජභාණ්ඩාගාරයේ ගබඩා කළ නමුත් අලූතින් සාදන ලද දාගැබේ වෙහෙර විහාර වල ධාතු ගර්භයේ හෝ පිළිම තුළ හෝ යම්කිසි ස්ථානයක ඉතා ආරක්‍ෂිත වන සේ තැන්පත් කිරීම රජතුමාගේ එක් රාජකාර්යයක් වන්නේය. වර්තමානයේදී එසේ කරන බව පැහැදිලි කරුණකි. ධාතු නිධන් කිරීම යනුවෙන් කරන්නේද එයමය.

පුරාණ රජ කාලයේ මරණීය දණ්ඩනයට ලක්වූ පුද්ගලයා, සතියක් මාසයක් හෝ රජතුමා නියම කරන දිනයට හිසගසා දමා මරණය සිදුකළ යුතුය. විධානය දුන් දිනයේ සිට මරණය සිදු කරන දිනය දක්වා මෙම මරණකරුට රජ බොජුන් දීම කරනු ඇත. මරණය සිදුකරන දිනයේ සුපුරුදු ආකාරයට වදමල් එල්ලා මිනිගෙඩි සොලවා මිනි ආභරණ අන්දවා අවශ්‍ය තැනට කැඳවා යනු ලැබේ.

රජතුමාට නිධන් කිරීමට අවශ්‍ය වටිනා භාණ්ඩ මේ මරණකරුට පෙන්වා ඒ ඔහුට බාර ගැනීමට අණකරයි. කාට හෝ දිය යුතුනම් ඒ ක‍්‍රමයද දන්වා සිටියි. එවිට මරණ කරුට මේ රන්රිදී වටිනා භාණ්ඩ ගැන දැඩි තෘෂ්ණාවක් උපද්දවා චුති චිත්තයේ මේ අසීමිත තෘෂ්ණාව රඳවා මරණය සිදුකරනු ලැබේ. මරණකරුගේ චුති චිත්තය මෙම නිධන් කරන භාණ්ඩවලට දැඩි තෘෂ්ණාව උපද්දවා ගත් හෙයින් මරණකරුගේ මීළ`ග උත්පත්තිය මෙම නිධානය රැකීමට බහිරවයෙක් ලෙස උත්පත්තිය ලැබීමයි. මේ සියල්ල නිධන්වඳුලේ සඳහන් කරයි. මෙම ආකාරයට නොවන වෙනත් කිසිම ආකාරයකට මෙම නිධානය ගැනීමට උත්සාහ කරන සැම දෙනාටම මේ බහිරවායෙගෙන් ලැබෙන්නේ මරණයයි ඒ නිධන් බහිරවායා ඇතිවූ හා නිධානය ආරක්‍ෂා කිරීමේ වතගොතයි.

මීපේගණිතගේ රන්ජිත් විද්‍යාරත්න
divaina
================================================
උපුටා ගැනීම් සහිතයි ....!!! 
දයාබර පාථක සහෘදයිනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya 

Monday, February 24, 2020

නිධාන රකින, ගිලින බහිරවයෝ......(Nishan bahirawaya අබිරහස් අඩවිය - Abirahas Adawiya - ශාස්ත්‍රීය ළිපි)

වැව් බැඳි අඩවිය පුරා වසංගතයක් වගේ නිධාන් හෑරීම පසුගියදා සිදු වූවේය. හයි හත්තිය ඇත්තෝ ද නැති බැරි ඇත්තෝ ද පංගුකරුවෝය. ලැබුණ ඔත්තු පණිවුඩවලට අල්ලන්ඩ ගියාම මළ බුලත් තට්ටුවක්, හාරණ අවි ආයුධ ටිකක්, හෑරූ වළක්, කලාතුරකින් මඟ හැර දුවගන්ඩ බැරිවුණු කුලී වැඩකාරයෙක් අත්අඩංගුවට පත්වුණේය. මේ කාරිය කරන අයට ‍අපේ ඇත්තන් නම් පටබැන්ඳේ “බහිරවයන්” කියාමය. ර‍ටේ ධන ‍දේපළ වස්තුව කොල්ලකන පහත් වැඩ කරන්නන්ටද “බහිරව‍”යෝයයි බණිති. අපේ ගම්ගොඩේ කෙනෙකු නොකළ යුතු දෙයක් කරගත්විට, අවනම්බුව ට පත්වුණ විටක “ඕකට බහිරවයා” ඇද වුණාවත් දැයි අසයි. ඒ කියන්නේ බහිරවගෙන් වැරැද්දට දඬුවම් ලැබීම ස්ථිර බවයි.

රිටිගල පාමුල පොතු වැවේ රාජමහ අම්මාදේවි පැන් පහසුවුණ පොකුණ ඉසව්වේ ගල මත නිධන් (ලකුණු) තිබූ තැනක් හාරන්ට ගිය කට්ටියද පැන දිව්වේය. බහිරව මුත්තාගේ බලයෙන් එසේ එම කාරිය වැළකුණා යැයි ගම්මු පවසති. “බහිරව” කථා බොහෝ අසා ඇති නිසා මඳක් උන්දෑ කවුදැයි නිධන් හාරණ බහිරවයන්ට මතක්කර දීම වටීය.

අපේ ගම්වල යක්කුන් දේවතාවුන් ඥාතිත්වයට පත් කර හඳුන්වන්නේ ඒ තරම්ම තම ජීවිතයට උදව් උපකාර ලබා දෙනවා යයි පවතින විශ්වාසය නිසාය. “බහිරව” (පාතාලය) මිහිකත් අම්මාගේ භාරකරුය. ඒ නිසාම “බහිරව මුත්තා” යයි කියති. බහිරව උත්පත්ති කථා මාලාවක්ම පවතියි. ඒවායේ විවිධ බහිරවයෝ හමුවෙයි. අෂ්ඨ බහිරව උපත කපුරාල අත්තා කියා දුන්නේ මේ කවි රාගත් කියා පාමින්ය.

“අට දවසට එන සුළඟට බිඳුණේ වම් පාද පෙණේ 
පිට පිට එන සුළඟට පෙණ කිරිමුහුදේ ගොස් වැටුණේ 
වැටුන එපෙන පත්‍ර කඩින් පත්‍ර කාලිදෙවි මැවුණේ 
වට ඉසුනු උරිරු වලින් “බහිරව අට දෙන” මැවුණේ”

මහකෙළ නා රජු වාතමේඝ රජු හා උරණව සටන් වැදුණ තැනේදී වාතමේඝ මහාකෙළ නා රජුගේ වම් පෙණය කිරි මුහුදට වැටෙන්නට පහරක් ගැසීය. එදා පෙණය කැඩී විසිවුණ ලේ බින්දු අටෙන් ස්වස්චන්ද්‍රරාජ, ලම්බි තරාජ, දේවරාජ, උග්‍රරාජ, යමරාජ, විද්‍යාරාජ, කාමරාජ, නාගරාජ යන නම් ඇතිව අෂ්ට බහිරව පහළ වී යයි මෙතැන කියවුණි. වෙනත් නම්වලින්ද අෂ්ට බහිරව නම් කරනවාය. අනුරාධපුර අභය ගිරි විහාරයේ ශංක හා පද්ම බහිරවයන් වහන්සේලා විහාරය ඉදිකරවීමට හරස්වී පසුව වළගම්බා රජුගේ බලවත් ඉල්ලීමට එකඟ වී විහාරය ඉදිකරවීමට උදව් කර අද දක්වාම විහාරය වැසියොත් රැකගන්නා බව ද කියවේ. රජයේ උසාවි තීන්දු අනුව දිවුරුම් දෙන්නේ උන්වහන්සේලා ඉදිරිපිටය. උන්වහ්සේලා යුක්තියත්, දඬුවමත් නිසි ලෙස ලබා දෙති. කපුරාල අත්තාගේ දේව කන්නලව්වේ අෂ්ට බහිරව, දශවිධ බහිරව, සූවිසිබහිරව, සූසැට බහිරව මිඩංගු කරන තැනේදී ශංඛය පද්මය, ගණනාථය, නීල කණ්ඨය, ප්‍රේතාක්ෂය, විශ්වරූපය, පරමය, අග්‍රරූපය, පරම රූපය, මර්තාන්ඩය, ක්ෂේත්‍රපාල, විසාපහර, ගධාධර, උග්‍රය, කාල රාක්ෂය, සන්නි, සූර, චිත්‍ර, රාක්ෂ උට්ඨාන, නාගතා ආදි බොහෝ බහිරවයන් ගැන ද කියයි. බහිරව විවිධ අවතාර වී කටයුතු කරන අතර තවත් යක්ෂයින් හා දෙවිවරු බහිරව වී තෙද පාන බවද ජයසිරිමා හාමුදුරුවන්ට මුර බාර වූ කළු දේවතාබණ්ඩාර දේව වරුණාවකින් ද මෙසේ කියවෙයි.

