Thursday, September 29, 2016

මරණයට පෙර එන නිල් පැහැ ආලෝකයක් ගැන හෙළිවෙයි...(අබිරහස් අඩවිය - Abirahas Adawiya - very death)



ප්‍රාණය නිරුද්ධවී සකල ශරීරය දරඳඬු වී කුණු වීම ඇරැඹෙන මොහොතට අපි මරණය යෑයි කියමු. මරණය ජීවියකුගේ සිරුර ක්‍රමානුකූල ලෙස වෙළා ගන්නා හැටි පසුගියදා බ්‍රිතාන්‍ය ජාතික විද්‍යාඥ පිරිසක්‌ අධ්‍යයනය කළහ. ඔවුන්ගේ පර්යේෂණයට ලක්‌ කෙරුණු ජීවියා පණුවෙකි. ඒ සතා වෙත මරණය පමුණුවන ලද්දේ පෙරකී විද්‍යාඥයන් පිරිස විසිනි. මරණය පණුවාගේ සිරුරට වැද පියවරින් පියවර සෛලයෙන් සෛලය ආක්‍රමණය කරමින් ක්‍රියාත්මක වන හැටි විද්‍යාඥ පිරිස රූපගත කළහ. මෙහිදී විද්‍යාඥයන්ට හැඟී ගිය වැදගත් කාරණයක්‌ වූයේ ශරීරය තුළ මරණය ආරම්භ කරමින් එක්‌ සෛලයක්‌ මියගිය විට එයට යාබදව ඇති අනෙක්‌ සෛලයද මිය යන බවය. මෙය දාම ක්‍රියාවලියක්‌ මෙන් ක්‍රමානුකූලව ශරීරය පුරා පැතිර යයි. සැලකිය යුතු සෛල ප්‍රමාණයක්‌ මියගිය විට මරණය කිසිසේත්ම වළක්‌වාලීමට බැරි ලෙස සිරුර පුරාම විහිදෙයි. එය රසායනික ප්‍රතික්‍රියාවකි. මේ මගින් සෛලවල අභ්‍යන්තර කොටස්‌ කැඩී බිඳී අණුක සුන්බුන් (MOLECULAR DEBRIS) පමණක්‌ ඉතිරිවෙයි.
සෛලමය ක්‍රියාවලියකදී මෙසේ අණුක සුන්බුන් පමණක්‌ ඉතිරිවන ලෙස සෛල කැඩී බිඳී යැම විද්‍යාඥයන් ශාක ආධාරයෙන් හඳුනාගෙන තිබිණ. එහෙත් ශාක නොවන සත්ත්ව ජීවය විසින් මරණය වැළඳ ගන්නා ආකාරය විද්‍යාඥයන් මීට පෙර දැක තිබුණේ නැත.
පණුවකු තුළ මරණය පැතිර යන ආකාරය අන්වීක්‍ෂයක්‌ මගින් ඉතා පහසුවෙන් දැක ගත හැකිය. එය නිල් පැහැති ෆ්ලුවොරසන්ට්‌ එළියක්‌ ගමන් කරන ආකාරයෙන් පණුවාගේ ශරීරය වසාගෙන ගමන් කරයි. මහළු වියට පත් පුද්ගලයකුගේ ශරීරයෙහි සෛල දුර්වල බැවින් මරණය ආරම්භ වී සෛල කැඩී බිඳී අණුක සුන්බුන් බවට පත්වීම පටන් ගත් විට එම ක්‍රියාවලිය කිසි සේත්ම නැවැත්විය නොහැකිය.
මරණයේ නිල් පැහැති එළිය ගැන විද්‍යාඥයන්ට පූර්ව අර්ථ කථනයක්‌ තිබිණ. වියපත් වූ සෛල කැඩී බිඳී යන විට රසායනික ක්‍රියාවලියකින් උපදින මේ ආලෝකය විහිදෙන බව ඔවුහු දැන සිටියහ. මෙම ආලෝකයට හේතුව Lipofuscin (ලයිපොෆියුසින්) නමැති සංඝටකය බව විද්‍යාඥයන්ගේ පූර්වකාලීන නිගමනය විය. එහෙත් අලුත්ම සොයා ගැනීම වන්නේ එම සංඝටකය anthralinic (ඇන්ත්‍රලිනික්‌) නමැති ආම්ලික අණුවක්‌ බවය.
කෙසේ වුවද වැඩි කලක්‌ ජීවත් වීමට අපේක්‍ෂා කරන අය ඒ සඳහා ඇන්ත්‍රලිනික්‌ අනුව මර්දනය කළ යුතු බව විද්‍යාඥයන්ගේ මතය වේ. ඇන්ත්‍රලිනික්‌ අණුව මර්දනය කිරීම දිගින් දිගටම කළ හැකිනම් එතැන් සිට පටන් ගන්නේ සදාකාලික ජීවනය පිළිබඳ කතාවය.
බ්‍රිතාන්‍යයේ Wellcome trust and Biological Science Research Council ආයතනය කළ පර්යේෂණ වාර්තාවක්‌ අනුසාරයෙන් සැකසිණ.
උපුටා ගැනීම් සහිතයි ....ප්‍රිය මිතුරු මිතුරියනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya 


No comments:

Post a Comment