Monday, January 13, 2020

මනෝමය කාය හෙළිකළ මරණයේ අභිරහස...(Ultra Astral Projection body soul අබිරහස් අඩවිය - Abirahas Adawiya - හොල්මන් කතා. holman katha)

මිනිස් කය සමඟ භවයෙන් භවය හා බැඳී එන කර්ම ශක්තිය පිළිබදව බුදු දහමේ බොහෝ තොරතුරු අඩංගු වෙයි. ඕලාරික සිරුරේ තැන්පත්වී ඇති මනෝමය කාය මරණය සමඟ සිරුරින් ඉවත්වෙයි. එතැන් සිට මනෝමය කය කුමන තත්ත්වයක පවතීද ඊළඟ භවයට කර්ම ශක්තිය බලපාන්නේ කෙසේද කුමන ආකාරයෙන්ද යන්න බුදුදහමේ මනාව පෙන්නුම් කරයි. බුදුදහමේ කර්මවාදය විවිධ මතවාදයන්ට ලක්වුව ද කර්මය සහ පුනරුත්පත්තිය අතර ඇති අන්තර් සබඳතාවක්  පවතින බව බටහිර හා අපරදිග මනෝ විද්‍යාඥයන් පිළිගෙන ඇත. බුදුදහමට අනුව කර්මවාදය ලෙස සැලකෙන්නේ  මනුෂ්‍ය ආත්මයක සිට සිදුකළ ක්‍රියාකාරකම් හරහා ලැබෙන පිං පව්ය. ඒවා මේ ආත්මයේදී මෙන්ම ඊළඟ ආත්මයේදී හෝ විඳීමට සිදුවෙයි. එම කර්ම විපාකයෙන් මිදීමට කිසිවකුට නොහැකිය. පහතින් පළවන කතාංගය එයට හොඳ නිදසුනකි.
කඳු මිටියාවත්වලින් ගහන සුන්දර ගම්මානයක උපත ලත් සරෝජී දෙමාපියන්ගේ ආදරයට නො අඩුව ලක් විය. දෙමාපියන් සමඟ වෙල්යායේ දුව පැන ඇවිදින ඇය බහතෝරන වියේදී විවිධාකාරයේ ප්‍රශ්න ඇසීමට පුරුදුව සිටියාය. ඇය නිරන්තරව ඈතින් පෙනෙන කන්දක් පිළිබඳව මවගෙන් ඇසුවාය. 

අම්මි දන්නවද අර පේන කන්ද මොකද්ද කියලා.
මම දන්නේ නැහැ.
ඔය තාත්ත ඉන්නේ අහන්න. 
තාත්තේ  අර කන්ද මොකද්ද 
ඒ කන්ද මානගල කන්ද
සරෝජී නිහඬව සිටියාය.

තවත් දිනක වෙල්යාය දිගේ පිය මැන යන සරෝජී මවට කියන්නට වුයේ අමුතු කතාවකි.
අර කන්දේ ගුහා තියනවද? අම්මේ  ඒවායේ මිනී මරණවද?
මොනවද මේ කියන්නේ මිනී මරණ කතා 
නැහැ අම්මේ මට හිතුණා 
මොනවද හිතුණේ 
ගොඩක් දේවල්

සරෝජී සමහර වේලාවට කන්ද දෙස බලාගෙන සිටින ආකරය දැකීමෙන් ඇය කන්දට මේ තරම් කැමැත්තක් දක්වන්නේ යැයිද යන්න මවට ප්‍රශ්නයක් වූයෙන් ඇය මේ පිළිබඳව විමසුවාය.

ඇයි දුව කන්ද දිහා බලාගෙන කල්පනා කරන්නේ? මොකද්ද දුවට තියන ප්‍රශ්නය?
මට ගොඩාක් දේවල් මතක් වෙනවා කන්ද දකින කොට 
මොනවද ගොඩාක් දේවල් කියන්නේ
මට අම්මට කියන්න බයයි 
බයවෙන්න එපා දුවේ හිතේ තියාගෙන ඉන්නේ නැතුව කියන්න.
පස්සේ දවසක කියන්නම්
දුවට කැමැති වෙලාවක කියන්නකෝ

මව මේ සම්බන්ධව පියා සමඟ කතා කළාය. පියාගේ අදහස වූයේ සරෝජී පෙර ආත්මයක තොරතුරු පවසන බවයි. ඇය පවසන තොරතුරු සාවධානව අසා සිටින ලෙසට පියා පැවැසීය.
දිනක් පියා දියණිය බයිසිකලයේ තබාගෙන යන අතර කන්දට මඳක් සමීපව ගමන් කළේය. තාත්තේ මට හරි බයක් දැනෙනවා කන්ද ළඟින් යනකොට අපි කන්ද ළඟට යන්නේ නැහැ ඈතින් යන්නේ ඇයි දුව බයද? මොකද බය?

තාත්තේ ඔය කන්දේ ගුහා තියනවා ඒවායේ මිනිස්සු මරල දානවා
පියා බයිසිකලය නතර කළේය
මිනිස්සු මරලා දානව කියලා දුව දන්නේ කොහොමද?
මම දන්නවා තාත්තේ. අපි ඉක්මනින් යමු තාත්තේ 
එදින ආපසු පැමිණියේ කන්දට දුර වෙන පාරකිනි 

ස්ථිර ලෙසට දුව පෙර ආත්මයේ තොරතුරු හෙළිකරන බව මාපියෝ අවබෝධකොට ගත්හ.

සරෝජී දිනක් මවට කියා සිටියේ මගේ ගෙදරට යායුතු බවත් රෙදි වියන මැෂිම ඇයට බලන්න අවශ්‍ය බවත්ය. තවදුරටත් ඇය කියා සිටියේ තමාට සොයුරියක් සිටි බවත් ඇය ජීවත්වන බවත් රෙදි මැෂිමෙන් රෙදි වියන්නේ ඇය බවත්ය.

දුව කොහොමද දන්නේ ඒවා
මට දැනෙනවා මම කතා කරනවා එයාලත් එක්ක අක්ක මම ගැන දුක්වෙනවා අඬනවා මම මතක් කරලා අඬනවා මට දුකයි අක්ක ගැන අපි යමු අම්මේ අක්ක බලන්න.
අපි යන්න දන්නේ නැහැ. දුවේ කොහේද ගෙදර  තියෙන්නේ   
මට කියන්න පුළුවන් 

කෙසේ වුවද දියණියගේ තොරතුරු සොයා බැලීමට වඩාත් සුදුසු වන්නේ කලින් එම තොරතුරු සොයා බැලීම මගින් බව අවබෝධ කොටගත් පියා දියණියගේ තොරතුරු විමසීමට  පර්යේෂකයන් යොමු කළේය.
(එම සාකච්ඡාවෙන් කොටස් කිහිපයක් මෙහි දැක්වේ.)

ඔවුන් දියණියගෙන් තොරතුරු විමසූහ. 
ඔබ ඇයි කඳුවලට බයක් දක්වන්නේ. 
මට බයයි.

හේතුව.
තේරෙන්නේ නැහැ. 
ඔබේ ගෙදර මේ ගෙදර නොවෙයි ද.  
නැහැ.
අම්මි තාත්ති.
මගේ අම්ම තාත්ත ඉන්නේ ඒ ගෙදර.
ගියොත් පෙන්වන්න පුළුවන්ද? 
පුළුවන්.

පර්යේෂකයන් සරෝජි සමග එම නිවස සොයා ගියේය. කඳුයායවල් අතරින් පිහිටි කුඩා මාවත් දිගේ ගිය පිරිස එක්තරා පැරැණි නිවසක් ඉදිරිපිට නතර වූහ.
අර ඈත පේන්නේ මගේ ගෙදර. 
සරෝජි දුරින් පෙනෙන නිවසක් පෙන්වූවාය.
පැරැණි ආකාරයෙන් නිමවා තිබූ නිවස බොහෝ දුරට ගරා වැටීමේ තත්ත්වයක් පෙන්නුම් කළේය. කුඩා මාවතක් දිගේ පිරිස නිවසට සමීප වූහ. සරෝජි කියූ ආකාරයෙන්ම රෙදි වියන මැෂිම ඉස්තෝප්පුවේ එක් පසක විය. දුරදිම සරෝජී මැෂිම හඳුනා ගත්තාය.
අර තියෙන්නේ මගේ රෙදිවියන මැෂිම. 
ඇය උස් හඬින් කියා සිටියාය.
සරෝජී දිවගොස් මැෂිම දෙස බලා සිට එය අතගාන්නට විය.
මගේ මැෂිම හොඳටම කැඩිලා අනේ 
මේ අතර නිවසේ සිටි මහලු මවක් සහ මැදිවයසේ කාන්තාවක් එළියට පැමිණියහ. සරෝජි දෙස ඔවුන් පුදුමයෙන් බලා සිටියහ.
කවුද මෙයාල?
කාන්තාව විමසන්නට වූවාය.
හානේ  මේ අපේ අම්ම මේ අක්කා.
මෙතැන් සිට සිදුවූ කතා බොහෝ අනුවේදනීයයි. සරෝජි මව සහ සොයුරිය හඳුනාගැනීමෙන් පසු ඔවුනොවුන් අඬා වැටෙන්නට වූයේ දියණිය පිළිබඳ ශෝකයෙනි. එහි ඇතුලාන්තයේ පැවතියේ අනුවේදනීය වූ කතාවකි එම කතාවෙන් පැහැදිලි වූයේ ඉතා අවාසනාවන්ත සිදුවීම් පෙළකි. සරෝජිගේ මව එතැන් සිට අඬමින් කතාව කියන්ට වුවාය.

(එම කතාවේ කොටස් කිහිපයක් මෙතැන් සිට දිග හැරේ.)
අපි දුවට කිව්වේ කමලා කියලා. ඉස්කෝලේ අටට ගියාම කමලා ඉස්කෝලෙන් අස්වෙලා අක්කත් එක්ක මැෂිමක් අරන් රෙදි වියන්න ගත්තා. මාසෙකට සැරයක් රෙදි ටවුමට ගෙනියන්නේ කමලා. ඔය අතරතුරේ කොල්ලෙක්  එක්ක යාළු වුණා ගෙදරින් අකමැති වුණත් දිගටම සම්බන්ධෙ පැවැත්වූවා. මේ නිසා අක්ක නංගි එක්ක අමනාප වුණා. ඒත් සම්බන්ධෙ නැවැත්තුවේ නැහැ. ගේ හදන්න සල්ලි නැති නිසා අවුරුදු තුනකට පස්සේ කමලා රටයන්න සුදානම් වුණා. බඳින්න ඉන්න කොල්ල අකමැති වුණා. රට යනවට ගෙදරට ඇවිල්ලා රණ්ඩු වුණා. ඒත් කමලා රට යන එක නතර කළේ නැහැ. අපි ජීවත් වෙන්න දුක් විඳින නිසා කමලා රට යන්න හැදුවේ ගේත් හොඳටම අබලන් වෙලා තිබුණා දූල දෙන්නගේ උත්සාහයෙන් ගේ බාගයකට හදාගත්තා.
රට යන ගමන නිසා දුව බඳින්න ඉන්න කොල්ල  තරහ වෙලා හිටියේ අමනාපය නිසා අපිත් බයෙන් හිටියේ. දුව රට යන්න දවස් තුනකට කලින් ටවුමේ ඒඡන්සියට ගිහින් එන්න ගියා. එදා දුව ආවේ නැහැ. දවස් දෙකක් බලලා අපි පොලිසියට ගියා මාසයක් දෙකක් තුනක් වුණා. දුව ආවේ නැහැ. පොලීසියත් ඇවිල්ල අපෙන් තොරතුරු දැනගත්තා. ඒත් දුව සොයන්න බැරිවුණා. බඳින්න හිටිය මනුස්සය ගැන අපිට ලොකු සැකයක් තිබුණා. පොලීසියට ලොකු දුව ඒ ගැන කිව්වා. පොලිසිය ඒ මනුස්සය පොලීසියට අරන් ගිහින් කතා කළත් වැඩක් වුණේ නැහැ. අපි මාස ගණනක් නොකා නොබී දුව හෙව්වා. මාස ගණනක් ඇඬුවා මාස හතරකට පස්සේ ලොකු දූට ආවේශෙන් වගේ කතා කරන්න වුණා. කමලා වගේ කතා කළා. එයා කිව්වේ එයා මරලා දාල කියලා.
මම මරල දැම්මා උඹලට හොයන්න බැහැ. සෝමපාල මම කින්නර වනාන්තරයට බලෙන් අරන් ගිහින් මගේ බෙල්ල මිරිකල මරල දාල ගල් දෙබොක්කාවට දැම්ම. මගේ මිනිය දැන් ඇටසැකිල්ලක්. උඹලට හොයාගන්න පුළුවන් පොලීසියත් එක්ක ගිහින්. අරන් ඇවිල්ලා වළලලා දාපල්ල. මට දානයක් දීපල්ලා සෝමපාල මම මැරුවා කියලා පොලීසියට කියා පල්ලා. මට කරපු දෙයට මම උගෙන් පළි ගන්නවා.
අපි පොලීසියට ගිහින් ඒ විස්තරය කිව්ව පොලීසිය ගණන් ගත්තේ නැහැ. පස්සේ ග්‍රාමසේවක මහත්තයයි ගමේ මිනිස්සුයි කින්තර කැලෑවට ගිහින් ගල් දෙබොක්කාවට ගියා. උදේ ඉඳලා හොයල හොයලා ගල් දෙබොක්කාවෙදී දුවගේ ඇට සැකිල්ල සොයාගත්තා ගල පහළ දුවගේ ඇඳුම් තිබුණා.

කමලාගේ සිරුර සොයා ගැනීමෙන් පසු පොලීසිය එහි ගොස් සිරුරේ ඇට කැබලි ගෙනවිත් මරණ පරීක්ෂණය කළේය. කමලාවතී මරා දැමීම නිසා සෝමපාල අත්අඩංගුවට පත් වූ අතර අවසානයේ කමලා මරා දැමුවේ තමා බව පිළිගත්තේය. මේ කතාවේ විස්මය දනවන සිදුවීම වන්නේ කමලාගේ මනෝකාය සොයුරියගේ සිරුරට ඇතුළත්ව තමාගේ මරණය පිළිබඳ සියලු තොරතුරු හෙළිකිරීමය එසේ නොවන්නට කමලාගේ මිනීමැරුම සදාකාලිකව සැඟව යනු ඇත. කමලා මරා දැමු පෙම්වතා පිළිබඳ තොරතුරු කමලාගේ මනෝකාය හෙළි නොකරන්නට මිනී මැරුම සදාකාලිකව වැළලී යනු ඇත. සියලු රහස් හෙළිකිරීමෙන් පසු කමලාවතීගේ මනෝමයකාය උප්පත්තියකට පිවිසෙන්නේ සරෝජි ලෙසිනි. එය වසර කිහිපයකට පසු සිදුවිය.

අනුවේදනීය කතාව අවසන්වීමෙන් පසුව සරෝජි තමාගේ පෙර ආත්මයේ මව සහ සොයුරියත් පසු ආත්මයේ මව සහ පියාත් සමඟ පෙර ආත්මයේ කමලාවතීගේ සොහොන සොයා ගියාය. එය ඉතාමත් සංවේගජනක අවස්ථාවකි. මව සහ සොයුරිය අඬා වැටුණු ආකාරය දෙස බලාසිටි සරෝජිගේ දෑසින්ද කඳුළු  කඩා වැටෙන්නට වූයේ නොදැනුවත්මය. පසුව පෙර ආත්මයේ මව සොයුරිය සරෝජි වැලඳගෙන අඬන්නට වූයේ පෙර ආත්මයේ කමලාවතී දැන් වෙනත් ආත්මයක උපත ලදුව තමන් ඉදිරියේ සිටීමේ සතුටෙනි.
මෙම කතාංගයෙන් පැහැදිලි වන්නේ මනෝමයකායට කෙතරම් බලයක් ඇත්ද යන්නය. එහිදී සිදුවුයේ කමලාවතීගේ මනෝමයකාය තමාගේ මරණයේ සැඟව තිබූ තොරතුරු සියල්ල සොයුරියගේ මනස තුළට ඇතු`ඵකර සියල්ල ඇය ලවා හෙළිකිරීමය. වර්තමානයේදී මෙය හැදින්වෙන්නේ භූත ආත්මයන් සිරුරට ඇතුළුවන බවය. එහෙත් මෙය එසේ නොවන බව පැහැදිලිය. සමහර අවස්ථාවන්හිදී භුත ආත්මයන් ලෙස සිරුරට ඇතුළුවන්නේ මනෝමයකායයි. පර්යේෂණවලදී මේ ආකාරයේ අවස්ථා ගණනාවක් සොයාගත හැකි විය. මෙම කතාංගය එයට හොඳ නිදසුනකි.
මෙහි අතුළත්වන නාමයන් වෙනත් පාර්ශ්වයකට අයත් නොවේ. ඒවා කතාංගයේ ගැළපුම සඳහා පමණි.
lankadeepa
================================================
උපුටා ගැනීම් සහිතයි ....!!! 
දයාබර පාථක සහෘදයිනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya 

No comments:

Post a Comment