Sunday, May 10, 2020

අභයගිරිය අසලින් මතුවූ රන් කරඩුවේ ඇත්තේ පූජණීය ධාතුද?...(Abhaya giriya අබිරහස් අඩවිය - Abirahas Adawiya - හෙල පුරාණය)

ඓතිහාසික අනුරාධපුර උත්තර මහා විහාරය හෙවත් අභයගිරිය චෛත්‍යරාජයාණන් වහන්සේ ප‍්‍රමුඛ විහාර සංකීර්ණය වට්ටගාමණී අභය හෙවත් වලගම්බා මහ රජුන් (කි‍්‍ර.පූ.89-කි.පූ.77) විසින් කරවන ලදී. ඉන්පසු කාලයන්හිදී අනුරාධපුර යුගයේ හෙළ රජ දරුවන් විසින් විවිධ අවස්ථාවලදී ප‍්‍රතිසංස්කරණයට ලක්කළ අභයගිරි සෑ රජුන් රජරට ශිෂ්ඨාචාරය බිඳ වැටීමට පෙර අවසන් වරට ප‍්‍රතිසංස්කරණය කරන ලද්දේ පොලොන්නරුව රාජධානිය කරගත් මහා පරක‍්‍රමබාහු මහ රජුන්ය. (කි‍්‍ර.ව.1153-ක‍්‍රි.ව.1186)

 වර්තමානයේදී මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් අභියගිරිය සෑ රජුන්ගේ සංරක්‍ෂණ කටයුතු සිදුකරනු ලබයි. ඒ අනුව සිදුකරන ලද කැණීමකදී රනින් නිමකරන ලද සැලකෙන කුඩා කරඬුවක් සහ ආභරණ කීපයක් සහිත පුරා වස්තූන් හමුවී තිබේ. අභයගිරිය සෑ රජුන්ගේ ඊසාන දිශාවේ මුල්ම (පහළම) පේසාවළල්ලේ මුහුණත ගඩොල් වරියට යටින් මෙම කුඩා කරඬුව හමුවී ඇති අතර එම ස්ථානයේදී එයට යටින් ගල් පුවරුවක් යට තිබී අන් පුරාවස්තු හමුවී තිබේ.

මධ්‍යම සංස්කෘතික අරමුදලේ මහා විහාර ව්‍යාපෘතිය මෙන්ම අභයගිරි ව්‍යාපෘතියේ පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ලෙස කටයුත කරන මහාචාර්ය ටී. ජී. කුලතුංග මහතා මෙම පුරාවස්තු පොලොන්නරු යුගයට අයත් බව අදහස් කරයි. ඒ අනුව එතුමා පැවසුවේ ‘‘මහාවංශයේ සඳහන් වෙනවා පොලොන්නරුවේ මහා පරාක‍්‍රමබාහු රජතුමා (කි‍්‍ර.ව. 1153-ක‍්‍රි.ව.1186) අනුරාධපුරයට ඇවිත් අභයගිරිය ස්ථූපය ප‍්‍රතිසංස්කරණය කළ බව. මේ පුරාවස්තු තැන්පත් කළ ස්ථාන ගැන අවධානය යොමුකරද්දී ඒවා පොලොන්නරු යුගයට අයිති බව පැහැදිලිය.’’ ලෙසය.

 මධ්‍යම සංස්කෘතික අරමුදලේ අභයගිරි ව්‍යාපෘතියට අයත් පර්යේෂණාගාරයේදී මේ පිළිබඳව කරන ලද මූලික පර්යේෂණ වලදී අනාවරණය කරගත් මූලික තොරතුරු වලට අමතරව තවත් වැදගත් වැදගත් තොරතුරු අනාවරණය කර ගැනීම සඳහා රනින් නිමකරන ලැදැයි සැලැකෙන කුඩා කරඬුව තුළ ඇත්තේ කුමක්දැයි දැනගැනීමට එක්ස් රේ පරීක්‍ෂාවක් කළ යුතු බවද මහාචාර්ය ටී. ජී. කුලතුංග මහතා පැවැසීය. මෙහිදී හමුවූ පුරාවස්තු මෙන්ම මෙම පුරාවස්තුන්හි ඉදිරි පර්යේෂණ පිළිබඳවද අප කළ විමසීමකදී මහාචාර්ය ටී. ජී. කුලතුංග මහතා තවදුරටත් අවධාරණය කර සිටියේ ‘‘හමුවූ පුරා වස්තු ගැන කාලනිර්ණය කර ගැනීම අපට පහසුවක් වී තිබෙනවා. කලින් මේ පුරාවස්තු හමුවූ ස්ථානයේම පොළොවේ පස්වලට යටවී තිබූ හමුවී මිනිසකුගේ ප‍්‍රමාණයට වඩා විශාල ශෛලමය බුද්ධ ප‍්‍රතිමා වහන්සේ, ඒ අසල කොටා තිබූ එම බුදු පිළිම වහන්සේ මෙතෙන යැයි කියන සටහනේ අක්‍ෂර අයත් වන්නේ 12 වන සියවසටයි. ඒ කියන්නේ පොලොන්නරු යුගයටයි. එහිදීද මහා පරාක‍්‍රමබාහු රජතුමාගේ යුගයටයි. එය පැහැදිලියි.

 අනෙක් කාරණය මේ කුඩා කරඬුව තිබුණේ තවත් කරඬුවක් ඇතුළතයි. ඒක තිබුණෙත් තවත් කරඬුවක් ඇතුළතයි. රනින් කරවූ බව පෙනෙන මේ කුඩා කරඬුව විවෘත කරන්න අපේ පර්යේෂණගාරයේදී දැරූ උත්සාහය අසාර්ථක වුණා. අපහසුවෙන් එම කුඩා කරඬුව විවෘත කරන්න ගියා නම් එයට හානි වෙන්න පුළුවන්. ඒ නිසා පරමාණුක බලශක්ති අධිකාරියෙන් හෝ එවැනි වෙනත් සුදුසු ස්ථානයකින් එක්ස් රේ පරීක්‍ෂණයක් කිරීමෙන් තමයි එය තුළ තිබෙන්නේ කුමක්ද කියා බලාගන්න හැකිවෙන්නේ. ඉතින් බොහෝ දුරට මේ පුරාවස්තු නිධන් වස්තු ලෙස තැන්පත් කළ වස්තූන් විය හැකියි. තවදුරටත් මේ පිළිබඳ අදහස් පළකළ එතුමා පැවසුවේ ‘‘කොහොම වුණත් මට හිතෙන්නේ පූජනීය භෂ්මාවශේෂ හෝ ධාතූන් කොටස් අවශේෂ මෙහි තැන්පත් කර තිබෙනවා විය හැකි බවයි. මිනිසුන්ගේ පයට නොපෑගෙන ස්ථානයක තැන්පත්කර තිබූ නිසයි එහෙම හිතෙන්නේ.’’

 ‘‘ එතනම පහළින් සලපතල මළුවේ ගල් පුවරුවක් යට තිබී හමුවූ පුරා වස්තු අතර රන් පැහැ ලෝහමය මුදු කිහිපයක් තිබෙනවා. ඒවගේම රන් පැහැ කුඩා තහඩු කීපයක් තිබෙනවා. තවත් එවැනි පුරාවස්තු කිහිපයක් තිබෙනවා. අස්ථිමය වළලූ කැබලි කීපයකුත් තිබෙනවා.’’ මෙය සම්බන්ධව පූර්ණ පර්යේෂණයක් සිදුනොකොට වැඩිවිස්තර අනාවරණය කිරීමට හැකියාවක් නැතැයි පැවසූ මහාචාර්යවරයා එම පර්යේෂණයන් අවසන්වූ වහාම එම තොරතුරු මාධ්‍යට ලබාදෙන බවද අවසන් වශයෙන් පැවැසීය.

 රටක ජාතියක අනන්‍යතාවය සනාථ කරන්නේ පුරාවස්තූන්ය. අප රටේ පුරාවස්තු වලින් අතිබහුතරයක් බුදු දහම හා සිංහල බෞද්ධ සංස්කෘතිය සමග අත්‍යන්තව බැදී පවතියි. අපට පුරාවස්තූන්හි පෞරාණික වටිනාකමින් ඔබ්බට ගිය පූජනීය වස්තූන් වන්නේ එබැවිනි. එසේනම් මහාචාර්ය ටී. ජී. කුලතුංගයන්ගේ ඉදිරි පර්යේෂණයන්ට අදාල අනාගත අනාවරණ මගින් තවත් වැදගත් වටිනා ඓතිහාසික තොරතුරු තහවුරු කර ගැනීමට ලැබෙන බව නිසැකය.
 ප‍්‍රසාද් ගුණසිංහ
divaina
================================================
උපුටා ගැනීම් සහිතයි ....!!! 
දයාබර පාථක සහෘදයිනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya 

No comments:

Post a Comment