Sunday, May 3, 2020

ඊජිප්තු මමීකරණය හා බැඳි තාක්‌ෂණික විධික්‍රමය පිළිබඳව හැඳින්වීමක්‌....(අබිරහස් අඩවිය - Abirahas Adawiya - නොවිසඳුණු අබිරහස් novisadunu abirahas unsolved mysteries )

හැඳින්වීම

මමීකරණය වූ කලී අතීතයේ ඊජිප්තු වැසියන් මියගිය පිරිසගේ මෘත ශරීර කල් තබාගැනීම සඳහා ගෙනයන ලද තාක්‌ෂණික ක්‍රියා පිළිවෙතකි. මෙය ආකාර කිහිපයකින් සිදු කළ හැක. එනම්, හිතාමතාම ඖෂධ කවා හෝ ස්‌වභාවික ලෙස පරිසර තත්ත්ව අනුව මමී නිර්මාණය වීමට සේම නිර්මාණය කිරීමට හැක. සරලවම ගත හොත් මමියක්‌ යනු අධික ශීතල, ඉතා අඩු ආර්ද්‍රතාව හෝ වාතය නොමැති බවට නිරාවරණය වීමෙන් එහි සම හා ඉන්ද්‍රීයන් සංරක්‌ෂණය වීම නිසා සිසිල් හෝ වියළි යන කුමන තත්ත්වයක තැබුවත් ක්‍ෂය නොවන මරණයට පත් වූ මිනිසෙකු හෝ සතෙකි. අතීත ඊජිප්තු වැසියාගේ විශ්වාසය වූයේ මළ මිනිසා නැවත මරණයෙන් නැගී සිටින බවයි. ඒ සඳහා ඔවුන්ට සිරුර ආරක්‌ෂා කරගැනීම අත්‍යාවශ්‍ය කාර්යයක්‌ විය. මේ නිසා මුල්කාලීනව මිනිය වැල්ලේ වළලා ඇත. උණුසුමට එය ආරක්‌ෂා වූ නුමුදු සතුන් ආහාරයට ගත් හෙයින් එය සාර්ථක වී නොමැත. ඉන් පසු පෙට්‌ටිවල තැම්පත් කර වැළලුවද උණුසුමට මිනිය කුණු වී ඇත. මෙයට පිළියමක්‌ වශයෙන් මමීකරණය සොයා ගන්නා ලදී. ඒ අනුව මිනිය ආරක්‌ෂා කරගැනීමට අභ්‍යන්තර කොටස්‌ ඉවත් කොට මිනිය ඖෂධ ගන්වා තැන්පත් කරන ලදී. එහෙත් හදවත පමණක්‌ ඉතිරි කරන ලදී. ඊට හේතුව ඔවුන් හදවතෙහි ප්‍රාණය ඉතිරිව ඇති බවට විශ්වාස කිරීමයි. මමී බොහෝ විට පිරමීඩ තුළ තැන්පත් කරන ලද අතර පිරමීඩ තාක්‌ෂණයද ඊජිප්තු ශිෂ්ටාචාරයට අනන්‍ය වූවකි. යම් තැනැත්තෙකු මියගිය පසු බෙහෙත් ගල්වා මමිය සකස්‌ කොට එය එම තැනැත්තා ජීවත්ව සිටියදී භාවිතා කරන ලද සියලුම ද්‍රව්‍යද සමග පිරමීඩයෙහි තැන්පත් කරයි. මේ ආකාරයට සිදු කරන මමීකරණය ශතවර්ෂ ගණනාවක්‌ පුරා එම සිරුර ආරක්‌ෂා කරදීමට සමත් වේ.

පිරමීඩ

1922 වර්ෂයේදී බ්‍රිතාන්‍ය ජාතික පුරා විද්‍යාඥයෙකු වූ හාවර්ඩ් කාර්ටර් විසින් පාරාවෝ රජෙකු වූ තුතන්කාමන් ගේ විවෘත නොකරන ලද සොහොන් ගෙය වූ පිරමීඩය සොයාගැනීම පුරාවිද්‍යා ඉතිහාසයේ ඉතා වැදගත් අවස්‌ථාවක්‌ විය. තුතන්කාමන් රජුගේ මෙම නිධන්ගත සොහොන් ගෙය සොයා ගැනීම පිරමීඩ ගවේෂණය පිළිබඳ ඉතා දැඩි උනන්දුවක්‌ හා උද්යෝගයක්‌ ඇති වීමට සමත් විය. 1. පාරාවෝ රජුගේ සිරුර එම සොහොන් ගෙය තුළ තැන්පත් කර නොමැති බව පසුකාලීනව සොයා ගැනුනද 2. සෙසු පාරාවෝ රජුන්ගේ මෙතෙක්‌ සොයා නොගත් සොහොන් කුටි කොපමණ තිබේ දැයි දැනගැනීමට කුතුහලයක්‌ ඇති වීමටද මෙම සිදුවීම හේතු විය. (ඇමුණුම-6)

