Wednesday, January 8, 2020

රාජසිංහ රජුගේ අබිරහස් උමගට රිංගූ ගැමියන් හත්දෙනා මියගියේ ඇයි ? (King rajasighe kotte umaga අබිරහස් අඩවිය - Abirahas Adawiya - හෙල පුරාණය)

කැලණි මිටියාවතේ සටන්කාරයන් සොයා...
‘පුරුතුගීසි කාරයා රටවල් අල්ලන්න වීරයා   
අතුරු රාජ මාරයා මුළු ලෝ හොල්ලන්න ශූරයා’   
අපේ ජනතාව තුළ මේ ගීතය හුදෙක් ප්‍රචලිත වූයේ පෘතුගීසින් ලංකාවට පැමිණ වසර ගණනාවකට පසුවයි. මුලින්ම ශ්‍රී ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශයට සංක්‍රමණය වූ පෘතුගීසින් පසුව ක්‍රමක්‍රමයෙන් රට අභ්‍යන්තරයට ප්‍රවිශ්ට වීමට තරම් දක්ෂ වූයේ ඔවුන්ගේ කූට උපාය ඥානය නිසායි. පෘතුගීසින් විසින් ලංකාවේ ඇති සශ්‍රීක භාවයත් සමඟ ඔවුන්ගේ ව්‍යාපාර සඳහා සුදුසුම ස්ථානයක් ලෙස ලංකාව ​ෙතා්රා ගත්තේ ඒ නිසාවෙනි.   
පෘතුගීසින් මෙරටට ගොඩ බසින විට එවකට කෝට්ටේ රාජධානිය කළ රජතුමන් මුණගැසීමට අවශ්‍ය බව ප්‍රකාශ කර තිබේ. ඒ අවස්ථාවේ රාජ්‍ය සේවකයන් පෘතුගීසින් හෙවත් පරංගීන් රජතුමා මුණගැසීම සඳහා කෙටි මාර්ග මගහැර වෙනත් දීර්ඝ මාර්ගයක් ඔස්සේ ගෙනගොස් රජතුමා මුණගැස්වීමට කටයුතු කළේය.   
එදා සිට ‘පරංගියා කෝට්ටේ ගියා වගේ’ යන ප්‍රස්තාව පිරුළ ප්‍රචලිත විය. ඒ පරංගීන් දුර මාර්ගයෙන් කෝට්ටේ රාජධානිය වෙත ගෙන ගිය නිසාවෙනි. කෙසේ වෙතත් කෝට්ටේ රාජධානියට පැමිණි පරංගීහූ රජුන් සමඟ ඉතා කුළුපග වූහ. ඔවුන්ගේ ව්‍යාපාර දියුණු කර ගැනීම මූලික අරමුණ විය.   
සිංහල රජතුමාට ද අවශ්‍ය වී තිබුණේ කෙසේ හෝ පරංගීන් සමඟ කුළුපග වී සිය රාජ්‍ය බලය පවත්වා ගෙන යාම සඳහා පරංගීන්ගේ සහාය ලබා ගැනීමයි. කෝට්ටේ රාජධානියෙන් පසුව පරංගීන්ගේ කූට උපායන් මගින් ඔවුහු සීතාවක රාජධානියට ද සංක්‍රමණය වූහ. එවකට ශ්‍රී ලංකාව පාලනය කළ රජවරුන් අතර ද බල අරගලයක් තිබිණි. මේ නිසා බොහෝ රජවරු පරංගීන් සමඟ මිතුදම් පවත්වාගෙන යාමට උත්සුක වූහ.   
පෘතුගීසින් හෙවත් පරංගීන් ක්‍රමක්‍රමයෙන් ලංකාව තුළ බලය තහවුරු කර ගනිමින් සිටින විට මෙය ද ශ්‍රී ලංකා පාලනය කළ රජවරුන්ට මහත් හිසරදයක් විය. මේ නිසා එවකට සීතාවක රාජධානිය කරගත් රාජසිංහ රජතුමන් පරංගීන් පලවා හැරීමට සිංහල භට පිරිස් සූදානම් කළේය. සීතාවක රාජධානියට අයත් හංවැල්ල තානායම පිහිටි ස්ථානයේ පරංගීහු බළකොටුවක් තනාගත්හ. එය වටේට දිය අගලක් කපා එ් තුළ කිඹුලන් දමා ආරක්ෂාව තර කර තිබේ. අදටත් එම දිය අගල දක්නට ලැබුන ද දැන් එය වල් බිහිවී තිබේ.   
හංවැල්ල ලෙස නම් වී ඇත්තේ පරංගීන් ගෙරි සම් කැලණි ගඟ ආසන්නයේ තැනිතලාවක වේළපු නිසා බව පැවැසෙයි. සම් වේළපු තැන නිසා හංවැල්ල ලෙස ප්‍රසිද්ධියට පත්ව තිබේ. අද හංවැල්ල තානායම පවත්වාගෙන යන්නේ ඒ පැරණි බළකොටුව තිබූ තැනය. 
මක්‍රමයෙන් පරංගීන් රට තුළට සංක්‍රමණය වීමත් සමඟ සිංහල රජවරුන්ට මෙය මහත් හිසරදයක් විය. ඒ නිසා ඔවුන් පලවා හැරීමට නොයෙකුත් උපක්‍රම යෙදූ බව ඉතිහාසය සඳහන් කරයි. පරංගීන් පලවා හැරීම සඳහා මූලිකව ක්‍රියා කළේ ටිකිරි කුමාරයා බව සඳහන් වෙයි. පසුව ඔහු සීතාවක රාජසිංහ නමින් ප්‍රචලිත විය.   
සීතාවක රාජසිංහ රජතුමා පරංගීන්ගේ බලය හීන කරවීම සඳාහා හේවායින් රැස් කළ ස්ථානය අද භාවිතා කරන්නේ ‘හේවාඉන්න’ ලෙසයි. හේවාඉන්න ප්‍රදේශයේ අදටත් හේවායින් සමඟ රහසිගතව සිටීමට සෑදූ උමගක් දැකිය හැකිය. එම උමං මාර්ගය හේවාඉන්න ප්‍රදේශයේ සිට සීතාවක රාජධානිය කරා ගමන් කිරීමට පිළිවන. මේ උමං මාර්ගය දැනට තාවකාලිකව වසා දමා තිබේ. මේ උමං මාර්ගය ඔස්සේ ගමන් කළ 7 දෙනකු පිළිබඳ තොරතුරු වාර්තා වෙයි. ඔවුන් 7 දෙනා එම උමං මාර්ගය ඔස්සේ ටික දුරක් ගමන් කරද්දී පහන් ආලෝ්කයක් දැක ඇත. ඔවුන් තවත් ඉදිරියට යාමේදී දැවැන්ත නාගයකු හමු වී තිබේ. පසුව ඔවුන් නැවත පැමිණ තිබේ. ඒ බව ඔවුන් ගම්වාසීන් සමඟ ප්‍රකාශ කර ඇත. ඒ බව ප්‍රකාශ කළ 7 දෙනාගෙන් 6 දෙනකුම දවස් හතෙන් හතට මියගොස් ඇතැයි ප්‍රදේශවාසීහු පවසති.
ඔවුන්ගෙන් එක් අයකු සිද්ධිය පිළිබඳ ප්‍රකාශ නොකළ නිසා ඔහු දිගු කලක් ජීවත්ව මිය ගිය බව ප්‍රදේශවාසී ඩී.ඩී. පියරත්න මහතා පැවැසීය. මෑත කාලයේ එම උමං මාර්ගය ඔස්සේ තරුණයන් කිහිපදෙනකු ගොස් තිබේ. උමග තුළට බැස්ස විට අඩි 10ක පමණ උසක් අැති බවත් තනිව සිටගෙන එහි ගමන් කළ හැකි බවත් එකී තරුණයකු සඳහන් කළේය. එම උමග තුළ පැති කිහිපයකට ගමන් කළ හැක. එය ආරක්ෂක පියවරක් ලෙස එසේ නිර්මාණය කර ඇත.   
හේවායින් සමඟ සීතාවක රාජසිංහ රජතුමා සේනාව රැස්කර පෘතුගීසින්ට පහර එල්ල කිරීම සඳහාත්, රහසිගතව රැකවලයේ යෙදීම සඳහාත් මේ උමග භාවිතා කර ඇත. දැනට හේවාඉන්න ප්‍රදේශයේ මේ පිළිබඳව ඇති එකම සාධකය මෙම උමං මාර්ගයයි.   
හේවාඉන්න ඉතා දකුම්කලු සුන්දර ග්‍රාමයකි. ගමට ඇතුළුවන ස්ථානයේ කුමාරි ඇල්ල නමින් දැකුම්කලු ඇල්ලක් ගලා බසියි. සති අන්තයේ අතිවිශාල දේශීය සංචාරකයෝ පිරිසක් එය නැරඹීමට පැමිණෙති.   
දැනට ඉතිරිව ඇති මෙම ඓතිහාසික උමං මාර්ගය ජනතාවට දැකබලා ගැනීම සඳහා ක්‍රමවත් වැඩපිළිවෙළක් නොමැත. එවැනි ස්ථානයක් සංරක්ෂණය කොට මතු පරම්පරාවට සකස් කිරීම බලධාරීන්ගේ වගකීමයි.    
හේවාඉන්න ප්‍රදේශයේ අැති උමග පිළිබඳව සොයා බැලීමේදී එය කිලෝමීටර් 6ක් 7ක් තරම් දුරකට විහිදෙයි. මෑත කාලයේ එම උමග තුළට ගිය තරුණයන් කිහිපදෙනකු අපට හමුවිය.   
සීතාවක රාජසිංහ රජතුමන් කෙටි මාර්ගයක් ලෙසත් ආරක්ෂාකාරීව සිටිමින් මෙය භාවිතා කළ බව ප්‍රදේශයේ වෙසෙන මංජුල මහතා ප්‍රකාශ කළේය. “අපි මීටර් 10ක් විතර දුරක් ගියා. පරණ රෙදි කැබලි, පාංකඩ, යකඩ වගේ දේවල් අපට හමුවුණා. උමග තුළට ගියාම එක එක පැතිවලට ගමන් කරන්න පුළුවන්. එළිය එන්න වා කවුළු ගොඩක් තිබෙනවා. අපිට ටිකක් දුර ගියාම බය සිතුණා මර උගුල් වගේ දේවල් තිබෙන නිසා. අනික අපට හොඳ එළියක් තිබුණේ නැහැ. ඒක නිසා අපි නැවත ආවා. උමග ඇතුළෙ විශාල දිය අගලක් ගලා බසිනවා. අපි හිතන්නේ බොහෝ වටිනා දේවල් තිබෙනවා කියලා විශ්වාස කෙරෙනවා. මේ උමගේ ප්‍රධාන දොරටුවෙන් ඇතුළු වුණාම ගමන් කිරීමට පුළුවන්. කිසිදු අපහසුතාවක් නැහැ. නමුත් අපිට ප්‍රමාණවත් උපකරණ තිබුණේ නැහැ. ඇතුළට තැනින් තැන කාමර වගේ කුටි තිබෙනවා. ඒත් දැන්නම් උමගට ඇතුළු වෙන මාර්ගය ගල් දාලා සිර කරලා තිබෙන්නේ.   
අපි අහලා තිබෙනවා අපි කුඩා කාලයේදී මේ උමග තුළට ගිය 7 දෙනෙක් ගැන. ඔවුන් ලිපියක් ලියලා ගිහින් තිබෙන්නේ. කොහොම හරි ඔවුන්ගෙන් 6 දෙනකුම මියගොස් තිබෙනවා. අපි විශ්වාස කරනවා මොකක් හරි අත්භූත දෙයක් වෙන්න ඇති කියලා. කටකතාවකුත් තිබෙනවා මේ උමඟ තුළ නිධානයක් තිබෙනවා කියලා. නමුත් අපි හරියටම දන්නේ නැහැ. එක එක්කනො කියන දේවල් තමා. අර මුලින්ම ගිය 7 දෙනා ලියුම ලියලා දුන්න කෙනා දැන් මේ පළාතේ නැහැ. කොහේ ඉන්නවා ද කියලා අපි දන්නේ නැහැ. හිටියා නම් හොඳ ​ෙතාරතුරු ටිකක් දැනගන්න පුළුවන්.  
මේ හේවාඉන්න කියලා නම හැදිලා තිබෙන්නේ සීතාවක රාජසිංහ රජ්ජුරුවන්ගේ හේවායින් මේ ප්‍රදේශයේ ඉඳලා තමයි පෘතුගීසින්ට විරුද්ධව සටන් වැදිලා තිබෙන්නේ. මේ උමග පිළිබඳ පුරාවිද්‍යාවෙන් හෝ සොයලා බලනවා නම් හොඳ ඓතිහාසික තොරතුරු රැසක් සොයාගන්න පුළුවන් වෙයි. දැන් මේ මාර්ගය ඉදිකරනකොට ගල්වලින් උමග වැසී තිබෙනවා. ඒත් එක් තැනකින් ගොඩ වෙන්න පුළුවන්. මේක ඓතිහාසික රාජධානියක්නේ. තවත් බොහෝ තොරතුරු ඇති.”  
සීතාවක රාජසිංහ රජ්ජුරුවන්ට කඩු සැපයූ සහ කඩු සඟවා තිබූ ප්‍රදේශය අද හැඳින්වෙන්නේ කඩුගොඩ නමිනි. කොළඹ අවිස්සාවේල්ල මාර්ගයේ කොස්ගම ප්‍රදේශයෙන් දකුණට හැරී ටික දුරක් යන විට කඩුගොඩ ග්‍රාමය හමුවෙයි.  
හේවායින් විසින් පරංගීන්ගෙන් අවි අායුධ ආරක්ෂා කරගැනීමට කඩු සඟවා තිබූ ග්‍රාමය තමයි කඩුගොඩ කියන්නේ. මේ ප්‍රදේශයේ ඒ කාලයේ හේවායින් කඩු සකස් කර ඇති බවට ඉතිහාසයේ මෙන්ම මුඛ පරම්පරාවෙන් දැනගත හැකියි. කඩුගොඩ ග්‍රාමයට සම්බන්ධ තවත් පොකුරු ගම් කිහිපයක් තිබේ. වෙරළුපිටිය, අරපන්ගම, කහපල, බොරළුගොඩ එම ග්‍රාමයන් වෙයි. කඩුගොඩ කියන නාමය පටබැඳී ඇත්තේ සීතාවක රජ්ජුරුවෝ කඩු සඟවා තැබූ ප්‍රදේශය නිසාවෙනි. නමුත් මෙහි පුරාවිද්‍යාත්මක සාධක නැත. ප්‍රදේශයේ දියුණුවත් සමඟ එම ඓතිහාසික තොරතුරු මැකී ගොස් තිබේ.
මතු සම්බන්ධයි...   
සටහන - නිශාන්ත කුමාර බණ්ඩාර
ඡායාරූප - ඇලෙක්සැන්ඩර් බාලසූරිය
lankadeepa
****************************************************
උපුටා ගැනීම් සහිතයි ....!!! 
දයාබර පාථක සහෘදයිනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya

No comments:

Post a Comment