Saturday, May 2, 2020

ඊජිප්තු මමීකරණය හා බැඳි ආගමික පසුබිම....(mummy egypt pyramid. අබිරහස් අඩවිය - Abirahas Adawiya - නොවිසඳුණු අබිරහස් novisadunu abirahas unsolved mysteries )

මෙහි මුල් කොටස පසුගිය සතියේ පළවිය.

1999 දී ජර්මනියේ ලිප්සිප් විශ්වවිද්‍යාලයේ ක්‌ෂුද්‍රජීව විශේෂඥයන් වෙනස්‌ වෙනස්‌ මමි 40 ක්‌ ගෙන සිදුකළ පර්යේෂණවලදී සනාථ වූයේ මෙම මමි ආශ්‍රිතව භයානක දිලීර වර්ග වර්ධනය වී ඇති බවයි. දිගුකලකට පසු මුලින්ම සොහොන්වල දොරටු විවර කිරීමේදී එය තුළට පිරිසිදු සුළං ප්‍රවාහයක්‌ ගලා ඒමේදී මෙම දිලීර බීජ විසිරී වාතලයට මුසුවී ඒවා ආඝ්‍රාණය කිරීමද මේවා තුළට ගිය අයගේ සෞඛ්‍යය යහපත් නොවීමටද හේතුවන්නට ඇත. එසේම තව කරුණක්‌ වන්නේ මෙම මමි සහිත පිරමීඩ තුළ මියගිය පුද්ගලයාට ජීවතුන් අතර සිටින පිටස්‌තරයන්ගෙන් සිදුවන බාධාවන් වැළකීමටත්, මේවා තුළ තැන්පත් කරන වස්‌තුව සොරුන්ගෙන් ආරක්‌ෂා කරගැනීමටත් විවිද ආකාරයේ උගුල් අටවා තිබීමයි. මේවා සමහරක්‌ ජීව විද්‍යාත්මක උගුල් ලෙසද සැලකිය හැකි අතර සමහර ඉතිහාසඥයන්ගේ මතය අනුව ලොව මුලින්ම ජීවවිද්‍යාත්මක අවි භාවිතා කර ඇත්තේ පුරාණ මිසරවාසීන් බවටද මතයක්‌ පළකර ඇත. ඒවා අතර භයානක ලෙඩ රෝගවලින් මියගිය සතුන්ගේ විෂබීජ සහිත මස්‌ ආදිය සහ රෝගකාරක දිලීර වගා කොට ඔරුවල බහා තබා තිබෙන්නට ඇති බවද සඳහන් කරයි. 12. මෙම කරුණු මගින් පැහැදිලි වන්නේ මෙම පාරාවෝ ශාපය යයි සමාජයේ ගොඩ නැගී ඇති සම්මතය ඇත්ත වශයෙන්ම ගොඩනැගී ඇත්තේ නුගත් පිරිස විසින් පරම්පරාවෙන් පරම්පරාවට දෙන ලද කතා පුවත් වශයෙනි. නොඑසේනම්, විද්‍යාත්මක කෝණයෙන් නිරීක්‌ෂණය කරන විට ලබා ගත හැකි නිගමනය වන්නේ බොහෝ කාලයක්‌ වසා දමා තිබියදී ඇති වූ දිලීර ඇතුළු රෝග කාරක මෙම හදිසි මරණයන්ට හේතු වූ බවයි.

 මරණයෙන් පසු ජීවිත

 මිසර ජනතාව පසුකාලීනව තම පාලකයාට විරුද්ධව ඇති බව පෙනේ. එයට හේතුව වී ඇත්තේ පාලකයා විසින් ඔවුන්ගේ ශ්‍රමය බලහත්කාර ලෙස සුරා කෑමයි. එහෙයින් බොහෝ පිරිසක්‌ ඔහුට එරෙහි වන විට ඇතැමුන් පාලකයාගේ දේවත්වය නිසා ඔහුට නැඹුරු වී ඇත. ඇතැමෙකු ඔවුන්ගේ පක්‌ෂය ගෙන ක්‍රියා කර ඇත. කෙසේ වුවත් පාලකයා ජනතාවට අඩන්තේට්‌ටම් කළ බවටද සාධක ඇත. එයද එකල කලාවක්‌ වශයෙන් පැවති බවටද තොරතුරු හමුවේ
.

 ඒ අනුව මෙහිදී 'කා' නම් ආත්මය, සෙවනැල්ල හා එක්‌ වීමක්‌ සිදු වන බව පැරණි මිසර වැසියා විශ්වාස කළේය. මෙහිදී පළමුව ඇතිවී තිබෙන්නේ කා සමග සම්බන්ධ වේය යන මතයයි. පැරණි ඊජිප්තු විශ්වාසය වන්නේ, -මිනිසාගේ පෞරුෂත්වය ඇති වන්නේ කා නම් ආත්මයේ එක්‌වීමෙන් වන බවයි. 'කා' හට තැනින් තැන නිදහසේ ගමන් කිරීමට හෝ සිරුර සමග සම්බන්ධ වීමට මෙන්ම දෙවියන් ඇසුරු කිරීමේ නිදහසද පැවති බව එසමයේ පිළිගැනීම සහ විශ්වාසය විය.

 තවද පාරාවෝ රජවරුන්ගේ උපතේදී දෘෂ්‍ය ශරීරය සහ අදෘෂ්‍ය ශරීරය ලෙසින් දෙකක්‌ පවතින බව සඳහන් වේ. එසේම 'කා' උත්පත්තියේදීම පිහිටන මුත් එය ක්‍රියාත්මක වන්නේ මරණයට පසුය යන්න මිසර වැසියා විශ්වාස කළේය. නමුත් සාමාන්‍ය මිනිසුන්ට එසේ නැත යන්න ඔවුන්ගේ මතය විය. ඒ අනුව ආගම, සමාජ මට්‌ටම් අනුව ක්‍රියාත්මක වූ ආකාරයේ විෂමතාව පැහැදිලිව පිළිබිඹු වේ. 'කා' නින්දේදීත් ක්‍රියාත්මක වීමට ඉඩ ඇති බවත්, එසේ හැසිරෙන අවස්‌ථාවේ දකින ස්‌ථාන, පුද්ගලයන් ආදිය ඔහුගේ මතකයේ තැන්පත් වන බවත් පිළිගැනුණි. සාමාන්‍ය ජිවිතයේදී 'කා' සිරුරෙන් ඉවත් වේ. 'කා' මරණයෙන් පසු ආහාර, ජලය සහ පුදපූජා අපේක්‌ෂා කරයි' යන්න ඔවුන්ගේ මතය විය. පැරණි මිසර වැසියෝ 'කා' ඉන්ද්‍රජාලයක්‌ ලෙසින් පිළිගත්හ. යාඥා කරන පිරිස්‌ සහ මියගිය අයට අවශ්‍ය ආහාර පාන සම්පාදනය කරන පිරිස්‌ මෙන්ම වන්දනාමාන කරන පිරිස්‌ද එම අදාළ කටයුතු සිදු කර එම ස්‌ථානයෙන් වහාම පිටවිය යුතු වු බව විශ්වාසයේ පැවතුණි. මියගිය පුද්ගලයින් වෙනුවෙන් යහපත් ප්‍රාර්ථනා සිදු කිරීම ආවශ්‍යයික වූවක්‌ මෙන්ම ප්‍රායෝගික විය. එසේම මිය යැමට ප්‍රථම ජීවත් වන සමයේ යහපත් සේවාවන් සිදු කර තිබීම ඉතාමත් අත්‍යාවශ්‍ය විය. මේවායින් පෙනී යන්නේ මරණින් මතු දිවියේ ප්‍රමුඛස්‌ථානය ගන්නා 'කා' නම් ආත්මය සදාකාලික ජීවිතය ලබා ගැන්ම උදෙසා විශාල කාර්යය භාරයක්‌ සපුරා තිබිය යුතු වූ බවයි. මිසර ලේඛන අතුරින් හමුවන ඇතැම් ලේඛන දෙවියන් අමතා ප්‍රකාශ කළ අවස්‌ථා දක්‌නට ලැබේ.

 සාධාරණත්වයේ දෙවිඳුණි, මම ඔබ දනිමි

 සත්‍ය දැනගෙන කතා කිරීමටත් පෙර මම මෙහි ආවෙමි

 මම නොදනිමි වරද කුමක්‌දැයි කියා

 සියල්ලන්ගේම දෙවියනි

 ave not stinted the food to the gods
  I have not despoiled the dead
 I have never committed adultery…''
 (Ancient Egypt Myth and History" 1997" 100p)

 මේ අනුව මරණින් මතු දිවියේ සෞභාග්‍ය උදෙසා ජීවත්ව සිටින කල විශාල වශයෙන් යහපත් ක්‍රියා සිදු කළ යුතු වූ බවත්, දෙවියන් සමග 'කා' හට Rජුව සම්බන්ධ විය හැකි වූ බවත් ඔවුන්ගේ විශ්වාසය වී පැවති බව පෙනී යයි. තවද 'කා' ට අමතරව 'බයිබිට්‌' නමින් සෙවනැල්ලක්‌ද තිබිණි. එසේම මිනිසාට සදාකාලිකව 'බූ' නම් වූ අදෘෂ්‍යමාන සෙවනැල්ලකද හිමිකමක්‌ තිබිණි යෑයි විශ්වාස කර ඇත. ඒ අනුව මිනිසා සෑදී තිබෙනුයේ කායික ශරීරයක, අධ්‍යාත්මික ශරීරයක, ආත්මයක, සෙවනැල්ලක, ස්‌පර්ශ කළ නොහැකි වැස්‌මක, ඔහුගේ ජීවන ශක්‌තියේ එකතුවෙන්ය යන විශ්වාසයේ ඔවුන් එළඹ සිටි බව ඉහත නිදර්ශන අනුව යම් තරමක්‌ හෝ දුරට පැහැදිලි කළ හැකිය. මෙලෙස ගොඩනැගුණු මිනිස්‌ ශරීරය මරණින් මතු සැපදායී ලොවක අපේක්‌ෂාව හේතුවෙන් විනාශ වී යා නොදී රැකගැනීම අත්‍යවශ්‍ය වූයෙන් ඔවුන් ඒ සඳහා භාවිත කළ අද්විතීය තාක්‌ෂණයේ මහඟු ප්‍රතිඵලයක්‌ ලෙස අද පවා එම සිරුරු එලෙසින්ම පවතී. මරණයේදී ඔහුගේ ජීව ශක්‌තිය එනම් 'බූ' උපද්‍රව සහිත මාර්ගයක පාතාලයට ගමන් කරන බව මිසර වාසීහු විශ්වාස කළහ. දිව්‍ය ලෝකයට යාමට ඇති මාර්ගය ඉතා කටුක එකක්‌ ලෙස ඔවුහු සැලකූහ. ඒ යන අතර 'ආලු' නම් පාරාදීසය පිහිටයි. කාන්තාර ප්‍රදේශ පසු කරගෙන, සතුන් සහිත ප්‍රදේශ පසු කරගෙන, උණු ජලය සහිත වූ දිය ඇලි පසු කරගෙන සදාකාලික ජිවිතය සොයා යා යුතු බව මතය විය. ආත්මය එහි ගිය විට පෝෂණය සඳහා ආහාර පාන හා ආරක්‌ෂාව සඳහා ආයුධ ලබා ගනී. පසුව බටහිර කඳු තරණය කර මරණයේ රාජධානියට පැමිණෙන බව මිසර වැසියාගේ විශ්වාසය විය. එහිදී ආහාර සහ පලතුරුවලින් සංග්‍රහ ලබන ආත්මය ඉන්ද්‍රජාලික ජලය පානය කළ යුතු විය. පසුව ආත්මය දෙවියන්ගේ සේවකයා වී කටයුතු කළ යුතුය. ඔහු නිසි පරිදි සැලකිළි නොදැක්‌වූයේ නම් ඔහුට නැවතත් කළුවර සොහොන් කොතට යාමට සිදු විණි. 'කා' පෘථීවියේ පවුලකට නැවතත් යාමට කැමති වූයේ නම්, කුරුල්ලෙක්‌, මලක්‌ හෝ සතෙක්‌ ලෙස වාසය කළ හැකිය. ඔහු නැවත සොහොන් කොත නැරඹීමට ගොස්‌ මමියට ප්‍රාණය ලබා දීමටද ඉඩ ඇත. 13. පැරණි මිසර වැසියා මරණින් මතු අපේක්‌ෂා කළ ලෝකය එයයි. රදළ වරු ඇතුළු සමාජයේ පිළිගත් පිරිස්‌ මරණින් මතු සිය ජීවිතයේ ලද සියලු යස ඉසුරු ලබා ගැනීමේ අභිලාශයෙන් කටයුතු කළ අතර උක්‌ත සාධක ඇසුරෙන් පෙනී යන්නේ ආත්මය අමරණීය කරගනු වස්‌ ඊජිප්තියානුවන් තුළ පැවති දැඩි අපේක්‌ෂා සහ ඒවා සාක්‌ෂාත් කර ගැනීමට කැපවූ අයුරුයි. මේ අනුව ශරීරය, ආත්මය සහ සෙවනැල්ලේ සුසංයෝජනයෙන් ගොඩනැගෙන මිනිසාගේ සදාකාලික පැවැත්ම කෙරෙහි මිසර වැසියා ඇදී ගිය අයුරු උක්‌ත සාධක ඇසුරින් මැනවින් පෙනී යයි.

 ඇදහිලි හා දෙවිවරු

 පුරාණ ඊජිප්තුවේ ආගමික සංස්‌ථාවෙහිද අසහාය නායකයා වූයේ පාරාවෝ රජුය. මිසර වාසීන් දෙවිවරු බොහෝ ගණනක්‌ ඇදහූ බවට සාධක විශාල වශයෙන් ලැබෙන අතර මේ අය අතුරින් බොහොමයකට පාහේ සත්ත්ව මුහුණු ආදේශ කර තිබුණි. (මෙලෙස අර්ධ මානව අර්ධ සත්ත්ව රූප වන්දනය හෝ දේවත්වයෙන් සැලකීම ඊජිප්තියානු මෙන්ම, මිනෝවානු, මයිසීනියානු, ක්‍රීට, ග්‍රීක, මෙසපොතේමියානු සහ ඉන්දුනිම්න ආදීවූ පැරණි ශිෂ්ටාචාර රුසකම පොදුවේ දක්‌නට ලැබෙන ලක්‌ෂණයකි.) මිසර ශිෂ්ටාචාරයේ ඉතා සුලභව දක්‌නට ලැබුණු ලක්‌ෂණයක්‌ ලෙස මෙය පෙන්වා දිය හැකිය. එසේම මෙම දෙවිවරු අතර මව, පියා, සහෝදරයන්, දූ දරුවන් ලෙස ඥාති සබඳතා ගොඩ නැගී තිබිම විශේෂ සාධකයකි. තවද, මරණින් මතු ලෝකය පිළිබඳ සංකල්පයේදී මෙම ආගමික විශ්වාස සේම දෙවිවරුද ප්‍රධාන ලෙසම දායක වූ අංශයක්‌ විය. මීට හේතු වූයේ ඔවුන්ගේ ආගමේ මුඛ්‍ය ලක්‌ෂණය, -සදාකාලික පැවැත්ම පිළිබඳ විශ්වාසය වීමයි. මෙනිසා පැරණි මිසර ශිෂ්ටාචාරයේ මරණින් මතු ලෝකය පිළිබඳ අදහස්‌ දක්‌වන කල්හි ඔවුන්ගේ ආගම අමතක කළ නොහැක.

 මිසර ආගමික විශ්වාසයන්හි මුල් කාලීන එක්‌ වැදගත්කමක්‌ වන්නේ එවක දෙවිවරු අයත් වූයේ රජවරුන්ට පමණක්‌ය යන සංකල්පයයි. නමුත් පසු කාලීන දෙවිවරු සමාජයේ සියලු දෙනාට පොදු වූහ. මෙම බහුදේවවාදී ආගම තුළ මුලින්ම සතුන්ට දේවත්වය ආරෝපණය කර වන්දනය පැවතුණි. පසුව මිනිස්‌ සිරුර සහ සත්ත්ව හිස සහිත දෙවිවරු ගණනාවක්‌ දක්‌නට ලැබේ. මේ අතරින් බළලුන්ට හිමි වන්නේ සුවිශේෂී ස්‌ථානයකි. තවද බල්ලන්, කිඹුලන්, උරගයන් සහ රාජාලියන් වැනි සතුන්ද දේවත්වයෙන් පුදන්නට ඇති බවට සාධක සුසාන තුළින් ලැබේ. සුරතලයට ඇතිකළ හෝ දේව සංකල්පය ආරෝපණය කර වන්දනයට පාත්‍ර වූ මෙවන් සත්වයින්ගේ මමි බවට පත් කළ සිරුරු පිරමීඩ තුළින් හමුවීම, උක්‌ත උපකල්පය සාධක සහිතව යම්තාක්‌ දුරකට හෝ ප්‍රත්‍යක්‌ෂ කරලීමට හේතු වේ. මෙහිදී විමසිය යුතු කරුණ වන්නේ සමාජයේ බහුතර නියෝජනය වූ මනුෂ්‍යයාට වඩා සත්ත්වයන් උසස්‌ කොට සැලකූයේ මන්ද යන්නයි. නමුත් සමස්‌තයක්‌ ලෙස ගත් කල්හි මිසරයේ වහල් ශ්‍රමිකයන් හෝ සාමාන්‍ය ජනයා හෝ වේවා ඔවුන්ගේ සමාජ තත්වය ප්‍රභූන් සමග සසඳන කල්හි පැවතුණේ ඉතා පහත් මට්‌ටමකය. මෙකී සන්දර්භය මත අධික සුඛෝපභෝගී දිවියක්‌ ගත කරන ලද පාරාවෝවරු බහුතර මනුෂ්‍ය ප්‍රජාවට වඩා සුරතලයට ඇති කළ සතුන් කෙරෙහි සුවිශේෂීත්වයක්‌ දැක්‌වූවා විය හැකි යෑයි උපකල්පනය කළ හැකිය. සොබාදහම තුළින්ම සතුන් අතර ඇති කරන ලද විවිධත්වය, මනුෂ්‍යයා අතර පවතින ඒකාකාරී සාම්‍යත්වයට වඩා ඔවුන් දුටු තවත් විශේෂ ලක්‌ෂණයක්‌ද වූවා විය හැකිය. එකී සාධක මත සතුන් නිතැතින්ම දේවත්වය තෙක්‌ සමාජ පිළිගැනීමකට ලක්‌ වූවායෑයි උපකල්පනය කිරීමේ හැකියාව පවතී. තවද මෙම පැරණි මිසර වැසියන් සිය දේව මණ්‌ඩලයේ එක්‌ දෙවි කෙනෙකුට වැඩි විශේෂයක්‌ දැක්‌වූ අතර අනෙක්‌ දෙවිවරු ඔහුගේ දේව මණඩලයේ වැඩ වෙසෙන බවටත් විශ්වාස කළ බවට පවතින ප්‍රබලතම සාධක වන්නේ ඔවුන්ගේ සිතුවම්ය.

 පුරාණ දෙවිවරු 14

අමන් රේ දෙවියා   

 මෙලෙස හඳුන්වන්නේ සූර්ය දෙවියායි. මුලින්ම මේ දෙවියා රේ නමින් පමණක්‌ හැඳින්වූ අතර පසු කාලීනව අමන් යන්නද යෙදි ඇත. මිසර වැසියා විශ්වාස කරන පරිදි පිරමීඩ තුළ 'කා' නම් ආත්මයකට රේ දෙවියා වෙත යාමට රහස්‌ මගක්‌ ඉදිකර ඇත. රේ දෙවියා සියලු දෙනා විසින්ම අදහනු ලබන ඉතා වැදගත් මෙන්ම ප්‍රධානම දෙවියායි.

 ඔසිරිස්‌ දෙවියා

 උසස්‌ පහත් සෑම ඊජිප්තු වැසියෙක්‌ම මෙම දෙවියා ඇදහීය. ඔසිරිස්‌ දෙවියා පැරණි දේව කථාවන්හි මළවුන් පිළිබඳ විශ්වාසය සහ සම්බන්ධ ප්‍රධාන දෙවියායි. එකී හේතුව මතම සෑම ඊජිප්තියානු වැසියෙක්‌ම මෙම දෙවියාට ප්‍රමුඛතාවක්‌ දුන්නේ ඇයිද යන්න උපකල්පනය කළ හැකි අතර සදාකාලික පැවැත්ම කෙරෙහි පැවති ඔවුන්ගේ විශ්වාසය සමග මෙම දෙවියා Rජුව ආබද්ධ වන අයුරු හඳුනාගත හැකිය. ඔසිරිස්‌ මිය යාමෙන් පසු ඔහු දෙවියන්ගේ රජු බවට පත්වී මියගිය ආත්ම විනිශ්චය කළ බව ජන කතාවන්හි කියෑවේ.

 ආත්මයේ අමරණීයත්වය පිළිබඳව විශ්වාස කළ ඊජිප්තු වාසීහු පාරාවරුන් රේ දෙවියන්ගෙන් සහ ඔසිරිස්‌ දෙවියන්ගෙන් පැවත එන්නන් බව විශ්වාස කළහ (ඇඳගම, 2003, 23පි)

 ඔසිරිස්‌ දෙවියා පාතාල ලෝකයේ අධිපතිකම දරන අතර මළවුන්ගේ විනිශ්චයකරුද විය. මෙම දෙවියා ඇදහිමත් සමග මිසර වැසියෝ මළවුන්ගෙන් නැගිටීම, වළලන ලද මෘත දේහයට ප්‍රාණය ඇතිවීම ආදිය සිදු වන බව විශ්වාස කිරීමට පෙළඹුණි. මෙනිසා මිසර වාසීන් මියගිය අයගේ සිරුරු -දුරු වර්ග කැවූ ලිනන් රෙදිවලින් සූක්‌ෂමව ඔතා දිගු කල් ආරක්‌ෂා කිරීමටද පෙළඹුණි. තවද මෙනිසාම මියගිය පුද්ගලයාගේ මතු ප්‍රයෝජනය උදෙසා ආහාරපාන ආදියද සොහොන් තුළ තැන්පත් කළහ. එමතුද නොව පණ ඇති සේවකයන් පවා සුසාන තුළ මිය යන තුරු සිර කෙරුණේ මෙහි ප්‍රතිඵලයක්‌ වශයෙනි.

 අනුබිස්‌ දෙවියා

 මොහුට තිබුණේ හිවල් හිසකි. ඔහු මුලදී පාරාවෝ රජවරුන්ගේ සොහොන් ආරක්‌ෂා කරන්නෙකු ලෙස පෙනී සිටියේය. මිසර ආගමික සංකල්පයක්‌ වූයේ මරණාසන්න වූවන්ගේ ආත්මය දෙවියන් ඉදිරියට යවන බවත්, එහිදී අසන ප්‍රශ්න සඳහා පිළිතුරු දීමට සිදුවන බවත්ය. 'මළවුන්ගේ පොත' නම් කෘතිය සකසා තිබුණේ මෙම පැනයන්ට පිළිතුරු දීම සඳහායි. යම් ආත්මයකට මෙම ප්‍රශ්න සඳහා පිළිතුරු දිය නොහැකි වුවහොත් හම ආත්මය අයත් පුද්ගලයා අපායට යන බව ඔවුන්ගේ විශ්වාසය විය. අනුබිස්‌ දෙවියා, මියගිය පුද්ගලයෙකුගේ හදවතේ බර මනිනු ලබන සිතුවමක්‌ මිසරයෙන් ලැබේ. තරාදියේ එක්‌ පසෙක මියගිය තැනැත්තාගේ හදවතත් අනෙක්‌ පස පිහාටුවකුත් ඇත. යම් හෙයකින් හදවතේ බර වැඩි වූයේ නම් එම පුද්ගලයාට සදාකාලින සැපත අහිමි වී අපාගත වන බව මිසර වාසීහු විශ්වාස කළහ.

 අවසානය

 මේ අනුව ක්‍රි.පූ. 3200ට පමණ පසුව මිසර ශිෂ්ටාචාරයේ රාජවංශ ප්‍රභවය වීම පිළිබඳව සාකච්ඡා කළ හැකිය. මෙසමය වන විට ඔවුන් මරණය සහ මරණින් මතු ලෝකය පිළිබඳව පැවති සංකල්පයන්ගේ වර්ධනය වීමකුත් ඒ හා සමගාමිව සමාජ ජීවිතයේ සිදු වන සුවිශාල වෙනස්‌වීම් පිළිබඳවත් අවධානය යොමු කළ හැකිය. ක්‍රි.පූ. 3200දී පමණ ඇඳි සිතුවමක්‌ ඊර්ප්තුවේ හයිරොකොන්පොලිස්‌ ප්‍රදේශයේ සොහොන් ගැබකින් හමුවී තිබේ. මෙම සිතුවමේ සුදු පැහැ විශාල ජල යාත්‍රා මගින් නිරූපණය කර ඇත්තේ පසුකාලීනව ඊජිප්තියානු සොහොන් ගැබ්වලින් හමුවන චිත්‍රවල දක්‌නට ලැබෙන මළවුන්ගේ ආත්මයන් ගමන් ගන්නා යාත්‍රා පිළිබඳ සංකල්පයේ මුල්ම අවස්‌ථාවක්‌යෑයි අනුමාන කළ හැකිය. මේ අනුවද නිගමනය කළ හැකි වන්නේ මිසරයේ පැවති මරණින් මතු දිවිය පිළිබඳ ආකල්පය හිටි හැටියේ ප්‍රභවය ලද්දක්‌ නොව දීර්ඝ කාලීනව පැවති සංකල්ප අනුව ක්‍රමක්‍රමයෙන් ගොඩනැගුණු විශ්වාසයක්‌ වන බවයි.

 එසේම මමීකරණය මත ගොඩ නැගුනු සමාජ ක්‍රමය ඊජිප්තු සමාජයට අනන්‍ය බවත් ඒ ඔස්‌සේ ලැබී සාධක වසර ගණනාවක්‌ ආරක්‌ෂා වෙමින් නූතනයටද සාධක සපයන බව පෙනේ. එහෙයින් පෙනී යන්නේ මෙකී මමීකරණය එම තාක්‌ෂණය හා ආගම ඊජිප්තු වැසියාගේ අනන්‍යතාවය පෙන්වන වැදගත් සාධකයක්‌ බවයි.



 ආශ්‍රිත ග්‍රන්ථ

 1. http( //blogdworkshop.blogspot.com/2011/03/howardcarter- discovered-tomb-of.html

 2. http (//en.wikipedia.org/wiki/Tutankhamun

 3. http (//en.wikipedia.org/wiki/Tutankhamunzs mummy

 4. https(//roar.media/sinhala/features/howmummification- works/

 5. https (//sanskaravinivida.wordpress.com/2011/12/28/

 6. https (//sanskaravinivida.wordpress.com/categoryancient- civilizations/page/2/

 7. http(//yourparanormal.com/curse-oftutankhamun/

 8. http(//www.bbc.com/sinhala/world/2015/11/15111 3 whats inside pyramids

 9. http(//www.cbsnews.com/stories/2005/05/11/tech/ main694510.shtml

 10. http (//www.crystalinks.com/tutstomb.html

 11. http (//www.eyewitnesstohistory.com/tut.htm

 12. http(//ww.richardseaman.com/Travel/Egypt/Cair o/Museum/Tutankhamun/DeathMaskAndCoffins/ index.html

 13. ලෝකයේ කතාන්දරය, ඇස්‌ ගොඩගේ සහ සහෝදරයෝ, කොළඹ, 2004.

 14. බස්‌නායක. එච්. ටී, අපරදිග ශිෂ්ටාචාරය 1, ඇස්‌. ගොඩගේ සහ සහෝදරයෝ.

 15. සෙනෙවිරත්න. චමින්ද, පෞරාණික ශිෂ්ටාචාර, දයාවංස ජයකොඩි සහ සමාගම, කොළඹ, 2004.
divaina
 ආර්. ඒ. අයි. ඒ. සරත්චන්ද්‍ර
 ඉතිහාස අධ්‍යයන අංශය
 පේරාදෙණිය විශ්වවිද්‍යාලය
================================================
උපුටා ගැනීම් සහිතයි ....!!! 
දයාබර පාථක සහෘදයිනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya 

No comments:

Post a Comment