“ඔබිනා නිල්වරල ගොතා රං වේවැල කැරකෙන රුව 
බඳිනා කරවට මිණි බැඳි මල් තවඩං කැර කෙනරුව 
විඳිනා හෙන පුපුරු විදුලි ධූම සැරය වැනි තෙද ලොව 
වඩිනා රඟබල උදාර කළුදෙවතා “මහ බහිරව”

මැදවච්චිය කඩවත් කෝරලයේ බහිරවට “බැරැන්ඩි” දෙවියෝ යයි ද කියති. ඉතින් මේ ලෝක ධාතුවේ ආතාලේ පාතලේ මහ පොළවේ, සාගර පතුලේ ඇතිවන්නා වූ පද්මරාග, වජ්‍රවීදාම, ගෝමේධ, ඉන්ද්‍රනීල, පුෂ්පරාග, වෛධූර්ය, මරකත ආදි කොට ගත් මාණික්‍ය රත්නයන් ද, සියලු රන්, රිදී, යකඩ, පස්ලෝ, පස්, වැලි, මිනිරන් ආදි සකල විධ අනේක ප්‍රකාර වූ භූතල වස්තූන් ද ආරක්ෂා කොට සුරක්ෂිත ‍කිරීම බහිරව මුත්තලාගේ රාජකාරියයි. යක්ෂ දේව රූපදෙකින්ම බහිරව මුත්තා පෙනී සිටිමින් පෙති පිළිම, රැකගන්නා බවද කියවේ. ශාන්ති කර්ම, දේව කාරී ඉටුකරන අවස්ථාවල ඒවා දැක බලා බාර ගැනීමට මනුෂ්‍ය වේශයට ද පත්වෙයි. අතක කගයක් (කඩුවක) ද අතක කුසලානයක් ද දරා සිටිමින් මහා සුනඛයකු පිටේ නැගී ගමන් කරයි. යක්ෂ භූත රූප මවා භය කිරීමත් ඊට අඩංගු නොවේ නම් බෙල්ල කරකවා බිඳ, මරණයට ද පත් කරයි.

බහිරව මුත්තලාගේ වැඩකාරයෝ වියතක් උස ‍මිනිස් රූපකාර පාතාල සත්වයින්ය. ලක්ෂ ගණන් මේ ඇත්තෝ භූගත වස්තු රැක ගනිමින්, පොළොව යට සිටිති. හාරන විට නොපෙනී නිධාන පොළෝ පතුලට ඇදගෙනයයි. භූමියේ ශුභ කටයුතු අරඹන විට බහිරව පූජාදී වරම් ගන්නා ඇදුරන් වියතක් ගැඹුරු කොටුවක පූජා තබන්නේද පාතාලයින්ට පහසු වීමටය. “වාමන” නමින් ද හැඳින්වෙයි.