පිරමීඩයන්හි අභ්‍යන්තරය පරීක්‌ෂා කිරීමේදී ඇතිවිය හැකි ගැටලු කිහිපයක්‌ පැවතීම පිරමීඩයන්හි කැණීම් කටයුතු වලට බාධා වී ඇත. ඉන් එකක්‌ නම්, පිරමීඩ ඉතා වැදගත් පුරාවිද්‍යා නිර්මාණ හෙයින් කැණීම් වලින් හානි ඇතිවිය හැකි යයි අවදානමක්‌ පැවතීම. එසේම තවද පිරමීඩ ඇතුළත තිබෙන රහස්‌ කාමර සහ උමං මාවත් වලට බලය යොදා ඇතුළු වීමට උත්සාහ කිරීමේදී ඒ එක්‌ එක්‌ පිරමීඩ වලට ආවේණික වූ හයිරෝරේඛණ අභ්‍යන්තර ආකෘතියට හානි සිදු විය හැකි අතරම පුරා විද්‍යාත්මක කතිකාව තුළ එවැනි ක්‍රියා නුසුදුසු සහ වගකීම් රහිත බවට විවේචනයට ලක්‌ වීමට ඉඩ කඩක්‌ පැවතීමයි. 3.ලෝකයේ විශාලතම පිරමීඩය වශයෙන් හඳුන්වන ඊජිප්තුවේ 'ගීසා පිරමීඩය' අභ්‍යන්තරය තවමත් නිවැරදි ලෙස නිර්ණය කර නැත. විශාල ගල් කුට්‌ටි මිලියන දෙකකට වැඩි ප්‍රමාණයක්‌ යොදා ගෙන මීට වසර තුන් දහසකට පමණ පෙර ගොඩනගන ලද මේ ලෝක උරුමය උසින් අඩි හාරසිය පනහකින් යුතු වෙයි. මේ වන තෙක්‌ ගවේෂණයට බඳුන් කර ඇති රජුගේ සහ රැජිනගේ කුටී සහ එක්‌ විශිෂ්ට ගැලරියක්‌ හැරුනු කොට 'ගීසා පිරමීඩයේ' අභ්‍යන්තරය ලොවටම තවමත් අභිරහසක්‌ව පවතියි. මෑතක දී පුරා විද්‍යාඥයන් කණ්‌ඩායමක්‌ තාප ලේඛන යොදා ගනිමින් 'ගීසා පිරමීඩය' සම්බන්ධයෙන් ගවේෂණයක්‌ සිදු කළ අතර එයින් හෙළි වූයේ පිරමීඩය තැනීමට යොදා ගෙන ඇති ගල් කුට්‌ටි එකිනෙකට වෙනස්‌ උෂ්ණත්වයක්‌ සටහන් කරන බවයි. ඉහත සොයා ගැනීමත් සමග පිරමීඩ පිළිබඳ කුතුහලයක්‌ දක්‌වන්නන්ට ඔවුන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු සපයනවා වෙනුවට තව තවත් ප්‍රශ්න එක්‌ කෙරීමක්‌ සිදු විය.

ඊට අමතරව 2002 වර්ෂයේදී ගීසා පිරමීඩයේ රැජිනගේ කුටියේ දොරක ගල් කුට්‌ටියක කුහරයක්‌ විදීමෙන් සැකසූ ප්‍රවේශයකින් රොබෝ කැමරාවක්‌ ඇතුළු කර උමං මාර්ගයක්‌ සහ තවත් කුටියක ඡායාරූප ගැනීමට පුරා විද්‍යාත්මක කණ්‌ඩායමක්‌ සමත් විය. කෙසේ වෙතත් එලෙස ගනු ලැබූ ඡායාරූප වලින් වැඩි යමක්‌ අනාවරණය කර ගැනීමට නොහැකි වූ බවයි එම විද්‍යාඥ කණ්‌ඩායම පසුව ප්‍රකාශ කළේ. 2011 වසරේ දී පෙර ගවේෂණ වලට භාවිතා කළ රොබෝ කැමරාවලට වඩා දියුණු සහ නම්‍යශීලී උපාංගයක්‌ යොදා ගනිමින් සහස්‍රක කිහිපයක්‌ මිනිස්‌ ඇසකට හසු නොවූ රතු හයිරෝරේඛණ ඡායාරූපකරණයට ලක්‌ කිරීමට සමත් විය. එහෙත් එමගින්ද වැදගත් යමක්‌ සොයාගැනීමට සමත් වී නැත. කෙසේ නමුත් අවසාන නිගමනය වශයෙන් මිසර වැසියන් පිරමීඩ නිර්මාණය කර ඇත්තේ ප්‍රභූවරුන්ගේ අවසන් කටයුතු සිදු කිරීම සඳහා බව පැහැදිලි වේ.

මමීකරණය

මමියක්‌ යනු අධික ශීතල, ඉතා අඩු ආර්ද්‍රතාව හෝ වාතය නොමැති බවට නිරාවරණය වීමෙන් එහි සම හා ඉන්ද්‍රීයන් සංරක්‌ෂණය වීම නිසා සිසිල් හෝ වියළි යන කුමන තත්ත්වයක තැබුවත් ක්‍ෂය නොවන මරණයට පත් වූ මිනිසෙකු හෝ සතෙක්‌ වශයෙන් පෙර සඳහන් විය. එසේම මෙම මමී පිළිබඳ තොරතුරු ගවේශණයේදී පුරාණ මිසරයේ ධනවත් පැලැන්තියේ පිරිස සිදුකළ මමීකරණය පිළිබඳ හෙළි වූයේ මමීකරණයට එදා ඒ සමාජයේ සිටි දෙකොට්‌ඨාසයක්‌ බඳුන් වී ඇති බවයි. එනම්, රාජකීය හා පූජක යන දෙකොට්‌ඨාසයයි. මෙම මමීකරණය ප්‍රධාන වශයෙන් කොටස්‌ දෙකකට බෙදිය හැක. එනම්, හිතාමතා ඖෂධ කවන ලද මමී හා ස්‌වභාවික මමී වශයෙනි.

ඖෂධ කවන ලද මමී

විශේෂිත සංරක්‌ෂණ අරමුණක්‌ ඔස්‌සේ විඥානයෙන් යුතුව ඖෂධ ගන්වා ආරක්‌ෂා කරන ලද මමී මේ ගණයට අයත් වේ. ඊජිප්තුවේ ඇති මමී බොහෝ ප්‍රමාණයක්‌ මේ ගණයට අයත් වේ. එහිදී මිනිසුන් පමණක්‌ නොව සතුන්ද මමී ගන්වන ලදී. ඒ අතර කිඹුලන් හා බළලුන්ද වේ. අතීත ග්‍රීක පුරාවිද්‍යාඥ වාර්තාවලට අනුව පර්සියානුවන් ඔවුන්ගේ රජවරුන් හා වංශාධිපතීන් ඉටි මගින් ඇතැම් අවස්‌ථාවන්හිදී මමී ගන්වන ලදී. මෙය ඊජිප්තුවේදී සිදුවී නොමැත. මධ්‍යම සහරාවෙදී 1958 දී මහාචාර්ය µeබ්රිසියෝ මොරි විසින් උවාන් මොහුදියෑක්‌ යන නාමය සොයාගන්නා ලදී. එය පිරිමි දරුවෙකුගේ මමියක නමක්‌ බව පසුව අනාවරණය විය. ඕනෑම ඊජිප්තු මමියකට වඩා මෙම මමිය දියුණු මමී තාක්‌ෂණයක්‌ භාවිත කර ඇති බවත් එය වසර 5500ක්‌ තරම් ඈතට දිවයන බවත් පසුව අනාවරණය කර ගන්නා ලදී. 2004 වර්ෂයේදී පකිස්‌ථානයෙන් සොයාගන්නා ලද පර්සියානු කුමරියගේ දේහය මිදී තිබුණි. එසේම චීනයෙන් ඖෂධ ගන්වන ලද සයිප්‍රස්‌ මිනී පෙට්‌ටි සොයාගෙන ඇත.

වඩා පැරණි මමීන් ලෙස නූතනය වන විට සොයාගෙන ඇත්තේ උතුරු චිලී දේශයේ හා දකුණු පේරු දේශයේ චින්ක්‍රෝ මමීන් ය. එහෙත් ඒ අතරින් වඩා ප්‍රචලිත වන්නේ ඊජිප්තු මමීන්ය.

ස්‌වභාවික මමී


ස්‌වභාවික ලෙස සංස්‌කරණය වූ මමීන් ලොව පුරා බොහෝ ස්‌ථාන වල දැක ගත හැකි වේ. ඊට ප්‍රධානතම හේතුව වන්නේ වෙනස්‌ වන පරිසර තත්ත්වයන් ය. එනම්, අධික සීතල, ආමික තත්ත්ව, ලවණ අධික බව හෝ විජලකාරක වියළි තත්ත්ව ආදිය හැඳින්විය හැක. යකඩ යුගයට අයත් සිරුරු 1000 කට අධික සංඛ්‍යාවක්‌ උතුරු යුරෝපයේ මඩ වගුරු තුලින් හමු වී ඇත. මානව මෙන්ම අනෙකුත් සත්ව සිරුරුද මමීකරණයට ලක්‌ වී ඇති විට හමු වී ඇත. මෙකී මමීන් වැඩිපුර හමු වී ඇත්තේ නොගැඹුරු ලවණ ජලය සහිත පරිසර තත්ත්වවල ජීවත්වන සතුන්ගේය. මමීකරණයෙහිලා වූ ක්‍රියාවලිය සඳහා වඩාත් සුදුසු ව්‍යqහයන්ගෙන් යුත් ශරීර ඇත්තේ මුහුදු අශ්වයන් හා තාරකා මසුන්ගේය.

ඊජිප්තු මමීකරණහි තාක්‌ෂණය

සිරුරක්‌ මමීකරණය සඳහා ආදී මිසරවාසින් භාවිතා කළ මූලික ද්‍රව්‍ය කිහිපයක්‌ විය. එනම්, සෝඩියම් ක්‌ලෝරයිඩ්, සෝඩියම් කාබනේට්‌, සෝඩියම් බයි - කාබනේට්‌ හා සෝඩියම් සල්ෙෆ්ට්‌ වලින් සෑදුනු නේට්‍රන් නම් ලවණ මිශ්‍රණය මින් මූලික වශයෙන් හදුනා ගෙන ඇත. වැඩිම මිලට සපයන ලද උසස්‌ම සංරක්‌ෂණයේදී, ප්‍රථමයෙන්ම සිරුර සෝදා ගල් ලෑල්ලක්‌ මත තබනු ලබයි. ඉන් පසු සංරක්‌ෂකයන් විසින් කොකු ආධාරයෙන් මළසිරුරේ මොළය, නාසය තුළින් පිටතට ගන්නා අතර, පිටතට නොඑන කොටස්‌ ඖෂධ ආධාරයෙන් සෝදා හරී. ඉන්පසු උරස්‌ සහ උදර කුහරයන් විවෘත කර එහි ඇති සියලුම ඉන්ද්‍රියයන් පිටතට ගෙන, ඒ කුහරය සෝදා හැරෙන්නේ පොල් වයින් සහ සැර සහිත කුළුබඩු භාවිත කරමිනි. මින්පසු මිර්ජි නම් ශාක රෙසින, කුරුඳු සහ අනෙකුත් සුගන්ධ ද්‍රව්‍ය වලින් එම කුහරය පුරවා, මසා දින 70ක්‌ එම සිරුර නේට්‍රන් මිශ්‍රණයට බහා තබන අතර, එම කාලය අවසානයේ සිරුර සෝදා, ඇලෙන කපු රෙදි පටි වලින් සිරුර ඔතා, ආරක්‌ෂක යන්ත්‍රයන් යොදා පවුලේ ඥාතීන් වෙත සිරුර බාර දෙනු ලබයි. ඥාතීන් විසින් තනන ලද මිනිස්‌ සිරුරක හැඩැති ලී පෙට්‌ටියක සිරුර බහා තැන්පත් කිරීම සාමාන්‍ය සිරිත විය. දෙවනියට මිල අඩු ක්‍රමයේදී සිරුර විවෘත කරන්නේ නැත. සීඩර් නම් ශාක තෙල් වර්ගය ගුදයෙන් සිරුර තුළට ඇතුල්කර, එය පිටතට ඒම වැළැක්‌වීමට විවර වලට ඇබයන් යොදනු ලබයි. ඉන්පසු දින 70ක නේට්‍රන් ප්‍රතිකාරය මෙයට ද ලබා දෙනු ලබයි. දින 70 අවසානයේ මෙකී සීඩර් තෙල නිසා අභ්‍යන්තර මෘදු සිරුරු කොටස්‌ දියවී ගොස්‌, ඇබ ඉවත් කිරීමෙන් පසු පිටතට ගලා ඒම නිසා ඉතිරිවන්නේ සම සහ අස්‌ථී කොටස්‌ පමණි. මෙසේ සකස්‌කළ සිරුර ඔහුගේ ඥාතීන් වෙත ලබාදෙනු ලබයි. තෙවැනි ක්‍රමයේදී විරේක ක්‍රම මගින් අභ්‍යන්තර කොටස්‌ පිටතට ගන්නා අතර, දින 70ක නේට්‍රන් හෝ සාමාන්‍ය ලුණු ප්‍රතිකාරයෙන් පසු එය ඥාතීන් වෙත ලබා දෙනු ලබයි.

මොවුන් ජීවත් වී මරණයෙන් පසු නැවත මරණයෙන් නැගී සිටීම පිළිබඳව විශ්වාස කළ හෙයින් එම ජීවිතයේ ද මේ ආකාරයෙන්ම ජීවත් වීම් සඳහා මියගිය තැනැත්තා භාවිත කළ ද්‍රව්‍ය හා ඇසුරු කරන ලද සතුන් ද මෙම මමී කරණයට ලක්‌ කර තිබෙනු දක්‌නට විය. ඒ අනුව සුරතල් බල්ලන්, බළලුන් මසුන්, මුවන්, පක්‌ෂීන් හා හරකුන් පවා මෙසේ මමීකරණයට ලක්‌ කර තිබෙනු දක්‌නට විය.

තුතන්කාමන් රජු

1900 ආරම්භයේදී පුරාවිද්‍යාත්මක සොයාගැනීම්ද වේගවත් විය. සුප්‍රසිද්ධ පුරාවිද්‍යාඥයන් වන හොවර්ඩ් කාටර් හා කාර්නොවන් සාමිවරයා විසින් 4 වන Thutmose හා Hatshepsut රැජිනගේ සොහොන් ගවේෂණය කොට ඇති අතර 1922 පෙබරවාරි 23 වැනි දින තුතන්කාමන් රජුගේ මමිය හා සුවිශාල පිරමීඩයක්‌ වන KV62 නම් සංකේත නාමය ලබා දී ඇති පිරමීඩය විවෘත කරන ලදී. 5 පිරමීඩයට මුලින් ඇතුළු වූ හොවාර්ඩ් කාටර් මෙසේ එම අත්දැකීම විග්‍රහ කරන ලදී.

'මුලින්ම මට මොනවත් දැකගන්න ලැබුණේ නැහැ. උණුසුම් සුළඟක්‌ කාමරේ සිට එළියට යනවත් එක්‌කම පත්තු කරලා තිබ්බා. ඉටිපන්දම් වල දැල්ලත් නිවන්නට වගේ හෙල්ලෙන්නට වුණා. මගේ ඇස්‌ එතන එලියට හුරුවෙන්න ගන්නවත් කාමරේ මොනවද තියෙන්නේ කියන එක අදුරෙන් මතු වෙන්න ගත්තා. එතන සතුන්ගේ, දෙවියන්ගේ රත්තරන් පිළිම වලින් බැබලෙන්නට වුණා.'

රජුගේ මිනිය තිබී ඇත්තේ තනි රනින් කළ මිනී පෙට්‌ටියක්‌ තුළය මෙය කිලෝ ග්‍රෑම් 110ක්‌ පමණ බර වෙතයි තක්‌සේරු කර ඇති අතර 2004 දී කරන ලද තක්‌සේරු කිරීම් වලට අනුව එහි වටිනාකම එවකට ඇමරිකානු ඩොලර් ලක්‌ෂ 15කට වැඩි බව ගණනය කරන ලදී. එසේම රජුගේ මුහුණු ආවරණය හෙවත් (The death mask) යන්න මුහුණ පමණක්‌ නොව හිසද වැසෙන සේ නිර්මාණය කරන ලද්දකි. එය රනින් නිපදවා විසිතුරු වීදුරු කැබලි හා වටිනා මැණික්‌ ගල් ඔබ්බවන ලද්දකි. 7.තුතන්කාමන් රජු මියයන විට වයස අවුරුදු 18ක්‌ පමණ වන්නට ඇති සැලකේ. එනම් මොහු මියයන්නට ඇත්තේ ක්‍රි.පු.1346 දී බව ඉතිහාසඥ මතයයි. රාජ්‍යත්වයට පත්වී ඇත්තේ ඔහුට වසර 9 වන විට යෑයි ඉතිහාසඥයන්ගේ මතයයි. මේ නිසාම ඔහුව (Boy King) හෝ (Child King) ලෙසද හඳුන්වා තිබේ. රජුගේ මමියේ වෙළුම් පටි ඉවත් කිරීම 1925 නොවැම්බර් 11 සිට 19 අතර කාලයේදී සිදුකර තිබෙන අතර එය තරමක්‌ අසීරු කටයුත්තක්‌ද වී තිබේ. එයට හේතුව මමිකරණය සිදුකරන අවස්‌ථාවේ ගැල්වූ තෙල් නිසා මමිය තබා ඇති ස්‌ථානයට ඇලී පැවතීමයි. ඒවගේම වෙළුම් පටිවල තත්වයද යහපත්වී නැත.

කෙසේ හෝ මෙම රෙදිපටි එකිනෙක ගලවා යනවිට සිරුරට පලදවා තිබූ රන් ආභරණ, කිනිසි සහ තවත් කුඩා ආයුධ වල කොටස්‌ ද හමුවී තිබේ. මුළුමනින්ම පටි ඉවත් කර පසු දක්‌නට ලැබුණ මමියේ ප්‍රමාණය අනුව රජු අඩි 5 අඟල් 6 ක්‌ පමණ උස, හීන්දෑරි අයෙකු යයි අනුමාන කර තිබේ. ඔහුට නැමුන කොන්දක්‌ තිබුණ බවද පැවසෙන අතර කුඩා අස්‌ථී බිඳීමක්‌ හිස්‌ කබලේ තිබූ බවද සඳහන් වේ. එසේම කම්මුලේ වම් පසින් තුවාලයක සලකුණුද තිබූ බව පැවසේ. පපුවේ සිදුරක්‌ද වෙළුම් වලින්ම වසා තිබූ බවද පැවසෙන අතර වැඩි දුර කැණීම් කටයුතු එතනින් අහවර කොට ඇත. 8. මින්පසු 1968 එනම් වසර 42 කට පසු තුතන්කාමන් පිළිබඳව පරීක්‌ෂණ සිදු කරන ලදී. එහිදී එකී පර්යේෂණ සිදු කරන ලද්දේ R.G. හැරිසන් විසින් X-Ray පර්යේෂණ සිදු කිරීමෙනි. මෙම පර්යේෂණ වල අරමුණ වී ඇත්තේ හිස්‌කබලේ දක්‌නට ඇති බිඳීම් ඔහුගේ මරණය සිදු කිරීමට තරම් හේතු කාරණා වන්නට ඇතිදැයි යන්න සෙවීමය. එහෙත් ඒ සඳහා ප්‍රමාණවත් සාධක හමුවී නොමැත. මෙම මමියේ ආභරණ හා වෙනත් වස්‌තූන්ට අමතරව සිරුරේ අවයවද බොහෝ ප්‍රමාණයක්‌ කැඩී බිඳී හෝ නැතිවී තිබු බවද සඳහන් වේ.

2005 වර්ෂයේදී කයිරෝ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පීඨාධිපති යටතේ කරන ලද CT පරීක්‌ෂණ මගින් හෙළිවූයේ හිස්‌කබලේ ඇති අස්‌ථී බිඳීම මරණයට හේතු නොවන බවත්, ඔහුගේ අස්‌ථී වල කරන ලද පරීක්‌ෂණ මගින් ඔහු මියගියේ වයස අවුරුදේ 19ට ආසන්න කාලයකදී බවත්, තහවුරු කෙරිණි. එසේම මෙම අස්‌ථී බිඳීම මිනීමැරුමකට හේතු නොවන බවත් තවදුරටත් නිගමනය විය. මියයාමට හේතු විය හැකි අසනීපයක්‌ද තිබී නොමැති බව තහවුරු වී ඇති අතර එසේනම් මරණයට වෙනත් යමක්‌ හේතු වී ඇත්ද යන්න සැක සහිතය. 2007 වර්ෂයේ සිට තුතන්කාමන් රජුගේ ජාන හෙවත් DNA වල සිදු කරන ලද පර්යේෂණ හා එම 18 වන පෙළපතේ රාජකීය මමී 11 ක සිදු කරන ලද පර්යේෂණ වලින් සනාථ වූ කරුණක්‌ වූයේ තුතන්කාමන් රජුගේ පෙළපතේ පිරිසගේ ජාන විවිධ දෝෂ සහිත බවය. විවිධ පර්යේෂණ වලින් හෙළි වූයේ තුතන්කාමන් රජු මියයාමට හේතුව මැලේරියාව බවයි. එසේම මැලේරියා සාධක එසේ සොයාගන්නා ලද මමී 4 ක වූ බවද සොයා ගෙන ඇත. එසේම උකුල ආශ්‍රිත ප්‍රදේශ වල සිදුකළ පර්යේෂණ මගින් තුතන්කාමන් රජුට උකුල ආශ්‍රිත ප්‍රදේශ වලට නිසි රුධිර සැපයුමක්‌ සිදු නොවූ හෙයින් ඇවිදීමේ දුබලතාවක්‌ තිබු බවද පෙනී යයි. තවද එය සොහොන ආශ්‍රිතව ලද සැරයටියකින් හා පෞරාණික මිසර බෙහෙත් අනුව සනාථ වන බව Zahi Hawass විසින් පෙන්වා දී ඇත.

පාරාවෝ ශාපය

පාරාවෝ රජුන් හා බැඳී ශාපයක්‌ පිළිබඳව බොහෝ පිරිස විශ්වාස කරයි. ඊට හේතුව වශයෙන් බොහෝ දෙනා දක්‌වන්නේ කැණීම් කළ පිරිසෙන් පිරිසක්‌ මරණයට පත් වීමයි. එසේම 1922 නොවැම්බරයේ, මෙම රාජකීය සොහොන් භූමියට වසර දහස්‌ ගණනකට පසු මිනිස්‌ ස්‌පර්ශය ලැබුණ පසු මේ පිළිබදව යම් යම් බියජනක මත පළවෙන්නටද පටන්ගත් අතර එකල සිටි ලේඛකයෙකු වූ මාරි කොරෙල්ලි විසින් මේ කටයුත්ත පිළිබඳ අනතුරු හඟවමින් ලිපියක්‌ද පළ කරන ලදි.

හොවාර්ඩ් කාටර් ලිපිය පළ කර සති කිහිපයක්‌ නික්‌ම යත්ම හොවාර්ඩ් කාටර්ට මූල්‍ය දායකත්වය සැපයූ කානවන් සාමිවරයා නිව්මෝනියාව සෑදීම නිසා 1923 අප්‍රේල් 05 වන දින මිය ගියේය. මෙය ඒ අවස්‌ථාවේ ප්‍රචලිත වූයේ ඔහුට මදුරුවකු දෂ්ට කිරීම නිසා ඇතිවූ රෝගී තත්වයක්‌ මත මිය ගිය බවයි. නමුත් එකල සිටි බොහෝ විද්වතුන්ගේ පවා මතය වූයේ මෙය පාරෝවරුන්ගේ ශාපයට ලක්‌වීම නිසා සිදු වූ මරණයක්‌ බවයි. මෙය වඩාත් තහවුරුවීමට පසුබිමෙන් සිදුවූ සිදුවීම් රැසක්‌ද හේතු පාදක විය. 9 එසේම මෙම සොහොන් ගැබේ දොරේ ඇති ශිලා ලේඛනයක රූපාක්‌ෂර වලින් සඳහන්ව ඇතැයි කියන (Death shall come on swift wings to him that toucheth the tomb of the pharaoh) කියමන ද මෙම සිද්ධිමාලාවට හොද ශක්‌තියක්‌ සැපයුවා නිසැකය. 10. කාටර් මෙම සොහොන්ගැබ විවිර කළ දිනම සිදුවූ සිදුවීම නම් ඔහු සුරතලයට හැදූ කැනරි පක්‌ෂියා නයෙකු විසින් ගිල දැමීමයි. නයා ගත් කල පාරෝවරුන්ගේ ආරක්‌ෂක දෙවියෙකු ලෙසද සැලකින. අනෙක සිදුවීමක්‌ නම් කානවන් සාමිවරයා මියගිය මොහොතේ මුළු කයිරෝවේම විදුලිබලය ඇන හිට තිබේ. එසේම ඒ මොහොතේම සාමිවරයාගේ ලන්ඩන් නුවර නිවසේ ඇතිකරන ලද සුරතල් බල්ලාද උඩුබුරලා මියගොස්‌ ඇත.

මෙම සංසිද්ධියට තවත් පෝෂක සපයන තවත් අද්භුතජනක සිද්ධියක්‌ද කානවන් මිය ගොස්‌ වසර දෙකකට පසු දැකගත හැකි විය. එනම් 1925 නොවැම්බරයේදී තුතන්කාමන් රජුගේ මමියේ වෙළුම් පටි ඉවත් කළ විට ඔහුගේ වම් කම්මුලේ තුවාලයක සලකුණු දැකගත හැකිවිය. කානවන් සාමි මිය යාමට හේතුව යයි පැවසූ මදුරුවා ඔහුට හරියටම දෂ්ට කර තිබුණේද වම් කම්මුලේ තුතන්කාමන්ගේ තුවාල සලකුන තිබූ ස්‌ථානයට සමාන වීමද විශ්මයජනකය.

කානවන් සාමිවරයා මියගොස්‌ ටික කලකට පසු මෙම කණ්‌ඩායමේ සිටි තවත් කැපී පෙනෙන පුරාවිද්‍යාඥයකුවූ ආතර් මේස්‌ ද සිහිමූර්ජා තත්ත්වයකට පසු නොබෝදිනකින් මියගොස්‌ ඇත. කානවන් සාමිවරයා මියගිය බව කනවැකුන වහා ඊජිප්තුවට පැමිණි කාන්වන් සාමිගේ මිතුරෙකු වන ජෝර්- ගෝල්ඩ් යන අයද නැවකින් යාත්‍රා කොට මිසරයට පැමිණ ඇති අතර ඔහු නැවත කයිරෝවේ නැව්තොටට යාමට පෙර තව වරක්‌ තුතන්කාමන්ගේ සොහොන දෙස බලා ඇත. මේ දිනයේම අධික උණ නිසාම ඇඳට වැටී ඇති මොහු ඉන් පැය 12 ක්‌ ඉක්‌ම ගිය තැන මියගොස්‌ ඇත.

එසේම මෙම තුතන්කාමන් සොහොන් ගැබ විවෘත කිරීමේ ක්‍රියාදාමයට සම්බන්ධව සිටි විකිරණශිල්පී ආර්කිබර්ල්ඩ් රේඩ්, කර්මාන්තකරුවකු වන ජෝල් වූල්, කානවන්ගේ පුද්ගලික ලේකම්වරයා වන රිචර්ඩ් බෙතෙල් ද මිය ගොස්‌ ඇත්තේ අස්‌වාභාවික අද්භූත ආකාරයකිනි. එසේම කානවන් සාමිගේ මිතුරෙකු වන වෙස්‌ට්‌බරි සාමි මිය ගොස්‌ ඇත්තේ ගොඩනැගිල්ලකින් බිමට පැන සියදිවි තොර කරගැනීමෙනි. එසේ සියදිවි හානි කර ගැනීමට පෙර ඔහු තබා තිබූ සටහනේ කියා තිබුණේ ඇත්තටම තවත් මට මේ භයංකාර දේවල් බල බල ඉන්න බැහැ. මා විසින්ම මැරෙන එක හොඳයි. (I really cannot stand anymore horrors and hardly see what good I am going to do here. so I am making my exit) එසේම එදා පුවත්පත් වාර්තා අනුව මෙම ක්‍රියාවලියට සම්බන්ධව සිටි 26 දෙනෙක්‌ දශකයක්‌ ඇතුළත විවිද හේතුමත මියගොස්‌ ඇති බව සඳහන්ය. 11පාරාවෝ ශාපයේ විද්‍යාත්මක පසු බිම ගුප්ත දේවල් කෙරේ මිනිසුන්ගේ ඇති කැමැත්ත, ආශාව හේතුවෙන් බොහෝ දෙනා මෙවැන්න නිර්මාණය කරන්නට ඇතැයි ද ඇතැමෙකු අදහස්‌ දරයි. එහෙයින් පිරිසක්‌ මෙම මරණයන් සාමාන්‍ය බව දැක්‌වීමට කරුණු ඉදිරිපත් කර ඇත. මෙම සිද්ධියේදී මුලින්ම මියගිය කානවන් සාමි ඊට වසර 20 කට පමණ පෙර සිදුවූ අනතුරකට පසු දුර්වල සෞඛ්‍ය තත්ත්වයෙන් පසු වූ බව පැවසෙන අතර, මුහුදු මගින් ඊජිප්තුවට පැමිණිමේදීත්, ඊජිප්තුවේ වියළි කාලගුණයත්, මෙම කාර්යයන් සිදුකිරීමේදී ඇතිවූ වෙහෙසත් ඔහුගේ රෝගාතුරභාවය වැඩි දියුණු කරන්නට හේතුවන්නට ඇත. මේ නිසා ඔහු බොහෝවිට මියයන්නට ඇතැයි මැදි මත දරන්නන් කියයි.

පුවත්පත් වාර්තා අනුව පෙර කී ලෙස දශකයක්‌ තුළ 26 දෙනෙක්‌ මිය ගිය බව පැවසුවද සත්‍ය වශයෙන්ම මියගොස්‌ ඇත්තේ 6 දෙනෙකු පමණක්‌ බවද කියයි. එසේම මෙයට සම්බන්ධ වූ සමහරුන් දීර්ඝකාලයක්‌ සෞඛ්‍ය සම්පන්නව දිවි ගෙවූ බවද සඳහන් ය. මෙම කාර්යයේ ප්‍රධානියා වන හොවාර්ඩ් කාටර් අනිත් කාටත් වඩා මෙම සොහොන් ගැබ තුළ සැරිසැරූ අතර ඔහුට මේ කියන කිසිදු කරදරයක්‌ සිදු නොවීය. ඔහු මෙම සිදුවීමට සම්බන්ධ වී දශකයකටත් වඩා කිසිදු ප්‍රශ්නයකින් තොරව කල්ගෙවූ අතර ඔහු මියගියේ තම 65 වන උපන්දිනයට ආසන්නයේදී 1939 දීය.

බොහෝ විදග්ධ පුද්ගලයන්ට අනුව මෙසේ අති දීර්ඝ කාලයක්‌ වසා දමා තිබෙන ස්‌ථානයක විෂබීජ සහ රෝග වාහකයන් හොඳින් වර්ධනය වන බව පැහැදිලි වේ. මෙයද මෙම අද්භූත මරණ වලට හේතුවක්‌ වන්නට ඇති බව පැහැදිලිය. එසේම මෙම මමි බවට පත්කළ පිරිස නොයෙකුත් බෝවන රෝග හෝ සුවකළ නොහැකි රෝගාබාධවලින් මියයන්නට ඇති අතර එදා මිසරයේ ඒවා හඳුනාගැනීමට තරම් දියුණු ක්‍රම නොතිබෙන්නට ඇත. මෙම සොහොන් තුළ මමි තැන්පත් කර වසා දැමුවද මිනී සොරුන්ට ඒවා කඩා දැමීම එතරම් කටයුත්තක්‌ නොවන්නටද ඇති අතර ඔවුන්ද මෙසේ මිනිස්‌ වාසයට හිතකර නොවූ සොහොන් තුළට පිවිසීම නිසා ටික කලකින් මිය යන්නට ඇත යනුවෙන් මෙම මරණයන්ට හේතු වන විද්‍යාත්මක කල්පිතයන් ඇතැමුන් ගොඩනගා ඇත. පුරාණ මිසරයේ මිථ්‍යා මත කොතරම් නම් තිබෙන්නට ඇත්ද යන්න මෙමගින් පැහැදිලි වේ. මියගිය සොරුන් කළ වැරදි වැඩ හේතුවෙන් පාරෝවරුන්ගේ ශාපයට ලක්‌වීමෙන් ලද දඬුවමක්‌ බව එදා පැරැන්නන් දෙවරක්‌ නොසිතා පවසන්නටද ඇත. මෙය ඉබේම ජනප්‍රවාදයක්‌ බවට පත්ව ශතවර්ෂ ගණනාවක්‌ පුරා තව තවත් පෝෂණය වීමද විසිවන සියවසේ මෙසේ සිදුවූ මරණයන්ටද ආරෝපණය කිරීමට හේතුවන්නට ඇති බව විමසිල්ලෙන් බැලු විට පෙනෙන්නට ඇති පැහැදිලි කාරණයකි.
divaina
ආර්. ඒ. අයි. ඒ. සරත්චන්ද්‍ර
ඉතිහාස අධ්‍යයන අංශය
පේරාදෙණිය විශ්වවිද්‍යාලය
================================================
උපුටා ගැනීම් සහිතයි ....!!! 
දයාබර පාථක සහෘදයිනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya 

1 comment: