බින්තැන්නේ දේව විශ්වාස...
බින්තැන්නේ වැසියන් තුළ දෙවි දේවතාවුන් පිළිබඳ ව ඇත්තේ බලවත් විශ්වාසයකි. ලෙඩ දුක් ආදියෙන් ආරක්ෂා වීම සඳහාත්, පෞද්ගලික සුබ සිද්ධිය සඳහාත්, රැකවරණය සඳහාත් දෙවියන් ගෙන් ආශිර්වාද හා පිහිට ලබා ගැනීම උදෙසා මෙන් ම ගොවිතැන් කටයුතු උවදුරුවලින් තොරව කරගෙන යාමටත් ඔව්හු දෙවියන් පිදූහ….
ශ්‍රී ලංකාවේ දීප ව්‍යාප්තව පිදුම් ලබන ශ්‍රී විෂ්ණු, සුමන සමන්, කතරගම, පුල්ලෙයාර් හෙවත් ගණ දෙවියන්, සතර වරම් දෙවිවරුන්, මංගර, නාථ, පත්තිනි ආදී දෙවිදේවතාවුන් මෙන් ම බින්තැන්නට ආවේණික දෙවිවරු රැසක් ද බින්තැන්නේ වැසියන් ගෙන් පිදුම් ලබති
මැණික් බණ්ඩාර, කීර්ති බණ්ඩාර, බෝවල ගඟේ බණ්ඩාර, පඟරගම්වන ශුද්ධ අලුත් බණ්ඩාර, මීගහපිටියේ ශුද්ධ අලුත් බණ්ඩාර, මීමා ඇණපු අලුත් බණ්ඩාර, තේජස් බණ්ඩාර, අනුහස් බණ්ඩාර, ගංගොඩ අලුත් බණ්ඩාර, ගිනිමල් බණ්ඩාර, ඉරුගල් බණ්ඩාර, සඳුගල් බණ්ඩාර, නුවානේ බණ්ඩාර, රජ රංමලී බණ්ඩාරී, කිවුලේ ගෙදර දෙවියෝ, දිවැස් දෙවියෝ, හමාපොළ දෙවියෝ, උනාපානී, ඉඳිගොල්ලේ කිරි අම්මා, ලෝ උතුම් වන්නිය බණ්ඩාර දෙවියෝ, බෝවල දෙවියෝ, නිකවැටියේ ශුද්ධ අලුත් බණ්ඩාර දෙවියෝ, සිරියා දෙවියෝ, කුමාර දෙවියෝ, වල්ලිමාල දේවතාවා, සිද්ධ පරකාශ දෙවියෝ, කෝට්ටේ බණ්ඩාර දෙවියෝ, කොටා වැටුණු බණ්ඩාර දෙවියෝ, කිඹුල්ඔබේ හේරත් බණ්ඩාර දෙවියෝ, පඟුරේ දෙවියෝ, දැමුණු වින්නේ දෙවියෝ, පුනාවින්නේ දෙවියෝ, උනාපාන බිළිඳු දෙවියෝ, හෙළෙන් පැනපු අලුත් බණ්ඩාර දෙවියෝ, කඩවර කළුබණ්ඩාර දෙවියෝ, ගහෙන් පැනපු අලුත් බණ්ඩාර දෙවියෝ ආදී දෙවිදේවතාවුන් රැසක් බින්තැන්නේ වැසියන් ගේ පුද සත්කාරයන්ට ලක්වෙති.
බින්තැන්නේ සිදු කෙරෙන යාතු කර්ම අතර වඩාත් ම ප්‍රචලිත ව ඇත්තේ ‘කාරි’ නම් වූ යාතු කර්මයයි. වැද්දන් අතර මෙය හඳුන්වන්නේ ‘යකුම’ නමිනි. කාරියාගයේ උපත වැද්දන් අතර සිදුවී පසුව සිංහල හේන් ගොවියන් අතරට පිවිසෙන්නට ඇතැයි සිතිය හැකි ය. ඒ ඒ දෙවිවරුන් ගෙන් හා යකුන්ගෙන් සිදුවන උපද්‍රව දුරු කරගැනීමට බින්තැන්නේ කාරි යාගය සිදු කෙරේ. මෙහිදී මැණික් බණ්ඩාර, හාමාපොළ, දිසාවේ අලුත් බණ්ඩාර, පඟරගම්මන අලුත් බණ්ඩාර, මීගහපිටියේ අලුත් බණ්ඩාර, දිවැස්, ලෝ උතුම් වන්නිය බණ්ඩාර හා මහ ලොකුවෝ දේවතාවිය යන දෙවි දේවතාවුන් ඇතුළු අවශේෂ දෙවියන්ට ද යාදිනි ගයා පිදවිලි දීම සිදු කෙරෙති
හාමාපොළ හා මැණික් බණ්ඩාර ආදීන්ට යාදිනකර පඬුරු වෙන් කර හේන් කුඹුරු ආරක්ෂාකර ගැනීමට පිහිට පතන හේන් ගොවියන් ගොවිතැන් අහර වී අලුත් සහල් පුදා අවසන් කොට ‘කාරියක්’ නැටීම සිරිතක් වශයෙන් සිදු කරති. එසේ නැතහොත් ලෙඩ රෝග වසංගත දුක් පීඩා ඇති වූ විට ද කාරි නැටීම සිදු කෙරෙති
හාමාපොළ දෙවියන්ගේ උපත
වෙල්ලස්ස ප්‍රදේශයේ හාමාපොළ ගමේ සිටි ගමරාළ ආරෝහපරිනාහ දේහයෙන් යුත් තේජස් වී ජනප්‍රධානියෙකි; ඔහු තම අසල්වැසියන්ට හිතවත්ව තම අණසක පතුරුවා ගෙන ජීවත් විය. ඔහු හාමාපොළ ගම සමීපයේ බුළුපිටිය ගමට නිතර ආවේ ගියේ එගම විසූ තරුණ ළඳක් අරභයා ය. ස්වකීය ඥාතීන් ගෙන් හා ගම්වැසියන් ගේ ද සම්භාවනාවට පාත්‍ර ව සිටි ඔහු මිය ගියාට පසු ව දේව ආත්මයක් ලැබ බුළුපිටිය ගමට පැමිණ හාස්කම් දැක්වූවද එගම් වැසියන් ගෙන් එතරම් පුද සත්කාරයක් නො ලැබුණි
එහෙයින් නො සතුටට පත් හාමාපොළ දෙවියා බුළුපිටිය ගමේවුන්ට උපද්‍රව කළේ ය. ඒ උපද්‍රවයන් නිසා ගම්වැසියන් හත් දෙනෙක් රෝගාතුරව මිය ගියහ
මේ අතර හාමාපොළ වැසියෝ දෙවොලක් සාදවා හාමාපොළ දෙවියන් උදෙසා පුතු සත්කාර කරන්ට වූහ. එදා පටන් හාමාපොළ දෙවියන් බින්තැන්න වෙල්ලස්ස දෙපළාතට අරක් ගත් දෙවියකු බවට පත් විය. අදත් බින්තැන්නේ වැසියන් හේන් කුඹුරු හාමාපොළ දෙවියන්ට බාරකර වන සතුන් ගෙන් හා කෘමි උවදුරුවලින් ද හොර සතුරන් ගෙන් ද බේරා ගනියි. කාරි යාගය සඳහා කෙරෙන යාදිනි අතර හාමාපොළ දෙවියන් සඳහා ගැයෙන යාදින්නක මෙසේ සඳහන් වෙයි
“ඌව හත්පත්තුවේ, වැදි ගම් දොළ හේ, වෙල්ලස්ස විසි හතරේ නිලේ එක අහුරකට, මිටකට අල්ලාගෙන බලය පවත්වාගෙන යන්නා වූ… රාජමුණේ, හතුරුමුණේ, වෙඩිමුණේ, වතුරුමුණේ වරද්දාන, හතුරුවන් මිතුරු කරගෙන, මෙතුන්ලොවට වැඩ සිටින හාමාපොළ රන්හොටි බණ්ඩාර දෙවියන්ට ඇඩා… ඕගා… පළි ගා කියන්නේ…”
මේ ආකාරයට පුද සත්කාර ලබන පරගම්මන අලුත් බණ්ඩාර දෙවියන්ගේ උපත ද ඉතා රසවත් වූ පෙම් පුවතකි. මහියංගනය ප්‍රදේශයේ විසූ අයෝමය තරුණයකු වූ අප්පුහාමි නම් තැනැත්තෙක් ගමනක් යද්දී පඟරගම්මන ගමේදී රූපශ්‍රීයෙන් යුත් මුස්ලිම් තරුණියක් දැක ඇයට ලොල් බැඳ… පසුදිනක එම නිවසට ගොස් තමා පැමිණි කාරණය පවසා ඇත. ‘දියණිය පාවාදීමට නම් ඔබේ හපන්කම් බැලිය යුතුයි’ පැවසූ තරුණියගේ පියා තමාගේ තිස් අමුණක කුඹුරේ ගොයම් එක් දිනකදී කපා දෙන්නැයි කීවේ ය
අභියෝගය පිළිගත් තරුණයා ගුරුකමක් කොට සූර්ය බන්ධනය කර එක දිගටම ගොයම් කැපුවේ ය. එදා හිරු අවරට නොගියෙන් දිනය දික් විය. ඔහු නියමිත කුඹුරේ ගොයම් කපා අවසන් කොට නැන්දම්මා මාමා හමුවට ගියේ ය
අතිශයින් ප්‍රීතියට පත් ඔවුහු දියණිය පාවා දුන්හ. මුස්ලිම් තරුණිය ඔහුට ස්නානය සඳහා උණුපැන් සකස් කර දී ඔහු ස්නානය කළාට පසුව වෙහෙස නිවා ගැනීම සඳහා තරුණයා තම ඔඩොක්කුවේ තබාගෙන හිස පිරිමදින්නට වූවා ය. අධික වෙහෙසත්, කුස ගින්නත්, හිරු රැසෙන් වූ පීඩාවත් නිසා… තරුණ අප්පුහාමි ඇගේ උකුලේ දීම මිය ගියේ ය
මිය ගිය තරුණයා දේව ආත්මයක් ලැබ පඟරගම්මන මුස්ලිම් වැසියන්ට උපද්‍රව කරන්ට වූයෙන්… එගම් වැසියන් පෙරකී වෙල්යායේ දෙවොලෙක් කරවා පූජා කළේ ය. අදත් පගරගම්මන වැසියන් මේ දෙවියන් කෙරෙහි මහත් බියක් දක්වයි. කාරි යාගයේ දී පඟරගම්මන දෙවියන්ගේ තේජස ගැන ගැයෙන්නේ
අඟර පමණ යන්ට ඇවිදින්
පල්ලියේ වැඩ සිටින්නේ
දෑත රන් මදු දෙකක් අරගෙන
ගොනුත් පස්සේ දුවන්නේ
දෑත රිටිලී දෙකක් අරගෙන
පතාරේ ඔරු පදින්නේ
පඟර ගම්මන අප්පුහාමි
ඔන්න ගිනි යේ වඩින්නේ
ආදී කව්වැල් වලිනි
‘දිවැස් දෙවියෝ’ නමින් කාරියාගයේ දී මෙන් ම අනෙකුත් ශාන්ති කර්මවල දී හඳුන්වන්නේ අඹරා පොති දේවිය නමින් හැඳින්වෙන දේවතාවියට ය
ඇය දරුවන්ට ඉතා ආදරය දක්වන්නියකි. විසාලා පුරයේ සිට පැමිණි ඇය මඩකළපුවෙන් ගොඩ බැස කාලයක් ම බින්තැන්නේ අඹරාපොත කියන ගමේ වැඩ විස පසු ව ගුරුදෙනියට ගිය බව පැවසේ
පොල්ලේබැද්ද, දඹාන, රතුගල ආදී වැදිගම්මානවල සිදු කෙරෙන ‘යකුම’ යාගයේ දී මේ දෙවියන් හඳුන්වන්නේ ‘දිවැස කිරි අම්මා’ දෙවියන් නමිනි. දරුවන්ට ආරක්ෂාව ලබා දී වසංගත රෝගවලින් මුදවාලීමටත්, වඳ ස්ත්‍රීන්ට දරුවන් ලබාදීමටත්, වඳ ගස්වල ඵල හට ගැනීමටත්, ගවයින්ට හා ගොවි තැනට ආරක්ෂාව සැලසීමටත් ‘දිවැස දෙවියෝ’ හෙවත් දිවැස් කිරි අම්මාගේ පිහිට පැතීම බින්තැන්නේ වැසියන් ගේ සිරිතකි
මේ එම දේවතාවිය ගැන කියවෙන කාරියාගයේ එන කවියකි
පිඹුරා වෙද මද්දහනේ
ගොර ඇදලා නිදියන් නේ
බඹරා වෙද පිපුන මලේ
දස අත රොන් ගෙනියන් නේ
අඹරා ලා පොඩි කරලා
ලොවින් පඬුරු අය කරන් නේ
අඹරා පොති කිරි අම්මගෙ
බුලත් අසන මට ලැබෙන් නේ
මේ ප්‍රාදේශීය දෙවිවරුන් ගේ උපත ගැන පවතින ජනප්‍රවාදයන් ඉතා රසවත් ය. මහලොකුවෝ දේවතාවියගේ කතාව බුදුන් වහන්සේ ගේ ලංකා ගමන දක්වා ඈතට දිවයයි. ඇය ‘සුමන සමන්’ දෙවියන්ගේ සොයුරියකි. සුමන දෙවියන් මහියංගන ප්‍රදේශයේ සිදුකළ ආගමික සේවාවන්ට උදව් කිරීම සඳහා පැමිණි ඇය දැක්වූ හාස්කම් නිසා ඇය වෙනුවෙන් හසලක ප්‍රදේශයේ දෙවොලක් කර පුද පූජා පැවැත්වීමට බින්තැන්නේ වැසියෝ පුරුදු වූහ
මෙවැනි දෙවි උපත් ගැන කියැවෙන කතා ඉතා රසවත් ය. ඇතැම් කතාවලින් ත්‍රාසය හා භීතිය ද ගෙන දෙයි
කෙසේ වෙතත් බින්තැන්නේ වැසියන්ගේ ඇදහීම් රටාව තුළ ආදි කාලීන ජනසංස්කෘතියේ අංග දැකිය හැකි වේ. ආදිවාසීන් තුළ පැවති යකුන් පිදීම, නෑ යකුන් පිදීම ආදිය ස්වල්ප වෙනස්කම් සහිතව බින්තැන්නේ ගැමි ජනයා තුළ පැතිර පවතී.
කුඩා අත දරුවාගේ සිට මහල්ලා දක්වා වුන්ට වැලඳෙන ඇතැම් රෝගවලට හේතුව යක්ෂ උවදුර යැයි ගැමියෝ විශ්වාස කරති. මේ නිසා තෙල් මතුරා සාත්තු කිරීමට ද නූල් මතුරා බැඳීමට ද, යකුන්ට හා දෙවියන්ට බාර හාර වීමට ද ගිනිහම් වළ කැපීම, අත්සලා නැටීම, කාරි නැටීම, දෙහි කැපීම වැනි යාතු කර්ම කෙරෙහි ඔවුහු වඩාත් ම යුහුසුලු වෙති
ප්‍රදේශයට අධිපති කන්දේ යකා, බිළිඳි යකා, මංගර යකා, මහ සොහොනා, ඉඳිගොල්ලේ යකා, ඉඳිගොල්ලේ කිරි අම්මා ආදීන් වෙත දේවත්වය ආරෝපණය වී ඇත්තේ මිය ගිය නෑයකුන් පිදීමේ ක්‍රියාවලිය තුළ ය. බින්තැන්නේ සිදුකෙරෙන මෙම යාතු කර්මයන් තුළ ස්වාධීන වූ ජන නැටුම් සම්ප්‍රදායක් දක්නට ඇත. දඩයම සඳහා කන්දේ මුල් පොළ වන්නියා නම් යක්ෂ ආත්මයක් වෙතත්, ගවයන් සඳහා මංගර යකාටත් කෙරෙන පිදවිලි අතිශයින් චමත්කාර ජනක අන්දමින් පැවැත්වූ අන්දම මීට වසර තිහ හතළිහකට පෙර බින්තැන්නේ දී අපට දක්නට ලැබුණ ද මේ වනවිට එම පැරණි යාතු කර්ම විධි අභාවයට ගොස් ඇත
සඳරුවන් ලොකුහේවා
උපුටා ගැනීම් සහිතයි ....ප්‍රිය මිතුරු මිතුරියනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම් like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya
අබිරහස් අඩවිය - Abirahas Adawiya
No comments:
Post a Comment