“කං කං යසෝකං ත්‍රෛලෝඛ්‍යං - මම හර තුභයං ශ්‍රී භෛරවාං ක්ෂෙත්‍රපාලං නමාමි” බහිරව අෂ්ටකවලින් එතුමන් භූමිපාලක බව කියවේ. පොළොවේ ඇතැම් වස්තු පෙනී තමන්ට යා නොදී නොපෙනි ගිය අවස්ථා ගැන සැබෑ කථා කොතෙක්වත් අපේ ගම්වලින් ඇසෙයි.

නිධාන්වලින් ලැබුණ මසුරන්, මරංචිවලට තණ්හාධික ඇත්තන් රජරටට පැමිණ රැවටෙන අවස්ථා එමටය. මේ සතියේ ද එබඳු රැවටීමක් කිරීමටගත් උත්සාහයක් ආපිට කැරකි නගර මධ්‍යයේ නැගෙනහිර නුවර ගම් පළාත් ලේකම්කාර්යාලය ළඟදී අත්අඩංගුවට පත්වීය.

පොළොවේ හැම තැනකම නිධාන් නැත. පෙති පිළිමවල කොහොමටත් නැත. තණ්හාධික මුග්ධයනි අපේ වටිනා පුරාවස්තු හානි පත් නොකරව්. ඇති නිධාන්ද උරමකාරයාට පහළ වනවා මිස හාරමින් වටිනා දේ ද විනාශ නොකළ යුතුයි. අපේ මුතුන් මිත්තන් වස්තුව යුද කාලයන්හී ද සතුරන්ගෙන් බේරාගැනීමට ද ගල්කෝවක වැළලු අවස්ථා හමුවේ. ජනශ්‍රැතියට අනුව මහා නිධාන් කිරීමේදී වස්තුවට අධික ආශා ඇති අයකු සමඟ නිධානය වළලන්ට යයි ඔහුට වළට දැමූ වස්තුවෙන් ටිකක් ගන්ට කියයි. ආශා අධිකයා පාත් වන විට හිස ගසා දමයි. වස්තු ආශාවෙන් මිය යන ඔහු සදාකාලික මිය උපන් පාතාල යකෙකුව එය රැකගනී.

අපේ ගුරුකම් ශාස්ත්‍ර ඇත්තන් උත්තරා, වරුණා, ඉන්ද්‍රා ආදී අට දිසාවට අරක් ගත් බහිරව අට දෙනද ඊටම ආතාල (අහස) පාතාල (පොළව) එකතු කර “දස බහිරවද” හදාගෙන ඇත. මන්තර ඇත්තන් “කාල, මුර්තු රාජ, ක්‍රෝධ, බිම්භ, භූත, ඔඩ්ඩි, දිෂ්ටි, ආතාල, පතාල යයි තවත් දසබහිරව කට්ටලයක් භාවිත කරයි. නවකුණ්ඩ රාජයා නමැති මන්ත්‍ර ශාස්ත්‍රයේ මුදුනතෙහි “දිව්‍ය දේවාති අංගුලිනාම බහිරවී, අමාබහිරවී, ප්‍රකටක වීර ගෝර බහිරවී, බහිරව දේවි, බහිරව රාක්ෂි” වශයෙන් තවත් කොටසක් දැක්වේ. දේවපුරාණයේ දේවතා පස්දෙනා කට්ටු (කාණ්ඩ) කීපයක් කඩවර, කම්බිලි, කළුදේවතා ගුරුමා, සහ බහිරව ආදී වශයෙන් ඇත. හැම කාණ්ඩයකම බහිරව ඇතුළත්වීම ද විශේෂයකි.

අපේ පුරාවිද්‍යාත්මක, ආගමික හා සාමාජික වටිනාකම් ඇති වස්තු බහිරවයන්ටත් ආරක්ෂා කර ගැනීමට නොහැකි නම් දැඩි ක්‍රියාමාර්ගවලට අවතීර්ණව මේ වටිනා වස්තු රැකදීමට බලධරයන්ට හැකි වේවායි පතන්නෙමු.

මාමිනියාවේ ඉලංගසිංහ
silumina
================================================
උපුටා ගැනීම් සහිතයි ....!!! 
දයාබර පාථක සහෘදයිනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya