ඉහත්තාව දෙසින් සඳ නැග එනු පෙනේ. මම ද ගිනිමැලය අබියස වූ කොටයක් මත හිඳ ගතිමී. ගිනි මැලය බුර, බුරා නැඟෙයි. ස්වකීය බලය එක් තැන් කර ගනිමින් නිකුත් කරන ආලෝක පුංජය හමුයේ එළිය වුණු කවාකාර වපසරිය විනා ඉන් ඔබ දිස්වනුයේ කාල වර්ණ බහු රූප ඡායා මාත්‍රයන් පමණි. ගිනි මැලය අබියස පැදුර එළා ගත් මම බැඳි දෑත් මත හිස තබා ගනිමින් සැතපුණෙමි.
නේක විද තරු රටා සපිරි උඩු වියන මසිතෙහි ඇතිකරනුයේ සිතිවිලි රහිත වූ සිතක්. එයට හේතුව වන්නේ හිතෙහි උපදින්නේ මේ සිතුවිල්ල යැයි නිශ්චිතව යමක් තේරුම් බේරුම් කිරීමේ තරම් වූ පැහැදිලි යමක් ඒ තුළ නොවීමයි. ඉදින් මම ඒ සිතට හිතූ, හිතූ දෙසට පිය මැනීමට ඉඩ දෙමි. බලන්න ආන්න අර තරු රටාව. මහ වළසා, අදින් වසර විස්සකට පෙරත් මම දුටුවේ ඔතැන ඔය විදිහටම නේද? අදින් වසර විස්සකට පසුවත් ඔය තරු රටාව මට දිස් වන්නේත් ඔතැනදීමද?
නමුත් අප රැගත් පෘතුවිය නමැති අහස් යානය හිරු, සඳු හා සෙසු සහෝදර ග්‍රහ මණ්ඩලයත් හා සමග මේ නිරතව සිටින්නේ නොනිමි ගමනක නේද? ඉමක් කොනක් කිව නොහැකි අභ්‍යවකාශය තුළ ඔවුන් යන ඒ ගමන යන්නේත් මේ අසංඛ්‍ය සංඛ්‍ය වූ තරු පිරිවරත් හා සමගමද? මනුද එසේ නොවන්නේ නම් අපට අලුත් තරු රටා ගැන මතකය අලුත් විය යුතුව තිබියදී, මේ පැරැණි දැන හැඳින ගත් තරු රටාවන් ඒ, ඒ මාසයන් හිදී ඒ, ඒ ස්ථානයන් වලදීම දැක ගත හැකි වන්නේ? අදට ඇති, මේ ගැන හිතලම දැන් නම් හිතට වෙහෙසයි. ඒ හින්දා මේ අනගි රාත්‍රියේ සුන්දරත්වය පමණක්, නිදහස් මානසිකත්වය රජයන පරිසරය තුළ හිඳ ගෙන විඳිමි මම.
“හූ... හූහූ... හූහූ... හූ... හූහූ... හිහ්... හිහ්... හුහ්... හුහ්... කැහැඩ ක්හැඩ හූහී...”
අපගේ කූඩාරම අභියස යෝධ පලු ගස මුදුනතින් වර නැඟි එකී අව්‍යක්ත රාවයට මම තිගැස්සුණෙමි ගිනි මැලය අභියස ඇණ බා හිඳ සිටි කළු ද ක්ෂණිකව ඉන් මෑත් වී මා අභියසට පැමිණියේ බියෙන්. මම අතැති විදුලි පන්දම පලු ගස මුදුනට එල්ල කළා. ගසේ අත්තක ලැග සිටි විසල් බකමූණෙක්, විදුලි පන්දමට දෙනෙත් පාමින්, තටු විහිදා ගෙන, කට අයා ගෙන රකුස් බැල්මක් හෙළයි.
‘යක් කුරුල්ලා’ නේද?” බිය පත් ‘කළු’ මගෙන් අසයි.
අත්තටු විහිදා ගත් බස්සා වල්ග පෙඳි විහිදා ගනිමින් ම නර්තනශීලීව අත්ත මත ඔබ මොබ පනිමින් පෙරට වඩා සිහින්, නමුදු තීව්‍ර බිහිසුණු ‘හූ’ හඬක් යළිඳු නැගීමට අර අදියි. එය ද අහවර වූයේ රළු කැස්සකිනි. වට පිටාවේ රජයන ගණ අඳුර හා සමඟ ‘යක් කුරුලු අඳෝනාව’ මුහු වූ කල නිර්මාණය වූ වට පිටාව කෙලෙසක නම් විස්තර කරන්නද?
“යමු නේද කූඩාරමට?” කූඩාරමට වැදෙමින්ම කළු පවස යි. මමත් ඔහු පසු පස යමින් කූඩාරමට ඇතුළු වුණේ යක් කුරුල්ලාගේ හඩ නැගීම ගැන සිතමින්. අප කූඩාරමට ගොඩවුණා විතරයි ආයත් යක් කුරුලු අඳෝනාව පලු ගස මුදුනින් වර නැගෙන්නට විය. ඒත් එක්කම බොහෝ ඈතින් වැවේ එගොඩ ඉහත්තාව දෙසින් ද ගැඹුරු ‘හූ’ තැබීමක් ඇසුණා. එයට පිළිතුරු දුන් අප ඉසව්වේ හුන් යක් කුරුල්ලා ‘බස’, ‘බස’ සරින් තම දිගු අත් තටු සලමින් කූඩාරමට ඉහළින් ඉගිළ ගියේය.
කූඩාරමේ මුදුන් කණුවේ එල්ලා ඇති ලන්තෑරුම් එළියෙන්, කළු ගේ මුහුණේ රැඳී ඇති භීතියේ ලකුණු කදිමට පෙනෙයි.
වන ගත දිවියේ භයංකරත්වයේ ප්‍රතිමූර්තියක් බඳු ‘යක් කුරුල්ලාගේ අදෝනාව වනයට ආගන්තුක අයට බිය ගෙන දෙයි. ඒත් ඒ හඬ වනයට සුපුරුදුයි. ‘යක් කුරුල්ලා’ වශයෙන් වන නම පටබැඳි මෙකී පක්ෂියා සාමාන්‍ය ව්‍යවහාරයේදී හඳුන්වනු ලබනුයේ ‘උලමා’ කියලයි. කුරුලු ලොවේ දී ‘උකුසුබකමූණා’ වශයෙන් ද හඳුන්වන මේ පක්ෂියා, ‘මාමුහුණු’ කුලයට අයත් මෙරට ලොකුම කුරුල්ලා ද වෙයි. ‘ගෙල මිරිකීමේ දී කාන්තාවක් නගනා මර ළතෝනි හඬ’ට බොහෝ සේ සමාන කමක් පානා අදෝනාව ඇසීමට හැකි වෙන්නේ බොහෝ විට රැයක දීයි. දහවල් කාලයේ වනයේ අඳුර රජයන තැනක ලැග සිට රාත්‍රී සමයේ දී වනය පුරා පියාසරයි. බියකරු විලාපය වැඩිමනත්ම තීව්‍ර සේ නගනුයේ අභිජනන සමයේදී ය. අප්‍රේල් සහ මැයි අතරතුර මාස ‘උලලේනීය’ ගේ ප්‍රකට විලාපය වනපෙතේ නින්නාද වන සමය වශයෙන් හැඳින්විය හැකි යි.
සරල බසින් ඒ තොරතුරු බවට කියන්නම්.
උලමා කියන්නේ බස්සෙකි. සමහරු හිතනවද දන්නේ නෑ උලමා කියන්නේ උකුස්සෙක් කියලා. උලමගේ වගේම එයාගේත් තියෙනවා ඔළුවේ දිග පිලක්. ඒ කියන්නේ පැහැදිලිව දැක ගන්න හැකි කොණ්ඩයක්. කොණ්ඩ උකුස්සා ගැනත් උලමා ගැන කතා කරද්දි නොකියාම බෑ. හේතුව තමයි මෙයාට පුළුවන් ඔය උලමා කෑ ගහන හඬට කිට්ටුවෙන් යන හඩක් නගන්න. ගොඩාක් වේලාවට ඒ හඩ නගන්න කොණ්ඩ උකුස්සන් පෙළඹෙන්නේ ඒ අයගේ අභිජනන සමයේදීයි. අපේ රට ඇතුළේ කොණ්ඩ උකුස්සන් විශේෂයන් දෙකක් දැක ගන්න හැකියි. එක්කෙනෙක් රට පුරාම විසිරුණු ව්‍යාප්තියක් සහිත පෙරළි කොණ්ඩ උකුස්සා. අනෙකා මධ්‍යම කඳුකරයට සිමා වුණු කඳුකර හෙල් කොණ්ඩ උකුස්සා. හරිම ලස්සන පක්ෂීන් දෙන්නෙක් බව නම් නොකියාම බෑ.
උලමා, යක් කුරුල්ලා, උකුසු බස්සා කියන්නේ නම් බකමූණෙකුටයි.
බස්සා, බකමූණා. ඇත්තටම මේ කියන්නේ එක් කෙනෙකුටද නැතිනම් දෙන්නෙකුටද? බලන්න, සොබාදහම කියන්නේ ප්‍රශ්න පත්තරයක් නේද? හැබැයි සොබාදහමේ නිහඩ හඬට කන් දෙනවා නම් ඔය කියන ගැටලු හරිම සරල පිළිතුරු සහිත ඒවා බව ඔබට වැටහේවී.
බස්සා කියන්නේ එක් පක්ෂි විශේෂයක්. බකමූණා කියන්නේ තවත් පක්ෂි විශේෂයක්. මේ දෙක පටලවා ගන්න එපා. මේ කියන බස්සොත්, බකමූණොත් අයිති වෙන්නේ බකමූණු ගෝත්‍රයේ (STRIGIFORMES), ස්ට්‍රිගිඩේ (STRIGIDAE) කියන මාමුහුණු කුලයටයි. මේ කුලයේ විශාල සිරුරකට හිමි කම් කියන පක්ෂි විශේෂය අයත් වෙන්නේ බකමූණන්ටයි. පුංචි සිරුරකට හිමි කම් කියන්නේ බස්සොයි. අපේ රට ඇතුළේදී බකමූණන් වර්ග 05 ක්, බස්සන් වර්ග 07 ක්, ගෙඹිකට බස්සන් වර්ග 01, බිම් බස්සන් වර්ග 03 ක් ආදී වශයෙන් දැක බලා ගත හැකියි. ඉතින් දැන් දන්නවා නේද බස්සත්, බකමූණත් වෙන් කර හඳුනගන්න. මාමුහුණු කුලයේ මෙරටදී වාර්තා වන ලොකුම බකමූණා වෙන්නේ උලමයි.
උලමගේ පැටියා කියන්නේ කුරුලු ලොවේ හරිම අපූරු වර්ණ රටාවක් දරන පක්ෂියෙක්. සුදු සහ කළු තමයි මෙයාගේ මුලිකම වර්ණයන් වෙන්නේ. ඒ කියන පාට ගැන්වුම සොබා දහමෙන් මේ අයට දිපු විශේෂ වූ සැලකිල්ලක්. සුදු පැහැති පැටවුන් ගේ සිරුර පුරා දිව යන කළු පාට තිත් රටාව දකින සිතක ඇති කරන්නේ විචිත්‍රවත් හැගුමක්. වැඩි වියට පත් වෙද්දි මේ කියන වර්ණ රටාව වියැකිලා කටුක වූ වනපෙතේ ජිවත් වෙන්න අවැසි අදුරු පාටින් තමයි දැක ගන්න හැකි වෙන්නේ. ජනප්‍රවාදයේ සදහන් වෙන හැදි මිට වෙන්නේ මේ අයගේ දිගට තිරස්ව හිසට ඉහළින් දිව යන ලොකු කන් පිල් ගොනුවයි. ලංකාව පුරා ව්‍යාප්තව ඉන්න මේ අය වඩාත් ක්‍රියාශීලී වෙන්නේ වියළි කලාපයන් ආශ්‍රිතව බවයි මගේ අත්දැකීම.
දහවල් කාලයේ කැලෑවක අඳුරු තැනක් තමයි ලඟින්න තෝරා ගන්නේ. මේ පසුවෙන්නේ මේ අය කූඩු හදන, බිත්තර රකින සහ පැටවුන් පෝෂණය කරන කාලයයි. අභිජනන සමයයි. අර අදෝනාව මේ කාලයේදී වනයට නම් ආගන්තුක වෙන්නේ නෑ. මේ අයගේ කැදලි අනෙක් මාමුහුණු කුලයේ අයගේ වගේ බෙනයක, කුහරයක වගේ ආවරණය වුණු තැනක නෙමේ හදන්නේ. කැදැල්ල විවෘතයි. කුරුල්ලත්, කිරිල්ලියත් විටෙන් විට අරගෙන එන කෝටු එකින් එක තියලා හදන වෘත්තාකාර කැදැල්ල තුළ වරකදී කිරිල්ලිය සුදු පාටැති බිත්තර 01 - 02 ත් අතර ගණනක් දමනවා. අම්මත් - තාත්තාත් දෙන්නම සමෝ සමව බිත්තර රකිනවා. පැටවුන් ලොකු මහත් කරන්න වෙහෙසෙනවා. මාපිය වගකීම් සහ යුතුකම් නොපිරිහෙළා ඉටුකරන්න මහන්සි වෙනවා.
රැයට පෙම් බඳින මේ අය දහවලේ නිදිය ගන්න කැමතියි. උස ගසක සිට බිම් මට්ටම නිරීක්ෂණය කරමින් ඉන්න ගමන් ගොදුරක් දුටු සැණින් කරුණා විරහිතව ඒ ගොදුරට පහර දි ඩැහැ ගන්න මේ අය සමත්. මීයෙක් වගේ ප්‍රියතම ගොදුරක් හමු වුණොත් නම් ගෙඩිය පිටින් ගිලින්න මේ අය දක්ෂයි. ඒකනේ මේ අය රාත්‍රියට ළගින ස්ථාන ආසන්නයේ ඇති ගිලපු ගොදුරුවල එවැනි වු නොදිරවූ වැමෑරුම් කොටස් බිම තියෙන හැටි නිරීක්ෂණය කරන්න පුළුවන්.
යක්කුරුල්ලා, ඇත්තටම අපූරු නමක් නේද? මෙයාට සම්බන්ධ වුණු ජන කතාන්දරයකුත් තියෙන බවයි ප්‍රකට. වනය පුරා සක්මන් කරන යක්ෂයන් සමූහයක් එකට එක් වී නඟන හූ හඬකට සමාන හඬක් තමයි මෙයාට හිමි වෙලා තියෙන්නේ. ඒකයි යක් හූව නංවන උලමාට යක් කුරුල්ලා’ නමින් නමක් පට බැඳෙන්නේ. ඇත්තටම ඒ නම යෝග්‍යයි.
“උළමා ගම්මානයක් කිට්ටුවෙන් හැඬූ දා ට පහුවදා ගමේ මළ ගමක් සිදු වෙනවා ය කියලා කතාවක් තියෙනවා...” කූඩාරමේ හිඳිනා කළුට ප්‍රශ්න වැලක් හිතේ තියෙන හැඩයි.
“එහෙම ද? මේ කැලය මැද නිසාත්, ළඟ පාතක ගමක් නැති නිසාත්. ඒ ගැන බය වෙන්ට ඕනැ නෑ...”
ඇත්තටම උලමා හා බැඳි ජනප්‍රවාද ගත කතාන්තර බොහොමයක් වනය ඇසුරේ ගම්මාන වලදි අදටත් රැව් දෙනවා. මාගේ මතකයට එන්නේ මේ හා සම්බන්ධයෙන් පෙර දිනක අහපු අපූරු කතාන්තරයක්.
සහෝදර ප්‍රේමයෙන් කල් ගෙවූ වැදි අයිය - මලෝ දෙදෙනෙක් තම මව හා සමඟ ගල් ලෙනක දිවි ගෙව්වා. මේ සහෝදරයන් දෙදෙනා දඩයමේ පටන් සියලුම එදිනෙදා කටයුතු කළේ එකටම යි.
මේ අයුරින් ජීවත් වන අතරේ මලයා දිනක් වැදි කෙල්ලක සහේට අරගෙන ගල්ලෙනට කැටුව ආවා. මෙසේ මෙම වැදි සේර ගල්ලෙනේ ජීවත් වන අතරේ වැදි අයියණ්ඩියට තම මලයාගේ බිරිය පිළිබඳව සිතක් ඇති වුණා. මිනිස් ගති එහෙමයිනේ. දිනක් වැදි අයියණ්ඩිය තම මලයාට දඩයමේ යන්න එන්නයි කියලා අඬ ගැහැව්වා.
“අඩා වරෙන් යන්ට වඳුරකු වත් බා ගන්ට. අර අලි කටු වළට ඔබ්බේ මියැදුණු නුගේ ළඟින් මම යද්දින් මී කෙල්ලන්ගේ ගුමු, ගුමුවක් මට ඇහුණා. යමින් ගමනේ විපරම් කරගෙනම යමන්නේ...”
පොරොවක්, දුනු හී තලත් රැගෙන අයිය මලෝ දඩයම් පාරේ යනින්ගමනේ ම මී වදයේ අයිරු සොය, සොයා ගියා. එහෙම යද්දී ගස් බෙණයක තිබුණු මී වදය හමු වුණා. ඒකත් කොටා ගෙන ආයිත් වඳුරු මසක් සොය සොයා ඔබ - මොබ හක්කලන් කරන අතරේ වඳුරු සේරක ගේ බුකු, බුකුවක් කනේ වැකුණා. ඒ අයිරු ඔස්සේ විපරම් කරද්දි වඳුරන් ගස් අතු, ඉති මත පනිමින් කෙළිනු මොවුන් ගේ නෙත ගැටුණා. ඒ ගහ පාමුලට ගිය අයියා, මලෝ අතැති දුනු, හී අමෝරමින් වඳුරන්ට ඉලක්කය අල්ල, අල්ලා හී මුදා හැරියා. ඒත් ඉන් පලක් වුණේ නෑ. වුණේ වඳුරන් තව තවත් ගසේ ඉහළ අතු - ඉතිති මතට නැඟ වැදි අයියා, මලයන් හට දත නියවීම සහ විරිත්තීම යි.
“අඩා ඔහොම හිටු. මම ගහට බඩ ගාලා වඳුරු ගෙඩියෙක් තැරි ගහ ගන්ට...” මලයා තම දුන්නද කරේ රුවා ගෙන, හීයක් දතින් හපා ගෙන ගසට බඩ ගා වඳුරකු හට මෑනීමට වෙහෙසුණා.
ගස යටට වී බලා සිටි වැදි අයියණ්ඩිය ගේ සිතට මෙවේලෙහි පවිටු සිතිවිල්ලක් ඇති වුණා. ඒ තම මලයා ගේ රූමත් බිරිය තමන්ට හිමි කර ගන්නා අදහස යි. වැද්දා ගේ සිතේ කලක සිට සැඟව තිබූ අදහසක් ක්‍රියාත්මක වුණා.
තම දුනු දියේ ඊයක් රුවා ගත් වැදි අයියණ්ඩිය මලයාගේ පපු කැනැත්ත අරා ඊය මුදා හැරියා. වැදි සිරිතට අනුව එක් කුස උපන් සහෝදරයන් දෙදෙනා ගෙන් එක් අයකු මිය ගියාම, මිය ගිය අයගේ බිරිය අනෙක් සහෝදරයාට අයිති වෙනවා. අනතුරුව මරා ගත් වඳුරාත්, කඩා ගත් මීයත් කඳක් බැඳගත් වැදි අයියණ්ඩිය, මිය ගිය මලයා ගේ සුළැඟිල්ලක් ද කපා ගෙන තම බුලත් මල්ලේ දමා ගෙන පෙරළා වැදි ලෙන බලා පිටත් වුණා.
රැගෙන ආ කද මලයාගේ බිරියට භාර දුන් හේ එය පිළියෙල කරන සේ ඇයට පවරා එතෙක් තම බුලත් මල්ලෙන් ගත් විටක් ඒදන්නට වුණා. හුනු දුංකොළ සහ බුලත් පදමට මිශ්‍ර වූ බැව් පසක් කරමින් රත් කෙළ පාරක් මුවින් ගිලිහෙත්ම, ඔහු සමීපයට පැමිණි මව, මලයාගේ ප්‍රමාදය පිළිබඳව විමසුවා.
“ඌ එයි අපේ අම්මා... කොළොන් කොටේ ළඟ දී මීයක ඉවක් දැනිලා ඌ ඒ ඹට ගෑටුවා වෙද?...”
නමුදු රාත්‍රි බතට ද තම පොඩි පුතු නාවේ ඇයිද? මවට අමුත්තක් දැනුණා. මව ලොකු පුතා පිළිබඳව විමසිලීමත් වුණා. ඔහු තම බුලත් මල්ල පිළිබඳව වෙනදාටත් වඩා සැලකිලිමත් වන බවක් මවට වැටහුණා. ලොකු පුතා අබියසට ගිය ඇය...
“බං විටක් වත් කොටා බාන්ට දියකෝ...” ලොකු පුතු ඇමතුවා. කල්පනාවක නිමග්නව සිටි වැද්දා එක්වනම තම මව වෙතට බුලත් මල්ල දික් කලා.
ඉනික්බිතිව මව බුලත්, පුවක් සොයනු අටියෙන් මල්ල අවුස්සන ලදින් එහි තිබී සුළැඟිල්ල හමු වුණා. එය හොඳින් පිරික්සූ ඇයට මෙය තම පොඩි පුතුගේ බව වටහා ගත හැකි වුණා.
ලොකු පුතු ගේ හැසිරීම සහ සිදු වී ඇති විපත්තිය වටහා ගත් ඇය, පොඩි පුතු ගේ සුළැඟිල්ල ගෙන දරු දුක වාවා ගනු බැරිව ඇඟිල් හිසෙහි ගසා ගෙන “අනේ මයේ පුතා කෝ” යි ළතෝනි තබමින් රාත්‍රී අන්ධකාරය රජයන වන පෙතට දිව්වලු.
ඉතින් එදවස පටන් ඇගේ මියගිය ආත්මය ‘යක් කුරුල්ලකු’ බවට පත් වී රාත්‍රී අඳුර රජයන වනගතේ දී නැති වුණු පුතු සොයමින්, ළතෝනී ගසන බවට වන ගත ගැමියෝ අදටත් විශ්වාස කරනවා. ඒකනේ මගේ තනියට උන්නු කළුත් බය වෙලා තියෙන්නේ මේ යක්කුරුලු හඬට.
උලමාගේ හිසෙහි ඇති පිහාටු ගොමුව අදටත් ඒ අතීත දුක්බර සිද්ධිය යළි, යළිත් සිහිපත් කරවයි.
ඉතින් කළු පාළුව යන්නත් එක්ක උලමා ගැන තවත් කතාවක් කියන්නද?
උලමා හා බැඳුණු තවත් ගැමි කතාන්තරයකට අනුව දඩ මසක් රැගෙන සුරා මතින් නිවසට පැමිණි ගැමියෙක් තම බිරියට ඒ මස පිසීමට අණ කර, යළිත් සුරා පානයේ නිරත වුණා. බිරිය දඩ මස ඇතිළියක බහා තබා, එය පිසීමට අවැසි අඩු, වැඩිය රැගෙන ඒම සඳහා ගෙතුළට ගොස් සිටි අතරේ, දඩ මස යම් සතකු විසින් ඩැහැගෙන ගියා. සුරා මතින් පසුවන තම සැමියාට මෙය කෙසේ පවසම්දෝ’යි බියෙන් පසු වූ ඇය, කුමක් සිදු වූවත් එය විඳ දරා ගිනිමැ’යි සිතා, එකී සිද්ධිය තම සැමියාට කිව්වා.
සිදු වූයේ ඇය ද නොසිතූවක්. “එයට කම් නැතැ’යි” පැවසූ සැමියා, එවැනීම වූ මස් කුට්ටියක් යළිත් රැගෙන එමැ’යි පවසා නිවසින් බැහැර වුණා. මද වේලාවකට පසුව නිවෙසට පැමිණී හේ අලුත් මස් කුට්ටියක් බිරියට පෙන්නා, “උඹ මේකත් අහක දාවී යැ”යි සැර කොට “මම ම මෙය පිස ගනිමැ” යි පවසා හණික මස් ව්‍යංජනය ඉව්වා.
“ඉඳින් බත් බෙදපන්නැ” යි බිරියට අණ කළෙන් තම සැමියාට බත් සහ මස් බෙදා, තවත් පිඟානකට බත් බෙදා තම සිඟිති පුතු කොයි දැ’යි විපරම් කළා, පුතු පේන මානයක නෑ, සැමියාගෙන් ඒ ගැන විමසුවා. පිළිතුර වූයේ රැවුම් - ගෙරැවුම් .
ස්වාමියා දෙවනුව මස් රැගෙන එමැ’යි පිටවූ මොහොතේ සිටම තම පුතු දක්නට නොවූ බව ඇයට සිහිපත් වුණා. ස්වාමියා විගස මස් කුට්ටියක් රැගෙන ආයේ කෙසේ ද යන්න සහ ස්වාමියාගේ සැක සහිත හැසිරීම පිළිබඳව ද ඇයගේ සිත බියට පත්වුණා.
විපත්තියක් පිළිබඳ යටි සිත අනතුරු ඇඟව්වා. වහා මස් හට්ටිය කරා ගිය ඇය, එය හොදින් පිරික්සුවා. මස් හට්ටියේ මස් අතර තිබී තම සිඟිති පුතු ගේ ඇඟිලි කොටසක් හමු වුණා.
නැගී ආ දරු දුක වාවා ගත නොහූ ඈ මස් හට්ටිය පිරික්සූ හැන්දේ මිටින් හිස හිල් වන සේ ඇන ගෙන “අනේ මයේ පුතා කෝ... යි” කෑ ගසමින් මියෙන තෙක් සැමත දිව ගිය බව පුරාණ ගැමි කතාවකින් කිය වෙනවා කළු. ඒ මව උල ලේනියකු (උලමකු) බවට පත් වී නැති වූ සිඟිති පුතු ගේ ආත්මය සොය සොයා සරන බවයි ගැමියන් ගේ විශ්වාසය. බලන්න මේ හඩ, මට නම් බයක් නෙමේ මහා දුකක් තමයි දැනෙන්නේ.
ඉදිරියේදී එළැඹෙන්නේ ‘යක් කුරුල්ලන් ගේ’ වසත් සමයයි. උන්ගේ විලාප ආගන්තුක නොවූ වන පෙත් නිහඬවම අසා සිටිනු ඇති. ඒ හඬ මිනිසුන්ට අමිහිරි නමුදු වනයට නම් මිහිරි යි.
බිය නොවන්න, මේ ශෝකී රාවය, අතීතයේ සිදුවූ ඛේදවාචකයක්, මිනිසාට .....
නමුත් යක්කුරුල්ලාට නම් ප්‍රේමණීය ආරාධනයක් කිරිල්ලියට කූඩු වෙන්නට එන්ට යැයි කියලා.
සටහන
සදමල් රශ්මී ශ්‍රී බුද්ධික
සේයා රූ
================================================
උපුටා ගැනීම් සහිතයි ....!!!
දයාබර පාථක සහෘදයිනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම් like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya
No comments:
Post a Comment