Wednesday, August 17, 2016

දේපල පිළිබඳ ආශාවෙන් ශරීරය තුලට රිංගූ යක්ශණියක් ....(holman katha -අබිරහස් අඩවිය - Abirahas Adawiya )

දේපල පිළිබඳ ආශාවෙන් ශරීරය තුලට රිංගූ යක්ශණියක් ...
භූතයන් අතර මහා සටකපට කෛරාටික භූතයෝ ද සිටිති. මිනිසුන් වාගේ ම ය. ඉඩකඩම් දේපොළ පිළිබඳ ආශාවෙන් මරණයට පත් වූවෝ පහත් භූතාත්මවල ඉපිද ඒවායේ ම සැරිසරති. තවත් සමහරු ඒවායේ ජීවත්වන ඥාතීන්ගේ ශරීරවලට රිංගා ගෙන ජීවත් වෙති. මිනිස් ලොව සිටිය දී සිදු කරන ලද පාප කර්මයන්ගේ විපාක වශයෙන් පේ‍්‍රතාත්ම හෝ යක්ෂාත්ම ලබා ඉපදෙන සමහරු අවුරුදු දහස් ගණන්, දස දහස් ගණන් දුක් විඳිමින් ජීවත් වෙති. තමන් දුක් විඳිනවා මදිවාට ඥාතින්ගේ ශරීරවලට රිංගා ගෙන ඔවුන් ගේ ශරීරවල යුෂ උරා බොමින් බොහෝ කල් යැපෙති. සමහරු පරම්පරා ගණන් ඥාතීන් ගේ ශරීරවලට රිංගා ගෙන සිටිති. එක් අයෙකු මළ විට තවත් කෙනෙකුගේ ශරීරයට රිංගා ගනිති.
ලාලනී ගාල්ල ප්‍රදේශයේ පදිංචි කාරියකි. විවාහක කාන්තාවක් වූ ඇය දැනට පනස් හැවිරිදි වියේ පසුවන්නීය. සන්ධි ගත වේදනා (ආතෙරෙටීස්) දියවැඩියාව හා රුධිර පීඩනය ආදි රෝගවලින් කලක සිට ම පෙළෙන්නීය. මේ අතර හීනෙන් බියට පත් වී කෑගැසීම, නිවසේ බඩු පෙරළී ශබ්ද හට ගැනීම, සුදු පැහැති කාන්තා රූපයක හැඩය ඇති දුමක් වැනි ඡායාවක් නිවසේ එහා මෙහා හැසිරීම නිසා මේ පවුලේ අය මහත් පීඩාවකට පත්ව සිටියහ.

ඇගේ ස්වාමි පුරුෂයා ඇය මේ තත්ත්වයෙන් ගොඩ ගැනීම සඳහා විවිධ වෛද්‍ය ප්‍රතිකාර කළේය. විවිධ ශාන්ති කර්ම කැරවූයේය. ආගමික වතාවත් කළේය. එහෙත් ඒ කිසිවකින් සුවයක් හෝ සහනයක් ලබා ගන්නට නොහැකි විය.
මේ කරදරයෙන් සහනයක් පතා ඇදුරන් ගෙන්වා තොවිල් තුනක් කළේය. එක් තොවිලයක දී ලාලනී ආවේශ වී තමන් ගේ මියගිය තාත්තා භූතාත්මයක ඉපිද තමන් කරා පැමිණ හිරිහැර කරන බව කීවාය. ඒ පිළිබඳ අවශ්‍ය දොල පිදේනි දී තාත්තා ගේ භූතාත්මය අල්ලා බැඳ කුප්පියකට දමා සිර කොට මුහුදට දමන බව කියා ඇදුරෝ එය රැගෙන ගියහ.
මාසයක් ගත වූයේ නැත. නැවතත් පෙර පරිදි ම ලෙඩ දුක් කරදර ගලා එන්නට විය. නැවතත් ඇදුරන් හමු වී තවත් තොවිලයක් කළේය. එහි දී ලාලනී ප්‍රලය වී පැවසුවේ තමන් ගේ සීයා ගේ භූතාත්මය තමන්ටත් නිවැසියන්ටත් හිරිහැර කරන බවය. ඇදුරෝ එවර සීයාගේ භූතාත්මය අල්ලා බැඳ සිරකොට මුහුදට දමන්නට අරගෙන ගියහ.
තවත් මාසයක් ගත වන විට ලාලනී පෙර පරිදිම රෝගාතුර වූවාය. එවර ද ඇදුරන් ගෙන්වා යළිත් ශාන්ති කර්මයක් කළහ. එදා ද ලාලනීගේ ශරීරයට භූතාත්මයක් ආවිශ්ට විය. එදා ඇගේ ශරීරයට රිංගා ගෙන සිටියේ ඇසිලින් ආච්චි බව කීවාය. ඇසිලින් ආච්චි තමන් ගේ ඉඩමට යාබද ඉඩමේ පදිංචිව සිට මෙයින් අවුරුදු පහළොවකට පමණ පෙර මළ ගිය ඥාතිවරියකි. එදා තොවිලයේ දී ඇසිලින් ආච්චිගේ භූතාත්මය අල්ලා බැඳ ඇදුරෝ රැගෙන ගියහ.
මේ සෑම තොවිලයකට ම රුපියල් පනස් දහසකට වඩා ඇදුරෝ ගාස්තු අය කළහ. තුන් හතර දෙනෙකු පැමිණ දින දෙකක් තිස්සේ සූදානම් වී වෙහෙස දරා සිදු කරන තොවිලයටත්, ඊට අවශ්‍ය බඩු මුට්ටු ආම්පන්න සෙවීමටත් කාලයේ හැටියට විශාල වියදමක් දරන්නට සිදු විය. මේ වන විට ඉඩකඩම් පවා උකසට තබා විය පැහැදම් කරන්නේ තමන්ගේ බිරියගේ ජීවිතය බේරා ගැනීමට බව ඇගේ ස්වාමි පුරුෂයා වේදනාවෙන් පවසයි.
මේ අතර සතර පෝය සිල් සමාදන් වී කිසිවෙකුට හිරිහැරයක් කරදරයක් නොවන අන්දමින් ජීවත් වූ ඇසිලින් ආච්චි පේ‍්‍රතියක් බව ප්‍රකාශ වීම නිසා අසල්වැසි ඥාතීහු ද මේ පවුලේ අය සමඟ අමනාපකම් ඇති කැර ගත්හ. කෙසේ නමුත් මෙතෙක් සිදු කළ කිසිම ශාන්ති කර්මයකින් මාසයකට වඩා සුවයක් නොලද බැවින් ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය කරා ඇය ගෙන ගියහ.
එහිදී ද ලාලනීගේ ශරීරයට ගුප්තාත්මය ආරූඪ විය. ලාලනීගේ දෑස් තදබල ලෙස රතු පැහැ ගැන් වී දිව අඟල් හතරක් පමණ එළියට ඇදී ආවේය. මුළු ශරීරයම වෙව්ලවමින් ඉතාමත් භයානක රූපයක් නිර්මාණය වී ගොරවන්නට වූවාය. අසන කිසි ම ප්‍රශ්නයකට පිළිතුරු නොදී භයංකර අන්දමින් ගොරවන්නට වූවාය.
දින දහහතරක් ගමේ පන්සලට ගොස් බෝධි පූජා දහහතරක් පවත්වා නැවත පැමිණෙන ලෙස ද උපදෙස් දුන්නේ ය. තමනුත් බාහිර අභ්‍යන්තරව පිරිසිදු වී පූජා භාණ්ඩ ද පිරිසිදුව ගෙන ගොස් බෝ මළුව හා මල් ආසන පිරිසිදු කොට ශ්‍රද්ධාවෙන් හා උනන්දුවෙන් මේ බෝධි පූජාව පවත්වන ලෙස විශේෂයෙන් උපදෙස් දුන්නේය. බෝධි පූජාවෙන් පසු ටික වේලාවක් මෛත්‍රී භාවනාවේ යෙදී අන්තිමට කරණීය මෙත්ත සූත්‍රය සජ්ක්‍ධායනා කොට දෙවියන්ට මළගිය ඥාතින්ට පින් අනුමෝදන් කරන ලෙස ද දැනුවත් කළේය.
බීධි පූජා දහහතර අවසන් කිරීමෙන් පසු නැවතත් ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය කරා ලාලනී කැඳවාගෙන ආවේය. එදින ද ලාලනීගේ දෑස් රතු වී ප්‍රලය වූවාය.

“කව්ද මේ ශරීරය තුළට වෙලා ඉන්නෙ?”

“මම මළ යක්ෂණියක්. මම බලවත් කෙනෙක්.”

“ඔව් ඔව් අපි දන්නවා. මළ යක්ෂණියන්ට තියෙන බලයත් දන්නවා. නැති බලයත් දන්නවා.”

“මොනවද අපිට බැරි?”

“අයියෝ තමුන්ට බැරි දේවල් කොච්චර තියෙනව ද?”

“මොනවද අපට බැරි?”

“පිනක් දහමක් කරගන්න බැහැනෙ?”

“ඒවා කරලා මොකට ද?”

“ඔව් එහෙම තමයි ඔය හිතට දැනෙන්නේ. අනුන්ගේ ලේ බිබී නපුරුකම් කර කර ඉන්නවා. නිතර හිතේ වැරදි සංකල්පනාමයි පහළ වෙන්නේ. පළිගන්න අනුන්ට රිදවන්න. පව් කරලා අපා ගතවුණාම සිතට සතුට සැනසිල්ල, හිතේ සැහැල්ලුව නැහැනේ. පිනක් කරලා, අනුන් කරන පිනක් අනුමෝදන් වෙලා සුගතිගාමී වුණාම කොයි තරම් දිව්‍ය සැප සම්පත් විඳින්න පුළුවන් ද? ඊට කලින් කියන්න මේ කව්ද කියලා”

“මම මිසිනෝනා”

“කව්ද මිසිනෝනයි කියන්නෙ?”

“මේ ලාලනීගේ ආච්චිගෙ අම්මා”

“අම්මෝ! ලාලනී මේ මී ආච්චිව දැකලත් නැතුව ඇති.”

“නෑ නේන්නම්. මම ජීවත් වුණේ මීට අවුරුදු එකසිය පනහකට විතර කලින්. සුද්දො රට පාලනය කරන කාලේ”

“තමුන් මොනව වෙලා ද මැරුණේ?”

“යකා ගහලා”

“කොහොමද යකා ගැහැව්වේ?”

“මම මාළු කප කපා ඉන්න කොට යකා ගහලා මැරුණා. ලේ දැක දැකමයි මැරුණේ”

“ඔය යකා ගැහිල්ල ආච්චිලගෙ කාලෙ තිබුණු දෙයක්. දැන් ඕවට කියන්නේ හෘදයාබාධ. ඒ කාලෙ හෘදයාබාධ ගැන වෛද්‍යවරු හොයා ගෙන තිබුණෙ නෑ. ඒ කාලේ හදිසියේ මැරුණම කිව්වේ යකා ගහලා කියලා තමයි.”

“හරි මහත්තයා ඒක වෙන්න ඇති. ඒ වුණත් මාව මැරුණු හැටියේ මම යකෙක් දැක්කනෙ.”

“ඔව් ඔය අපිරිසිදු තැන්වල මාළු කපන ලේ වැගිරෙන තැන්වල අමනුස්සයෝ ගැවසෙනවා.

විරූපී අමනුස්සයෝ ලේ බොන්න එනවානෙ. ඒවා ඒ අයගෙ ආහාරයනෙ”

“ඔව් ඔව් මමත් ලේවලට හරිම ආසයි”

“ඉතින්?”

“ඥාතීන්ගේ ඇඟට රිංගාගෙන ලේ බීලා ජීවත් වෙනවා”

“කාගෙ ඇඟට ද රිංගුවේ?”

“පළමුවෙන් ම මගේ දුවගෙ ඇඟට රිංගලා ලේ බිව්වා. ඒකි කෙට්ටු වෙලා අසනීප වෙලා මළා.”

“ඉතින් එයාට පවුලෙ අය ප්‍රතිකාර කළේ නැද්ද?”

“කළා. වතු ඉස්පිරිතාලෙත් බෙහෙත් දුන්නා. හරි ගියේ නෑ. දුව මළා.”

“ඊට පස්සෙ?”

“ඊට පස්සෙ මිණිබිරීගෙ ඇඟට රිංගුවා”

“කව්ද මිණිබිරී කිව්වෙ?”

“මේ ලාලනීගෙ අම්මා. එයාත් ලෙඩ වුණා. ඇඟේ ලේ අඩුයි කියලා දොස්තරලා කිව්වා. ඒකිත් ඒ ලෙඩෙන් ම ඔත්පල වෙලා මළා.”

“ඉතින් ඊට පස්සෙ?”

“ඊට පස්සෙ මේ ලාලනීගේ ඇඟට රිංගා ගත්තා.”

“මොන අපරාධයක් ද? මොන පාපයක් ද ඔය ජීවිතේ. පව පින හඳුනන්නේ නෑ. මොකක්ද ඔය වෛරය?”

“ඇයි මාව පන්නන්න කට්ටඩි ගෙනල්ල තොවිල් කරන එක. අපට හිරිහැරයක්. දුම්මල ගහල පුච්චනවා. බඳිනවා. හිර කරනවා. මූදෙ දානවා කියලා කියනවා. මුන් මොහොතකට හිතන්නෙ නැහැනෙ මේ අපේ අම්මා නේද? ආච්චි නේද? කියලා. මුන් කට්ටඩින්ට එකතු වෙලා කරන්නේ අපට රිදවන පළිගන්න වැඩනෙ”

“ඉතින් මිසිනෝනා ආච්චිවත් බැන්දද?”

“අපේ කාලෙ ඔය කසාද බැඳිලි නැහැනෙ මහත්තයා.”

“මඟුල් බැඳිලි නොවෙයි මම ඇහුවෙ. ඇදුරො ආච්චිව මූදෙ දාන්න බැන්දෙ නැද්ද?”


“මොකද නැත්තෙ? උන් ලැහැස්ති වුණා. මම හැංගුණා. මම මුන්ව රැවැට්ටුවා. බොරු කියලා. එක සැරයක් මේ ලාලනීගෙ තාත්තයි කියලා මම පැනලා ගිහින් හැංගුණා. කට්ටඩි බොරු කරලා නූලකින් බැන්දයි කියලා බෝතලයක දාගෙන ගිහින් මූදට දානවැයි කියලා මුන්ව රවටලා සල්ලි අරගෙන ගියා.”

“ඊළඟ වතාවෙ?”

“ඊළඟ වතාවෙ මගේ මනුස්සයයි (සීයා) කියලා මම මග ඇරලා හැංගුණා. ඒ වතාවෙත් කට්ටඩි බොරු කියලා මුන්ව රවටලා සල්ලි කඩාගෙන ගියා.”

“ඊට පස්සෙ?”

“ඊළඟ වතාවෙත් ලාලනීට අසනීප වුණාම ආයෙත් කට්ටඩි ගෙන්නුවා. ලාලනී ආවේශ වුණාම මම කිව්වා අල්ලපු ගෙදර ඇසිලින් කියලා. උන්දැ පින් දහම් කරපු ගෑණි අපි වගේ නොවෙයි. දන් දුන්නා. සිල් සමාදන් වුණා. උන්දැ හොඳ ලෝකෙක ඇති. ඒ වතාවෙන් ඇසිලින් ආච්චි කියලා මම බොරු කියලා පැනලා ගියා. එදත් කට්ටඩි බොරු කරලා සල්ලි අරගෙන ගියා. උන් ;බීතල්වලට දැම්මා කියලා බොරු කළා.”

“දැන් මිසිනෝනා ආච්චි මේ ශරීරෙන් අයින් වෙලා යන්න ඕනෑ. මේ අයට කරදර කළා දුක් දුන්නා ඇති.”
“එහෙම බෑ. මම යන්නෙ නෑ” යි කියමින් නැවතත් නපුරු ගති පෙන්වා කලබල කරන්නට පටන් ගත්තේය.

නැවතත් ගමේ පන්සලට හීල් දානයක් දී මිසිනෝනාගේ නම සඳහන් කර පැන් වඩා පින් අනුමෝදන් කර බෝධි පූජා, දහහතරක් පවත්වා නැවත එන ලෙස උපදෙස් දුන්නේය. ඒ දෙන දානයට මිසිනෝනාට අයිතිව, තිබුණු කුඹුරුවල හාල් වලින් බත උයන්ටත් ඉඩම්වල ගස්වලින් දෙල් පොල් ආදිය රැගෙන දානයට සම්බන්ධ කරන්නටත් උපදෙස් දුන්නේය.

ඒ දින හතරෙන් පසු ලාලනී නැවතත් ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානයට කැඳවාගෙන ආහ. ඒ දිනවල නිවසේ බත් හැලියට වැලි දමා තිබුණු බව ද පැවසූහ. එදින ද ලාලනී ප්‍රලය වූවාය.

“කව්ද මේ?”

“මම මිසිනෝනම තමයි”

“පහුගිය දවස්වල මොකද කළේ?”

“මුන් බෝධි පූජාවට යනකොට මමත් පන්සල් ගියා.”

“ඉතින්?”

“ඉතින්” ඒ වෙලාවට හිතට පුදුම සහනයක් දැනෙනවා. මම හිටියෙ ඈත ඉඳලා බලා ගෙන. බෝමළුවෙ ඉන්න අය මට ඇතුල්වෙන්න දුන්නෙ නෑ. පලයං පලයං කියලා පැන්නුවා.”

“ඇයි මේ බත්වලට වැලි දැම්මේ?”

“තරහට. මාව ඉවත් කරන්න හදනවට මම තරහයි. මට ඕනෙ මගෙ දේපොළ දිහා බල බල මුන්ගෙ ඇඟට වෙලා ඉන්න.

මේ අකීකරු යක්ෂණිය මර්දනය කරන්නට බැරි තැන ශක්ති කිරණවලින් දවාලීය. ඒ අවස්ථාවේ එතැන සිටි අනෙකුත් භූතාත්ම ද යක්ෂණියට පීඩා කළහ.

“අනේ අනේ මාව පුච්චන්න එපා. පුච්චන්න එපා. මට සමාවෙන්න. මම යනවා. මම යනවා. මං ආයෙත් එන්නෙ නැහැ කියලා පොරොන්දු වෙනවා.”

“තමුන් කොතැනට ද යන්න කැමති?”

“කියන තැනකට යනවා”

සුදු නෙළුම් මල් වට්ටියක් මත වැටකෙයියා මලක් තබා යක්ෂණිය කළුතර බෝධියට යැව්වේය.

ගේ දොර ඉඩකඩම්වලට, දූ දරුවනට ආශාවෙන් මිය යන අය ඔවුන් ඇසුරු කොට ගෙන ඒ ඉඩකඩම්වලට ආශාවෙන් දුගතිගාමී වී උත්පත්තිය ලබති. ඔවුන්ගේ පැවැත්ම සඳහා ඒ ශරීරවලට රිංගාගෙන යැපෙති, මේ ඉඩකඩම්වල.

උපුටා ගැනීම් සහිතයි ....ප්‍රිය මිතුරු මිතුරියනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya 

No comments:

Post a Comment