Monday, August 15, 2016

මහසොහොන් යක්ෂයා....(holman katha) .අබිරහස් අඩවිය - Abirahas Adawiya


යක්ගහපිටිය මහනුවර සිට ලේවැල්ල පාලම හරහා එනවිට මහනුවර සිට කිලෝමීටර් අටක් පමණ ඈතින් පිහිටි පිටිසර ගම්මානයකි. ලේවැල්ල තොටුපළ පසුකොට ඓතිහාසික දෙගල්දොරුව රජමහා විහාරය පසුකොට තවත් කෙටි දුරක් ඉදිරියට යන විට යක්ගහපිටිය ගම හමුවෙයි. මේ යාව ඇති පිලවල ගම ද ඉපැරණි එකකි. අවුරුදු දාහකට වඩා ඉපැරණි යෝධ සියඹලා ගසක් පිලවල ගමේ පිලවල මහා විද්‍යාලය අසල ඇත. මේ යෝධ ඉපැරණි සියඹලා ගස පාමුල නාථ දෙවි මෙන් ම තුන්බරට අධිපත් පිටියේ දෙවිදුත් ගිමන්හල බව ජනප්‍රවාදයේ එයි.
මේ යෝධ සියඹලා ගස අසල ම කුණ්ඩසාලයේ නරේන්ද්‍රසිංහ රජු (1707/ 1739) කරවූ කොට්ටවැව අද ගොඩ වෙමින් පවතී. පිටියේ දෙවිඳුන්ට කැප වූ පැරැණි පිටියේ දේවාලයක් පිලවල මායිමේ ඇත. යක්ගහපිටිය ගම මුලින් ම නාථ දෙවිට කැපවූ දේවාලය තිබූ ස්ථානයයි. දුම්බරට අදිපති පිටියේ දෙවි අතින් පැරදී නාථ දෙවි යක්ගහපිටිය අත්හැර පසු කල මහනුවරට පසුබැස ඇත. 

මේ ගමට යක්ගහපිටිය යන නම ලැබීමට හේතු වූ රසවත් කතාවක් ඇත. ඒ කතාව සහස්සවත්ථු - පාලි රසවාහිනී - සධර්මාලංකාරය යන ග්‍රන්ථවල ගෝඨයිම්බර වස්තුව ලෙස කතාව එයි. එහෙත් ඒ සිද්ධිය වූ ස්ථානය ඒ කතාවල දක්වා නැත. 

ගෝඨයිම්බර දුටුගැමුණු රජු කල (ක්‍රිස්තු පූර්ව 167 / 137) විසූ ප්‍රබල සෙන්පතියකි. ඔහු මිටි මහත අයකු වූ බැවින් ගෝඨයිම්බර නම් විය. ඔහුට ඇතුන් දහ දෙනෙකුගේ ශරීර ශක්තිය විය. ඔහුගේ බිරිය ඉතා රූමත් විය. දිනක් දුටුගැමුණු රජුගේ යුද ජයග්‍රහණයෙන් පසු ජය පැන් සාදයක් විය.

බත් මාළු කැවිලි පෙවිලි රසමසවුළු සුරාව අඩුවක් නැතිව මෙහි විය. ගෝඨයිම්බර මනාව සැරසී තම රූමත් බිරිය සමඟ මේ උත්සවයට පිටත් විය. රිටිගල ජයසේන මහත් බලය ඇති අහසින් ගමන් කිරීමට හැකියාව තිබූ යක්ෂ සේනාධිපතියකු විය. මේ උත්සවය දා රිටිගල ජයසේන අහසින් ගමන් කරද්දී සාදය සඳහා සකස් කළ කැවිලි පෙවිලි රස මසවුලු වල සුවඳ ඔහුට දැනෙන්නට විය. පහත බැලූ ඔහුට සාදයේ තොරතුරු මෙන් ම ගෝඨයිම්බරගේ රූමත් බිරිය දක්නට ලැබුණි. ඔහු එකවර ඇයට ආවේශ විය. යක්ෂ ආවේශය සමඟ ඇය ප්‍රකෘති සිහිය නැතිව නන් දොඩවමින් විකාර කරන්නට විය. බොහෝ වේලා ඇයට සාත්තු සප්පායම් කළත් ඇය සුව වූයේ නැත. ඇගේ රෝගයට හේතුව ජයසේනගේ යක්ෂ දිෂ්ටිය බව ගෝඨයිම්බරට අවබෝධ විය. 

අහිංසක ස්ත්‍රියකගේ ශරීරයට ආවේශ වී ඇයට හිංසා පීඩා නොකර අප සමඟ සටනට එවයි ගෝඨයිම්බර රිටිගල ජයසේනට අභියෝග කළේ ය. ප්‍රබලයකු ඉදිරිපත් කළ අභියෝගය රිටිගල ජයසේන ඉවතලූයේ නැත. අභියෝගය අනුව සටන පිළිගත් ජයසේන ඒ සඳහා දිනය හා වේලාව ලබාගෙන ආපසු යාමට විය. 
සටන සඳහා නියමිත දිනය උදා විය. හාත්පස එක ම ජන ගංගාවක් බවට පත් විය. ප්‍රධානීන් දෙදෙනා අතර
ද්වන්ද සටනක් ලෙස මේ සටන ආරම්භ විය. කරට කර අඩ පැයක් පමණ දෙදෙනා තම ජීවිත ආරක්ෂාව රැකගෙන සතුරාට පහර දෙන්නට විය. 
අඩ පැයකට පමණ පසු ගෝඨයිම්බර අහසට පැන එල්ල කළ පා පහරකින් රිටිගල ජයසේනගේ ගෙල ගැල වී අහසින් විසි වී ගොස් ඈත ස්ථානයට ගෙල ඇද වැටුණේ ය. හිස සුන් සිරුරින් නොකඩවා ලේ ධාරා විදින්නට විය. එවිට රිටිගල ජයසේන ගැන අනුකම්පා කළ රාහු ඒ අසලින් ගමන් කරද්දී අවට වනාන්තරයේ ඔහුට හමු
වූ වලසකු මරා වලසාගේ හිස කපා ගෙන විත් හිස සුන්ව වැටී සිටින රිටිගල ජයසේනගේ කඳට සවි කළේ ය. 
එහෙත් වලස් හිස රිටිගල ජයසේනගේ කඳට සවි වූයේ හිස පැත්ත හා ඇස් පිටුපසට කරවමිනි. නැවත පණ ලැබූ රිටිගල ජයසේන පිටුපසට මුහුණ හා ඇස් ඇති හිසකින් යුතු ව අදත් මහසොහොන් යක්ෂයා නමින් රාත්‍රි හා අන්දකාර වේලාවල බැල්ම හෙළයි. ඇවිදියි. 
ගෝඨයිම්බර හා රිටිගල ජයසේන අතර ද්වන්ධ සටන ඇති වූයේ යක්ගහපිටිය ගමේ බව පිළිගැනෙයි. යක්ගහපිටිය යන නම ගමට ලැබුණේ රිටිගල ජයසේන නමැති යක්ෂයාට ගෝඨයිම්බර පා පහර එල්ල කර මරා දැමූ බැවිනි. අහසින් ගොස් රිටිගල ජයසේනගේ තල්ල වැටුණු ස්ථානය මහනුවර නගරය කිට්ටුව ඇති තල්වත්ත ලෙස සැලැකෙයි.

උපුටා ගැනීම් සහිතයි ...... යහලුවනේ මේ පිටුවත් හොදයි කියල හිතෙනවනම් ලයික් කරලම යන්න......share කරන්නත් අමතක කරන්න එපා.. (ඹයාලා කතාව කියවල Comment එකක් දැමිමට අපි තරහ නැ........) හැමෝටම ස්තුතියි..
අබිරහස් අඩවිය - Abirahas Adawiya    

1 comment: