Thursday, August 18, 2016

හෙණ දේවතාවුන් අරක්ගත් හෙණරාජ තෛලය ...(henaraja thayilaya manthara gurukam)..අබිරහස් අඩවිය - Abirahas Adawiya

මන්ත්‍ර දත් ඇදුරන් අතර පමණක් නොව ගිහි පැවිදි සියලු ජනතාව අතරම විවිධ තෙල් වර්ග භාවිත කරමින් විවිධ වූ බලාපොරොත්තු ඉටුකර ගැනීමට වෙහෙසෙනු අප දැක ඇත. තෙල් වර්ග රාශියක් පැරැණි ඇදුරන් භාවිත කර ඇත. මහා හෙණ රාජ තෙල, මහා රාජතරංගනී තෙල, මහා වෙසමුණි දිව්‍ය රාජ තෙල, මහා ඉරු දැපනය ආදී අනේක විධ වූ තෙල් වර්ග බොහෝ දෙනකුන් විසින් භාවිත කරනු ලබන්නේ අප්‍රමාණ වූ විශ්වාසයකින් හා භක්තියකින් යුක්තවය.
මෙම විවිධාකාරයේ තෙල් වර්ග අතර මවපිය දෙදෙනා ලෙස ගෞරවයට පාත්‍ර වන තෙල් වර්ග 2කි. එනම් මහා හෙණරාජ තෙල හා මහා රාජතරංගනී තෙල යන තෙල් වර්ග දෙකයි. පෙර ඇදුරුතුමන්ලා නිධානයක හෝ වෙනයම් තැනක හෝ මෙම තෙල් වර්ග දෙක තැබුවේ එක ළඟම පිහිටන ලෙසටය. ඊට හේතුව වන්නේ මෙම තෙල් වර්ග දෙක මවුපියන් ලෙස සලකනු ලැබීමයි.
තෙල් වර්ග සිය දහස් ගණනක් අතරේ පිතෘ ගුණය හෙවත් ජීව ගුණය ඇති තෙල වන්නේ මහා හෙණරාජ තෙලයි. පියකුගේ ස්වරූපය දැඩි ගතියයි. දරුවකු වරදකට පෙලඹෙන විටදී හෝ වැරැදි මඟ යන විටදී ඊට එරෙහි වී තම දරුවාට තරවටු කොට හෝ ඔහුව එම වරදින් මුදවා ගැනීම පිය කෙනකුගේ සාමාන්‍ය ගති ලක්‍ෂණයයි. හෙණරාජ තෙලෙහි පළමු ගුණයද මෙයයි. යම්කිසි පුද්ගලයකු හෙණරාජ තෙල පැලඳගත්තේද එම පුද්ගලයාට පියකුගෙන් ලැබෙන ආරක්‍ෂාව ලැබෙන බව මෙහි එන ගුණාගුණ විග්‍රහයෙහි සඳහන් වේ. තාත්තකු දරුවකු ළඟ සිටින විටදී එම දරුවාට පහර දීමට හෝ අඩන්තේට්ටමක් කිරීමට කෙනකු ඉදිරිපත් නොවේ. "අද තාත්තත් ඉන්නවා වෙන දවසක පහර දෙමු"යි කියා මඟහැර යෑමට ඉඩ තිබේ.
මෙම හෙණරාජ තෙල ඇති පුද්ගලයකු ළඟට කෙනකු සමීප වූ විට ඇතිවන්නේද එවැනිම හැඟීමකි. විපතක් හෝ කරදරයක් කරන අදහසින් ආවත්, හෙණරාජ තෙලෙහි ඇති කරන බලය නිසා පසුබා යන ගතියක් ඇතිවේ. හෙණරාජ තෙල පමණක් පැලඳ සිටින පුද්ගලයකු වෙත කෙනකු සුහදවීමට ළංවන ගතිය අඩුය. මඟහැර යෑමට උත්සාහ කරන ගතිය වැඩිය. එයට හේතුව ඒ තුළ ඇති තේජෝ ගුණයයි.
ගින්නක් දුටුවිට කෙනකු එය මඟහැර යයි. ඊට හේතුව එහි ඇති සැර පරුෂ බවය. හෙණ රාජ තෙල තුළද ඇත්තේ පෞරුෂය, තේජස, අහංකාර බව, යටත් කරන ගතිය, ඉවත් කරවීම ආදී ගුණයන්ය. අකුණක ඇති ගුණයට සමාන ගුණයක්ද මෙහි ඇතැයි ඇතැමුන් කියති.
හෙණරාජ තෙලට එම නම ලැබීමට ප්‍රධානතම හේතුව වන්නේ හෙණ ගැසූ විටකදී ඇවිළෙන ගින්නෙන් ගත් ගිනිපුළිඟුවකින් හෙණරාජ තෙලට ගින්දර දැමීම සිදුකරන නිසාය. මෙවැනි තෙලක් හිඳීමට සූදානම් වන විටදී මුලින්ම හෙණ ගින්නක් සොයාගත යුතුය. අකුණක් වැදී ගිනි ගන්නා තැනකින් ගින්දර ගෙන එය ගුහාවකට ගෙන ගොස් එතැන් සිට අදාළ ගිනි පුළිඟුවට කොළ රොඩු දමමින් එම ගින්න නොනිමී පවත්වා ගෙන යෑමට කෙනකු ගුහාවේ රැඳී සිටී. ඒ අතරතුර අනෙක් අය තෙලට අවශ්‍ය කරනු ලබන බෙහෙත් කළමනා සොයති. මෙසේ බෙහෙත් කළමනා නිසි ලෙස සකස් කරගත් පසු හෙණයෙන් උපන් ගින්න රැක ගනිමින් ගුහාවේ සිටින පුද්ගලයාට ඉන් ගින්දර රැගෙන ඒමට පණිවුඩ යවයි. ඔහු එම ගින්දර රැගෙන විත් අදාළ ළිප මොළවයි. හෙණ රාජ තෙලට මෙම නම වැටීමට ප්‍රධානතම එක් හේතුවක් වන්නේ මෙම හෙණ ගින්දරෙන් තෙල් හැළියට ගිනි ලෑම සිදුකරන නිසාය.
එතැන් පටන් මල්තටු හතරක් තෙල් හැළිය වටේ සාදා ඊට දම්වල් යොදා තෙල හිඳීම සිදු කෙරේ. මෙහිදී එක් මල් තටුවක් ත්‍රිවිධ ලෝක බන්ධනයෙනුත්, අනෙක මහා අල්ලි බන්ධනයෙනුත්, අනෙක ඊශ්වර ගිනි බන්ධනයෙනුත්, අනෙක මල් තටුව මහා අග්නි සැර මාලාවෙනුත් ජීවම් කරමින් ආරක්‍ෂාව සැපයිය යුතුය.
විවිධ දුෂ්කරතා මධ්‍යයේ සිඳගත් තෙලට සිදු කරන "දේවතා බන්ධනය" ඉතාම බරපතළ කාරණයයි. මෙම තෙලට අධිපති වන්නේ "හෙණ දේවතාවන්" නමැති දේව කොටසයි. ඒ අය මේඝ වලාවන් ආශි්‍රතව සිටින බව කියැවේ. මෙම දේවතා කොටස මෙම තෙලට බන්ධනය කිරීම ඉතාම අවදානම් ක්‍රියාවක් බව පොත පතේද සඳහන් වේ. ඊට හේතුව මන්ත්‍ර බලයෙන් මේ අය මෙම තෙලට බන්ධනය කළ මොහොතේ සිට ඒ අය විසින් අදාළ තෙල පලඳවනු ලබන පුද්ගලයාව ආරක්‍ෂා කිරීම භාරවීමය. 
එසේ පුද්ගල ශරීරයක් භාරගෙන සිටීම උන්වහන්සේලාට මහත් හිසරදයක් වන නිසා මෙම දේවතා බන්ධනයෙන් ඉවත්වීමට කෙසේ හෝ උත්සාහ ගනී. නමුත් අවසානයේදී හෙණරාජ තෙලට අදාළ දේවතා බන්ධනය සිදුකොට අවසන් වූ විටදී අදාළ දේවතා කොටසද තෙලට බැඳී අවසානය. එතැන් පටන් එම තෙල පලඳවනු ලබන පුද්ගලයන්ට ආරක්‍ෂාව සැලසීම මෙම හෙණ දේවතාවුන්ගේ කාර්යභාරය වේ. එම තෙල පැලඳි කෙනකුට වෙඩි තැබුවහොත් ඉන් හානියක් නොවන්නේ තෙලේ බලය නිසා නොවේ. තෙලට බන්ධනය කොට සිටින හෙණ දේවතාවාගේ බලය නිසාය. කවුරුන් හෝ වෙඩි තිබ්බොත් එම වෙඩි උණ්ඩය වෙනත් පසෙකට හරවනු ලබන්නේ අදාළ දේවතාවා විසිනි. ඇතැමුන් සිතන්නේ තෙලේ බලයට වෙඩි නොවදී කියාය. නමුත් සිදුවන්නේ වෙනත් නොපෙනෙන දෙයකි.
මෙහි සත්‍ය කතාව නම් මෙයයි. මෙසේ හෙණ දේවතාවකු බන්ධනය කළ හෙණරාජ තෙල පැලඳගත් විට එම පුද්ගලයා දෙස කෙනකු එකවරම බලන්නේ නැත. රණ්ඩුවට එන්නේ නැත. ඊට හේතුව ඊට බන්ධනය කොට ඇති හෙණ දේවතාවාගේ තේජස් ගුණයයි. මේ නිසා හෙණ රාජ තෛලය පැලඳගත් පුද්ගලයකුට පියකුගේ වැනි ආරක්‍ෂාවක් සැලසෙනු ලැබේ.
හෙණරාජ තෙලටත්, රාජතරංගනී තෙලටත් යොදාගනු ලබන ප්‍රධාන ඔෟෂධ අතර කඟවේණා අඟ ප්‍රධාන තැනක් ගනී. කඟවේණා යනු රයිනෝසිරස් නොවේ. ඇතැමුන් කඟවේණා රයිනෝ යැයි වරදවා වටහා ගත්තද මේ දෙදෙනා එකකු නොවන බව ඉතාම හොඳින් දැනගත යුතුය. කඟවේණාගේ ස්වරූපය වේගයෙන් ක්‍රියාත්මක වීමයි. කඟවේණා හා සමාන වේගයක් ඇති කෙනකු නැති බවට මතයකි. මෙම කඟවේණා අඟ තුළ ඇති එම ශක්තිය නිසාම සියලු දේ කපාගෙන කඩාගෙන යෑමේ හැකියාව අදාළ තෙල පැලඳි පුද්ගලයාට ලැබේ.
හෙණරාජ තෙල ගැන විග්‍රහ කිරීමට බොහෝ දේ ඇත. පාඨක ඔබ මේ තෙල් ගැන ඕනෑ තරම් පත්‍රවල දැන්වීම්වල දැක අසා තිබෙන බව නියැකය. නමුත් මේවායේ ස්වරූපය කෙබඳුද යන්න දැනගෙන සිටීම ඉතාමත්ම වැගත්ය.
හෙණ රාජ තෙල පැහැයෙන් රන්වන් පාටය. වෙනත් කිසිදු පැහැයක් හෙණරාජ තෙල නොගනී. අනෙක් කරුණ නම් මෙහි ඇති සුවඳ ලොව කිසිදු සුවඳක් නැති ගුණවත් සුවඳක් පැවතීමයි. බාහිරින් හෙණරාජය හඳුනා ගැනීමට මෙය ප්‍රධාන ක්‍රමයයි. මෙසේ ඉතාම උත්සාහයක් වීර්යයෙන් යුතුව සඳහන් නිවැරැදි ජීවම් බලය පිහිටුවූ හෙණරාජ තෙල පැලැඳගත් පුද්ගලයා කිසිදු කිල්ලකට හසු නොවිය යුතුය. හෙණ රාජ තෙලට ඉක්මනින් කිලි හසුවේ. එම නිසා කිසිදු කිල්ලකට හසුනොවී එය පණමෙන් ආරක්‍ෂා කර ගැනීමට අදාළ තෙල පැලඳගත් පුද්ගලයා කටයුතු කළ යුතුය. එසේ කළ විටදී මෙම වටිනා මහාර්ඝ වූ තෙලින් පියකුගෙන් දරුවකුට ලැබෙන සෙනෙහස, රැකවරණය, ආරක්‍ෂාව ලබාගත හැකිය. එබැවින් පියතු බඳු ගුණ ඇති හෙණරාජ තෙල ගුණ වශයෙන් මෙසේ යැයි හඳුනා ගැනීම විද්‍යාර්ථීන් වූ තරුපති පාඨකයන්ට බෙහෙවින්ම ප්‍රයෝජනවත් වනු ඇත.
ඒ. සුමනවංශ හිමි   උපුටා ගැනීම් සහිතයි ....
ප්‍රිය මිතුරු මිතුරියනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya 
   

No comments:

Post a Comment