Tuesday, August 23, 2016

අබිරහස් පළිඟු හිස්කබල් යනු මායාවරුන්ගේ පරිගණක යන්ත්‍රද? (maya waru නොවිසඳුණු අබිරහස් novisadunu abirahas අබිරහස් අඩවිය - Abirahas Adawiya )


ලෝකයේ නොවිසඳුණු අබිරහස් අතරට ගැනෙන 20 වැනි සියවසේ විස්මිතම අබි රහස වන්නේ පළිගු මිනී ඔළු පිළිබඳ අබිරහසයි. ලෝකයේ ආදිතම උසස් ශිෂ්ටාචාර මධ්‍යගතව පැවැති ප්‍රදේශ ආශ්‍රිතව සොයාගනු ලැබූ පළිඟු ගලින් නිම වූ මිනී ඔළු සැදුවේ කවුද? ඒවායේ අරමුණ කුමක් වීද? එය සෑදූ තාක්ෂණය කුමක්ද? බඳුවූ ගැටලු රාශියක් නවීන විද්‍යාත්මක දියුණුවේ ඉහළම හිණිපෙතට ළඟා වූ අද පවා ඉස්මතු කරමින් ආන්දෝලනාත්මක ආශ්චර්යක් බවට ඒවා පත්ව තිබේ. රාත්තල් කිහිපයක් බරැති සාමාන්‍ය පන්දුවක් තරමේ සිට රාත්තල් 40කටත් වඩා බර සුවිශාල තරමේ පළිඟු හිස් කබල් රැසක් මේ වන විට සොයාගනු ලැබ තිබේ. එහෙත් ඒවා පැමිණියේ කොතැනක සිටද? ඒවා කාගේ නිපැයුමක්ද? යන්න තවමත් මහා අබිරහසකි.
බොහෝ දෙනා තවමත් අදහස් කරනුයේ ඒවා ආදි කාලීන සෞභාග්‍යමත් බුද්ධි මහිමයේ දේශය වූ ආත්ලාන්තික් හෝ ලෙචුරියා වායිස්ගේ නිපැයුම් බවය. එසේත් නොමැතිනම් මේ සියල්ල පිටසක්වල ජීවීන්ගේ උසස් තාක්ෂණයෙන් නිමවා කිසියම් හේතුවක් මත තෝරාගත් මිනිස් ගෝත්‍ර සඳහා තිළිණ කළ මහා බලගතු විශ්වීය වස්තූන් බවය. ආන්දෝලානාත්මක සොයාගැනීම මුල්වරට සිදු වූයේ 20 වැනි ශත වර්ෂයේ ඉන්දියානා ජොන්ස් ලෙසින් හැඳින්විය හැකි බ්‍රිතාන්‍ය ජාතික ගවේෂකයකු වූ එච්.ඒ.මිචෙල් ගෙජස්ගේ සොයා ගැනීමක් අනුවය. බ්‍රිතාන්‍ය හොන්ඩුරාස්හි හෙවත් බෙලිස්හි ඔහු සිදුකළ ඉපැරැණි මායාවරුන්ගේ නගරයක් හෙළිදරව් කර ගැනීමේ අතරදී මුල්වරට පළිඟු ගලින් තැනූ හිස් කබලක් හමුවිය. 
සැබෑ ලෙසම මෙය හමුවී තිබුණේ ඔහුගේ අරන් හදාගත් දියණිය ලෙස සිටි සැමි හෙවත් අන්නා ගෙජස් හටය. ඇය සිය 16 වැනි උපන් දිනය දා ඉපැරැණි මායා නගරයක් වු ලූබාන්ටන් හි පූජනීය ස්ථානයක වැළැලී තිබූ හිස් කබලේ මුල් කොටස සොයා ගත්තාය. ඒ 1924 දිනයක දීය. ඇය සොයා ගනු ලැබුවේ හිස් කබලේ ඉහළ කොටස පමණි. එහි පහළ හනුව දක්නට නොලැබිණි. මෙය ඇයට කදිම උපන් දින තෑග්ගක් වූවාට සැකයක් නැත. මාස 03කට පසුව මෙම හිස් කබලේ යටි හනුව කොටස කිසිදු හානියකට ලක් නොවි තිබියදී මුල් හිස් කබල සොයාගත් තැනට අඩි 25ක් පමණ දුරක තිබියදී සොයාගනු ලැබිණි. එහි විසූ මායා කෙන්ඩි ගෝත්‍රිකයෝ මෙය හැඳින්වූයේ “ඩූම් හිසකබල” ලෙසිනි. ඔවුහු එයට අතිමහත් ගෞරව සම්ප්‍රයුක්ත බියක් දැක්වූහ. එය මරණයේ හිස් කබල ලෙස හැඳීන්වූහ. පැරැණි මායා පූජකවරු මේ මගින් සිය සතුරන්ට මරණය ගෙන දුන් බව මිචෙල් හට දැනගන්නට ලැබිණි. පසුව ඔහු මෙම හිස් කබල එම ගෝත්‍රික ප්‍රධානින් හට පිරිනැමුවද ඔවුහු එය පෙරළා මිචෙල් වෙත ලබා දුන්නේ සිහිවටනයක් ලෙසිනි. 
එයට ඒ වනවිට ‘දුෂ්ට ඩුම්ගේ’ හිස් කබල යන නම යොදා තිබිණි. මිචෙල්ගේ අනෙකුත් සොයා ගැනීම් හා කෞතුක පුරාවස්තූන් සමඟ එය දියුණු ලෝකයට පැමිණීමත් සමඟ මහත් ආන්දෝලනයක් ලොව පුරා මේ පළිඟු මිනී හිස් කබල හේතුවෙන් පැන නැඟිණි. ඇත්තෙන්ම එය ඇදහිය නොහැකි නිරවද්‍යතාවකින් යුතුව සාමාන්‍ය මිනිස් හිස් කබලක සියලු අංගෝපාංග සහිතව ඉතා සියුම් ලෙස නිමවා තිබෙන්නකි. ඉතා පැහැදිලි ‘ක්වාට්ස් ක්‍රිස්ටල්’ හෙවත් පළිඟු පරිදි මගින් නිපදවා ඇති මෙහි කපාලය සහ ඉහළ හනුවත්, චලනය කළ හැකි හා වෙන්කළ හැකි පහළ හනුවත් එකම තනි පළිඟු ගල් කුට්ටියකින් තනා තිබෙන බව සොයා ගැනීම සුවිශේෂී හෙළිදරව්වක් විය. රාත්තල් 11.7ක් බරැති මෙය අඟල් 5ක් උසැති අඟල් 7ක් දිගැති හා අඟල් 5ක් පුළුල් වූ එකකි. නළලේ සහ කම්මුල් ඇටවල සුළු වෙනස්කම් දක්නට ලැබුණද මෙය හිසමත මිනිස් හිස් කබලක සියලු අංගෝපාංග අඩු නැතිව දරයි. එසේම එහි කුඩා බවත් සමහර කැපී පෙනෙන ලක්ෂණත් හේතුවෙන් එය ගැහැනු හිස් කබලක් නිරූපණය කරනා බව විද්වතුන්ගේ අදහසයි. එහෙයින් මෙයට SHE හෙවත් ‘ඇය’ යනුවෙන්ද නමක් පටබැඳී තිබේ. 1970 දී මේ පිළිබඳ අපූර්වතම හෙළිදරව්ව සිදුවිණි. 
මිචෙල් හෙජස්ගේ පවුලේ උදවිය විසින් මෙය හෙව්ලට් – පැෆාර්ඩ් පර්යේෂණාගාරය වෙත ඉදිරිපත් කරන ලදී. එහිදී ඔවුන් සොයා ගත්තේ මේ හිස් කබල තනා ඇති තාක්ෂණය අරුම පුදුම - සොබා නීතිය ඉක්ම වූ එකක් බවයි. මේ හිස් කබල ඒ පැරැණි මිනිසුන් කෙසේ නිර්මාණය කළෝද? මෙය මහත් උබතෝකෝටිකයක් බවට පත්ව තිබේ. එය කළ හැකි එකම ආකාරය ලෙස දැක්විය හැක්කේ ඉතා රළු ලෙස දියමන්තියකින් මූලික හැඩතල ගන්වා තනිකරම වැලි සහ වතුර යොදා අතුල්ලමින් අතින්ම හැඩ ගැස්වීම පමණි. එසේ එය හැඩ ගැන්වූවා නම්. දුෂ්ට ඩුම් ගේ හෙවත් “ඈ” ගේ හිස්කබල හිමිවීමට වසර 150ක පමණ කාලයක් මිනිසුන් පරම්පරා ගණනාවක් සිය ශ්‍රමය එය වෙනුවෙන් කැප කරන්නට ඇත. ඩුම්ගේ හිස් කබල ප්‍රසිද්ධියට පත්වීමත් සමඟම ලෝකයේ ආසන්නතම ප්‍රදේශ කිහිපයක් ආශ්‍රිතව විවිධ පළිඟු ගලින් නිමවූ මිනී ඔළු 13ක් සොයා ගැනීමට විවිධ පුද්ගලයන් සමත් වූහ. 
මේ පළිඟු මිනී ඔලු විවිධාකාර ඉපැරැණි බලයන්ගෙන් සමන්විත බව බොහෝ දෙනාගේ මතයයි. පැරැණි හිස් කබලක් ළඟින් අලුතෙන් සෑදූ පළිඟු හිස් කබලක් තබා ඇතිවිට කාන්දමකින් සිදුවන්නාක් මෙන් අලුත් හිස් කබල ද ඉපැරැණි සුවකිරීමේ හා අනාගතය දැකීමේ බදු බලවේගවලින් පිරීයන බව ඒ ගැන පරීක්ෂණ කරන පිරිසගේ මතයයි. මේ හේතුවෙන් දැන් පළිගු හිස් කබල් තොග පිටින් ඔතා ඒවා ඉපැරැණි හිස් කබල් මගින් බල ගන්වා ලෝකය පුරා බෙදාහැරීම යස ජාවාරමක් බවටද පත්ව තිබේ. කෙසේ වුවද මේ ඉපැරැණි හිස් කබල් ආවේ කොතැනින්ද. ඒවා කාගේ නිර්මාණයක්ද. ඒවාගේ කාර්යභාරය කුමක් වීදැයි යන්න තවමත් මතභේදයට තුඩුදුන් කරුණකි. අද නවීන තාක්ෂණික මෙවලම්වන පරිගණක හා චන්ද්‍රිකා ආශි‍්‍රත බොහෝ මතකයන් සහ තාක්ෂණික කොටස් තැනී ඇත්තේ ක්‍රිස්ටල් ආධාරයෙනි.
ඉතා සියුම් ක්‍රිස්ටල් පෙත්තක් අඩංගු චිපයක් තුළ පින්තූර, චිත්‍රපට, පොත්පත්, සංගීතය ඇතුළු තොරතුරු ගණනාවක් රැස්කර තබා ගත හැකිය. ක්‍රිස්ටල් නොතිබෙන්නට මිනිසාට මේ හාස්කම කිසිදා කළ නොහැකි වනු ඇත. ඉතා සියුම් ක්‍රිස්ටල් පොත්තක මෙතරම් දත්ත රැස්කර තැබිය හැකි නම් මිනිස් හිසක් තරම් වූ ක්‍රිස්ටල් කුට්ටියක මොන තරම් නම් දත්ත සංඛ්‍යාවක් ගබඩා කර තිබිය හැකිවනු ඇතිද, එය මානව පරම්පරා ගණනාවක දැනුම ගබඩා කළ හැකි සුවිශේෂී සංකේතාත්මක වස්තුවක් වනු ඇති. 
අද වඩාත් පිළිගත් මතය වී ඇත්තේ මෙයයි. එනම් මේ පළිගු හිස් කබල් යනු වැනසී ගිය අතීත දියුණු බුද්ධිමත් පරම්පරාවන් විසින් භාවිත කළ පරිගණක යන්ත්‍ර බවයි. ඒ තුළ ඇති බුද්ධියේ හා දැනුම ඇතුළත් තොරතුරු ලබා ගැනීමට අප සතුව ඇති තාක්ෂණය තවමත් අසමත් බවයි. එසේම තවත් මතයක් වන්නේ මේවා පිටසක්වල දියුණු ජීවීන් විසින් සිය උසස් දැනුම කැටිකොට ඉපැරැණි මිනිස් ශිෂ්ටාචාර වෙත තිළිණ කළ දැනුම ගබඩා විය හැකි බවයි. මේ කෙසේ වුවද ඩුම්ගේ හිස් කබල ඇතුළු හිස් කබල් 13ක් තවමත් මිනිසාගේ ඉහමොළ කුතුහලයෙන් කිතිකවන මහා අරුමයක්ව පවතී.
සටහන - නිශානි අත්තනායක (දිනමිණ පුවත්පත) 
 උපුටා ගැනීම් සහිතයි ....ප්‍රිය මිතුරු මිතුරියනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya 

No comments:

Post a Comment