Tuesday, January 7, 2020

2020 අලුත් අවුරුදු ලග්න පලාපල...(2020 lagna palapala astrology obata kohomada අබිරහස් අඩවිය - Abirahas Adawiya - ශාස්ත්‍රීය ළිපි)

මේෂ -
නිවැරැදි තීරණ ගන්න
වසර අරඹන්නේ කුජ ජල රාශිගතවය. මේෂ ලග්නයෙන් උපන් අයගේ වේගවත් ගමන 2020 පෙබරවාරි දක්වා අඩපණ වෙයි. එතැන් සිට යම් ශක්තියක් ලබයි. ඔබේ කටයුතුවල මේදක්වා මන්දගාමී බවක් ඇති කරයි. මෙතෙක් දක්වා කරදරකාරී බැවින් අලුත් දේ ආරම්භයට සුබ නොවේ. තම අභිමතය පරිදි කටයුතු කිරීමට යාම නම් අවුල් සහගතය. ආර්ථිකමය පීඩනය ඇතිවන බවක් පෙනෙයි. රැකියා ස්ථානයේ හෝ ව්‍යාපාරයේ අවුල් පෙන්වයි.

ධනය:- දෙවැන්නාධිපති අටවැන්නේ ගුරු ද සමගය. බොහෝ විට එදිනෙදා පැවැත්මේ අවුල්සහගත තත්තවයක් ඇතිවෙයි. සියලුම කටයුතුවල කරදරකාරී තත්ත්වයක් ඇතිවීමට පුළුවන. අතඇති ධනය මෙන්ම තැන්පතු ධනය පවා විනාශ වන කරුණු යෙදෙන්නට පුළුවන.

අධ්‍යාපනය:- අධ්‍යාපනය සමබන්ධයෙන්ද එතරම් යහපත් තත්ත්වයක් දක්නට නැත. පස්වැන්නට විශේෂයෙන් බලපෑම දක්නට තිබෙන්නේ අවුල් සහගත රවි + බුද + ශනි තිදෙනාගේ ශක්තියයි. එනම් වරින්වර යෙදෙන ග්‍රහ බල ශක්තීන් නිසා ඒ ඒ ග්‍රහයෝග ඇති අයට විභාග ජයගන්නට විදේශ ගතවන්නට උසස් අධ්‍යාපනයට යොමුවන්නට ශක්තිය ලැබෙනු ඇත.

රැකියාව:- ඔබ මේෂ ලග්නයෙන් ඉපිද රැකියා අපේක්ෂාවෙන් සිටින කෙනෙකු නම් අභියෝගාත්මකය. සමහර වෙලාවට බලාපොරොත්තු වන රැකියාව නොලැබීයාමට ඉඩ තිබේ. බලාපොරොත්තු සාර්ථක කරගන්නට නම් තරගකාරීව කටයුතු කළ යුතුය. ඔබ රැකියාවක නියුතු නම් සංකීර්ණ ගැටලු මතුවීමට ඉඩ තිබේ. විශේෂයෙන් මැයි සිට සැප්තැම්බර් දක්වා ප්‍රවේශම් වන්න. රාජ්‍ය සේවයේ නම් ඉහළයාමේ ශක්තිය තිබේ.

ගෘහ ජීවිතය:- සාමාන්‍යයෙන් පවතින ග්‍රහබල තත්ත්වය මත ගෘහ ජීවිතයට බලපෑම් ඇතිවන වසරක් වෙයි. සතරවැන්න රාහුගෙන් පීඩාවට පත්ව සිටින බැවින් තම පවුලේ අයගෙන්ම යම් යම් විරෝධතා ඇතිවේ. ස්වාමි භාර්යා අවුල් පෙනෙයි. අයිතීන් ලැබීම උදෙසා අවුල් කරගන්නට සිද්ධ වේවි. සැප්තැම්බර් දක්වා කාලය ප්‍රවේසම් වන්න. නිකරුණේ යෙදෙන ගමන් බිමන් සතුරු කරදර ආදියට හේතුවෙයි.

සෞඛ්‍යය:- එතරම් ප්‍රබල අසනීපකාරක බවක් නම් දක්නට නොවේ. හදිසි අනතුරු, ලේ දෝෂ, පපුවේ අසනීපවලට ඉඩ තිබේ. උෂ්ණාධික උදරාබාධවල හේතු පෙනෙයි. ඇස් අමාරු ඇතිවීමට පුළුවන.

● සුබ දින - අඟහරුවාදා සෙනසුරාදා

● සුබ වර්ණ - රතු, නිල්

● සුබ අංක - 1, 3, 4, 7
-------------------------------------------------------------------

වෘෂභ -
අන් අයගෙන් උදව්
වසර උදාවන්නේ ලග්නාධිපති සත්වැන්නේ සිටිමින් ගුරු සමග එකතුවී යහපතක්ම උදාකරමිනි. ගෝචරයෙන් පෙබරවාරි සිට මැයි දක්වා නිරායාසයෙන්ම සුබඵල උදාකර දේ. බොහෝ දෙනෙකුගෙන් උදව් උපකාර ලබමින් ජීවිතය සාර්ථක ගමනකට යාමට උදව්වේ. සමහර විටෙක කීර්ති ප්‍රශංසා ලබන තත්ත්වයට පත්වෙයි. සැප්තැම්බර්යේදී යම් පීඩාකාරී තත්වයක් ඇති නමුත් එතරම් විශාල පීඩාකාරී තත්වයක් නම් ඇති නොවේ.

ධනය:- වසර ආරම්භයේදීම බුද දෙවනැන්නේ ගමන් කරමින් ඇරඹෙන මෙම වසර ඔබට එතරම් අයහපත් කාලයක් නොවේ. ව්‍යාපාර කරන වෘෂභ ලග්න හිමියන්ට නම් ඉතාම යහපත් කාලයකි. අලුත් ව්‍යාපාර ආරම්භයට යහපත්ය.

අධ්‍යාපනය:- අධ්‍යාපනයෙන් ප්‍රබල ශක්තිමත් බවක් ඇතිකරගන්නට නොහැකි නමුත් කරගෙන යන අධ්‍යාපනයෙන්ද වැටීමකට නම් ලක්වන්නේ නැත. මුල් කාලයේදී අධ්‍යාපනයේ බිඳවැටීමක් පෙන්වන අතර දෙවන භාගයේදී ජයග්‍රහණ ලැබේ. විභාගවලින් තරගවලින් පරාජය හිමිවීමට ඉඩ තිබෙන නමුත් ඉන් අධෛර්යයට පත් නොවන්න.

