Thursday, September 22, 2016

ගති සිරිත් ආකල්ප හා චර්යා...(අබිරහස් අඩවිය - Abirahas Adawiya ..Psychology manovidyawa cbr)


සාමාන්‍ය ජීවිතයේදී මනෝවිද්‍යාව ඉතා ප්‍රයෝජනවත් උපකරණයක්‌ වේ. කිසියම් උපකරණයකින් ප්‍රයෝජනය ගතහැක්‌කේ එකී උපකරණය ක්‍රියාකරන ආකාරය නිසියාකාරව දැනගෙන සිටින්නේ නම් පමණි. මනෝවිද්‍යාව පිළිබඳ වුවද මෙය එක ලෙසම සත්‍ය කරුණකි. මනෝවිද්‍යාව කෙතරම් ප්‍රයෝජනවත් උපකරණයක්‌ වුවද ඒ පිළිබඳ මඳ දැනුමක්‌වත් නොමැති නම් ඉන් ප්‍රයෝජන ගැනීම අසීරුය. බොහෝ දෙනකු සිතා සිටින පරිදි මනෝවිද්‍යා යනු ගුප්ත අසාමාන්‍ය වූ දෙයක්‌ නොවේ. එය විද්‍යාත්මක චින්තනයක්‌ මත ගොඩනැඟුණු තවත් එක්‌ විෂයක්‌ පමණි. තවත් බොහෝ විෂයවල පිහිට මනෝවිද්‍යා විෂය සංවර්ධනය පිණිස ආධාර වී තිබේ. වෙනත් විෂයන් අරබයා මෙන්ම මනෝවිද්‍යාව අරබයා ද ඒ කරුණ සර්ව සාධාරණය. බොහෝ දෙනකුට නොදැනුවත්වම සිය ජීවිතයේ විවිධ කරුණුවලදී මනෝවිද්‍යාවේ පිහිට ලබාගැනීමට සිදුවේ. බොහෝ විට සමාජයේ පවතින දුර්මතයක්‌ වනුයේ මනෝවිද්‍යාව ඇත්තේ මානසික රෝගීන් පිළිබඳව අධ්‍යයනය කිරීමට පමණක්‌ යෑයි කියාය. එය වැරදි ආකල්පයකි. සායනික මනෝවිද්‍යාව සමස්‌ත මනෝවිද්‍යාවේ අංගයක්‌ පමණි. රෝග හා චිකිත්සා පිළිබඳ සඳහන් වනුයේ සායනික මනෝවිද්‍යාව තුළය. එයද ඉතා ගැඹුරු විෂයකි. වෛද්‍ය විද්‍යාව වෛද්‍ය විද්‍යා පීඨයන්හි හදාරන විද්‍යාර්ථීන් අතරින් දක්‍ෂතම කොටසට පමණක්‌ හිමිවන සුවිශේෂී වරමක්‌ සේ මනෝවිද්‍යාව අධ්‍යයනයට ලැබෙන අවස්‌ථාව නම් කළ හැක. මනෝවිද්‍යාව සියුම් විෂයක්‌ වුවද රසවත්ය. එය ත්‍රිපිටකයේ අභිධර්මය මෙනි.
මිනිස්‌ චර්යාව පිළිබඳ අධ්‍යයනයේදී සාමාන්‍ය මනෝවිද්‍යාවේ සඳහන් සංජානන ලක්‍ෂණය ඉතා වැදගත්ය. ඒ මානව චර්යාවට අදාළ බොහෝ ලක්‍ෂණ විද්‍යාත්මකව විග්‍රහ කරන බැවිනි. අද ලෝකයේ බොහෝ රටවල මේ න්‍යාය විවිධ ක්‍ෂේත්‍රවල දියුණුව සඳහා උපයෝගී කර ගනී. සංවර්ධන සැලසුම් පිළියෙල කිරීමේදී මෙන්ම උපාය මාර්ග අනුව සම්පත් කළමනාකරණය කිරීමේදී සංජානන න්‍යාය වැදගත් මෙහෙයක්‌ ඉටුකරනු ලබයි. සංජානන න්‍යාය විවිධ පැතිකඩ ඔස්‌සේ සංවර්ධනය වී තිබේ. මානුෂිකවාදී ආකල්ප හා චර්යා ඔස්‌සේ ද සංජානන න්‍යාය ඉදිරිපත් කර ඇත. නූතන වෙළඳ දැන්වීම් කලාවට පවා මනෝවිද්‍යා න්‍යාය භාවිතා කෙරේ. මැතිවරණ කාලයේදී විවිධ අපේක්‍ෂකයන්ගේ ප්‍රචාරක උපක්‍රම දිශාගත කරවිය යුතු සීමාවන් තීරණය කිරීමේදී හා ඒ අනුව හැසිරවීමේදී මනෝවිද්‍යා න්‍යාය අනුව උපදේශනය කෙරේ. වෘත්තීය මට්‌ටමින් මේ කටයුතුවල නිරතවන මනෝවිද්‍යාව හදාළ උපදේශකවරුන්ගේ සේවය ද මේ සඳහා ලබාගැනේ. කාලයට උචිතව මිනිසුන්ගේ චර්යාව, සංජානන අනුව මනසට දැනෙන ලෙස ප්‍රචාරනය සිදුකළ යුතු අයුරු මෙහිදී විමසා බැලේ. මේ සඳහා විවිධ සමීක්‍ෂණ ආදී සමාජ විද්‍යාත්මක තොරතුරු එක්‌රැස්‌ කිරීමෙහි ආධාරය ලබාගැනීමේ හැකියාව ඇත.
ප්‍රතිවේදය හා පෞරුෂ සංකල්පය
සංජානනය පිළිබඳ වැදගත් මනෝවිද්‍යා න්‍යායය රාශියක්‌ බිහිව ඇත. ඒ අතරින් ඉගෙනුම පිළිබඳ සංකල්පය වැදගත්ය. මෙහිදී දැක්‌වෙනුයේ සාමාන්‍යයෙන් දැක්‌වෙන උත්තේජනට ප්‍රතිචාර න්‍යාය වෙනුවට උත්තේජනය (Stimulus) සංවිධානය (Organization) එක්‌ව ප්‍රතිචාරය (Response) දැක්‌වීමයි. 1947 දී මේ අදහස ඉදිරිපත් කරනු ලැබුවේ ගෙස්‌ට්‌ටෝල්ට්‌වාදියකු වූ කොෆ්කා විසිනි. ගෙස්‌ටෝල්වාදීන් විසින් මෙහිදී පෙන්වා දෙනු ලැබුවේ ගැටලු විසඳීම හා ඉගෙනුම සිදුවීමට නම් ප්‍රතිවේද ක්‍රියාවලියක්‌ අවශ්‍ය බවයි. කිසියම් ගැටලුවකට අවශ්‍ය සියලුම සාධක එක්‌තැන් කර සමස්‌තයක්‌ වශයෙන් ගෙන සලකා බැලීම මගින් ක්‍ෂණිකව එහි විසඳුම මනසට ප්‍රත්‍යක්‍ෂ වන බව එහිදී සඳහන් වේ.
මේ ප්‍රතිවේදනය නම් සංකල්පයන්ගෙන් ප්‍රකාශ වන දේය.

මෙකී ප්‍රතිවේදය පිළිබඳ සංකල්ප සනාථ කිරීම පිණිස කොෆ්කා විසින් විශාල වැදගත්කමක්‌ ඇති පර්යේෂණ රැසක්‌ සිදුකර තිබේ. මේ ප්‍රතිවේදය පිළිබඳ අදහස තුළ ගෙස්‌ටෝල්ට්‌ මූලධර්ම ගැබ්ව පවතී. එනම් සමස්‌තය පිළිබඳ න්‍යායයි. සමස්‌තය පිළිබඳ දැනීමෙන් ප්‍රතිවේදය සම්පූර්ණ වන බව දැක්‌වීම මගින් සනාථ වනුයේ එම අදහසයි. මේ ප්‍රතිවේද යන්නෙහි එක්‌තරා අයුරකින් පරිකල්පනය පිළිබඳ ආකල්පයක්‌ ද ගැබ් වේ. පරිකල්පනය බිහිවනුයේ නිර්මාණශීලීව හා ස්‌වාධීනව සිතීම මගින් වන හෙයිනි.
සංජානනය පිළිබඳ අදහසට පෞරුෂ සංකල්පයෙන් ලැබී ඇත්තේ නොමඳ පිටිවහලකි. එය ගෙස්‌ටෝල්ට්‌වාදීන් විසින් ඉදිරිපත් කර ඇත. ගෙස්‌ටෝල්ට්‌වාදීන්ගේ පෞරුෂය පිළිබඳ සංකල්පය තවදුරටත් කර්ට්‌ ලෙවින් විසින් සංවර්ධනය කරනු ලැබීය. මෙය ක්‍ෂෙත්‍ර න්‍යාය ලෙස ද හැඳින්වේ. මේ පෞරුෂ න්‍යාය සංවර්ධනය කිරීමේදී ලෙවින් බොහෝ දුරට ශුද්ධ විද්‍යා ක්‍ෂේත්‍රයේ සඳහන් වන න්‍යායවල උපකාරය ද ලබා ඇත. මේ න්‍යාය මගින් මානව පෞරුෂය මානසික පරිසරයක්‌ තුළ ඇති ස්‌වාධීන ඒකකයක්‌ ලෙස විග්‍රහ කර තිබේ. ලෙවින්ගේ විග්‍රහයටඅනුව මානසික පරිසරය යනු විවිධ මානසික සබඳතාය. මේ අනුව පුද්ගලයා හා ඒ පුද්ගලයාගේ මානසික පරිසරය ජීවන අවකාශයක්‌ ලෙස අර්ථ දක්‌වා තිබේ. මේ ජීවන අවකාශයේ ඇතුළත ස්‌වභාවය, ක්‍රියාකාරිත්වය, ගතිකත්වය හා වර්ධනය ලෙවින් විසින් සවිස්‌තරාත්මකව විග්‍රහ කර තිබේ.
ලෙවින් විසින් දක්‌වන ලද මේ පෞරුෂ පිළිබඳ න්‍යාය වොට්‌සන්ගේ චර්යාවාදය ප්‍රමාණයට ජනප්‍රිය වී තිබේ. එසේම මෙය දැඩිව විවේචනය වී ඇත. ලෙවින්වාදී ගුරුකුලයට අයත් පිරිස මේ පිළිබඳ තවදුරටත් පර්යේෂණයේ නියෑලී සිටිති. ඒ නිසා ලෙවින්ගේ පෞරුෂ න්‍යාය පමණක්‌ නොව සමස්‌ත ගෙස්‌ටෝල්ට්‌වාදය තවදුරටත් අඛණ්‌ඩව වර්ධනය වෙමින් පවතී. දෙවන ලෝක යුද්ධය අවසාන වීමත් සමඟම ඇමෙරිකානු විශ්වවිද්‍යාලවලට පත්ව ගිය ගෙස්‌ට්‌ටෝල්ට්‌වාදීන් නිසා එහිද ගෙස්‌ටෝල්ට්‌වාදය පැතිර ගියේය. මේ නිසා ජර්මනිය හා සමානවම ඇමෙරිකාව පුරා ද ගෙස්‌ටෝල්ට්‌වාදය ව්‍යාප්ත විය. ගෙස්‌ටෝල්ට්‌වාදී ගුරුකුලයේ න්‍යායය සාමාන්‍ය මනෝවිද්‍යාව, ළමා මනෝවිද්‍යාව, ව්‍යවහාරික මනෝවිද්‍යාව, චිකිත්සක මනෝවිද්‍යාව, අධ්‍යාපන මනෝවිද්‍යාව හා සමාජ මනෝවිද්‍යාව වැනි වෙනත් මනෝවිද්‍යා ක්‍ෂේත්‍රවල භාවිතා වේ.
ප්‍රජාතන්ත්‍රවාදය හා චර්යාවාදය
සංජානනය පිළිබඳ වැදගත් මනෝවිද්‍යා න්‍යාය රැසක්‌ ප්‍රජානන මනෝවිද්‍යාවේ දැක්‌වේ. 1960 හා 1970 දශකවලදී ප්‍රජානන මනෝවිද්‍යාව ගුරුකුලයක්‌ ලෙස වර්ධනය විය. ඊට ඓතිහාසික පසුබිම සකස්‌ වූයේ 19 දශකයේදීය. ෙ-... එන්. හර්බට්‌ දාර්ශනිකයා (1776-1841) විසින් ඉදිරිපත් කළ ඥන විභාගය මත පදනම්ව මෙය ගොඩනැගී තිබේ. බාහිර ලෝකය ඇසුරෙන් දැනුම රැස්‌කිරීමේදී මානව මනසේ ඇති ආකෘතිය වැදගත් කාර්යභාරයක්‌ ඉටුකරන බව මෙහිදී හර්බට්‌ විසින් පෙන්වා දී තිබේ. ව්‍යුහවාදය, කාර්යබද්ධවාදය හා ගෙස්‌ටොල්ට්‌වාදය වැනි ඉන් පෙර කල පැවැති මනෝවිද්‍යා ගුරුකුලවල බලපෑම් හා අනුබලය ප්‍රජානන මනෝවිද්‍යා ගුරුකුලය සංවර්ධනය වීමේදී වැදගත් විය. ප්‍රජානනය නම් දැනුම ලැබීමේ ක්‍රියාපිළිවෙතයි. මානසික ගතිලක්‍ෂණ හැදෑරීම ප්‍රජානන ක්‍ෂේත්‍රය යටතට අයත් වේ. ලෝක යුද්ධ දෙක අතර කාලය තුළ චර්යාවාදයේ බලපෑම දැඩිව නැගුණි. නමුදු 1960 දශකය වන විට මේ අදහස වෙනස්‌ විය. මානව චර්යාව උත්තේජන ප්‍රතිචාරවලට පමණක්‌ ලඝූකොට දැක්‌වීම පටු අදහසක්‌ බව මනෝවිද්‍යාඥයන් අතර කතාබහට ලක්‌විය. මේ හිඩස පිරවීම සඳහා බිහිවූයේ ප්‍රජානන මනෝවිද්‍යාවයි. මෙහිදී සාකච්ඡා වනුයේ මානව චර්යාවට චින්තනයේ වැදගත්කම ප්‍රකාශ කිරීම මුල්කර ගනිමිනි. මේ අනුව ප්‍රජානන මනෝවිද්‍යාවේදී මානව චර්යාව සා පිපාසාදිය වැනි බාහිර උත්තේජනවලට පමණක්‌ ලඝූකර දැක්‌වීම ප්‍රතිඵලදායී නොවන බව පැහැදිලි කර ඇත. පුද්ගල චර්යා බාහිර අවශ්‍යතා මත පමණක්‌ වෙනස්‌ නොවේ. පුද්ගලයා තුළ අභ්‍යන්තරව ඇති විවිධ ප්‍රජානන අවශ්‍යතා ද ඊට මුල් වේ. මේ ප්‍රජානන අවශ්‍යතාවලට හේතු වූයේ මානව සංජානනය මගින් පුද්ගලයා විවිධ චර්යාවලට පෙළඹවීමයි.
කිසියම් කෙනකු වුවමනාවෙන් කිසියම් කාර්යයක්‌ කරගෙන යැමේදී කාලය ගතවන බවවත් නොදැනේ. එවිට ඒ පුද්ගලයාට වෙහෙස සා පිපාසාදිය පවා නොදැනේ. හුදෙක්‌ පුද්ගලයා තමා තුළ ඇති වෙහෙස සා පිපාසාදියට පමණක්‌ ප්‍රතිචාර දක්‌වන්නකු යෑයි චර්යාවාදීන් දැක්‌වූ අදහස මෙහිදී බිඳවැටේ. මේ නිසා ප්‍රජානන මනෝවිද්‍යා ගුරුකුලය මගින් පෙන්වා දෙනුයේ පුද්ගලයා මත ර¹පවතින වැදගත්ම සාධක වනුයේ ඒ පුද්ගලයාගේ අභ්‍යන්තර මානසික ක්‍රියාකාරිත්වයට අයත් විවිධ අරමුණු බවයි. මේ සාධක එකී කාර්යය නිමකිරීමෙන් පසුව ඇතිවන තෘප්තිය, සතුට, කුතුහලය හා ක්‍රියාකාරිත්ව අවශ්‍යතාව ආදී වශයෙන් දැක්‌විය හැකි බව ප්‍රජානන මනෝවිද්‍යාවේ සඳහන්ය. මිනිසුන්ට තමා අවට පරිසරය අවබෝධ කර ගැනීමට මූලික අවශ්‍යතාවයක්‌ ඇති බව මෙහි අර්ථයයි. එමෙන්ම සිය කාර්යය ඇසුරින් නිපුණ බව අත්පත්කර ගැනීමට, සක්‍රියව ජීවත්වීමට හා සාර්ථකව සමාජ සබඳතා ගොඩනැගීමට මිනිසුන් තුළ ඇති නොසන්සිඳුණු ආශාව මීට පුද්ගලයා පොළඹවන උත්ප්‍රේරකය ලෙස දැක්‌විය හැක. මනෝවිද්‍යාවේ සඳහන් පෙළඹවීමේ න්‍යාය සමඟ ද මෙම අදහස හොඳින් ගැලපේ. මේ අනුව ප්‍රජානනවාදී ගුරුකුලය චර්යාව පිළිබඳ දැක්‌වූ මූලික ආකල්පය වූයේ ද මිනිසුන් යම් කාර්යක්‌ කරනුයේ ඊට ඇති ආශාව හා ඉන් ලැබෙන තෘප්තිය නිසා බවයි. 
එසේම ප්‍රජානන මනෝවිද්‍යා ගුරුකුලය මනෝවිශ්ලේෂණවාදය හා සංදෘෂ්ටිකවාදය හැර අන්‍ය සෑම මනෝවිද්‍යා න්‍යායකම මිශ්‍රණයක්‌ වශයෙන් ද දැක්‌විය හැක. නමුදු ඔවුහු චර්යාවාදයට විරුද්ධ වූහ. මොවුන්ගේ ප්‍රධානම උපාය මාර්ගය වූයේ මානසික ක්‍රියාකාරිත්වය වැඩි අවධාරණයට ලක්‌කිරීමයි. එමගින් මානසික පැතිකඩ ගැඹුරින් අධ්‍යයනය කිරීමට ඔවුන්ට අවශ්‍ය විය. ඔවුන්ගේ න්‍යාය අනුව උපාර්ජනය (Acquiring) සන්තතිය (Processing). සන්නිධිය (Storimg) හා තොරතුරු ප්‍රතිනිරවද්‍යතාව (Retriering Information) ආදී පැතිකඩ රැසක්‌ මානසික පක්‍ෂයට අයත් විය. මේ අනුව මිනිස්‌ මනසේ ඉතා වැදගත් සංකීර්ණ ක්‍රියාකාරකම් කෙරෙහි ප්‍රජානන මනෝවිද්‍යාඥයන් විසින් වැඩි අවධානයක්‌ යොමු කළ බව පැහැදිලි වේ. මානව බුද්ධිය කෙරෙහි විවිධ පැතිකඩවලින් අවධානය යොමු කිරීමට මේ නිසා ප්‍රජානනවාදීන්ට හැකිවිය. ගෙස්‌ටෝල්ට්‌වාදීන්ගේ බලපෑම නිසා මානව චින්තනය කෙරෙහි සංජානනයේ ඇති බලපෑම අධ්‍යයනය කිරීමේ වැදගත්කම ඉස්‌මතු විය. ප්‍රජානනවාදී න්‍යායයට අයත් උපාර්ජනය, සන්තතිය, සන්නිධිය හා තොරතුරු නිරවද්‍යතාව යන පැතිකඩ සතරටම ගෙස්‌ටෝල්ට්‌වාදී මුලධර්මය වූ පොදු බවේ ලක්‍ෂණ මූලික වන බව පැහැදිලි විය.
සමාජ ඉගෙනුම් න්‍යාය
සංජානනය කෙරෙහි බලපාන තවත් වැදගත් මනෝවිද්‍යා න්‍යායයක්‌ නම් සමාජ ඉගෙනුම් න්‍යායයි. (Social Learning Theory) මෙය ප්‍රජනන මනෝවිද්‍යා ගුරුකුලය හා චර්යාවාදී ගුරුකුලය යන ගුරුකුල දෙකේ එක්‌වීමෙන් ගොඩනැඟෙන නව මනෝවිද්‍යා ගුරුකුලයකි. මෙහි ඉතිහාසය දෙවන ලෝක යුද්ධ සමය දක්‌වා ඈතට විහිද යයි. ජෝන් ඩොලාඩ් හා නීල් මිලර් යන චර්යාවාදීන් විසින් ඉදිරිපත් කළ සමාජ අනුකරණය සඳහා ඇති ප්‍රේරණ පිළිබඳ න්‍යායන්ය. මේ න්‍යායන් ස්‌කිනර්ගේ උපස්‌ථම්භන සංකල්පයට පරිබාහිර වූවකි. ඇල්බට්‌ බන්ධුරා හා රිචඩ් වෝල්ටර්ස්‌ යන මනෝවිද්‍යාඥයන් සමාජ ඉගෙනුම්වාදී න්‍යායේ සමාරම්භකයන් වේ. මිලර් හා ඩොලාඩ්ගේ න්‍යාය මේ දෙදෙනාගේ පර්යේෂණ කෙරෙහි සෘජු බලපෑමක්‌ ඇති කළේය. බන්ඩුරා විසින් අභිප්‍රේරණය සඳහා බලපාන මූලධර්ම රැසක්‌ පැහැදිලි කර දී තිබේ. මින් වැදගත් මුලධර්මය වනුයේ චර්යාවේ ප්‍රතිඵල ලෙස ඇතිවිය හැකි ඵලවිපාක පිළිබඳ ඊට පෙර සලකා බැලීමයි. යම් ක්‍රියාවක්‌ කිරීමට පෙර ඒ ක්‍රියාව සිදුකිරීමෙන් පසුව ඇතිවන විවිධ ප්‍රතිඵල පිළිබඳව සැලකීම මින් අදහස්‌ වේ. බුදුදහම තුළ සඳහන් කර්මඵල විපාක පිළිබඳ සැලකීමේ ආකල්පය මෙනි. අභිප්‍රේරණයට අදාළ බන්ඩුරාගේ දෙවන මූලධර්මය සේ දැක්‌වෙනුයේ අතීත අත්දැකීම් අනුසාරයෙන් අනාගත සිදුවීම් පරිකල්පනය කිරීමය. ඉන් අදහස්‌ වනුයේ අතීතයේදී කිසියම් පුද්ගලයකු ලැබූ අත්දැකීම් අනුසාරයෙන් අනාගත සිදුවීම් පරිකල්පනය කිරීමය. ඉන් අදහස්‌ වනුයේ අතීතයේදී කිසියම් පුද්ගලයකු ලැබූ අත්දැකීම් පිටිවහල් කරගෙන ඒ පුද්ගලයාගේ අනාගතය කෙසේ වේදැයි තීරණය කිරීමයි. මෙය ස්‌වයං සඵලත්වය (Self Efficacy) සේ දැක්‌වේ.
මේ ස්‌වයං සඵලත්වයෙන් අදහස්‌ කරනුයේ කිසියම් සුවිශේෂිත අවස්‌ථාවකට මුහුණදීම සඳහා පුද්ගලයකු තුළ ඇති වන ආත්ම විශ්වාසයයි. මෙය ඇතිවීමට ස්‌වියත්වය පිළිබඳ ඇතිකරගනු ලැබූ අභිමානයක්‌ ද ඒ පුද්ගලයා තුළ පැවැතිය යුතුය. එමගින් පුද්ගල පෞරුෂය වර්ධනය වන බව මෙහිදී පිළිගැනේ. ගැටලු අභියෝග ආදියට මුහුණදීමට පුද්ගලයා සමත් වනුයේ පෞරුෂය ශක්‌තිමත්වීම අනුවය. සිය හැකියා විභව ශක්‌තිය පිළිබඳ පුද්ගලයා තුළ ඇති ස්‌වයං තක්‌සේරුව මෙකී පෞරුෂය ලෙස හැඳින්වේ. බන්ඩුරාගේ ස්‌වං සඵලත්වයෙන් අදහස්‌ වන්නේ ද මීට සමාන අදහසකි.
සංජානනයට අදාළ සමාජ ඉගෙනුම් න්‍යාය යටතේ බන්ඩුරාගේ තුන්වන මූලධර්මය නම් කිසියම් අරමුණක්‌ තබාගෙන ඒ ඔස්‌සේ වැඩ කටයුතු මෙහෙයවීමයි. මේ අරමුණ යන මුලධර්මය භාවිත කිරීමේදී ස්‌වයං සඵලත්වය යන දෙවන මුලධර්මය ද වැදගත් වේ. ඉලක්‌කයක්‌ තබාගෙන ඒ ඔස්‌සේ සාර්ථකත්වය කරා ගමන් කළ හැකි බැවිනි. නිශ්චිත ඉලක්‌කයක්‌ තබාගැනීම ඒ අරමුණ ශාක්‍ෂාත් කරගැනීම සඳහා යෝග්‍ය වැඩපිළිවෙළක්‌ ද සංවිධානය කර ගැනීමට උපකාරී වේ. එසේම අදාළ අරමුණ ඔස්‌සේ ක්‍රියා කිරීමට අවශ්‍ය වන ශක්‌තිය ද නිරායාසයෙන්ම ලැබේ. එය මානසික ක්‍රියා සමූහයක එකතුවයි. බොහෝ විට සිය ජීවිතයේ ඉලක්‌ක තබාගෙන ධෛර්යමත්ව ක්‍රියා කරන විට ඒ ක්‍රියා සාර්ථක කර ගැනීමට අවශ්‍ය වන ශක්‌තිය ළඟා වනුයේ මේ මූලධර්මය අනුවය. සාර්ථකත්වය ළඟා කරගනු ලැබූ බොහෝ පුද්ගල චරිතවල ද මේ ස්‌වභාව දක්‌නට ලැබේ. බලාපොරොත්තු වන අරමුණු නිසි ලෙස ශාක්‍ෂාත් කරගත් විට ස්‌වල්ප මොහොතකට වුවද ඉන් සතුටක්‌ ලැබේ. ඒ සතුට ඊට වඩා ප්‍රබල වෙනත් අරමුණු ජය ගැනීමට විශාල ශක්‌තියකි.
බන්ඩුරා හා වොල්ටර්ස්‌ යන මනෝවිද්‍යාඥයන් විසින් මානව චර්යාවට බාහිර පරිසරය හා ප්‍රජනන පැතිකඩේ දායකත්වය එක හා සමානව පිළිගෙන තිබේ. සෙසු මනෝවිද්‍යාඥයන්ට වඩා මොවුන්ගේ සුවිශේෂත්වය වනුයේ සමාජ අනුකරණයේ ඇති ප්‍රමුඛතාව පෙන්වාදීමයි. මානවයාගේ චර්යාව සකස්‌ කරගැනීම පිණිස සමාජ අනුකරණයේ ඇති වැදගත්කම ප්‍රාථමික ගෝත්‍රික සමාජවල සිට නූතන සමාජ තල දක්‌වා එක ලෙස අත්‍යවශ්‍ය සාධකයක්‌ බව මොවුන්ගේ ආකල්පයයි.
දර්ශනපති
සුජිත් නිශාන්ත හේවගේ
උපුටා ගැනීම් සහිතයි ....ප්‍රිය මිතුරු මිතුරියනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya 

No comments:

Post a Comment