Thursday, September 8, 2016

ශ්‍රී මහ බෝධියට පැමිණෙන අබිරහස් ආලෝක ධාරා...(අබිරහස් අඩවිය - Abirahas Adawiya anuradhapura sri maha bodhiya (නොවිසඳුණු අබිරහස් novisadunu abirahas unsolved mysteries )


පුරාණ ශ්‍රී ලංකාවේ අනුරාධපුරයට පිටසක්වළ බලපෑම
ඓතිහාසික අනුරාධපුරයෙන් හමුවන රන්මසු උයන ඉතා වැදගත් හෝඩුවාවක් දෙන ස්ථානයක් ලෙස හැඳින්විය හැකිය. දහවැනි ශත වර්ෂයේ ශ්‍රී ලංකාව පාලනය කළ හය වැනි මහින්ද රජ සමයේ පිහිටුවන ලදැයි සැලැකෙන වෙස්සගිරිය ශිලා ලේඛනය අනුව රන්මසු උයන රාජකීය උද්‍යානය සොයා ගැනීමේ ගෞරවය ලැබෙන්නේ හිටපු පුරාවිද්‍යා කොමසාරිස්වරයකු වූ එච්.සී.පී. බෙල්ටය. 1901දී එය සොයා ගන්නා විට මෙම රාජකීය උද්‍යානය ගන වන ලැහැබෙන් යුතු විය. පසුව එය එළිපෙහෙළි කර ජනතාවට දැක බලාගැනීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව අවස්ථාව උදාකර දුන්නේය.
මෙසේ සොයා ගන්නා ලද රන්මසු උයන ඉතිහාසඥයන්ගේත්, පුරාවිද්‍යාඥයන්ගේත්, ගවේෂකයන්ගේත් වඩාත් සැලකිල්ලට ලක්වන්නේ එහි පිහිටා ඇති ගලක කොටා ඇති එක්තරා ගුප්ත ලාංඡනයක් හේතුවෙනි. වසර 1994 පළමුවරට ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් පළවූ  ‘Ancient  Anuradhapura’ (පුරාණ අනුරාධපුරය) නම් වූ ග්‍රන්ථයට අනුව අනුරාධ සෙනෙවිරත්නයන් එම ලාංඡනය පිළිබඳ විස්තර දක්වා ඇත්තේ මෙසේය.

'මෙහි ඇති එක් ගල්ලෙනක වෘත්තාකාර හැඩයෙන් යුත් ලාංඡනයක් කොටා ඇත. එම ලාංඡනය එක කේන්ද්‍රයකින් සමන්විත වෘත්ත දෙකකින් යුක්ත වන අතර ඉන් විශාලතම වෘත්තයේ විෂ්කම්භය අඩි හයකි. මෙම වෘත්තයට ඇතුළත පිහිටා ඇති වෘත්තයේ අවකාශය ඍජු කෝණාස්‍රාකාර කොටු හතරකින් බෙදා වෙන් කොට ඇත. එම සෑම කොටුවකම කිසියම් සංකේතයක් කොටා තිබේ. අපට එම සංකේතවලින් කියැවෙන්නේ කුමක්දැයි හඳුනා ගත නොහැකිය. ඇතැම් විද්වතුන්ට අනුව එය විශ්ව සිතියමක සටහනකි. ඇතැමුන්ට අනුව ගුප්ත මන්ත්‍ර සටහනකි.'

චීනයේ හුනාන් රූපයක් 
රන්මසු උයනේ ගලක කොටා ඇති මෙම ගුප්ත සටහනට අනුව පුරාණ ශ්‍රී ලංකාවේ අනුරාධපුරයට පිටසක්වළ බලපෑම තිබෙන්නට ඇතැයි නිගමනය කළ හැකි බව සුසන්ත මිහිඳුකුලසූරිය ප්‍රනාන්දු මහතා පවසයි. ඒ මහතා පවසන පරිදි එම ලාංඡනය විශ්ව සිතියමක සංකේතයක් වීමට බොහෝ දුරට ඉඩ ඇත. අනුරාධපුර නගරයට පිටසක්වළ ජීවීන්ගේ බලපෑම එදා මෙන්ම අදත් තිබෙන බව මිහිඳුකුලසූරිය මහතාගේ අදහසය.
පිටසක්වළ බලපෑම ඓතිහාසක අනුරාධපුරයේ අදත් දැකිය හැකි බව ඔහු පවසයි. රාජකීය ආසියාතික සංගමයේ හිටපු සභාපතිව සිටි ආචාර්ය කේ.ටී.ඩබ්ලිව්. සුමනසූරිය මහතා අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධිය අසලදී එවන් අත්දැකීමකට මුහුණ දුන් බව ආචාර්ය සුමනසූරිය මහතා විසින්ම සුසන්ත මිහිඳුකුලසූරිය මහතාට පවසනු ලැබ ඇත. ඒ විස්තර කළ සිද්ධියට අනුව 1973 වසරේ දිනෙක ශ්‍රී මහා බෝධිය අසල රාත්‍රි 10.00ට පමණ පිරිත් කියවමින් සිටියදී නිල්වන් පාටින් බැබළුණු ටෙනිස් බෝල ප්‍රමාණයේ බෝල දෙකක් තිසා වැව පැත්තේ ශ්‍රී මහ බෝධිය කරා පැමිණ එහි වැදී නොපෙනී ගොස් ඇත. මේ සිද්ධියෙන් ආචාර්ය සුමනසූරිය මහතා බිරාන්ත විය. අනුරාධපුරයේ පමණක් නොව ශ්‍රී ලංකාවේ බොහෝ ස්ථානවල එවැනි විවිධ සිද්ධීන් ගණනාවක් වාර්තා වී ඇති බව මාධ්‍ය මඟින්ද පෙන්වා දී තිබේ.
ශ්‍රී ලංකාවේ පමණක් නොව එවැනි සිද්ධීන් පිළිබඳ විස්තර පිටරටවලින්ද අපමණ වාර්තා වී ඇත. චීනයේ හුනාන් පළාතේ දූපතකින් අපූරු විස්තරයක් වාර්තාවේ. එම දූපතේ ගල්ලෙනක කොටා ඇති සිලින්ඩරාකාර හැඩය ගත් රූපයක් පිටසක්වළ යානයක් විය හැකි බව චීන විශේෂඥයන්ගේ නිගමනය වී ඇත.
මෙය වසර 50,000ක් පමණ පැරැණි බව චීන විද්වතුන්ගේ මතයයි. ඒ අනුව එම ශෛලමය චිත්‍රය පිටසක්වළ යානයක් නිරූපිත ලෝකයේ පුරාණතම සිතුවම ලෙස සැලැකේ. ඕස්ට්‍රේලියාව, ඊජිප්තුව, ප්‍රංශය, උතුරු ඇමෙරිකාව, දකුණු රොඩේසියාව, සහරා සහ පේරු, චිලිය, කැලිෆෝනියාව, ඇමෙරිකාව ආදී ප්‍රදේශවලද එවන් චිත්‍ර බොහෝමයක් හමුවී ඇති බවට වාර්තා ඇත.
මේ අතර තවත් අපූරු හෙළිදරව්වක් චීනයෙන් වාර්තා වේ. ඒ සොයා ගැනීම අනාවරණය වූයේ 1938 වසරේදීය. සොයා ගැනීම කළේ බෙයිජිං සරසවියේ පුරාවිද්‍යාඥයකු වන චි පු තෙයි ආචාර්යවරයාය. චීනයත් ටිබැටයත් වෙන් කෙරෙන බයාන් - කරා උලා කඳුකරයේ ගවේෂණයක යෙදුණු පුරාවිද්‍යාඥ තෙයි ඇතුළු කණ්ඩායමට ගල්ගුහාවල තිබී ඇටසැකිලි හමුවී ඇත. මිනිස් ඇටසැකිලිවලට සමාන ඒවා උසින් අඩි 4ක් වූ අතර ඒවායේ හිස්කබල අසාමාන්‍ය ලෙස විශාලව තිබිණ.
කුතුහලය දනවන ඊළඟ කරුණ වූයේ එම ඇට සැකිලි ශේෂ තිබූ ගුහාවේ බිත්තිවල දිව්‍ය ලෝකය හුවා දක්වන විවිධ රූප කොටා තිබීමයි. ඉර, හඳ, තරු, පෘථිවිය එම චිත්‍ර රේඛාවල සටහන්ව තිබිණි. මෙම ප්‍රදේශයට වසර 10,000 කට පමණ පෙර පිටසක්වළින් පැමිණි යානයක් කඩා වැටෙන්නට ඇතැයි පුරාවිද්‍යාත්මක හා මානව විද්‍යාත්මක මතය වී ඇත. මෙම ප්‍රදේශයෙන් සොයා ගැනුණු වඩාත්ම කුතුහලය දනවන දෙය වූයේ ගලින් නිමවූ තැටියකි.
වෘත්තාකාර හැඩයක් ගත් එම තැටිය විෂ්කම්භයෙන් අඟල් නවයක් වූ අතර ඝනකමෙන් අඟල් තුන්කාලක් පමණ විය. එම තැටිය වසර 10,000ත් 12,000ත් තරම් පැරැණි බව සොයා ගැනිණි. සර්පිලාකාර කට්ටයකින් එහි මැද සමන්විතය.
Dropa
 එවැනි තැටි 716ක් එම ප්‍රදේශයෙන් සොයා ගෙන තිබිණ. ඊට වසර කිහිපයකට පසු චීන විද්‍යාඥයෙක් එම තැටිවල සටහන්ව තිබුණු රහස් පණිවුඩයක් කියවා බලා තේරුම් ගත්තේය. එම රහස් පණිවුඩයට අනුව එදා ඒ අවට ගැවසුණු මිනිස් වර්ගය ඩේ‍රා්පා  (Dropa)  ලෙස හැඳින්වේ. ඔවුන් පැමිණ ඇත්තේ අෑත ග්‍රහලෝකයකින් බවත් එම මිනිසුන් පැමිණි යානය ක්‍රියා විරහිතව පෘථිවිය මතට කඩා වැටී ඇති බවත් සඳහන්ව තිබිණි. යානය නැවැත අලුත්වැඩියා කර ගැනීමට නොහැකි වූයෙන් ඩේ‍රා්පා මිනිසුන්ට බයියාන් කරා උලා කඳුකරයේ ගල්ගුහාවල ජීවත්වීමට සිදුවී තිබේ. කඳුකරයේ විසූ දේශීය ගෝත්‍රිකයන් මෙම පිටසක්වළ ජීවීන් සමඟ නිරතුරුව ගැටුම් ඇති කරගත් නමුදු පසුව ඔවුන් සාමකාමී පිරිසක් බව දැන ඔවුන් හා මිතුරුවී ඇත. වර්තමානයේ මේ හුදෙකලා ප්‍රදේශයේ ගෝත්‍රිකයන් දෙකොටසක් වාසය කරන අතර එම ගෝත්‍ර දෙක හැඳින්වෙන්නේ ඩේ‍රා්පා  (Dropa) සහ හැන් (Han) නමිනි.
මානව විද්‍යාඥයන්ට අනුව දැනටත් ඔවුන්ගේ මූලාරම්භය අබිරහසකි. ඩේ‍රා්පා ජනකතාවන්ට අනුව ඔවුන් අෑත ග්‍රහ ලොවකින් පැමිණි අයුරු විස්තර කෙරේ. වර්තමානයේ මේ ප්‍රදේශයේ ජීවත්වන ඩේ‍රා්පා සහ හැන් ගෝත්‍රිකයන් පිග්මි ගෝත්‍රිකයන් වාගේය. උස නැත. මිටිය. අඩි 3ක් අඩි 4ක් පමණ උස ඇති මෙම මිනිස්සු බර ප්‍රමාණයන් රාත්තල් 32 සිට 52 දක්වා වෙති. කහ පැහැති සමක් සහිත ඔවුන් අසාමාන්‍ය ලෙස විශාල හිස්වලින් සමන්විතය. ඔවුන්ගේ ශරීර තුනී වූ ලෝමවලින් ගැවසී ඇත. ඔවුන්ගේ ඇස් ලොකුවට පිහිටා ඇත.
ඩේ‍රා්පා ගෝත්‍රිකයන් පිළිබඳ මෙම විස්තරය 1997 'ශ්‍රී ‘Quest For Knowledge’ සඟරාවේ ප්‍රථමයෙන්ම පළවීමෙන් පසු එම පුවත ලොව සියලු මාධ්‍ය හරහා ජනතාවට දැන ගැනීමට හැකිවිය. අදටත් මෙම ගුප්ත ගෝත්‍රිකයන් නැරඹීමට ලොව පුරා සංචාරකයන් මෙම ප්‍රදේශයට පැමිණෙන බව පැවැසේ.
Dropa සහ හැන් (Han) 
චීනයේ ඩේ‍රා්පා ගෝත්‍රික මිනිසුන් මෙන් ශ්‍රී ලංකාවේද එවැනි මනුෂ්‍යයන්ට සමාන කුරු මිනිසුන් කොට්ඨාසයක් සිටි බවට වාර්තා වී ඇත. මහලේනම ප්‍රදේශයේ විසූ මොවුන් හඳුන්වන්නේ නිට්ටෑවන් නමිනි. අඩි 3කට 4කට වඩා උස නැති මොවුන්ගේ ශරීරය රතුපාටට හුරු ලොම්වලින් ගැවැසී ඇත. මනුෂ්‍යයන් මෙන් කෙළින් දෙපයින් ගමන් කරන මොවුන්ට වල්ගයක් තිබී නැත. කෙටි වූ ඔවුන්ගේ බාහු ඉතා ශක්තිමත් වූ අතර ඉතා දිග නියපොතු ඇඟිලි අග පිහිටා තිබූ බව කපිතාන් ඒ.ටී. රඹුක්වැල්ල පවසා ඇත. 1963 වසරේදී ශ්‍රී ලංකාවේ මහලේනම කැලයේ ගැවසෙන දිවියන් හා වලසුන් පිළිබඳ ගවේෂණය කිරීමට කණ්ඩායමක් කැටුව ගිය කපිතාන් රඹුක්වැල්ල සිය වාර්තාවේ නිට්ටෑවන් ගැන එසේ සඳහන් කර තිබිණි. ශ්‍රී ලංකාවේ මහලේනම ප්‍රදේශය නිට්ටෑවන් වැඩිවශයෙන් ගැවසුණු ප්‍රදේශයක් සේ සැලකේ. නිට්ටෑවන් පිළිබඳ විවිධ උගතුන්, ගවේෂකයන් විවිධ මත පළ කරතත් මේ වන තුරු ඔවුන්ගේ සම්භවය ගැන නිශ්චිත නිගමනයකට එළැඹ නොමැත. ඔවුන් කෙසේ ලංකාවට පැමිණියේ දැයි තවම නිගමනයකට පැමිණ නැත.
ශ්‍රී ලංකාවේ නිට්ටෑවන් තම සම්භවය පිළිබඳ කිසිදු තොරතුරක් නොතබා මුළුමනින්ම වඳවී ගොස් ඇති නමුදු කපිතාන් රඹුක්වැල්ලගේ වාර්තාවට අනුව එක් සාක්‍ෂියක් පමණක් ඉතිරි වී ඇත. එනම් මහලේනම කැලයෙන් හමුවූ ගල් තට්ටුවකි. කපිතාන් රඹුක්වැල්ල ඇතුළු කණ්ඩායම කොටි, වලසුන් සොයා මහලේනම ඝන කැලය පීරන විට මෙම ගල් තට්ටුව හමුවී ඇත. අල්තාරයක හැඩය ගෙන ඇති මෙම ගල් පොත්ත මටසිලිටුවට සුමටව තනා ඇති එකකි. හියු නෙවිල්ගේ වාර්තාවකද මෙවැන්නක් වාර්තා වී තිබිණි. මොවුන් මෙවැන්නක් භාවිත කළේ දෙවියන් යැදීමටදැයි කිසිවකුට කිව නොහැකිය. නමුත් මෙම කුරුමිට්ටන් දෙවියකු ඇදහූවා නම් එම දෙවියා කවුද? මේ සම්බන්ධව කිසිදු පිළිතුරක් මෙතෙක් ලැබී ඇත.
නිට්ටෑවන්
නිට්ටෑවන් නිරතුරුවම ස්වදේශික වැද්දන් සමඟ ගැටී ඇත. වැද්දන් කෑම සඳහා හංගන මස් සොරා ගන්නා නිට්ටෑවන් ඔවුන් නින්දේ සිටින විට බඩවැල් ඉරා එළියට ඇද දමන බවද කියති. සතුන් දඩයම් කිරීම සඳහා කිසිදු ආයුධයක් භාවිත නොකරන මෙම කුරුමිට්ටන් ඕනෑම සතකුගේ ඇඟට පැන දිග නිය පොතුවලින් උන් ඉරා දමන බව පැවැසේ. නිට්ටෑවන් කුඩා ගල් ගුහා සහ ගල් කුහරවල සැඟවී වාසය කර ඇත.
චීනයේ ඩේ‍රා්පා කුරුමිට්ටන් මෙන් නොව ශ්‍රී ලංකාවේ නිට්ටෑවන් වෙනත් ගෝත්‍රිකයන් හා සම්බන්ධතාවක් නොපැවැත්වූ හෙයින් ඔවුන් පිළිබඳ හරි තොරතුරක් ලබා ගැනීමට මානව විද්‍යාඥයන්ට නොහැකි වී ඇත. ඇතැම් විට චීනයේ බයියාන් කරා උලා කඳුකරයට පාත් වුණු පිටසක්වළ ජීවීන්ගෙන් පැවැතෙන ඩේ‍රා්පා ගෝත්‍රිකයන් මෙන් නිට්ටෑවන්ද පිටසක්වළින් හදිසියේ ශ්‍රී ලංකාවට පැමිණි ජීවීන් විය නොහැකිද යන පැනය පැනනැඟී ඇත. නිට්ටෑවන්ගෙන් වන කරදර හිංසා ඉවසා ගත නොවුණු සියලු වැද්දන් ඒකරාශී වී අන්තිම නිට්ටෑවා දක්වා ගුහාවකට කොටු කර ගිනි තබා වඳ කළ බවද කියැවේ. දහඅට වැනි ශත වර්ෂයේ හෝ ඒ ආසන්න කාලයකදී මෙසේ සිදුවන්නට ඇතැයි පැවැසේ. අනාගතයේ විධිමත් ගවේෂණයක් කළහොත් නිට්ටෑවන් කවුරුන් දැයි සොයා ගත හැකිවනු ඇත.
 --mawbima.lk
උපුටා ගැනීම් සහිතයි ....ප්‍රිය මිතුරු මිතුරියනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya 

No comments:

Post a Comment