රැකියාව:- රජයේ රැකියාවල නියුතු අයට නම් යම් යම් කරදර සිද්ධවීමට ඉඩ තිබෙන අතර පසුබෑම්ද සිද්ධවේ. උසස් වීම් අපේක්ෂා වෙන් සිටියි නම් එම අපේක්ෂාව බිඳ වැටීමට හේතුවෙයි. ක්‍රමයෙන් පරිහානි ලක්ෂණම පෙන්වන රැකියා කටයුතු නොවැම්බර් මස වනවිට අවුලක්ම ඇතිවෙයි. එහෙත් එතැනදී අභියෝගය ජයගතහොත් දියුණුව අනිවාර්යවේ.

ගෘහ ජීවිතය:- සත්වැන්නේ ගමන් කරන ගුරු සිකුරු දෙදෙනා සාමාන්‍යයෙන් ගෘහ ජීවිතය පිළිබඳ යහපත් අපේක්ෂා ඇති කරයි. පවත්නා රැකියාවල දියුණුවක් ඇතිකළ හැකිය. රැකියා අපේක්ෂිත තරුණ තරුණයන්ට තම බලාපොරොත්තු ඉටුකරගත හැකිය. පවුලේ දියුණුව අපේක්ෂා කරන අයට එම අරමුණ ජයගත හැකිය. එහෙත් විවාහ අපේක්ෂිත තරුණයෙක් තරුණියක් නම් විවාහ යෝජනාව ආදරය ජයගැනීම පිළිබඳ විවිධ අභියෝග ඇතිවීමට පුළුවන.

සෞඛ්‍යය:- ලග්නාධිපති වන ශුක්‍ර 6 වැන්නේ බැවින් ඉතා විශාල සෞඛ්‍ය ගැටලු තත්ත්වයක් පෙන්වන්නේ නැත. සමහරවිට ඒ තුළින්ම ගැටලු සමනය වීමට ඉඩ තිබේ. එහෙත් නොවැම්බර් - දෙසැම්බර් මාසවලදී ජලය සමග කටයුතු කිරීමේදී ප්‍රවේශම් වන්න. පපුවේ අතුරු ආබාධ පිළිබඳව සැලකිලිමත් වන්න.

● සුබ දවස - බදාදා, සිකුරාදා

● සුබ වර්ණ - සුදු ලාකහ

● සුබ අංක - 6 පමණි
----------------------------------------------------------------------

මිථුන -
පවුලේ දියුණුව
ලග්නාධිපති බුද සත්වැන්නේ ප්‍රබල යෝගයකින් ශක්තිමත්ව සිටිමින් උදාවන මෙම වසර ඔබට මිශ්‍ර පල ගෙන දෙන බවක් පෙනෙයි. සඳු පස්වැන්නේය. ගුරු + ශුක්‍ර දෙදෙනාම සය වැන්නේය. 10 වැන්නේ කුජ ප්‍රබලය. මේ අනුව සලකනවිට යම් ප්‍රබලත්වයක් දක්නට තිබේ. ස්ථානමය වශයෙන් එකදු ග්‍රහයෙකු හෝ ප්‍රබල බවක් දරා නැත. ආත්ම ශක්තිය ප්‍රායෝගික වී මේ දුර්වලතාවක් පෙන්වයි. එහෙත් මෙය දිගටම පවතින තත්ත්වයක් නොවේ. ග්‍රහ ගෝචරය අනුව ජූනි ජුලි වනවිට ශක්තිය ප්‍රබල වීමට පුළුවන. පවුලේ දියුණුවට ඉඩ සැලසේ.

ධනය:- ආරම්භයේදීම රාහු දෙවැන්නේ බැවින්ද එය කටකය බැවින්ද අනවශ්‍ය වියදමක් දරනන්ට සිද්ධ වේ. සමහර විටෙක තැන්පත් ධනය පවා වැයවීමට පුළුවන. දේපළ උරුමය පිළිබඳව සංකීර්ණතාවක් ඇති කර ගන්නට පුළුවන.

අධ්‍යාපනය:- අධ්‍යාපනය පිළිබඳ එතරම් අවුලක් පෙන්වන්නේ නැති නමුත් මුල් කාලයේ කිසිම ප්‍රගතියක් දක්නට නොලැබෙයි. වෘත්තීය පිළිබඳව අධ්‍යාපනයට ඉඩකඩ ලැබේ. තමන් සිටින තත්ත්වයෙන් ඉහළට යාමට අධ්‍යාපනය යොදා ගත හැකිවේ. අලුත් අලුත් දේ ඉගෙනීමට අවස්ථාව සැලසේ. විභාගලට පෙනී සිටින අයට ජය ලැබේ.

රැකියාව:- රැකියාව සම්බන්ධයෙන් ඔබ ප්‍රවේශම් විය යුතුය. අහඹු සිද්ධවීම් තුළින් රැකියාවේ අවුල් ඇතිවීමට පුළුවන. කරන්නා වූ රැකියාවේ උසස්වීම් ලැබෙන්නට පුළුන. රැකියා ලැබීමට ඉඩ තිබේ. මාර්තු අප්‍රියෙල් මාසවල බලාපොරොත්තු සාර්ථකව ඉටු වන යුගයක් වෙයි. අලුත් රැකියා අපේක්ෂා කරන්නේ නම් සාර්ථක වීම පසුබටය. තමන්ගේම කියා දෙයක් කරන්නට උත්සාහ කරන්නේ නම් එය සාර්ථක වීමට පුළුවන.

ගෘහ ජීවිතය:- ගෙදර දොර කටයුතු වඩාත් ක්‍රමවත්ව ක්‍රියාත්මක කරන යුගයක් වෙයි. බොහෝ දුරට අවිවාහක නම් වඩාත් යහපත් වසරෙකි. විවාහය සක්‍රිය වීමේ අවස්ථාව මතු වන බැවිනි. මංගල යෝජනා උදාවේ. විවාහකයන්ගේ පවුල් ජීවිතයේ කටයුතු සාර්ථක වෙයි. සතුරු කරදර තුලනය වී ජීවිතය යහපත් මගකට යොමුවෙයි. වාසනාවන්ත දූ දරුවන් ලබන කාලයක් වෙයි. ස්වකීය උත්සාහයෙන් කටයුතු කරන්නන්ට ඉතාම වාසනාවන්ත වසරෙකි. සතුරු කරදර වීනම් ඒවා තුලනය වීමක් දක්නට ලැබේ.

සෞඛ්‍යය:- ඔක්තෝබරය දක්වා ඉතාම යහපත් තත්ත්වයක් සෞඛ්‍යය පවතිනු ඇත. ඉන්පසුව කරදරකාරී රෝගයක් ඇතිවෙයි. හදිසි අනතුරු තුවාල ආදියට ඉඩ තිබේ. රෝග සුවය පිළිබඳ ප්‍රශ්න ඇතිවේ. ශරීර ශක්තිය හීනවෙයි. උදරාබාධ අක්මාවේ අසනීප ආදියට හේතු වෙයි. ප්‍රවේශම් වෙන්න.

● ජය අංකය 3, 5

● ජය වර්ණය කොළ සහ කහ

● ජය දිනය බදාදා, සිකුරාදා
ශ්‍රීමත් ශාලිවාහන ශක නෘප වර්ෂ ප්‍රමාණයෙන් 1941 වැන්නෙහි මතු විෂ්ණු විංශතියට අයත් පිතරයුග පංචාබ්දයෙහි තෙවන ඉඩාවස්තර භේද නාමධාරී චන්ද්‍ර දේවතාධිපති විකාරී නම් මෙම වර්ෂය වනාහී මේෂ රවි 01 භාග වූ බක්මස පුර දසවක නම් තිථිය ලත් රිවි දින මධ්‍යම උදයාදී පැය 19 විනාඩි 57ට හෙවත් ක්‍රිස්තු වර්ෂයෙන් 2019 වැන්නෙහි අප්‍රියෙල් මස 14 වන ඉරිදා අපරභාග 2.09ට සඳු හිමි කටක ලග්නය රවි හිමි සිංහ රාශ්‍යාර්ධය ගුරු හිමි මීන දෙර්කාණයෙත් ගුරු හිමි මීන නවාංශකයෙන් කිවි හිමි වෘෂභ ද්වාදිශාංශකයෙන් කුජ හිමි වෘශ්චික ත්‍රිශාංශකයෙන් බුද හිමි අස්ලිස නැකතේ දෙවන පාදයෙන්ද ශුලයෝගයෙන්ද තෛතිල කරණයෙන්ද ශුක්‍ර හෝරාවේ ශුක්‍ර පංචම කාලයෙන්ද බුද හිමි ශක්ෂම හෝරාවෙන්ද සම්භව හිරු මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වීමෙන් සිද්ධ වනු ලැබේ.
----------------------------------------------------------------------

කටක -
වාසනාවන්ත වසරකි
මෙම වසර කටක ලග්න හිමියාට ඉතාම වාසනාවන්ත වසරෙකි. සංවත්සරය උදාවන්නේද කටක රාශිය පදනම් කරගෙන බැවින් මේ ඔබට ඉතාම වාසනාවන්ත වසරෙකි. පැවැති කරදර බොහොමයක් නිමවී අලුත් උදාවක් ඇති කරගත හැකි වෙයි. මැයි ජූනි කාලයෙන් පසුව ඉඩකඩම් දේපළ පිළිබඳව පැවැති ප්‍රශ්න නිරාකරණය වී සිතට සහනය ලැබෙයි.

ධනය:- ධනය පිළිබඳව වරින්වර වෙනස්කම් ඇතිවේ. මේනිසා ජීවිතය ගොඩ නගන්නට මනා කලමනාකාරිත්වයක් අවශ්‍යවේ. දේපළ ඉඩකඩම් පිළිබඳව ප්‍රශ්නයක් මුල් කාලයේදී ඇති වුවක් වසර අග සියල්ල සාර්ථකව විසඳෙයි.

අධ්‍යාපනය:- මුල් කාලයේ යම් විපරීත බවක් දක්නට තිබේ. එහෙත් ගෝචරයෙන් ගුරු + සිකුරු පස්වැන්නේ වීමත් කුජ 9 වැන්නේ වීමට ප්‍රශස්ත මට්ටමේ ඉහළ අධ්‍යාපනයක උරුමය ලබාදෙයි. සහජ ශක්තීන් ප්‍රබලව ක්‍රියාත්මක වන යුගයෙකි. එහෙයින් ඉහළ අධ්‍යාපනයට යොමුවීමේ ශක්තිය තිබේ. උසස් අධ්‍යාපනය ලබන්නේ නම් ඉතාම යහපත්ය.

රැකියාව:- රැකියා තත්ත්වය සම්බන්ධයෙන්ද වඩාත්ම යහපත් යුගයෙකි. සෘජු සහ ඉක්මන් තීරණ ගැනීමෙන් මෙම තත්ත්වය යහපත් අතට හැරෙයි. මාර්තුවෙන් පසුව පටන් ගන්නා තත්ත්වය ඉතාම ඉහළ තැනකට ඔබ ගෙනයන බවක් පෙනෙයි. ලේඛන සම්බන්ධව කටයුතු කරන අයට ඉතාම යහපත්ය. රසායන ක්ෂේත්‍රය, ඉඩකඩම් ක්ෂේත්‍රය, ක්‍රීඩා ක්ෂේත්‍රය රැකියා කරන අයට ඉතාම ප්‍රශස්ත වෙයි. අලුතින් රැකියා අපේක්ෂා කරන අයගේ බලාපොරොත්තු ඉටුවීමට පුළුවන. විදේශ ගතවීමට අපේක්ෂා කරන අයට සාර්ථක ප්‍රතිඵල ලැබෙයි.

ගෘහ ජීවිතය:- මෙම කාලයද ඔබට යහපත්ය. ඉඩකඩම් ගේදොර ලැබීමෙන් වාසනාවන්ත බව ඉහළ මට්ටමකට යයි. වාසනාවන්ත ගෙවල් දොරවල් ඇතිකරගත හැකිය. එහෙත් ජලයෙන් පීඩා විඳීමට සිද්ධ වෙයි. බොහෝ විට සෑම දෙනෙකු සමග වගකීමෙන් කටයුතු කරන්න. මුලදීම ප්‍රේම සබඳතාවලට බාධක එල්ල වුවත් පසුව සමනය වෙයි. එහෙත් විපරීත අදහස් මත තමන්ට නොගැළපෙන අය සමග සබඳතා ගොඩ නගා ගතහොත් ජීවිතය අවුල් වෙයි. එසේ යන ප්‍රවණතාවක් තිබේ. පාර්ශ්වීය විරෝධතාවලට ලක්වන බැවින් ප්‍රවේසම් වන්න. පිරිමි දරුවන් ලබන කාලයෙකි. සමහර විටෙක ස්වාමි භාර්යා අරගල ඇතිවීමට පුළුවන. ප්‍රවේශම් වීම වැදගත්ය.

සෞඛ්‍යය:- සෞඛ්‍ය පිළිබඳව නම් එතරම් යහපත්ම තත්ත්වයක් නොපෙන්වයි. විශේෂයෙන් දියවැඩියා රෝග යට ඉඩ තිබේ. ශරීර උෂ්ණත්වය වැඩිවීමට අක්මාව අග්න්‍යාශය සම්බන්ධ රෝග ඇතිවෙයි. තුවාල, බිබිලි ආදිය නිතර ඇතිවෙයි. උෂ්ණත්වය සහ සීතල දෝලනය වන තත්ත්වයක් නිසා මෙය උදාවෙයි. ශරීර අභ්‍යන්තර රෝග පිළිබඳව සැලකිලිමත් වන්න.

● සුබ අංක 2, 3, 5

● සුබ වර්ණය සුදු, ක්‍රීම් වර්ග

● සුබ දින ඉරිදා, බදාදා, සිකුරාදා
-------------------------------------------------------------

සිංහ -
මුදල් ආයෝජනයට සුබයි
සිංහ ලග්න ජන්මියාටද මෙම වසර එතරම් අවුල් බවක් පෙන්වන්නේ නැත. දියුණුව සම්බන්ධයෙන් එතරම් අවුල් සහගත ත්ත්වයක් ඇති නොකරයි. ලග්නාධිපති රවි, බුද, ශනි සමග පස්වැන්නේ සිටිමින් ඇරඹෙන මෙම වසර මෙම ජන්මියාට එතරම් අයහපත් නොවෙයි. ආර්ථිකය සම්බන්ධයෙන් යහපත් තත්ත්වයක් උදාකරයි. මුදල් ආයෝජන කටයුතුවලින් සාර්ථක වෙයි.

ධනය:- ධන නියෝජිත බුද, රවි, ශනි සමග පස්වැන්නේ වීමත් ගුරු සතර වැන්නේ වීමත් නිසා පසුගිය මාසයේ සිටම ආරම්භ කළ ධනය සෙවීමේ ව්‍යාපෘතීන් සාර්ථක වන බවක් දක්නට තිබේ. වියදම් කටයුතුවල යම් වැඩිවීමක් දක්නට ලැබුණද සමබර කරගැනීමට ශක්තිය තිබේ.

අධ්‍යාපනය:- ඉතාම යහපත් මට්ටමක අධ්‍යාපන කාරක බවක් දක්නට තිබේ. රවි + බුද + ශනි පස්වැන්නේ ආදේශවීම නිසා ඉහළ අධ්‍යාපන තත්ත්වයක් දක්නට තිබේ. තමන් බලාපොරොත්තු වන කුමන හෝ ක්ෂේත්‍රයකින් ඉළ අධ්‍යාපනයට යාමේ වරම් තිබේ.

රැකියාව:- රැකියා ස්ථාන අධිපතියා සිකුරුය. සිකුරු ගුරු සමග හතර වැන්නේ සප්තම දෘෂ්ටියෙන් දකී. මේ නිසා රැකියා කටයුතුවල වැඩිදියුණුවක් පෙන්වයි. උසස්වීම් අපේක්ෂා කළ හැකියි. එහෙත් අනපේක්ෂිත කරදරවලට හේතු පෙන්වයි. ඉහළ තත්ත්වයට යාමට ශක්තිය පෙන්වයි.

ගෘහ ජීවිතය:- ගෘහ ජීවිතයේද යහපත් තත්ත්වයක් පෙන්වයි. ලස්සන ගෙයක් දොරක් හිමිවෙයි. ගෘහ ජීවිතයේ සතුටුදායක තත්ත්වයක් ඇතිවීමට පුළුවන. තමන්ගෙන් උපකාරගත් තමන් ආදරය කළ බොහෝ දෙනෙක් ඔබට ගැරහීම් කරමින් ඉවත්වීමට පුළුවන්. රැවටීම, මුලාකිරීම ඇති කරන්නට පුළුවන. සමහර විටෙක ස්ථීර පදිංචිය වෙනසකට භාජනය වීමට ඉඩ තිබේ. ලස්සන අලංකාර තැනක ජීවත්වීමට උරුමය ලැබේ. ආදර බාධක ඇතිවෙයි. අවිවාහකයන්ට මංගල යෝග, උදා කෙරෙයි.

සෞඛ්‍යය:- සැඟවී තුබුණු ගුප්ත රෝගමය තත්ත්වයක් මතුවීමට පුළුවන. විශේෂයෙන් පපුව ආශ්‍රිත රෝග තත්ත්වයක් තිබෙන අය ප්‍රවේසම් වන්න. පාදවල තුවාලවීම් ඇතිවීමට පුළුවන. අපත්‍ය ආහාරවලින් වැළකී සිටීමට උත්සාහ කරන්න. උදරාබාධ වලටද හේතු වෙයි.

● සුබ දින ඉරිදා, බදාදා

● සුබ අංක 1, 4

● සුබ වර්ණය රතු
----------------------------------------------------------------------

කන්‍යා -
රැකියා උසස්වීම්
පවත්නා ග්‍රහ තත්තවන් මත කන්‍යා ජන්ම ලාභියාටද එතරම් අගුණතත්ත්වයක් පෙන්වන්නේ නැත. ඒ ඒ ස්ථානමය ශක්තිය දෙමින් ග්‍රහයෝ සථානවල ප්‍රබලයහ. ලග්නාධිපති බුද රවිද ශනිද සමග 4 වැන්නේය. බොහෝ දුරට දෝෂමය තත්ත්වයක් පාලනය කරගෙන ඉදිරියට යාමට ශක්තිය තිබේ. බොහෝ විට බාධක දුරු කරගෙන ඉදිරියට යාමේ ශක්තිය ලබාදී තිබේ.

ධනය:- දෙවැන්න සෞම්‍ය ග්‍රහයකුට අයත් වීම නියා ආර්ථිකමය වශයෙන් ප්‍රබල තත්වයක් උදාකර තිබේ. ධනය ලැබීම අතින් අවුලක් ඇති නොකරයි. ආදායම් මාර්ග යහපත් කරමින් ධනය ඉපයීමේ කටයුතු ශක්තිමත් කර දෙයි නිවසේ සිටම කරන කටයුතුවලින් ජයක් ලබන්නට ශක්තිය තිබේ. අමතර ආදායම් මාර්ග ඇතිවේ.

අධ්‍යාපනය:- සාමාන්‍යයෙන්ම කන්‍යා ලග්න ජන්මීන් බුද්ධිමත් බව පිළිගන්නා සත්‍යයකි. ඔබගේ එම ශක්තිය හැකියාව වර්ධනය කරගත හැකි වසරක් උදාව ඇති බව පෙනෙයි. ඉගෙනීම මේ කටයුතු ඉතාම ඉහළින් කර ගත හැකි තත්ත්වයක් උදාවී තිබේ. පාසල් යන අයගේ කටයුතු යහපත් වේ.

රැකියාව:- ඔබේ රැකියාකාරක බුධ ද මේ වසරේ සිටින්නේ ඉතාම යහපත් තත්ත්වයකය. ඔබ ලේඛන සම්බන්ධව රැකියාවක්, ගුරු වෘත්තිය වැනි රැකියාවක් කරන්නේ නම් ඉතාම යහපත්ය. දියුණුව ලබන තත්ත්වයක් පෙන්වයි. අනෙක් ග්‍රහබල ද යහපත් බැවින් උසස්වීම් සමග බලාපොරොත්තු වන අන්දමේ තැනකට යාමට ශක්තිය තිබේ. වසර මැද භාගයේදී නම් යම් යම් කරදරකාරී තත්ත්ව ඇති වීමට ඉඩ තිබේ.

ගෘහ ජීවිතය:- බලාපොරොත්තු වන අන්දමේ ස්ථානයකට යාමට ශක්තිය ලැබේ. අන්‍යොන්‍ය සබඳතා ඇති කරගන්නට හැකියාව ලැබේ. ආදරවන්තයන්ට තම උරුමයද ආදරවන්තියන්ට තම උරුමයද ලැබේ. වැඩිහිටියන් උසස් අයගෙන් උදව් උපකාර ලැබේ. සතුරන් මිතුරන් වේ. අලුතින් ආදර බැඳීම් ඇති වේ. පවුලේ තත්වය සෑම අතින්ම දියුණු වේ. එහෙත් පදිංචි ස්ථානවල අවුල් ඇතිවීමට ද පුළුවන. නිවාස අතහැර යාමට සිද්ධ වේ. පදිංචිය අනිවාර්යෙන්ම වෙනස් වෙයි.

සෞඛ්‍යය:- එතරම් ගැටලු සහගත බවක් නොපෙන්වයි. එහෙත් යම් යම් කටයුතුවලදී මානසික ගැටලු ඇති වීමට පුළුවන. එහිදී බුද්ධියට ඉඩ දී කටයුතු කරන්න. සියලු අවුල් විසඳා ගත හැක. සාමාන්‍ය රෝග තත්ත්ව නොපෙන්වයි. ආහාර විසවීම් ඇති වීමට පුළුවන්. ප්‍රවේසම් වන්න. විස සතුන් දෂ්ඨ කිරීමට පුළුවන. ප්‍රවේසම් වන්න.

● සුබ අංකය:- 2, 3, 5

● සුබ වර්ණය :- කොළපාට

● සුබ දිනය:- බදාදා, බ්‍රහස්පතින්දා
----------------------------------------------------------------------

තුලා-
කීර්ති සහ ප්‍රශංසා
ලග්නාධිපති ගුරු සමග දෙවැන්නේ තබාගෙන උපන් ඔබ සාමාන්‍යයෙන් කාරුණික ගතිගුණ ඇති බොහෝ විට සංවේදී වන ජන්මියෙකු වෙයි. අනුන්ගේ ප්‍රශ්නවලින් සංවේදී වන කෙනෙකු වෙයි. ලග්නාධිපති දෙවැන්නේ වීම යහපත් තත්ත්වයෙකි. ගුරු ද ඒ සමගම වීම යහපත් තත්ත්වයෙකි.

ධනය:- ධනස්ථාන අධිපති කුජ 6 වැන්නේ සිටිමින් දෙවැන්න දකින අතර දෙවැන්න ගුරු ශුක්‍ර සිටිමින් ශක්තිමත් බැවින් වසර ආරම්භයේ සිටම ධනය සම්බන්ධ එතරම් අවුලක් පෙන්වන්නේ නැත. මේ අනුව අලුත් ධන මාර්ග ආරම්භ කර දියුණුවට යාමට ශක්තිය තිබේ. දුරගමන් යෙදෙනු අතර මගදී ධනමාර්ගයක් වෙයි.

අධ්‍යාපනය:- අනියම් ලෙසින් මේ වසරේ ඔබේ අධ්‍යාපනය දියුණුවට යන යුගයක් වෙයි. ඥානය දියුණුව උදෙසා කටයුතු කරන අතර බුද්ධියෙන් කරන එම කටයුතුවලින් දියුණුවක් ලැබේ. රවි ශනි, බුද තුන් වැන්නේ යහපත් සබඳතාව නිසා කීර්ති ප්‍රශංසා ශක්තිමත් සබඳතා ඇති වීමට ඉඩ තිබේ. විභාගවලින් තියන ජය ලබන තත්ත්වයක් පෙනෙයි. අලුත් අධ්‍යාපන කටයුතු ඇරඹීමට ඔබ ප්‍රශසික කාලයකි.

රැකියාව:- වසර ආරම්භයේදීම දහවැන්නේ සිටින රාහු රැකියාවේ අවුල් තත්ත්වයක් ඇති කිරීමට පුළුවන. දියණුව අඩුවීම ස්ථාන මාරු මෙන්ම සතුරු කරදර ආදියක් ද දක්නට ලැබේ. හොඳින් ප්‍රවේසමෙන් කටයුතු කරන අතරම සොයා නොබලා එන එන සෑම දෙයකට අත්සන තබන්න එපා. එසේම අලුත් රැකියා ලැබීමට ද හේතුවෙයි.

ගෘහ ජීවිතය:- සාමාන්‍යයෙන්ම ලැබීමට නියමිත දේ ලැබෙන යුගයකි. ගේ දොර ඉඩකඩම් ලැබීමට ඉඩ තිබේ. සමහරවිටෙක දී පවුල් ජීවිතයේ අවුල් ඇතිවීමට ඉඩ තිබේ. එහෙත් ඥාතීන් සමග කරන කටයුතුවලදී ප්‍රවේසම් වන්න. සාමාන්‍ය වශයෙන් පවුල් දිවිය යහපත් වන බව දක්නට තිබේ. අනියම් සබඳතාවලට යාමට උරුමය වෙයි. ප්‍රවේශම් විය යුතුයි. මේ තත්ත්වය ගෘහ ජීවිතය අවුල් කරන්නට හේතු වෙයි.

සෞඛ්‍යය:- සාමාන්‍යයෙන් රාහු 10 වැන්නෙත් කේතු සතර වැන්නෙත් වීම නිසා පපුවේ සෙම්රෝග ගති ඇතිවීමට ඉඩ තිබේ. එහෙත් වසරේ අගභාගය වනවිට සියලු රෝග නිවාරණය වී යහපත් තත්ත්වයක් උදා කරයි. ප්‍රසන්න පෘෂ්ඨිමත් පෙනුමක් ලැබෙයි.

● සුබ අංක 6

● සුබ වර්ණය - සුදු, ක්‍රීම් - අයිවරි කලර්

● සුබ දිනය සිකුරාදා, සෙනසුරාදා
----------------------------------------------------------------------

වෘශ්චික -
විදෙස් ගමන් බිමන්
වෘශ්චික ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති පස්වැන්නේය. සරලව ගතහොත් වෘශ්චික ලග්න ජන්මියාට යහපත උදා කරන වසරෙකි. රවි බුද, ශනි දෙවැන්නේය. ධනය ලැබීම අතින්ද කතාවෙන් යම් යම් කරදර ඇති කර ගන්නා තත්ත්වයක් ඇති කරයි. වසරේ මුල්කාලය ඉතාම යහපත්ය. විදේශ ගමන්බිමන්වලට හේතුවෙයි. එහෙත් වසරේ මැද භාගය වන විට නොසිතූ කරදරවලට හේතුවෙයි.

ධනය:- ධනස්ථානය වන දෙවැන්නේ රවි, බුද, ශනි තිදෙනා සිටීම ඉහළ මට්ටමින් මුදල් සොයන පිහිටීමකි. ආර්ථිකමය දෝෂ ඇති නොවේ. ගුරු සිකුරු ලග්නයේ සිටීමද මහත් පල දෙන ආර්ථිකමය තත්ත්වයකි.

අධ්‍යාපනය:- ඉගෙනීම සම්බන්ධව ස්ථාන මත පස්වැන්නේ කුජ සිටීම අධ්‍යාපන යෝගයෙකි. කාර්මික ඉංජිනේරු අංශයෙන් අධ්‍යාපනය ලබන අයට නම් බලාපොරොත්තු ඉෂ්ඨ වන වසරෙකි. අධ්‍යාපන ශක්තීන් වර්ධනය කරන ඉහළ වන වසරෙකි. අධ්‍යාපන ශක්තීන් වර්ධනය කරන ඉහළ අධ්‍යාපනයට යොමු කරන යෝගයෙකි. වසරේ අගභාගය වන විට ඉගෙනීමේ දුර්වලතාවයක් ඇති වීමට ඉඩ තිබේ.

රැකියාව:- 4 සහ 10 යන ස්ථාන ප්‍රබල නොවීම නිසා රැකියාවේ සුලු අවුල් තත්ත්වයක් ඇතිවීමට පුළුවන. එහෙත් එතරම් විශාල බාධක තත්ත්වයක් පවතින රැකියාවට නම් අත්වන්නේ නැත. උසස්වීම් පඩි වැඩිවීම් වැනි තත්ත්වයන් සාර්ථක නොවන බැවින් සුළුවෙන් හෝ රැකියා කරදර වීමට පුළුවන.

ගෘහ ජීවිතය:- ශනි දෙවැන්නේ සිටීමක් තරමක් අතෘප්තිකර යෝගයක් වීමත් නිසා ගෘහ ජීවිතය පිළිබඳ අවුල් සහගත තත්ත්වයන් ඇතිවීමට ඉඩ තිබේ. පවුලේ කෙනෙකුට අපල ගෙන දීමට පුළුවන. අඹුසැමි වාද භේද ආරවුල් ඇති වීමට ඉඩ තිබේ. සිත් තැවුල්වලට හේතුවෙයි. ගිනි බියක්, ජල බියක් ඇතිවීමට ඉඩ තිබේ. කිසිම ආකාරයකට අන්‍යන් සමග ආරවුල් ඇතිකර නොගන්න. තීන්දුවක් ඇති වීමට ඉඩ තිබේ.

සෞඛ්‍යයය:- මුල් කාලයේදී නම් එතරම් අවුලක් පෙන්වන්නේ නැත. රවි, ශනි දෙදෙනා දෙවැන්නේ ගමන් කිරීම නිසා තදබල හිසේ අමාරුවක් ඇතිවීමට ඉඩ තිබේ. වසරේ අවසාන කාලය නම් කිසිසේත්ම යහපත් නැත. ලේ දෝෂ සෙම දෝෂ ඇතිවීමට පුළුවන. ප්‍රවේසම් වන්න.

සුබ වර්ණය රතු, දුඹුරු
සුබ අංකය 4, 5, 7
සුබ දිනය - බ්‍රහස්පතින්දා, අඟහරුවාදා
----------------------------------------------------------------------

ධනු -
මංගල යෝග උදාවේ
ලග්නාධිපති ගුරු 12 වැන්නේ සිකුරු සමග සිටීමත් ආරම්භ වන මෙම වසර එතරම් ප්‍රශස්ත බවක් ජන්මියාට ලැබෙන්නට හැකියාවක් නැත. එහෙත් මනා පෞරුෂය වයසට වඩා වැඩි තත්ත්වයක් දක්නට තිබේ. බුද්ධිමත් ලෙස කටයුතු කරන කෙනෙකු දියුණුවට බාධක මෙන්ම ශරීර සෞඛ්‍යයටද එතරම් යහපත් තත්ත්වයක් දක්නට නැත. පවුලේ සමගියට බාධකයකි. මංගල කටයුතු ප්‍රමාද කරයි. ඔබ තරුණයෙක් හෝ තරුණියක් නම් විවාහ යෝජනා ඉදිරිපත් වීමට පුළුවන.
ධනය:- ලග්නයේ රවි, බුද, ශනි කේන්දර ගතවීම නිසා යම් තරමකට ආදායම තත්ත්වය සාර්ථක මට්ටමකට ගෙන එන නමුත් ධනය වැය කිරීම සම්බන්ධයෙන් අවුලක් පෙන්වයි. වියදම් වැඩි වෙයි. වසර දක්වා මෙම තත්ත්වය පවතින අතර ඉන්පසු ක්‍රමයෙන් තත්වය යහපත් වෙයි.

අධ්‍යාපනය:- රවි, බුද ශනි ලග්නයේ වීමත් ගුරු, ශුක්‍ර 12 වැන්නේ වීමත් නිසා අධ්‍යාපනයේ නම් දියුණුවක් දැකිය හැකිය. කරගෙන ගිය අධ්‍යාපන කටයුතු සාර්ථක මට්ටමක යාමට හැකියාව තිබෙයි. තරමක්දුරට මානසික තත්ත්වය පහත වැටෙන සිතුවිලි මත අධ්‍යාපන අවුල් වීම් ඇති වුවත් ප්‍රබල යෝග තුළින් එම අභියෝග ජය ගන්නට ඔබට ශක්තිය තිබේ.

රැකියාව:- වසරේ මුල් කාලයේ රැකියා කටයුතුවල බිඳ වැටීමක්, ව්‍යාපාර කරන්නේ නම් අසාර්ථක වීමක් දක්නට ලැබේ. එහෙත් ක්‍රමයෙන් ගුරුගේ බලවත්වීම තුළ රැකියාවේ ස්ථාවර තත්වයක් ඇතිවන බව පෙනෙයි. දියුණුවක් ඇති කරයි. එහෙත් ප්‍රවේසම් විය යුතුයි. සතුරු කරදර දක්නට තිබේ.

ගෘහ ජීවිතය:- කරන දෙය නිවැරදිව කරන්නට උත්සාහ කිරීමත් පසුබට නොවී ගන්නා තීරණ නිසාත් ජීවිතයේ අවුල් තත්ත්වයක් ඇතිවීමට ඉඩ තිබේ. එහෙයින් කෙලින් වැඩ කිරීම අභියෝගාත්මක වෙයි. සමහර වෙලාවට කරන්නට අපේක්‍ෂා කරන දෙය කරගන්නට නොහැකි තත්ත්වයක් උදාවෙයි. සාමාන්‍යයෙන් අවි ආයුද වලින් කටයුතු කරන අය ප්‍රවේසම් වීම වැදගත් වෙයි. තම අවිය තමා දෙසටම හැරෙන්නට ඉඩ තිබේ.

සෞඛ්‍යය:- රාහු අට වැන්නේ වීමත්, ගුරු, ශුක්‍ර දෙදෙනා 12 වැන්නේ වීමත් තුළ යම් තරමකට අසනීපකාරී බවක් දක්නට තිබේ. ශරීර දුර්වලතා ඇති කෙරේ. ඇස්වල දත්වල ආබාධ ඇතිවිය හැකිය. විශේෂයෙන් කිසියම් අසනීපයක් ඇති වුවහොත් සුව වීම ප්‍රමාද වෙයි.

● සුබ අංකය 3-5-6

● සුබ දවස - බදාදා, සිකුරාදා

● සුබ වර්ණය - කහ පාට
----------------------------------------------------------------------

මකර -
ගෘහ ජීවිතය සාර්ථකයි
ලග්නාධිපති රවි, බුද සමග 12 වැන්නේ සිටිමින් උදාවන මෙම අවුරුද්ද ඔබට තරමක අයහපත් තත්ත්වයක් උදා කරයි. එසේම 11 වැන්නේ ගුරු ශුක්‍ර සිටීම සම්පූර්ණ දෝෂ භංග කරන තත්ත්වයෙන් රාහුගේ ගෝචර ගමන් කාලය වනවිට කිසියම් අවුල් තත්ත්වයක් ඇතිවීමට ඉඩ තිබේ. එහෙත් සඳු 10 වැන්නේ සිටීම යහපත් තත්ත්වයෙකි.

ධනය - ධනස්ථාන අධිපති සෙනසුරු වැය ස්ථාන ගතවීම තුළ මෙම වසර තරමක් ධනය ලැබෙනවාට වඩා වියදම් වන ස්වරූපයක් පෙන්වයි. නොයෙකුත් හේතු මත වියදම් වන තත්ත්වයත් පෙන්නුම් කරයි. එය සිතටද මහත් කරදරයක් වනු ඇත. ඔබ ව්‍යාපාරිකයකු නම් හවුල් කරුවන්ගෙන් ප්‍රවේසම් වීම ඉතාම වැදගත්ය.

අධ්‍යාපනය:- සාමාන්‍යයෙන් සෙනසුරු අයහපත් බලපෑම් සහිතව සිටින බැවින්ද රාහු අයහපත්ව සිටින බැවින්ද ජීව ත්‍රිකෝණය බලරහිත බැවින්ද අධ්‍යාපනයේ අවුල් ඇතිවීමට පුලුවන. යෙදී සිටින අධ්‍යාපනය වුවද අවුල් සහගත වීමට පුළුවන. ඉගෙනීමට වඩා විනෝද කටයුතුවලට පෙළඹීමට පුළුවන.

රැකියාව:- පවතින ග්‍රහබල තත්ත්වයන් මත රැකියාවද අවුල් සහගත වෙයි. බොහෝ විට යෙදී සිටින රැකියාවේ අවුල් ඇතිවීමට ඉඩ තිබේ. නොයෙකුත් දෝෂාරෝපණ අසන්නට සිද්ධවෙයි. විපරිත සිතුවිලිවලින් රැකියාවේ කටයුතු අවුල් කරගන්නට පුළුවන. සමහර වෙලාවට රැකියාව වෙනුවෙන් වන උනන්දුව නැතිවීමට පුලුවන.

ගෘහ ජීවිතය:- ගෙදර දොර ජීවිතය සතුටුදායක වන්නට පුළුවන. හොඳ ඥාති සබඳකම්වලට ඉඩ තිබේ. සතුරුවී ඈත්ව සිටි ඥාතීන් නැවත ලංවීමට පටන් ගනී. බොහෝ විට ස්ත්‍රී සබඳතාව ලැබීමට ඉඩ තිබේ. ගෙදර දොර අඩුපාඩු බොහොමයක් නැතිවී යයි.

සෞඛ්‍ය- ශරීර ශක්තිය හීන කරයි. සෞඛ්‍යය පිළිබඳව සැළකිළිමත් නොවුනහොත් අවුල් ඇතිවීම වැලැකිය නොහැකි. පාදවල අනතුර වීමට පුලුවන්. තුවාලවීම ලේ සෙලවීම් වන්නට පුළුවන. නහරගත ආබාධ මුත්‍රා දෝෂ ඇතිවීමට ඉඩ තිබේ. ප්‍රවේසම් වන්න.

● සුබ අංක 6-8-9

● සුබ වර්ණය:- නිල්

● සුබ දිනය:- අඟහරුවාදා, බ්‍රහස්පතින්දා
----------------------------------------------------------------------

කුම්භ -
දියුණු වන කාලයකි
කුම්භ ලග්නයෙන් උපන් ඔබට මේ වසර එතරම් අපලදායක බවක් නොපෙනේ දියුණුව සම්බන්ධයෙන් බාධක නොපෙනේ. ලග්නාධිපති ශනි 11 වැන්නේය. රවි-බුධ දෙදෙනා සමගය. මෙය කෝටියක් දෝෂ භංග කරන තත්ත්වයෙකි. 10 වැන්නේ ගුරු ශුක්‍ර දෙදෙනාද යහපත් තත්ත්වයකය. දියුණුව සම්බන්ධයෙන් එතරම් අවුල් තත්ත්වයක් නොපෙනේ.

ධනය:- ආරම්භයේ ගුරු සිකුරු දෙදෙනා දහ වැන්නේ වීම සහ දෙවැන්න මකරය වීම තුළ එතරම්දුරට ධනය පිළිබඳව අවුලක් නොපෙනෙයි. ලැබීම්වලට යහපත් වෙයි රැකියා කටයුතුවලින් මෙන්ම වෙනත් මාර්ගවලින් ධනය ලැබෙනු ඇත. දියුණු වීමේ ප්‍රවණතාව ඉතාම ඉහළ මට්ටමක තියෙයි.

අධ්‍යාපනය:- අධ්‍යාපනයේ යහපත් තත්ත්වයක් පෙන්නුම් කරමින් ගුරු සිකුරු දෙදෙනා දහවැන්නේ සිටීම ඉතාම යහපත් තත්ත්වයකි. ඉතාම ඉහළ බුද්ධිමත් තත්ත්වයක් ලබාදී තිබෙන අතර පසුබට වී තිබෙන අධ්‍යාපන උරුමයක් නැවත පණ ගන්වා ගත හැක. අධ්‍යාපන ආශාව ඇතිවෙයි. ශාස්ත්‍රීය කටයුතු ඉගෙනීමට ආශාව ඇති වෙයි. එම තත්ත්වයන් දියුණුවට ගෙන යාමට ඉතාම යහපත් තත්ත්වකි.

රැකියාව:- මෙම වසරේ ග්‍රහ පිහිටීම් කුම්භ ලග්න හිමියාට ඉතාම හිතකරය. තමන් කරමින් සිටින රැකියාව ස්ථාවර තත්ත්වයකට ගෙන ඒමට පුළුවන. හොඳ ඉහළ මට්ටමේ රැකියාවක් ලබා ගන්නට අලුතින් රැකියා අපේක්ෂා කරන අයට වාසනාව තිබේ. කළමනාකරණ ක්ෂේත්‍රයේ රැකියා කරන අයට ඉතාම වාසනාවන්ත තත්ත්වයෙකි. ඉතාම දියුණු රැකියාවක් ලබන්නට හේතුවෙයි.

ගෘහ ජීවිතය:- පවතින ග්‍රහ බල අනුව සිතන විට කුම්භ ලග්න ජන්මීන්ට ගෘහ ජීවිතයේ අවුලක් ඇතිවන බවක් පෙනෙන්නට නැත. සතර වැන්නට ගුරු සිකුරු දෙදෙනාගේම බැල්ම ලැබී තිබෙන බැවින් සරල සාමකාමී ගෘහ ජීවිතයකට උරුමය ලබා තිබෙන බවක් පෙනෙයි. උසස් උගත් අයගේ ආධාර ලැබේ.

සෞඛ්‍යය:- ශරීර සෞඛ්‍යයටද තරමක් අයහපත් තත්ත්වයක් ඇති කරයි. උදරය සහ පාද සම්බන්ධ රෝග තත්ත්වයක් ඇතිවීමට පුළුවන. ස්නායු දුර්වලතාවලටද හේතුවක් වෙයි. හදිසි අනතුරුවලට ඉඩ තිබෙන අතර මෙයින්ද සෞඛ්‍යයට බලපෑම් ඇති වීමට පුළුවන. හදිසි ශල්‍යකර්මයකට හේතුවෙයි. ප්‍රවේසම් වීම වැදගත්ය.

● සුබ අංකය:- 3-8-9

● සුබ වර්ණය:- රතු - නිල්

● සුබ දිනය:- අඟහරුවාදා-සෙනසුරාදා
----------------------------------------------------------------------

මීන -
ඉඩකඩම් මිලදී ගනී
ලග්නාධිපති ගුරු සිකුරු සමඟ භාග්‍යස්ථාන ගත වෙමින් ආරම්භ වන මෙම වසර මීන ලග්න ජන්මියාට එතරම් අයහපත් නැත. ලග්නයේම කුජ ප්‍රබලව කේන්දර ගතවීමද යහපත් තත්ත්වයෙකි. රවි+බුද+ශනි 10 වැන්නේ කේන්දර ගතවීමද ඉතාම යහපත් තත්ත්වයෙකි. ප්‍රබල තත්ත්වයෙකි.

ධනය:- ධනස්ථාන අධිපති කුජ දෙවැන්නේම ස්ථානගතව සිටියි. එය ගුරුගේ රාශියයි. මෙය ඉතාම යහපත් පිහිටීමෙකි. උපක්‍රමශීලීව හෝ මුදල් සොයන කෙනෙකුවෙයි. සෑම දෙයක් කෙරහිම පවත්නා උපක්‍රමශීලී බව දියුණුව කරා යාමට හේතුවක් වෙයි. ගුරු සිකුරු භාග්‍යස්ථාන ගත වීමත් රවි+බුද+ශනි රැකියා ස්ථානගත වීමත් කුජ ලග්න ගතවීමත් ප්‍රධාන ධන යෝග කාරක තත්ත්වයෙකි.

රැකියාව:- රැකියාව සම්බන්ධයෙන්ද ඉතාම ඉදිරි තත්ත්වයක් දක්නට තිබේ. විශේෂයෙන් 1-5-9 ස්ථාන යහපත්වීම තුළ වේගවත් ඉදිරි ගමනක ලක්ෂණ පෙන්වයි. මහන්සියේ තරමටත් වඩා ඉපයීමේ ප්‍රවණතාවක් දක්නට තිබේ. මහන්සිවී රැකියාව කරන්නට සිද්ධවෙයි. ඔබ කෙරෙහි හාම්පුතුන් දක්වන ආකල්ප ඉතාම යහපත් බැවින් සියල්ල සාර්ථක වෙයි.

අධ්‍යාපනය:- අධ්‍යාපනය සම්බන්ධයෙන් ද ඉතා ඉහළ බලාපොරොත්තු තබාගත හැකි තත්ත්වයෙකි. කාර්මික ව්‍යපාරික සම්බන්ධ ඉගෙනීම කරන අයට ඉතාම යහපත්ය. එහෙත් සමහර දෙනෙකුට මෙම බලපෑම අයහපත්ය. මේ යහපත් තත්ත්වය තුළම ඔවුන් උවමනාවට වඩා බලාපොරොත්තු තබා ගැනීම නිසා අධ්‍යාපනය බිඳී යාමට ඉඩ තිබෙන බැවිණි. සැලකිල්ල උත්සාහය උපක්‍රමශීලිත්වය මතින් අධ්‍යාපනය ඉදිරියට ගෙන යාමේ ශක්තිය තිබේ.

ගෘහ ජීවිතය:- පවතින ග්‍රහ තත්ත්වයන් මත එතරම් අවුලක් ඇතිවීමට ඉඩ නැත. ගෙදර දොර කටයුතු යහපත් තත්ත්වයෙන් පවතිනු ඇත. කාටත් සුහදව ජීවත්වීමේ අයිතිය පෙන්වා දෙයි. රවි+බුද+ශනි තිදෙනාගේ දෘෂ්ටිය නිසා යහපත් තත්ත්වයක් උදාකරයි. අලුත් නිවාස ඉඩකඩම් ඇතිකර ගැනීමට හැකියාව ලැබෙයි. පවුලේ දූ දරුවන්ගේ කටයුතු සාර්ථක වෙයි. ආගමික සාමාජික සංස්කෘතික කටයුතුවල යෙදීමට වරම් ලැබෙයි. ඉන් සහනය ලැබෙනු ඇත.

සෞඛ්‍යය:- බොහෝදුරට සෙම්-ලේ කෝපවීමෙන් ඇතිවන රෝග තත්ත්වයන්ට මුහුණ දීමට සිද්ධ වෙයි. බඬේ උෂ්ණ ගතිය වැඩිවීම නිසාත් ගැස්ට්‍රයිටීස් වැනි තත්ත්ව ඇතිවීමට පුලුවන. දණහිස් අමාරු ඇතිවීමට පුලුවන.

● සුබ දිනය:- අඟහරුවාදා, බ්‍රහස්පතින්දා

● සුබ අංකය:- 3-9

● සුබ වර්ණය:- රතු සහ කහ





lankadeepa

================================================
උපුටා ගැනීම් සහිතයි ....!!! 
දයාබර පාථක සහෘදයිනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya 

No comments:

Post a Comment